මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් ඍජුව නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය.
පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්තු වැඩිකර තිබේ. තැපැල් ගාස්තු, විදුලිය ගාස්තු, ජල ගාස්තු මේ නිසා ඉහළ යයි.
එසේම උප්පැන්න, විවාහ, මරණ සහතික ගාස්තු, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, උද්‍යාන වලට ඇතුළු වීමේ ගාස්තු ආදී රජයේ ගාස්තු ගණනාවක් ද මේ නිසා ඉහළ යයි. මේ අතර ආණ්ඩුව සුඛෝපභෝගී වාහන බදු විශාල වශයෙන් වැඩි කිරීමත් සමඟ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර වලට අති විශාල වටිනාකමක් ඇති වී තිබේ.
එසේම රජය මඟින් වසර පහකට වඩා පැරැණි වාහන වලට පනවා ඇති කාබන් බද්ද නිසා මෝටර් සයිකලයකට රුපියල් 62 ක් ද කාරයකට රුපියල් 640 ක් ද බස් රථයකට රුපියල් 980 ක් ද බදු වශයෙන් අය කෙරේ. මේ නිසා ප්‍රවාහන ගාස්තු ඉහළ යන අතරම රටේ සමස්ත ජනතාවට මෙය අඩුවැඩි වශයෙන් බලපායි.
මේ අතර ණය ආපසු ගෙවීමේ බද්ද ලෙස හඳුන්වා දෙමින් බැංකුවල සිදුවන ගනුදෙනු සඳහා රුපියල් දහසකට ශත විස්ස බැගින් රජය පනවා ඇති නව බද්ද සමස්ත බැංකු ක්ෂේත්රයටම අහිතකර ලෙස බලපානු ඇත.
මෙය අවසානයේ ජනතාවට ගෙවන්නට සිදුවුවහොත් ජනතාව බැංකු වලින් ඉවත් වීම සිදුවේ.
මේ අතර පැළ සහ මල්, ප්ලාස්ටික් පබළු වර්ග, වීදුරු පබළු වර්ග, නූල්, රෙදි, ලී, ලී බඩු, ඩයි වර්ග, විදුලි භාණ්ඩ, ඇස් කණ්ණාඩි, ඔර්ලෝසු, යන්ත්‍රොaපකරණ ආදියට වැට් හා ජාතිය ගොඩනැඟීමේ බදු අයකිරීම නිසා එම භාණ්ඩවල මිල විශාල වශයෙන් වැඩිවනු ඇත.