බිම ඇදවැටීමට පෙර ඔහු කිසිවකුට වෙඩි තැබූ බවට සාක්ෂිත් නැහැ...

දුමින්ද නඩුවට පැටලවීම රහස් පොලිසියේ අරමුණ වී තිබුණා - ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්ථාවේ දුමින්ද සිල්වා අතේ ගිනි අවියක් තිබිලා නැහැ. වෙඩි වැදී සිහිසුන්ව බිම ඇදවැටීමට පෙර ඔහු කිසිවකුට වෙඩි තැබූ බවට නඩු විභාගයේදී සාක්ෂියක් ඉදිරිපත් වුණෙත් නැහැ. කෙසේ හෝ ඔහු මෙම නඩුවට පැටලවීම රහස් පොලිසියේ අරමුණ වූ බව පරීක්ෂණ පැවැත්වූ ආකාරයෙන් ඉතා පැහැදිලිව පෙනී යනවා යයි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචJද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිව් දෙනකුට මරණ දඬුවම නියම කරමින් දුන් නඩු තීන්දුවට එරෙහිව විත්තිකරුවන් ගොනු කළ ඇපැල් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා එසේ පැවසීය.
ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළේ නඩුවේ 04 වැනි විත්තිකරු වන දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටිමිනි.
ජනාධිපති නීතිඥ සමින්ද්‍ර ප්‍රනාන්දු ද දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී
සිටින අතර අනෙක් විත්තිකරුවන් තිදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය
පීරිස්, අනෝඡ් ප්‍රේමරත්න සහ අධිනීතිඥ අනුර මැද්දෙගොඩ පෙනී
සිටිති.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන,
විජිත් කේ. මලල්ගොඩ සහ නලීන් පෙරේරා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
මඬුල්ල හමුවේ මෙම විභාගය පැවැත්වේ.ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙසේ ද පැවසීය.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දුමින්ද සිල්වාට සාධාරණ නඩු විභාගයක් ලැබිලා නැති බව මුලින්ම කිව යුතුයි. ඔහුගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ සාක්ෂිවලට මෙම ගැටුම සිදුවූ ආකාරය හා එහිදී ඇතිවූ වෙඩි හුවමාරුව පිළිබඳ විත්තියේ සාක්ෂිකරුවන් කළ විස්තරය ගැන මහාධිකරණය සැලකිල්ලක් දක්වා නැහැ.
පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ සාක්ෂි එකිනෙකට වෙනස් තැන් රාශියක් විත්තියේ නීතිඥවරු පෙන්නා දුන්නා. පරස්පර තැන් ඌණතාවයන් 61 ක් තිබුණා. නඩු විභාගයකදී ඉදිරිපත් වන සාක්ෂිවල අඩුපාඩු ඌණතාවයන් සැලකිල්ලක් නොදැක්වීම බරපතළ වරදක්. මේ නඩුවේ විත්තිකරුවන් චෝදනාවලට වැරදිකරුවන් කිරීමට තීරණය කරනු ලැබුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකු විසිනි. ඒ බහුතර තීන්දුව අනුව දුමින්ද සිල්වා ඇතුළු 04 දෙනාට මරණ දඬුවමේ සාක්ෂිවල පරස්පරතාවයන් සහ ඌණතාවයන් නඩුවේ හරයට බාධාවක් නැත්නම් ඒවා සැලකිල්ලට ගත යුතු නැතැයි නඩු තීන්දුව ලියූ මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කරලා තියෙනවා. ඇය ඒ ගත් තීරණය වැරැදියි. නීතියටත් පටහැනියි.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තැබූ බව පිළිගන්නැයි 12 වැනි විත්තිකරුට රහස් පොලිසිය දැඩිව බලපෑමක් කරල තියෙනවා. එසේ පිළිගතහොත් නඩුවේ විත්තිකරුවකු කරන්නේ නැතිව රජයේ සාක්ෂිකරුවෙක් කරන බව රහස් පොලිසිය ඔහුට පවසා තිබෙනවා. ඔහු රහස් පොලිසිය කී දේට ඔහු කැමති වුණේ නැහැ. නොකළ දෙයක් මා පිළිගන්නෙ නැහැ. මම කාටවත් වෙඩි තැබුවේ නැහැ. කියමින් ඔහු රහස් පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා.
එහෙම නම් උඹට කාලයක් දුන්නා ඇති තීරණයක් ගන්න. උඹ ඒක ප්‍රයෝජනයට ගත්තෙ නැහැ කියල රහස් පොලිසිය ඔහු නඩුවේ විත්තිකරුවකු කෙරුවා.
මේ කතාව ඔහු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පැවැත්වූ නඩු විභාගයේදී විත්ති කූඩුවේ සිට කිව්වා.
12 වැනි විත්තිකරු කී සාක්ෂිය සත්‍යයක් ලෙස පිළිගන්නා බව මහාධිකරණ විනිසුරුවරිය නඩු තීන්දුවෙන් සඳහන් කරලා තියෙනවා.
මෙයින් පෙනී යන්නේ රහස් පොලිසිය මෙම සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වූ ආකාරයයි. භාරතට වෙඩි තැබූ පුද්ගලයා හරියට සොයා ගැනීමට නොහැකිව ඒ වරද කාට හෝ පැටවීමට ගත් උත්සාහය ඉතා නින්දිතයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාස ගණනාවක් රහස් පොලිසියේ රඳවාගෙන බලපෑම් කරමින් ප්‍රකාශ ලබාගෙන තියෙනවා. රහස් පොලිසියට ඕනෑ කරල තිබුණෙ මේ මිනීමැරුම්වල වගකීම දුමින්ද සිල්වාට පටවන්නයි.
රහස් පොලිසිය විසින් 12 වැනි විත්තිකරුට කර තිබෙන බලපෑම සලකා බලන විට මේ සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වා නැති බව ඉතාමත් පැහැදිලිය. සාධාරණ පරීක්ෂණයක් පවත්වා නැත්නම් විත්තිකරුවන්ට උසාවියෙන් සාධාරණ නඩු විභාගයක් ලැබෙන්නේත් නැහැ.
රහස් පොලිසිය විත්තිකරුවන්ට බලපෑම් කරමින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා.
ගැටුම ඇතිවූ අවස්ථාවේදී වෙඩි තැබීම් සිදු කරල තියෙන්නෙ දුමින්ද සිල්වා නොවේ. වෙන කෙනෙක් කළ වැරදිවලට එතන සිටි දුමින්ද සිල්වාත් පටලවලා.
දුමින්ද සිල්වා සමග සිටි කණ්ඩායම් නායකයා ඒ කණ්ඩායම මෙහෙයවූ පුද්ගලයා නිසා ඔහු මිනීමැරුම්වලට වගකිව යුතු යයි චෝදනා එල්ලකරනවා නම් එහි පෙත්සම අනුව පිළිගත හැකි ආකාරයට කළ යුතුය.
දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම ඒ ගැටුම සිදුවූ ස්ථානයට පැමිණියේ මිනීමැරීමේ පොදු අරමුණ ඇතිව යයි සාක්ෂිවලින් ඔප්පුවෙලා නැහැ. එනිසා දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම වෙන චෝදනා එල්ල කිරීම වරදක්. භාරත ප්‍රේමචන්ද්‍ර සමග බහින්බස්වීම ඇතිවූ විගස මුලින්ම වෙඩි වැදුණේ දුමින්ද සිල්වාටයි. ඔහු තුවාල වී බිම ඇද වැටුණා.
ඊට පසුවයි දෙපාර්ශ්වය අතර වෙඩි තැබීම් සිදුවෙලා තියෙන්නෙ. දුමින්ද සිල්වා ඒවාට කිසිම සම්බන්ධයක් නැහැ. එවැනි පුද්ගලයකුට එරෙහිව මරණ දඬුවම නියම වෙන චෝදනා එල්ල කිරීම ඔහුට කළ බරපතළ අසාධාරණයක්. දුමින්ද සිල්වා තමා සමග සිටි කණ්ඩායමේ සිටි නමුත් වෙඩි තැබීම් සිදුවුණේ ඔහුගේ මෙහෙයවීම උඩ නොවේ. නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවලට නිසියාකාරව සැලකිල්ල යොමු කර නැති නිසයි ඔහුට මරණ දඬුවම නියම වෙලා තියෙන්නෙ. ඔහුට සාධාරණය යුක්තිය ඉටුවෙලා නැහැ. ඒ නිසා මහාධිකරණය දුන් නඩු තීන්දුව ඉවත් කර ඔහුට එල්ල වී ඇති චෝදනා වලින් නිදහස් කරන ලෙස මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා විත්තිකාර දුමින්ද සිල්වා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම ඊයේ අවසන් කළේය.
ඇපැල් පෙත්සම් විභාග කිරීම සඳහා ලබන මැයි 8, 10, 14, 18 සහ ජුනි 4 සහ 5 යන දිනවල යළි රැස්වීමට විනිසුරු මඬුල්ල විත්තිකරුවන් සහ නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කළහ.