ප්‍රසන්න රණතුංග
නොපැමිණි නිසා මුදල් වංචා නඩුව කල්යයි...!!!
කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 15 ක් යටතේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය යළිත් වරක් කල්දැමීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක ඊයේ (23 දා) නියෝග කළේය.
සිතාසි නිකුත් කොට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 50 දෙනකු කැඳවා එම නඩුවේ විභාගය ඊයේ (23 දා) සිට ඉදිරි දින තුනක් පැවැත්වීමට අධිකරණය පෙර නඩු දිනයේදී නියම කොට තිබිණි. එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 46 දෙනකු ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ. පළමුවන විත්තිකාර ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඊයේ (23 දා) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ විශේෂ සැසියකට සහභාගිවන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සිය සේවාදායකයාට දන්වා ඇති බැවින් නඩු විභාගය වෙනත් දිනයක පවත්වන ලෙසට ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම අනුව එම නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 26 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට දින නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ පළමු හා දෙවන සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළේය.
රුපියල් කෝටි ගණනාවක් වටිනා එම ඉඩමේ පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත්කර එය ලබාදෙන බව පවසා සුරංජිත් ගිහාඩ් මෙන්ඩිස් නමැත්තාගෙන් රුපියල් මිලියන 64 ක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා යටතේ පසුගිය වසරේ මැයි මස නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා තිබිණි. පසුගිය වසරේ ජුනි 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත්කර තිබියදී නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කර කැඳවූ දිනයටත් සතියකට පෙර අධිකරණය හමුවේ පෙනී සිටි ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිඳ විදේශගතවීමට අවසර ලබාගෙන තිබිණි.
එම නඩුවේ සාක්ෂි සඳහා විභාගය පසුගිය වසරේ සිට ඊයේ දක්වා අවස්ථා හතරකදී කල්දැමීමට අධිකරණය විසින් විවිධ හේතූන් මත නියෝග කොට තිබිණි.