ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 11, 2017

මෙකල දික්කසාද වීම් බහුල වී ඇත්තේ ඇයි ?

අද විවාහ ජීවිතවල විවිධ ක්‍රමානුරූපී වෙනස්වීම් සිදු වී තිබේ. වර්තමාන සමාජය බොහෝ සංකීර්ණය. ඒ නිසාම විවාහ ජීවිතවල විවිධ පැතිකඩ ඉතා සීඝ්‍රව වෙනස් වෙමින් පවතී. අද ඇත්තේ ස්ත්‍රිය හා පිරිමියා සමතැන උසුලන සමාජයකි. බටහිර රටවල කෙසේ වෙතත් මෙරට දී නම් උගත්කම ලබා සමාජ ඉතා ඉහළ සමාජ මට්ටම් නියෝජනය කරන ස්ත්‍රීන් බොහෝ පිරිසක් සිටිති. මෙරට පුරුෂ පක්ෂය ඇතැම් අවස්ථාවලදී මේ නිසා උසුලනු ලබන්නේ දෙවන පෙළ මට්ටමක් ලෙස දක්විය හැක. ඒ තරමින් මෙරට කාන්තා නිදහස, සම අයිතිවාසිකම් ස්ථාපිත වී තිබේ. ආගමින්, සමාජ, ආර්ථික, සංස්කෘතික, සාහිත්‍යමය, අධ්‍යාපනික, වෘත්තීමය ආදී බොහෝ සමාජ පැතිකඩ වල ස්ත්‍රීය මූලිකත්වය ගෙන ඇත. එසේ ගැනීමට හැකි පරිදි ඇයගේ අයිතිවාසිකම් ස්ථාපිතව ඇත. බුදුද දහමින් ලද ශික්ෂණය මත ලාංකේය සමාජය තුළ ස්ත්‍රියට ඇත්තේ ඉතා ගෞරවණීය පිළිගැනීමකි. එසේම සමාජයීය වශයෙන් මෙරට සංස්කෘතිය තුළ ස්ත්‍රියට හිමි වනුයේ ප්‍රධානත්වයකි. වර්තමානයේ දේශපාලනික ස්ථරයතුළ පවා ස්ත්‍රිය අනුක්‍රමයෙන් පෙරට එනු දක්නට ලැබේ. ජනාධිපති, අගමැති, ඇමති තනතුරු ආදී ඉහළම සමාජ මට්ටම්වල සිට නොයෙක් විෂය ‍ක්ෂේත්‍රවල ලාංකේය ස්ත්‍රියට ප්‍රධාන විධායක තනතුරු හිමිවිය. බොහෝ රාජ්‍ය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ආදියෙහි ද පිරිමියා අබිබවා ස්ත්‍රිය එහි මුල්පුටුවලට පැමිණීමට සමත්ව සිටී. මේ නිසා පවතින සමාජ ක්‍රමයේ ඇතැම්විට ස්ත්‍රිය සිටිනුයේ පිරිමියාටද වඩා ඉහළ ස්ථානයකය.මේ තත්වය මත ස්ත්‍රියට පෙරට වඩා විශාල වගකීමක් දරන්නට සිදුවීම මත ඇයගේ විවාහ සංස්ථාවට පවා අයහපත් බලපෑම් එල්ල වී තිබේ.

පැහැදිලිවම විවාහ ජීවිතයතුළ පෙර යුග පරම්පරාවලට අයත් ස්ත්‍රියක සිදුකළ කාර්ය භාරය ඉටු කරන්නට අද යුගයේ ස්ත්‍රීන්ට මේ නිසා නොහැකිවී තිබේ.එය ඉතාමත් අයහපත් අන්දමින් වර්තමාන ස්ත්‍රියගේ විවාහ දිවියට බලපා ඇත. මන්ද සමාජය වෙනස්වූ පමණින් සමාජය සතු ආකල්ප ක්ෂණිකව වෙනස් නොවන බැවිනි. අදටත් විවාහ දිවියක සියළු වගකීම් හා කාර්යයන් සියල්ල සිය බිරිඳ විසින් ඉටුකළ යුතුය යන පැරණි හණමිටි චින්තනවල බොහෝ පිරිමි කොටුවී සිටින බව පෙනේ. මේ ආකල්ප සෑම පිරිමියෙකු තුළම නැතත්, කළාතුරකින් හෝ එබඳු අදහස් ඇති පිරිමි දැකිය හැක. ගෘහණියක ලෙස සිය මිත්තණිය, මව විසින් ගෘහය තුළ සිදු කළ කාර්යභාරයට සමාන කාර්යභාරයක් කාර්ය බහුල නූතන යුගයේ රැකියාවක නියුතු සිය බිරිඳගෙන් ද බලාපොරොත්තුවීම එතරම් ප්‍රඥාගෝචර නොවේ. වේලාව නොවරදවා සියතින් උයාපිහා ආහාර පානාදිය සකස් කොට ලබාදීමට හා තමා කෙරෙහි සිය බිරිඳ‍ගේ මුළු අවධානයම යොමුව පවත්වා ගැනීමට පුරුෂයින් හා සම සමව කාර්යබහුල වෘත්තියක නිරතවන ඇයට අපහසුවිය හැක. එම අවස්ථාවලදී සිය කෝපය ඇය පිටින් නොයවා හැකිතාක් නම්‍යශීලීව සිතා කටයුතු කළහැකි නම් යුග දිවිය තුළ මතුවිය හැකි බොහෝ ගැටළු අවමකර ගැනීමට ඉඩලැබේ. සමහර කාරුණික පිරිමි බිරිඳ ඉවුම් පිහුම් වගකීම්වලින් මුදවා තැබීමට ආහාර පානාදිය පිටතින් ලබා ගැනීමට ක්‍රියා කරන බව පෙනේ. මේ බව දකින රැකියා ස්ථානවල වෙසෙන ඇතැම් කපටි ස්ත්‍රීන් පවුල් දිවියේ නැති අවුල් ඇවිලවීම පිණිස, ආහාර පානාදිය සියතින් සකස්කර ලබාදීමට බිරිඳට ඇති නොහැකියාව පිළිබඳ විවිධ ඉච්ඡා බස් පවසා එබඳු පිරිමින්ව අනවශ්‍ය ලෙස කුපිත කිරීමට පවා වෑයම් කරන බව ද නොරහසකි. රැකියාව නිම‍කර නිවසට පැමිණීමෙන් පසු පිරිමි බොහෝවිට හුරු පුරුදුව ඇත්තේ සිය විවේකය මැනවින් භුක්ති විඳීමටය. නමුදු ඒ තත්වය ඇතැම් විවාහක ස්ත්‍රියකට නොමැත. ඇයගේ අවාසනාව නම් මේ තත්වය පිරිමින්ට නොවැටහීමයි. පිරිමි සිතනුයේ තමා ප්‍රධානියා නිසා නිවෙසේ කාර්යය ඉටු කිරීම බිරිඳක සතුවූ වගකීමක් වන බවයි.
පුරාණ විවාහ ජීවිතයේදී ස්ත්‍රිය පිරිමියාට කිසියම් යටපත් පහත් බවකින් වාසය කිරීමට හුරු පුරුදුව සිටී නමුදු වර්තමාන සමාජයේ පිරිමින්ට එදා තිබූ මුලික ස්ථානය අද හිමි නොවේ. ඊට විවිධ හේතු බලපා තිබේ.නිරායාසයෙන් සමාජයේ තමාට හිමි මුල් තැන නිසා, පිරිමි බොහෝවිට, අධ්‍යාපනික, සමාජයීය, ආගමික, සාහිත්‍ය කලා ආදී ක්ෂේත්‍රවල ඉදිරියට යාමට වෙහෙස නොගනී. නමුදු ස්ත්‍රිය එසේ නැත. තමාට සමාජයෙන් හිමිව ඇති අඩු සමාජ පිළිගැනීම, සමාජ මට්ටම නිසා ස්ත්‍රිය ඒවා අබිබවා ආත්ම ධෛර්යයෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කිරීමට කුඩා කළ සිටිම උගනී. ඒ නිසා යමක් කමක් අවබෝධවන කල වයසට පැමිණෙන විට, තනිවම නැඟී සිට අභියෝගවලට මුහුණ දිය හැකි ආකාරය පිළිබඳව ස්ත්‍රියකට ඇත්තේ හොඳ වැටහීමකි. පිරිමියා එකම තැන පල්වීමත්, ස්ත්‍රිය වැරවෑයමෙන් මූලිකත්වය ලැබීමත් සමාජයේදී බොහෝදුරට දැක ගැනීමට ලැබේ. හැම පිරිමියාම මෙසේ කම්මැලි, අලස සහගතව කටයුතු නොකරතත්, ඒ අයුරින් ක්‍රියා කරන අයද මේ සමාජයේ දී දක්නට ලැබේ. බොහෝවිට ස්ත්‍රීන් ද සමාජයේ සියළු පිරිමි මැනීම සඳහා එබඳු අය නිර්ණායකයක් කරගනු පෙනේ. එය වැරදිය. මන්ද බහුතරයක් එසේ නොවන බැවිනි. බොහෝ වෙර වෑයමෙන් කටයුතු කර යම් සමාජ මට්ටම්වලට පැමිණිමට උත්සහ ගන්නා විට, එබඳු ස්ථානවල මුල්බැස සිටින සෙසු ස්ත්‍රීන් පවා උදව් උපකාර කරනුයේද තවත් ස්ත්‍රියකට මිස, පිරිමියෙකුට නොවේ. එබඳු ස්ථානවල සිටින ඇතැම් පිරිමින් පවා උදව් උපකාර කිරීමට ඉදිරිපත් වනුයේ පොත්ත රතු ඇහැට කණට පේන ස්ත්‍රීන්ටම මිස පුරුෂයින්ට නොවේ. ඒ දුබලතා වලින් තොරවූ පිරිමි ද සිටින නමුදු බහුලව නොවේ. මෙරට සංස්කෘතිය තුළ ස්ත්‍රීවාදීන් දක්වන කිසිදු පුරුෂාධිපත්‍යයක් නොමැත.
වර්තමාන පවුල්දිවියතුළ පවා එදා පිරිමියාට තිබූ ස්ථානය අද නැත.ඒ වෙනුවට පිරිමියාට පවුලතුළ වුවද හිමි වනුයේ ද්විතීයික ස්ථානයයි.පවුල්දිවිය තුළ ඇතැම්විට සිය බිරිඳටද වඩා පහළ වගකීමක්,කැපකිරීමක් දරණ පිරිමිහුද සිටිති.මොවුන්ට බොහෝවිට තමා විවාහකයෙකු බව සිහිපත්වනු‍යේද නිදහස උපරිමව භුක්තිවිඳ යළි නිවසට පැමිණි පසු පමණි.එබඳු අවස්ථාවල සිය බිරිඳ පෙනෙනුයේ ගිලදැමියහැකි රසවත් අහරක් තනාදියහැකි කෝකියෙකු පරිදිය. ඇතැම් පිරිමින්ට ඇවැසිවූ විට තමා රිසිසේ භාවිතයට ගතහැකි ලිංගික මෙවලමක් ලෙස බිරිඳ පෙනීමද තවත් වරදකි. පවුල් සංස්ථාව තුළ පිරිමියාට හිමිවතිබූ මූලික තැන අහිමිකරගැනීමට වගකිව යුතුවනුයේද වගකීමක් නොමැතිව ක්‍රියා කිරීමට හුරුපුරුදුවූ පිරිමින්මය.පවුලේ මුළුබර සිය මව්වරුන්ගේ කරමත පටවා වගකීම් නොමැතිව කටයුතු කළ සිය පියවරුන්ගේ ඇතැම්ක්‍රියාකලාප නිසා සමස්ත පිරිමින් ගැනම සාවද්‍ය ආකල්පවල පසුවූ බොහෝස්ත්‍රීන්ද විවාහවූ පසු සිය සැමියා පිළිබඳව මුලින්ම දරනුයේද එතරම් හිතකර හැඟීම් නොවේ.එබඳු අදහස්, ආකල්ප දුරුවීමට නොව වඩාත් තීව්රවීමට විවාහක පිරිමින්ගේ ඇතැම් නොමනා ක්‍රියාකලාපද හේතුවන බව කණගාටුවෙන් යුතුව වුවද කියයුතුමය. එබඳු පවුල්වල දියණිවරුන්ටද යළිත් මවගෙන් හා සිය පියා ඇසුරෙන් ලැබෙනුයේ පිරිමි පිළිබඳ හිතකරවූ ආකල්පද නොවේ.මෙසේ පරම්පරා කිහිපයක් පුරාම වසංගතයක් පරිදි සාවද්‍ය ආකල්ප ව්‍යාප්තවීම ඉතා අයෝග්‍යවූ දෙයකි.
පවුල් සංස්ථාව තුළ පිරිමි ගෘහ මූලිකත්වය දරනු ලබනුයේ ගෘහ මූලික නාම ලේඛනවලට පමණි. පවුල් දිවියේ කුදුමහත් වූ සෑම අංශයකම නොනිළ ආධිපත්‍යය දරනුයේ ස්ත්‍රියයි. ඒ ආධිපත්‍යය පිරිමියා පෙරට දමා ලබන රහස් ආධිපත්‍යයකි. ඒ පිළිබඳව මැනවින් දන්නේ එබඳු විවිධ සීමාවලට කොටු වී අපහසුතා මැද ජීවත්වන එබඳු උදවියම මිස සෙසු අය නොවේ. එක්තරා ලෙසකට ඒ ස්ත්‍රී ආධිපත්‍යයේ එක්තරා සුන්දර පැතිකඩක් ද නොපවතිනවා නොවේ. සෑම දෙයකටම නිකරුනේ කරදරවීමට ඇති අලසකම නිසාද හැම වගකීමක්ම බිරිඳ පිට පවරා අත පිස දමා ගැනීමට උත්සහ දරන ඇතැම් පිරිමිද සිටිති. නිවසේ පිළිස්සුණු විදුලි බල්බයක්වත් මාරුකර ගැනීමට නොහැකිව ඒ සඳහා කාර්මිකයින් කැඳවන ඇතැම් පිරිමි ද සිටිති. සිය දූදරුවන් ගැන පවා නිසි ලෙස සොයා බැලීමට උනන්දු නොවන ඇතැම් පියවරුද වෙසේ. තම දරුවන් ඉගෙනුම ලබන පංතිය පවා ඇතැම් පියවරු නොදනිති. බොහෝ අය ලෝකය අඟවනුයේ එකකි. නමුදු සැබෑ තත්වය වෙනත් දෙයකි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ සේ හැඳින්වෙනුයේ මෙබඳු අයයි. වෘත්තීය ජීවිතයේ ඇති කාර්ය බහුලතාව නිසාම නිවසේ වගකීම් වලින් කර ඇරීමට යොමු වූ අය, ලොවට පවසනුයේ සිය වගකීම් බිරිඳ පවරාගෙන ඒ කාර්යන්වලින් ඇයගේ කැමැත්තෙන්ම තමා නිදහස් කළ බවකි. බිරිඳගේ සෑම කාර්යකදීම ඇය පසුපස ආරක්ෂකයෙකු පරිදි යන එන පිරිමි මෙන්ම, බිරිඳ ඉදිරියට දමා එය ආවරණයක් කොට පසුපස සිට, කටයුතු කිරීමට හුරුවූ පිරිමිද සිටිති. කුඩා කළ සිටම සිය මවගේ දැඩි ආදරය, රැකවරණය ඇතිව ඇති දැඩි වූ පිරිමින් මෙසේ ස්ත්‍රියකගෙන් රැකවරණය ලබා ගැනීමට හුරුවූ අය ලෙස දැක්විය හැක. සමහරු අසනීප වූ විට හැසිරෙනුයේ පොඩි දරුවන් මෙනි. ස්ත්‍රීන්ට සිය සැමියාද තමාගේ සෙසු දරුවන් අතර වැඩිමල් දරුවා ලෙස මෙබඳු අවස්ථාවලදී පෙනේ. මව්වරුන් සිය පුතුට දියණිවරුන්ට වඩා අධික ලෙස සෙනෙහෙවන්තකම් පා සලකනු ලැබේ. සිය මවගෙන් තරමටම නොලැබෙතත්, එබඳු පිරිමි විවාහ කරගැනීමට වඩා කැමති මෘතෘ භාර්යාවකි. එනම් තමාට මවක මෙන් ආදරය දැක්වීමට හැකියාව ඇති බිරිඳකටය. නමුදු සමහර ස්ත්‍රීන් කැමති පියෙකු සේ රැකවරණය සැපයිය හැකි පිරිමින්ටය.
             පෙර යුගවල දී ආදායම් උපයන්නා ලෙස පිරිමියාට හිමිව තිබූ අද්විතීය ස්ථානය අද අහිමි වී තිබේ. අද ස්ත්‍රියද ආදායම් උපයන්නියකි. බොහෝවිට සැමියා පමණටම හෝ ඇතැම්විට සැමියාට ද වඩා වැඩි වැටුප් හා වේතන ලබනා විවාහක ස්ත්‍රීන් අද සමාජයේ ඉතා බහුලය. සැමියාට සමාන හෝ වැඩි ආදායමක් උපයමින් ඒ සමඟ සැමියාට වඩා වැඩි දායකත්වයක් පවුල් ජීවිතය මනාව පවත්වාගෙන යෑමට ස්ත්‍රීන් විසින් දරනු ලැබේ. මේතුළ ස්ත්‍රියකට පවුල් දිවියේ මුල් තැන හිමි වීම වුවද එක්තරා අයුරකින් සාධාරණ බව පෙනේ. පිරිමියෙකුට තමාගේ වෘත්තීය ජීවිතයේ කාර්ය බහුලතාව නිදහස හේතුවකි. නමුදු ඒනිදහස විවාහක ස්ත්‍රියකට නැත. පිරිමියෙකුට සිය ශාරීරික අපහසුතාව නිසා විවේකගැනීමට මනාව ඉඩකඩ තිබේ. නමුදු ඒ අවස්ථා ස්ත්‍රියකට නැත. බොහෝ විට අසනීපයෙන් පෙළෙන සිය සැමියාට අවශ්‍ය සාත්තු සප්පායම් කිරීමට ද සිදුවනුයේ බිරිඳටමය. මේ නිසාම බොහෝ පවුල්වල බිරින්දෑවරු විසින් සිය වැඩිමහල් දරුවා සේ සලකනු ලබනුයේ ද සැමියන්මය. බොහෝ පිරිමි ද එබඳු සැලකිලි බිරිඳගෙන් අපේක්ෂා කරති. දූ දරුවන්ට කවා පොවා, නිවසේ ඇති සියළු වැඩ කටයුතු හමාර කොට වුවද ඇයට නිදහසක් නොමැත. කාර්ය බහුල වෘත්තියක නිරතවන සැමියෙකුට අවේලාවල ලැබිය හැකි දුරකථන ඇමතුම් ආදී දේවලට පවා පිළිතුරු බැඳීමට සිදුවනුයේ බිරිඳටමය. ඇතැම් පිරිමි කාර්ය බහුල බව කෙසේ වෙතත් සෑම දෙයකටම බිරිඳ පෙරට දමා ඒ පිටුපස සැඟව සිට ක්‍රියා කිරීම පුරුද්දක් කරගෙන ඇති බවද පෙනෙන්නට ඇතිබව ද නොපවසා සිටිය නොහැක. කුඩා වියේදී සිය මවගේ දැඩි රැකවරණය‍ට හා නිරන්තර සොයා බැලීම්වලට යටත්ව හැදී වැඩුණු පිරිමි දරුවෙකු වැඩිහිටියෙකු වූ පසුව ද කුඩා වියේ පටන් පුරුද්දෙන් ලැබූ සිය මවගේ අධික්ෂණයට යටත්වීමේ අනවශ්‍ය ඇබ්බැහිය නිසා මේ අයුරින් කටයුතු කිරීමට ඇතැම්විටක දී පෙළඹිය හැක. බිරිඳකට ශාරීරික ගිලන් බව නිසාවූ විවේක ගැනීමටවත් ඉඩ නැතිව දාසියක සේ වැඩ කර හෙම්බත්වන ස්ත්‍රීන්ද ඇතැම් පවුල්වල ඇත.
            පුරාණයේදී ගැහැණු දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අහිමිකරනු ලැබුවේ සමාජයේ ව්‍යාප්තව පැවති ආදීකාලීන සාවද්‍ය සමාජ ආකල්ප නිසාය. ස්ත්‍රීන්ට අකුරු ශාස්ත්‍රය ඉගැන්වීම ඒ ස්ත්‍රීන් පෙම් සබඳතා පැවැත්වීම පිණිස යොමුවීමට මාර්ගයක් වෙතැයි යන වැරදි ආකල්පයක් එකල මව්වරුන් අතර මුල් බැස පැවති බැවින්, වැඩිදුර අධ්‍යාපන වරම් ස්ත්‍රීන්ට අහිමි කර තිබිණි. නමුදු කාලයාගේ අවෑමෙන් එබඳු සාවද්‍ය ආකල්ප නූතනයේ වෙනස් වී ඇත. වර්තමාන යුගයේ දී පුරුෂ පක්ෂයට ද වඩා අධ්‍යාපනයෙන් පෙරට විත් ඇත්තේ ස්ත්‍රීන්ය. ඒ හේතුව නිසාම උසස් සමාජ මට්ටමවලට අයත් ඉහළ රැකියා, වෘත්තීන්ට පිවිසීමට පිරිමි අබිබවා ස්ත්‍රීන්ට හැකි වී තිබේ. අද සමාජයේ වඩා හොඳ රැකියා අවස්ථා, වෘත්තීය හැකියා, ඉහළ නිලතල හොබවනුයේද, වඩා වැඩි වැටුප් තල ලබනුයේද මේ නිසා ස්ත්‍රීන්ය.ඒ නිසාම නිරායාසයෙන්ම පෙරදී පවුල් ජීවිතයක පිරිමියාට තිබූ ස්ථානය ස්ත්‍රියට වඩා පහළ වැටීමකට ලක්ව තිබේ. බොහෝ විට පිරිමි එක තැන රැඳී කරන රැකියා, වෘත්තීන්වලට එතරම් කැමැත්තක් නොදක්වති. වඩා වගකීම් අධික නිතර වෘත්තිමය ස්වභාවය වෙනස්වන රැකියා, වෘත්තීන්හි නිරත වීමට පිරිමි කැමතිය. පිරිමි කැමති නිශ්චල බවට වඩා ක්‍රියාකාරී අවස්ථාවල නිරත වීමටය. නව අභියෝගවලට මුහුණ දී ජය ගැනීමටය. නමුදු ස්ත්‍රිය එසේ ‍නොවේ. විඩාවකින් තොරව අඛණ්ඩව ඒකාකාරී ස්වරූපයෙන් රැකියාවල නිරතවීමට පිරිමින්ට වඩා ස්ත්‍රීන්ට හැකියාව තිබේ. මේ නිසා එබඳු රැකියාවල දී පිරිමින්ට වඩා ප්‍රමුඛ ස්ථානය ලැබෙනුයේ කාන්තාවන්ටයි. මේ නිසා එබඳු රැකියා වලට බඳවා ගැනීමේ දී පිරිමින්ට වඩා ස්ත්‍රීන්ට බහුල අවස්ථා නිරායාසයෙන්ම හිමි වේ. මේ නිසා එබඳු වෘත්තීන්හි ස්ත්‍රීන් අධිකවී තිබේ.
දිගු කලක් මෙරට යටත්කරගෙන සිටි විදේශික පාලන රටාව මඟින් දේශීය සංස්කෘතියේ පැවති සාරධර්ම වෙනුවට වාණිජ අර්ථක්‍රමයට අදාළ මෙරට සංස්කෘතියට කිසිසේත්ම නොපෑහෙන සාරධර්ම හඳුන්වා දෙනු ලැබූ අතර ඒවා මනුෂ්‍ය සදාචාරයට පටහැනි ගති ලක්ෂණ ප්‍රකට කරවූ මිනිසුන් ආගමික හැදියාවෙන් ඉවතට යොමු කරවූ ඒවා විය. පෙර බුදු දහම මත පදනම් වූ අල්පේච්ඡ දිවි පෙවෙත මිනිස් ජන ජීවිතයෙන් ඉවත් වී වාණිජ පාරිභෝජන ආර්ථික රටාව විසින් මිනිසා බහුභාණ්ඩික තත්වයට පත්කරවීය. මූලික මිනිස් අවශ්‍යතා සංතෘප්ත කර ගනිමින් සැහැල්ලු ලෙස ජීවිකාව ගෙනයනවා වෙනුවට හැකිතාක් අධි පාරිභෝජන රටාවකට ගැති වූ එමෙන්ම පවතින සමාජ ආර්ථික ක්‍රමයෙහි වහළෙක් බවට මිනිසා පත්විය.
පවුල් ඒකකයෙහි ශක්තිය ක්‍රමයෙන් හීන වී යන්නට විණි. මේ හේතුව නිසා පෙර ශක්තිමත්ව පැවති පවුල කේන්ද්‍ර කරගත් සෙසු සමාජ සංස්ථාද  ක්‍රමයෙන් විසිරී යන්නට විය. වත්මන් යුගය තුළ පෙර පැවති සාමූහික පවුල් සංස්ථාව දක්නට නොලැබේ. ඒ වෙනුවට ඇත්තේ බිඳී විසිරී ගිය පවුල් එකකය. ඇතැම් විට මෙම පවුල් සංස්ථාතුළ මව්පිය සෙනෙහස ‍දරුවන්ට අහිමිය. ස්ත්‍රී, පුරුෂයින් විදේශගත වී විවිධ වෘත්තීන්හි නිරතවීම, පියා ආරක්ෂක රැකියා වැනි පූර්ණකාලීන වෘත්තීන්වල නිරතවීම නිසා දරුවන් හැදී වැඩෙනුයේ දෙමාපිය ආදරය අහිමි පසුබිමකය. මෙය සමාජගතව සිදු වන සුවිශාල අර්බුදයකි. අහිමි මව්පිය සෙනෙහස වෙනත් තෙවන පාර්ශව වෙතින් පැතීමට දරුවන් යොමු වේ. එය ළමා අපචාර, දූෂණ, අපයෝජනවලට අත වැනීමයි.
අනුන්ට අත නොපා ජීවිතය සාර්ථකව ගතකිරීමට නම් ආර්ථික, අධ්‍යාපනික අංශවල වැඩ කටයුතු දියුණු කර කිසියම් සමාජ මට්ටමක් ගොඩ නඟාගත යුතුය. එහෙයින් ඒ කරුණු ඉටු කර ගැනීම පිණිස කාලය,ශ්‍රමය,ධනය කැප කිරීම නිසා විවාහය ප්‍රමාදවීම මෙහි අනෙක් පැතිකඩයි. රැකියා වෙළඳ පලේ පුහුණු ශ්‍රමයට ඇති ඉල්ලුම ඉහළයත්ම, සමාජයේ ලැබිය යුතු අධ්‍යාපන මට්ටම හා වෘත්තීය පසුබිමද ඊට සමානුපාතිකව ඉහළ යන්නට විය. විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය නිමාකර පිටවන උපාධිධාරියෙකුට පවා අද රැකියා වෙළඳපලේ කිසියම් තරඟකාරී බවකට මුහුණ දිය යුතු මට්ටමට අධ්‍යාපන අවශ්‍යතා උග්‍රව ඇත. ඉදිරියේ දී මේ තත්වය පශ්චාත් උපාධි මට්ටම දක්වා වුවද වැඩිවිය හැක. මේ නිසා පූර්ණ කාලීනව අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාව අනුක්‍රමයෙන් ඉහළට ගමන් කර තිබේ.
තරඟකාරී දිවි පෙවෙත නිසා නිරතුරු චිත්තවේගික ආවේගශිලී බවෙන් හා මානසික ආතතියෙන් කාලය ගත කරන්නට වර්තමාන මිනිසාට සිදු වී තිබේ. මේ නිසා වර්තමාන මිනිසා නිරන්තරයෙන් දිවි ගෙවන්නේ අසහනය සිත්හි දරා ගෙනය. තමාට නොමැති එහෙත් අනෙකාට උරුම ඇතැයි විශ්වාස කරන විවිධ සැප සම්පත් තමාද ලබනු රිසිව මානසිකව හා කායිකව වෙහෙසීමට මිනිසුන් පෙළඹේ. එය එක්තරා අයුරකින් පවතින සමාජ අර්ථක්‍රමය මඟින් මානවයා පෙළඹවීමක් සේ අර්ථදැක්විය හැක. මෙබඳු ‍අහිතකර පෙළඹවීම්වල පහසු ගොදුරක් වීමට බහුලව මිනිසුන්හට සිදු වේ. සිය මූලික අවශ්‍යතා තෘප්තිමත් කරගත් පමණින් නූතන මානවයා සෑහීමකට පත් නොවේ. ඔවුන්හට අවශ්‍යවනුයේ සමාජයේ වඩා හොඳීන් කැපීපෙනන පරිදි ජීවත්වීමටය. මේ නිසා සිය මූලික අවශ්‍යතා තෘප්තිමත් කරනවාට වඩා වැදගත්කමක් ඇතැම්විට මෙබඳු කැපී පෙනීමේ අවශ්‍යතා මුදුන්පත් කර ගැනීම පිණිස ලබා දෙන ආකාරය දක්නට ලැබේ.
මෙබඳු සාවද්‍ය ආකල්ප ආර්ථික හා සාමාජයීය සුරක්ෂිතතාව උදෙසා කිසිසේත් යහපත් නොවේ. නිරර්බුද පවුල් සංස්ථාවක් ගතකිරීමට මෙබඳු ආකල්ප බාධාවකි. පවතින ආර්ථික ක්‍රමයේ වහලෙකුවීමට වඩා වෙනත් කිසිදු යහපතක් මෙයින් මිනිසාහට අත්පත් නොවේ. තමා උපයන සෑම මුදලක්ම කැපීපෙනීමේ අවශ්‍යතා පිණිස වැයවීමමඟින් ලබන ප්‍රතිලාභ නිසා ද විවිධ ගැටළු උද්ගත වේ. විලාසිතාවලට ස්ත්‍රිය ලබාදෙන ප්‍රමුඛ ආකල්ප පවුල් සංස්ථාවේ අර්බුදවලට තුඩුදී තිබේ. ස්ත්‍රියගේ මාතෘ ආකල්ප ගිලිහීයෑම අනියම් සබඳතාවලට සෘජුවම බලපායි.මෙම ගති ලක්ෂණ විලාසිතාවක් ලෙසද ඇතැම් ස්ත්‍රීවාදී ආකල්ප සහිත කොටස් අතර ව්‍යාප්තව පවතී. සෑම දෙයක්ම කිරී‍ම පිණිස ස්ත්‍රියට ඇති සමාජයීය බලපත්‍රයක් ලෙස ද අසම්මත චර්යා සැලකීමට මෙබඳු අය පසුබට නොවේ.
අනෙක් අතට පවුල කේන්ද්‍ර කරගත් සාමාජික සුරක්ෂිතතාවය ද පවතින ක්‍රමය තුළ බිඳ වැටීමට හා ගරා විටීමට ලක්වීම නිසා නූතන මිනිසාහට සිදුවී ඇත්තේ චිත්තවේගික පක්ෂයෙන් අභ්‍යන්තර වශයෙන් මෙන්ම සාමාජික පක්ෂයෙන් බාහිරව වශයෙන්ද දැඩි ක්ලමථ සහගත තත්වයකින් යුක්තව දිවිගෙවීමටය.මෙම තත්වය නිසා මානුෂික වශයෙන් මිනිසාතුළ තිබියයුතු සංවේදී මානසික ස්වභාවය වෙනුවට වෛරයෙන් ක්‍රෝධයෙන් හා ආවේගශීලීව කටයුතු කිරීමට පෙළඹේ. තමා නිරන්තරයෙන් පෙළනුලබන දුක්ඛ දෝමනස්සයට වගකිවයුතු පුද්ගලයෙකු නොදකින හෙතම එහි වරද පවරන්නේ පුද්ගලයානුබද්ධවය. එය හුදෙක් පුද්ගලයෙකු නිසා ඇති වන්නක්නොව සමාජ ක්‍රමයෙහි පවතින දුර්වලතා නිසා බව වටහාගැනීමට තරම් මෙබඳු පුද්ගලයන් දියුණු චින්තන ශක්තියකින් සමන්විත නොවීමද මෙහිදී කැපී පෙනේ.මෙබඳු පුද්ගලයින් තමා පසුවන දුක්ඛිත තත්වයට පත්කළ මුළු මහත් සමාජය කෙරෙහිම ඇති කරගන්නේ බලවත් ද්වේෂ මූලික හැඟීමකි.
වර්තමාන සමාජයේ වෙසෙන බොහෝ ස්ත්‍රී, පුරුෂයින්ගේ විවාහය ප්‍රමාදවීම වෙනත් සමාජ අර්බුද රාශියකට අත වැනීමක් බවට පත්ව ඇත. ක්ෂණික, අසම්මත, විෂම,අයථා ලිංගික චර්යා බඳු අපචාරී දේ සමාජයේ ව්‍යාප්ත වීමට ද මෙබඳු මානව අවශ්‍යතා නිසිලෙස නිසි කලට වේලාවට සම්පුර්ණ නොවීම හේතුවන බව සමාජ විද්‍යාඥයින් විසින් පෙන්වාදී තිබේ.බොහෝ දෙනෙක් විවාහවියයුතු නිසි කලවයස පසුවී වුවද විවාහය සඳහා බලා‍පොරොත්තුවනුයේ තමාට වඩා ඉතා ළාබාල විවාහ සහකරු හෝ සහකාරියක්වීම ද මෙබඳු සංසිද්ධිවල එක්තරා සැඟවුණු පැතිකඩකි. එලෙස නොගැලපෙන විවාහ සිදුවීමේ සමාජ අනතුර නම් විවාහයෙන් පරිබාහිර ලිංගික සබඳතා පැවැත්වීම අද බොහෝ උග්‍රව පැවතීමයි. එය අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතිතරම් බහුලය.මේ නිසා ලිංගාශ්‍රිත රෝගසේ නම් වන සමාජ රෝගවල සීඝ්‍රව්‍යාප්තියට පවා මෙබඳු සංසිද්ධි හේතුවී තිබේ.

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.