ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 3, 2018

දුම්බර අඩවියේ මහා ඉඩම් කොල්ලයක්.. අක්කර විසිඑක්දාහක් කබීර් හෂීම්-කිරිඇල්ල නෑ හිතවතුන්ට දෙයි..

දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ. මෙලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම ම`ගින් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් ය

නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි අලකොළේ, කොටගල, ගල්පිහිල්ල, ගෝමරේ, හග්ගල්ල, හෙයාර් පාර්ක්, හුන්නස්ගිරිය, කැළෑබොක්ක, මැදවත්ත, නිකොලොය, රංගල හා ඕපල්ගල යන රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් හෙක්ටයාර 9675 ක් වන වතු ඉඩම් වලින් හෙක්ටයාර 6192 ක් සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් බණ්ඩරපොළ, ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්පිටිය, මිල්ලවාන හා නාලන්දා වතු ඉඩම් වලට අයත් හෙක්ටයාර 3693 න් හෙක්ටයාර 2363 ක් වශයෙන් විවිධ පුද්ගලයින් හා සමාගම් වලට හෙක්ටයාර 8555 ක් නැතහොත් අක්කර 21,400 ක වතු ඉඩම් පැවරීම සිදු කර ඇත. මෙම පැවරීම සිදු කර ඇත්තේ අක්කරයකට වාර්ෂික ව රුපියල් 2857 ක මුදලකට තිස්පස් අවුරුදු බදු පදනම යටතේ ය.
නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි හෙයාර් පාර්ක් වත්තේ අක්කර 900 ක් පමණ මේ ආකාරයෙන් මහ පරිමාණ කුකුළු ගොවිපොළක් ස`දහා කි‍්‍රස්බ්‍රෝ සමාගමට ලබා දී තිබේ. සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි රත්වත්ත වතු යාය රෝස තිරුවානා ඛණිජ කැණීම ස`දහා ලබා දී ඇති අතර මේ වන විට මහ පරිමාණයෙන් නීති විරෝධී ලෙස මෙම ඛණිජ කැණීම් කටයුතු සිදු කෙරේ. මැදවත්ත වතු යායේ අක්කර 35 ක් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් ස`දහා ලබා දී තිබේ. මේ සියල්ල මේ වන විට සිදු වන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ය.

කි‍්‍රස්බ්‍රෝ සමාගම දිගින් දිගට ම මේ ආකාරයෙන් සංවේදී පරිසර පද්ධති ආක‍්‍රමණය කරමින් සිටී. 2007 වසරේ දී මහවැලි ‘‘සී’’ කලාපයට අයත් ඇළකොටලිය හෙවත් මහපිටිය අලිමංකඬේ අක්කර 150 ක තෘණ භූමි පවරාගෙන කුකුළු ආහාර ලෙස භාවිතයට ගැනීමට බඩ ඉරිගු වගා කිරීම ඇරැුඹින. මෙම ව්‍යාපෘතිය ස`දහා එවකට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති උදය ගම්මන්පිල මහතා විසින් අවසර ලබා දීම සිදු කෙරින. මේ ආකාරයෙන් ම කි‍්‍රස්බ්‍රෝ සමාගම දුම්බර අඩවියේ ඉතා සංවේදී ඉඩම් අත්පත් කර ගෙන මහ පරිමාණ කුකුළු ගොවිපොළවල් සැකැසීමට සූදානම් වේ.
දුම්බර අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. දේශගුණික විවිධත්වය, මහවැලි ගෙ`ග් ප‍්‍රධාන ජල පෝෂකයක් වීම නිසා මෙහි ඇති වටිනාකම ඉතා අධික මට්ටමක පවතී. මේ සියල්ල දුම්බර අඩවියේ ඉඩම් අවභාවිතාව හේතුවෙන් විනාශ වී යාමට ඉඩදිය යුතු නැත.
සමස්ත දුම්බර කඳුකරය ම ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගෙඟ් ප‍්‍රධානතම ජල පෝෂක ප‍්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප‍්‍රදේශ අතුරින් 30%ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. හෙක්ටයාර 21,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍්‍ර ක් පමණ ආවරණය වී ඇත. මධ්‍යම පළාතේ මහනුවර දිස්තී‍්‍රක්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්තී‍්‍රක්කයේ උකුවෙල. රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ දුම්බර කඳුකරය ව්‍යාප්ත ව තිබේ. 2009 අංක 65 දරන පනතින් සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3අ(1* වැනි උප වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර 17825 ක් පමණ වන භූමි ප‍්‍රමාණයක් ලංකාවේ ප‍්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමියේ පෞද්ගලික ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් හෙක්ටයාර 2000 ක් පමණ වේ. එ්වා මේ වන විට ක‍්‍රමාණුකූල ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. එහෙත් එහි මන්දගාමි ස්වරූපය හා වන්දි ගෙවීම්වල ප‍්‍රමාද වීම් හේතුවෙන් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබෙන අතරතුර එම ඉඩම් විවිධ සමාගම් වලට හා ව්‍යාපාරිකයන්ට පැවරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
මෙම ඉඩම් පවරා ගැනීම කඩිනම් කිරීමට අවශ්‍යවන ඉතා වැදගත් වන අමාත්‍ය මණ්ඩල තීරණයක් 2004 වසරේ දී ගැනිණ. එහෙත් එය අද වන තෙක් නිසි පරිදි කි‍්‍රයාත්මක නො වේ. අංක පීඑස්/සිපී/26/2004 හා 2004 ජූලි 22 වන දින දරන අමාත්‍යමණ්ඩල සංදේශයට අනුව නකල්ස් සංරක්ෂණ වනාන්තරයට යාව හෝ ඉන් කිලෝමීටර් බාගයක් ඇතුළත පිහිටි සියලූ ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, 1972 අංක 01 දරන ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22(1*ඊ සහ 44(එ්* වගන්ති ප‍්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු කඩිනමින් සැලැසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම හෝ මේ වන තුරු අවසන් කර නොමැත.
මේ කි‍්‍රයාමාර්ගයන්ට එළැඹීම පැහැර හරින සෑම දිනයක් පාසා ම ඒ වනාන්තර බිම් වෙනත් සංවර්ධන කටයුතු ස`දහා ක‍්‍රමක‍්‍රමයෙන් යොදා ගැනේ. මේ නිසා අවසානයේ ඉතිරි වන්නේ හුදෙකලා වූ නකල්ස් සංරක්ෂණ වනාන්තර කුට්ටි කිහිපයක් පමණි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පළමු ව සිදු කළ යුතු වන්නේ නකල්ස් සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමි ප‍්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික වනාන්තර බිම් විධිමත් ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම යි. ඊට අමතර ව මේ ප‍්‍රදේශයේ පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හා වැවිලි සංස්ථාවට අයත් වනාන්තර බිම් නකල්ස් සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීම සිදු කළ යුතු ය. ඉන් පසු ව නකල්ස් සංරක්ෂණ වනාන්තරය වටා කිලෝමීටරයක් පමණ ප‍්‍රදේශයක් ජාතික පාරිසරික පනත යටතේ නකල්ස් හෝ දුම්බර පරිසර ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර ඒ ප‍්‍රදේශය තුළ සංවර්ධන කටයුතු පාලනය කළ යුතු ය. මෙමඟින් දුම්බර අඩවියේ සුරක්ෂිතතාව තහවුරු කළ හැකි ය. නමුත් සිදු වන්නේ මේ සුවිශේෂී ජෛව කලාපය වැනසීම ස`දහා වන කි‍්‍රයාවලීන් කි‍්‍රයාත්මක කිරීම ය.
දුම්බර කඳුකරයේ වනාන්තරයන්ට පළමු ව ආරක්ෂාව ලබා දෙන ලද්දේ ඉංගී‍්‍රසින් විසිනි. එ් 1873 දී දුම්බර කඳුකරයේ මීටර 1500 ට වඩා ඉහළ (අඩි 5000 ට වඩා ඉහළ* වළාකුළු වනාන්තර ප‍්‍රදේශ දේශගුණික රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමිනි. ඉන් වසර 127ක ට පසුව 2000 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරින. පසුව 2007 වසරේ දී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් 2008 වසරේ දී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙවන් වූ නීතිමය ආවරණයන් ගණනාවක් දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප‍්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසා ය. ඒ හේතුවෙන් ම 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප‍්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මඟින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
මෙවන් වූ සුවිශේෂී නීතිමය ආවරණයක් සහිත භූමි ප‍්‍රදේශයක පිහිටි ඉඩම් දේශපාලකයන්ට වුවමනා පරිදි විවිධ පුද්ගලයින්ට හෝ සමාගම් වලට පැවරිය නොහැකි ය. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24ඇ සහ 24ඈ වගන්ති වලට අනුව 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති භූමියක ඉඩම් සංවර්ධන කාර්යයන් ස`දහා නිදහස් කළ නොහැකි ය. මෙම ගැසට් නිවේදනයට අනුව නකල්ස් සංරක්ෂිත වනාන්තරයට අයත් රජයේ ඉඩම් හැර ඉතිරි රජයේ ඉඩම් හා පෞද්ගලික ඉඩම් සියල්ල ආවරණය වන පරිදි මෙම පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ප‍්‍රදේශය කළමනාකරණය ස`දහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශ කළමනාකරණ කමිටුවක් පිහිටුවා තිබේ. එම කමිටු නිර්දේශ වලින් පරිබාහිර ව කිසිදු සංවර්ධන කාර්යයක් මෙම කලාපය තුළ සිදු කළ නොහැකි ය. නමුත් දැනට මෙම ඉඩම් විවිධ පුද්ගලයින්ට බදු පදනම මත ලබා දී ඇත්තේ එවන් කිසිදු අනුමැතියකින් තොරව ය.
ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තිය අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයක මායිමේ සිට මීටර සියයක් ඇතුළත හෝ පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශිත ප‍්‍රදේශයක් තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ ස`දහා පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එසේ තිබිය දී නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ හා පස සංරක්ෂණ ප‍්‍රදේශය තුළ පිහිටි ඉඩම් විවිධ පුද්ගලයන් ට හා සමාගම්වල ට විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම ස`දහා පරිසර බලපෑම් ඇගැයීම් කි‍්‍රයාවලියෙන් තොර ව පැවරීම නීති විරෝධී කි‍්‍රයාවකි. මෙම අණ පනත් පිළිබ`ද ව අවබෝධයක් නොමැති ව මෙම අමාත්‍යවරුන් දෙදෙනා මෙන් ම ඔවුන්ගේ කාර්යය මණ්ඩලය ද කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබේ.
දුම්බර අඩවිය ආරක්ෂා කර ගැනීමට හා එය අවභාවිතය වැළැක්වීමට පියවර ගත යුතු වන්නේ ඊට ලබා දී ඇති නීතිමය ආවරණය නිසා පමණක් ම නොවේ. එහි පවතින මිල කළ නොහැකි වටිනාකම නිසා ය. මීටර් 760 සිට මීටර් 1900 දක්වා උච්චත්ව පරාසය ඇසුරේ පිහිටි ක`දුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන් හි අධික විවිධත්වයක් දැකගත හැකි වේ. තෙත් කඳුකර වනාන්තර (වළාකුළු වනාන්තර*, කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංගාශි‍්‍රත වනාන්තර, තෙත් පතන තෘණ බිම්, වියළි පතන තෘණ බිම්, ළඳු කැලෑ බිම් දුම්බර කඳුකරයේ ව්‍යාප්ත ව ඇත.
දුම්බර අඩවියේ විවිධ වූ පරිසර පද්ධතීන්හි ශාක විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් මේ වන විට සිදු කර නොමැති වුව ද ලෝක සංරක්ෂණ සංගමය මඟින් සිදු කැරුණු අධ්‍යයනයට අනුව කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් මේ ප‍්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. එ් අතුරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225 ක් දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හෝ පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් 27.4‍% ක් පමණ සහ, ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් 17.3‍්‍ර ක් පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක් සීමා වූ ශාක විශේෂ හයක් වෙයි. විශේෂයෙන් කඳුකර තෙත් වනාන්තර, උප කඳුකර තෙත් වනාන්තර හා ගංගාශී‍්‍රත වනාන්තරයන්හි උඩවැඩියා හා මීවන ශාක බහුල ව දැකගත හැකි වේ.
දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව සැලැකීමේ දී පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ පහ පිළිබඳ ව හා අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ වන සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් ගේ විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්‍යයනයන් සිදු කර තිබේ. ලෝක සංරක්ෂණ සංගමය, විවිධ පර්යේෂකයන් සහ මේ ලියුම්කරු විසින් ඉහත සත්ත්ව කාණ්ඩ හත පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයන් ගේ දත්ත සම්පිණ්ඩනය කැරුණු විට මෙහි සත්ත්ව විවිධත්වය පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකි වේ.
උභයජීවීන්, උරගයන්, මත්ස්‍යයන්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්ඩ හතට අයත් විශේෂ 479 ක් දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. එය ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයෙන් වාර්තා වන මේ කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 1294 ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 37‍්‍ර ක් තරම් ඉතා ඉහළ අගයක් ගනී. ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍්‍ර ක් පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප‍්‍රජාවක් ජීවත්වීම මේ ප‍්‍රදේශයේ සංරක්ෂණ අවශ්‍යතාව කඩිනම් හා විධිමත් කිරීමට ප‍්‍රධාන හේතුවක් වේ.
ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ වාර්තා වන පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 813 අතුරින් විශේෂ 272 ක් දුම්බර අඩවියෙන් වාර්තා වී තිබේ. එය 33‍්‍ර ක ඉහළ ප‍්‍රතිශතයකි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 16 ක් ජීවත්වන්නේ දුම්බර කඳුකරයේ පමණකි. නැතහොත් ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ අතුරින් 5‍්‍ර ක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙනි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 91 ක් නකල්ස් කඳුකරයෙන් වාර්තා වන අතර එය 29‍්‍ර ක ඉතා ඉහළ ප‍්‍රතිශතයකි. දුම්බර කඳුකරයේ සුවිශේෂත්වය වන්නේ එහි වාර්තා වන ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 91 අතුරින් විශේෂ 16 ක් නැතහොත් 18‍්‍ර ක් දුම්බර කඳුකරයට ආවේණික පෘෂ්ඨවංශීන් වීම ය.
දුම්බර කඳුකරයේ වාර්තා වන උභයජීවීන් අතුරින් විශේෂ අටක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙන් පමණි. ඒ විශේෂ රැුකොෆොරිඬේ කුලයට අයත් විශේෂ හතක් සහ ඩික්රොග්ලොසිඬේ කුලයට අයත් එක් විශේෂයක් වශයෙන් වර්ග කළ හැකි ය. රැුකොෆොරිඬේ කුලයට අයත් දුම්බර පඳුරු මැඬියා හොෆ්මාන් ගේ පඳුරු මැඬියා විශාල පාදැති පඳුරු මැඬියා, මුරි ගේ පඳුරු මැඬියා, ස්ටෙයිනර් ගේ පඳුරු මැඬියා ස්ටුවර්ට් ගේ පඳුරු මැඬියා හා හැන්කනයිගේ පඳුරු මැඬියා සහ ඩික්රොග්ලොසිඬේ කුලයට අයත් දුම්බර ගල්පර මැඬියා යන විශේෂ අට දුම්බර කඳුවැටියට ආවේණික වෙයි.
දුම්බර කඳුවැටියෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ අතුරින් තුනක් දුම්බර කඳුවැටියට ආවේණික වන අතර තවත් විශේෂ දෙකක් වන ගඩයා හා දුම්බර පෙතියා දුම්බර කඳුකරයට හා ඒ අවටින් පිහිටි මහවැලි ගෙඟ් ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වේ. දුම්බර කඳුකරයට ම පමණක් ආවේණික මත්ස්‍ය විශේෂ තුන නම් දුම්බර ගල්පා`ඩියා , මල් පෙතියා හෙවත් දන්කුඩු පෙතියා හා දුම්බර කරඇදයා ය. බොහෝ විට දුම්බර පෙතියා දුම්බර කඳුකරයට ආවේණික විශේෂයක් ලෙස විස්තර කළ ද ඒ විශේෂය මහවැලි ගෙඟ් දෙකේ ඇළ දක්වා ම වාර්තා වන බව පර්යේෂණයන් ගෙන් තහවුරු වී තිබේ. මීට අමතර ව තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් දුම්බර කඳුකරයට ආවේණික විශේෂ බවට ඉදිරියේ දී පත් විය හැකි බව එ් පිළිබඳ ව පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ විශ්වාසය යි.
සිවුපා උරගුන් අතුරින් විශේෂ හතරක් හා එක් සර්ප විශේෂයක් දුම්බර අඩවියට ආවේණික වේ. එනම් ඇගමිඬේ කුලයට අයත් කටුසු විශේෂ දෙකක් වන දුම්බර අඟ කටුස්සා හෙවත් පත‍්‍ර අඟ කටුස්සා , දුම්බර කුරු බෝදිලිමා හෙවත් දුම්බර කුරු කටුස්සා, ගෙකොනිඬේ කුලයට අයත් දුම්බර මහ කැලෑ හූනා සින්සිඬේ කුලයට අයත් චතුරාංගලී සර්ප හිකනලා සහ පාංශුවාසී සර්ප විශේෂයක් වන යුරෝපෙල්ටිඬේ කුලයට අයත් ඉරිවකටුල්ලා ය.
මීට අමතර ව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 අතුරින් 30 ක් ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි. ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ වන මයිලගොයා , ගුරුකොණ්ඩයා, ලංකා අරංගයා ලංකා හම්බු කුරුල්ලා , අ\ුරු නිල් මැසිමාරා හෙවත් කොපි කුරුල්ලා කඳුකර මල් කුරුල්ලා , කැහිබෙල්ලා වැනි පක්ෂීහු රැුසක් දුම්බර කඳුකරයේ විවිධ පරිසර පද්ධතීන්හි ජීවත් වෙති.
දුම්බර අඩවියේ වාර්තාවන මකුළුවන් පිළිබඳ ව පුළුල් අධ්‍යනයක් සිදුකර නොමැති වුව ද 2000 වසරේ දී විද්‍යාඥයන් විද්‍යා ලොවට හඳුන්වාදුන් ලංකාවට ආවේණික මකුළු විශේෂය වාර්තාවන්නේ දුම්බර අඩවියෙන් පමණි.
මීට අමතර ව දුම්බර අඩවියේ පමණක් ජීවත් වන ලංකාවට ආවේණික මිරිදිය කකුළු විශේෂ හතරක් ද වේ. මේ ජීවී විශේෂ දුම්බර අඩවියේ අද්විතීය ජෛව උරුමයේ මහා සාධකයන් වේ.
මෙවන් සුවිශේෂී වූ පරිසර පද්ධති ඇතුළු ව අප රටේ ඉඩම් දේශීය හා විදේශීය සමාගම් වලට මෙන් ම මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට පැවරීම ස`දහා අලූතින් ඉඩම් පනතක් ගෙන ඒමට ද වත්මන් රජය කි‍්‍රයා කරමින් සිටී. රජයේ ඉඩම් බැංකු පනත නමින් මෙම පනත ගෙන එ්මට මේ වන විට සැලැසුම් කර ඇත. වගන්ති 33 කින් සමන්විත මෙම පනත ම`ගින් ඉඩම් බැංකු පිහිටුවීම, රාජ්‍ය බැංකු කොමිෂම පිහිටුවීම හා බලය පැවරීම ඇතුළු ව කොටස් 7 කින් සමන්විත ව මෙම පනත සකස් කර ඇත. මෙම පනතින් බලාපොරොත්තු වන්නේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ඇතුළු ව රජයට අයත් ඉඩම් වෙළෙ`දපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීම ය.
නව ලිබරල් ආර්ථික සැලැසුම් කි‍්‍රයාත්මක කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත පූර්ණ විවෘත ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ දරන වත්මන් රජය අප රටේ සියලූම ස්වාභාවික සම්පත් ඇතුළු ව පොදු දේපොළ විකුණා දැමීමට කි‍්‍රයා කරමින් සිටී. මේ තත්ත්වය නතර කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගත යුතු අතර රාජ්‍ය ඉඩම් බැංකු පනත සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය. එපමණක් නොව නකල්ස් ක`දුකරයේ පිහිටි ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති ස`දහා සමාගම් සතු කිරීම වහාම නතර කිරීමට අවශ්‍ය බලපෑම කළ යුතු ය. එපමණක් නොව දැනට මෙරට සිදු වන ඉඩම් අව භාවිතාව හා ඉඩම් කොල්ලය නතර කිරීම ස`දහා ජනතාවාදී සැබෑ ඉඩම් ප‍්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු ය. ඒ ස`දහා ඉඩම් ප‍්‍රතිපත්තියක් සකස් කළ කිරීමට ජනතාව එක් විය යුතු ව ඇත.
සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.