ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, March 31, 2020

ඉතිහාසය කම්මුතු කළාට බැට කෑ අශෝකමාලා

අශෝකමාලා තොමෝ දුටුගැමුණු මහා රජුගේ (ක්‍රි.පූ. 161-137) එකම පුත්‍රයා වූ සාලිය රාජකුමාරයාගේ භාර්යාව වූවාය. ඔවුන් දෙදෙනා පිළිබඳ පුවත ලංකා ඉතිහාසයෙහි සඳහන් වන ප්‍රේම කතා අතුරෙන් විශිෂ්ට එකකි. මහා වංසයෙහි මේ ප්‍රවෘත්තිය ඉතා සැකෙවින් දක්වා ඇති හෙයින් අශෝකමාලාව ගැන වැඩි යමක් දැන ගැනීමට අපට ඉන් පිහිටක් නොලැබේ.
    ඉතා රූමත් සැඩොල් තරුණියක වූ අශෝකමාලාව කෙරෙහි ඇලුම් කළ සාලිය රාජකුමාරයා රාජ්‍යය නොකැමැති වූ බව එහි දැක්වෙයි. එහෙත් මහා වංසයෙහි වූ අඩුපාඩුව පුරවාලන මහා වංස ටීකාව ඇය අනුරාධපුර නගරයෙහි නැගෙනහිර දොරටුව අසල පණ්ඩුකාභය රජු පිහිටුවා ලූ සැ​ෙඩාල් ගමක් වූ සාලි නම් වඩු ගමෙහි දෙටුවඩුවාගේ අශෝකා නමැති දුව බවත් දිනක් උයනට පිවිසි සාලිය රාජකුමාරයා එහි හෝපලු රුකක නැග මල් නෙළමින් සිටි ඒ වඩු දුවගේ ගී රැව් අසා ඇය කරා එළඹ එකෙණෙහි උපන්නා වූ බලවත් ස්නේහ ඇතිව ඇය මාළිගාවට ගෙන ගොස් භාර්යාව කර ගත් බව පවසයි.   



රසවාහිනියෙහිත් එය ඇසුරෙන් විරචිත සද්ධාර්මාලංකාරයෙහිත් අශෝකමාලා පිළිබඳ තොරතුරු අනුව හෙල්ලෝල (හෙල්ලෝලි) නම් ගම ප්‍රධාන නැවෑමියාගේ (ලෝකුරුවාගේ) දූ වූ දේවී නමැති එක්තරා සැඩොල් තරුණියක් වූවා යැයි දැක්වේ. සාලිය රාජකුමාරයාට මුණ ගැසෙද්දී ඇය ගී ගයමින් සිටි බවක් ඒ පොත්වලින් නොකියැවෙයි. ඇය හෝපලු රුකෙක දී දුටු හෙයින් අශෝකමාලා යි නම් කරන ලද බවත් දුටුගැමුණු රජතුමා ඇයගේ රූප සම්පත්තිය දැක මහත් වූ සන්තෝෂයට පැමිණ ඔවුන් යවුළ රුවන් රැසක් මත සිටුවා අභිෂේක මඟුල් කොට ඇය සාලිය රාජකුමාරයාට පාවා දුන් බවත් ඒ පොත් දෙකෙහිම සඳහන් වෙයි. ඉහත කී හෙල්ලෝල නම් ගම අනුරාධපුරයේ දකුණු වෙහෙරටත් ඉසුරුමුණි වෙහෙරටත් අතර පිහිටා තිබුණු බව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි. 


මේ සඳහන එන්නේ සිංහල විශ්ව කෝෂය දෙවැනි කාණ්ඩයෙහි 259 පිටුවෙහිය. 

දෙවැනි සිංහල කතා නාද චිත්‍රපටය වූ අශෝකමාලා 1947 අප්‍රේල් 09 වැනිදා තිරගත විය. මේ චිත්‍රපට බිහි වීමේ කතා පුවත චිත්‍රපට කතාවටත් වඩා රසවත්ය. එය එක්තරා තරගකාරී බවකින් ද යුක්තය. 1945 වසරේ සිංහල චිත්‍රපටයක් නිපදවීමේ අදහසින් චිත්‍ර කලා මුවිටෝන් නම් චිත්‍රපට සමාගමක් පිහිටවූ ව්‍යාපාරික එස්.එම්. නායගම්, කලා ගුරු ජේ.ඩී.ඒ. පෙරේරා, නාට්‍ය ශිල්පී ශාන්ති කුමාර් සෙනෙවිරත්න, සංගීතාචාර්ය යූ.ඩී. පෙරේරා ද එක් වී එය සැලසුම් කළහ. ශ්‍රී වික්‍රම රාජසිංහ චිත්‍රපටගත කිරීමට අදහස් කළ ද එයට යන අධික වියදම නිසා එය නතර විය. ඊළඟට වීරසූරිය නම් ලේඛකයකු ලියූ ඓතිහාසික නවකතාවක් වූ ද ට්‍රෙචරි ඔෆ් ද කැන්ඩියන් කෝට් චිත්‍රපටගත කිරීමට ගත් උත්සාහය ද නිෂ්ඵල විය. 

පසුව මේ චිත්‍රපට සමාගම චිත්‍රපට කතා තරගයක් පැවැත්වීම සඳහා පුවත්පත්වල දැන්වීමක් පළ කළේය. එය ලංකාවේ පවත්වන ලද ප්‍රථම චිත්‍රපට කතා තරගය විය. මුල් තැන දිනූ කතා පිටපතට රුපියල් 500ක් දෙන බව දැන්වීමේ සඳහන් විය. මේ තරගයෙන් ජය ගත්තේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නයන් විසින් ලියූ අශෝකමාලා කතා පිටපතය. ශාන්ති කුමාර් හා නායගම් අතර මතභේදයක් ඇති වුණේ ඉන්පසුය. 

“ශාන්ති ඔබ තරගයකට කතා පිටපතක් ඉදිරිපත් කරන්න. මම ඔබව තේරුණොත් මම රුපියල් 500ක ත්‍යාගය ඔබට දෙන්නම්.” 

“මගේ කතාව රුපියල් 500ක් වැනි සුළු මුදලකට දෙන්න කැමැති නැහැ. අනික අධ්‍යක්‍ෂණයටත් මට සම්බන්ධ වෙන්න ඕනෑ.” 

“ඒක කොහොමටවත් කරන්න බැහැ. මේ ලංකාවේ කරන මුල්ම සිංහල කතා නාද චිත්‍රපටය. ඔබට ඒ සඳහා කාර්මික දැනුමක් නැහැ. අපි ඉන්දියානු අධ්‍යක්‍ෂවරයකු තෝරා ගමු. ඔබ සහාය අධ්‍යක්‍ෂවරයා වෙන්න.” 

“ඒ අදහසට මම විරුද්ධයි. මගේ කතාව ඔබට දෙන්නේ නැහැ. මම චිත්‍ර කලා මුවිටොන් සමාගමෙනුත් ඉවත් වෙනවා. මට චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්න දැනුම තියෙනවා. බොම්බායේ ග්‍රේඩ් ඊස්ටන් තියටර් මම ඒ සඳහා පුහුණුව ලැබුවා.” 

ශාන්ති කුමාර් ඉවත්ව ගිය පසු නායගම් ප්‍රථම සිංහල චිත්‍රපටයේ අදහස අත්හැරියේ නැත. එකල (1946) 800 වාරයක් වේදිකාගත කර තිබූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ කඩවුණු පොරොන්දුව වේදිකා නාට්‍යය සිනමාවට නැගීමට නායගම් සිතුවේය. 

සිනමා ඉතිහාසඥයකු චිත්‍රපට කතා රචකයා හා ඉරිදා ලංකාදීප පුවත්පතේ (1947) උපකතුවරයකුව සිටි ඩී.වී. සෙනෙවිරත්න කියා ඇති පරිදි ඒ දිනය 1946 ජුලි මාසයේ දවසකි. වේලාව රාත්‍රී 7 ට පමණ ඇත. එවක ඔහු මරදානේ ටවර් සිනමා ශාලාවේ කළමනාකරුය. විකුණූ ටිකට්පත්වල ගණන් බලමින් සිටි සෙනෙවිරත්න හමුවීමට අමුත්තෙක් පැමිණියේය. ඒ ශාන්ති කුමාර් සෙනෙවිරත්නය. 


“එන්න, එන්න ශාන්ති, වාඩි වෙන්න. කෝ ලොක්කා?” 

ශාන්ති කුමාර් ලොක්කා කීවේ ටවර් සිනමා හලේ කළමනාකාර අධ්‍යක්ෂ ඇෆ්.සී. පැරැක්ටය. 

“ලොක්කා ඇතුළේ බයිස්කෝප් බලනවා. වුවමනාවකට ද?”

“ඔව්” කී ශාන්ති කුමාර් අශෝකමාලා කතා පිටපත සෙනෙවිරත්නට පෙන්වා අතීත කතාව කියන අතර පැරැක් කන්තෝරුවට ආවේය. ශාන්ති සියලු විස්තරය ඔහුට කීවේය. 

“අපි හෙට උදේ සර් චිත්තම්පලම් ගාඩිනර් හමු වෙමු.” 

සර් චිත්තම්පලම් ගාඩිනර් යනු සිලෝන් තියටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාය. චිත්‍රපට රාජා නමින් ඔහු එකල හඳුන්වා ඇත. ලංකාවේ ප්‍රධාන බයිස්කෝප් ප්‍රදර්ශක සමාගමට ශාන්ති කුමාර්ගේ මේ යෝජනාව අත්හැරීමට නොහැකි විය. අශෝකමාලා කතාව ශාන්ති සර් ගාඩිනර්ට පවසා ඇත්තේ ඉංග්‍රීසියෙන් රඟපා පෙන්වීමෙනි. සර් ගාඩිනර් එයට අතිශයින් පැහැදුණේය. 

“ශාන්ති අපි කැමැතියි මේ කතාවට. හෙටම අපි ගිවිසුම් අත්සන් කරමු.” 

 මේ වනවිට නායගම්ගේ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රූ ගැන්වීම් දකුණු ඉන්දියාවේ මදුරෙයි චිත්‍ර කලා (ජෙමිනි) චිත්‍රාගාරයේ ආරම්භ කොට තිබුණි. අශෝකමාලා සඳහා සර් ගාඩිනර් තෝරා ගත්තේ දකුණු ඉන්දියාවේ කොයිම්බතූර් සෙන්ට්‍රල් චිත්‍රාගාරයයි. මේ චිත්‍රපටයේ ශාන්ති කුමාර් ප්‍රධාන චරිතය වූ සාලිය කුමාරයාගේ චරිතය රඟපාමින් චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා විය. ඉන්දීය ජාතික ටී.ආර්. ගෝපු අනිත් සම අධ්‍යක්ෂවරයා වූ අතර චිත්‍රපටයේ කාර්මික අංශයට උපදෙස් දෙමින් සංස්කරණය ද කළේය. 

ලංකාවේ මුල්ම ඓතිහාසික කතාව ඇතුළත් වූ අශෝකමාලා සිංහල ජාතිකයකු අධ්‍යක්‍ෂණය කළ මුල්ම චිත්‍රපටය ලෙස ද වාර්තාගත වෙයි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය සඳහා තෝරා ගත්තේ එදා සෑම දෙනාගේ ප්‍රශංසාවට පාත්‍ර වූ බැංගලෝරයේ උපත ලැබූ පසුව ශ්‍රී ලාංකීක පුරවැසි බව ලැබූ මොහොමඩ් ගවුස්ය. ඔහුගේ ගීත තනු ස්වතන්ත්‍රය. මහාචාර්ය සුනිල් ආරියරත්න පවසා ඇත්තේ සිංහල සිනමා ගීතාවලියේ ප්‍රථම ස්වතන්ත්‍ර තනු නිර්මාණය කර ඇත්තේ ගවුස් විසින් බවය. මේ චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්‍ෂවරයා වූයේ ඩබ්ලිව්.ඩී. ඇල්බට් පෙරේරා (අමරදේව) ය. ප්‍රවීණ වයලීන් වාදකයකු වූ මොරටුවේ ජෙරාඩ් පීරිස් විසින් මොරටුවේ කොරලවැල්ලේ සිට කැඳවාගෙන ආ 19 හැවිරිදි ඇල්බට් පෙරේරාට සමර් ලිපි ලිවීමටත් වාදක මණ්ඩලයේ වයලීන වාදනයක් පවරා චිත්‍රපටයේ ගීත දෙකක් ද ගැයීමට ද නිර්ලෝභීව සහාය අධ්‍යක්‍ෂ ධුරය පැවැරූ බවත් මහාචාර්ය ආරියරත්න පවසා ඇත. 

චිත්‍රපටයේ ගීත නිර්මාණය වී ඇත්තේ කොළඹ බම්බලපිටියේ ශාන්ති කලා නිකේතනයේදීය. මේ කලා නිකේතනයේදී ශාන්ති කුමාර් විසින් මෙරට පැවැත්වූ නැටුම් සංදර්ශනවල සංගීතය මෙහෙයවා තිබුණේ මොහොමඩ් ගවුස් හෙවත් ප්‍රොෆෙසර් ගවුස්ය. 

මේ කාලයේ මයිකල් සන්නස් ලියන​ෙග් නම් නාට්‍ය නිෂ්පාදකයාගේ ‘ස්ත්‍රිය - නිරය ද? ස්වර්ගය ද?’ යන වේදිකා නාට්‍යය බැලීමට නැෂනල් රඟ හලට (පසුව ගාමිණී සිනමා හල) ගිය ශාන්ති කුමාර් හා මොහොමඩ් ගවුස් නාට්‍යයට කොතරම් කැමැත්තක් දැක්කුවා ද යත් මේ දෙදෙනා වේදිකාවේ පිටුපසට ගොස් එහි දක්ෂ ලෙස රඟපෑ සන්නස් ලියනගේට සුබ පැතූහ. ඒ හඳුනා ගැනීම නිසා සන්නස් ලියනගේ හා ශාන්ති හොඳම මිතුරන් වූහ. ශාන්ති ඉංග්‍රීසියෙන් ලියා තිබූ දෙබස් සන්නස් ලියනගේ සිංහලට පරිවර්තනය කළේය. එපමණක් නොව සන්නස් ලියනගේ චිත්‍රපටයේ දුෂ්ට සෙනෙවියා වූ විපුලගේ චරිතය රඟපාමින් සහාය අධ්‍යක්‍ෂවරයා ද විය. 1946 ඔක්තෝබර් 09 වෙනිදා ශාන්ති හා පිරිස කොයිම්බතූර් බලා පිටත්ව ගියහ. 

අශෝකමාලාගේ චරිතයට ශාන්ති කුමාර් මුලින්ම තෝරා ගත්තේ තමාගේ නැටුම් කණ්ඩායමේ සිටි රංගන ශිල්පීනි ටයිම්ස් ඔෆ් සි​ෙලා්න් පුවත්පතේ උපකතුවරියක් වූ සීතා ජයවර්ධනයි. ඇගේ දෙමාපියන්ගේ විරෝධය නිසා ඇයට ඒ අවස්ථාව අහිමි විය. ඊළඟට ශාන්ති කුමාර් තෝරා ගත්තේ තමාගේ නාට්‍ය කණ්ඩායමේ සිටි බර්ගර් ජාතික (Yuonne Soertsz) ඉවෝන් සූට්ය. ඇය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සූට්ස් මහතාගේ දියණියකි. ඇගේ සිංහල උච්චාරණය දුර්වල නිසා ඇයත් ඉවත් කෙරිණි. ඇයට පසුව චණ්ඩාලි තරුණියකගේ චරිතයක් ලැබිණ. අවසාන වශයෙන් අශෝකමාලා ලෙස තෝරා ගත්තේ එමලින් දිඹුලානය. 

එමලින් අබේරත්න වූ ඇය බදුලු දිස්ත්‍රික්කයේ වියලුව රටේ මහත්තයාගේ පුත්‍ර ෆීලික්ස් දිඹුලාගල සමඟ විවාහ වීමෙන් පසුය අශෝකමාලා චිත්‍රපටයට එක් වූයේ. ඉතිහාසඥයකු වූ ජෝන් එම්. සෙනෙවිරත්නගේ දියණියන් වූ සීතා, ලීනා, සෝමා (සෙනෙවිරත්න) ද සංගීත විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ පියා සහ මව වන පීටර් සිර්වර්ධන හා කරුණා දේවි ද ඔස්ටින් අබේසේකර, හර්බි සෙනෙවිරත්න ද මේ චිත්‍රපටයේ රඟපෑහ. 

අශෝකමාලා චිත්‍රපටයේ මුහුරත් උළෙල 1946 ඔක්තෝබර් 30 වැනිදා රාත්‍රියේ පැවැත්වුණු බවත්, මුල්ම දර්ශනයේ රඟපෑ මයිකල් සන්නස් ලියනගේ හා ඔස්ටින් අබේසේකරගේ රඟපෑම් දුටු එදින ප්‍රධාන අමුත්තා වූ දකුණු ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට නළු ඇම්.ජී. රාමචන්ද්‍රන් සන්නස් ලියනගේ ගේ රඟපෑම් දැක ඔහු අතට අත දී සුබ පැතූ බව ලංකාදීප පත්‍රයේ උපකතුවරයකු වූ සිරිපාල තිලකසේන වාර්තා කොට තිබුණි. 

අශෝකමාලා චිත්‍රපටයේ කතාව ගීත හා නළු නිළි විස්තර 1947 වසරේ සි​ෙලා්න් තියටර්ස් සමාගම විසින් ප්‍රකාශයට පත් කළ HERALD සඟරාවේ පළ වී තිබුණි. එහි කතා සාරාංශය ඒ ආකාරයෙන්ම පළ කරන්නේ එහි ඇති සමාජ හා ඓතිහාසික වටිනාකම සලකාය. 

එ් වූ කලී හෙළිදරව් හි මහත්ම බැරෑරුම් පරිසරයකින් යුතු අවධියෙක් වූ ක්‍රිස්තු වර්ෂයෙන් යට දෙවැනි ශත වර්ෂය වීය. නුදුරෙහි ඇති සිංහල දෙමළ සටනින් ඇති වෙන ක්ෂණික සිද්ධියකට දුටුගැමුණු රජ මුහුණපා සිටියේය. දෙජාතියක් අතර තුෂ්ටිජනක ගිවිසුමකට දුටුගැමුණු රජ මුහුණ පා සිටියේය. දෙජාතියක් අතර තුෂ්ටිජනක ගිවිසුමක් ඇති කැරැවීම සඳහා ඔවුන්ට හිමි සාලිය කුමරු සිය සියලු වෙර වෑයම් දැරීය. එහෙත් මහ රජුන් සෙනෙවි විපුලයන්ගේ කුහක පාලනය හේතු කොට කිසිම ගිවිසුමකට අවස්ථාව නොලැබිණ. 

මේ අවධියෙහි එක් දිනක සාලිය කුමරු අශෝකමාලා නම් සැඩොල් කෙල්ලකගේ රූපශ්‍රීයෙන් මන් මත් වීය. ඇය හමු වීමෙන් පසු හෙතෙම ඇගේ ලාවණ්‍යත්වය හා අහිංසකත්වය කෙරෙහි පැහැදිණ. පිළිසඳර කතායෙන් දෙදෙන වඩාත්ම හැඳින ගනු ලැබුවා හු යථා කාලයෙහි මේ ප්‍රිය සම්බන්ධත්වය ප්‍රේමයට හැරුණේය. එහෙත් ප්‍රේමයේ මාවත කුසුම් අතුරණ ලද්දක් නොවේ. සාලිය කුමරුගේ ආලය පිළිබඳ මාවතෙහි මහත්ම විස කටුව වූයේ විපුල සෙනෙවිහුය. ස්වකීය රාජ්‍ය භාර කුමරුවන්ගේත් පහත් කුල කෙල්ලකගේත් මේ නීති විරෝධී ආලය දැන ගත් හෙතෙමේ ඔවුන්ගේ සම්බන්ධත්වය කඩා බිඳ දැමීමට පමණක් නොව අවශ්‍ය වුවහොත් බලයෙන් වුව ද අශෝකමාලාව සිය වසඟයට ගැනීමට යත්න දැරිණ. 

අශෝකමාලාව කෙරෙහි මුග්ධ ආලයෙන් සිහි මුළා වූ විපුලයෝ සාලිය කුමරුන්ට විරුද්ධව නොයෙකුත් චෝදනා කොඳුරමින් පිය රජුන් සිත තවදුරටත් දූෂණය කළහ. අශෝකමාලාවට සිහසුනට ඇති උරුමය නීත්‍යානුකූල කර ගැනීම සඳහා දෙමළුන් හා සාලිය කුමරු කුමන්ත්‍රණය කෙරෙතැයි ද පැවැසූහ. 

අශෝකමාලාව අමතක කැරැවීම උදෙසා දරනු ලැබූ සියලුම ප්‍රයත්නයන් නිෂ්ඵල වූයේ රජ තෙමේ කුමරු දඟගෙයි දැමීය. සාලිය කුමරු දඟගෙයි දැමීමෙන් පසු ස්වකීය දේශයේ යහපත උදෙසා කුමරු අමතක කරන ලෙස රජ අශෝකමාලාව පෙලඹීය. ස්වකීය දේශයට යහපතක් වෙන්නේ නම් මෙම නොදැරිය හැකි වියෝ දුක ඉසිලීමට අහිංසක අශෝකාව සූදානම් වූවා සාලියගේ මාළිගය අත්හැර සිය නිවස බලා යන්නීය. කෙසේ වතුදු විපුල සෙනෙවියන්ගේ අභිප්‍රායයන් මස්තක ප්‍රාප්ති නොවූයෙන් සාලියගේ මාලිගය අතහැර යන කල්හි හෙතෙමේ ඇය ඈත හරස් ගුහාවකට ගෙන යනු ලබයි. උපායශීලීව අශෝකමාලා ඉන් මිදී පලා යන්නීය. 

රජ අණින් ඈත ගිය සාලිය කූඩුව බලා එන කුරුල්ලකු මෙන් තම පෙම්වතී සොයා එයි. නිවස පාළුය. අෑ පැන ගොස් ඇත. කුමරුගේ ඇස් ඇදහිය නොහැක. සිය පෙම සොයනු වස් පවනට බඳු වේගයෙන් ඔහු පිටත් වුණි. විපුල සෙනෙවි ඔහු හඳුනයි. ගල් ගුහාව ඔහුට පුරුදුය. විපුල සෙනෙවි සාලිය කුමරු හා සටන් වදී. සාලිය කුමරු දුන් කඩු පහරින් විපුල සෙනෙවි ලේ වැගුරුවේය. ලොවක් වටින අශෝකමාලා සාලිය කුමරුට හිමි වෙයි. මාළිගාවට පැමිණෙයි. සාලිය හා අශෝකමාලා සිංහල හා දෙමළ වැසියන්ගේ ප්‍රීති ඝෝෂා ලබති. 

ඉතිහාසයෙන් පිට පැන්නේයි අශෝකමාලා චිත්‍රපටය තිරගත වීමෙන් පසු රට පුරා ආන්දෝලනයක් ඇති කළෙ​්ය. චිත්‍රපටයේ හොඳම අංගය සංගීතය හා ගීත බව ​පොදුවේ පිළිගත් මතය විය. අශෝකමාලා චිත්‍රපටයට ජනප්‍රිය ගීත කිහිපයක් ඇතුළත් විය. 

ශාන්ත මේ රාත්‍රියේ (භාග්‍යරති), නයනා වැනි සුදෝ (මොහිදීන් බෙග් හා භාග්‍යරති), ප්‍රීති ප්‍රීති (භාග්‍යරති), හෝ හෝ බැබළේ (මොහිදීන් බෙග් හා භාග්‍යරති), ආලේ මාගේ හර්දේ පීරේ (මොහිදීන් බෙග්) මේ ගීත අතර වෙයි. ඩබ්ලිව්.ඩී. ඇල්බට් පෙරේරා (අමරදේව) පසුබිම් ගායකයකු ලෙස දොරට වඩින්නේ ‘භවේ භීත හැර’ හා ‘ඇයි කළේ යමකු ආලේ’ ගීත දෙක ගයමිනි. තාපසයකු ලෙස රඟපෑ අතර මොහිදීන් බෙග් මොහොමඩ් ගවුස් තබ්ලා නඩරාජා සමඟ රාජ සභාවේ සභිකයන් මෙන් රඟපෑම ද විශේෂයකි. 

අශෝකමාලා චිත්‍රපටයේ සියලු ගීත රචනා කළේ විදුහල්පතිවරයකු වූ ඩී.ටී. ප්‍රනාන්දුය. චිත්‍රපටයේ රන්කිරා නොහොත් අශෝකමාලාගේ පියා ලෙස රඟපෑ ඩබ්ලිව්. දොන් එඩ්වඩ් මෙරට තිරගත වූ ප්‍රථම ලාංකේය නිහඬ චිත්‍රපටය වූ ‘පළි ගැනීම’ (1936) කැමරාව මෙහෙයවා අධ්‍යක්‍ෂණය කළ පුරෝගාමියාය. 1947-1951 දක්වා තොරතුරු ඇතුළත් OCIC චිත්‍රපට වාර්ෂිකයට සිරි අබේසේකර හා ගාමිණී ගුණතිලක විසින් අශෝකමාලා ගැන අගනා වාර්තාවක් සපයා ඇත. 

මොහිදීන් බෙග් මුල්වර ගීත ගැයූ අශෝකමාලා චිත්‍රපටයේ මුල් වරට පිටපත් 10ක් ප්‍රදර්ශනය වීමත්, එකම ගීතය දෙවාරයක් යෙදීමත් කැමරාවෙන් විවිධ ප්‍රයෝග යෙදීමත් විශේෂ සිද්ධි ලෙස වාර්තා වෙයි. චිත්‍රපටයේ කැමරාව මෙහෙය වූ එම්. මස්තාන් පසු කලෙක ධීවරයෝ, අල්ලපු ගෙදර, සූර චෞරයා, ආත්ම පූජා වැනි වාණිජ චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේය. 

මාස 5 යි දින 19කින් රූපගත කොට තිරගත කළ මේ චිත්‍රපටයට රුපියල් ලක්ෂ 3ක් වැය වී ලක්ෂ 15ක ආදායමක් ලැබී ඇතැයි වාර්තා වේ. 

1947 අප්‍රේල් 09 වෙනිදා රීගල් සිනමා හලේ තිරගත වී ඇත්තේ ඩී.ඇස්. සේනානායක මහතාගේ සහ මැතිනියගේ ප්‍රධානත්වයෙනි. 

මේ චිත්‍රපටයට මූලික වශයෙන් චෝදනා එල්ල වූයේ ඉතිහාසය විකෘති කිරීම මුල් කරගෙනය. සිංහල බලය පත්‍රයට චිත්‍රපටය ගැන කවියෙන් විචාරයක් ලියූ ගෝවින්නේ යසපාල සමරනායකගේ අවසන් කවිය මෙයයි.

සාලිය කුමරුනි මාලා එකමුතු ය   
විපුලත් කිරා රඟපෑ හැටි සුදු මු තුය   
සංගීතයෙ කොටස ගැන පැසසිය යු තුය   
ඉවසිය නොහැක ඉතිහාසය කම් මු තුය   

අලුත් ප්‍රවෘත්ති හා චරිත ද ඇඳුම් පැලඳුම් හා ගෙවල් දොරවල් ද කාලයටත් ඉතිහාසයටත් විරුද්ධ වීම නිසා අශෝකමාලා නාටකය ඉතිහාසය දූෂණය කරන බව මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් 1947 අප්‍රේල් 27 වෙනිදා සිළුමිණ පත්‍රයට ලියා තිබුණි. එවකට ඔහු සිළුමිණ කර්තෘවරයා විය. ප්‍රථම සිංහල කතා නාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවට වඩා අශෝකමාලා බෙහෙවින්ම උසස් බව කියන වික්‍රමසිංහයෝ එහි අශෝකමාලා, සාලිය, රන්කිරා, විපුල යන ආදීන් මෙන් පෙනී සිටි නළුවන්ට ප්‍රශංසාව හිමි කළහ.

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියූ උපන් දා සිට කෘතියේ අශෝකමාලා චිත්‍රපටය ගැන (පිටු 313 මුල් මුද්‍රණයේ) මෙසේ සඳහන් වේ. 

“අශෝකමාලා හා ගැමුණු කුමාරයා පිළිබඳ චිත්‍රපටය මහජනයාට දක්වන්ට පෙර ලොකු මිනිසුන් ටික දෙනකුට පෙන්වනු ලැබීය. අගමැති ඩී.ඇස්. සේනානායක ඒ චිත්‍රය අපේ බලාපොරොත්තු ඉක්මවන තරම් උසස් නිර්මාණයක් යයි කීවේය. කබල් ග්‍රාම්‍ය සිනමා සිත්තම ගැන කරන ලද මේ වර්ණනාව අසා කිපුණු ඩී.ආර්. විජේවර්ධන ඒ සිත්තම ගැන හොඳ විවේචන දෙකක් ඩේලි නිවුස් පත්‍රයටත් දිනමිණටත් ලියන්න යයි. ජී.ජේ. පද්මනාදන්ටත් (ජයන්ත පද්මනාභ) මටත් කීවේය. කතෝලිකයකු වන ගාඩිනර් සැපයූ ඒ සිත්තමෙන් දුටුගැමුණු රජ කොන්ද බිඳුණු නිවටයකු කරනු ලැබීය. ඒ සිත්තම බැලූ අප දෙදෙනාම ලියුවේ නිර්දය විවේචන දෙකකි.” 
‘අශෝකමාලා සිංහල චිත්‍රපටයෙන් කෙරුණු සමච්චලයට වග කිව යුතු මිනිසා කවුද?’ මාතෘකාවෙන් ​ෙතරතුරු සඟරාවේ (Views and Reviews පිටුවට) විචාරකයකු නමින් විචාරයක් 1947 මැයි 2 කාණ්ඩය/ 3 වැනි කලාපයට ලියූ ලියුම්කරුවකු මේ රටේ කා අතරත් ඉර හඳ මෙන් ප්‍රකට ලොව කිසියම් අනෙක් ප්‍රේම කතාවකට නොදෙවෙනි ප්‍රේම පුවත කැත වී කළු පැල්ලම් ගැසී නැසීගත ලෙසින් චිත්‍රපටයට නගා තිබීම ශෝක ජනක බව සඳහන් කර තිබුණි. මෙම සඟරාවටම අශෝකමාලා චිත්‍රපටයේ නිෂ්පාදක ගාඩිනර් මහතාට විවෘත සංදේශයක් ලියන ලංකාපුර දණ්ඩනාථ මෙසේ ලියා ඇත. 

“කිසිම සිංහලයකුගේ ඇස ගැසෙන්නට නොදී කසළ කඩක් මෙන් විසි කර දැමිය යුතුව තිබුණු මේ නින්දිත නිකෘෂ්ට චිත්‍රපටය ප්‍රදර්ශනයට හොබනා මා හැඟි කලා වස්තුවකැයි මුලදීම සහතික පත්‍ර ප්‍රදානයෙහි යෙදුණු අපේ ඇමැති මාල්ලන් ඇතුළු අතිපණ්ඩිතයන් මේ සම්බන්ධයෙන් ඔබටත් වඩා නින්දා ලැබිය යුතුය. දඬුවම් ලැබිය යුතුය. සෙසු කිසියම් රටක නම් ප්‍රදර්ශනයෙහි යෙදෙන හැම නෘත්‍ය ශාලාවක්ම බංකු පුටු කැඩී ජවනිකාවලට ගොම ගැසී ගිනි ගැන්නී යන තරම් සාපරාධී වූ මේ චිත්‍රපටය එඩිතරව සිංහලයන්ට ප්‍රදර්ශනය කරවීමෙන් ඔබ කරන්නේ සමච්චලයකි. සරදමකි.” 

පෙරමුණ, සරසවි සඳරැස, සිංහල බෞද්ධයා යන පුවත්පත්වලින් මේ චිත්‍රපටයට දැඩි විවේචන එල්ල කර තිබුණි. 

එසේ කෙතරම් චෝදනා එල්ල වුව ද ගල් මුල් වැදුණ ද එය ජනප්‍රිය චිත්‍රපටයක් විය. ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වී ඇත. 

ප්‍රථම කතා නාද චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා තිබුණේ තියුණු සටනකි. ඒ කඩවුණු පොරොන්දුව හා අශෝකමාලා අතරය. තරගයෙන් ජය ගත් කඩවුණු පොරොන්දුව 1947 ජනවාරි 21 වැනිදා ප්‍රදර්ශනය වූ අතර ඊට මාස තුනකට පසු 1947 අප්‍රේල් 09 වැනිදා අශෝකමාලා ප්‍රදර්ශනය විය. 

ශාන්ති කුමාර් සෙනෙවිරත්න යනු සිංහල සිනමාවේ පුරෝගාමියෙකි. ඔහු දක්ෂ නැටුම් ශිල්පියෙකි. භාරතයේදී ගෝපිනාත් නම් විශිෂ්ට නාට්‍යවේදියාගෙන් ශිල්ප හැදෑරූ ඔහු සිංහල බස හැරුණු විට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙකි. මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පසුව හින්දි, දෙමළ, ගුජරාටි, මරාටි, පන්ජාබ්, උර්දු, මලයාලම්, තෙළිඟු, බෙංගාලි භාෂා කතා කිරීමේ දක්‍ෂයකු විය. භාරතයේ දී ආණ්ඩුකාරවරයකුගේ සැලකුම් ලැබුවේ ඔහුගේ නර්තන දැකීමෙනි. 

මීට කලින් චිත්‍රපට කළ කිසිවකු නොසිතූ මඟක ගිය ශාන්ති කුමාර්ට පුදුම එළවන චිත්ත ධෛර්යයක් තිබූ නිසා ඔහු ඉතිහාසගත වන චරිතයකි. අශෝකමාලා වැනි ඉතිහාස කතාවකින් චිත්‍රපටයක් කිරීමට ආත්ම ශක්තියක් හා මානයකින් කළ එඩිතර නායකයෙකු බව මයිකල් සන්නස් ලියනගේ පවසා තිබුණි. ශාන්ති කුමාර් සිංහල සිනමාවක් බිහි කිරීමට අවංකව කැපවූ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් දෙදෙනාගෙන් කෙනෙකි. අනික් තැනැත්තා සිරිසේන විමලවීරය.





එ්.ඩී. රන්ජිත් කුමාර  

ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනෙරත්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.