ගිංතොට ගින්න ග්‍රාම සේවා කොට්ඨාස අටකට පමණ ව්‍යාප්ත වී තිබිණි. ඒ ගම්වල බහුතරය ගිංතොට ථූපාරාමයේ පැවැති සාම සාකච්ඡාවට සහභාගි වී සිටියහ. ඔවුන් අතර සිටි බොහෝදෙනෙක් අප සමඟ සිද්ධිය ගැන කතාබහ කළහ. බහුතරය දුකින් තැවෙන්නේ නොසිතූ මොහොතක නිස්කාරණයේ දේපළවලට සිදු කළ අලාභහානිය ගැනය. ගැටුමට කිසිදු සම්බන්ධයක් නැතිව ගුටි කා රෝහල් ඇඳක මරණයත්, ජීවිතයත් අතර සටනක නිරත වන අහිංසක කොල්ලන් ගැනය. ආරවුලට කිසිදු සම්බන්ධයක් නැතිව හිරේ ලඟින කොල්ලන් ගැනය. දේපළ හානියට පත් සිංහල මිනිසුන් මෙන්ම මුස්ලිම් ජනතාව ද දුකින් තැවෙති. දෙපාර්ශවයේ ගැටුමේ අවසානයේදී සිංහල ජනතාවට වඩා මුස්ලිම් ජනතාවට සිදු වූ හානිය වැඩිය. සිංහල කෝලාහලකරුවන් මුස්ලිම් නිවාස හතළිහකට වැඩි සංඛ්‍යාවකට පහරදී ඇති අතර, වෙළෙඳසල්, වාහන විශාල සංඛ්‍යාවකට හානි සිදු කර ඇත. මුස්ලිම් කෝලාහලකරුවන් සිංහල නිවාස අටකට පමණ පහරදී, වෙළෙඳසල් කිහිපයකට සහ වාහන විශාල සංඛ්‍යාවකට බරපතල අලාභහානි සිදු කර ඇත. හදවත් කම්පනයට පත් වන්නේ දෙපාර්ශවයේම දේපළ හානි සිදු වූ බහුතරය ගැටුමට කිසිදු සම්බන්ධයක් නැති බව හැඟෙන විටය.
* මුස්ලිම් අය මුලින්ම ගැහුවේ අපේ ගෙදරට...
* පන්සලේ ඉඳලා එන මිනිස්සුන්ට ගහලා ගින්න පත්තු කළේ පොලිසිය...

පසුගිය අඟහරුවාදා සවස් කාලයේ අප එම ප්‍රදේශයට යන විට හෙණ පුපුරණ හඬ නොඇසෙන්නට ගිංතොට බිහිසුණු නිහඬ බවක ගිල්වා තිබිණි. මගදී හමු වන කිසිදු පුද්ගලයෙක් අසන ප්‍රශ්නවලට උත්තර නොදී අප මඟහැර ගියේය. මඟ රැකවලේ සිටි ආරක්ෂක අංශ නිලධාරීන් පවා ප්‍රදේශයේ ජාතීන් දෙකක් අතර ඇති වූ ගැටුම ගැන කතා කරන්නට මැලි විය. එහෙත් කුහුල පිරි විමසුම් නෙත් හොඳින් අපව පිරික්සමින් සිටින බව දැනිණි. රැකවලේ යෙදී සිටි එක් හමුදා නිලධාරියෙක් අදාළ තොරතුරු ලබාගැනීමට අපට පුංචි ඉඟියක් ලබාදුන්නේය. ඒ ප්‍රදේශයේ ජාතීන් දෙකක් අතර හටගත් ගැටුම සමථයකට පත් කිරීමට ඒ වන විට ගිංතොට ථූපාරාම විහාරස්ථානයේ සාකච්ඡාවක් පැවැත්වෙන බවය. ඒ ලැබුණු ඉඟියත් සමඟ අප ථූපාරම විහාරස්ථානයට ගියෙමු.
ලැබුණු තොරතුර නිවැරැදිය. නොතෙමී සිටීමට පන්සල් භූමියේ ගොඩනැඟිලි තුළ ප්‍රදේශවාසීහු මිරිකෙමින් සිටිති. ඒ වන විටත් සාම සාකච්ඡාව ආරම්භ වී ඇති බව බණ මඩුව දෙසින් ඇසිණි. අප බණ මඩුව දෙසට ගමන් කළෙමු. ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ මුස්ලිම් පූජකවරු කිහිපදෙනෙක්ම මුලසුනේ අසුන්ගෙන සිටිති. ඊට අමතරව ගාල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ගිනිගේ, සහකාර පොලිස් අධිකාරි, මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සාකච්ඡාවට සහභාගි වී සිටියහ. පැවැත්වෙන සාම සාකච්ඡාවට බාධාවක් නොවන්න අපි ගින්නට මැදි වූ ගම්මු සමඟ ගැටුමේ ඇතුළාන්තයට ගියෙමු.
ප්‍රදේශවාසීන් කියන විදිහට ගැටුමට ප්රස්තුතය වී ඇත්තේ පුංචි රිය අනතුරකි. එනම් පසුගිය 12 වැනිදා මහපුගල ප්‍රදේශයේදී ඇති වූ යතුරුපැදි අනතුරකින් පසු මුස්ලිම් තරුණයකු සහ සිංහල තරුණයකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලකි. එම තරුණයන් දෙදෙනාගේ පෞද්ගලික ආරවුල ජාතිවාදී ගින්නකට පෙරළා ඇත්තේ ප්‍රදේශයේ ප්‍රාදේශීය මුස්ලිම් දේශපාලනඥයෙක් විසිනි. එම ජාතිවාදී දේශපාලනඥයා ප්‍රදේශයේ මුස්ලිම් තරුණයන් පනහක්, හැටක් එකතු කර තරුණ හිත්වලට ජාතිවාදී විෂ පෝවා රැගෙනැවිත් ආරවුලට මුල් වූ සිංහල තරුණයාට සහ තවත් අසල්වැසි තරුණයකුට අමානුෂික ලෙස පහරදී විදානගොඩ මුස්ලිම් ගම්මානයේ කෙළවරේ තිබූ සිංහල නිවසක් ද කුඩු කර ඇත. අනතුරුව ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා මැදිහත්වී ප්‍රදේශවාසී සිංහල මිනිසුන්ට, ආරවුලක අනිසි ඵලය අවබෝධ කරදී නීති මාර්ගයෙන් කටයුතු කරන තැනට සිද්ධිය සමථයකට පත් කළහ.

'තොපි මොකද කල්ලි ගැහෙන්නේ... දුවපියව් ගෙවල්වලට...' ගමේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීහූ විහාරස්ථානයෙන් පිටව ගිය සිංහල මිනිසුන් කිහිපදෙනකුට පහර දෙන්න පටන් ගත්හ. ඒ සිද්ධියත් සමඟ මුළු ගමේම සිංහල මිනිසුන් එතැනට එක්රැස් විය.
'සිංහල මිනිසුන් අපට ගහන්න ලෑස්ති වෙනවා. ඒකයි පොලිසිය ගහන්නේ...' මුස්ලිම් මිනිස්සූ සිතූහ. කිසිදු සොයාබැලීමකින් තොරව මුස්ලිම් මිනිස්සු මඟතොටේ ගැවසෙන සිංහල මිනිස්සුන්ට සහ නිවාසවලට පහර දෙන්න පටන් ගත්හ. ඒ සමඟ ලේ පෙරාගත් සිංහල මනුස්සයෙක් මරළතෝනි දීගෙන සිංහල මිනිසුන් මැදට කඩා පාත් විය. ඒ පුද්ගලයාගේ එක අතකට කඩුවකින් කොටා තිබිණි. නිවසට පෙට්‍රල් බෝම්බයක් ගසා තිබිණි. ඒ මරළතෝනියත් සමඟ සිංහල හදවත්වල ඇවිළෙමින් තිබුණු ගිනි පුපුරු එළියට විත් පත්තු වෙන්නට පටන් ගත්තේය. හෝරාවක් යන්නට මත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කය පුරාම ගම්වල සිංහල තරුණයන් සහ මුස්ලිම් තරුණයන් දෙපාර්ශවයට එකතු විය. පොලිසියේ අදූර්දර්ශී ක්‍රියාවක් මත මතු වූ ගින්න අවසානයේ හමුදාවට ද පාලනය කරගැනීමට අසීරු විය. දින දෙකක් එම ප්‍රදේශයට සවස් කාලයේදී ඇඳිරි නීතිය පැනවීමට සිදු විය. ගැටුම ගැන සොයාබැලීම සඳහා එම ප්‍රදේශයට ගිය සිංහල, මුස්ලිම් දේශපාලනඥයන්ට හූ කියන තත්ත්වයට ප්‍රදේශවාසීහු වියරු වැටී සිටීයහ.
"මුස්ලිම් අය මුලින්ම ගැහුවේ අපේ ගෙදරට. අපි ආරවුලට කිසිම සම්බන්ධයක් නැතිව තමයි අපේ ගෙදරට ගැහුවේ. තනිකරම ඒක කළේ ප්‍රාදේශීය සභාවේ නියාස් මන්ත්‍රීවරයාගේ ඕනෑකමට. මන්ත්‍රීවරයා ළඟ හිටිද්දී තමයි අපේ ගේ කුඩු කරලා තියෙන්නේ. ඒ වෙනකොට මමයි, නෝනයි දෙන්නම රස්සාවට ගිහිල්ලා. අපි කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ගේ කුඩු කරනවා කියලා ආරංචිය ගිය ගමන් නෝනා ගෙදර දුවලා තිබුණා..." තිලංග ගුණරත්න අසල සිටි බිරිඳ දෙස බැලුවේය. ඇය ශ්‍යාමා සඳමාලීය.
"මම එනකොටත් ගෙදර ජනෙල් කුඩු කරනවා. මුස්ලිම් මිනිස්සු දෙසීයකට වැඩියි. මම කෑගහලා ඇහුවා ඇයි අපේ ගෙදරට ගහන්නේ කියලා. එතකොටම මා ළඟට ආපු මුස්ලිම් කොල්ලෙක් 'දෙනවා උඹගේ ඔලුව කුඩු වෙන්න' කියලා පොල්ලක් උලුක් කළා. ඊට පිටි පස්සේ හිටිය කොල්ලො දෙන්නෙක් 'අක්කා යන්න... යන්න...' කියලා මාව තල්ලු කළා. ඒ අය මාව හොඳට අඳුරනවා. මේක මම ඉපදුණු ගම. උදේ, හවස පාරේදී අපිත් එක්ක හිනා වෙන උන් තමයි අපේ ගෙදරට ගැහුවේ..." විදුලි එළියක් ඇදී මැකී යයි. අනතුරුව නැගෙන මහා හෙණ හඬ කන්අඩි පසාරු කරයි. ඒ මහා හෙණ හඬට වඩා ශ්‍යාමාගේ දුබල හඬ මා සවන් විනිවිඳ සිතෙහි ගැඹුරු පත්ලක ඊයම් බරු මෙන් තැන්පත් වනු දැනේ.

"අපේ ගෙවල් ළඟට පොලිසිය එනකොටත් පෙට්‍රල් බෝම්බ, පොලු අතින් ගත්ත මුස්ලිම් මිනිස්සු හිටියා. එතකොට මම කිව්වා 'සර් මේ බලන්න කරලා තියෙන අපරාධය මේ අයව අත්අඩංගුවට ගන්න' කියලා. ඒත් පොලිසිය කිසිම පියවරක් ගත්තේ නෑ. පස්සේ අපේ පන්සලේ ස්වාමීන් වහන්සේලා මැදිහත් වෙලා නීති මාර්ගයෙන් කටයුතු කරන තැනට ගැටුම සමථයකට පත් කරලා තියෙද්දී මුස්ලිම් මිනිස්සු නැවත සිංහල මිනිස්සුන්ට ගහන්න පටන් ගත්තා. ඒත් දැන් කතාව යන්නේ මුලින්ම සිංහල මිනිස්සු පහර දුන්න විදිහට. සිද්ධිය මුල ඉඳලා අපේ කඩේ සී.සී.ටී කැමරාවේ තියෙනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන්..." කතාව උච්ච ස්වරයට නැග, ශ්‍යාමාගේ හඬ ද බිඳී ගියාය. ඒ ඇසිල්ලට ඇය අසළම සිටි තවත් කාන්තාවක් හඬ අවදි කළාය. ඇය අචිනිය. දෙදරු මවකි. මේ ඇයට සිදු වූ විපතය.
"මේ නංගිලාගේ ගෙදරට ගැහුවේ 12 වැනිදා. අපේ ගෙවල්වලට ගැහුවේ සිකුරාදා හැන්දෑවේ. අපේ ගෙවල් කිට්ටුව තිබුණු සේරම සිංහල ගෙවල්වලට ගැහුවා. අපේ ගෙදරට විතරයි ගේට්ටුවක් නැතිව තිබුණේ, ඒ නිසා අපේ ගෙදරට පැනලා ජනෙල් කුඩු කළා. කඩේ කුඩු කළා. එළියේ තිබුණු වාහනය කුඩු කළා. අනිත් ගෙවල්වල ගේට්ටුවලට කඩුවලින් කොටලා තිබුණා. ගල්වලින් පහර දීලා තිබුණා. කූඹි රැලක් වගේ. දාහකට වැඩියි. කෑගහනවා. ඒ මිනිස්සු ගහපු ටෝච් එළිවලට අපේ ඇස් නිලංකාර වුණා. හරියට ත්රස්තවාදීන් වගෙයි. අපේ ගෙවල්වලට ගහගෙන ගිහිල්ලා උක්වත්තේ හන්දියට ටිකක් එහා මහපුගල තිබුණු එකම සිංහල කඩේට පෙට්‍රල් දාලා ගිනි තිබ්බා. අපි 119 කතා කරලා කිව්වා. හමුදා කෑම්ප්වලට කතා කළා. ඒත් ඒ ඔක්කොම ආවේ අපේ ගෙවල්වලට ගහලා ගියාට පස්සෙයි..." අචිනි කතාව නතර කරන්නට පෙර අප අසළ සිටි තවත් වැඩිහිටි කාන්තාවක් බැරැන්ඩි හඬින් මොනවදෝ මුමුණනවා ඇසිණි. ඒ අජීවී වියළි හඬ මා සවන් වැකෙනුයේ ඈත දුරක සිට ඇදී එන සිහින් කෙඳිරියක් ලෙසිනි.
මේ සියල්ල ප්‍රකට කරන්නේ විනයක් නැති රටක නිරුවතය. ලොසින්ජර් ප්‍රශ්නයක් අල්ලාගෙන තරුණයන් ඇන කොටා ගනී. අවසානයේ කැරැලි උපදී. ජාතිවාදී දේශපාලන කාලකණ්ණි එම ගැටුම්වලට ජාතිවාදී ඉන්ධන එකතු කරමින් ගිනි පත්තු කරති. පොලිසියේ අදූර්දර්ශී ක්‍රියා නිසා ඇවිළුණු ගින්න ලැව් ගින්නක් බවට පරිවර්තනය වේ. ඒ ඇසුරෙහි ජීවත් වූ මිනිසුන්ගේ දේපළ ගිනිබත් වී ජීවිත බිඳී වැටේ. පහුගිය කාලයේ බේරුවල ප්‍රදේශයේදී ද අප මෙවැනි කාලකණ්ණි ගැටුමක කටුක අද්දැකීම වින්දේය. කාලයක සිට තවමත් අප අත්විඳිමින් සිටින්නේ අවිනීත, අසංවිධිත සමාජයක දුක්බර යථාර්ථයේ ස්වරූපයයි. රටේ මහා ජාතිය සහ සුළු ජාතීන්ව විනයක් සහිතව පාලනය කිරීමට ජාතික ආණ්ඩුවක් නැතිකමේ කරුමයයි.