ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 9, 2018

ලංකාවේ අබ්රහස් ස්ථාන....!!!

අළුගල් ලෙන රාවණාගේ සේනාව පිළිස්සූ තැනද ? නිවී ගිය ගිනි කන්දක්ද ?

දුමෙන් බර මිටියාවත නොහොත් දුම්බර මිටියාවත ලෙස නම් කළ හෙක්ටයාර 22,000 ක පමණ භූමි වපසරියකින් යුත් නකල්ස් වනපෙත ලංකාවේ අතිශය වැදගත් රක්ෂිත වන පියසකි. යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරන ලද ලෝක උරුමයක කඳු, හෙල්, උමං, ගුහා, දිය ඇලි, තැනිතලා වැනි ස්වභාවධර්මයේ නිර්මාණයන් සේම උරඟයින්, පක්ෂීන්, මාළුන් හා තවත් සතුන්ගේ උරුමකම් කියන මෙම වනපෙත මධ්‍යම පළාතේ උතුරු ප්‍රදේශයට ආසන්නව මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක වලට යටත්ව පැතිර ඇත.
  මීට පෙර අප නකල්ස් වනයේ අබිරහස් ස්ථාන වූ ලකේගල හා රෑහැස්සේ ගුහාද, රාවණා රජුගේ මෘත දේහය ඇතැයි පැවසෙන යහන්ගල පිළිබඳවද තතු හෙළිකළ අතර අළු ගල්ලෙන යනු හුදෙක් සංචාරක ඉසව්වක සීමාවෙන් ඔබ්බට ගිය යටගියාවක් සහිත ස්ථානයක් බවට විස්තර සොයා ගත්තෙමු.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අළුගල්ලෙන යනු විවෘත ලෙනක මෙය පිහිටා ඇත්තේ නකල්ස් වන පෙතේ ඝන වනාන්තරයක් මැදය. නේක වෘක්ෂලතාදියෙන් වැසුණු කාලෙකට ඉහතදී එනසාල් වගාවෙන් සුපෝෂිත වූ වන පියසකය. මහනුවර සිට මහියංගණය පාරෙ හුන්නස්ගිරියට පැමිණ එතැනින් ලුල්වත්ත හරහා මීමුරේ දක්වා යන මාර්ගයේ කරඹකැටිය නම් ග්‍රාමයට ළඟා වී එතැන් සිට ඇති සම්මත සංචරණ මාර්ගය ඔස්සේ කි.මී. 9 ක් පමණ ගිය පසු අළුගල්ලෙන හමුවේ.
 එම මාර්ගයේ ගමන් කොට අලුගල්ලෙන සිට නංගප්පුවට යා හැකි අතර අළුගල්ලෙන සිට තංගප්පුව දක්වා ඇති දුර කි.මී. 10 ක් පමණ වේ. කරඹකැටිය සිට අළුගල්ලෙනට පැමිණ තංගප්පුවට යාම යනු සීඝ්‍ර කඳු නැගීමක් වන අතර නියත වශයෙන් දින දෙකක් වැය වන වෙහෙසකර ගමනකි. එම නිසා මහනුවර සිට තෙල්දෙණියට පැමිණ රංගල පාරේ කෙළවරට එනම් තංගප්පුව ගමට ළඟා වී තංගප්පුවේ සිට නකල්ස් කඳු පෙළට යන මාර්ගයේ ගමන් කොට අළුගල්ලෙනට පිවිසීම සහ පසුව කරඹකැටියට යාම පහසු වේ. මන්ද එම මාර්ගය කඳු බැසීමක් වන බැවිනි.  

අළුගල්ලෙන පිහිටා ඇත්තේ නකල්ස් කඳු පන්තියටත් අලියා වැටුණු ඇළ කන්දටත් අතරමැද වන පියසේය. මීමුරේට සහ කොබෙට් කපොල්ලට සුපාහැදිලිව පෙනෙන අලියා වැටුණු ඇල කන්ද අළුගල්ලෙන ලෙස බොහෝ අය වටහා ගන්නා නමුත් අළුගල්ලෙන යනු කන්දක් නොව තනි කළුගලින් යුත් පර්වතයක් පමණක් බව බොහෝ අය නොදනිති. එම අළුගල්ලෙන පර්වතය තනි පර්වතයක් ලෙස පිහිටා ඇති අතර එය ගෝලාකාර වේ. නකල්ස් වනයේ ඇති අසාමාන්‍ය කඳු හා පර්වත අතර ස්පිනික්ස් කන්ද, යහන්ගල සහ මෙම අළුගල්ලෙන දැක්විය හැක.

මන්ද ස්පිනික්ස් කන්ද සහ අළුගල්ලෙන කන්ද යනු කිසිසේත්ම කඳු මුදුනට තරණය කළ නොහැකි කඳු වේ. ස්පිනික්ස් කන්ද කොබෙට් කපොල්ල නොහොත් අත්තල වෙට්ටුව නිම්නයට පෙනෙන්නේ මුර සේවයේ යෙදී සිටින සිංහයෙකුගේ හැඩයක් විලසිනි. එසේම අළුගල්ලෙන යනු වක්‍රාකාර වූ තනි පර්වතයක් වන අතර කොපමණ ධාරානිපාත වර්ෂාවකදී වුවත් ලෙන තුළ පහසුවෙන් කූඩාරම් 8 ක් පමණ අටවා ගෙන නොතෙමී සිටීමට හැකි ඉසව්වක් වේ. මෙවැනි විරල ස්ථානයක් ලෙස අපට නක්ල්ස් හි පිහිටි දූවිලි ඇල්ලේ ඉහළ ඇල්ලේද ගත හැක. එයද ඇල්ල ඇතුලේ පිහිටි ගුහාවකි.

ලකේගල විශ්ව ශක්තියේ තෝතැන්නක් ලෙසත් ලකේගල ගුහාවන් රාවණා රජුගේ යුද සේනා උපක්‍රමවලට ප්‍රයෝජනයට ගත් ස්ථාන ලෙසත් රැහැස්ස සහ උයන්ගොමුව නම් වන පියස රාමරාවණා යුද්ධය පැවැති ස්ථාන ලෙසත්, යහන්ගල තුළ රාවණා රජුගේ සිහිමුර්ඡා වූ දේහය තැන්පත් කොට තිබෙන ලෙසත් පුරාවෘත අනුව අභිරහස්මය ස්ථාන ලෙස නකල්ස් වන ​ෙපත තුළ පවතියි. මීට තවත් ආසන්නතම ස්ථානයක් වනුයේ අළුගල් ලෙනයි. අළු පිහිටි ගල්ලෙනක් ලෙස හැඳින්විය හැකි අළුගල්ලෙන හි ලෙන පිහිටි භූමියේ ඇත්තේ අළු පමණි. වර්ෂාවෙන් කිසිදු හානියක් එම අලු පිහිටි ප්‍රදේශයට සිදු නොවන අතර එහි කිසිදු ශාකයක් වර්ධනය වීමක් ද සිදු නොවෙයි. තවද එම ප්‍රදේශයට කූඩැල්ලෙකුවත් නොපැමිණෙන අතර එම අලු පිහිටි පොළොව තුළ කූඩාරම් අටවා සිටීමට හෝ මිනිස් ජීවිතයක් සැරිසැරීම තුළ කිසිදු හානියක් සිදුනොවන ස්ථානයක් වේ.

රංගලට පැමිණි අප කොටගඟ ගම් පියසට පිවිස කොටගඟ කන්ද ප්‍රථමයෙන් තරණය කළේ කොට ගඟ විසින් එම කන්ද මුදුනේ සිට පහළට වැටෙන ජල දහරාවෙන් නිර්මාණය කරන අලංකාර දියඇලි හතද නරඹමිනි. විවිධ උස් මට්ටම් වලින් විවිධ හැඩවලින් යුත් එන දිය ඇළි පහළ සිට ඉහළට නරඹමින් මහ වන මැද දුෂ්කර චාරිකාව අප පටන් ගන්නේ උදෑසන හයේ කණිසමේ සිටය.

හරිත පැහැගත් වන පියසේ ළා හිරු රැසට ප්‍රබෝධමත් වූ තේ යායක් මැදින් චිරි චිරියේ අතරින් පතර ගලාගෙන යන දිය කඩිත දිය සීරා මැදින් කොටගඟ නිසොල්ව ගලාගෙන යනයුරු අප දුටුවෙමු. ඈත සිට දියඇළි සියල්ලම දැක ගැනීමට හැකිවූ අතර ක්‍රමයෙන් අප මහා පඳුරු පීරාගෙන කූඩැල්ලන්ගේ ප්‍රහාර මැද ක්‍රම ක්‍රමයෙන් කොටගඟ දිය ඇළි සත තරණය කර කන්ද මුදුනට පැමිණියෙමු.

පසුව ගලාගෙන එන ජල ප්‍රවාහය දිගේ කිලෝ මීටරයක් පමණ ගිය පසු අපව තංගප්පුව සිට නකල්ස් යා හැකි අඩි මාර්ගය හමුවිණි. එම අඩි මාර්ගය දිගේ නකල්ස් දෙසට තවත් කිලෝ මීටරයක් පමණ අප ගමන් කළ අතර එහිදී අපට කොටගඟ තැන්න දැකගැනීමට ලැබුණි.

නකල්ස් වනපෙත් සැඟව තිබෙන අලංකෘත පතන හා තැනිතලා වන ගිනිකෙළිය පතන, රැහැන කෙටු පතන, වෙලන්ගොල්ල පතන, කොමලෑවේ පතන, පිටවල පතන සේම කොට ගඟ පතනද තුරු ශාක පිරි විටෙක හෝර්ටන් තැන්න ලෙස අත්විදිය හැකි ස්ථානයක් විය. ගුවනට විවෘත විශාල ප්‍රදේශයක් වූ එහි කුරු ශාක පමණක් තිබූ අතර නොඉඳුල් ජල මුලාශ්‍ර කිහිපයක් ද චිරි චිරියේ අතරින් පතර ගලාගෙන යන්නට විය.


කෙසේ හෝ නකල්ස් කඳු පියසට හා අළුගල්ලෙන මාර්ගය බෙදෙන ස්ථානය හමුවූ අතර ඉන් දකුණු මාර්ගය දිගේ පහළට ගමන් ඇරඹුවෙමු. ඝන කැලයකින් අවට වැසුණු අතර ගුවනත නොපෙනන ​ෙලසම තුරු වියත සැදී තිබුණි. අළුගල්ලෙන් දක්වා කි.මී. 5 ක් පමණ ඇති අතර එම මාර්ගය තුළ දිය දහරාවන් දුසිමකට වැඩි ප්‍රමාණයක් අපට හමුවුණා.

ඒ සමඟම කුඩා ගුහා පිහිටි ගල් පර්වත කිහිපයක්ද දැක ගත්තෙමු. විටෙක පසෙකින් මහා හෙලක් වූ අතර විටෙක එනසාල් අතු අතරින් වැටුණු පොළව නොපෙනන මාර්ගයක් විය. සුදු මීදුමෙන් වන පියස වෙලා ගෙන අත්භූත සිනමා පටයක භයංකර සිතුවමක් පසක් කරලීය. අඩිය තබන තබන තැන එල්ලෙන ලේ උරා බොන්නන් ගලවා වීසි කිරීමට තරම් වේලාවක් හෝ ප්‍රයෝජනයක් නොවුයේ සවස දෙක පමණ වන විට මහා වර්ෂාවත් පතිත වූ නිසාවෙනි.

වර්ෂාව මධ්‍යයේ අප සවස 4 වන විට අළුගල්ලෙනට පැමිණියෙමු. හාත්පසම ඝන මීදුම වූ අතර මහ වන මැද තනිව මහා වර්ෂාව මැද කූඩාරම් අටවා ගත්තේ මෙහි වර්ෂාවට හොඳම විසඳුම තිබූ නිසාවෙනි. අළුගල්ලෙන නකල්ස් හි පිහිටි ගුහා අතරින් සුවිශේෂි වේ. මන්ද ස්වභාවිකවම පිහිටි මෙම අළුගල්ලෙන මීට වසර ගණනාවකට පෙර සිට අවට ගම් වල ජීවත් වූ දඩයක්කරුවන්ගේ සහ එනසල් වගාකරුවන්ගේ නවාතැන් පොළක් වූ හෙයිනි.

අළුගල්ලෙන අපේ පිහිටීම සම්බන්ධව එක් කතාවක් වනුයේ අතීතයේ පටන් ගැමියන් සහ දඩයක්කරුවන් නවාතැන් පොලක් ලෙස මෙය භාවිත කිරීමේදී ගිනි මැල දැල්වීම මතු මෙලෙස අළු තැන්පත් වූ බවයි. නමුත් යථාර්යානුකූලව විමසන විට එය කාලාන්තරයක් මුළුල්ලේ වීමේ සත්‍යතාවයක් ප්‍රායෝගිකව පිළිගත නොහැක. මන්ද දර පිළිස්සීමෙන් හට ගන්නා අළු බොහෝ විට සුළගම මුසුවේ.

එලෙසම කාලාන්තරයක් මුළුල්ලේ සමස්ත ලෙස පරිශ්‍රය තුළ ගිනිමැල දැල්වීමට අවශ්‍යතාවක් නොමැති වේ. දඩයම් ගිය උන් හෝ එනසල් වගාකරුවන් වුව එක් ස්ථානයක් ගිනිමැල දල්වා රැය පහන් කිරීමටත් ආහාර සකසා ගැනීමටත් තබා ගැනීම සුදුසු හෙයිනි. සමස්ත ලෙන පුරාවට එකම ආකාරයේ අළු තට්ටු ගණනින් තැන්පත් වී ඇත. මෙය හුදෙක් දර පිළිස්සීමෙන් පමණක් වූ බවට පිළිගත හැකි ප්‍රායෝගිකතාවයක් නොමැත.

අළුගල්ලෙන හා සබැදි අනෙක් පුරා වෘත්තය නම් රාම රාවණා යුද්ධයේදී මියැදුණු සේනාවගේ සිරුරු පුළුස්සා දැමූ ස්ථානය බවය. එනම් ලකේගල ආශ්‍රිත උයන්ගොමුවේ සටන් වැදුණු රාම රාවණාගේ සේනාවන් එකිනෙකා මරා ගත් අතර එසේ මියගිය අයගේ සිරුරු අළුගල්ලෙන තුළ පුළුස්සා ඇති බවය. එම නිසා මෙපමණ තට්ටු ප්‍රමාණයක් අළු පොළොවේ තැන්පත් වී ඇති බවය. මන්ද මෙම පොළොව තුළ බොහෝ ඇත්තේ අළු පමණක් වන හෙයිනි. පුරාවෘත්තය අනුව නකල්ස් හා රාම රාවණා යුද පෙරහැර සම්බන්ධ වූ ස්ථාන කිහිපය අතරම අළුගල්ලෙනත් අයත් වන අතර මෙම තනි පර්වතය කිසිදු අවශේෂ කන්දකට හෝ පර්වතයකට සම්බන්ධ වූ විශාල තනි ගල් කුට්ටියක උසින් මීටර 100 කට වඩා වන මෙම දැවැන්ත ගල ගෝලාකාර බව අප සමග ගිය මාර්ගෝපදේශක මහතා පැවැසීය. ඔවුන් කුඩා කළ පවා අළුගල්ලෙන අළු තිබූ බවටත් මෙම පර්වතය ඉහළට කිසිදු කෙනෙකුට නැගිය නොහැකි බවටත් යම් නිධන් වස්තු පර්වතය මුදුනේ ඇති බවටත් ඔවුන් පැවැසීය.

කෙසේ හෝ රාවණාගේ දඬු මොනරය මේ අවට ගොඩබැස්වූ ස්ථානයක් ලෙස අලුගල්ලෙන සැලකිය හැකිද නැත්නම් මෙම අස්වාභාවික ගලේ පිහිටීම තුළ යම් අබිහරසක් තැන්පත්ව තිබේදැයි තවම කිසිවෙකුත් පර්යේෂණ කර නැත. කෙසේ හෝ ගොම්මන් අඳුර වැටී ගෙන එන විට අපද පෙර භාවිතා කොට තිබූ ගිනි මැලයට අපගේ භාවිතයට ගත් අතර ලෙන තුළ ගඩොල් තබා කුඩා කාමරයක් ලෙස සකස් කළ ඉසව්​ෙව් ගල් ඇඳ මත සියල්ලෝ සිට ආහාර ගත්හ. කෙසේ හෝ රාත්‍රිය උදාවූ පසු නින්දට යාමට සැරසුණු අතර භාගෙට නිවී යන ගිනිමැලය විනා වෙනත් කිසිදු ආලෝකයක් පරිසරය තුළ නොවීය.

අළුගල්ලෙනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්මත සංවරණ මාර්ගයක් ඇති අතර සමස්ත නකල්ස් වනපෙත තුළම අවසර සහිතව කඳවුරුලා සිටිය හැක්කේ දෝනලුගල හා අළුගල්ලෙන කඳවුරු භූමි තුළ පමණි. අළුගල්ලෙන අයිනකින් බට ආධාරයෙන් ජලය ලබා ගැනීමට ක්‍රමයක් ඇති අතර අනෙක් පසින් මඳක් වනපියස තුළට ගිය විට දිය දහරාවක් දැකගත හැක.

මෙම මහා පර්වතය වටා ඇවිදීම අතිශය දුෂ්කර සේම පර්වතය මුදුනත බැලීමෙන් බොහෝ විට දුෂ්කර විය. ඒ මීදුමෙන් පර්වත මුදුන වැසී ඇති හෙයිනි. රාත්‍රී නින්දට ගිය සියල්ලෝ පසුදා පහන් වන විට නැගිට ගත් අතර පෙරදින වර්ෂාව එලෙසින්ම නොකඩවා ඇද හැළෙමින් පැවතුණි. නමුත් ඉඩ සහිත සුවපහසු ලෙන තුළට වර්ෂාවෙන් හෝ වර්ෂා ජලයෙන් කිසිදු හානියක් සිදු නොවුණි. උදෑසන ආහාර ගත් අප කරඹකැටිය ගම්මානය වෙත පියමං කිරීමට පටන් ගත්​ෙත් නැවතත් මොරසූරන වර්ෂාවේ එනසාල් කැළය මැදින්ය.



චිරි චිරි වරුසාව කොළ පාට ගස් මුදුන් අතරින් පතර දැවටී බිමට වැටෙන්නට විය. අතිශය ලිස්සන සුළු මාර්ගයක් වන මෙම කොටසේ පවතින බෑවුම අධිකය. පසෙකින් අඳුරු හෙළ පිහිටා ඇති අතර බොහෝ ස්ථානවලත් දිය දහරාවන් ඇද හැලෙන්නට විය. මඩ සහිත ලිස්සන අඩි පාරේ ස්ථාන කිහිපයකදී පස්සා බිම වැදෙන ලෙස ලිස්සූ අප කෙසේ හෝ ආරක්ෂාකාරී ලෙස ගල් කුට්ටි අතරින් පහළට බැස ගත්තෙමු. එක්තරා ස්ථානයකදී දෙපසින් දිය ඇලි දෙකක් කඩා වැටෙන ස්ථානයක් විය. එහි සුළු වේලාවක් ගත කොට එහි සුන්දරත්වය වින්දෙමු. අධික වර්ෂාව නිසා දිය ඇළි දෙකෙහි ජලය ඉතිරෙන්නට විය. කූඩැල්ලන්ද අප මෙන් එය නරඹන්නන් බව දුටුවේ කලිසම පුරා සපත්තු මතින් උන් උඩට ඇදෙන විටය.

පසුව අප තවත් දුර බසින කල කුඩා ගුහාවක් හමුවුණ ගුහාවට එපිටින් පිහිටි පහළට වැටෙන ජල දහරාව හරහා අප සීරුවට අඩි තබා අනෙක් පසට පැන්නේ පොඩි වැරදීමකින් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන ස්ථානයකින්ය. පුරා හෝරා දෙකක් මුළුල්ලේ එක එල්ලේ නොනැවතී අප පහළට බසින්නට වූ අතර නඩය එකා පිටුපස එකා ගමන් කළේ පටු අඩි පාර හෙයිනි. ඉතා විශාල කන්දක් බසිමින් අප පැමිණි අතර වර්ෂාව අඩුවක් නම් නොවීය.

ගමනේ අවසන් ඉසව්ව වූයේ කරඹකැටිය ඔය තරණය කිරීමයි. හෙණ හඬ නංවමින් ගල් කුළු මතින් පැන දිය රැලි පෙණ පිඬු නංවා පහළට ඇදෙන කරඹකැටිය ඔය වර්ෂාව නිසා දැඩි ලෙස ප්‍රචණ්ඩ වී ඇත. ගඟේ ඉහළ කාලය තුළින් මද දුරක් ගිය පසු ජලයට බැස අනෙක් පසට යා හැකි ස්ථානයක් සොයා ගත්තෙමු. බෑග් සියල්ල හිස මත තබාගෙන එකිනෙක අත් අල්ලා ගෙන ඔයට බැස්සේ පපුව පමණ තෙක් ජලයේ ගිලී මෙනි. අඩි 4 කට වැඩි ගැඹුරු ජල කඳ සියල්ලෝ තරණය කොට ගම්මානයට යන අඩි මාර්ගයට ආවෙමු.

දවල් දොළහ වන විට කරඹකැටිය ගම්මානයට පැමිණ අප කොබෙට් කපොල්ල තෙක් නැවත ප්‍රධාන මාර්ගයේ ගමන් කොට එතැන් සිට තංගප්පුවට ඇති පර්ඩේල් මාර්ගය ඔස්සේ සවස 4 වන විට බස්රථය අසලට ආවෙමු. දින දෙකක් පුරාවට නකල්ස් වනයේ පිහිටි දිය ඇලි සොළොසක් පමණ නරඹමින් අබිරහස් ගල්ලෙන වන අළුගල්ලෙන රාත්‍රිය ගත කොට නැවතත් ආරක්ෂාකාරී ලෙස ගමන නිම කළේ පුරා පැය 12 කට අධික වර්ෂාවේ ගැවසෙමිනි. අළුගල්ලෙන පිහිටි අළුවල අබිරහස් පොළ වංශයේ කුමන හෝ සිද්ධියක සම්බන්ධ බවත් එහි අරුමය තවමත් අප සිත් තුළ තබමින් ගමන නිමා කළෙමු.




සංචාරක සටහන සහ ඡායාරූප ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.