අයවැය ඉදිරිපත් කිරීමට දින දෙකක් තිබියදී හදිසි අවශ්‍යතාවක් යෑයි කියා කෝටි 1126 ක පරිපූරක ඇස්තමේන්තුවක්...!!!
අයවැය ඉදිරිපත් කිරීමට දින දෙකක් තිබියදී හදිසි අවශ්‍යතා ව්‍යාපෘති යටතේ යෑයි පවසමින් පසුගිය සැප්තැම්බර් මාසය තුළ පමණක් වියදම් කළ රුපියල් කෝටි 1126 කට අධික මුදලක් අනුමත කර දෙන ලෙස ඉල්ලා (07 දා) පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේය.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට අනුව එම මාසය තුළ අතිරේකව වැය කර ඇති පුනරාවර්තන වියදම රුපියල් කෝටි 534 කි. ප්‍රාග්ධන වියදම් රුපියල් කෝටි හාරසිය අනූ දෙකකි. එම මාසය තුළ විදෙස් ගමන් වෙනුවෙන් රුපියල් කෝටි තුනහමාරක් වැය කර ඇත. ඒ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය රුපියල් ලක්ෂ පහක්, විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් තුන්කෝටි දහසය ලක්ෂයක්, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය රුපියල් ලක්ෂ තිහක් සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය රුපියල් හාරලක්ෂ අනුහය දහසක් මෙසේ විදෙස් ගමන් සඳහා සැප්තැම්බර් මස තුළ වැය කර තිබේ.
වාහන නඩත්තුව සඳහා රුපියල් පන්කෝටි පනස් නව ලක්ෂ පනස් දහසක් එම මාසයේදී වැය කර ඇත. ඒ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, සභානායක කාර්යාලය සහ ගුවන් හමුදාවය. දරිද්‍රතාව පිටු දැකීම පිළිබඳ බිම්ස්ටෙක් සමුළුව සඳහා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය රුපියල් කෝටි එකහමාරක් වැය කර තිබේ.
බේරුවල සහ අලුත්ගම ප්‍රදේශයේ 2014 ජුනි මාසයේ සිදුවූ කළබලයෙන් මියගිය අයගේ පවුල්වලට වන්දි ලෙස රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයක් ගෙවා ඇත. වරාය නගර ව්‍යාපෘතියේ මුහුදු වැලි කැනීම සඳහා රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක් වැය කර තිබේ. සාහිත්‍ය කලා උළෙල හා ජනාධිපති සිනමා සම්මාන උළෙල සඳහා රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් වියදම්කර තිබේ.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට එරෙහිව ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා විරෝධය පළ කළේය.
රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් එක්මාසයකදී විදෙස් ගමන් වෙනුවෙන් වැයකරලා. මෙහෙම කොළ කෑලි දාලා හරියන්නේ නෑ. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි යෑයි බිමල් රත්නායක කීවේය.