සාර්ඞීනියා දූපතේ ඇති කරන බැටලූ විශේෂයකින් ලබා ගන්නා කිරි වලින් නිපදවන කාසු මාර්සු චීස්වල නිරන්තරයෙන් පණුවන් දඟලමින් සිටින නිසා ඒවා ‘ඇවිදින චීස්’, ‘පණ ඇති චීස්’ යනුවෙන්ද හඳුන්වනු ලබනවා.වීඩියෝ සහිතයි...!!!
බිත්තර මෝරා පිටවන දහස් ගණන් වන සුදු පැහැති ඉහඳ පණුවන් චීස් ආහාරයට ගනිමින් ඒ මතම ජීවත්වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එම පණුවන් නිපදවන එන්සයිමයන් මගින් චීස් පැසීමට ලක් වන අතර එමගින් චීස් කුට්ටිය තුළ ඇති මේදය දිරාපත් වීම සිදු වෙනවා. ඒ තමයි කාසු මාර්සු කෑමට නියම පදම.
කාසු මාර්සු විශාල වශයෙන් ඉල්ලූමක් ඇති සාර්ඞීනියා ප්‍රදේශයේ ජනපි‍්‍රය ආහාරයක්. කට කාරවන ආකාරයේ රසක් සහිත මෙම මෘදු චීස් ආහාරයට ගන්නා විට ඇසට කඳුළු උනන බව පැවසෙනවා. ඇතැම් අය පවසන්නේ එම රසය කල් ගත වූ ගොර්ගොන්සෝලා චීස් රසයට සමාන බවයි. කෙසේ හෝ මෙය ආහාරයට ගත යුත්තේ පණුවන් දඟලමින් සිටින විටදී බවයි සාර්ඞීනියා වැසියන් පවසන්නේ. යම් හෙයකින් පණුවන් මිය ගොස් ඇත්නම් කාසු මාර්සු චීස් ආහාරයට ගැනීමට නුසුදුසු තරමට විෂ සහිත බව සඳහන් වෙනවා.
යුරෝපා සංගමයේ සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල නොවන කාසු මාර්සු නිපදවීම හා අලෙවිය නීති විරෝධීයි. එය සාප්පුවල අලෙවි කිරීම ඉතාලි නීතියෙන් තහනම් කොට තිබෙනවා. මෙය ආහාරයට ගැනීමෙන් විවිධ අසාත්මිකතා ඇති විය හැකි අතර බඩවැල් ආසාදන පවා ඇති විය හැකි බව පැවසෙනවා. කාසු මාර්සු සමග සිරුරට ඇතුළු වීමට ඉඩ ඇති ඉහඳ පණුවන් නිසා වමනය, ලේ පාචනය, උදරා බාධ ආදී නොයෙක් අහිතකර තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇති බවයි සඳහන් වෙන්නේ.
නමුත් සාර්ඞීනියා වැසියන් පවසන්නේ වසර සිය ගණනක් පුරා කාසු මාර්සු ආහාරයට ගත් තම පරම්පරාවේ කිසිවකු රෝගී තත්ත්වයන්ට මූණ දුන් බවක් තමන් අසා නොමැති බවයි. අතීතයේ සිටම සාර්ඩිනියා වැසියන්ගේ උපන් දින, විවාහ මංගල්ලයන් ආදී විශේෂ උත්සව අවස්ථාවලදී කාසු මාර්සු වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. මෙය අතීතයේ වාජීකරණයක් ලෙසද භාවිත වූ බව සඳහන් වෙනවා.
කාසු මාර්සු ඉතාලියේ අලෙවි කිරීම තහනම් වුවත් කඳුකර එෙඬ්රුන් රහසින් අලෙවි කිරීම සඳහා සුළු පරිමාණයෙන් ඒවා නිපදවනවා. ඉතා රහසිගතව සඟවා තබාගෙන කාසු මාර්සු අලෙවි කරන්නේ විශ්වාසවන්තම ගනුදෙනුකරුවන් සඳහා පමණයි. කාසු මාර්සු චීස් අලෙවි කිරීම පමණක් නෙමෙයි සංග්‍රහ කිරීම පවා ඉතාලි නිතීයට අනුව විශාල දඩයක් හෝ දැඩි දඬුවම් පැනවීමට හේතු වන වරදක්.
ඔබට නිරෝගි සම්පන්න ජීර්ණ පද්ධතියක් සහ සාර්ඞීනියාවේ සබඳකම් ඇත්නම් කාසු මාර්සු රස විඳීමට අපහසු නැහැ. ඒවා පෙකරිනෝ චීස් මෙන් දෙගුණයන් මිලෙන් යුක්තයි. කාසු මාර්සු ආහාරයට ගනු ලබන්නේ සාර්ඞීනියානු පාන් පෙත්තක් සහ ‘කැනෝනෝ’ යනුවෙන් හැඳින්වෙන සැර අධික රතු වයින් සමගයි.
කාසු මාර්සු ආහාරයට ගන්නා විට එක්තරා උපදෙසක්ද ලැබෙනවා. ඒ දෑස වසාගෙන එය ආහාරයට ගන්නා ලෙයසි. ඊට හේතුව චීස් පෙත්තේ සිටින පණුවන් ඇස් තුළට යෑමට ඇති අවදානම නිසයි. උන්ට අඟල් 6ක් පමණ උඩ පැනීමේ හැකියාව තිබෙනවා.
අසේල කරුණාරත්න