ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 30, 2019

මේ නපුන්සක ආණ්‌ඩුව නිසා ලක් වැසියනට වී තිබෙන විපත ....!!!

මරණයේ ඉරිදාව...! - අන්ත වාදි බෝම්බය කටුවපිටිය ගම මළගමක් කළ හැටි...!!!

මෙවැනි අවාසනාවන්ත මරණ දකින්න ලැබීම ද අප කළ කරුමයකි. එහෙත් අපගේ ජීවිතයේ දැනුම් තේරුම් ඇති කාලේ සිටම තවමත් අත්විඳින්නේ මහ පොළව නොහූලන තරමේ අමානුෂික ඛේදවාචකයන්ය. සමූල ඝාතනයන්ය. 
 
වසර තිහක පමණ කාලයක් මිනීමරු කොටි ත‍්‍රස්තවාදීහු විටින්, විට බෝම්බ පුපුරවා මේ රට ලේ විලක් බවට පත් කළහ. කොටි මියැදුණු රටේ නැවත එවැනි ඛේදවාචකයන් දකින්නට නොලැබේ යන සිතුවිලි පෙරදැරි කරගෙන මිනිස්සු අප‍්‍රමාණව සතුටු වූහ. එහෙත් කොටි ත‍්‍රස්තවාදය මියැදී දසවසරක් ගෙවෙන තැන ම්ලේච්ඡු මිනීමරු අන්තවාදී ත‍්‍රස්තවාදීහු මේ රට නැවතත් ගිනි ගොඩකට ඇද දැමූහ. දැන් අප සිටින්නේ පසුගිය පාස්කු ඉරිදා උදෑසන ත‍්‍රස්තවාදීන් විසින් පුපුරවා දැමූ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරේ සුන්බුන් අතරය.වීඩියෝ මෙතනින්
 
රටට ආදරය කල බොදු කිතුනු යුවලකගේ සංවෙදී කථාවක්...!!! 
ගන්න දෙයක් නැත. විසල් දේශන ශාලාව රොඩු බොඩු ගොඩක් පමණි. ප‍්‍රතාපවත් බිත්ති, අහසට උස වහල හිල් කූඩයක් වැනිය. බැතිමතුන් අසුන්ගෙන සිටි දිග බංකු කුඩු පට්ටම් වී තැන, තැන විසිරී තිබේ. ඒ අතර දරු දැරියන්ගේ සෙරෙප්පු, සපත්තු ඇඳුම් කෑලි ලේ, මස් වැදිලි සහිතව තැන, තැන වැටී තිබිණි. මිනිසුන්ගේ කන් පෙති දේවාස්ථානයේ කවුළු අතර රැඳී තිබෙන අයුරු දකින විට හදවත පිච්චිණි. ඉහමොළ රත් විය. තවත් ඒ දසුන් දැක, දැක එහි රැඳෙන්නට සිතට ශක්තියක් නොමැතිි විය. මස් වැදලි සහිත ලේ මිදුණු, රොඩු බොඩු අතරින් අපි එළියටවිත් පල්ලිය වත්තේ කොන්ක‍්‍රීට් බංකුවකට බර දුන්නෙමු. 

එළිමහන මහ සෙනඟකින් පිරී ගොස්ය. දෙස්, විදෙස් මාධ්‍යවේදීන්, ආරක්‍ෂක නිලධාරීන් සහ පූජකවරු යුහුසුළුය. සෙනඟ අතරින් පැමිණි මැදිවියේ පුද්ගලයෙක් අප හිඳගත් බංකුවේම එහා කොනට බරදී පුපුරා ගිය ගොඩනැඟිල්ල දෙස බලා සිටින්නට විය. මම ඔහු අසළට ගියෙමි. ඔහු මා දෙසට හැරුණේය.
 
 
‘මෙතැන සේරම නැති වුණේ අපේ ගමේ මිනිස්සු. එකම පවුලේ දෙමව්පියො, දරුවො එකට මැරුණා. එදා පූජාවට ආපු වාහන තාම පල්ලිය වත්තේ තියෙනවා. ඒ වාහන භාර ගන්න කෙනෙක් නෑ. පවුල් පිටින්ම මැරිලා. සමහර පවුල්වල මිනී භාරගන්න ඥාතියෙක් නෑ. සියලූ දෙනා මැරිලා. අනේෟ දෙවියනේ මෙහෙම විපත් නම් අහන්නවත් සිද්ධ කරන්න එපා...’ ඔහු කිසිදු දැනහැඳිනගැනීමකින් තොරව පපු කැනැත්තේ තෙරපෙන වේදනාව මා වෙතට මුදාහැරියේය. ඔහු වේදනාවෙන් දැවෙන බව තේරුම් ගෙන මම ඔහුව ප‍්‍රශ්න කිරීමෙන් වැළකී සිටියෙමි.
 
 
‘‘මේ පල්ලියේ අලූත්වැඩියා කටයුතු ඉවර කළේ අවුරුදු එකසිය පනහේ ජුබිලියට ජනවාරි මාසෙ. දැන් සේරම ඉවරයි. නැවත අලූතින්ම ගොඩනඟන්න වෙලා. ඒකට කමක් නෑ, හදාගන්න පුළුවන්. ඒත් අපේ මැරිච්ච මිනිස්සුන්ට පණ දෙන්න බෑ...’’ සුසුමක් පිට විය. ඔහුගේ දෙනෙත් උළු පොඩි වී ගිය පල්ලියේ වහලය දෙසට ඉස්සිණි. මැදිවිය පසු කරගෙන යන තරුබාරු මේ මිනිසා කටුවපිටිය දේවස්ථානයට නිතර යන එන කෙනෙක් බව ඔහුගේ කතාවෙන් මට හැඟිණි. ඉරිදා උදේ පූජාවට ද මේ පුද්ගලයා පැමිණ සිටින්න ඇතැයි මට සිතුණු බැවින් ඒ ගැන මම ඔහුගෙන් විමසුවෙමි.
 
 
‘‘ඔව් මහත්තයො මමත් හිටියා... අපේ ගෙදර අයත් හිටියා... මම මේ පල්ලියේ ධර්ම සේවා සභාවේ නිලධාරියෙක් නිසා එදා මම හිටියේ පල්ලියේ ප‍්‍රධාන දොරටුව අසළ. ‘ඩුම්’ ගාලා මහා ශබ්දයක් ඇහුණම මම හිතුවේ ට‍්‍රාන්ස්ෆෝමරයක්වත් පිපුරුවා කියලා. නිකමට වගේ පල්ලිය දිහා බැලූණා. එතකොට මිනිස්සු සී සී කඩ දුවනවා. පල්ලියේ උළු කඩා හැලෙනවා. ජනෙල්වල වීදුරු කුඩු වෙලා හැලූණා. මම ශාලාව දෙසට දිව්වා. බංකු කුඩු

වෙලා. මිනිස්සු තැන, තැන වැටිලා. සමහර මිනිසුන්ගේ කෑලි නෑ. ලේ පෙරෙනවා. මම නෝනාව හෙව්වා. එතකොට එයත් ලේ පේරාගෙන ඔලූව බදාගෙන මා ළඟට දිව්වා. උළු කැටයක් වැටිලා ඔලූව පැලිලා. පල්ලියේ වහලයේ උළු කඩා වැටිල, ජනෙල්වල වීදුරු කෑලිවලට කැපිලත් ගොඩක් අය තුවාල වුණා. මම නෝනාව ත‍්‍රීවීල් එකක දාලා රෝහලට යවලා අනිත් තුවාලකරුවන් රෝහල්වලට යවන්න යුහුසුලූ වුණා...’’
 
 
‘‘එදා පූජාවට පල්ලිය ඇතුළේ විතරක් එක්දහස් පන්සීයක් විතර හිටියා. පල්ලිය වත්තෙත් දාහකට වැඩියි. සේරම දෙදහස් පන්සීයකට වැඩියි. මේ බෝම්බය පිපිරිලා තියෙන්නෙ බිත්තියට කවර් වෙලා. ඒ නිසා හානිය අඩු වුණා. තව ටිකක් පල්ලිය මැදට ගිහින් පිපුරුණා නම් තව මිනිස්සු මැරෙනවා. ඒත් බෝම්බය පිපුරුණු හරියේ හිටපු කිසිම කෙනෙක් බේරුණේ නෑ. සමහර මිනී කුඩු වෙලා අඳුරගන්න බෑ. පුංචි දරුවො ගොඩක් මැරිලා වැටිලා හිටියා. එදා පූජාවට වැඩියෙන්ම ඇවිත් හිටියේ කුඩා ළමුන් සහ වැඩිහිටියන්. ඒ් ගොඩක් දෙනෙක් මැරුණා. අපේ ගෙවල් කිට්ටුව එකම පවුලේ දරුවො තුන්දෙනයි අම්මයි හතරදෙනාම මැරිලා. චූටිම පුතාට වයස අවුරුදු දෙකයි. දෙවැනියට හතරයි. ලොකු දුවට හයයි. ඒ වගේ පවුල් පිටින්ම මැරිච්ච අය ගොඩක් ඉන්නවා. ඒ අයගේ මිනී භාර ගන්න ඥාතීන් නෑ. ඒ මිනී සේරම හෙට පල්ලියට ගෙනත් භූමදාන කටයුතු කරන්න සූදානම් කරලා තියෙනවා...’’ ඒ කතා කළේ කටුවපිටිය දේවස්ථානයේ ධර්ම සේවා සභාවේ නිලධාරියෙකි. ඔහු සිසිර ප‍්‍රනාන්දුය. පනස්හත් වැනි විය පසු කරගෙන යන වැඩිහිටි පියෙකි. අනතුරුව ඔහු පාස්කු ඉරිදා දේව පූජාව පැවැත්වූ කටුවපිටිය දේවස්ථානයේ පූජකවරයෙක් අසළට අපව කැඳවාගෙන ගියේය. එම පූජකවරයා සංජීව අප්පුහාමිය.
 
 
‘‘එදා පූජාවේ ස්තූති කතාව කරන වෙලාවේ තමයි මේ විනාශය සිද්ධ කළේ. පූජාව ඉවර වෙන්න අන්තිම මිනිත්තු කිහිපය තිබුණේ. එතකොට අපි හිටියේ අල්තාරයේ. මමයි, ප‍්‍රධාන ෆාදර් ශ‍්‍රී ලාල් ෆොන්සේකා. අනිත් ෆාදර් සමීර රුද්‍රගෝ. ලොකු ෆාදර්ගේ ඔලූව චුට්ටක් පැලිලා මැහුම් දැම්මා. මගේ කකුල කැපිලා බෙහෙත් දැම්මා. අපි හිටිය හරියට හානිය අඩු වුණේ බෝම්බය පිපුරුණේ පල්ලියේ මැද නිසයි. මරාගෙන මැරෙන බෝම්බකරු ඇතුළු වෙලා තියෙන්නෙ ශාලාවේ වම් පැත්තෙ දොරටුවෙන් මැද කොටසට. ඒ පුද්ගලයට ශාලාව ඇතුළටම යන්න බැරි වුණා. දොරටුවෙන් ඇතුළු වෙච්ච ගමන්ම වගේ පුපුරවාගෙන තියෙනවා. ඒ හරිය ගන්න දෙයක් නෑ. පල්ලිය ඇතුළේ හිටිය සියලූ දෙනාට පුංචි හෝ තුවාලයක් වුණා. දැනට ආරංචිය හැටියට අපේ පල්ලියේම විතරක් එකසීය දහයක් විතර නැති වෙලා තියෙනවා. එදා පූජාවට හිටිය සෙනඟත් එකක් බලනකොට ඒ නැති වෙච්ච පිරිස ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඒ සියලූ දෙනා අපිත් එක්ක නිතර කතා බහ කරන අපේ මිනිස්සු. නැවත අපිට ඒ මිනිස්සු දකින්න ලැබෙන්නෙ නෑ. ඔය දරුවො කටුවපිටිය ගමේ ඇවිදලා බලන්න. මළගෙවල් කීයක් තියෙනවද... හැම ගෙදරකම මළගෙයක්. නැති නම් තුවාලකාරයෙක් හරි ඉන්නවා. මේක මහා අපරාධයක්. කිසිම ආගමක් මෙහෙම විපත් අනුමත කරන්නේ නෑ...’’ කටුවපිටිය දේවස්ථානයේ දේව මෙහෙයට සම්බන්ධ වෙමින් සිටි සංජීව අප්පුහාමි පූජකවරයාට එතැනින් එහාට කතා කරගැනීමට නොහැකි විය. තවදුරටත් පූජකවරයාගේ තැවුණු සිත පෑරීමට මගේ සිත මැලි විය. අපි කටුවපිටිය දේවස්ථානයෙන් පිට වී ගම පුරා ඇවිද්දෙමු.
 
 
කටුවපිටිය ගමම මළගෙයකි. ගමේ සියලූ මළගෙවල්වලට ගිහින් කතාබහ කිරීමට දවසත් මදි තරම්ය. කටුවපිටිය ගම් මැද්දාවේ අතුරු පාරකට මුුහුණලා පිහිටි මළගෙදරකට අපි ගියෙමු. වත්ත පිරෙන්න ඥාතීන් එකතු වී සිටියේ බෝම්බයට බිලි වී සිටින පුංචි පුතෙක් එන තෙක්ය.

 
 
‘‘අනේ මගේ චමෝද් පුතා... ගෙදර එන්න මල් ශාලාවේ ලෑස්ති කරනවා. ඒත් එයාගේ මූණ වහලා... මට පෙන්නුවෙත් නෑ. ගෙදරට එන්නෙ හතර පියන වැහිච්ච පෙට්ටියක. අනේ මගේ පුතාගේ මූණවත් අත ගාන්න තිබුණා නම්...’’
 
 
‘‘එදා පල්ලියේ පූජාවට යන්න ලෑස්ති වෙලා පුතාට මංගල්‍යයට දාන්න ඉතාලියේ ඉන්න මගේ නංගි එවපු සපත්තු දෙක දාගෙන ඇවිත් තාත්තේ මම ලස්සන ද කියලා ඇහුවා... මම ඇයි පුතේ කියලා ඇහුවම පාත් වෙලා අලූත් සපත්තු දෙක පෙන්නුවා. ඒ වේලාවේ මම පුතාව බදාගෙන ඉම්බා. ඊට පස්සෙ තමයි නැන්දා එක්ක පල්ලියට ගියේ... අන්තිමට පුතාව අඳුරගන්න තිබුණේ ඒ සපත්තු දෙක විතරයි. මගේ නංගිගේ මිනියවත් තවම හොයාගන්න නෑ... වනේ වන හතුරෙකුටවත් මේ වගේ අපරාධයක් නම් වෙන්න නරකයි...’’
 
 
චමොද් අවිශ්ක අවුරුදු එකොළහක පාසල් ශිෂ්‍යයෙකි. ඔහුගේ මෑණියන් ද මීට මාස හතරකට පෙර රෝගාතුරව මිය ගොස් සිටින්නීය. පුංචි චමෝද් පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගිවීමට කටුවපිටිය දේවස්ථානයට ගොස් ඇත්තේ තම නැන්දනිය සමඟය.
 
 
‘‘මගේ බිරිඳ නැති වෙච්ච දවසෙ ඉඳලා අපිට කන්න උයලා දීලා පුතාව බලා ගත්තේ මගේ ලොකු නංගි. දැන් ඒ දෙන්නත් නැති වුණා. මං කොහොමද මේ ගෙදර තනියෙන් ජීවත් වෙන්නෙ... මාත් මැරෙනවා...’’ දරුවන් ඇති පියකුට තවත් පියකුගේ කඳුළු බර වැඩිය. ඒ විලාපය ඇසෙන සියලූ මිනිසුන්ගේ දෙනෙත් කඳුළින් දිළිසෙන අයුරු අපට පෙනිණි. කැලිස්ටස්ගේ විලාපය අසා සිටීමට නොහැකි නිසා අපි ඔවුන් අතරින් සමුගෙන මඟට බැස්සෙමු.
 
 
සුදු කොඩි ළෙලදෙන පාර දිගේ අපි ඉදිරියට ගියෙමු. සදහටම සමුගෙන යන ඥාති, හිත මිතුරන් දැකගැනීමට මළ ගෙයින්, ගෙට යන අසල්වාසීන් මග දිගටය. ඒ මිනිසුන් අතර කතා බහ අඩුය. ඔවුන් පසු වන්නේ දැඩි
කම්පනයෙනි. චමෝද්ගේ ගෙවල් පාරෙම මීටර් අටසීයක් පමණ දුරින් තවත් මළගෙවල් දෙකකි. එක ගෙදරකට මිනිය තවමත් ගෙනත් නැත. අනෙත් ගෙදරට මිනිය ගෙනත් ඇති බව අසල්වැසියෙක් අපට පැවසීය. එහෙයින් අපි ඒ නිවසට ගියෙමු.

 
 
‘අස්ලා මගේ මැණික... ඇයි ඔයා මාව දාලා ගියේ. මම කොහොමද මැණික මේ දුක දරාගන්නෙ. ඇයි මාවත් අරගෙන ගියෙ නැත්තේ... අනේ කිසිම අම්මා කෙනෙකුට මේ දුක නම් දෙන්න එපා...‘‘ නිවස තුළින් විලාප නඟන කාන්තාවගේ හදවත පැළෙන තරමට වේදනාවෙන් පුපුරන බව ඒ කඳුළු වචනවලින් පැහැදිළි විය. ඒ විලාපය අපට ද දරාගැනීමට අසීරු විය. එහෙත් සෙනඟ අතරින් කුඩා කොරිඩෝවෙන් විසිත්ත කාමරයට ඇතුළු වීමු.
 
 
සාලය මැද ට්‍රොලියක් මත සුදු රෙදි කඩකින් වැසුණු දැරිවියක් සදාතනික නින්දේය. දේහය අසළම අසුනකට බරදී විලාප තබන්නේ මිය ගිය දැරිවියගේ මවය. ඒ මව සමඟ වචනයක් කතා කිරීමට මගේ සිත අකැමැති විය. අනතුරුව අපි දේහය අසළම අසුනකට බර දී සිටි මිය ගොස් සිටින දැරිවියගේ වැඩිමහල් සහෝදරිය සමඟ කතා කළෙමු. ඇය ෆාතිමා අෆ්රා ය. වයස අවුරුදු දහඅටකි. මිය ගොස් සිටින්නේ ෆාතිමා අස්ලා ය. ඇයට වයස අවුරුදු දහහතරකි. ඔවුන්ගේ පියා සම්සුදීන් මොහොමඞ් අරෝෂ්ය. ඉස්ලාම් ජාතිකයෙකි. එහෙත් දරුවන්ගේ මව සිංහල කතෝලිකය. රූපිකා රොසේන්ය. අෆ්රා සහ අස්ලා පාස්කු ඉරිදා දේව මෙහෙයට ගොස් සිටියේ ආච්චි අම්මා සමඟය.
 
 
‘‘මගේ නංගි හිටියේ අපි හිටිය තැන ඉඳලා බංකු පහක් විතර පිටිපස්සෙන්. ඒ කිට්ටුව හිටපු සේරම වගේ ඩැමේජ්. ඉස්සරහා හිටිය අයගේ ඔලූවලට උළු කැට කෑලි වැටිලා තුවාල වුණා විතරයි. අපේ ආච්චිගේ ඔළුවත් තුවාල වුණා. නංගි නම් හොස්පිටල් එකට ගෙනියනකොටත් මැරිලා...’
 
 
‘‘ඊයේ ? මිනිය ගෙනාවේ...’’ අස්ලාගේ තාත්තා ලොකු දුවගේ කතාව මැදට ආවේය. 
 
 
‘‘අපේ ආගමට අනුව පැය විසි හතරකට ඉස්සර වෙලා කටයුතු කරන්න ඕනෑ. තව පැයකින් දුව අරගෙන යනවා. මගේ අස්ලා බාබා ආයෙත් අපි ළඟට එන්නෙ නෑ. මේ කුරිරු ලෝකයට ආයෙමත් කවදාවත් අස්ලා එන එකක් නෑ. මේ පුංචි උන් මොනව දන්නවද... මොන ආගම් යුද්ධයක්ද... මෙහෙම අපරාධ කරන උන්ව දෙවියො බලලා හරි විනාශ කරන්න ඕනෑ...’ එහෙම කියන්නෙ ඉස්ලාම් ජාතිකයෙකි. කටුවපිටිය පල්ලියේ පුපුරවා දැමූ බෝම්බයට බිලි වී මිය ගිය අස්ලා දියණියගේ පියාය. සම්සුදීන් මොහොමඞ් අරෝෂ් ය.
 
 
ජාති, ආගම් බේදයක් ඒ මළගෙදර නැත. බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම ක‍්‍රිස්තියානි පූජකවරයන් ද අස්ලාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටිති. අස්ලා මෙලොව සිටින අවසාන පැයේ ඇයව දකින්නට ගම්වාසීන් පෙළගැසී සිටිති.
 
 
‘‘මේ බලන්න පුතේ... මේ මැරිලා ඉන්නෙත් මුස්ලිම් දරුවෙක්. මේ තාත්තා මුස්ලිම්. අම්මා සිංහල. අපි අතර ජාති බේදයක් නෑ. හැමෝම මිනිස්සු. අපි අතර ජාති බේද තියෙන්නත් බෑ. ඒත් ත‍්‍රස්තවාදීන්ට ජාතියක්, ජන්මයක් නෑ. ලේ පිපාසයෙන් විඳවන අමනුස්සයන් පිරිසක්. දෙවියන්ට යාඥා කරමින් සිටි මේ අසරණ ළමයි බිලි ගත්තේ ඒ අමනුස්සයො. එකම පවුලේ හත්අට දෙනා මිය ගියා. ඒත් දැන් ලැබෙන ආරංචිවලට අනුව මේ විපත වළක්වා ගන්න තිබුණා. මේ රටේ දේශපාලනඥයන් දැනුවත්වම තමයි අපේ මිනිස්සු මරාගත්තේ. දැන් ඇවිත් විනාශ වෙච්ච පල්ලි හදා දෙන්න කතා කරලා වැඩක් නෑ. මළ ගෙයින්, ගෙට ගොස් මැරුණු මිනිස්සු වෙනුවෙන් ශෝකය පළ කරලා වැඩකුත් නෑ. දේශපාලන ඇක්ටින් අපි හොඳට දන්නවා. අපිට දුක මෙහෙව් දේශපාලන නායකයන් සහ නිලධාරීන් සහිත රටක ජීවත්වීමට ලැබීම ගැනයි. මිය ගිය මේ දරුවො දිනුම්. අපි තවම පරාදයි. මට කියන්න තියෙන්නෙ එච්චරයි...’’ අස්ලට අවසාන ගෞරව දැක්වීමට පැමිණ සිටි පූජකවරයකු අපට පැවසූ ඒ වචන ටිකට තවත් අටුවා ටීකා ඇවැසි නැත. තවත් අඳෝනා ඇසීමට දෙසවනේ ඉඩක් ද නැත. මේ අසරණ දරුවන්ගේ මළ මිනී දැක, මව් පිය ඥාතීන්ගේ විලාපයන් අසා තවත් හදවත ගල් කරගෙන සිටීමට නොහැකි තරම්ය. අපිත් ලේ මස් නහරවලින් හැදුණු සංවේදී මිනිසුන්ය. ඒත් කටුවපිටිය මළ ගමෙන් පිටවීමට මත්තෙන් අසරණ රටවැසියන්ට මේ දැනුවත් කිරීම කළ යුතුය.
 
 
අනතුර ගැන පෙර දැනුම්දීම් තිබියදීත්, එය වළක්වාගැනීමට ආරක්‍ෂාවක් රහිත රටක ජීවත් වන අප නොසිතූ මොහොතක ත‍්‍රස්ත ප‍්‍රහාරයකට බිලී වීමට සූදානම්ව සිටිය යුතුය. දැන් අප කම්පා විය යුත්තේ අප ගැන නොවේ, මේ මන්දබුද්ධික සහ ගෝත‍්‍රිකවාදී දේශපාලනඥයන් සහිත රටේ ජීවත් වන අපේ දරුවන් ගැනය.
 
 
තරංග රත්නවීර
 
ඡායාරූප - නිශාන් එස්.ප‍්‍රියන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.