ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 1, 2017

සිංහල දෙමළ පංගුපේරු නැතුව සලකන සිංහලයන්ටම වියළි සලාකයක්‌ නෑ...!!!

අන්තවාදී නිලධාරීන් නිසා උපන් බිමෙහි 'කල්ලතෝනින්' වූ වේල්ලවාඩියේ සිංහල මිනිස්‌සු....!!! 
නැවත පිළියම් වන පරණ ගමකට පැමිණ හිඳිමු. ඇස ගැටෙන බොහෝ තැන්වල අලුතින් ඉදිවෙන නිවාසය. තැනක තවමත් ඉටි රෙදිවලින් ආවරණය වූ පොල්අතු මඩුය. ඒ අතර කැලෑ රොදවල් ගිනි අව්වට පිච්චී පරඬැල් වී ගොස්‌ය. හිරු දැනුදු වියරුය. එක සීරුවට අවට දවාලන්නේය. වළ ගොඩැලි සහිත දූවිලි පිරුණු මගෙහි ගමන් කිරීම ද තරමක්‌ අසීරුය. එහෙත් අප මේ දුෂ්කර ගමනෙහි නිරතව සිටින්නේ සොබාදහමේ වියරුව ගැන කියන්නට නොවේ. මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ කෙළවරේම පිහිටි පැරැණි සිංහල ගමක්‌ ගැන කතාවක්‌ කියන්නටය. බැරි, බැරි ගානට ඉදිරියට ඇදුණු මෝටර් රථය ගම මැද අලුතින් ගොඩනැඟෙන විහාරය අසල නතර විය. දෙනෙත්හි රැඳෙන්නේ සිත් පහන්වන දසුනකි. ඒ ස්‌වාමීන්වහන්සේලා තුන්නමක්‌ ගිහියන් සමඟ හරි, හරියට ඉදිකිරීම් කටයුත්තක නිතර වී සිටින අයුරුය. ගිනියම් අහස යට, හිරු කොතරම් සැහැසි වුවද උන්වහන්සේලා එය බාධාවක්‌ කර නොගන්නාහ. පොල් අත්තක සෙවණට වහං වූ උන්වහන්සේලා සිමෙන්ති ගඩොලෙන් ඉදිකරමින් සිටින්නේ බෝධිඝරයකි. උන්වහන්සේලාගේ අත්උදව්වට ගමේ තරුණයන් පිරිසක්‌ ද එකතු වී සිටියහ. ගමේ දෙමළ තරුණයන් කිහිපදෙනෙක්‌ම එතැන සිටින බව දැනගත් විට අපේ සිත් සතුටින් ඉපිලිණි. අසල පොල් රුප්පාවක සෙවණට වූ අප ගිහි, පැවිදි වික්‍රමයේ අසිරිය විඳිමින් හිඳිමු.
කෝරළයාපත්තුව වාලච්ෙච්න ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වේල්ලවාඩිය කල්කුඩා සිංහල ගම්මානය පවුල් හාරසීයක්‌ පමණ ජීවත් වූ විශාල ගම්මානයකි. එක්‌ පසක්‌ මහ මුහුදට මායිම් වූ වේල්ලවාඩිය ගමේ බහුතරයගේ ජීවනෝපාය වී තිබුණේ ධීවර රස්‌සාවය. දකුණේ වාරකං කාලයට උතුරට සංක්‍රමණය වන ධීවරයෝ ද මේ ගම තාවකාලික වාසස්‌ථානයක්‌ කරගෙන සිටියහ. ''අපේ ගමේ පදිංචි වෙලා හිටිය හුඟ දෙනෙක්‌ මාතර, ගාල්ල ප්‍රදේශවලින් ආපු අය. අපේ සීයලා, ආච්චිලාත් මාතර මිනිස්‌සු. මම ඉපදුණේ මේ ගමේ. ඉස්‌කෝලේ ගියේ ගමේ පාසලට. මගේ දරුවෝ අටදෙනාම ඉගෙනගත්තෙත් ගමේ ඉස්‌කෝලේ. ලොකු දරුවො හතරදෙනාම කසාද බැන්දෙත් මේ ගමේදී. මගේ ලොකු පුතාව කොටි වෙඩි තියලා මරලා දැම්මෙත් මේ ගමේදීම තමයි. ඒත් අපි ගම දාලා ගියේ නෑ. කරදර මැද ජීවත් වුණා. අන්තිමේදී මගේ මනුස්‌සයටත් කොටි වෙඩි තියලා මැරුවා...'' ඒ වේල්ලවාඩිය ගමේ වැඩිහිටි කාන්තාවකගේ හඬය. ඇය මේරිය. ඇයට වයස අවුරුදු හැට හයකි. කයෙන් දුර්වල වුවද සිතින් ඇය තවමත් ශක්‌තිවන්තය. මාළු දැල් ඇදීම රස්‌සාව කරගෙන සිටින ඇය තවමත් කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව ජීවත් වන්නීය. එහෙත් නොසිතූ මොහොතක ස්‌වාමියාගේ සහ පුතුගේ අකල් මරණ ගැන මතක්‌වීම ඇයගේ හදවතට බර වැඩි විය. කතාව මොහොතකට නතර විය. මුහුදට මායිම් වූ වේල්ලවාඩිය සිංහල ගම්මානය එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදීන්ට මහා හිසරදයක්‌ විය. විටින්, විට ගම මායිමේ රැකවලේ සිටි කොටි ත්‍රස්‌තවාදීහු ගමේ මිනිසුන්ව කපාකොටා මරා දැමූහ. එහෙත් ත්‍රස්‌තවාදීන්ට බිය නොවූ එඩිතර සිංහලුන් ගම අතහැර නොගියහ. ඔවුහු තම මුහුදු රස්‌සාව කරගෙන දරුමල්ලොත් උස්‌මහත් කරමින් ජීවත් වූහ. හිතට ධෛර්යය ගෙන මේරි අම්මා නැවත කතා කළාය. ''එදා මගේ මනුස්‌සයත් එක්‌ක වැල්ලේ හිටිය සේරම කොටි මැරුවා. මුහුදු ගිහිල්ලා ඇවිල්ලා මාළු බේර, බේර ඉන්නකොට තමයි කොටි වෙඩි තිබ්බේ. තරුණ කොල්ලො, බැඳපු මිනිස්‌සු සේරම පහළොවක්‌ විතර. කිසිම කෙනෙකුට දුවලවත් බේරෙන්න බැරි වුණා.
හතරවටෙන්ම කොටි වට කරලා අපේ උන්ට වෙඩි තියනවා දැක්‌කා මහත්තයෝ... ඒත් අපි උන්ගේ තුවක්‌කුවලට බය වුණේ නෑ. මුළු ගමේම මිනිස්‌සු කෑගහගෙන වැල්ලට දිව්වා. 'ඔයාල වෙඩි කන්න යනවද...' කියලා හමුදාව අපිට යන්න දුන්නේ නෑ... පස්‌සේ හමුදාවෙන්ම මිනී ටික ගෙනත් එකම වළක වැළලුවා. ඒ විදිහට කිහිප සැරයක්‌ම තැන්, තැන්වල පොදි පිටින් අපේ මිනිස්‌සුන්වය මරලා ගියා. අපේ ගමේ හැම පවුලකම එකෙක්‌, දෙන්නෙක්‌ කොටින්ට බිලි වුණා. ඒත් ගම ඇතුළේ හමුදා කෑම්ප් එකක්‌ තිබුණු නිසා කොටින්ට ගමට ඇතුළු වෙන්න බැරි වුණා. ඒත් දවසක්‌ අපේ ගම සම්පූර්ණයෙන්ම කොටි වටලලා වෙඩි තියන්න ගත්තා. අපිට යන එනමං නැතිව ගියා. පස්‌සෙ නාවික හමුදාවේ ලොකු බෝට්‌ටුවක්‌ ඇවිත් අපිව ත්‍රිකුණාමලය වරායට ගෙනිහිං දැම්මා. අපි එතැන හිටියේ විශාල ශාලාවක. ටික දවසක්‌ යනකොට කොටි ඒකටත් ගහන්න පටන් ගත්තා. ඊට පස්‌සේ අපේ කණකර උගස්‌ කරලා ලොරි අරගෙන පොළොන්නරුවට ආවා. මට මතක විදිහට අපි පොළොන්නරුවට ආවේ 1990 අවුරුද්දේ. අවුරුදු එකහමාරක්‌ විතර පොළොන්නරුවේ අනාථ කඳවුරක ජීවත් වුණා. පොළොන්නරුවට යනකොට ගමේ ගොඩක්‌ම ගෑනු කණවැන්දුම්. මිනිස්‌සුන්ව කොටි මරලා. පොළොන්නරුව කඳවුරේ ඉන්නකොට අපේ මිනිස්‌සු එක, එක දිහාට විසිරිලා ගියා. දැන් අපේ ගමේ අය රට පුරාම ජීවත් වෙනවා...'' මේරි අම්මාට දින වකවානු හරියට මතක නැත. එහෙත් මේරි අම්මාගේ කතාව නිවරැදි බව ගමේ පැරැණි දහදොළොස්‌ දෙනෙක්‌ම තහවුරු කළහ. එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතු වූ වේල්ලවාඩිය ගම සුනාමිය විත් දෙකඩ කළේය. ගම මැදිකොට ගලාවිත් මුහුදට වැටුණු ආරුව මැදින් වැටී තිබූ පාළම සුනාමි රළට කැඩී බිඳී විනාශ වී ගියේය. පාළමේ කොටස්‌ නටබුන් සේ අදට ද ශේෂව තිබේ. පාළම පැවති ඒ ඉසව්ව ද සුනාමිය විසින් වගුරක්‌ බවට පත් කර ඇත. එහෙත් දැන් එම වගුර දිය සිඳී ගිය මුඩු බිමකි. මේ වන විට වේල්ලවාඩිය ගමේ සිංහල පවුල් සීයකට ආසන්න සංඛ්‍යාවක්‌ නැවත පදිංචි වී සිටිති. එහෙත් ගම එකතු කරන පාළම තවමත් සෑදී නැත. වේල්ලවාඩිය සිංහල ගම්මානයක්‌ බැවින් ඒ ගම එකතු කිරීමට ප්‍රදේශයේ කිසිදු දේශපාලනඥයෙක්‌ හෝ නිලධාරියෙක්‌ පෙරමුණ නොගන්නා බවද ගම්මු අප සමඟ කීහ. ''මම තමයි, නැවත මේ ගමට මුලින්ම පදිංචියට ආවේ. 2009 අවුරුද්දේ මම එනකොට මහ කැලයක්‌. පස්‌සේ අපි කැලෑව එළිකරගෙන අපේ ගේ තිබුණු තැන පුංචි ගෙයක්‌ හදාගත්තා. ඒත් මේ ප්‍රදේශයේ අපිට කරන්න රස්‌සාවක්‌ නැති නිසා වැලිමඩ ඉඳලා මාසේකට දෙපාරක්‌ විතර මෙහේට ඇවිත් ඉඳලා ගියා. 2015 මාර්තු මාසේ අපේ අම්මා එක්‌ක, තවත් පවුල් එකොළොහක්‌ ගෙනත් ගමේ පදිංචි කෙරුවා. ඊට පස්‌සෙ ඒ පවුල්වල අය දන්න, දන්න විදිහට ගමේ පරණ මිනිස්‌සු දැනුවත් කරලා ගමට ගෙන්න ගත්තා. ඒ එක්‌කම තමයි දිඹුලාගල දේවාලංකාර ස්‌වාමීන් වහන්සේ ගමට වැඩම කරලා මිනිස්‌සුන්ට උදව් කරන්න පටන් ගත්තේ. වියළි ආහාර බෙදා දුන්නා. නිවාස හදාගන්න සෙවිළි තහඩු, සිමෙන්ති බෙදාදුන්නා. ගම වේගයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. ගමේ හිටපු පවුල්වල දරුවන්ගේ දරුවොත් දැන් මේ ගමට ඇවිත් පදිංචි වෙලා ඉන්නවා. පවුල් පනස්‌ හතරක්‌ ලියාපදිංචි වෙලා ඉන්නවා. ලියාපදිංචි නොවිච්ච පවුල් විශාල සංඛ්‍යාවක්‌ ජීවත් වෙනවා. ගමේ සිංහල පවුලක්‌ ලියාපදිංචි වෙන්න ගියහම නිලධාරීන් ප්‍රශ්න වැළක්‌ දානවා. රස්‌තියාදු කරනවා. අපිට කරන තරමක්‌ කෙණහිලිකම්. මම හදාගත්ත ගේ කඩලා අපිව එළියට ඇදලා දැම්මා. ඒත් අපි ගමෙන් ගියේ නෑ. දැන් මම වෙන තැනක ගෙයක්‌ හදාගෙන මේ ගමේම ජීවත් වෙනවා. ගමේ මිනිස්‌සුන්ට රජයෙන් ගෙවල් හදන්න ආධාර දෙනවා.. ඒක දෙන්නේ දෙමළ මිනිස්‌සුන්ට විතරයි. සිංහල කිසිම පවුලකට නිවාස ආධාර දෙන්නේ නෑ. අඩුම තරමින් රජයෙන් දෙන වියළි සළාකයවක්‌ අපිට ලැබෙන්නේ නෑ. මේ ස්‌වාමීන් වහන්සේලා අපිට ගෙනත් දෙන එකක්‌ විතරයි...'' යුද්ධයෙන් පසු වේල්ලවාඩියට ප්‍රථමයෙන් පැමිණියේ යෑයි කියන බ්‍රියටිස්‌ සිල්වාට දැන් වයස අවුරුදු හැට තුනකි. 1990 අවුරුද්දේදී ඔවුන් ගමෙන් පලාගොස්‌ ඇත්තේ ඇඳිවත පමණක්‌ අරගෙනය. සිල්වාගේ කතාවට ගමේ තවත් කාන්තාවන් කිහිපදෙනෙක්‌ම අඩු වැඩිය එකතු කළහ. ඒ සෑම කාන්තාවක්‌ම අප සමඟ පැවසුවේ ගමේ ග්‍රාම සේවක නිලධාරියාගේ සිට දිසාපතිවරයාට යනකම් සිංහල මිනිස්‌සුන්ට සිදු කරන අකටයුතුකම් ගැනය. ''මම ඉපදුණේ මේ ගමේ. ඉගෙනගත්තේ වේල්ලවාඩිය ඉස්‌කෝලේ. මට දරුවො හතර දෙනයි. දෙන්නෙක්‌ කසාඳ බැඳලා. එක්‌කෙනෙක්‌ ඉගෙනගන්නවා. අනිත් කෙනා උප්පත්තියෙන්ම ආබාධිතයි. ඇස්‌ පෙන්නේ නෑ. කතා කරන්න බෑ. ආබාධිත ළමයෙක්‌ ඉන්නවා කියලවත් අපිට කිසිම සහනයක්‌ නෑ. අඩුම තරමින් ගේ කෑල්ල හදාගන්නවත් ණය ආධාරයක්‌ දෙන්නේ නෑ... මගේ මහත්තයා මුහුදට ගිහින් කීයක්‌ හරි හම්බ කරගෙන එන එකෙන් බඩට කාලා ජීවත් වෙනවා... ඒ වේල්ලවාඩියේ පදිංචිකාරිණියක්‌ වූ සුනීතා මාලනී කියන කතාවය. වේල්ලවාඩිය ගමේ අලුත් පරම්පරාව මෙන්ම නැවත පදිංචිකරුවන්ගේ ජීවන වෘත්තීය ද ධීවර රස්‌සාවය. මේ වනකොට වේල්ලවාඩිය ගමේ ජාති බේද නැත. සිංහල තරුණියන් දෙමළ තරුණයන් සමඟ විවාහ වී සිටිති. දෙමළ මිනිස්‌සු සිංහල කාන්තාවන් සමඟ විවාහ වී සිටිති. දෙමළ බෞද්ධ පවුල් වේල්ලවාඩිය ගමේ බොහෝය. බෞද්ධ, කතෝලික කියා ආගම් බේද නැත. සාමාන්‍ය ජීවිතයේදී ඇති වන සුළු ප්‍රශ්නයක්‌ වුවද එවලේට පමණක්‌ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. එහෙත් අන්තවාදී කාලකණ්‌ණි නිලධාරීහු වේල්ලවාඩියේ සංහිඳියාවට අකුල් හෙළති. බිඳී ගිය පාළම අලුත්වැඩියා කර ගම එකතු කිරීමට බලධාරීන් මැලිවෙන්නේ ද සිංහල දෙමළ සංහිඳියාව තුළ ගොඩනැඟෙන සමාජ පරිවර්තනය දැකීමට ඇති කුහකකම නිසාය. ගෝත්‍රික අන්තවාදී නිලධාරීන් ඉදිරියේ පීඩාවට පත්ව සිටින සිංහල මිනිසුන්ව නඟාසිටුවීමට දිඹුලාගල දේවාලංකාර ස්‌වාමීන්වහන්සේ විශාල මෙහෙවරක නිරතව සිටින බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. එහෙයින් වේල්ලවාඩිය ගමේ පරිවර්තන ක්‍රියාවලිය ගැන අපි උන්වහන්සේගෙන් කරුණු කාරණා විමසා සිටියෙමු. මේ දේවාලංකාර හාමුදුරුවන් අපට පැවසූ අදහස්‌ය. ''අද අපි මේ ගමට ආවේ අලුතින් ඉදිවෙන විහාර භූමියේ බෝධිඝරය බැඳලා ඉවර කරලා, අලුත්වැඩියා කරන වේල්ලවාඩිය පාසලේ වැඩකටයුතු බලලා යන්න. පාසලේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම භාරගෙන කටයුතු කරගෙන යන්නේ මහනුවර වජිරාරාම විහාරස්‌ථානයට අනුබද්ධ මානව පිළිසරණ පදනම. උතුර, නැගෙනහිර ප්‍රදේශවල සිංහල ගම් නඟාසිටුවීමේ අපේ මේ වැඩසටහනට මහනුවර වජිරාරාම විහාරස්‌ථානයේ නායක ස්‌වාමීන් වහන්සේ ඇතුළු සෙසු ස්‌වාමීන් වහන්සේලා විශාල ශක්‌තියත් එකතු කරනවා. උන්වහන්සේලාගේ ශක්‌තිය නොලැබෙන්න අපිට මේ කර්ත්‍යවය කරගෙන යන්න බෑ. අපි මේ මිනිස්‌සු ගැන සොයා නොබලන්න අද මේ ගම නෑ. මම දැනහඳුනන ස්‌වාමීන් වහන්සේලා, දානපති මහත්ම, මහත්මීන්ගේ උදව් උපකාර ඇතිව මේ ප්‍රදේශවල සිංහල ගම්මාන රැසක මිනිස්‌සුන්ට ගෙවල් හදාගන්න අවශ්‍ය උපකරණ ලබාදුන්නා. කිහිපදෙනකුට සම්පූර්ණයෙන්ම ගෙවල් හදාදුන්නා. කෑම බීම, ඇඳුම් පැළදුම් ලබා දෙනවා. අදත් මහනුවර වජිරාරාම විහාරස්‌ථානයට අනුබද්ධ මානව පිළිසරණ පදනම මගින් මුළු ගමේම සිංහල, දෙමළ සෑම පවුලකටම වියළි ආහාර බෙදාදුන්නා. චම්පික රණවක මහත්තයා විදුලිබල ඇමැතිවරයා විදිහට ඉන්නකොට එතුමාට කියලා ගමට ලයිට්‌ අරන් දුන්නා. ඒ හැරෙන්න රජයෙන් කියලා මේ ගමේ සිංහල මිනිස්‌සුන්ට වියළි සළාකයක්‌වත් දීලා නෑ. අපි දෙයක්‌ දෙනවා නම් පංගු පේරු නෑ සිංහල, දෙමළ හැම පවුලකටම දෙනවා. මේ ප්‍රදේශවල දෙමළ නිලධාරීන් ළඟ ඒ මනුස්‌සකම නෑ. ගමේ පැරැණ සිංහල මිනිහෙක්‌ ඇවිත් තම ඉඩම ඉල්ලුවොත් නිළධාරීන් 'හෙට එන්න... අනිද්දා එන්න... තව සතියකින් එන්න...' කියලා විසිතිස්‌ වතාවක්‌ විතර ගෙන්නලා රස්‌තියාදු කරනවා. අමාරුවෙන් රුපියල් දෙදහක්‌, තුන්දාහක්‌ හොයාගෙන ගාල්ල, මාතර, තංගල්ල ප්‍රදේශවල ඉඳලා එන ඒ මිනිස්‌සු රස්‌තියාදු වෙලා යනවා. ඒ රස්‌තියාදුවට කුලී ගෙදරක ජීවත් වුණත් නැවත ඒ මිනිස්‌සු මේ ගමේ ඉඩම් හොයාගෙන එන්නේ නෑ. ඔස්‌ටින් ප්‍රනාන්දු ආණ්‌ඩුකාරවරයා ඉන්නකොට සිංහල මිනිස්‌සුන්ට තරමක්‌ හරි සහනයක්‌ තිබුණා. දැන් නම් ඇත්තේම නෑ. ප්‍රාදේශීය ලේකම්වරු, නිලධාරීන් අන්ත ජාතිවාදීන්. අහිංසක සිංහල මිනිස්‌සුන්ව තුට්‌ටුවකට මායිම් කරන්නේ නෑ...'' දිඹුලාගල දේවාලංකාර ස්‌වාමීන්වහන්සේ කරන සමාජ සද්කාර්ය මල් වට්‌ටියක්‌ තබා පින් අනුමෝදන් කළ යුතු උත්තම පින්කමකි. විහාර මන්දිරවල සිට 'අතහැරීම' ගැන කතා කර 'ධනය බලය' පොදි බඳින ස්‌වාමීන් වහන්සේලාට දිඹුලාගල ස්‌වාමීන් වහන්සේ ඇතුළු සෙසු ස්‌වාමීන්වහන්සේලා කරගෙන යන මේ සමාජ මෙහෙවර පාඩමකි. මේ රටේ මහා සංඝරත්නයේ ආශීර්වාදය හැරෙන්නට උතුර, නැගෙනහිර සිංහල මිනිසුන්ට වෙන කිසිදු සරණක්‌ නැති තරම්ය. සරණාගතයන් මුවාවෙන් රටට ඇතුළුවන කල්ලතෝනියෙක්‌ කෙරෙහි උණු වන සිංහල දේශපාලන හදවතක හෝ උතුර, නැගෙනහිර සිංහල අසරණයන් වෙනුවෙන් දයාවක්‌ ඇති නොවේ. රටේ බලධාරීන් ප්‍රසිද්ධියේ වචන පහක්‌ කතා කළොත් තුනක්‌ සංහිඳියාව ගැනය. එහෙත් උපන් රටේ උතුර, නැගෙනහිරදී සිංහල මිනිස්‌සු අන්තවාදීන් ඉදිරියේ කල්ලතෝනි බවට පත්වෙමින් සිටියදී බලධාරීහු මුනිවත රකින්නාහ. රටේ සංහිඳියාවේ තරම බලා ගැනීමට උතුර, නැගෙනහිර ජීවත් වන සිංහල මිනිසුන් අතරට යා යුතුය. අන්තවාදී නිලධාරීන් ඉදිරියේ පීඩිතව වකුටු වී සිටින ඒ අසරණයන්ගේ දුක ඇසෙන විට රටේ සිංහිඳියාව රෙදි පල්ලේ බේරෙන්නේය. අපට දුක උරුම රටේ මේ අසරණයන්ට කල්ලතෝනී ලෙස ජීවත්වීමට සිදුවීම ගැනය. තරංග රත්නවීර ප්‍රදීප් මහකුමාර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.