ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 14, 2019

අවුල් නැති දිවුල් ...!!!

අඟුණකොළපැලැස්සේ අක්කර 25 ක
ඉන්දියාව ඉස්සර කිව්වේ දුප්පතාගේ පලතුර කියලයි
ලොව විශාලම දිවුල් ප‍්‍රභේද එකතුව
නඩත්තුව, කප්පාදුව පහසු, ගහේ කටු නැති වර්ගයකුත් මේ අතර...!!!

 අලියා ගිල්ල දිවුල් ගෙඩිය ගැන කියවෙන කතාව බොහොම පරණ එකකි. එසේ වුවත් අපේ ඇත්තන්ගේ වැඩකිඩ ගැන විමසා බලනවිට වෙන කවරදාකටත් වඩා, ඒවා අලියා ගිල්ල දිවුලට උපමා කරන්නට සුදුසු බව ඕනෑම කෙනෙකුට දැන් දැන් පෙනී යමින් තිබේ. මන්දයත් බොහොමයක් වැඩ වල ඇතුළත පිරික්සා බලන විට ගත යුත්තක් නැත. මෙලෝ රහක් නැත. අරගල කරමින්, ලේ හලා ගනිමින්, සුද්දා පන්නා දමා රට නිදහස් කරගෙන වසර 70 ක් ගතවුණ තැන, මිනිසා තුළ තිබූ යහගුණය, අලියාගේ වසුරු සමග පහවෙන දිවුල තුළ තිබූ මදය සේ, කොහේදෝ සැඟවී ගොසිනි. සමාජයේ ඒ මේ අත පාවෙන්නේ දිවුල් කට්ට වැනි රූකඩයන්ය. උන්ගේ පපු කුහර තුළ මදය නැත. ඇත්තේ හිස් බව පමණි.
දිවුල් ගෙඩියක් ගිලින අලියාගේ ආමාශයික යුෂ දිවුල් කට්ටේ ඇති සිදුරු හරහා ඇතුළට කාන්දුවී, එහි ඇති දෑ ජීර්ණය කරනු ලබයි. ඉන්පසු ඒවා එම සිදුරු හරහාම පිටතට පැමිණෙන්නේය. කටුව ජීර්ණය කිරීමට මේ ජීර්ණ යුෂය සමත් නොවන නිසා, එය හානියක් නොමැතිව ඉතිරිවී මල සමග පිටතට පැමිණේ. ගෙඩියක් සේ පිටතට පෙනුණත් ඇතුළේ තිබූ දෑ සිරුරට උරාගෙන අවසන්ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවීන් උදෙසා වාර්ෂිකව නිදහස් කෙරෙන බෝග මාදිලිවලට නිල අනුමැතිය ලබාදීමේ රැස්වීම පසුගියදා ගන්නොරුවේදී පැවැත්වුනි. අලියාගේ දිවුල විසින් මගේ සිත අවුස්සනු ලැබුවේ රැස්වීම අමතමින් සිටි කෘෂි විද්වතෙකුගේ දේශනයට සවන් යොමා සිටියදීය. ඔහු සභාවට ඉදිරිපත් කෙරුවේ අලූත් දිවුල් වර්ග දෙකක තොරතුරුය. දිවුල් වනාහී වියළි කලාපීය කර්කශ පොළොවේ ඉබාගාතේ හැදෙන වැඩෙන ශාකයකි. ගෙඩි පලගන්නා කාලයට මිනිසුන් ඒ වෙත ළංවූවා මිස අනෙක් කාලයට කවුරුවත් ඒ වෙත පොහොර දමන්නට, බෙහෙත් ඉසින්නට ගියේ නැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද මේ දක්වා දිවුල් වර්ගයක් නිල වශයෙන් එළිදක්වා නැත්තේ මේ නිසා විය හැකිය. එහෙත් එදා මෙම තරුණ විද්‍යාඥයා ඉදිරිපත්කරන තොරතුරු දෙසත්, වට්ටියක දමා රැස්වීමේ සිටියවුන්ගේ අතින් අත යැවූ පොල්ගෙඩි සයිස් දිවුල් ගෙඩි දෙසත් බලන විට, අලියා වුවත් මේවා ගිලින්නට ගියානම් අලි අමාරුවක වැටේවීදෝ යයි මා හට නම් සැකයක් ඇතිවුණි. ගෙඩි ඒ තරමට විශාලය.
”කිලෝ එකට ගෙඩි දෙකයි” දේශකයා පවසනවා ද ඇසුනි. මෙම විද්වතා ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ මහතායි. අරලගංවිල සහ කරදියන්නාරු කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයන්හි ප‍්‍රධානියා ලෙස සේවය කරනවාට අමතරව අඟුණකොළපැලැස්ස මාශ හා තෙල්බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පලතුරු පර්යේෂණ කටයුතු මෙහෙයවන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාද ඔහුය.
මෙරට පොළොවේ සාරය උරාගනිමින් ජීවත්වෙන අනේකවිධ වෘක්ෂලතා අතරින් මිනිසාගේ පාලනයට නතුවූ පලතුරු ගස් මගින් විස්ථාපනය වී ඇති භූමිභාගය හෙක්ටයාර් 150000 ක් පමණ වේ. පිටරටින් ගෙනෙන ඇපල් මිදි ටික හැරුණුවිට ලාංකිකයාගේ සමස්ත පලතුරු අවශ්‍යතාවය සපුරාලන්නේ මේ බිම්කඩ මගින්ය. පෝෂණවේදීන් තම ගණනය කිරීම්වලට අනුව එක පුද්ගලයෙකුට දිනකට පලතුරු ග‍්‍රෑම් 200 ක් (වසරකට කිලෝග‍්‍රෑම් 72) කන්නට කියූවත්, අපගේ එක පුද්ගල පාරිභෝජනය වසරකට කිලෝග‍්‍රෑම් 30-40 ක් පමණය. එනම් අවශ්‍ය තරමින් අප කන්නේ භාගයක් පමණය.
මෙවන් තත්වයක් යටතේ පලතුරු වගාව ප‍්‍රචලිත කිරීම උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිහඬවම විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කළ නිසා දැන් තත්වය ටිකෙන් ටික වෙනස්වෙන බව පෙනෙන්නට තිබේ. ව්‍යාපෘති වෙනුවෙන් විදෙස් සංවිධානයන්ද නොමසුරුව ආධාර සැපයුවේය. මෙරට තරුණ විද්වතුන් විදෙස් රටවලට ගොස් අත්දැකීම් හා දැනුමින් සන්නද්ධව මෙහි පැමිණ ඒවා ප‍්‍රායෝගික යථාර්ථයන් බවට පත් කළහ. දශක කීපයකට පෙර ඇරඹි ඒ ක‍්‍රියාදාමයන්ගේ ප‍්‍රතිපල මහමග අයිනේ වුවත් අද දක්නට තිබේ. රඹුටන් වාරයට පාර දෙපැත්තේ විකුණනවා වැනි තත්වයන් හැරුණුවිට, කොමඩු, පැපොල්, අඹ, දූරියන්, අලිපේර ආදී පලතුරු තොග ගණන්, නාගරිකව පවා පාර අයිනේ තබාගෙන වාරයක් අවාරයක් නැතිව විකුණන සිරිතක් එදා තිබුණේ නැත. වර්තමානයේදී මෙන් හන්දියක් ගානේ ”ජූස් බාර්” විවෘතවූයේද නැත. ඇපල්, දොඩම් වැනි පානයන් තිබුණද ජූස් බාර්වල වැඩිපුර ඇත්තේ දේශීය පලතුරෙන් සෑදූ පානයන්ය. එසේනම් නාවල අන්නාසි, බිබිලේ පැණි දොඩම් හා කළුතර මැංගුස්ටීන්වලට පසු, යම් නිහඬ කාලයක් ගතකළ අප යළිත් අළු ගසා දමමින් නැගිටිමින් සිටිමු. ඒ හරහා වහනය වන්නේ කෘෂි විද්වතුන් හෙළනා ලද දහඩියේ සුවඳයි. ගොවිජනතාවගේ හිතුවක්කාරකම නිසා හෝ, ගොවිතැන ව්‍යාපාරයක් කරගත් මුදලාලිලාගේ වැරදි උපදෙස් නිසා හෝ, සොබාදහමේ අකාරුණික හැසිරීම නිසා හෝ සිදුවන හැම අලකලංචියකටම බැනුම් අසන කෘෂි විද්වත්තු ඒවා නිහඬවම විඳ දරාගෙන, කොප්පරා පන්දම කර තබාගෙන පෙරහැර එළිය කරමින් පාර අයිනෙන්ම යති. දිලිසෙන සළුපිලි හැඳගත් නිලමේ පෙලැන්තිය ඒ ආලෝකයේ පිහිටෙන් පාර මැද්දේ පාවඩ මතින් වඩිති. වැඩ කරමින් බර අදින්නා කොප්පරා පන්දම් නිවා දමා පාර අයිනේ වාඩිවී ගිමන් හැරියහොත්, නිලමේවරුන් කට්ට කරුවලේම පාවඩ පටලවාගෙන බිම ඇදවැටී සෙත්තපෝච්චි වීමට වැඩි කලක් ගතවන්නේද නැත. විජිතවර්ණලා සේවය කරන්නේ එවන් රටකය. පරිසරයකය. නිලධාරි හිඟය හමුවේ හොඳටම හෙම්බත්වී ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, වැඩකරන එකා කනේ වැලි ගෑවෙන්නම දෙකට නැමී වැඩකරයි. දිනෙක අරලගංවිලත්, තවත් දිනෙක මඩකලපුවේ කරදියන්නාරුවෙත්, ඒ මදිවාට තමාගේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් අඟුණකොළපැලැස්සටත්, සතිය පුරා දිවයන විජිතවර්ණයාණන් බොහෝවිට නිදාගන්නේ වාහනය ගමනේ යෙදෙද්දී මහපාරේය. සීතල නත්තල් දින හිමිදිරියේත් යම් කරුණක් දැනගනු රිසියෙන් ඔහු ඇමතූ විටද ඔහු පිළිතුරු දුන්නේ කොහේදෝ කාර්යාල කාමරයක සිටයි. එසේනම් ඔහු මේ හඳුන්වාදෙන්නේ රන් දහදියෙන් උපන් රන් දිවුල් මිස දුප්පතාගේ පලතුර නොවේ.
ඉන්දීය ජාතිකයින් ඈත අතීතයේදී දිවුල් හඳුන්වන ලද්දේ දුප්පතුන්ගේ පලතුරක් ලෙසයි. 1950 න් පසු ආහාර තාක්ෂණ ක‍්‍රමවේදයන් දියුණුවීමත් සමග මේ පලතුර සඳහා වූ ඉල්ලූම ක‍්‍රමයෙන් වැඩිවූයේ එහි ඇති පෝෂණ ගුණයත්, ඖෂධීය යහගුණයත්, අඩු පිරිවැයක් යොදමින් වැඩි සැලකිල්ලක් නොකර හොඳ පලදාවක් ලබාගැනීමට හැකිවීමත් වැනි කරුණු නිසාමය. ඇමරිකානු ආධාර යටතේ 2002 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අරඹන ලද ඌණ භාවිත බෝග සංරක්ෂණ හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ වැඩි දියුණු කළයුතු බෝගයක් ලෙසද, දිවුල් නම්කිරීම නිසා විද්වත් අවධානය පෙරට වඩා මේ වෙතට යොමුවුණි.
එහි ප‍්‍රතිපලයක් වශයෙන් එකල අඟුණකොළපැලැස්ස පර්යේෂණ ස්ථානයේ උද්‍යාන විද්‍යාව පිළිබඳව පර්යේෂණ පවත්වමින් සිටි ආචාර්ය සුජාතා වීරසිංහ විසින් බෙලිඅත්ත ප‍්‍රදේශයේ තිබී ලොකුවට ගෙඩි හැදෙන දිවුල් ගසක් සොයාගෙන ඇත. ගෙඩියේ කටුව තුනීව පිහිටීමත්, තද දුඹුරු පැහැති මාංසල කොටසත් ඇගේ සිත් ගත්තා විය හැකිය. බෙලිඅත්තෙන් වුවත් සොයා ගත්තේ දිවුල් නිසා ඇය විසින් එහි ඇට පැළ රැසක් බිහිකළා පමණක් නොව, මවු ගසෙන් ගත් අංකුර ඒවාට බද්ධ කරමින් බද්ධ පැළද නිපදවා අඟුණකොළපැලැස්ස පර්යේෂණ භූමියේ ඒවා ස්ථාපනයටද පියවර ගත්තාය. තම සිතැඟි පරිදි ‘ගජබා’ යනුවෙන් නමක්ද යෝජනා කරමින් දෙවරක්ම ප‍්‍රභේද නිර්දේශ කිරීමේ කමිටුව වෙත ඉදිරිපත් කළ නමුත්, කිසියම් හේතුවක් නිසා එය පිළිගැනුනේ නැත. ඊට සමගාමීව ඇය අඟුණකොළපැලැස්සෙන් ස්ථානමාරුවී යාම නිසා දිවුල අවුලක් වී කටයුතු ද නතර වුණි.
”මම අඟුණකොළපැලැස්සට යනවිට එහි යම් දිවුල් ගස් ප‍්‍රමාණයක් තිබුණ, නමුත් පරීක්ෂණාත්මක දත්තයන් තිබුණේ ඇතැම් ශාක වලට විතරයි. ඇති පමණ ඉඩම් තිබුණ. මම කල්පනා කළා පළමුව ලංකාවේ තියන රූපාකාරයෙන් වෙනස් දිවුල් මාදිලි එකතු කරලා උද්‍යානයක් හදන්න. එකතැන එහෙම දෙයක් තිබුණොත් දේශීය මාදිලිවලට ආරක්ෂාවක්ද ලැබෙනවා. හොඳ වර්ගයක් තෝරා ගන්න පහසුවක්ද සැලසෙනවා. 2013 මම වැඬේ පටන් ගත්ත. අද වෙනකොට දිවුල් පමණක් අක්කර 25 ක් තිබෙනවා. මේක තමයි එකතැනක තිබෙන ලෝකේ ලොකුම දිවුල් මාදිලි එකතුව. වර්ග තිබෙනවා 176 ක්. මීට අමතරව සිට‍්‍රස් අක්කර 12 ක මහනාරං, හීන්නාරං, දොඩම්, මැන්ඩරින්, ජමනාරන්, ඇඹුල් දොඩම්, සිදරං, ගඩාදෙහි ආදී පැඟිරි කුලයේ බෝගවල දර්ශ 300 ක් පමණ තිබෙනවා. දෙහි දර්ශ විතරක්ම තිබෙනවා 150 කට වැඩිය. අඹ වගාවේ වපසරිය අක්කර 15 ක්. එතන දේශීය විදේශීය අඹ මාදිලි 200 කට වඩා තිබෙනවා. ජෛව විවිධත්ව උද්‍යානය කියල තවත් අක්කර 15 ක් ඊට යාබදව තිබෙනවා. ඒ තුළ තියෙන්නේ ලංකාවේ තිබෙන සියලූම පලතුරු වර්ග. මාදං, නෙල්ලි, හිඹුටු පමණක් නෙවෙයි උඩරට වැවෙන පෙයාර්ස් ගස් පවා එහිදී බලන්න පුළුවන්. ලංකාවේ කොහෙවත් මෙතරම් විශාල පලතුරු මාදිලි එකතුවක් නෑ.” විජිතවර්ණ මහතා පවසන්නේ තම කර්තව්‍යයන් පිළිබඳව උපන් අභිමානයකින්ද යුතුවයි.
2016 වසරේදී කෘෂිකර්ම විද්‍යාව පිළිබඳ ඉන්දියානු සඟරාවට පත‍්‍රිකාවක් සපයන ගුජරාට් මධ්‍යම උද්‍යාන විද්‍යා පරීක්ෂණ ස්ථානයේ විද්වතුන් වන ඒ. කේ. සිං සහ සන්ජේ සිං යන දෙපළ පවසන්නේ ඔවුන් දිවුල් වර්ග 25 ක් එකතුකර උද්‍යානයක් ඉදිකර ඇති බවයි. එහේ කටයුතු එසේනම් විජිතවර්ණ මහතා ඔවුනට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටිනා බවට කිසිදු විවාදයක් නැත. ලංකාව හා ඉන්දියාව නිජබිම කරගත් දිවුල්, අතීතයේදී වියළි කලාපය පුරා යහමින් පැතිරී තිබෙන්නට ඇත. එකතැනක සමූහගතවූ එකම වර්ගයේ වෘක්ෂලතා නිසා යම් ප‍්‍රදේශයන් ගසේ නමින් හැඳින්වීමට ජනතාව පුරුදු වූ නිසා ගමට නමක්ද ඒ ඔස්සේම බිහිවුනි. දිවුලපැලැස්ස නමින් ගමක් අදටත් මහියංගනය පැත්තේ තිබෙන්නේ මේ නිසාය. මිනිස් ක‍්‍රියාකාරකම් වලට‘පින් සිදුවන්නට’ අද එහි නමට සරිලන්න දිවුල් ගස් ඇත්තේ නැත. මේ ආකාරයටම බතලයාය, මොරයාය, ආදී ග‍්‍රාමයන්ද ඒ පැත්තේම තිබුණත්, බතලයායේ නම් බතල දණ්ඩක්වත් නැති බව ලියුම්කරු පුද්ගලිකවම දන්නා කරුණකි. අඟුණකොළපැලැස්සේ දැන් ඇති පමණට අඟුණ කොළද නැත. එහෙත් විජිතවර්ණ වැනි විද්වතුන් අඟුණකොළපැලැස්ස, දිවුලපැලැස්සක් නොව පලතුරු පැලැස්සක් බවට පත්කර හෝ වඳවී යන ශ‍්‍රී ලාංකික වෘක්ෂලතාදියේ ජාන තටාකය සංරක්ෂණය කිරීමට පියවර ගැනීම සම්මාන දියයුතු තත්වයකි.
මෙවර ප‍්‍රභේද නිදහස් කිරීමේ රැස්වීමේදී නිල අනුමැතිය ලැබූ දිවුල් වර්ග දෙක දැනට නම්කර ඇත්තේ ඒ. එන්. කේ. දිවුල් 1 සහ ඒ. එන්. කේ. දිවුල් 2 යන දෙපාර්තමේන්තු ප‍්‍රතිපත්තීන්ට අදාළ නම් වලිනි. ඒ. එන්. කේ. යන අකුරු තුන නියෝජනය කරන්නේ අඟුණකොළපැලැස්සයි. විජිතවර්ණ මහතාගේ මනාපය පරිදි මෙම මාදිලිවලට ගොවිබිමට ගැලපෙන නමක් ලබාදිය හැකිය. එය ඉදිරියේදී සිදුවේවි. පලතුරුවල ජලය හැරුණුවිට අන්තර්ගත ඝන ප‍්‍රමාණය පෙන්නුම් කරන දර්ශකයක් වූ බි‍්‍රක්ස් අගය මෙම දිවුල් ප‍්‍රභේද දෙකෙහිම වැඩි නිසා මේවා මනා රසයකින් යුක්ත වේ. සාමාන්‍ය දිවුල් 10 - 13 ක බි‍්‍රක්ස් අගයක් දරත්දී නව ප‍්‍රභේදයන්හි එම අගය 14 ට ඉහළය.
”පළමු වර්ගයේ කටු අඩුයි. දෙවැනි වර්ගයේ කටු ඇත්තෙම නෑ. එය වගා පාලනයේදී මනා පිටිවහලක්. කප්පාදු කිරීමේදී, බද්ධ කිරීමේදී වැනි ක‍්‍රියාවලදී කටු ලොකු බාධාවක් වෙන නිසයි එහෙම කියන්නේ. අනිත් එක තමයි මෙය වාරෙට ගෙඩි හැදෙන ගස් වර්ගයක් වුණත්, අවුරුද්දක් තුළ මල් හැදෙන වාර ගණන වැඩි නිසා වසරේ වැඩි කාලයක් ගස්වල ගෙඩි තියෙනවා. අස්වැන්න වැඩි වීමට අනෙක් හේතුව තමයි මල් අංකුර වැඩිපුර හටගැනීම.”
විජිතවර්ණ මහතා තමා බිහිකළ දිවුල් දරුවන්ගේ වගතුග හෙළිකරන්නේ එසේය. දැනට ඔහු සතුව අඟුණකොළපැලැස්සේ, එක වර්ගයකින් බද්ධ පැල 500 බැගින් අලෙවිය සඳහා තිබෙන බවද ඔහු දන්වයි. පසුගිය වසර තුනක කාලය තිස්සේ මේ මාදිලියන්ගේ බද්ධ පැල 46,200 ක් ඔහු විසින් ගොවීන් සඳහා නිකුත්කර ඇති අතර නිර්දේශිත ප‍්‍රභේදයක් නොමැති නිසා, ජනතාවගේ ඉල්ලීම මත කැපීපෙනෙන හිතකර ලක්ෂණ සහිත මේ මාදිලි දෙක ගොවීන්ට ලබාදීමට කටයුතු කළ බව ඔහු පවසයි. මෙම ශාක බොහොමයක් දැන් පලදරන මට්ටමට ළංවී සිටී.
”නිමා කරනු මිස වැඩ ඇති තමා අත,
පමාවට කරුණු මට උවමනා නැත”

එක්තරා වැකියක් මගේ මතකයට නැගේ. විජිතවර්ණයාණන් වැනි යකඩ මිනිසුන්ට එවැනි යෙදුම් වලින් අමතන්නට ඔහුගේ ප‍්‍රධානීන්ට සිදුනොවීම ජාතියේ වාසනාවකි. අද දවසේ ඇතැම් විට අලූත් මාදිලියක් එළිදැක්වීමේදී සභාවේ සිටින්නවුන් ඉදිරිපත් කරන්නාගේ කුමක් හෝ අතපසුවීමක් පෙන්වාදෙයි. එක්කෝ විකිණීමට අලූත් මාදිලියේ පැළ නැත. නැතහොත් නව මාදිලිය පිළිබඳව මහජනතාවගේ රුචිකත්වය විමසා නැත. එහෙත් මේ දිවුල නම් දැනටත් අපගේ ගෙමිදුළේය. ඕනෑ කෙනෙකුට ගන්නට තවත් පැළ 1000 ක් සූදානම්ය. එසේනම් අද සිදුවී ඇත්තේ පදිංචි ඉඩමට ඔප්පුවක් ලබාදීම වැනි නිල කටයුත්තකි. එම සුභවාදී බලාපොරොත්තුව සිත දරාගෙන මෙම විද්වතා, තම ලාභ ප‍්‍රයෝජන නොතකා කටයුතු කර ඇත්තේ රට වෙනුවෙන්ය. එහෙත් දැන් දිවුල් මාදිලි දෙකක අයිතිය ඔහුට සින්නක්කරව හිමිවී තිබේ.
දකුණු ආසියාතික දේශයන් නිජබිම කරගෙන, ශුෂ්ක පළාත්වල අතරමංවූ දුප්පත් ජනතාව ඇසුරේ තම පරම්පරාව පවත්වාගෙන ගිය දිවුල් කෙරෙහි ලොව පුරා ජනතාව වැඩි අවධානයක් දක්වන්නට පටන්ගෙන ඇත්තේ එහි ඇති ඖෂධීය ගුණයත්, පෝෂණ පදාර්ථත් පිළිබඳව පර්යේෂණාත්මක තොරතුරු කරලියට ඒමත් සමගය. දිවුල් මදයේ ග‍්‍රෑම් 100 ක් තුළ කිලෝ කැලරි 140 ක ශක්තියක් අන්තර්ගතය. එසේනම් දිවුල් යුෂ වීදුරුවක් යනු හොඳ ශක්ති ජනක පානයකි. විදෙස් රටවලින් ගෙන්වා ඇසුරුමක් රුපියල් තුන් හාරසීයට අලෙවිවෙන ”එනර්ජි ඩි‍්‍රන්ක්” ග‍්‍රෑම් 100 ක් තුළ අන්තර්ගත කිලෝ කැලරි ප‍්‍රමාණය මින් තුනෙන් පංගුවක් තරම් කුඩා ප‍්‍රමාණයක් බව දන්නේ කීයෙන් කී දෙනාද? එනර්ජි ඩි‍්‍රන්ක්ස් බොන නාගරික තරුණයා උඩු මහලට යාම පිණිස විදුලි සෝපානයේ බොත්තම් ඔබද්දී, දිවුල් ගෙඩියක් දියකර බොන වියළි කලාපීය මහළු ගොවියා එක හුස්මට ලියැද්දක් කොටා හමාර කර ගසක් පාමුල හෙවනේ ඈඳීගෙන, බුලත් විටක් ඒදන්නේ අගනා පලතුරේ ආශ්චර්යය හේතුවෙනි.
ඉන්දීය විද්‍යාඥයින් කර ඇති පර්යේෂණයකින් පෙන්වාදී ඇත්තේ දිවුල් යුෂ මගින් ලේ පිරිසිදු කිරීම නිසා, ශරීරයේ ඒ වෙනුවෙන් කටයුතු කරන අක්මාව හා වකුගඩුවලට ඒ මගින් යම් සහනයක් සලසා දෙන බවයි. තායි-මියන්මාර් දේශසීමා ආශ‍්‍රිතව ඩෙංගු හා මැලේරියා රෝගය බහුලව පවතී. එහි වැසියන් දිවුල් මදයෙන් හා මුල් වලින් ”තනාකා” නමැති ආලේපයක් සාදාගෙන ඇෙඟහි තවරාගනිමින් මදුරු විකර්ශකයක් ලෙස එය භාවිත කරනු ලැබේ. කිරිදෙන මවුවරුන්ගේ කිරි නිපදවීම වැඩිකිරීමටද, ග‍්‍රීස්ම කාලයට දරුණු පිපාසයට නිවාරකයක් ලෙසද දිවුල් යුෂවලට ඇති තැන බැහැර කළ නොහැකිය.
”ජාතික කෘෂිකර්ම පර්යේෂණ සැලැස්ම යටතේ 2015 - 2020 දක්වා කාලය වෙනුවෙන් දිවුල් ව්‍යාපෘතියක් වෙනුවෙන් මට මූල්‍යමය ආධාර සැපයෙනවා. මෙතරම් දුර ඉක්මනට එන්න ලැබුනේ එම සහයෝගය නිසයි.”
ගන්නෝරුවේ රැස්වීම හමාර වූ තැන මා සමග කළ පිළිසඳරටද තිත තැබූ විජිතවර්ණ මහතා අඩුම කුඩුම ටික මල්ලක අසුරාගෙන තම නිලරථයට ගොඩ වේ. දැන් යන්නේ අඟුණකොළපැලැස්සටද, කරදියන්නාරුද, එසේත් නැත්නම්
අරලගංවිලද කියා මා ඇසුවේ නැත. අදිනා බර හමුවේ එම තීරණය වුවද, ටික දුරක් ගිය පසු ඔහු විසින් ගන්නවා ඇතැයි මාගේ යටි සිත පැවසූ බැවිනි.
සනත් එම්. බණ්ඩාර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.