ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 23, 2017

අල්බාතර නමින් පාලි සංදේශ සාහිත්‍යයට එකතු වුණ නවතම ග්‍රන්ථය...!!!

රුහුණු විශ්වවිද්‍යාලයෙන් බිහිකළ අල්බාතර සොයා ගියෙමි
උපුල්වෙහෙරේ ධම්මාවාස භික්ෂු....
පාලි සාහිත්‍යයේ වර්ග කිරීම් අතරේ නූතන පාලි සාහිත්‍යය සැළකෙන්නේ ප්‍රකරණ කෘති වශයෙනි. වංශකථා ඇතුළු සාහිතයාංග කිහිපයක් මීට ඇතුළත්ය. පාලි සන්දේශ සාහිත්‍යාංගය ඉන් එකකි. පාලි සාහිත්‍යයේ සන්දේශ කෘති හෙවත් දීර්ඝ කාව්‍ය වශයෙන් සන්දේශ ලියැවුණු අවස්ථා මෙන්ම කෙටි සංදේශ (ගාථා 1ත් 6ත් අතර වැනි ඉතා කුඩා ලේඛන) ද දක්නට ඇත. දීර්ඝ සන්දේශ කෘතියක් වශයෙන් ගැනෙන පාලි සන්දේශ සාහිත්‍යයේ නවතම මෙන්ම පස්වන (05) පාලි සන්දේශය 2017 වසරේ එළි දකින්නේ “අල්බාතර සංදේසො” යන නමිනි. මීට පෙර ලියැවුණු පාලි සන්දේශ වන්නේ මහා නාගකුල (12 වන සියවස), වුත්තමාලා සතක (15 වන සියවස), සිරි රාම (19 වන සියවස), සහ ගරුළ සන්දේශය (20 වන සියවස) යි. ඒ අනුව 21 වන සියවසේ ලියැවුණු පළමු පාලි සන්දේශ කෘතිය වශයෙන් අල්බාතර සන්දේශය හැඳින්විය හැකිය. අල්බාතර නාමය පාලි භාෂාවට එකතු වන අභිනව නාම පදයකි. එය ‘අල්බාතර සංදෙසො’ නම් පාලි සංදේශ කාව්‍යයත් සමග පාලියට එක් වේ. එසේමැයි, අල්බාතර යන නාම බැලූ බැල්මට අරාබි වදනක් සේ පෙනෙයි. මන්ද ‘අල්’ පූර්වයෙන් තබා නිර්මිත වචන සම්පූර්ණයෙන්ම පාහේ අරාබි භාෂාවෙහි භාවිත බැවිනි. සැබෑවටම අල්බාතර යන වචනයේ උප්පත්තිය සලකුණු වන්නේ අරාබි භාෂාවෙහිය. එය කරවැල් කොකා, ඔටුමානා හෝ කිමිඳෙන්නා යන අර්ථ සංගෘහිත ‘al-câdous’ හෝ ‘al-ġaţţās’ යන අරාබි වචනයන් තුළින් විශාල මුහුදු පක්ෂියා ("gannet") යන අර්ථය දෙමින් ‘alcatraz’’ ලෙසට පෘතුග්‍රීසි භාෂාවට පෙරළු වචනයකි. පසුව එකී අල්බාතර වචනය Albatross ලෙසට ඉංග්‍රීසි භාෂාව තුළ සංග්‍රහ කරනු ලැබේ. මෙසේ “Albatross” ලෙසට ඉංග්‍රීසි භාෂාවේ භාවිත වචනයේ පාලි ඌරුව ලෙසට අල්බාතර යන්න සළකා තිබේ. මෙය “English” යන වචනය පාලියෙහි “ආංගලි” වශයෙන් සිටින්නාක් මෙනි.

1. කතුවරයා
පාලි සන්දේශ සාහිත්‍යයට එකතු වන අභිනව වූත් පස් (05) වැනි වූත් සන්දේශය වන්නේ අල්බාතර සන්දේශයයි. ගාථා 49කින් යුක්ත මෙම සන්දේශය තායිලන්තයේ මහිදෝල් විශ්වවිද්‍යාලයයේ (Mahidol University) ආචාර්ය, විජිත කුමාර මහතා විසින් රචිතයි. සන්දේශ සාහිත්‍යයට අල්බාතර සන්දේශයේ එන සන්දේශ ලක්ෂණයන්ගෙන් වැඩිමනක් අපූර්වය. බැලූ විගස පෙනෙන අපූර්ව කාරණය වනුයේ වනුයේ සියලූ පාලි ගාථා සිංහල(Sinhalese), සංස්කෘත(Sanskrit), බෙංගාලි(Bengal), තායි(Thai), බුරුම (Burmese), රෝම(Roman) යන භාෂා අක්ෂර වර්ග සයකින් සංග්‍රහ වීමයි. තව ද, දූතයා, ගමන් මාර්ගය, දූතයාට හමුවන පුද්ගලයන්, අස්න ලබන්නා, හා අස්නෙහි අරමුණ යන සියල්ල අපූර්වත්වයෙන් පිරී පවතී. කෘතියෙහි අවසන් ගාථාව තෙක්ම කුතුහලයත් චමත්කාරයත් උපදවන්නට තරම් කතුවරයා නව්‍ය කාව්‍ය ප්‍රකාශන නිර්මාණයෙහි ලා මොනවට තම කෞශල්‍යය විදහා දක්වයි. මෙය ශාස්ත්‍රීය ලෝකයේ සිදුවන අගතිගාමී වූත් ස්වලාභයන් අරමුණු කොටගෙන සිදුවන්නා වූත් අසාධාරණයක් වස්තු විෂය කරගත් නමුත් කෘතිය පුරා පැතිරී පවත්නේ කාව්‍යාත්මකව තම චිත්වේගයන් නිර්මාණකරණයෙන් මුදාහරින අපූර්ව ප්‍රකාශන ශෛලියකි.
2. අරමුණ හා එකී අරමුණ මුදුන්පත් කරගැනීමෙහි ලා යෝග්‍ය සන්දේශ ප්‍රතිග්‍රාහකයා
වර්තමාන ශාස්ත්‍රීය ලෝකයේ ඇතැම් අය උගතුන් වශයෙන් පදවි තානාන්තර ලබාගනුයේ හෝ/හා ලබා දෙනුයේ ඥාතීත්වය මතය; හිතවත්කම මතය; ප්‍රත්‍යුපකාර අපේක්ෂාවෙනි එසේත් නොමැතිනම් ශාස්ත්‍රඥයෙකුට නොතිබිය යුතු පහත් ලාමක අපේක්ෂාවන් උදෙසා ය. මෙවැනි අසාධාරණ කම් හමුවේ කොතරම් සුදුසුකම් තිබුණ ද කොතරම් උගත් වුවද ඇතැම්හු නිශ්ශබ්ද වෙති. ඔවුන් එසේ කිරීම එක් අතකට වක්‍ර ලෙස අයුක්තියට, අසාධාරණයට අනුබල දීමක් වන අතර අනෙක් අතට අයුක්තියෙන් අපවිත්‍ර කරන ලද ශාස්ත්‍රීය ලෝකයේ තමන්ට පය ගසන්නට කුඩා හෝ ස්ථානයක් ඇත්නම් එය ද අහිමි වේ යයි යන බිය පෙන්වීමකි. එහෙත් අසාධාරණ කම් වලට එරෙහි වීම අශාස්ත්‍රීය ප්‍රතිචාරයක් ලෙසට වර්තමාන ශාස්ත්‍රීය ලෝකයේ අර්ථකථනය කරනු පෙනේ. සාමාන්‍යයෙන් සිදුවන්නේ අයුක්තියට එරෙහි වන්නා වෛරී පුද්ගලයකු සේ සමාජයෙහි හංවඩු ගැසීමය. එය පුදුමයට කරුනක්ද නොවිය යුතුය. ඒ අප කොසොල් සිහින සැබෑ වන කාලයක ජීවත්වන නිසා ය. මෙවන් පසුබිමක ශාස්ත්‍රීය ලෝකයෙහි අසාධාරණ කම් වලට එරෙහි වීම සාධාරණීකරණය කරන ශාස්ත්‍රඥයින් අල්පය. එ අතරින් ශාස්ත්‍රීය ලෝකයෙහි අසාධාරණ කම් වලට එරෙහිව ශාස්ත්‍රීය ශස්ත්‍රයකින් සටන් කරන්නෝ බොහොම දුර්ලභය.
ශාස්ත්‍රීය ලෝකයෙහි අසාධාරණ කම් වලට එරෙහිව සටන් කිරීමට අභිනව ශාස්ත්‍රීය ශස්ත්‍රයක් නිපද වූ ආචාර්ය විජිත කුමාර මහතාට මගපෙන්වූ සිදුවීම වාර්තා වන්නේ 2016-05-13 දින රැහුණු විශ්වවිද්‍යාලයේ දී ය. සියලූ සුදුසුකම් සපුරා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්, සියල්ලන්ට වඩා ඉදිරියෙන් සිටි ඔහුට අවස්ථාව අහිමි කරණුයේ පුද්ගලිකව ඔහුට කළ අහිමි කිරීමකට වඩා රටටත් විෂයයටත් කළ අහිමි කිරීමක් වශයෙනි. ඔහු ඉන් කිසිදු පුද්ගලික පීඩාවකට පත් නොවූයේය. අදට ද විදේශයෙහි සිය ශාස්ත්‍රය බොහෝ විදේශිකයන්ට දායාද කරමින් ඔහු තමන්ගේ මෙන්ම මාතෘ භූමියේ නමද ඔසවා තබමින් සිටී. හානිය වූයේ විෂය ක්ෂේත්‍රයටයි. නමුත් සඳුන්ද රන්ද තැලීම ඵලය මතුකරන්නකි. අල්බාතරයද එවැනිම ආකාරයෙන් මතු වූ ඵලයක සංකේතයයි.
ඉහත කී පරිදි මෙම සන්දේශය රචනා කිරීමෙහි ලා විජිත කුමාර මහතාට රැහුණු විශ්වවිද්‍යාලයේ දී සිදු වූ ඉහත කී අසාධාරණය හේතු වී තිබේ. එම නිසා මෙය හුදෙක් ද්වේෂ සහගත අරමුණකින් ලියැවුණකි යැයි ‍කෙනෙක් විසින් තර්ක විතර්ක කරනු ඇත. එහෙත් තක්කාරණය සනාථ කිරීමට සන්දේශයෙහි සම්භූත කාරණා රුකුල් දෙන්නේ නැති බව පෙනේ. දෙස් දීමට නම් එයට සුදුසු දෙවොල් ලංකාවේ ඕනෑ තරම් ය. දෙස් දීමට නම් මෙම සන්දේශය අයුක්තිය පිහිටකොටගත් අදාළ පුද්ගලයන් සන්දේශ ප්‍රතිග්‍රාහකයන් ලෙස දක්වන්නට තිබුණි. ඒ ඇරත් දෙස් දීමට නම් අසාධාරණයන් සිදුකළ ඒ ඒ පුද්ගලයන් සම්බන්ධ කොට ශාස්ත්‍රීය සමාජය තුළ විවිධ කටකථා නිර්මාණය කරන්නට තිබුණි. එහෙත් ඒ කිසිදු අරමුණක් මෙම සන්දේශය තුළින් වහනය වනු දැකිය නොහැකිය. එහෙත් අසාධාරණය කිවයුතු තැනට කිව යුතුය. එසේ නොකරන්නේ නම් එය අසාධාරණයටත් අයුක්තියටත් පණ පෙවීමකි. ප්‍රතීත්‍යසමුත්පන්න වූ ලෝකයේ අයුක්තිය අසාධාරණ පසිදලීමෙහිලා නියති සංඛ්‍යාතධර නීතියට තරව අවධාරණය වන්නේ ප්‍රතීත්‍යසමුප්පන්නතාව හරය කොටගත් ධර්මයේ අවශ්‍යතාවයැයි ඔහුගේ ස්ථාවරය වී ඇති බව පෙනේ. එබැවින් අයුක්තිය, අසාධාරණය මිණීමෙහිලා සම්‍යක් වූ මිණුම් දඩු සපයන මෙත්තම්බුජ වූ අප බුදුන්ගේ බුද්ධධර්මයට සාධාරණ ධර්මයක් හෝ නීතියක් මිහිපිට නැත. එකී ධර්මය සංකේතවත් කරන්නට අනුරපුරයේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තරම් වූ ජීවමාන වස්තුවක් ද මිහිපිට නැත. සන්දේශහාරකයා වූ, සජීවි වස්තුවක් වන අල්බාතර නම් පක්ෂියා මෙම සන්දේශය රැගෙන යන්නේ ධර්මයේ ජීවමාන සංකේතය වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයටයි. ඉතින් කෙසේ නම් මෙම සන්දේශය ද්වේෂ සමනය පිණිස ලියැවෙන හසුනක් ලෙසට ගණින්නේ ද?
3. විශිෂ්ට වූත් යෝග්‍යතර වූත් සන්දේශ හාරකයා
සන්දේශහාරකයා වන්නේ සන්දේශ සාහිත්‍යයට අපූර්ව පක්ෂියෙකි. ඉංග්‍රීසි භාෂාවෙහි මෙම පක්ෂියා අල්බාට්‍රරස් (Albatross) නමින් හැදින්වේ. එම පක්ෂියාගේ ඇති විශ්මිත හැකියාවත්, අදාළ කර්යයට ඇති උචිත භාවයත් හා එකී පක්ෂියා ඉංග්‍රීසි සාහිත්‍යයේ ඇති සංකල්ප නිර්මාණය කෙරෙහි බලපා ඇති ආකාරයත් කෙරෙහි අවධානය යොමු කරන විට කතුවරයා හාරකයා තෝරා ගැනීමේ දී කෙතරම් විශිෂ්ට වී ඇද්ද යන්න මොනවට පැහැදිලි වේ.
සන්දේශය ගෙන යා යුත්තේ සියම් දේශයේ සිට ලංකාද්වීපයටයි. මහ සයුර ගෙවමින් එම කාර්යයට සිදුකිරීමට සුදුසුම එකම පක්ෂියෙකු වේ නම් ඒ අල්බාතර නම් පක්ෂියාමය. එයට හේතු රැසකි.
අල්බාතර යනු බහුලව දක්ෂිණ දිග හා උතුරු පැසිෆික් සාගරයෙහි හුදෙකළා වූ දිවයින්හි නිවසනය කරන විශාල මුහුදු පක්ෂියෙකි. ඇතැමෙක් මෙම පක්ෂියා මුහුදු ළිහිණි ගණයෙහි ලා සළකති. මිහිමත විශාලතරම පියාපත් (මීටර් 3. 7) හිමි පක්ෂියා වශයෙන් අභිමන් ලබන්නේ අල්බාතරය. තව ද සමහරක් තන්හි මිහිපිට සුපිරි ගුවන්යානය යන නාමයෙන් ද මිනිස් ඇස් ආකර්ශනය කරගැනීමට ද මෙම පක්ෂියාට හැකි වී තිබේ. එයට හේතුභූත කාරණා රාශියකි. ශක්තිමත් පියාපත් සැලීමක් නොමැතිව සැතපුම් දහසක් වුවද වේගයෙන් පියාසර කිරීමට මෙම පක්ෂියා සමත් වන අතර ඒ සදහා ඉතා අඩු වෙහෙසක් ගැනීම පුදුම එළවන සුළු ය. පියාඹමින් සිටින උගේ හෘද ස්පන්දනය නිසළව සිටින විට ඇති හෘද ස්පන්දන ප්‍රමාණයට වැඩි වෙනසක් නොවන්නේ ද එම නිසා ය. එසේම දීර්ඝ ගමනක පියාසර කරන විට ඉදිරියේ දී ඇති විය හැකි කාලගුණික විපර්යාසයන් නිර්ණය කිරීමේ ප්‍රබල හැකියාවක් අනෙක් සතුන්ට සාපේක්ෂව මොවුනට තිබේ. අවුරුදු 50කට අධික කාලයක් දිවිගෙවන මෙම පක්ෂීන්ට ප්‍රමුඛ ආහාර වන්නේ කබලූ මත්ස්යයින් (shellfish), මාලූ (fish), මුහුදු පණුවන් (teredo) හා දැල්ලෝ (cuttlefish) ආදී සතුන් ය. තියුණු, විශාල මෙන්ම ශක්තිමත් හොටෙහි ඇති නාල දෙක ඔවුනට වේගයෙන් පියාසර කිරීමේ දී වායු වේගය මැන ගැනීමෙහි ලා උදව් වේ. මෙකී නාස් පුඩු විවර සහිත නාලද්වය නවීන ගුවන්යානයක පිටෝ නලයට සමාන වේ. මෙකී හැකියාවන් සතු අල්බාතර වැනි පක්ෂියෙකුට හැර අදාළ සන්දේශ හරණය සිදුකළ හැකි වෙනත් පක්ෂියෙකු නොමැත.
එපමණක් නොව අල්බාතර නම් පක්ෂියා ඉංග්‍රීසි සාහිත්‍යයෙහි ශාප කිරීමකට ලක් වූ අයෙකුට ඇති මානසික තත්ත්වයක් රූපණය කිරීමට යොදා ගැනේ. ‘Samuel Taylor Coleridge’ නම් කවියා විසින් රචිත “The Rime of the Ancient Mariner” නම් කවියෙහි මෙසේ එයි. නැවක් ලූහුබදින අල්බාතරයෙක් විය. (අල්බාතරයින් ලූහුබැදීම ශුභ සංඥාවක් ලෙසට සමාන්‍යයෙන් සැළකේ) නාවික ප්‍රධානියා දුන්නකින් (crossbow) ඌට විද මැරුවේ ය. (අල්බාතරයෙකු මැරීම නැවට ශාපය ගෙන දෙන්නක් හා අනතුරු ගෙන දෙන පාපී ක්‍රියාවක් ලෙසට සැළකේ) අනෙක් නාවික පිරිස ප්‍රධාන නාවිකයාගේ එම ක්‍රියාව දැඩිව පිළිකුල් කළ ද වාචසිකව ප්‍රතිචාර නොදක්වා සිටිය හ. එහෙත් ඔවුහු ක්‍රියාවෙන් නාවිකයාට වරද දැනෙන්නට සැළැස්වූහ. නාවික ප්‍රධානියාට එය මහත් දුක් ගෙන දෙන්නක් විය. එතැන් පටන් අලූත් කියමනක් ඉංග්‍රීසි සාහිත්‍යයට එකතු විය. යමෙක් තමා කළ වරදකට වේදනා විදීමින් සිටී ද දුකකට මුහුණ දෙමින් සිටී ද ‘‘ ඔහුගේ බෙල්ල වටේ අල්බාතරයෙකු සිටී” යැයි කියනු ලැබේ.
ඉංග්‍රීසි සාහිත්‍යයට පමණක් සීමා වූ මෙම රූපකය අල්බාතර නම් සන්දේශය තුළින් තවදුරටත් පාළි සාහිත්‍යයෙහි ද ව්‍යාප්ත වී අසාධාරණයට, අයුක්තියට දඩුවම් පැමිණ වීමේ අරමුණින් ඉදිරියේ දී ශාස්ත්‍රීය ලෝකයෙහි භාවිත වනු ඇතැයි මාගේ අදහසයි. එය එක් සාහිත්‍යයක ඇති රූපකයක් තවත් සාහිත්‍යයකට නවමු ආකාරයෙන් හදුන්වා දීමකි. තත්ත්වය මෙසේ වන කල්හි අල්බාතර සන්දේශයේ රචනා කිරීමේ අරමුණට සාපේක්ෂව එහි කිසිදු සන්දේශ ලක්ෂණයකට අසංගත නොවන පරිදි එකී සන්දේශයටම ගැළපෙන නියම වූ සන්දේශ හාරකයකු තේරීමේ දී කතුවරයා ඉතා විශිෂ්ට වී තිබේ. එක් අතකට අල්බාතර සන්දේශයේ කියැවෙන අසාධාරණය සිදුකළ ඇත්තවුන්ට අල්බාතර සන්දේශය අශුභ ලක්ෂණයක්, යාවජීව හිසරදයක් හෝ මානසික වේදනාවක් වන්නේ වෙයි. තවත් අතකට මෙසේ හදිසියේම අල්බාතර සන්දේශය විසින් පාළි සන්දේශ සාහිත්‍යය ලූහුබැදීම ශුභ ලක්ෂණයක් වන්නේ එය ශාස්ත්‍රීය ලෝකයේ සිදුවන අසාධාරණයට, අයුක්තියට එරෙහිව කටයුතු කිරීමට අපූර්ව වූ මගක් එළිපෙහෙළි කරන බැවිනි.
4. ආකෘතිය
මෙම සන්දේශය රචනා කොට ඇත්තේ සිංහල සන්දේශ ආකෘතිය මත පදනම්ව ය. සිංහල සන්දේශ සාහිත්‍යයේ පෝෂණයට වැඩි බලපෑමක් ලැබෙන්නේ අචේතනික වස්තූන් දූතයා කොටගත්, දූත යන නමින් සන්දේශ ලියවුණු (මේඝ දූතය, පදාංක දූතය, උද්ධව දූතය, පවන දූතය වැනි) උත්තර භාරතයේ සන්දේශ කාව්‍ය සාහිත්‍යයෙන් නොව සචේතනික වස්තූන් දූතයා කොටගත්, සන්දේශ නාමයෙන්ම පණිවුඩය හැදින්වෙන (ශුක සන්දේශය, මයුර සන්දේශය, කෝකිල සන්දේශය වැනි) දක්ෂිණ භාරතයේ සන්දේශ සාහිත්‍යෙයන් ය. මෙසේ දක්ෂිණ භාරතීය සන්දේශ සාහිත්‍යයෙන්න් නොමදව පෝෂණය වූ සිංහල සන්දේශ සාහිත්‍යය අල්බාතර කතුවරයා විසින් මෙම අභිනව පාලි සන්දේශය පිණිසද උපකාර කොට ගෙන ඇත. එහෙත් ඇතැම් විට සන්දේශයේ ආකෘතිය, කාව්‍ය ලක්ෂණ, කාව්‍ය සංකල්පනා, එපමණක් නොව සන්දේශයේ අරමුණේ පටන් ඇති අනෙකුත් භව්‍ය, විභව්‍ය කාරණා යම් පමණකින්, බොහෝ පමණකින් හා සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වනු දැකිය හැක. කෙසේ හෝ අවසානයේ අල්බාතර සන්දේශයේ ආකෘතිය බොහෝ දුරට සිංහල සන්දේශ සාහිත්‍යයේ ආකෘතියට බරව පවතිනු පෙනේ. අල්බාතර සන්දේශයේ ආකෘතිය දිවෙන්නේ පහත පරිදිය.
දූතාශීර්වාදය
සන්දේශයේ මුල් ගාථා සතරෙන් කෙරෙන්නේ දූතයාට ආශීර්වාදය ගෙන දීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය තරම් වූ ආශිර්වාදයක් මෙලොව නැත. එම නිසා මුල් පද්‍ය තුනෙන් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය දූතයාට ගෙන දෙන අතර කතුවරයා තමාගේ ආශීර්වාදය සතරවෙනි පද්‍යයෙන් ලබාදෙයි.
දූත වර්ණනාව
පස් වන ගාථාවන් සිදුවන්නේ දූත වර්ණනාවයි. සන්දේශ හරන කාර්යය මැනවින් සිදු කරගැනීමට නම් දූතයාගේ සිත පහන් කරවීමටත්, සියලූ බාධාවන් අභිබවා සන්දේශ ප්‍රතිග්‍රාහකයා වෙත යාමට දූතයාගේ සිත ශක්තිමත් කිරීම පිණිසත් දූතයාව විශේෂ වර්ණනාවට බදුන් විය යුතුය. දූත ගමන සාර්ථක වන්නේ එවිටය.
දූත කාර්යය
හස්න හෙවත් සන්දේශය ගෙනගොස් බාරදිය යුත්තේ කාටදැයි සය වැනි පද්‍යයෙන් කියැ වේ. ඒ අනුව හස්න පිරිනැමිය යුත්තේ උත්තරීතර ධර්මයේ ජීවමාන සංකේතය වන අනුරාධපුරයේ ජය සිරි මහා බෝධීන් වහන්සේ වෙතටයි.
දූතයා ගමන් ඇරඹීම
මෙතෙක් බිහි වූ සෑම සන්දේශ කාව්‍යයකම දූතයා ගමන් අරඹන්නේ දහවල් කාලයේ වුවද අල්බාතර ගමන් අරඹන්නේ රාත්‍රී කාලයේ වීම විශේෂත්වයකි. අල්බාතර ගමන් අරඹන්නේ නවම් පොහෝ දින රාත්‍රියෙහි සියම් දේශයේ පැවැත්වෙන මඝ පූජාවට ද එක් වීමෙන් අනතුරුව ය (මඝ පූජාව යනු මඝ චර්යාව සිහිකරමින් සියම් වැසියන් විසින් සිදු කරන පූජාවකි). එය පිළිබද සත්වෙනි පද්‍යයෙන් කියැවේ.
මහිදෝල් විශ්වවිද්‍යාල වර්ණනය
දූතයා පිටත් වන ස්ථානය වන මහිදෝල් විශ්වවිද්‍යාලයේ ඇති ස්වභාව වර්ණනය පිළිබදව අටවැනි ගාථාවෙන් කියැ වේ.
පුතමන්තම් වර්ණනාව
‘පුතමන්තම්’ යනු පාලියෙන් ‘බුද්ධ මණ්ඩප’ යනුයි. ඒ පිළිබද වැනීම නව වැනි හා දස වැනි ගාථායන්ගෙන් එයි.
නකොන් පතොම් විහාර වර්ණනාව
‘නකොන් පතොම්’ යන්නෙහි පාලි තේරුම ‘නගර පඨම’ යන්නයි. සියමයට බුදු දහම හා සම්බන්ධ වන ප්‍රථම නගරය වන්නේ එයයි. ලංකාවට අනුරාධපුර නගරය යම් සේ වැදගත් වේද සියමට එවැනි නගරයක පිරිමැසීමක් සිදු කරන්නේ නම් ඒ නකොම් පතොම් නගරය යි. මෙම නගරයේ ඇති විහාරය වර්ණනා කිරීමක් එකොළොස් හා දොළොස් වැනි පද්‍යයන්ගෙන් එයි.
සියම්දේශ වර්ණනාව
දහවල් කාලයේ මනහර ගිරිශිඛරාදියෙනුත් රාත්‍රී කාලයේ විවිධ වර්ණයෙන් බබළන විදුලි බුබුළු වලිනුත් ශෝභමාන වන ස්වර්ණභූමි නමැති අනුවර්තන නම් දරන සියම් දේශ වර්ණනය තෙළෙස් හා තුදුස් පද්‍යයන්ගෙන් කියැවේ.
සමුද්‍ර වර්ණනාව
පසුව දූතයාගේ ගමන් මර්ගය සටහන් වන්නේ මහා සමුද්‍රය තුළයි. මහා සමුද්‍රයේ සැඩපරුෂ භාවයත් අසිරිමත් භාවයත් විදිමින් දූතයාට ඉන් නොසැළී ගමනෙහි නිරත වන්නට කතුවරයා විසින් කියනාකාරය පසළොස් වැනි පද්‍යයේ සිට විසිඑක්වෙනි පද්‍යයට යනතෙක් පෙනේ.
සීහලදීපාගමනය
මහා සමුද්‍රතරණයෙන් පසුව ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වන අල්බාතර එහි සන්දේශ කාරකයා විසින් විශේෂයෙන් සළකන ලද ස්ථාන රැසකට ගමන් කරයි. තිස්සමහාරාමය, සමනොළ කන්ද, දෙල්ගමුව සධාතුක මන්දිරය, මිරිස්වත්ත ග්‍රාමයේ ජීවක ආශ්‍රමය, කොස්ගම න්‍යග්‍රෝධ පිරිවෙන, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැළණි විහාරය, නුගවෙල ශ්‍රී සොණුත්තර පිරිවෙන, මහනුවර ශ්‍රී දංෂ්ඨා ධාතු මන්දිරය, මාතලේ අළුවිහාරය, සීගිරිය, උපුල්වෙහෙර, උස්ගල සියඹලන්ගමුව (සන්දේශකාරකයාගේ උපන් ගම), හත්ථිකුච්ඡිය යනු ඒ විශේෂ ස්ථානයි. විසි දෙවැනි පද්‍යයේ සිට තිස් අටවැනි පද්‍යය දක්වා වූ පද්‍යයන්ගෙන් සංග්‍රහ වන්නේ එකී ස්ථානයන්ට ගොස් දූතයා විසින් සිදුකළ යුතු වත්පිළිවෙත් පිළිබදවයි.
අනුරාධපුර වර්ණනාව
සන්දේශ කාරකයා විසින් විශේෂයෙන් සළකන ලද ස්ථාන රැසකට ගමන් කරන දූතයාට අවසානයේ අනුරාධපුර නගරයට එළඹෙන්නට ඇරයුම් කරයි. එළඹ හසුන ශ්‍රී සද්ධර්මය සංකේතවත් කරන ශ්‍රී මහා බෝධින් වහන්සේට දන්වන ලෙසට තිස් නවවෙනි සහ සතළිස් වෙනි ගාථායන්ගෙන් කියැවේ.
සන්දේශය දැක්වීම
හස්න සටහන් වන්නේ එතැන් පටන් එන සතළිස් එක සිට සතළිස් සත දක්වා වූ ගාථාන්තරයෙහි ය. පසුව එන ගාථායෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ප්‍රණාම දක්වා සතළිස් නව වන ගාථායේ එන දූතාශිර්වාදයෙන් සන්දේශ කාව්‍යය නිමාව දකී.
5. කාව්යාලංකාර භාවිතය
අල්බාතර කතුවරයා මෙතුවක් සැගව සිටි අපූරු කවියෙක් බවට විවාදයක් නැත. ඔහු සෑම පද්යයකින්ම ප්‍රතිභාන්විත ප්‍රකාශයක් ඉදිරිපත් කිරිමට උත්සාහ කරයි. ඇතැම් අවස්ථාවල අපට හුරුපුරුදු කාව්‍ය වස්තුවම වෙනත් කාව්‍ය දෘෂ්ටිකෝණයකින් බැලීමට තරම් ඔහු විකල්ප අදහස් ඇති කවියෙකි. මේ ඔහු තමන් සේවය කරන මහිදෝල් විශ්වවිද්යාලය වර්ණනා කරන අපූර්වයයි. මහිදෝල් විශ්වවිද්යාලය තායිලන්තයේ විශේෂ ස්ථානයක් හිමිකරගන්නා අධ්යාපන ආයතනයකි. කිසියම් වාසනාවකට මට දෙවරක් පමණ මෙහි අසිරිය විඳගැනීමට හැකියාව ලැබිණි. හරිත විශ්වවිදයාල (Green University& අතරේ මහිදෝල් විශ්වවිද්‍යාලය තායිලන්තයේ ප්‍රමුඛයාය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 25-30 අතර පවත්වාගැනීමට තරම් එම විශ්වවිද්‍යාලයේ හරිත ආකල්පය ප්‍රබලය. සෑම අතකම පිළිවෙළකට වැවූ ගස්වැල් ය, දිය විල් ය, ඇල මාර්ග ය. ස්වාභාවික විසිතුරු කුරුල්ලන්ගෙන් ගහණ බිමකි. ඒ හරිත බිම් අතරින් අහස උසට නැගුණු මහල්ය. ඒවා මහල් 10-15 අතර තරමට උස් වූ ඒවාය. කතුවරයා මේ චිත්‍රය අප වෙත ගෙන එන අපූරුව චමත්කාරජනකය. ‘වෘක්ෂයන් අභිබවනය කළ උස්වූ ප්‍රසාද වලින් යුත් ඒ මහිදෝල් විශ්වවිද්‍යාලය මරකත මිණෙහි ඇවුණු පබලූ මෙන් බබලන කල්හි, බුදුන් වන්දනය සඳහා මල් පිණිස බට උපාසක අල්බාතරය විශ්වවිද්‍යාල වනයෙන් නික්ම ප්‍රධාන දොරටුවෙන් යාගන්න.’ යනුවෙන් කියයි. කතුවරයා විශ්වවිද්‍යාල භූමිය මලින් පිරීගිය බව කියාපාන්නේ අල්බාතර මල්නෙලන්නට පැමිනි උපාසකයකු බවට පත් කිරීමෙනි. හරිත වර්නයෙන් යුත් විශ්වවිද්‍යාලයේ භුමිය මතින් එසැවුණු ධවල මහල් ඔහු අහසේ සිට බලයි. එවිට ඔහුට එකී ධවල මහල් පෙනෙන්නේ මරාමිණක සුදු පබලූ ඇමුණූ ආකාරයකිනි. මේ වර්ණනාවට මේඝදුතයෙහි ආම්‍රකූට වර්ණනයේ ආභාසය වූයේද යන කුුකුසක් මට පැන නගී. එය විය හැකිවාක් මෙන්ම නොවිය හැකිද වනු ඇත.
සමනළ සිරස ගැන ප්‍රචලිත කාව්‍ය ප්‍රකාශයක් එන්නේ සැළලිහිණියෙනි. නමුත් මවිසින් අල්බාතරයේ දකින කාව්‍ය ප්‍රකාශය තරමක් සංකීර්ණ වන අතර අපූර්වත්වයෙන් සැළලිහිණියට දෙවනි වේ යැයි නොසිතමි. ‘කැළණි නදිය වනාහි ශ්‍රද්ධාව නමැති මේඝයන් උසුළන සමනළ පර්වතයෙහි දෙවිවරු තම ශ්‍රද්ධාව කැළණි වෙහෙර වහන්සේ කරා යැවීම සඳහා නිමවූ දූතයකු මෙනි යැයි කියයි. නැතහොත් පැළකොට වැඩූ යෝගාචරයින් නමැති මීමැස්සන් ඇසුරු කරන අග පිපි කැළණි වෙහෙර නමැති මල ඇති ලතාවක් මෙනි යැයි කියයි. කවියාට අනුව සමනල කන්ද බැතියෙන් පිරුනු බෞද්ධයෙකි. සමනල සිරස නිති වළාවන්ගෙන් ගහණය. මේ වළාවන් කවියා දකින්නේ ශ්‍රද්ධාව වශයෙනි. මේ බෞද්ධයා ශ්‍රද්ධාවෙන් පිරීගිය කාලයෙහි කැළණි වෙහෙර වන්දනාකරන ආශාවෙන් පෙළෙයි. එහිදී වළාවන් ජලය බවට පෙරලන සමනල කන්ද කැළණි ගංගාව නමැති දූතයා මගින් තම ශ්‍රද්ධාව ජලයේ රූපයෙන් කැලණි වෙහෙර වෙත යවයි. කැළණි ගංගාවත් සමනල කන්දත් අතර පවතින සම්බන්දතාවය කාව්‍යාත්මකව දුටු ආකාරයයි ඒ. එහිම ඔහු විකල්ප කාව්‍ය ප්‍රකාශයක්ද ගෙනෙයි. ඒ සමනල ගිර නමැති බොදුනුවා කැලණි ගංගාව නමැති ලතාවක් රෝපනය කරයි. එහි අගැ කැලණි විහාරය නමැති කුසුමක් හටගනී. එහි යෝගාචරයින් නමැති මීමැස්සන් නිති ගැවසෙන බව පවසයි. මෙසේ මෙහි අපූර්ව කව්‍යාලංකාර රාශියක් රස විදීමට අපට අවස්ථාව සැළසේ.
අර්ථ රසය මෙන්ම ශබ්දරසයටද යම් නැඹුරුවීමක් පද්‍ය කෘතිය පුරාම දක්නට ලැබෙයි. එහිලා එක් සංදෂ්ට යමකයක් වෙත මගේ නෙත ඇදී යයි.
“නාවා ජලන්තෙ නිජදීපතෙජා
තෙජො විනොදෙත්ව මතිං තු තාරා
තාරෙ උළාරො තව නෙත්තතාරෙ
තාරාපථන්තී’ති න යාහි සින්ධුං”
එමෙන්ම බෝධි වර්ණනාවේ දී ශිවතාණ්ඩව ස්තෝත්‍රය අනුකරණය කරමින් ස්තෝත්‍රරූපයෙන් කළ පද්‍ය බන්ධනය පාලි සාහිත්‍යයෙහි නව්‍ය ආකෘතීකණනයක් පිලිබඳ සාධක පෙන්වයි. සැබැවින්ම පාලිය මියැදුනේද සජීවීද යන පැණය මේ ගාථාව හඩනගා ගයන හැමවරකම මසිතට නැගෙන ප්‍රශ්නයකි.
“අසඕඛකල්පනල්පපූරිතා අනෙකපාරමී
විමද්දි ඝොරමාරරාසිරාවකාරකණ්හකා
අභීතගොතමො තමොනුදො පභාතභානුමා
නිවාසවෙසසාදි සාධනාසමාධි බොධියා”
අල්බාතර නම් වූ මෙම විශිෂ්ට සන්දේශය ගැන මෙවන් කෙටි ලිපියකින් කුමක් ලියන්නදැයි මට පැන නගී. මෙය අනාගතයේදී භාෂා, කාව්‍ය, සාහිත්‍ය යන සියලූ පැති ආවරණය කරමින් අධ්‍යයනය වනු නිසැකය. ඒ වනවිට මෙහි කතුවරයා වන විජිත කුමාර ගුරුතුමාගේ ප්‍රාර්ථනය ඉටු වේවා යැයි මම ඉෂ්ටාර්ථයෙන් ප්‍රාර්ථනා කරමි.
පාලි භාෂාව මියගොස් ද? කිසිසේත් නැත. තවම පාලිය සජීවීය. පාලියට පන පෙවිය හැකි චරිත මරා දැමීම පාලි අධ්‍යයනාංශ ප්‍රධානීන්ගේ රාජකාරිය නම් එය ගැන අපට වාද කිරීමට අවැසි නැත. ඔබ ඔබගේ රාජකාරිය එලෙස අකුරටම ඉටුකරමින් සිටින්න.
උපුල්වෙහෙරේ ධම්මාවාස භික්ෂු
පරිවෙනාචාර්ය, ශ්‍රී සෝණුත්තර පිරිවෙණ, නුගවෙල, අලව්ව.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.