නුවර පාරේ මහ මගුලක්.. මනමාලිගේ රෙද්ද උස්සන්න පාසල් ළමුන් 250 යොදවයි..
කිලෝ මීටර 3.2ක් දිග සාරි පොටක් සහිත ඔසරිය මනාලිය අදිමින් මහනුවරදී තරුණ යුවලක් විවාහ වූහ. මෙය ලොව දිගම ඔසරි පොටට හිමි ගිනස් වාර්තාව ලැබෙනු ඇති බව ඔවුන් විශ්වාස කරයි.
මෙම සාරි පොට ගෙන එනු ලැබුවේ ලොරියක පටවා වන අතර කිලෝ මීටර් 3.2ක් දුරට රදවා සිටි පාසැල් සිසු සිසුවියන් 250ක් විසින් එය අල්ලාගෙන සිටියහ.
සජිනි ප්‍රියංගිකා මනාලියගේ මෙම ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබුවේ ගිනස් වාර්තා නිරීක්ෂණ කමිටුයට නිරීක්ෂණය කිරීමටයි.
මල් කුමාරියන් 40ක් සහිතව පැවති මෙම විවාහ මංගල උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකද එක්ව සිටියේය.වීඩියෝ
කෙසේ වෙතත් පාසැල් සිසුන් 250ක් මෙවන් කටයුත්තකට කෙසේ සහභාගී කරවූයේදැයි පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් විමසුවද නිසි පිලිතුරක් ලබා නුදුන්හ.
'ගිනස් මඟුල්'
ශ්‍රී ලංකාව යනු වාර්තා තැබීමට උපන් ගෙයි හැකියාව ඇති රටකි. නමුත් රට හමුවෙහි ඇති බොහෝ වාර්තා දුටු විට අපට ඇතිවන්නේ සතුටට වඩා දුකකි. දිවිනසා ගැනීම්, හදිසි අනතුරු, ළමා අපචාර, ඩෙංගු, ණය බර, ලොකුම ඇමැති මණ්ඩලය ගැන ලෝක වාර්තා අතරට එක් වූ නවතම වාර්තා වන්නේ ගිනස් වාර්තාය. ලංකාවේ මිනිසුන්ට ගිනස් වාර්තා තැබීමට ලොකු 'උණක්' ඇති බව රටේ සිදුවීම් දෙස බැලූ විට පෙනේ.
පසුගියදා ශ්‍රී ලංකාවේ අපූරු සිදුවීමක් ගිනස් වාර්තා පොතට එකතු විණි. එම වාර්තාව වූයේ ලෝකයේ දිගම සාරි පොට පැළඳි මනාලියයි. මෙම මනාලිය යුග දිවියට ඇතුළු වූයේ ගිනස් වාර්තා පොත ද අලුත් කරමිනි. මෙම වාර්තාව තැබීම සඳහා මනාලිය පැළඳ සිටි සාරි පොටේ දිග මීටර් 4099 කි. ඒ සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 27 ක් පමණ බව පැවසේ. මෙම ක්‍රියාව නව යුවළගේ සිතූ මනාපයට සිදු වූ අතිශය පෞද්ගලික කාරණාවකි. නමුත් ඇත්තටම මේවා ගිනස් වාර්තා නොව 'පපඩම්' වාර්තාය. මන්ද හෙට දිනයේ මෙම වාර්තාව කැඩීමට අවශ්‍ය වන්නේ රෙදි යාරයක් පමණි. ඇතැම් විට මෙම තරුණ යුවළට ද ඊළඟ අවුරුද්දේ මෙම සාරියටම තව රෙදි යාර දෙක තුනක් එකතු කර වාර්තාව අලුත් කළ හැක. එම නිසා මෙවැනි වාර්තාවලින් හෑල්ලුවට ලක් වන්නේ ලංකාව නොව ගිනස් වාර්තා පොතය.
මෙම 'පපඩම්' වාර්තාව, කතා නොකළ යුතු මාතෘකාවක් වුවද අද අපට මේ පිළිබඳව කතා කිරීමට වැදගත් ප්‍රස්තුතයක් ඉතිරිව තිබේ. ඒ මේ වාර්තාව තැබීම සඳහා මීටර් 4099 ක් (කිලෝමීටර් 4) දිග සාරිපොට අල්ලාගෙන යැම සඳහා පාසල් දරුවන් 250 දෙනකු යොදා ගැනීමය. මෙම පාසල් දරුවන් ඉගෙනුම ලබන්නේ අලවතුගොඩ සරත් ඒකනායක පාසලේය. මෙය මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ නම කොටා ඇති, ජනතාවගේ බදු මුදලින් ගොඩනැගූ පාසලකි. මෙම 'ගිනස් මංගල්‍යයට' මහ ඇමැතිතුමා ද සහභාගි වී එතුමා ද පාසල් දරුවන්ට සාරි පොට ඇල්ලීමට උදව් කරනු ලබන ඡායාරූප මාධ්‍යවල පළ වී තිබිණි. පළාතේ මහ ඇමැතිතුමා ඉදිරියේ කුඩා පාසල් දැරිවියන් සාරි පොටවල් පටලවාගෙන මහ දවල්, මහ පාරේ ඇවිද යැම ගැන පළමුව ලැඡ්ජා විය යුත්තේ මහ ඇමැතිතුමාය. නමුත් ලංකාවේ කිසිදු දේශපාලනඥයකුට නැති ලැඡ්ජාවක් මහ ඇමැතිතුමාට විතරක් ඉතිරි වී තිබෙන්නට නොහැක.
මෙම ක්‍රිsයාව සම්බන්ධයෙන් දැනටත් පාසල් ගුරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ මංගල උළෙලක මනාලියකගේ සාරි පොට උස්සාගෙන යැමට පාසල් දරුවන් යොදා ගැනීම වැරදි ක්‍රියාවක් බවයි. ඇත්තටම මෙම නිවේදනය නිකුත් කළ යුතුව තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි. නමුත් වැරදිලාවත් අධ්‍යාපන ඇමැතිවරයා මේ ගැන තවම ප්‍රකාශයක් නිකුත් කොට නොමැත.
පාසල් දරුවන් මෙවැනි ප්රචාරකවාදී ක්‍රියාවන්ට යොදා ගන්නා පුද්ගලයන් අතර පෙරමුණේ සිටින්නේ දේශපාලනඥයන් ය. විදුහල්පතිවරුන් ද බලන්නේ දේශපාලනඥයන් සතුටු කර, නව තනතුරු ලබාගෙන තමන් වැඩියෙන් සතුටු වීමටය. මේ සියලු දෙනාගේ සතුටට අපේ කිසිදු ඉරිසියාවක් නැත. නමුත් අපට ඇති අර්බුදය, ඔවුන්ගේ සතුට වෙනුවෙන් අසරණ පාසල් දරුවන් පාවිච්චි කිරීමය.
අද ලංකාවේ පාසල් දරුවන් අර්බුද රැසකට මුqහුණ දී සිටිති. නිල ඇඳුම්, පොත්පත්, පාවහන් ගැනීමට වත්කමක් නොමැති ලක්ෂ ගණනක් දරුවෝ අද පාසල් තුළ සිටිති. බොහෝ දරුවන් පාසල් පැමිණෙන්නේ බඩගින්නේය. ජනාධිපති ප්‍රේමදාස යුගයේ මෙන් මේ දරුවන්ට දැන් පාසලෙන් කිරි වීදුරුවක් ලැබෙන්නේ නැත. රටට ඔරොත්තු නොදෙන ඇමැති මණ්ඩලයක් නඩත්තු කරන අපට තවමත් මේ දරුවන්ට නොමිලේ ආහාර වේලක් දීමට මුදලක් වෙන්කර ගැනීමට නොහැකි වී තිබේ. තරගකාරී විභාග අධ්‍යාපන ක්‍රමය විසින් මේ දරුවන්ට ඉතිරි වී තිබූ එකම සම්පත වූ 'නිදහස් ද උදුරාගෙන අවසන්ය. රටේ දේශපාලනඥයන් තමන්ගේ දේශපාලන ව්‍යාපෘති සඳහා දක්කාගෙන යන්නේ මේ අසරණ දරුවන්වය. මෙම ක්‍රියාව එළඹෙන සඳුදා දිනයේ සිට නතර කළ යුතුය. දේශපාලනඥයන් වන්දනා කරන දරු පරපුරක් බිහිකිරීමෙන් රටට අත්වන සෙතක් නැත.