ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 30, 2018

අක්කර 03ක භූමියක ඉතා සරු හේන් වගාවක් පවත්වාගෙන යන විජයමුණි චන්ද්‍රදාස ....!!!

අතපය හතර යහතින් තියාගෙනත් බොරුවට මිනිසුන් රවටමින් සිඟමන් යදින ජාවාරම්කරුවන්ට හා අපතය අහිමි වී ඇති බව කියමින් ජීවිතය අතරමඟ නවතා දැමූ මිනිසුන්ටත් පාඩමක් කියාදෙන චන්ද්‍රදාස.
උත්පත්තියේදී වගේම පසුකාලීනව සිදුවන ඇතැම් සිදුවීම් හේතුවෙන් විවිධ ආබාධයන්ට ලක්වන පිරිස් ලොව ඕනෑ තරම් දැකිය හැකිය. කුමක් හෝ දෛවෝපගත සිදු වීමක් නිසා මෙලෙස ආබාධවලට ලක්වන්නන්ගේ ජීවිත ඉරණම තීන්දු වෙන්නේ විවිධාකාරයෙනි. අතක් කකුලක් නැති වූ පමණින්ම ජීවිතයේ සියලු බලාපොරොත්තු අත්හළ යුතුද යන්න සිතා බැලිය යුතුය. උපතේදී සිදුවෙන අබාධ හේතුවෙන් හෝ පසුකාලීනව සිදු වූ ආබාධයක් හේතුවෙන් අසරණ වෙන මිනිසුන් අතරේ එම ආබාධයට පයින් ගසා ආත්ම ශක්තියෙන් ජීවිතය ජයගත් පිරිස්ද ලොව දැකිය හැකිය. මෙයද එවැනි අනුවේදනීය කතාවකි.
විවිධ ලෙඩ දුක් කියමින් අත් පා හතරම ඇති ඇතැම් අයද සිඟමන් යදිමින් අනුන්ගෙන් කෑමට පුරුදුව සිටින අවධියක එවන් පිරිස් වෙත හා එලෙස සිඟමන් යදින ජාවාරම්කරුවන්ට චන්ද්‍රදාස  දෙන්නේ හොඳ ආදර්ශයකි.

දැනට අම්බලන්තොට සෆාරි හන්දිය අසල අක්කර 03ක භූමියක ඉතා සරු හේන් වගාවක් පවත්වාගෙන යන පනස් හතර හැවිරිදි විජමුනිගේ චන්ද්‍රදාස  ගැටවර වයසේ සිටම ගොවිතැනට කදිම රුසියෙකි. වයස අවුරුදු 13 සිටම සිය පියා සමඟ හේන් ගොවිතැනේ නිතරවීමෙන් චන්ද්‍රදාස ලැබූ පන්නරය ඔහුගේ ජීවිතය ජයගැනීමට ඇති මඟක් විය. මෙලෙස හේන් ගොවිතැනත් සමඟම ජීවත් වෙන චන්ද්‍රදාස වයස 23දී ආරියවතී රාජපක්ෂ සමඟ විවාහ දිවියට ඇතුළත් විය.
එතැන් පටන් ආරම්භ වූ දෙදෙනාගේ යුග ජීවිතයේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනය. මේ අතර චන්ද්‍රදාස හරක් බැලීමද සිදුකර ගෙන ගොස් තිබේ. මෙලෙස කාලය ගතවීමත් සමඟ මෙම දෙදෙනාට දුවලා දෙදෙනකු හා පුතකු ලෙස දරුවන් තිදෙනකුද බිහිවිය. හේන් ගොවිතැන් කරමින් ජීවත් වූ චන්ද්‍රදාසගේ කටු මැටි පැල කුඩා දරුවන් තිදෙනා නිසා දිව්‍ය භවනක් වන්නට විය. ඒ තරමටම සතුටින් විනෝදයෙන් මේ අය ජීවිතය ගෙවමින් සිටියදී 1996 වසරේදී මේ සතුට විනාශ වී යන්නේ කිසිවකුත් නොසිතූ අයුරිනි.
ඒ චන්ද්‍රදාස මහතා හරක් බැලීමට ගිය අවස්ථාවේ කඳක් (සතුන් සඳහා අටවන මාරාන්තික උගුලක්) පත්තු වීම හේතුවෙනි. මේ අවාසනාවන්ත ඉරණමින් චන්ද්‍රදාස මහතාට සිය වම් පාදය අහිමි විය. ඒ වන විටත් චන්ද්‍රදාසගේ දරුවන් තිදෙනාම කුඩා වියේය. මේ හදිසි අනතුර හේතුවෙන් පවුලේ සියලු බර කරට ගත් චන්ද්‍රදාස මහතාගේ බිරිය ආරියවතී සිය සැමියා සුවපත් කරගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගත්තත් එය අසාර්ථක විය. වෛද්‍යවරු පැවැසුවේ චන්ද්‍රදාසගේ එක් කකුලක් කපා ඉවත් කළ යුතු බවයි. තිදරු පියකු වූ චන්ද්‍රදාස එදා පටන්ම ජීවිතයේ තමන්ට ලැබෙන දේ සියල්ල සතුටින් විඳදරාගත් අයෙකි. ඒ නිසාම ඔහුගේ වම් පාදය අහිමි වීම සිය ජීවිතය අහිමි වූවා යැයි නොසිතීය. වසරක් තරම් කාලයක් සිය බිරිය හා ඥාතීන්ගේ ඇප උපකාරවලින් පසු හැමදාම ඇඳට වී සිටිය නොහැකි බව පවසමින් චන්ද්‍රදාස සුපුරුදු පරිදි කැත්ත, උදැල්ල අතට ගත්තේ සිය ජීවන අරගලය ජයගත යුතු වූ නිසාවෙනි. දරු තිදෙනා හා බිරිය පෝෂණය කිරීම සිය පරම වගකීම වූ නිසාවෙනි.
හරක් බලන්න යද්දී කඳක් පත්තු වී එක් පාදයක් අහිමි වුවත් ජීවිතයේ බලාපොරොත්තු අත් නොහළ චන්ද්‍රදාසට නවීන පන්නයේ කිහිලිකරු දෙකක් ගැනීමට තරම් වත්කමක් නොවීය. ඒ නිසාම ගමේ වින්කලේට ගොස් යකඩ පයිප්ප බට කෑලි දෙකකින් කිහිලි කරු දෙකක් හදාගත් ඔහු එහි උපකාරයෙන් සුදුරුදු ගොවිතැනට බැස්සේය. එතැන් පටන් වසර 22ක් තිස්සේ ගොවිතැන් කරමින් සිට දරුමල්ලන් උස්මහත් කර ගෙන කරකාර බන්දා දීමටද මේ දිරිය මිනිසා සමත් විය.
මේ තමන් මුහුණ දුන් අභියෝග පිළිබඳව අදහස් දැක්වූ 54 හැවිරිදි විජයමුණි චන්ද්‍රදාස මහතා,
"අපේ මුල් ගම අම්බන්තොට - කොග්ගලේ. තාත්තත් එක්ක හේන් ගොවිතැන කරන්න එනකොට මට අවුරුදු 13යි. එදා මේවයේ හිටියේ අලි, කොටි, වලස්සු. අපි උන් එක්ක තමයි මේ මහ කැලෑවල ජීවත් වුණේ. හේන් කරන්න ඇවිත් තමයි මං කසාද බැන්දේ. කසාදෙන් පස්සේ අපි සූරියවැව තමයි පදිංචි වුණේ. කසාද බැඳලත් අපි ජීවනෝපාය ලෙස කළේ ගොවිතැන තමයි. ඒ කාලේ මං හරක් බලන වැඩෙත් කළා. එහෙම හරක් බලන්න කැලේ යනකොට දඩයක්කාරයෝ සතුන්ට අටවලා තිබුණු කඳක් මට පත්තු වුණා. ඒකෙන් මට මගේ වම් පාදය අහිමි වුණා. දැන් ඉතින් අවුරුදු 22ක් තිස්සේම එක කකුලකින් ඇවිද ගිහින් තමයි මං මේ සියලු වැඩ කරන්නේ. වෙඩිල්ල පත්තු වෙලා කකුලක් කැපුවම මං හිතුවා නැවත මට කවදාවත් ජීවිතය ජයගන්න බැරි වේවි කියලා. ඇඳකට වෙලා හෝ අනුන්ට අතපාලා ජීවත් වෙන්න වේවි කියලා මං හිතුවා.
නමුත් මං කකුල සනීප වුණාම නැවතත් හෙමින් හෙමින් කැත්තේ උදැල්ලේ වැඩට හුරු වුණා. මුල් කාලෙදි නම් ඒක ටිකක් අමාරු වැඩක් වුණා. තනියම අඬපු අවස්ථාවනුත් තිබුණා. ඒ හැම අවස්ථාවකදීම මට හයියක් වුණේ මගේ බිරිය තමයි. කොහොම හරි කාලයත් එක්ක මට අමතක වෙලා ගියා මට තියෙන්නේ එක කකුලයි කියලා. අද වෙනකොට මං අක්කර තුනක වගාවක් බිරියත් එක්ක එකතු වෙලා කරගෙන යනවා. මම අහස් දියෙන් තමයි මේ ගොවිතැන් සියල්ලම කරන්නේ. මට වතුර ගන්න ළිඳක් හාරගන්න තරම් හැකියාවක් නෑ. මම කීප දෙනකුගෙන්ම ඉල්ලීමකුත් කළා පුළුවන් නම් කුමක් හෝ සහනදායී ක්‍රමයකට මට වගා ළිඳක් හෝ නළ ළිඳක් හදලා දෙන්න කියලා. නමුත් තවම ඒක කරගන්න බැරි වුණා. වැස්ස නැති කාලෙට වතුර නැතිව ගොවිතැන් කරගන්න මට විදියක් නෑ. ඒකට කවුරු හරි පිහිටක් වෙනවා නම් ඒක ලොකු පිනක් වෙනවා.
ගෙවුණු අවුරුදු 22ම මම කටයුතු කළේ කකුල් දෙකම තියෙනවා කියලා හිතාගෙනයි. දරුවෝ ලොකු මහත් වෙලා දැන් ඒ අයත් කසාද බැඳලා. ඒ අයටත් දරුවෝ ඉන්නවා. මම සූරියවැව පදිංචි වෙලා හිටිය නිවෙසත් දරුවන්ටම දීලා බිරියත් එක්ක ඇවිත් මේ කැලේ පදිංචි වෙලා හේන් ගොවිතැන් කරමින් ඉන්නවා. හවස් වෙනකොට උයාගන්න මොනවා හරි ටිකක් අරගෙන බිරියත් එක්ක ගහ උඩ තියෙන පැලට නැඟලා රැය පහන් කරනවා. එළිවෙනකම් වල් අලි මේවට එනවා. වගාව රැකගන්නේ බොහොම අමාරුවෙන්. මොන අමාරුකම තිබුණත් ජීවිතය අතරමඟින් දමලා ගහන්න බැරි නිසා සියලු දුක් කම්කටොලු විඳගෙන පුළුවන් විදියට ජීවත් වෙනවා" යැයි පැවැසීය.
චන්ද්‍රදාස මහතාගේ බිරිය වන 51 හැවිරිදි ආරියවතී රාජපක්ෂ මහත්මිය මෙසේ පැවැසුවාය.
"ගොවිතැන් කරන්න ඇවිත් තමයි මට මහත්තයා හමු වුණේ. ඉතින් එතැනින් පස්සේ දැන හැඳිනගෙන විවාහ වෙලා අපට දරුවෝ තුන්දෙනකු ලැබුණා. මේ කාලෙදිම තමයි මහත්තයාට කඳක් පත්තු වුණේ. ඒකෙන් මහත්තයාට එක කකුලක් නැති වුණා. ඒ වෙනකොට දරුවෝ තුන්දෙනාම පුංචියි. නමුත් කරන්න දෙයක් නෑ. ඒ කාලේ අලි, කොටි එක්ක අපි පුදුම දුකක් වින්දා. මහත්තයාගේ කකුල සනීප වුණු ගමන් වගේ මහත්තයා නැවත හේන් ගොවිතැන් වැඩ පටන් ගත්තා. අද දරුවෝ උස් මහත් වෙලා කසාද බැඳලා ඒ අය වෙන් වෙලා ජීවත් වෙන්නේ. අපි දෙන්නා සුපුරුදු පරිදි කැලේට වෙලා හේන් ගොවිතැන් කරමින් මේ ගහ උඩ ජීවත් වෙනවා. මහත්තයා හැමදාමත් කියන්නේ කාටවත් කරදරයක් වෙන්න බෑ. අපේ ලෙඩට දුකට බෙහෙත් හේත් ටිකක් ගන්න කාගෙන්වත් සල්ලි ඉල්ලන්න එපා. අපි පුළුවන් විදියකට කාලා බීලා ඉමු කියලා තමයි කියන්නේ. මාත් පුළු පුළුවන් විදියට මහත්තයා එක්ක හේන් ගොවිතැන් වැඩ කරනවා. දැන් ඉතින් ජීවිතයේ අන්තිම කාලේ. මේ ටිකත් මේ විදියට කාටවත් කරදරයක් නොවී ඉන්න තමයි බලාපොරොත්තුව යැයි ඇය පැවැසුවාය."
විවිධ ආබාධ ඇති බව කියමින් අතරමඟ නතර කරගෙන විඳවමින් සිටින මිනිසුන්ට මෙන්ම අතපය හතර යහතින් තියාගෙනත් බොරුවට මිනිසුන් රවටමින් සිඟමන් යදින ජාවාරම්කරුවන්ටත් චන්ද්‍රදාස මහතා සපයන්නේ මහඟු ආදර්ශයක්. ඉර මුදුන් වීගෙන එන ජාමේ කහට කොප්පයක් බී අතකින් කිහිලිකරුවකුත් අතකින් උදැල්ලකුත් අරගෙන හේනට යන යන චන්ද්‍රාස මහතා නැවත සිය වැඩ මුරය නවතා දමන්නේ කෑම වේලාවටය. ඇතැම් දිනවලට ඉර අවරට යන මොහොතේදීය.
කකුලක් අහිමි වීමම සිය ජීවන ගමන අතරමඟ නවතාලීමට හේතුවක් නොවේ. උත්සාහය හා කැපවීම ඇත්නම් ජීවිතය ජයගැන්ම පහසු වනු ඇති බවත් චන්ද්‍රදාස මහතා ලොවටම පෙන්වා දී තිබේ. එක් කකුලක් අහිමි වුණත් චන්ද්‍රදාසගේ හපන්කම් නම් සුළුපුටු නොවේය කියා අපට සිතුණේ ඔහුගේ අක්කර තුනක් වූ හේන පුරා ඇවිද ගිය පසුවය. අක්කර තුනක් පුරාවටම අහස් දියෙන් විවිධ බෝග අස්වැද්දීමට ඔහු සමත් වී තිබේ. කව්පි, මුං ඇට, රට කජු, කෙසෙල්, කුරක්කන්, අමු මිරිස්, තල, බඩ ඉරිඟු ඇතුළු බෝග වර්ග රැසක් චන්ද්‍රදාස මහතාගේ හේනේ අදටත් දැකිය හැකිය.
අතපය තිබියදී පවා සිඟමන් යදින මිනිසුන් සිටින ලෝකයේ කොතරම් අඩුපාඩු තිබුණත් ජීවිතය ජයගන්න දහදුක් විඳින චන්ද්‍රදාස වැනි දිරිය මිනිසුන්ද සිටින බව අප අමතක නොකළ යුතුය. ඔහු සැබෑම වීරයෙකි යැයි අපටද සිතිණි.
සටහන හා සේයාරූ
මත්තල - ඩී.එන්. ජයසේකර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.