‘ඉන්නේ වෙඩිබෙහෙත් ගබඩාවක නම් දෙවියන්ගේ
නාමයෙන් වුවද ඉටිපන්දම් පත්තු නොකරන්නැ’ යි කතාවක් තිබේ. අපේ රටේ නායකයන්ට
මේ අවස්ථාවේදී සරලම ආකාරයෙන් දිය හැකි ප්‍රබලම පණිවුඩය මෙය බව අපගේ
විශ්වාසයයි. පසුගිය ඉරිදා සිදුවූ මෙරට ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ
දරුණුම ත්‍රස්තවාදී ප්‍රහාරයට පසුව රට ඉදිරියට ගෙනයාමට නම් රටේ කොතැනකවත්
“වෙඩි බෙහෙත්” ගබඩා තිබිය යුතු නැති බවට ජනතාවට සහතිකයක් තිබිය යුතුය. එය
කළ හැක්කේත් කළයුතු වන්නේත් ආණ්ඩුවයි. එම වගකීමෙන් මිදීමට ආණ්ඩුවට කිසිම
හැකියාවක් හෝ යුතුකමක් නැත.
පාස්කු ඉරිදා දේව මෙහෙය මෙරට අන්තවාදී කල්ලියකගේ කුරිරු වුවමනාවක් ඉටුකර ගැනීමට යොදවා ගැනීම මෙරට සිදුවූ බිහිසුණු ඛේදවාචකයක් බව කිව යුතුය. ප්‍රහාරය කොතරම් දරුණු වුවද වේදනාත්මක වුවද අප රටක් වශයෙන් යළිත් නැගී සිටිය යුතුය. යුද්ධයෙන් පසුව වසර දහයක් තිස්සේ මේ රටේ ජනතාව භුක්ති විඳි අප්‍රමාණ වූ නිදහස යළි අහිමි කරගැනීමට මේ රටේ කිසිදු ජාතියකට හෝ ආගමකට හෝ අයත් කිසිම පුද්ගලයකුට හෝ අවශ්‍යතාවක් ඇතැයි අපි මොහොතකටවත් නොසිතමු. මේ අවස්ථාවේ “මුස්ලිම් තව්හීඞ් ජමාත්” සංවිධානයේ ක්‍රියා හේතුවෙන් බලවත් අසීරුතාවකට පත්ව සිටින රටේ සෙසු ජනතාවට නිදහසේ කටයුතු සිදුකර ගැනීමට තිබිය යුතු වාතාවරණය යළි ඇති කර ගැනීමට සියලු ජනතාවගේ සහයෝගය ලැබීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එය යථාර්ථයක් කර ගැනීමේ පුරෝගාමී මෙහෙවර ඉටුවිය යුත්තේ ආණ්ඩුව අතිනි.
තව මාසයකට නොඅඩු කාලයකදී වෙසක් සමය එළඹෙයි. මෙවර වෙසක් උළෙල සැමරීම කොයි
ආකාරයකට සිදුවන්නේදැයි දැන්ම කිව නොහැකි වුවද ඒ දින කිහිපය කොළඹ ඇතැම්
ප්‍රධාන නගර ජනතාව වැඩියෙන් ගැවසීම වැළැක්විය නොහැක. එවැනි අවස්ථාවකට මුහුණ
දීමට නම් රටේ ආරක්ෂාව ඒ වනවිට ඉතාමත් ශක්තිමත් තත්ත්වයක පැවැතිය යුතුය.
බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ජනතාවගේ සිත්සතන් බියෙන් සැකෙන් තොරව පැවතීම
අවශ්‍යය. ඒ තත්ත්වය උදාකරදීමට නම් ආණ්ඩුව නිසි සැලසුම් අතැතිව
කල්පනාකාරීව, තිර අදිටනින් යුතුව ක්‍රියාත්මක විය යුතුය. පුරාජේරු කතා කීම
පමණක් ප්‍රමාණවත් නැත.
මේ රට සිටින්නේ තමන්ගේ විකට ජවනිකා නැරඹිය හැකි තත්ත්වයක නොවන බව ඇතැම් මැති ඇමැතිවරුන්ට නොතේරීම මහත් අවාසනාවකි. අඩුම වශයෙන් සිදුවූ මරණ සහ තුවාල හේතුවෙන් අතිශය වේදනාවට පත්ව සිටින මේ රටේ දහස් ගණනක් වන පවුල් සාමාජිකයන් පිළිබඳව හෝ ඔවුන්ගේ අවධානය යොමු විය යුතුව තිබිණි. එහෙත් ඒ වෙනුවට අප දුටුවේ දේශපාලන පක්ෂ වශයෙන් එකිනෙකට පහර ගසා ගැනීම්ය. රට යථා තත්ත්වයට පත්කර ගැනීමට නම් ඊට වඩා පුළුල් අරමුණු මත පිහිටා කටයුතු කිරීම අවශ්‍ය බව පෙන්වා දෙමු. ඒ සඳහා පූර්වාදර්ශය පැමිණිය යුත්තේ දේශපාලන පක්ෂ නායකයන්ගෙනි.