ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 25, 2019

* මතක් වුණොත් සිහිය නැතිවන තරමේ ගනුදෙනුවක්
* හදපු බිල්ඩිම නැවත හදන්න තවත් කෝටි ගණනක් වියදම් කරලා
* ගෘහ භාණ්ඩ මිලට ගන්න නාස්තිකාර වියදමක් 

 නැවතත්, යහපාලන ආණ්ඩුවේ ‘පරණ කතාවක්’ සහ ‘අලූත් කතාවක්’ කියන්නට සිදුව තිබේ. යහපාලන ආණ්ඩුවට අවුරුදු හතරක් ගතවූ තැන මේ ‘අලූත් - පරණ’ කතා කියවන්නට යැයි අප කියන්නේ ඒ අවුරුදු හතර තුළ අප බත් වෙනුවට තණකොළ කා දමා ඇති ප‍්‍රමාණය සිහිපත් කරවන්නටය. අලූත් කතාව මෙසේය.

ජනාධිපතිවරයා විසින් 2015.01.15 දා සිට 2018.12.31 දක්වා සිදුව ඇති වංචා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ කොමිෂන් සභාව මේ දිනවල සාක්‍ෂි කැඳවන්නේ බත්තරමුල්ල ඞී. පී. ජේ. ගොඩනැගිල්ලට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඒමේදී සිදුව ඇති අක‍්‍රමිකතා පිළිබඳවය. හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පසුගිය දිනවල එහි සාක්‍ෂි ලබාදීම සඳහා කැඳවා තිබිණි.

ජනාධිපති කොමිෂන් සභාවේ සාක්‍ෂි කැඳවන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලකි. මෙම විනිසුරු මඬුල්ල මතුකළ ප‍්‍රශ්න වලදී දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයා පිළිතුරු දී තිබුණේ අපූරු ආකාරයකටය. නීතිඥ සහායකයකු නොමැතිව කොමිසම ඉදිරියේ පෙනී සිටි ඔහු ලබාදී තිබෙන පිළිතුරු, අමුතුය. නොඑසේනම් බොහෝ දේශපාලනඥයන්ට වැලඳෙන ආකාරයේ ‘අමතක වීමේ’ රෝගය වැලඳුනු ගාණය. සමහර පිළිතුරු ‘ආඳා න්‍යායේය.’ කරුණු පැහැදිලි කරගැනීම සඳහා එම සාක්‍ෂි කැඳවීමේ අවස්ථා කිහිපයක් අපි සඳහන් කරන්නෙමු. දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයාගෙන් කොමිසම එක් අවස්ථාවක විමසා සිටියේ ‘ඇමැතිකම බාරගත්තේ කවදාද’ යන්නයි. ඊට පිළිතුරු වශයෙන් දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයා 2015 වර්ෂයේ යැයි පැවසූ නමුත් මාසයක් හෝ දිනයක් සඳහන් කළේ නැත. ඊළඟට කොමිසම ප‍්‍රශ්න කළේ ‘කවදා වනතුරු ඇමැති තනතුරේ සිටියේද’ යන්නයි. ඊට කිසිදු ලජ්ජාවකින් තොරව දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයා ලබාදුන් පිළිතුර වූයේ ‘මට මතක නෑ’ යන්නය. ‘එම කාලය තුළ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ කවුද?’ යන ප‍්‍රශ්නය හමුවේ දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයා නිරුත්තර වූ අතර නම සිහිපත් කිරීම සඳහා දැඩි වෙහෙසක් ගන්නා බව පෙනෙන්නට තිබිණි. එවකට අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි බදුල්ලගේ විජේරත්නගේ නමට ආසන්න නමක් පිළිතුර ලෙස දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයා කී විට කොමිසමේ සභාපති උපාලි අබේරත්න විනිසුරුවරයා කීවේ ‘තමාට ඇමැතිකම බාරගත් දවස මතකයේ නැත්නම් ලේකම්වරයාගේ නම අමතක වීම පුදුමයට කාරණයක් නොවේ’ යනුවෙනි. කෙසේ හෝ දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයා කොමිසමේ ප‍්‍රශ්න කිරීම් වලදී ප‍්‍රශ්නය තේරුම් නොගෙන කිහිප විටක්ම ඒ ගැන නැවත නැවත අසා සිටීම පැහැදිලිවම පෙනෙන්නට තිබූ කාරණයකි. කොමිසමේදී හෙළිවූ කාරණා අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාගත් රාජගිරියේ පිහිටි ඞී. පී. ජේ. ගොඩනැඟිල්ලේ ගිවිසුම නීතිපතිවරයා අනුමත කර නැත. සාක්‍ෂි ලබාදුන් දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයා සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පිහිටා තිබූ ගොවිජන මන්දිරයට පාර්ලිමේන්තුවේ ආංශික කාර්යාංශය ගෙන ආ යුතු බව ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට අවස්ථා ගණනාවකදී පැවසූ නිසා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ඞී. පී. ජේ. ගොඩනැඟිල්ල ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාගත් බවය. එහෙත්, එතරම් හදිසි අවශ්‍යතාවක් පෙන්වා නව ගොඩනැඟිල්ලකට ගොවිජන මන්දිරය ගෙන ගියද ගොවිජන මන්දිරය වෙත පාර්ලිමේන්තුවේ ආංශික කාර්යාංශ මේ වන විටත් ගෙන ගොස් නැති බව අපි පාඨකයන්ට මතක් කර සිටිමු. ඒ ගැන දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයාගෙන් විමසීමේදී කියා තිබුණේ ‘එය ස්ථාපිත නොකිරීම තමාටත් ගැටලූවක්’ බවය.

මේ ‘අලූත් කතාව’ අනුව අප තේරුම් ගත යුත්තේ දේශපාලනඥයන් සිදුකරන ඕනෑම තක්කඩි වැඩක් අවසානයේ, එය රටට හෙළිදරවු වූ පසු ‘තමාටත් ගැටලූවක්’ නැති බව කියා අත පිස ගැනීම පුරුද්දට ගොස් ඇති බව පමණය. ඒ නිසාම දුමින්ද දිසානායක තරුණ මන්තී‍්‍රවරයාට අමතකව ඇති කාරණයකින්, ගැටලූවක් වී ඇති කාරණාවක්, පැහැදිලි නොවන කාරණා ද නිරාකරණය කරගනු පිණිස, මේ කතාවේ අතීත කතාව (පරණ කතාව) නැවතත් මෙසේ ලියා තබමු. සිහිතබා ගත යුතු කාරණය වන්නේ මේ ගනුදෙනුවට මැදිහත් වූ දිමින්ද දිසානායක මන්තී‍්‍රවරයා ‘යහපාලනය’ වෙනුවෙන් පෙර ආණ්ඩුවෙන් එළියට බැස්ස අය අතර ප‍්‍රමුඛයකු බවය. එමෙන්ම 2015 සිට 2018 දක්වා සිදුව ඇති දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති කොමිසම පත්කරන්නේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා බවය. මෙය ‘විහිළුවක්’ නොවන බවද සියල්ලෝ දැනගත යුතුය.

පරණ කතාව

කෘෂිකර්ම අමාත්‍යාංශය නව ගොඩනැඟිල්ලට ගෙන යෑමේ අපූරු ගනුදෙනුව

ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන්ට තමන්ගේ අමාත්‍යාංශ ගොඩනැඟිල්ල රුපියල් කෝටියක් දෙකක් වියදම් කර අලූත්වැඩියා නොකළොත් හිතට හරි නැත. අලූත්ම ගෘහ භාණ්ඩ ලබාගැනීමට තවත් කෝටියක් දෙකක් වියදම් නොකළොත් ?ට නින්ද යන්නේ නැත. ඒ නිදි වැරීමේ ඇරියස් අල්ලන්නේ පාර්ලිමේන්තුවේදීය, (ඉහළ පෙළේ

රැස්වීම් වලදීය.) අලූත් ඇමැති මණ්ඩලයට පොදු මේ කාරණය කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකට ද පොදුය. ඒ නිසාම එදා 2015 වර්ෂයේ දෙසැම්බරය වන විට සිය අමාත්‍යාංශය සඳහා අලූත් ගොඩනැඟිල්ලක් සෙවීය. ඒ සාධාරණ හේතුවක් නිසාය. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා නව ගොඩනැඟිල්ලක් අවශ්‍යව තිබිණි. ඒ දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභාව පවත්වාගෙන යෑම පිණිස පාර්ලිමේන්තුවට ලබාදීමට නියමිත නිසාය. බත්තරමුල්ල රජමල්වත්තේ පිහිටි ගොවිජන මන්දිරය තුළ වනජීවී අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය පවත්වාගෙන යමින් තිබිණි. එම ගොඩනැඟිල්ල පාර්ලිමේන්තුවට ලබාදීමේදී අදාළ අමාත්‍යාංශයන් පවත්වාගෙන යෑමට ‘වෙනත් රජයේ ගොඩනැඟිලි’ භාවිත කරන ලෙස උපදෙස් ද ලබාදී තිබිණි.

ආසන්නතම යෝජනාව වූයේ ‘සෙත්සිරිපායයි.’ වනජීවී අමාත්‍යාංශයත්, විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයත් වහාම සෙත්සිරිපායේ සිය අමාත්‍යාංශ ස්ථාපිත කිරීමට කටයුතු යෙදීය. නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැඟිල්ලට යෑම එකහෙලා ප‍්‍රතික්‍ෂේප කර තිබිණි. හේතුව එම ගොඩනැඟිල්ලේ ප‍්‍රමාණවත් ඉඩ පහසුකම් නැති බව කියමිනි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගරු ඇමැති දුමින්ද දිසානායකගේ පෙර වාසනා මහිමයකට සිය අමාත්‍යාංශය සඳහා ‘වටිනා ගොඩනැඟිල්ලක් හමුවන්නේ ඔය අතරවාරයේය. එහෙත් පොඩි පරහක් තිබිණි. ඒ එම ගොඩනැඟිල්ල ‘උපදෙස් ලැබී තිබුණු පරිදි රජයේ ගොඩනැඟිල්ලක්’ නොවීමය. පෞද්ගලික සමාගමකට අයත් එම ගොඩනැඟිල්ල පිහිටා තිබුණේ

රාජගිරිය පාර්ලිමේන්තු පාරේ අංක 288 දරන ස්ථානයකය. දැන් මේ කතාව හරියට චිත‍්‍රපටයක පිටපත වගේය. ‘ප‍්‍රධාන නිළියක්’ සිටින මුත් සිංදු, ෆයිට් නැත. දුෂ්ටයෙක් ද නැත. ඒ නිසාම රජයේ ගොඩනැඟිලි සෙවීම පසෙක තබමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක එම ගොඩනැඟිල්ල මිලදී ගැනීමට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන්නේය.

ඒ 2015 දෙසැම්බර් මාසයේදීය. එහෙත් ඒ මොහොතෙහි ඊට කැබිනට් අනුමැතිය හිමිවන්නේ නැත. එම ඉල්ලීම සලකා බැලීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කරන ලද මුත් ඊට පසු සිදුවූ දෙයක් ගැන වාර්තා වන්නේ ද නැත. 2016 පෙබරවාරි 17 වැනිදා මේ කාරණය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. ඒ කුලී පදනම මත එම ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීම සඳහාය. 2016 මාර්තු 02 වැනිදා ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබිණි. එහෙත් ‘සිහිබුද්ධිය තිබෙන අතළොස්සක් හෝ සිටින නිසා මේ ගැන බරපතල සැකසංකා මතුව තිබිණි. එහිදී වඩා වැදගත් වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ වාර්තා දැක්වීම මේ සම්බන්ධයෙන් අතිශය වැදගත්ය. විගණකාධිපතිවරයාගේ නිගමනයට අනුව මේ ගනුදෙනුව ප‍්‍රසම්පාදන පටිපාටියේ නීතිරීතිවලට පටහැනිය. ඒ මෙසේය.

* ටෙන්ඩර් පටිපාටිය අනුව ගොඩනැඟිල්ල මිලදී ගැනීමට කටයුතු කර නැත.

* වර්ග අඩියකට රුපියල් 167.50 කට මාසික කුලියක් අය විය යුතු යැයි කියන ගොඩනැඟිල්ල හිමිකරුගේ කතාව කෘෂිකර්ම අමාත්‍යාංශය (හෝ ඇමැතිවරයා) කිසිදු වගවිභාගයකින් තොරව පිළිගෙන තිබේ.

* තක්සේරු වාර්තා දක්වන්නේ වර්ග අඩියක මිල රුපියල් 150 ක් බවය. (වැඩිපුර රුපියල් 17.50 ක් ගෙවීමට අමාත්‍යාංශය කැමැත්ත පළ කර තිබේ.)

* ගොඩනැඟිල්ල මිලදී ගැනීමෙන් වසර තුනකට පසුව සියයට පහළොවක මාසික කුලිය වැඩිවීමක් සිදු වේ.

* දෙවසරක් සඳහා කුලී අත්තිකාරමක් ද අවශ්‍ය බව ගිවිසුමේ කොන්දේසි අතර වේ.

කෙසේ හෝ විගණකාධිපතිවරයාගේ නිගමනය වී ඇත්තේ එම ගොඩනැඟිල්ල කුලියට ගැනීමේදී විචක්‍ෂණයකින් තොරව කටයුතු කර ඇති බවය. මේ සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයේ නිරීක්‍ෂණ ඇතුළත් අංක ඒජීඑල් /සී/15/ඒකිව්/ 21 (AGL/C/15/AQ/21) විගණන විමසුමෙහි මේ කරුණු දක්වා තිබේ.

මේ ගැන මාධ්‍ය මගින්ද අනාවරණය කෙරිණි. අපේ‍්‍රල් මස 20 කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා තිබුණේ ගොඩනැඟිල්ල මිලදී ගැනීම අත්හිටු වූ බවය. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුව තිබුණේ විගණන වාර්තාවට ද කොකා පෙන්වමින් ඒ වනවිටත් එනම් මාර්තු 8 වැනිදා වනවිට ගොඩනැඟිල්ලේ හිමිකරුගේ කොන්දේසි ප‍්‍රකාරව දෙවසරක කුලී අත්තිකාරම් සමග අපේ‍්‍රල් මාසයේ කුලිය ගෙවා අවසන් කර තිබීමය. ඒ අනුව රුපියල් දෙකෝටි දශලක්‍ෂයක් (රු. 2,10,00,000) වූ මාසික කුලිය දෙවසරකට රුපියල් පනස් කෝ්ටි හතළිස් ලක්‍ෂයක් ලෙස කුලී අත්තිකාරම් ද සමගින් ගෙවා අවසන් කර තිබිණි. එම මුදල් ගෙවීම් කර තිබෙන්නේ අංක 138/4 සහ 139/4 යන වවුචර මගිනි.

පැහැදිලිවම මේ සිදුව තිබෙන්නේ අදාළ බලධාරීන්ට සේම රටේ ජනතාවටත් කොළේ වසා ගැහිල්ලකි. මේ තක්කඩි ගනුදෙනුව අනුව මසකට එම ගොඩනැඟිල්ලට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි එකහමාරකි. ඊට අඩුවෙන් තැනක් සොයා ගැනීමට හැකියාවක් තිබුණේ නැතැයි කියන බොරුව රටේ ජනතාව හිස් මුදුනින් පිළිගත යුතුය.

නොගිය ගොඩනැඟිල්ලට කුලී

එම සිදුවීමෙන් මාස හතරකට පසු සිදුවූ දේ ගැන මෙතැන් සිට ඔබ කියවන කතාව සිහිබුද්ධියෙන් කියවිය යුතුය. ඊට හේතුව මේ රටේ ජනතාව (ඔබ) ගොනාට ඇඳ ඇතැයි සිතන දේශපාලනඥයන්ගේ කෙරුවාව කෙසේදැයි විස්තර කරන්නට මීටත් වඩා උදාහරණ නැති නිසාය. ඒ තරම් හීන් නූලෙන් වැඩ කළ කෘෂිකර්ම ඇමැතිවරයා ඒ වනවිට එම ගොඩනැඟිල්ලේ පදිංචියට ගොස් ඇතැයි ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය. ඒ වන විටත් කෘෂිකර්ම අමාත්‍යාංශය තිබුනේ බත්තරමුල්ලේ රජමල්වත්තේය. එහෙත් පොරොන්දු ප‍්‍රකාරව දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ සිහින ගොඩනැඟිල්ල වෙනුවෙන් කුලිය ගෙවා තිබේ. නිවැරැදිව කීවොත් ගෙවීගිය මාස හතරට ගෙවිය යුතු රුපියල් අටකෝ්ටි හතළිස් ලක්‍ෂයක කුලිය ගෙවන්නට කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ දිනවල කටයුතු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ නව ගොඩනැඟිල්ලට යෑම පමා වන්නේ දුමින්ද දිසානායක ඇමැතිවරයාට ‘නැකතක්’ හරි ගියේ නැති නිසා නොවේ. එම නව ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා කොතරම් යෝග්‍ය ද යන්න පිළිබඳව ලබාදී ඇති වාර්තාව නිසාය. සරලව කිවහොත් 2016 මැයි 05 දින ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව, වාණිජ සාප්පු සංකීර්ණයක් ලෙස නිර්මාණය කර ඇති ගොඩනැඟිල්ල කාර්යාලයීය කටයුතු සඳහා භාවිත කිරීමට නම් එහි වෙනස්කම් සිදු කළ යුතුය. එහි වැදගත්වන කාරණා කිහිපයක් පමණක් සටහන් කරන්නේ මේ අවලස්සන ගනුදෙනුව යහපාලනයට කොතරම් නොගැළපෙන්නේ දැයි තේරුම් ගැනීමටය.

අදාළ වාර්තාවට අනුව මේ ගනුදෙනුව සඳහා පාදක වූ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා එම ගොඩනැඟිල්ල පිහිටි මුළු ඉඩමම භාවිත කර තිබේ. ඒ නිසා කසළ එකතු කිරීමට අප ජලය, මළ ජලය පිළිසකර යන්ත‍්‍රාගාරයක් සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ. එමෙන්ම එම ගොඩනැඟිල්ලේ ගිනි ආරක්‍ෂණ කි‍්‍රයාදාමය, ගිනි නිවන දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂා කිරීම්වලට ලක් විය යුතු බවත්, හදිසි පිටවීම් සඳහා අතිරේක පඩිපෙළක්, විදුලි සෝපානයක්, හදිසි තත්ත්වයකදී රැස්වීමේ ස්ථානයක් හා ගිනි නිවීම් රථ ප‍්‍රවේශවීමේ හැකියාව තිබිය යුතු බවත් එම යෝජනා නිර්දේශවලින් පෙන්වා දී තිබේ.

එම වාර්තාවේ සඳහන් වන පරිදි ගොඩනැඟිල්ලේ එහි එක් මහලකට ඇත්තේ ඇම්පියර් 100 ක තෙකලා විදුලි ධාරිතාවක් පමණි. ඉන් වැඩි ප‍්‍රමාණයක් එනම්, ඇම්පියර් 95 ක පමණ ප‍්‍රමාණයක් වැය වන්නේ වායු සමීකරණ යන්ත‍්‍ර සඳහාය. ඉතිරි ඇම්පියර් පහක ප‍්‍රමාණයෙන් මුළු මහලේ ඉතිරි විදුලි අවශ්‍යතා පිරිමැසිය නොහැකි නිසා අමතර ඇම්පියර් 60 ක විදුලි ධාරිතාවක් අවශ්‍ය වන බව එම වාර්තාවේ සඳහන් ය.

(මේ කියන්නේ අමාත්‍යාංශයක නොව ඕනෑම කුඩා කාර්යාලයක වුව භාවිත කෙරෙන පරිගණක, මුද්‍රණ යන්ත‍්‍ර, ෆොටෝ කොපි යන්ත‍්‍ර වැනි දෑ ගැනය.) එමෙන්ම එහි ක‍්‍රියාත්මක පරිදි තට්ටු හතක ගොඩනැඟිල්ලේ 500 ක පමණ පිරිසකට යෑමට ඒමට ඇත්තේ එක්වර හත්දෙනකුට පමණක් යා හැකි විදුලි සෝපාන යන්ත‍්‍ර දෙකකි. එම විදුලි සෝපානද අලූත්වැඩියා කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් වී තිබේ. ප‍්‍රශ්නය වන්නේ ගොඩනැඟිල්ලේ ගනුදෙනුව සිදුවන විට විදුලි සෝපානයක ගමන් කළ හැකි ගණන 16 ක් ලෙස සඳහන්ව තිබීමත්, එහෙත් ඇත්ත වශයෙන්ම එහි ගමන් කළ හැකි ප‍්‍රමාණය 07 (හතක්) පමණක් වීමත් ය. ගොඩනැඟිල්ලේ නොසුදුසු බව ගැන කියන්නට තවත් උදාහරණ බොහෝය. ගොඩනැඟිල්ල කුලියට ගැනීමට පෙර මේ කිසිදු කාරණයක් ගැන සැළකිල්ලක් නොදක්වා ඇති බව ඉන් ඉඳුරාම පැහැදිලිය. මේ ගනුදෙනුවේ අතිශය දූෂිත, නාස්තිකාර ඊට පසු කතාව තවත් දරුණුය.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් අදාළ ගොඩනැඟිල්ල කාර්යාල පරිශ‍්‍රයක් සඳහා සකස් කිරීමටත් ඊට අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාගැනීම සඳහාත් රුපියල් මිලියන 402 ක් (කෝටි හතළිහක්) වැය වන බවට නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව අපි 2016.08.07 වැනිදා දිවයින ඉරිදා සංග‍්‍රහය මගින් අනාවරණය කර සිටියෙමු. එමෙන්ම එම මුදල වියදම් කර ගොඩනැඟිල්ල කාර්යාල කටයුතුවලට ගැළපෙන සේ සකස් කිරීමට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ කාර්යාංශයට වසරක කාලයක් ගත වන බවද ඒ දිනවල වාර්තා විය. පෞද්ගලික අංශයට එය ලබා දුන්නද ඊට ද මාස ගණනාවක් ගත විය හැකි බව විෂය ප‍්‍රාමාණිකයෝ පෙන්වා දි තිබිණි. ඒ අනුව ‘නිකං කුලී ගෙවීම’ බොහෝ කාලයක් ඇදී යෑම වැළැක්විය නොහැකි කාරණයකි. පසුව අනාවරණය වූ පරිදි එම ගොඩනැඟිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ලී භාණ්ඩ සැපයීමට හා සවිකිරීමට රුපියල් කෝටි 14 ක් ද, කාමර හා කාර්යාල වෙන් කිරීමට, කාපට් ඇතිරීමට, විදුලි පද්ධති හා වා සැකසුම් ඇති කිරීමට තවත් රුපියල් කෝටි 11 ක් ද වශයෙන් රුපියල් කෝටි 25 ක මුදලක් වැය කිරීමට නියමිත බවය. කෙසේ හෝ ඒ වන විට එම කාර්යය සඳහා ටෙන්ඩර් කැඳවා තිබිණි.

නාස්තිය දූෂණය අඩු කරනවා යැයි කියමින් බලයට පැමිණි ආණ්ඩුවක ඇමැතිවරයකුගේ මේ නාස්තිකාර වියදම් අහන දකින විට ඇඟ කිළිපොලා නොයන්නේ කාගේ දැයි අපි අසන්නට කැමැත්තෙමු.

කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව බත්තරමුල්ල ප‍්‍රදේශයේ හෙක්ටයාරයක පමණ භූමි භාගයක් තිබේ. කෘෂිකර්ම ඇමැතිවරයාටත් මේ කසන සල්ලි වියදම් කර එම ඉඩමේ ඊටත් වඩා අඩු වියදමකින් සියලූ පහසුකම් සහිත ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට හැකියාව තිබිණි. ඒ ගැන හිතන්නටවත් උත්සාහ නොකර මේ සිදුකර ඇති නොපනත්කම ආණ්ඩුවේ උදවිය ඉවසා සිටියේ කොහොමද යන්න ප‍්‍රශ්නයකි. රටේ ආර්ථිකය මේ වන විට තිබෙන්නේ නරකම තැනකය. රටට ලැබෙන ආදායම ආණ්ඩුවේ ණය සහ පොලී ගෙවීමටවත් බැරි තරම් අවමය. ඒ වෙනුවට හිරකරන්නේ ජනතාවගේ බෙල්ලය. පටි තද කරගත යුත්තේ අපය. ආණ්ඩුවට බදු සහ දඩවලින් හැර ආදායම් උපදවා ගැනීමේ වැඩපිළිවෙළක් ද නැත.

දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය තිබෙන්නේ අදාළ ඞී. පී. ජේ. ගොඩනැගිල්ලේය. ජනාධිපති කොමිසම ප‍්‍රශ්න කරන්නේ ඒ ගැනය.

අපට කියන්නට ඇත්තේ පටියක් නොව පටි කිහිපයක්ම තදකරගෙන අප මේ සියල්ල දෙස බලා සිටින බව පමණය.
උදේශ සංජීව ගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.