ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 24, 2017

අර්ජුනට දප්පුල හමුවෙයි..

අල්ලස්‌ කොමිසමට අර්ජුන මහේන්ද්‍රන් ලබාදුන් සාක්‌ෂියෙනි
"මා ඩුබායි රටේ රැකියාවක නිරතව සිටියදී 2015 ජනවාරි 9 දින හෝ ඊට ආසන්න දිනක රනිල් වික්‍රමසිංහ  දුරකථනයෙන් විමසා සිටියා

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ හැකි ද කියා."

බැඳුම්කර ජනධිපති කොමිසමේ ශාක්‌ෂි දීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්‌ සහ අර්ජුන මහේන්ද්‍රන් යන දෙදෙනාගේම (මාමා සහ බෑනාගේ) නීතිඥයන් කියා සිටි එක්‌ පොදු කරුණක්‌ වූයේ මේ දෙදෙනාටම ශාක්‌ෂි දීම සඳහා බල කිරීමට බැඳුම්කර ජනාධිපති කොමිසමට නොහැකි බවයි. ඒ සඳහා ඔවුන්ගේ නීතිඥයන් කොමිසමට කරුණු දැක්‌වූ අතර එහිදී ඔවුන්ගෙන් අර්ජුන් ඇලෝසියස්‌ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන  කීවේ තම උපදෙස්‌ මත ඇලෝසියස්‌  කොමිසම හමුවේ ශාක්‌ෂි නොදෙන බවයි. බෑනාගේ නීතිඥයා එසේ කියද්දී අර්ජුන මහේන්ද්‍රන්ගේ (මාමාගේ) නීතිඥයා කීවේ මහේන්ද්‍රන්  ශාක්‌ෂි දීමට බැඳී නැතත් සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා ඔහු ශාක්‌ෂි දෙන බවයි. ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන්  ඉකුත් සැප්තැම්බර් 19 වැනිදා කොමිසම හමුවේ ශාක්‌ෂි දුන්නේය.



ශාක්‌ෂි දීම සමබන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්‌ සහ අර්ජුන මහේන්ද්‍රන් යන දෙදෙනාටම බැඳුම්කර ජනාධිපති කොමිසමට බල කළ නොහැකි බව ඒ දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියත් ඒ සම්බන්ධයෙන් කොමිසම ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා කරුණු පැහැදිලි කළේය. ඒ අනුව ශාක්‌ෂි දීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්‌ සහ අර්ජුන මහේන්ද්‍රන් යන දෙදෙනාටම බැඳුම්කර ජනාධිපති කොමිසමට බල කළ නොහැකි බව බැහැර කළ කොමිසම මහ බැංකු අධිපති වූ අර්ජුන රටේ නීතියට යටත් ඔහුට ශාක්‌ෂි දීම සඳහා කොමිසමට බල කළ හැකි බවත් කීවේය. ඒ නිසා ශාක්‌ෂි දීම සම්බන්ධයෙන් මේ දෙදෙනාට බලපාන ලද නීතිම තත්ත්වයන් එකිනෙකට වෙනස්‌ බවද කොමිසමේ නිගමනය විය.

විදේශ පුරවැසියකු බව කීවත් මහ බැංකු අධිපති වූ පසු අර්ජුන මහේන්ද්‍රන්  රටේ නීතියට යටත් බව බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි  සැප්තැම්බර් 20 වැනිදා කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කීවේය .

"මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්  රටේ නීතියට අවනත විය යුතුයි. ගරු කළ යුතුයි. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොව විදේශ පුරවැසියකු යෑයි කියා සිටියත් මහ බැංකුවේ අධිපති ධුරය භාර ගත්තාට පසුව ඔහු නීතියට යටත් වෙනවා. නීතියට පිටින් ඔහුට යන්න බැහැ."

මේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි කියා සිටි කතාවයි. මේ සඳහා අදාළ නීතිමය තත්වයන් ද චිත්‍රසිරි  පැහැදිලි කළේය. අර්ජුන මහේන්ද්‍රන්  වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  විසින් ඉකුත් 20 වැනිදා සාක්‌ෂිය මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරු සභාපතිවරයා විසින් මෙම කොමිසමේ විශේෂ ප්‍රකාශය කළේය. පර්පෙචුවල් ට්‍රෂෙරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ ට කොමිසම හමුවේ සාක්‌ෂි දීමට බලකිරීමෙන් වැළකීමට කොමිසම තීන්දු කිරීමෙන් පසුව එම කාරණාව ගැන මාධ්‍යවල විවිධාකාරයේ ප්‍රවෘත්ති පළවූ බවත් කොමිසම සාමාන්‍යයෙන් මාධ්‍ය වාර්තාවලට හෝ සාකච්ඡාවලට ප්‍රතිචාර දැක්‌වීමක්‌ නොකරන බවත් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට මෙම අවස්‌ථාව ලබාගත් බවත් කොමිසමේ සභාපති විනිසුරු චිත්‍රසිරි මුලින්ම කීවේය.

කොමිසමේ සභාපති චිත්‍රසිරි  වැඩිදුරටත් මෙසේ ද කී බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

'පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු ඇලෝසියස්‌  සම්බන්ධයෙන් කොමිසම ගත් තීරණය මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට අදාළ වන්නේ නැහැ. අර්ජුන් ඇලෝසියස්‌ මහතා කියා සිටියේ ඔහු කොමිසම හමුවේ විමර්ශනය කෙරෙන මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවන් ගැන චෝදනා එල්ල වී සිටින පුද්ගලයකු බවයි. එනම් චූදිතයකුගේ තත්ත්වයට පත්ව සිටින බවයි. ඉදිරියේදී මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව සාපරාධී චෝදනා යටතේ නඩුවක්‌ පැවරීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය. නමුත් අර්ජුන මහේන්ද්‍රන්  එසේ කියන්නේ නැහැ. ඔහු චූදිතයකු බවට පත්විය හැකි බව කියන්නේ නැහැ. ඔහු කොමිසම හමුවට පැමිණ සාක්‌ෂි දෙන්න කැමති වුණා. එනිසා සාක්‌ෂි දීමට ඔහුට බලකරන්නත් කොමිසමට පුළුවනි. අර්ජුන් ඇලෝසියස්‌  සාක්‌ෂි දීමට අකැමැති නම් කොමිසම ඔහුට සාක_ෂි දීමට බලපෑම් නොකිරීමට තීරණය කළේ පිළිගත් නීති සිද්ධාන්තවලට අනුවයි. ඒ සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණය නඩු තීන්දු ගණනාවක්‌ ප්‍රකාශයට පත්කර තිබෙනවා. අපිට පැවරී ඇති කාර්ය භාරය නීතියට අනුව කළ යුතුයි යන්න අපගේ අදහසයි. අනිත් වැදගත් කාරණාව වන්නේ අපි අර්ජුන් ඇලෝසියස්‌ ට සාක්‌ෂි දීමට බල කළ හොත් ඔහු එම තීරණයට එරෙහිව ඉහළ අධිකරණයක්‌ හමුවේ අභියෝග කරනු ඇති. එවිට ඒ පිළිබඳව විභාගයක්‌ පවත්වා අවසන් තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කිරීමට සෑහෙන කාලයක්‌ ගතවෙනවා. එසේ වුවහොත් කොමිසමට පැවරී ඇති කාර්යභාරය අවසන් කිරීමට ප්‍රමාද වෙනවා. කොමිසම එම කාරණාව ගැනත් දැඩි සැලකිල්ල යොමු කළා.'

මෙලෙස නීතිමය බාධාවන් තිබුණ නිසා හෝ අර්ජුන් ඇලෝසියස්‌ගේ ශාක්‌ෂිය කොමිසමට අහිමි විය. එය ගැටලුවක්‌ බව කිව යුතු නමුත් ඊට ඇති පිළියම් මොනවාද? කෙසේ වෙතත් මේ ජනාධිපති කොමිසමේ අරමුණු ජයගෙන නිසි වාර්තාවක්‌ (අසම්පූර්ණ එකක්‌ නොවේ) කොමිසමේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අත්‍යවශ්‍ය සාක්‌ෂිකරුවන් සියලු දෙනා මේ කොමිසමට කැඳවිය යුතුව තිබේ. ඒ සඳහා පවතින නීතිමය බාධාවන් ගැන මහජනතාවට නිසි දැනුමක්‌ නැතත් ඒ සියලු දෙනාගෙන් ශාක්‌ෂි කැදවිය යුතු බව පොදු මහජන අපේක්‌ෂාවයි. ඒ සඳහා අර්ජුන ඇලෝසියස්‌ ගෙන් සාක්‌ෂි නොගැනීම ගැටලුවක්‌ බව බොහෝ දෙනාගේ පිළිගැනීම බව අපගේ ද අදහසය. ඒ සඳහා කොමිසමට සහ කොමිසමට සහය වන රජයේ නීතීඥ මණ්‌ඩලයට කවර පිළියමක්‌ කළ හැකිද? ඒ ගැන අපට තවමත් අපැහැදිලිය.

ඇලෝසියස්‌ගේ සාක්‌ෂියෙන් හෙළි වීමට ඉඩ තිබූ නම්ගම් සහ කරුණු ප්‍රසිද්ධ සාක්‌ෂි විභාගයට ඉදිරිපත් නොවීම හරහා මේ විමර්ශනය තවත් ඉහළ මට්‌ටමට එනම් මෙම මගඩියේ දේශපාලන මහ මොළකරුවන් කරා ගමන් කිරීම වැළකීම සිදුවන්නේ නම් එහිදී යුක්‌තිය ඉටුවීම ගැන පොදු මහජනතාවට සැක සංකා ජනිත වීම වැළැක්‌විය නොහැකිය. ඒ තුළ බැඳුම්කර කොමිසමේ විමර්ශනය සම්පුර්ණ එකක්‌ නොවන බවටත් මහජනයා තුළ හැගීමක්‌ ඇති වේ. අර්ජුන ඇලෝසියස්‌ ගේ සාක්‌ෂි දීම සම්බන්ධයෙන් ජනාධිපති බැඳුම්කර කොමිසම පසුගිය සතියේ දුන් තීන්දුව වූයේ අර්ජුන් ඇලෝසියස්‌  සාක්‌ෂි දීමට අකැමැති නම් ඒ සඳහා ඔහුට බලනොකර සිටීමටයි. ඒ තීන්දුව දුන්පසු කොමිසමට පැමිණ සිටි අර්ජුන් ඇලෝසියස්‌  සිය නීතිඥයන් සමඟ කොමිසමෙන් පිටව ගිය අතර ඊට පසු දින ඔහු කොමිසම හමුවට පැමිණ කීවේද නීති උපදෙස්‌ මත තමා සාක්‌ෂි දීමට අකැමැත්ත ප්‍රකාශ කරන බවයි. මේ තීන්දුවත් සමඟ බැඳුම්කර ජනාධිපති කොමිසමේ අරමුණු ඉටුකර ගත හැකිද යන්න ගැන රටේ ජනතාව තුළ සැක සංකා පැතිර ගිය බව ද රහසක්‌ නොවේ. මේ තීන්දුව ලබාදීම ගැන ඇලෝසියස්‌  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන  කොමිසමේ කොමසාරිස්‌වරුන්ට ස්‌තුතිය පළ කිරීමෙන් පසු නැගී සිටි වැඩබලන සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා  කීවේ අනපේක්‌ෂිතව ලබා දුන් මේ තීන්දුව වැරදි එකක්‌ බවත්, ඊට එකඟ නොවන බවත් ය. තීන්දුව ගැන නීතිපතිවරයා සමඟ වැඩිදුර සාකච්ඡා කර තීන්දුව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන කොමිසමට ප්‍රකාශයක්‌ කරන බවත් ඔහු කීවේය. එහෙත් තවමත් ලිවේරා  එම ප්‍රකාශය ඉදිරිපත් නොකළේ මන්දැයි අපට පැහැදිලි නැත.

ඇලෝසියස්‌  සම්බන්ධයෙන් දුන් තීන්දුව නිසා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්  ද ඇතැම් විට මේ කොමිසමට සාක්‌ෂි නොදී සිටීමට ඉඩ ඇති බවට ද ජනතාව තුළ සැක සංකා පැතිර ගියේය. ඇතැම් අය කීවේ මහේන්ද්‍රන්  ද සාක්‌ෂි නොදෙනු ඇති බවය. එනම් ඔහු (මාමා) ඇලෝසියස්‌  (බෑනා) ගත් ස්‌ථාවරයම ගනිමින් සාක්‌ෂි නොදී සිටිනු ඇති බවය. එහෙත් තවත් අය කීවේ ඔහු ශාක්‌ෂි දෙනු ඇති බවය. ඒ සමඟ ම මාධ්‍ය තුළ පළ වූ ඇතැම් නීති මත වලින් ප්‍රකාශ වූයේ අර්ජුන් මහේන්ද්‍රන් ද සාක්‌ෂි දීමට අකැමැත්ත ප්‍රකාශ කළහොත්, සාක්‌ෂි දීම සඳහා ඔහුට ද බල කිරීමට කොමිසමට හැකියාවක්‌ නොලැබෙනු ඇති බවයි. මෙයට හේතුව ඇලෝසියස්‌ ට සාක්‌ෂි දීම සඳහා බල නොකිරීමට කොමිසම විසින් ගත් තීන්දුව බවද පැවසිණි. මේ අනුව කොමිසම විමර්ශනයට අත්‍යවශ්‍ය සාක්‌ෂිකරුවන් දෙදෙනකුම කොමිසමට අහිමි වීම තුළින් කොමිසමේ අරමුණු ඉටුකර ගැනීම සම්බන්ධයෙන් ද ගැටලු සහගත තත්ත්වයක්‌ ඇති වනු ඇති බවට මත පළ වූයේය. එහෙත් කොමිසමේ සභාපතිවරයා ඉකුත් 20 වැනිදා කළ විශේෂ ප්‍රකාශයෙන් එම ගැටලු නිරාකරණය වී තිබේ.

ඉකුත් සැප්තැම්බර් 19 වැනිදා මහේන්ද්‍රන් ගේ නීතිඥවරයා වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් කොමිසම හමුවේ සාක්‌ෂි දෙනු ලබන බව කීවත් ඒ සඳහා රොමේෂ් ද සිල්වා  විසින් කිසියම් කොන්දේසියක්‌ ද සඳහන් කළේය. ඒ බව මාධ්‍ය ද වාර්තා කර තිබුණි. එහිදී අර්ජුන් මහේන්ද්‍රන්  කොමිසමට සාක්‌ෂි දීම සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  කොමිසමට ඉදිරිපත් කළේ මෙවන් අදහසකි.

"අර්ජුන් මහේන්ද්‍රන් මේ රටේ පුරවැසියෙක්‌ නොවේ. එසේම ඔහු මේ රටේ නිත්‍ය පදිංචිකරුවකු ද නොවේ. ඒ නිසා ඔහුට මේ කොමිසම හමුවේ සාක්‌ෂි දීම සඳහා බල කරන්න බැහැ. එසේම වෙනත් සන්නිවේදන උපකරණ හෝ ලේඛන ලබා දෙන්නැයි ඔහුට බල කරන්නත් බැහැ. ඔහුගේ දුරකථන සහ අනෙකුත් සන්නිවේදන උපාංග කොමිසමෙන් ඉල්ලා තිබුණා. නීතියෙන් ඒවා ලබාදීමට බැඳී නොසිටියත් ඒවා කොමිසමට භාරදීමට මා උපදෙස්‌ දුන්නා. අර්ජුන් ඇලෝසියස්‌ට සාක්‌ෂි ලබාදීම සඳහා බල නොකිරීමට කොමිසම දුන් තීන්දුව ගැනත් අපි දැනුවත්ව සිටිනවා. එහෙත් සිය නිර්දෝෂීභාවය තහවුරු කිරීම සඳහා මහේන්ද්‍රන් සාක්‌ෂි ලබා දෙනවා. ඒ නිසා ඔහුට ගෞරවයෙන් සැලකිය යුතුයි. මේ කොමිසමේ නිලධාරීන් ඔහුට අපහාස වන ආකාරයට කටයුතු කළහොත් ඒ අවස්‌ථාවේ දීම සාක්‌ෂි දීමෙන් ඉවත් වීමේ අයිතිය අපි රඳවා ගන්නවා."

මේ ප්‍රකාශයට දැනටමත් කොමිසම විසින් පිළිතුරක්‌ දී අවසන් ය. එනම් අර්ජුන් ඇලෝසියස්‌ මහතා සම්බන්ධයෙන් සලකා බැලූ තත්ත්වයට වඩා අර්ජුන් මහේන්ද්‍රන්  සම්බන්ධයෙන් තත්ත්වය වෙනස්‌ බවයි. එහෙත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  මහේන්ද්‍රන්  සම්බන්ධයෙන් සඳහන් කළ කරුණු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දැන්වත් සිතට ගත යුතු බව අපගේ අදහසයි. වෙනත් අයකුගේ නිර්දේශය මත හෝ තමා මහ බැංකු අධිපති ධුරයට පත් කළේ කවර ආකාරයක පුද්ගලයකු දැයි ජනාධිපතිවරයා දැන්වත් වටහා ගත යුතුය. ජනාධිපතිවරයාම මහ බැංකු අධිපති ධුරයට පත් කළ මේ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ජනාධිපතිවරයාම පත් කළ ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට පැමිණ කියන දේ ගැන ජනාධිපතිවරයා සිතට ගත යුතු වන්නේ මේ රටේ පුරවැසියකුවත් නොවන පුද්ගලයකු මහ බැංකු අධිපති ධුරයට පත් කිරීමට කටයුතු කළේ ජනාධිපතිවරයා විසින්ම නිසාය. එවැනි අයකු පත් කිරීමේ වගකීමෙන් මිදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටත් නොහැකි බව අපගේ හැඟීමයි. ඒ නිසා ජනාධිපතිවරයා ද මේ කොමිසම හමුවට පැමිණ ස්‌ව කැමැත්තෙන් හෝ සාක්‌ෂියක්‌ ලබාදිය හැකි නම් වඩාත් ප්‍රයෝජනවත් ය. මේ රටේ ජනතාවට සහ මේ රටේ නීතියට වග කියන පුද්ගලයකු රටේ මුදල් කොලයට පවා අත්සන් තබන මහ බැංකු අධිපති ධුරයට පත් නොකිරීමේ විසල් වන්දිය අද මුළු මහත් රටවැසියාටම විඳින්නට සිදුව නොතිබෙන්නේද?

රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගෙන් ප්‍රශ්න ඇසීමට නිසි ලෙස සූදානම් වීම සඳහා දින දෙකක කාලයකට බැඳුම්කර කොමිසමේ සාක්‌ෂි විභාගය කල් තැබීමට එම කොමිසම ඉකුත් 20 වැනිදා අවසර දුන්නේය. වැඩ බලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා  මේ ඉල්ලීම කොමිසමට ඉදිරිපත් කළේය. අපත් සිතන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගෙන් නිසි ලෙස ප්‍රශ්න අසා සත්‍ය මතු කර ගැනීමට රජයේ නීතිඥ මණ්‌ර්ඩලයට පූර්ණ අවකාශය සහ ඉඩකඩ තිබිය යුතුම බවයි. කොමිසමේ මැන්ඩේට්‌ පත්‍රයේ අරමුණු ඉටු කරගෙන එනම් රටේ රාජ්‍ය නායකයා වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කළ මේ ජනාධිපති කොමිසමේ අරමුණ ජය ගැනීමට එය ද ඉවහල් වනු ඇතැයි සිතිය හැකිය.

ගිය සිකුරාදා (22 දා) රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය ඒ අනුව ඡේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා මහතා අර්ජුන මහේන්ද්‍රන්  විසින් 2015 අප්‍රේල් 16 දින සිංහලෙන් අල්ලස්‌ කොමිසමට ලබාදී තිබූ ප්‍රකාශයක්‌ කොමිසම හමුවේ කියවා මහේන්ද්‍රන්ගෙන් එය සත්‍යයක්‌ දැයි විමසීය. ඉන් පසුව එහි අදහස ඉංගී්‍රසි භාෂාවෙන් ද අර්ජුන මහේන්ද්‍රන් ට ඇසෙන සේ කියවන ලදුව එහි සඳහන් දේ සත්‍යයක්‌ බව මහේන්ද්‍රන්  කොමිසම හමුවේ පිළිගත්තේය. එනම් තමාට මහ බැංකු අධිපති ධුරය භාරගන්න කීවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවයි. දප්පුලද ලිවේරා  කොමිසම හමුවේ කියවූ අර්ජුන මහේන්ද්‍රන්  විසින් අල්ලස්‌ කොමිසමට ලබාදී තිබූ ප්‍රකාශය මෙසේය.

"මා ඩුබායි රටේ රැකියාවක නිරතව සිටියදී 2015 ජනවාරි 9 දින හෝ ඊට ආසන්න දිනක රනිල් වික්‍රමසිංහ  දුරකථනයෙන් විමසා සිටියා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ හැකි ද කියා."


ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.