ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 20, 2019

රනිල් වික්‍රමසිංහ ගේ අනවශ්‍ය, අඥාන, දේශපාලන පාරාවළල්ල....!!!

රනිල් වික්‍රමසිංහගේ ව්‍යායාමයේ යටි අදහස කුමක්ද? මුට්ටිය දමා බැලීමක්ද? ටී.එන්.ඒ. සතුටු කිරීමට ගත් උත්සාහයක්ද? ආර්ථික අර්බුදයෙන් ජනතාවගේ අවධානය වෙනතකට හැරවීමේ අදහසින්ද? මැතිවරණ තුනක් ඉදිරියේ තබාගෙන අගමැති ගත් උත්සාහය තුළින් කළේ රට තුළ අනවශ්‍ය කැලඹිලි තත්ත්වයක් ඇති කිරීම පමණය. පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට බැරි දෙයක් සඳහා අගමැති වෙර දරන්නේ ඇයි දැයි යූඑන්පීයේ මන්ත්‍රිවරුන්ටද ප්‍රශ්නයකි.
2019 උදාවීමත් සමඟම, අගමැති රනිල් වික්‍රමසිංහ, හදිසියේ දින තුනක දැනුම් දීමකින් ව්‍යවස්ථා මණ්ඩලය කැඳවා යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් කළේය. ඒ අතර, දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන්  මාධ්‍ය ප්‍රකාශයක් කරමින්, යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරබවාරි 4දා නිදහස් දිනට පෙර සම්මත කර ගන්නා බව කියා සිටියේය. මෙම සිද්ධීන් දෙක රට තුළ ක්‍ෂණිකව මහත් ආන්දෝලනයක් ඇති කළේය. විරෝධතා ප්‍රකාශ සහ විවිධ මතවාදී ප්‍රකාශ නිකුත් වන්නට විය. අගමැති රනිල් වික්‍රමසිංහ  එකී විරෝධතා හමුවේ ආරක්‍ෂක තත්ත්වයට පත් වූයේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක්වත් තවමත් සකස් කර නැති බව පුන පුනා කියන්නට අගමැතිට සිදුවිය. කුමන ප්‍රකාශ කළත්, රටට ගොස් ඇති පණිවුඩය වන්නේ, රට බෙදන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර ඇති බවයි. මහ නායක හිමිවරුන්ටද ප්‍රකාශ සිදු කරන්නට සිදුවිය.

අගමැති රනිල් වික්‍රමසිංහ  මේ කළේ කුමක්දැයි, බොහෝ යූ.එන්.පී. අමාත්‍යවරුන්ට පවා අදහා ගන්නට බැරි විය. අගමැති රනිල් වික්‍රමසිංහ  විශේෂඥ වාර්තාවක් කඩිමුඩියේ ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇයිද යන්න බොහෝ අයට උභතෝකෝටික ප්‍රශ්නයකි. ටී.එන්.ඒ. එකේ ඉල්ලීම අනුව, ඉදිරිපත් කළේද? මුට්ටිය දා බැලීමේ ව්‍යායාමයක්ද? නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නොගෙනීමට කළ දේශපාලන උප්පරවැට්ටියක්ද? සද්භාවයෙන්, ව්‍යවස්ථා මණ්ඩලය තුළ සංකල්ප පිළිබඳ සාකච්ඡාවක් ඇති කිරීමට දැරූ ප්‍රයත්නයක්ද? කුමන චේතනාවකින් කළ දෙයක් වුව පරිණත දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහ අනවශ්‍ය, අඥාන, දේශපාලන උපක්‍රමයකි. එය තමන් වෙතම එල්ල කරගත් පාරාවළල්ලකි.

2015 ජනාධිපතිවරණයේ කේන්ද්‍රීය දේශපාලන සටන් පාඨය වූයේ යහපාලනයයි. ඊට අදාළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥාවක්ද විය. එම මැතිවරණයේදී ඇත්ත වශයෙන්ම විධිමත් ආණ්ඩු වැඩපිළිවෙළක් නොවීය. එම මැතිවරණය වූ කලී එක් නිශ්චිත කරුණක් උඩ, එනම් මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් වෙනත් නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමයි. ඒ සඳහා වූ අපේක්‍ෂකයා වූයේ මෛත්‍රිපාල සිරිසේනයි.

පසු කාලයේදී, අගමැති - ජනපති අතර ප්‍රතිපත්ති ගැටුම් ඇති වූයේද එවැනි දෙපාර්ශ්වය පිළිගත් ආණ්ඩු වැඩපිළිවෙළක් නොතිබීමය. ජනාධිපති පත්වීමත් සමඟ සුළුතර ආණ්ඩුවක රනිල් වික්‍රමසිංහ අගමැති විය. ජනාධිපතිවරණයට එක්වූයේ විවිධ දේශපාලන මත, ස්ථාවර ප්‍රතිපත්ති තිබූ දේශපාලන බලවේගයන්ගේ එකතුවකි. එකඟ විය හැකි එකම වැඩපිළිවෙළ වූයේ යහපාලනයයි. ඒ අනුව එම රජය යහපාලන රජය වශයෙන් හඳුන්වනු ලැබීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පොදු එකඟතාවක් නොතිබිණි. ඒ බව, දැනට නිකුත් වන විවිධ මත ප්‍රකාශවලින් පෙනේ. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවද ප්‍රකාශයට පත්ව ඇත. අති දක්ෂිණාංශිකයේ සිට අති වාමාංශික දේශපාලන ආධාරකරුවන් එම එකතුවට අයත් විය.

සුළුතර නව රජය පිහිටුවී දින කිහිපයක් ගතවීමත් සමඟ අනපේක්ෂිත දේශපාලන වර්ධනයන් හදිසියේ ඇතිවිය. එනම්, පරාජිත මහින්ද රාජපක්ෂ තම මැතිවරණයට නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය මෛත්‍රිපාල සිරිසේන මහතාට පවරනු ලැබීම එම දේශපාලන වර්ධනයයි. 2015 ජනවාරි 09 වැනිදා පිහිටුවනු ලැබූ නව සුළුතර ආණ්ඩුව, බහුතරයේ ආණ්ඩුවක් බවට පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් මන්ත්‍රිවරුන් කණ්ඩායමක් රජයට එක් වූ බැවිනි. ජාතික ආණ්ඩුවකට එම සුළුතරයේ ආණ්ඩුව පත් වූ හැටි අපි දනිමු. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ 30 සිට 45 දක්වා වැඩි විය. රජයට එක් නොවූ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය බවට පත්විය.

2015 ජනවාරි - ජුනි අතර තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත වූයේ ආණ්ඩුව තුළ සහ ආණ්ඩුව හා ඒකාබද්ධ විපක්ෂය අතර වූ තියුණු අභ්‍යන්තර අරගලයකට පසුවය. 19 සංශෝධනය සම්මත වූයේ සංශෝධන සහිතවය. මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වූ 20 වැනි සංශෝධනය, දෙවරක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළද, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීය. ජනපති ඒ පිළිබඳ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ එක්ව විවෘත අරගලයක් ගෙන ගියද, එය වළක්වාලීමට අගමැති රනිල් සමත් විය. 2015 ජුනි 5 වැනිදා විහාරමහදේවි උද්‍යානයේ පැවැති විවෘත දේශපාලන පක්ෂ රැලියේදී නව මැතිවරණ ක්‍රමය සඳහා විශාල රැලියක් පැවැත්වූද එම 20 වැනි සංශෝධනයට වූ දේ දන්නේ ජනපති සහ අගමැති පමණය. ජුනි 26 වැනිදා මහ බැංකු කොල්ලය සමඟ හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. ඉන් වාසිය ලැබුණේ "කෝප්" වාර්තාව යටපත් කිරීමට පමණක් නොව 20 වැනි සංශෝධනය යටපත් කිරීමටද අවස්ථාවක් ලැබිණි. එදා 20 වැනි සංශෝධනය සම්මත වූවා නම්, අගෝස්තු මස මැතිවරණ ප්‍රතිඵල වෙනස් වන්නට තිබිණි. එය වළක්වාලනු ලැබුවේ පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ  විසින්ම යැයි දැන් නිගමනය කළ හැකිය.

ඉහතින් දැක්වූ කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ පාඨකයාගේ මතකය හාරා ඇවිස්සීමටය. එම පසුබිම නොමැතිව, අද සිදුවන දේශපාලන වර්ධනයන් මැන බැලිය නොහැකි හෙයිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය ගැන අපටද ඉතිහාසයක් ඇත. සෝල්බරි කොමිෂන් සභාවේ වාර්තාව පදනම් කොට ගත් පළමුවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ 1945 ඔක්තෝබර් 31 වැනිදාය. ධවල පත්‍රිකාවක් හැටියට ඉදිරිපත් වූ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත දින හතක් ඇතුළත කඩිමුඩියේ සම්මත වූ බව මතක් කර දිය යුතුය. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යවනු ලැබූ ව්‍යවස්ථා කෙටුම්පතේ නිදහස් පනත වශයෙන් හැඳින්වුවද, එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බිහි වූ පළමු ඊනියා රජය ස්වෛරීය රාජ්‍යයක් නොවීය. අපේ රාජ්‍ය නායකයා හෝ නායිකාව බවට පත් වූයේ බි්‍රතාන්‍ය රජුය. අපේ ඉහළ අභියාචන අධිකරණය වූයේ බි්‍රතාන්‍යයේ සාම මන්ත්‍රි මණ්ඩලයයි. දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ පළමුවැනි ජනරජ ව්‍යවස්ථාවයි. බි්‍රතාන්‍ය කිරීටයෙන් ඉවත් වීම එහි ප්‍රධාන ලක්ෂණයයි. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ එම ව්‍යවස්ථාවෙනි. එය අපේම පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විය. එය සම්පාදනය කරනු ලැබුවේ ව්‍යවස්ථා මණ්ඩලයක් විසිනි.
තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූ කලී ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාවයි. එය මුළුමනින්ම නව ආණ්ඩුක්‍රමයක් සඳහා වූ ව්‍යවස්ථාවකි. විධායක ජනපති ක්‍රමය, සමානුපාතික මැතිවරණ ක්‍රමය, දිස්ත්‍රික් ආසන ක්‍රමය, ජාතික ලැයිස්තු එහි සුවිශේෂ ලක්ෂණයි. ජනපති, අගමැති, ත්‍රිවිධ හමුදා සේනාධිනායක, තනතුරු තුනට අමතරව පක්ෂයේ නායකකමට නීතිමය හිමිකමක් ලැබූ රාජ්‍ය නායක තනතුර බිහි විය. පාර්ලිමේන්තුව හුදෙක් පනත් සම්මත කරන ආයතනයක් බවට පත් විය.

නිදහසින් පසු සම්පාදනය කරනු ලැබූ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම, මහා මැතිවරණ වරම් තුළින් මුල් වසර දෙක තුළ ස්ථාපනය කරනු ලැබූ ව්‍යවස්ථාවන්ය.
1978 ව්‍යවස්ථාව, සංශෝධන 19කට ලක්විය. වසර 40ක අත්දැකීම් අප සතුව ඇත.

විධායක ජනාධිපති ක්‍රමයට මුල සිටම, වමේ පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ විය. සෑම මැතිවරණ ප්‍රකාශයකින්ම, විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙනු ලැබුවද, එය මේ වන තෙක් සිදු නොවීය. 2000 වසරේදී චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනියගේ පාලන සමයේදී, නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවද එය පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළදීම ගිනිබත් කරනු ලැබීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම්, එය කළ යුත්තේ සහ එය කළ හැක්කේ බලයට පැමිණ මුල් වසර දෙක තුළය. එය අපේම මෙන්ම ලොවේ අත්දැකීමයි.
එසේ නොකොට, වසර හතරක් ගෙවී ගියායින් පසු නව ව්‍යවස්ථාවක් ගැන කතා කිරීම විහිළුවකි. බණ්ඩාරනායක මැතිනිය සිය තුනෙන් දෙකේ බලයත්, ජේ.ආර්. ජයවර්ධන තම හයෙන් පහක බලයත් යොදා ගනිමින් ඉටු කළ කාර්ය අපි දුටිමු.

වත්මන් රජයට, අවංකවම විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය වූයෙහි නම් එය කළ යුතුව තිබුණේ මුල් වසර දෙක තුන තුළය. එනම් ජාතික රජය පැවැති වකවානුව තුළය. සතර වසරක් ගෙවී යන තෙක් එය සිදු කිරීමට උත්සාහයක් නොගත්තේ ඔවුනට එවැන්නක් කිරීමට වුවමනාවක් නොතිබූ බවයි මගේ හැඟීම. විධායක ජනාධිපති ධුරයට පැමිණීමට ඉඩක් ඇතැයි රනිල් වික්‍රමසිංහ  සිතන්නට ඇත. දැන් සුළුතරයේ ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ලබා ගන්නේ කෙසේද? ජනමත විචාරයකින් කෙසේ ජයගත හැකිද? ටී.එන්.ඒ. එකේ දුරස්ථ පාලකයෙන් ගෙන යනු ලබන ආණ්ඩුවකට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැක්කේ කෙසේද?

තවමත්, නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක්වත් සම්පාදන කර ඇත්තේ නැත. ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ විශේෂඥ වාර්තාවකි. එය ව්‍යවස්ථා කෙටුම්පතක් නොවන බව අගමැතිවරයාම කියා සිටී. ව්‍යවස්ථා මණ්ඩලයට විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් ඵලක් නැත. එය ඉදිරිපත් කළ යුතුව තිබුණේ කෙටුම්පත් කරන කමිටුවටය. එහි දැක්වෙන්නේ ව්‍යවස්ථාවට ඇතුළුවිය හැකි ප්‍රතිපාදන සඳහා වූ සංකල්පයයි. සංකල්ප ඉදිරිපත් කිරීමෙන් විවාදයක් ඇති කළ හැකිය. ඉන් රට තුළ මතගැටුම් ඇති කරනු ඇත. ඇත්ත වශයෙන්ම, ජනතාවට අවශ්‍ය අවසාන කෙටුම්පතයි. ශාස්ත්‍රීය විවාද පොදු ජනයාට අවශ්‍ය නැත. වසර සතරක කාලයක් ගත කොට, ව්‍යවස්ථා මතභේදයට ඉදිරිපත් කරනු ලැබුවේ එකී සංකල්පයයි. රට පුරා විරෝධතා මතුවූයේ ඒ නිසාය.

ව්‍යවස්ථාවට ඇතුළු විය යුතු නව ප්‍රතිපාදන නිශ්චිත වශයෙන් තීරණය නොකොට හුදෙක් සංකල්ප පමණක් ඉදිරිපත් කිරීමෙන් රට තුළ කැලඹිලි ඇති වනු ඇත. තවද විවාදාත්මක ප්‍රශ්න නිරාකරණය කිරීමට හැකි වන්නේ පක්ෂ අතර ද්විපාර්ශ්වීය මෙන්ම, බහුපාර්ශ්වීය සාකච්ඡා ඇති කොට, පොදු එකඟත්වයකට පැමිණීමෙන් පමණය. කෙටුම්පත ව්‍යවස්ථා මණ්ඩලයට පවා තවමත් පැමිණ නැත. එය කෙටුම්පත් කරන අවධියටවත් පැමිණ නැත. ආණ්ඩුව කළ යුතුව තිබුණේ සෙසු පක්ෂ, විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන ධාරාවන් අතර පොදු එකඟතාවකට පැමිණීමට උත්සාහ දැරීමය.

එසේ නම්, රනිල් වික්‍රමසිංහගේ ව්‍යායාමයේ යටි අදහස කුමක්ද? මුට්ටිය දමා බැලීමක්ද? ටී.එන්.ඒ. සතුටු කිරීමට ගත් උත්සාහයක්ද? ආර්ථික අර්බුදයෙන් ජනතාවගේ අවධානය වෙනතකට හැරවීමේ අදහසින්ද? මැතිවරණ තුනක් ඉදිරියේ තබාගෙන අගමැති ගත් උත්සාහය තුළින් කළේ රට තුළ අනවශ්‍ය කැලඹිලි තත්ත්වයක් ඇති කිරීම පමණය. පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට බැරි දෙයක් සඳහා අගමැති වෙර දරන්නේ ඇයි දැයි යූඑන්පීයේ මන්ත්‍රිවරුන්ටද ප්‍රශ්නයකි.

මෝඩකමට බෙහෙත් නැතැයි කීම හැර, මේ ව්‍යායාමය කෙසේ හැඳින්විය හැකිද? අගමැතිගේ ගමනක අවසානය, මේ ව්‍යායාමයෙන් සහතික වූ බව පමණක් කිව හැකිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.