ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 28, 2019

මේ රටට හෙණ ගැහී ඇත්තේ මේ පාපතර දේශපාලනඥයන්ගේ වරදින්ය.....!!!

මොකක්දෝ නුහුරු නුපුරුදු වේදනාවකින් අප හදවත් කම්පනය කර ඇත්තේය. භීතිය අනාරක්‍ෂිත භාවය නැවත නැවතත් අප සිත්වලට වධ දෙන්නට පටන්ගෙන තිබේ.
  නිවසින් පිටවී යන තම සහෘදයා නැවත නිවසට පැමිණීම අවිනිශ්චිත වූ යුගය නැවත පැමිණ තිබේදෝ යන සැක සංකා අප සිත්වල ජනිත වන්නට පටන්ගෙන ඇත්තේය.
  අහිංසක මිනිසුන් 359 දෙනෙක් අමු අමුවේම මරා දමමින් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවත් සමගම මුුළු රටම නැවතත් අකර්මණ්‍ය තත්ත්වයට පත්වී හමාරය.
   අප හදවත්වලට තව තවත් වධ දෙන්නට පටන්ගෙන තිබෙන්නේ මේ අහිංසක ජීවිත බේරා ගැනීමට ඕනෑ තරම් ඉඩකඩ තිබියදීත් එය දැන දැනම පැහැර හැරියා දෝයි යන හැඟීම ජනිත වෙද්දීය.
  දේශපාලනඥයන් මෙන්ම ආරක්ෂක අංශ ප‍්‍රධානීන් තම වගකීම හරි හැටි ඉටු නොකිරීමේ වරදට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ අහිංසක මිනිසුන්ටය. ඒ පාපයට වගකිව යුත්තන් කිසිවකුටත් කිසි දිනයක ගැලවී යා නොහැක.

  ජාතික තව්හිද් ජමාත් National Thowheeth Jamaath (NTJ‍) නමැති අන්තවාදී මිනීමරු ත‍්‍රස්තවාදී සංවිධානය පිළිබඳව ශ‍්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම දැන ගත්තේ පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප‍්‍රහාරයත් සමගය.
  මේ මිනීමරු ත‍්‍රස්ත සංවිධානය කොයිතරම් ම්ලේච්ඡු පාපතරයන් පිරිසක්ද යන්න රජයේ මෙන්ම ආරක්ෂක අංශවල ඇස්කන් හැරෙන්නේ රටේ අහිංසක මිනිසුන් බුරුතු පිටින් ඝාතනයට ලක්වීමෙන් පසුවය. මෙවැනි තිරිසන්නු පිරිසකගෙන් සමන්විත වූ කල්ලියක් සංවිධානය වෙමින් තිබෙන බවට මෙරට බුද්ධි අංශ අනතුරු අඟවන්නේ වසර 7 - 8 කට පෙර සිටය. එහෙත් අපේ අවාසනාවටද රටේ අවාසනාවටද මේ පිළිබඳව රජය හෝ ආරක්ෂක අංශ එතරම් තැකීමක් කර තිබුණේ නැත. රජය මෙන්ම ආරක්ෂක අංශද මේ මිනීමරු ත‍්‍රස්ත කල්ලිය අවතක්සේරුවට ලක් කළහ. එහෙත් අවසානයේ එහි ප‍්‍රතිඵල භුක්ති විඳීමට සිදු වූයේ රටේ අහිංසක ජනතාවටය.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය වසර හත අටක් තිස්සේ සංවිධානය වෙමින් තිබුණද මොවුන් මුලින්ම කරලියට එන්නේ මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ කීපයක් කේන්ද්‍ර කරගනිමින් විහාරස්ථානවලට ප‍්‍රහාර එල්ල කිරීමත් සමගය.

 විහාරස්ථාන රැසක බුද්ධ ප‍්‍රතිමාවලට පහරදී විනාශ කිරීමේ සිද්ධීන්වලින් රටේ සමස්ත බෞද්ධ ජනතාව කලබලයට පත්වූහ. මොකක්දෝ භයානක අනතුරක පෙරනිමිති පහල වෙමින් තිබෙනු බෞද්ධ ජනතාව කල්තියාම දුටුවෝය. බෞද්ධ සංවිධාන මේ ප‍්‍රහාර සම්බන්ධයෙන් විශාල හඬක් නඟන්නට පටන් ගත්තේ ඒ නිසාය.

 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම ත‍්‍රස්ත කල්ලිය පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කරන්නේ එතැන් සිටය. ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය මෙහෙයවන්නේ මොහොමඞ් සහරාන් හාෂීම් නමැත්තා විසින් බව අනාවරණය වන්නේ එම විමර්ශනවලදීය. බුදු පිළිම විනාශ කර බෞද්ධයන් ප‍්‍රකෝප කිරීමේ සිදුවීම් මාලාව මෙහෙය වූයේ මොහොමඞ් සහරාන් සහ මොහොමඞ් ශාහිඞ් නමැති ත‍්‍රස්තයන් බව හෙළිව තිබුණේය.

pasku2 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන ආරම්භ කළ පොලිස් පරීක්‍ෂක මුණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සහරාන් ඇතුළු ත‍්‍රස්ත නායකයයන් හොයන්නට වූහ.

 මාවනැල්ලේ ප‍්‍රහාරවලින් පසු සහරාන් ශාහිඞ් ඇතුළු ත‍්‍රස්ත සාමාජිකයන් අක්කරේපත්තුව ඔලූවිල් ප‍්‍රදේශයට ගොස් සැඟවුණේය. මඩකලපුව, අක්කරේපත්තුව, කාත්තන්කුඩිය, කල්මුණේ ඇතුළු නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව බහුල ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වුණේ වෙනම නීතියකි. මේ ප‍්‍රදේශවල පදිංචි බහුතරයක් මුස්ලිම්වරුන් පොලිස් නීතියට ගරු කළේ නැත. ඊට අවනත වුණේ නැත.

 මේ ප‍්‍රදේශවල ජීවත් වූ වැඩි පිරිසක් දැඩි ආගම්වාදී මත දැරූ පුද්ගලයන්ය. නීතිය කි‍්‍රයාත්මක කිරීමට පොලිස් නිලධාරීන් මේ ප‍්‍රදේශවලට යෑමට දෙවරක් සිතා බලන තත්ත්වයක් උද්ගත වී තිබිණි.

 සහරාන් ශාහිඞ් කාත්තන්කුඩිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. දැඩි අන්තවාදී මුස්ලිම් භක්තිකයකු වූ සහරාන් රටේ නීතිය හෝ පොලිසිය තඹ සතයකට මායිම් නොකළ අයෙකි. ජාතික තව්හිද් ජමාන් නමැති ත‍්‍රස්තවාදී කල්ලිය සහරාන් විසින් බිහි කරන්නේ තම අරමුණු ඉටුකර ගැනීම සඳහාය.

 අන්‍ය ආගමිකයන් සමූල ඝාතනය කිරීම උතුම් ආගමික කරුණක් බවත්, අන්‍ය ආගම් විනාශ කර ඉස්ලාම් ආගම පමණක් රටපුරා ප‍්‍රවර්ධනය කළ යුතුය යන්න තව්හිද් ජමාත් කල්ලියේ මූලික පරමාර්ථය විය.

 මේ මතවාදය වටා සාමාජිකයන් එක්කර ගැනීමේ කාර්ය සහරාන් විසින් ආරම්භ කරන්නේ 2010 වර්ෂයේ සිටය. සහරාන්ගේ මේ මතවාදය වටා නැගෙනහිර පළාතේ අන්තවාදී මුස්ලිම් තරුණ කොටස් එක්රොක් වන්නට පටන් ගත්හ.

 සහරාන්ගේ බාල සොහොයුරා වූයේ මොහොමඞ් රිල්වාන්ය. තම වැඩිමහල් සොහොයුරා විසින් බිහි කරගෙන සිටින අන්තවාදී මූලධර්මවාදී සංවිධානයට අලූතින් සාමාජිකයන් එක්කර දීමේ කාර්ය භාරගෙන සිටියේ රිල්වාන්ය. මඩකලපුව, කාත්තන්කුඩිය, කල්මුණේ, අක්කරේපත්තුව ඇතුළු නැගෙනහිර පළාතේ මුස්ලිම් බලය ඇති ප‍්‍රදේශවල අන්තවාදීන් රැසක් තව්හිද් ජමාත් කල්ලිය වෙත බඳවා ගැනීමට රිල්වාන් කටයුතු කළේය.

 මෙසේ බඳවාගත් අන්තවාදීන්ට දේශන පවත්වා ඔවුන්ගේ මනස තව තවත් විකෘති කර තම සංවිධානය වෙත සමීප කර ගැනීමේ කාර්ය සිදු කළේ මොහොමඞ් සහරාන් විසින්ය.

 නැගෙනහිර පළාතෙන් සාමාජිකයන් බඳවා ගැනීමෙන් පමණක් සෑහීමට පත් නොවූ රිල්වාන් කුලියාපිටිය, හලාවත, පුත්තලම, මාවනැල්ල, කොළඹ, තිහාරිය, දර්ගා නගරය ඇතුළු මුස්ලිම් ජනාවාස බහුල ප‍්‍රදේශවල සැරි සරමින් තම සංවිධානය ශක්තිමත් කර ගැනීම සඳහා නවක සාමාජිකයන් බඳවා ගත්තේය.

 මාවනැල්ල, අක්කරේපත්තුව, කාත්තන්කුඩිය, පුත්තලම ඇතුළු තවත් ස්ථාන කීපයක රහසිගත ස්ථානවලට තම කල්ලියේ සාමාජිකයන් කැඳවා ඔවුන් වෙනුවෙන් දේශන සහ විවිධ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් පුහුණු වීම් ලබාදීමට සහරාන් ඇතුළු තව්හිද් ජමාත් කල්ලියේ ජ්‍යෙෂ්ඨයන් කටයුතු කළහ.

 
මේ ආකාරයට වසර ගණනාවක් තිස්සේ පෝෂණය වූ ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය මුළු රටම කලඹවමින් මුුල්ම ප‍්‍රහාරය දියත් කළේ මාවනැල්ලෙනි. ත‍්‍රස්තයන්ගේ අරමුණ වී තිබුණේ සිංහල බෞද්ධ ජනතාව කුපිත කර බෞද්ධාගම විනාශ කර තම සංවිධානයේ අභිප‍්‍රායන් මුදුන් පමුණුවා ගැනීමය.

 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ තව්හිද් ජමාත් කල්ලියේ සාමාජිකයන් හය දෙනෙක් අත්අඩංගුවට ගත්හ.

 මේ සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කළද තව්හිද් ජමාත් කල්ලියට අදාළ වැදගත් තොරතුරු හෙළි කරගැනීමට ඉඩක් ලැබුණේ නැත. මේ අතර අත්අඩංගුවේ සිටි එක් සැකකරුවකුගේ ජංගම දුරකථනයට එස්.එම්.එස්. කෙටි පණිිවිඩයක් ලැබුණේය.

 මෙම කෙටි පණිවිඩය පිළිබඳව පොලිස් පරීක්‍ෂක මුණසිංහ මහතා දැඩි අවධානයක් යොමුකර තිබුණේ ඒ ඔස්සේ කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට හැකිවේය යන විශ්වාසයෙන් යුතුවය. කෙටි පණිවිඩය ලැබුණු දුරකථන අංකය ඔස්සේ විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එය පුත්තලම ප‍්‍රදේශයේ පුද්ගලයකුගේ නමින් ලියාපදිංචි වූ එකක් බව සොයා ගත්තේය.

පොලිස් පරීක්‍ෂක මුණසිංහ ඇතුළු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුද රැගෙන ඉකුත් ජනවාරි 1`5 වැනිදා පුත්තලම ප‍්‍රදේශය වෙත ගියේ කිසියම් හෝඩුවාවක් දැන ගැනීම සඳහාය. පුත්තලම නගරයේදී සැකකරුගේ දුරකථනයට ඇමතුමක් ලැබුණේය. ඒ ඇමතුම ලබාදී තිබුණේ එස්.එම්.එස්. පණිවිඩය එවූ දුරකථනයෙන්ය.

 පොලිස් පරීක්‍ෂක මුණසිංහ ඇතුළු නිලධාරීන් ඒ මොහොතේම එම දුරකථනය කි‍්‍රයාත්මක වෙමින් තිබෙන ස්ථානය අදාළ දුරකථන සමාගම හරහා හඳුනා ගත්තේය.

 දුරකථන ඇමතුම ලැබී තිබුණේ වානතවිල්ලූව ප‍්‍රදේශයේ දුරකථන පණිවිඩ කුලූනක් හරහා ය. පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ වනාතවිල්ලූව ප‍්‍රදේශය වෙත ගොස් අදාළ දුරකථනය කි‍්‍රියාත්මක වූ ස්ථානය නිවැරැදිව හඳුනා ගත්හ.

 වනාතවිල්ලූවේ සිට කිලෝමීටර් 10 ක් පමණ දුරින් පිහිටි පොල්වත්ත ප‍්‍රදේශයේ පොල් වත්තකට ඇතුළු වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එය පරීක්‍ෂා කරන්නට වූහ.

 තමන් පැමිණ සිටින්නේ නිවැරැදිම ස්ථානයට බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තේරුම් ගත්තේ පොල්වත්තේ සඟවා තිබූ අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

 පොල්වත්ත අක්කර 75 ක විශාල එකකි. එහි හිමිකරු මුස්ලිම් ජාතිකයෙකි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ සිටි ත‍්‍රස්ත සාමාජිකයාගේ ජංගම දුරකථනයට එස්.එම්.එස්. පණිවිඩයක් ලබාදී තිබුණේ පොල්වත්තේ හිමිකරුගේ ජංගම දුරකථනයෙන්ය.

 පොල්වත්තේ හිමිකරු අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගය විශාල ප්ලාස්ටික් ගැලූන්වල බහා ඒවා වළ දමමින් සිිටියේය. පුපුරණ ද්‍රව්‍යවලට අමතරව නයිට‍්‍රජන් පිරවූ බුලි 6 ක් ඩෙටනේටර් 99 ක්ද සොයා ගත්තේය.

 වැඩිදුර විමර්ශන කිරීමේදී අනාවරණය වූයේ මෙම පොල් වත්ත තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ ප‍්‍රධාන පුහුණු කඳවුර බවය. මෙහි වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තව්හිද් ජමාත් කල්ලියේ ප‍්‍රහාර සඳහා බෝම්බ සකස් කිරීමට යොදා ගැනීමට නියමිතව තිබූ බවද හෙළි විය.

 මෙම ප‍්‍රධාන පුහුණු කඳවුර පාලනය කළේ තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ ප‍්‍රධානියා වන මොහොමඞ් සහරාන් හාෂීම් විසින්ය. මේ ත‍්‍රස්ත නායකයා ප‍්‍රධාන කඳවුර වෙත නිතර ආවේය. මෙම කඳවුරේ තව්හිද් ජමාත් කල්ලියට බඳවාගත් ත‍්‍රස්තයන් 160 දෙනකු පුහුණු කර තිබූ බවද විමර්ශනවලින් හෙළි විය.

 එසේ පුහුණුව ලැබූ ත‍්‍රස්තයන් 160 දෙනාගේ ජංගම දුරකථන ඇතුළු සියලූ පෞද්ගලික තොරතුරු සටහන් කළ ලැයිස්තුවක්ද පුහුණු කඳවුරේ තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තේය.

 මෙම ත‍්‍රස්ත කඳවුර පරීක්‍ෂා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් එහි ගොස් තිබුණේ එය ඉතාම වැදගත් මෙහෙයුමක් නිසාය. මෙම පුහුණු කඳවුර පිළිබඳව ජනවාරි 26 වැනිදා පොලිස්පතිවරයා දැනුවත් කිරීමට සී.අයි.ඞී. ය කටයුතු කළේය.

 වනාතවිල්ලූව ත‍්‍රස්ත කඳවුර සහ එහි ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් 4 ක් යොදවනු ලැබීය. එහෙත් රටේ අවාසනාවට ඒ විමර්ශන කටයුතු ක‍්‍රමානුකූලව නිසි ආකාරයෙන් කරගෙන යෑමට ඉඩක් ලැබුණේ නැත.

 එදා වනාතවිල්ලූව ත‍්‍රස්ත කඳවුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු නිසි ආකාරයෙන් කි‍්‍රයාත්මක වූයේ නම් පාස්කු ඉරිදා ප‍්‍රහාරය මුළුමනින්ම වළක්වා ගැනීමට නිසැකවම ඉඩකඩ තිබිණි.

 තව්හිද් ජමාත් කල්ලියේ නායකයා ලෙස සැලකෙන මොහොමඞ් සහජාන් ඇතුළු ප‍්‍රබලයන් කීපදෙනකු පිළිබඳව තොරතුරු ලැබී තිබුණද ඔවුන් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉඩ ලැබුණේ නැත.

 මෙම සිදුවීමෙන් මාස 3 කට වැඩි කාලයක් ගෙවී ගියේය. තව්හිද් ජමාත් කල්ලිය හෝ එහි නායකයා වන මොහොමඞ් සහරාන් ගැන මතකය මෙරට බුද්ධි අංශවලින් සහ පොලිසියෙන් ගිලිහී ගොස් තිබිණි.

 තව්හිද් ජමාත් කල්ලිය මෙරට මහා විනාශයක් කිරීමට අර අඳිමින් සිටින බව කිසිවකුත් දැන සිටියේ නැත. මෙවැනි මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල වෙතැයි කිසිවකුත් විශ්වාස කළේද නැත.

 මේ අතර ඉකුත් මාර්තු මාසයේදී ඉන්දීය පොලිසිය මගින් අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත කල්ලියට සම්බන්ධ ප‍්‍රබලයකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන්දීය පොලිසියේ බුද්ධි අංශ මෙම ත‍්‍රස්තවාදියාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කළ අතර ඔහුගෙන් ඉතාම වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවිය.

 ශ‍්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවක් පිළිබඳව මෙම ත‍්‍රස්තවාදියා තොරතුරු හෙළිකර තිබුණේය. ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ප‍්‍රධාන පෙළේ දේවස්ථාන කීපයක් සහ කොළඹ ප‍්‍රධාන හෝටල් කීපයක් වෙත මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු මෙම අයි.එස්. ත‍්‍රස්තයා විසින් හෙළිකර තිබුණේය.

 ඒ අනුව ඉන්දීය පොලිස් බුද්ධි අංශ මගින් මේ තොරතුරු ශ‍්‍රී ලංකාවට ලබා දෙන්නේ අපේ‍්‍රල් මස 04 වැනිදාය. ඒ තොරතුරු ලැබෙන්නේ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය වෙතය. ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි ප‍්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා විසින් මේ තොරතුරු පොලිස්පතිවරයා ඇතුළු අදාළ අංශ වෙත යොමුකර තිබුණේය.

 එහෙත් මේ අනතුරු ඇඟවීම රජය හෝ ආරක්ෂක අංශ ඒ තරම් ගණනකට ගත්තේ නැත. රාජ්‍ය බුද්ධි අංශය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ ප‍්‍රහාරය පිළිබඳව පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් දිගටම දැනුවත් කළද ඉන් පළක් නොවීය. පාස්කු ඉරුදින උදා වුණේය. රටපුරා දේවස්ථාන කරා කිතුනු බැතිමතුන් ගොස් තිබුණේ පාස්කු ඉරුදින දේව මෙහෙයන් සඳහා සහභාගි වීමේ අරමුණු ඇතිවය.

 එහෙත් පාස්කු ඉරුදින සිදු වුණේ ශ‍්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම කම්පා කරවන සිදුවීමකි. එක මොහොතකින් මුළු රටම කැළඹුණේය.

 එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තයන් ඉතා ප‍්‍රබලව සිටි සමයේ පවා මේ ආකාරයට මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කර තිබුණේ නැත.

 කොළඹ කොච්චිකඬේ දේවස්ථානය, මීගමුව කටුනේරිය දේවස්ථානය, මඩකලපුව මධ්‍යම පාරේ පිහිටි දේවස්ථානය වෙත එකම මොහොතක ප‍්‍රහාර එල්ල වී තිබුණේය.

 මේ අතර කිංග්ස්බරි සිනමන් ග‍්‍රෑන්ඞ් සහ ෂැංග‍්‍රිලා හෝටල්වල උදෑසන ආහාර ගනිමින් සිටි සංචාරකයන් ඉලක්ක කර තවත් මරාගෙන මැරෙන ප‍්‍රහාර හතරක් ඒ මොහොතේම එල්ල කර තිබුණේ මුළු රටම සොහොන් පිටියක් බවට පත් කරමින්ය.

 කරන්නේ කුමක්ද කළ යුත්තේ කුමක්ද යන්න සිතාගත නොහැකිව ආරක්ෂක අංශ පවා අන්දමන්ද වී සිටියහ. ඒ වනවිට සිංහල අලූත් අවුරුද්ද ගෙවී ගොස් පහව තිබුණේ හරියට සතියකි.

 අලූත් අවුරුද්දේ නිවාඩු ලබා ගැනීමට නොහැකිවූ පොලිසියේ මෙන්ම ආරක්ෂක අංශවල නිලධාරීන් වැඩි පිරිසක් නිවාඩු ලබා ගම්බිම් බලා පිටව ගොස් සිටියහ. ඇතැමෙකු විනෝද චාරිකා සඳහා එක්ව සිටියහ.

 මුළු රටම කම්පනයට පත්කළ මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල වීමත් සමගම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරිණි. සියලූම නිලධාරීන් සිය රාජකාරි ස්ථාන කරා වාර්තා කළේ ඇතිවී තිබෙන භයානක තත්ත්වයට මුහුණ දීමේ අරමුණ ඇතිවය.

 ෂැංගි‍්‍රලා හෝටලයේ තුන්වැනි මහලේ පිහිටි ආපන ශාලාව මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකුගේ ග‍්‍රහණයට ලක්ව තිබිණි.

 ෂැංගි‍්‍රිලා හෝටලයේ පිපිරීම සිදු වූ ස්ථානය පරීක්‍ෂා කරමින් සිටි සොකො නිලධාරීන්ට බිමවැටී තිබූ සැක කටයුතු හැඳුනුම්පතක් හමුවිය. එම හැඳුනුම්පත මොහොමඞ් ඉන්ෂාල් අහමඞ් නමැති අයකුට අයත් එකකි. එහි ලිපිනය ලෙස සටහන්ව තිබුණේ දෙමටගොඩ මහවිල ගාර්ඞ්න් ලෙසය.

 මෙම ලිපිනය පරීක්‍ෂා කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ඒ මොහොතේම එහි පිටත් වූහ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතා ඇතුළු කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද එහි ගොස් සිටියහ.

 දෙමටගොඩ, මහවිල ගාර්ඞ්න්හි පිහිටි සුවිසල් නිවස මොහොමඞ් ඊබ‍්‍රාහිම් නොහොත් ඊබ‍්‍රාහිම් හාජියාර්ට අයත් එකකි. මොහොමඞ් ඊබ‍්‍රාහිම් යනු මෙරට කුළු බඩු වෙළෙඳාමේ ප‍්‍රධානම ව්‍යාපාරිකයෙකි.

 කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු සහ සැරයන්වරුන් දෙදෙනකු නිවසේ උඩු මහලේ වසා තිබූ කාමරයක් විවෘත කිරීමට උත්සාහ කළහ.

 ඒ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ විශේෂ කාර්ය බළකායේද නිලධාරීන් නිවසේ පහළ මාලයන් පරීක්‍ෂා කරමින් සිටියහ.

 ඒ සමගම මුළු ප‍්‍රදේශයම දෙදරුම් කමින් මහා පිපිරීමක් සිදු වුණේය. උඩුමහලේ කාමරය පරීක්‍ෂා කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් තිදෙනා බෝම්බ ප‍්‍රහාරයට ලක්ව මියගොස් සිටියහ.

 ඊබ‍්‍රාහිම්ගේ නිවසේ උඩුමහලේ පිහිටි කාමරය තුළ කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනකුගේ සුන්බුන් වූ සිරුරු වැටී තිබිණි. තම දරු දෙදෙනාද සමග බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කරගෙන තිබුණේ ඊබ‍්‍රාහිම් හාජ්ජියාර්ගේ බාල ලේලිය.

 සියදිවි හානි කරගෙන තිබුණේ ඉන්සාෆ් අහමඞ්ගේ බිරිඳ සහ දරු දෙදෙනාය. ඒ වනවිට ෂැංගි‍්‍රලා හෝටලයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එකකු ඉන්සාෆ් අහමඞ් බව පොලිසිය හඳුනාගෙන තිබුණේය.

 ෂැංගි‍්‍රලා හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් අනෙක් ත‍්‍රස්තවාදියා අෂ්කාන් අලබ්දීන් බවද හෙළිව තිබිණි.

 ඉන්සාෆ් අහමඞ් යනු ඊබ‍්‍රාහිම් හාජ්ජියාර්ගේ දරුවන් නවදෙනාගෙන් එකෙකි. මහනුවර උපත ලැබූ මොහු කොළඹ ප‍්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ පුද්ගලයෙකි.

 වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ විශාල තඹ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන ඉන්සාෆ් අහමඞ් කෝටිපති ව්‍යාපාරිකයෙකි.

 මොහු අන්තවාදී මුස්ලිම් ලබ්ධිකයෙකි. විදේශගතව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඇති ඉන්සාෆ් අහමඞ් වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.

 අන්තවාදී අදහස් ඇති ඉන්සාෆ් අහමඞ් සිය දරු පවුල ද ඒ අදහස්වලින් පෝෂණය කර තිබුණේය. ඉන්සාෆ්ගේ බිරිඳ දෙමටගොඩ පිහිටි නිවසේ පදිංචියට පැමිණ වසර 10 කට ආසන්න කාලයක් ගතවී තිබුණද ඇය තම පවුලේ පිරිමි සාමාජිකයන් මුණගැසීමට පැමිණ නැත. දෑස් පමණක් විවර වන ලෙස මුළු සිරුරුම වසාගෙන සිටින ඇය තම පවුලේ පිරිමි සාමාජිකයන් සමග කිසි විටෙකත් කතාබහ කර නැත.

 ඉන්සාෆ් අහමඞ් මෙම ප‍්‍රහාරය එල්ල වීමට දින දෙකකට උඩදී ව්‍යාපාර කටයුත්තක් සඳහා සැම්බියාවට යන බව කියමින් නිවසින් පිටව ගොස් තිබිණි.

 පිපිරීම සිදුවූ 21 වැනිදා උදෑසන 7.30 ට පමණ ඔහු තම බිරිඳට දුරකථනයෙන් කතාකර ඇගේ සුවදුක් විමසා සිටියේය. පසුව ඔහු ෂැංගි‍්‍රලා හෝටලය වෙත ගොස් මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළේ තම සංවිධානයේ අරමුණ මුදුන් පමුණුවාලීම සඳහා ය.

 ඉන්සාෆ් අහමඞ් සිය බාල සොහොයුරා මොහොමඞ් ඉල්හම්ද මෙම ප‍්‍රහාරය සඳහා සම්බන්ධ කරගෙන සිටියේය. සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ ආපන ශාලාව තුළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කර සියදිවි හානිකර ගත්තේ මොහොමඞ් ඉල්හාම්ය.

 21 වැනිදා දහවල් 2.00 ට පමණ දෙහිවල ප‍්‍රදේශයද ගිනි ගත්තේය. දෙහිවල සත්වෝද්‍යානය අසල පිහිටි නවාතැන්පළක කාමරයක ප‍්‍රබල පිපිරීමක් සිදු වුණේය. පොලිසිය විශේෂ කාර්ය බළකාය සහ බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය මෙම ලැගුම්හල වටලා පරීක්‍ෂා කළහ.

 ලැගුම්හලේ කාමරයක සිටි පුද්ගලයකු බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කරගෙන තිබුණේය. මෙම කාමරයට යාබද කාමරයේ සිටි තරුණ යුවළක්ද බෝම්බ ප‍්‍රහාරයෙන් ඉතාම අවාසනාවන්ත ලෙස මියගොස් සිටියහ.

 මෙම ප‍්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියා පිළිබඳව විමර්ශන කළ පොලිසිය ඔහු ආගිය තැන් සොයා ගත්හ. මේ පුද්ගලයා වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය හඳුනා ගත්තේය.

 විමර්ශනවලින් හෙළිවූයේ මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදියාගේ ඉලක්කය වී තිබුණේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය බවය. ටාජ් හෝටලයේ භෝජනාගාරය වෙත මෙම ත‍්‍රස්තවාදියා පැමිණ සිටිනු සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව තිබුණේය.

 පාස්කු ඉරිදා උදෑසන 8.45 වනවිට මොහු හෝටලයේ භෝජනාගාරය වෙත පැමිණ සිටියේය. මොහු කරේ එල්ලාගෙන ආ බෝම්බ බෑගය පුපුරුවා හැරීමට උත්සාහ කළද එය කි‍්‍රයාත්මක වී නැත. පසුව මොහු භෝජනාගාරයේ අසුනක වාඩිවී බෝම්බ බෑගයේ ඇති වයර අමුණමින් එය කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ ගත්තේය.

 ටාජ් හෝටලයේ භෝජනාගාරයේ සිටි අහිංසක මිනිසුන්ගේ වාසනාවට බෝම්බය පිපිරී යන්නේ නැත.

 බෝම්බය පුපුරුවා හැරීමට නොහැකිවීම නිසා ත‍්‍රස්තවාදියා එය රැගෙන හෝටලයෙන් පිටවුණේය. මොහු ති‍්‍රරෝද රථයක නැගී කෙළින්ම යන්නේ දෙහිවල ප‍්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් වෙතය. ඒ දේවස්ථානයේ ඒ වනවිට ආරක්ෂාවක් යොදා තිබුණේය. බෝම්බය එම ස්ථානයේ පුපුරුවා හැරීම අපහසු නිසා ඔහු දෙහිවල ලැගුම්හලක් වෙත ගියේය.

 එහිදී ත‍්‍රස්තවාදියා බෝම්බය නැවතත් කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ කළේය. අවසානයේ බෝම්බය පුපුරා ගියේ ත‍්‍රස්තවාදියා සහ යාබද කාමරයේ සිටි තරුණ යුවළම මරුමුවට පත් කරමින්ය.

 ටාජ් හෝටලයේ උදෑසන ආහාර ගැනීමට භෝජනාගාරයට පැමිණි මිනිසුන් වාසනාවන්තයන්ය. යම් හෙයකින් හෝටලයේ භෝජනාගාරයේ දී මිනිස් බෝම්බය පුපුරා ගියේ නම් තවත් අහිංසක මිනිසුන් සිය ගණනක් මියයනු නොඅනුමානය.

 මරාගෙන මැරුණු බෝම්බ ප‍්‍රහාර මාලාව එල්ල කළ ත‍්‍රස්තවාදීන් සියලූ දෙනාම බෝම්බ ඇඳුම් කට්ටල සකස් කර ඇත්තේ වැල්ලම්පිටියේ පිහිටි ඉන්සාෆ් අහමඞ්ට අයත් තඹ කර්මාන්ත ශාලාවේදී බවට සැක පහල කරයි.

 මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ත‍්‍රස්තවාදීන් අට දෙනෙක් එක්ව සිටි බව විමර්ශනවලින් හෙළිව තිබෙයි. මේ සියලූම ත‍්‍රස්තවාදීන්ට ඇඳුම් පැළඳුම් මිලදී ගෙන ඇත්තේ ෂැංගි‍්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය ඉන්සාෆ් අහමඞ්ය.

 මොහු මේ ඇඳුම් පැළඳුම් මිලදීගෙන ඇත්තේ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ වෙළෙඳසලකින්ය. මොවුන් සියලූ දෙනා ඇඳ පැළඳ සිටි සියලූ ඇඳුම් පැළඳුම් වටිනාකමෙන් ඉතා අධික පූමා වර්ගයේ ඒවාය.

 ත‍්‍රස්තවාදීන් අටදෙනාම එකම වර්ගයේ කැප් තොප්පි, ඔර්ලෝසු, කලිසම්, ටීෂර්ට්, ගමන්මලූ, සපත්තු පැළඳ සිට ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙයි. පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මෙම ප‍්‍රහාරය එල්ල කළ තව්හිද් ජමාත් සංවිධානයේ ත‍්‍රස්තවාදීන්ගේ වීඩියෝ පටයක් හුවමාරු වුණේය.

 ඒ වීඩියෝ පටයේ තිබුණේ මොහොමඞ් සහරාන් සහ පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව එල්ල කළ මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදීන් එකට එක්ව කිසියම් ප‍්‍රතිඥාවක් ලබාදෙන අයුරුය.

 මේ වීඩියෝ පටය කොතෙක් දුරට සත්‍යය දැයි අප නොදනිමු. එහි සිටි මොහොමඞ් සහජාන් හැරෙන්නට සෙසු ත‍්‍රස්තවාදීන් මුහුණු වසාගෙන සිටියහ. වීඩියෝ පටයේ සිටියේ මොහොමඞ් සහජාන් බව ආරක්ෂක බුද්ධි අංශ තහවුරු කරගත්හ. එහෙත් මුහුණු වසාගෙන සිටි පුද්ගලයන් සැබවින්ම මෙම ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් දැයි තහවුරු කළ නොහැක.

 කෙසේ වෙතත් තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ මේ ප‍්‍රහාරය කෙසේවත් සුළුකොට තැකිය නොහැක. මින් ඉදිරියට මොවුන් මෙවැනි ප‍්‍රහාරයක් එල්ල නොකරන්නේ යැයි විශ්වාස කළ නොහැක.

 ත‍්‍රස්තවාදීන් කතෝලික දේවස්ථානවලට මේ ම්ලේච්ඡු ප‍්‍රහාරය එල්ල කළ නිසා රටේ ඒ තරම් කැළඹීමක් ඇති වුණේ නැත. යම් හෙයකින් මේ ත‍්‍රස්තවාදීන් බෞද්ධ විහාරස්ථානයකට මෙවැනි ප‍්‍රහාරයක් එල්ල කළේ නම් අද ඇතිවන තත්ත්වය ඉඳුරාම වෙනස් එකක් වීමට ඉඩ තිබිණි.

 එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සංසන්දනය කර බලද්දී තව්හිද් ජමාත් සංවිධානය ඊට ඉඳුරාම වෙනස්ය. එල්.ටී.ටී.ඊ. යට වඩා සිය ගුණයකින් දරුණුය.

 එල්.ටී.ටී.ඊ. සංවිධානය සටන් කළේ කිසියම් අරමුණක් ඇතිවය. ඔවුන් වසර තිහක් තිස්සේ යුද්ධ කළේ වෙනම රාජ්‍යයක් ලබා ගැනීම සඳහාය. හැටදහසකට අධික එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් ජීවිත පරිත්‍යාග කළේ ඊළාම් රාජ්‍යයක් ලබා ගැනීම සඳහාය.

 එහෙත් තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කරන්නේ අරමුණක් පරමාර්ථයක් නොමැතිවය. ඔවුන් තම ආගම ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කරන බව පවසයි. මෙහි ඇති බරපතළකම එයයි.

 කිසියම් පරමාර්ථයක් ඇතිව දේපොළක් භූමියක් අත්පත් කර ගැනීම සඳහා සටන් කරන කල්ලියක් සමග කිිසියම් එකඟතාවකට පැමිණිය හැකිය. ඔවුන් සමග සාකච්ඡුා කළ හැකිය.

 එහෙත් මෙවැනි උන්මාද වූ අදහස් ඇති ම්ලේච්ඡුයන් පිරිසක් සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන්න බරපතළ ගැටලූවකි.

 මේ සංවිධානයට සම්බන්ධ වී සිටින අන්තවාදීන් බහුතරයක් මහා ධනවතුන්ය. ව්‍යාපාරිකයන්, ඉංජිනේරුවන්, පරිගණක ඉංජිනේරුවන් මේ සංවිධානයට සම්බන්ධ වී සිටිති.

 ඔවුන්ට මුදල්වලින් ප‍්‍රශ්නයක් නැත. ආර්ථික අහේනියක්ද නැත. එදා එල්.ටී.ටී.ඊ. ය මරාගෙන මැරෙන කාඩරයන් සඳහා යොදා ගත්තේ දිළිඳු පවුල්වල නූගත් තරුණ තරුණියන්ය. ඔවුන්ගේ මනස විකෘති කර මිනිස් බෝම්බ ලෙස කොළඹට එවීමට එල්.ටී.ටී.ඊ.ය කටයුතු කළහ.

 එහෙත් තව්හිද් ජමාත් කල්ලියට සම්බන්ධ වී මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කරන ත‍්‍රස්තවාදීන් එංගලන්තයේ, ඇමරිකාවේ, ඔස්ටේ‍්‍රලියාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබු උගතුන්ය. කෝටිපති ව්‍යාපාරිකයන්ය.

 මේ කණ්ඩායම් දෙකේ වෙනස තේරුම් ගෙන කටයුතු කළ යුතුය. එසේ නොකළහොත් ඉදිරියේදී අපට බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු නොඅනුමානය.

 මේ ත‍්‍රස්තවාදීන් මරාගන මැරෙන ප‍්‍රහාර සඳහා භාවිතා කළේ ටී.එන්.ටී., සී-4 වැනි අධිබල පුපුරණ ද්‍රව්‍යයන්ය. එහෙත් තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය මේ මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව සඳහා යොදාගෙන තිබුණේ කොටි ත‍්‍රස්තයන් භාවිතා කළ පුපුරණ ද්‍රව්‍යවලට වඩා විසි ගුණයකටත් වඩා ප‍්‍රබල ටී.ඒ.ටී.පී. නමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය බව හඳුනාගෙන ඇත්තේය.

 මෙම පුපුරණ ද්‍රව්‍ය අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තයන් මෙන්ම අල්කයිඩා ත‍්‍රස්තයන් සිය සංවිධානවල මරාගෙන මැරෙන ප‍්‍රහර සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය බව හෙළිව ඇත.

 මෙම පුපුරණ ද්‍රව්‍ය සුළු ප‍්‍රමාණයකින් මහා විනාශයක් කළ හැකි බව බෝම්බ විශේෂඥයෝ පවසති.

 අද ශ‍්‍රී ලංකාව අරාජික තත්ත්වයකට පත්වී හමාරය. රටේ ආරක්ෂාවක් නැත. නිවැරැදි පරිපාලනයක් නැත. වගකීමක් භාර ගැනීමට කිසිවකුත් නැත.

 ආරක්ෂක ලේකම්වරයා කියන්නේ තම ආරක්ෂාව තමාම සලසා ගත යුතුය යන මතයකි. මහජන මුදලින් පෝෂණය වන මෙවැනි අමන නිලධාරීන් ආරක්ෂක ලේකම් ධුරයට තබා මහජන වැසිකිළියක් ආරක්ෂා කිරීමටවත් සුදුසු නැත.

 රටේ පොලිස්පතිවරයකු සිටිනවා ද කියා දන්නේ නැත. මෙවැනි බරපතළ තත්ත්වයක් ඇතිවූ විට පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ මහජනයා ඉදිරියේ පෙනී සිට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මහජනයා තුළ ඇති අනියත බිය තුරන් කිරීමට කටයුතු කළ යුතුය.

 රට ඉබාගාතේ යන්නාක් මෙන් පෙනෙයි. රට අරාජික තත්ත්වයකට පත්වෙද්දී අයි.එස්. ත‍්‍රස්තයන් පමණක් නොව ලෝකය පුරා සිටින අනෙකුත් ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයන් පවා රටට ඇතුළු විය හැකිය.

 රටේ අහිංසක ජනතාව වෙනුවෙන් දැන්වත් පෙළගැසිය යුතුය. මේ රටේ දේශපාලනඥයන් කරන්නේ අහිංසක ජනතාව උකසට තබා තම බලය ලබා ගැනීමට සටන් කිරීමය. ජනතාවට හෙණ ගැහුවත් උන්ට කමක් නැත. බලයේ සිටිනා එකා කරන්නේ එය ආරක්ෂා කර ගැනීමට මාන බැලීමය. බලයේ නැති එකා කරන්නේ කෙසේ හෝ බලය අල්ලා ගැනීමට සටන් කිරීමය.

 මේ රටට හෙණ ගැහී ඇත්තේ මේ පාපතර දේශපාලනඥයන්ගේ වරදින්ය.

 තව්හිද් ජමාත් නමැති ත‍්‍රස්තවාදී කල්ලිය මේ රටේ සිටිනතාක් කල් අහිංසක ජනතාවට හෙටක් නැත. එසේ නම් කළ යුත්තේ මේ අන්තවාදී මිනීමරු කල්ලියට ගෑවුණු ගෑවුණු එකා අල්ලා විනාශ කිරීමය. එසේ නොකරන තාක්කල් අපට සැනසීමෙන් ජීවත් විය නොහැක.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.