ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 22, 2017

අශෝක ධර්මය කුමක්ද....?

අශෝක රජු පිළිබඳ විවිධ පුවත් පවතී. ඒ රජු කාලයකදී පැවිදි වී සිටි බවට පවා ඇතැම් විද්වතුන් තුළ මතයක් පවතී. නමුදු ඒ සඳහා පිළිගත හැකි සාධක කිසිවක් හමු වී නැත. අශෝක රජු මුලින් ප්‍රචණ්ඩ බව ගරුකර සලකා ක්‍රියා කිරීමත්, දෙවනුව ධර්මිෂ්ට බව ගරුකර සලකා ක්‍රියා කිරීමත් බොහෝ දෙනෙකුගේ උණුසුම් කතාබහට හේතු වී තිබේ. කෙසේ නමුදු අශෝක රජු රාජ්‍යත්වයට පැමිණීම පිණිස එකල භාරතයේ රට අභ්‍යන්තරයේ පැණ නැඟී තිබුණා වූ බොහෝ අභ්‍යන්තර කැරළි කෝලාහළ හා යුද්ධ සංසිඳුවීමට අවශ්‍ය වූයෙන් ඒ සඳහා මුළු ශක්තිය යෙදවීය. මේ නිසා බොහෝ මනුෂ්‍ය ඝාතන ද සිදු විය.
 මේ හේතුව නිසාම අශෝක රජු චණ්ඩාශෝක ලෙස ප්‍රකට විය. නමුත් ක්‍රමයෙන් බෞද්ධ භික්ෂුවක් වෙතින් සද්ධර්ම ශ්‍රවණය ලබා දහම් රසය විඳ ගත් පසු ඒ අනුව කටයුතු කිරීමට ඉටා තමන් එතෙක් කළ මනුෂ්‍ය ඝාතන ක්‍රියා සියල්ල අත්හැර, රටවල් ආක්‍රමණය කිරීමෙන් වැළකී, සියළු රටවල් වෙත තමන් රස විඳී දහමේ සිසිලස ලබා දීමට ක්‍රියා කළ බැවින් අශෝක රජු චණ්ඩාශෝක ලෙස හැඳින්වීම බැහැර වී ඒ වෙනුවට ධර්‍මාශෝක ලෙස හැඳින්විනි.

            අශෝක රජු තරම් ස්ථවිරවාදී බුදු දහමේ ව්‍යාප්තිය පිණිස කටයුතු කළ වූ රජකෙනෙක් නොමැති නිසා මේ රජු වටා ගොඩනැඟී ඇති විවිධ ජනප්‍රවාද සාහිත්‍යාගත තොරතුරු හා පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් රාශියකි. ( සරණංකර හිමි ගණේගම, බෞද්ධ මහාධිරාජ අශෝක හා සෙල් ලිපි, මංගල මුද්‍රණාලය, කොළඹ, 1963, පි. 26 ) අශෝක රජු පිළිබඳව මධ්‍යස්ථ විචාරකයන් දක්වන්නා වූ වැදගත් දෙයක් වනුයේ අශෝක බුදු දහම ජාත්‍යන්තරව ව්‍යාප්ත කර හැරීමට ජාත්‍යන්තර ධර්‍මදූත කණ්ඩායම් යෙදවූවා පමණක් නොව අශෝක ධර්‍මය ලෙසින් විචාරකයන් විසින් දැනට හඳුන්වා දී ත‍ිබෙන්නා වූ බුද්ධ ධර්‍මයේම න්‍යායයන් පදනම් කර ගෙන ගොඩනැඟුණු කිසිදු ආගමකට අයත් නොවූ එහෙත් සෑම ආගමකම කියවෙන යහපත් දේ එක්කර ගොඩනඟා ගත් තමන්ගේම චින්තනයක් ද අශෝක රජුහට තිබුණු බවයි.
            විශේෂයෙන්ම මෙම අ‍ශෝක ධර්‍මය දැක්වෙන්නේ ඉන්දියාව පුරා අශෝක රජු විසින්ම පිහිටුවා ලනු ලැබූ සෙල්ලිපි වලය. මේවා භාරතය පුරා තැනින් තැන ඉතා විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. අශෝක රජු විසින් මෙසේ පිහිටුවන ලද සෙල් ලිපි වලින් බොහෝමයක් දැනට සොයා ගෙන ඇති අතර තවත් ඒවා තවමත් සොයා ගනිමින් පවතියි. දැනට සොයා ගෙන ඇති අශෝක සෙල් ලිපිවල සඳහන් ධර්‍මය ඉන්දියාවේ සියළුම ආගම්වල සඳහන් මූලික ඉගැන්වීම යයි සමහරු කියති. එහෙත් ඒ සියල්ල තනිකර බුදු දහමේ න්‍යායයන් පාදක කර ගොඩ නැඟුණු ඒවා බව පහත දක්වෙන සෙල් ලිපි වලින් උපුටා ගැනුණු එමෙන්ම සිංහලට පරිවර්තිත පාඨ මඟින් සනාථ කළ හැකිය.

1.      සියලු සතුන්හට කරුණාව දැක්වීම.
2.      ශ්‍රමණ, බ්‍රාහ්මණ, ඥාති මිත්‍රාදීන්ට සංග්‍රහ කිරීම.
3.      ඇත්ත කීම.
4.      සිතේ පිරිසිදු බව.
5.      අවංක බව.
6.      මෘදු බව.
7.      කෙළෙහි ගුණ සැලකීම.
8.      ආත්ම දමනය.
9.      ස්ථිර බව ( සෘජු බව )
10.  සත්ව ජීවිතයට ගරු කිරීම.
11.  පවට බිය වීම.
12.  ධනෝපායනයේ දී හා වැයකිරීමේ දී මැදහත්බව.
13.  මව්පිය, ගුරුවර, වැඩිහිටියන්හට සැලකීම.
14.  ශ්‍රමණ, බ්‍රාහ්මණ, ඥාතී, මිත්‍ර, සේවක හා වහලුන් හට නිසි ලෙස සැලකීම.
15.  රෞද්‍රකම, කෲරකම, කෝපය, අහංකාරකම හා ඊර්ෂ්‍යාව යන දුර්ගුණයගෙන් වියුක්ත වීම.
16.  හොඳ වැඩ කිරීමට උනන්දු බව.
17.  රෝගී, මහළු හා දුගී අයට උපස්ථාන කිරීම.
18.  අන්‍යාගම් වලට ගරු කරන හා ඉවසන සුළු බව.
19.  නිරර්ථක පුද පූජා විධීන් අත් හැරීම.
20.  නිකායික දැඩිපක්ෂපාතීත්වය නැති බව.
21.  අනවශ්‍ය සමා‍ජෝත්සව නොපැවැත්වීම.
22.  මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා ජීවත් වීම.
23.  සැහැල්ලු ජීවිතයෙහි අනුසස්.
24.  අධික වියදම් කිරිමෙහි ආදීනව.
25.  ධර්‍ම දානය උසස් කොට සැලකීම.

අශෝක දෙවියන් ගැන සඳහන් කරයි. එහෙත් කිසිම දෙවියෙකුගේ නමක් නොකියයි. මැවුම්කාර දෙවි‍ කෙනෙකු ගැන ඔහු
නොදනියි. ඔහු සමාජයේ සදාචාරය උසස් කොට සලකයි. ඔහුගේ ආගම උසස් ගුණ ධර්‍මවලින් යුක්ත සමාජයක් බිහි කිරීමයි. අශෝක හිතන හැටියට ආගම යනු භක්තිමත් බව, ආගමික උනන්දුව, ආගමික පූජා විධි පැවැත්වීම, අභිධර්‍මය ප්‍රගුණ කිරීම හා භාවනා කිරීම පමණක්ම නොවේ. කිසියම් සමය සංකල්පයක ආභාෂය ලබා ඉන් ස්වකීය දිවිය ඔපවත් කර ගැනීම වරදක් නොවන මුත් එයට පමණට වඩා ගැතිව, ආගමෙහි මතුපිට ඔපයට පමණක් මුලාව අන්‍ය සමයවාදයන් හෙළා දැකීම වරදක් ලෙස අශෝක විසින් සිතන ලද බව පැහැදිලි වේ.
        
    අශෝකගේ ආගම ඒකාන්තයෙන්ම ක්‍රියාත්මක මානුෂික හැඟීමෙන් සමන්විත, කාරුණික ලක්ෂණ වලින් යුක්ත එකකි. තමන් හොද විය යුතුය. අනුන්ට හොඳ කළ යුතුය. යනු ඔහුගේ හැඟීමයි.එකිනෙකා එකිනෙකුට සේවය කොට එකිනෙකා එකිනෙකාට ඇති භයෙන් නිදහස් විය යුතුය යනු අශෝකයේ විශ්වාසයයි. අශෝක රජෙකු වශයෙන් රටවැසි සියල්ලන්ගේම පියාය, පියෙක් පුතෙකුගේ දියුණුව දැක ඉතා ප්‍රීති වෙයිද ? අසෝකය ද රටවැසියන්ගේ දියුණුව දැක එසේම ප්‍රීති විය.
            පියා පුතෙකුගේ දියුණුවට කටයුතු කිරීමට යුතුකමින් බැඳී සිටියි. එසේ කිරීම ණයෙන් නිදහස් වීමකි. එසේ නොකළහොත් ණය කරුවෙක් වෙයි. මේ අශෝකගේ හැඟීමයි. අශෝකගේ හැඟීම් අනුව ධර්‍මයෙහි උතුම් කොටස නම් සීල හෙවත් සදාචාරය මිස වැඳීම් පිදීම් පෙරහැර පැවැත්වීම් ආදිය නොවේ. ධර්‍මයෙන් දියුණුවීම හැටියට ඔහු සැලකුවේ සදාචාරයෙන්, සීලයෙන් දියුණුවිමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුසල් කිරීමෙහි අප්‍රමාදය ( අප්පමාදෝ අමතපදං ) සිහිය අශෝක පරාක්‍රම උත්ථාන යන වචනවලින් පැවසෙන පරිදි නිතර ස්වකීය ශිලා ලිපිවල ලියවා තැබ්බවීය. ඉතා සැලකිය යුතු කරුණක් නම් අසෝක ඔහුගේ ධර්‍ම යට ආගමික දර්ශන අංශය අඩංගු නොකිරීමයි. මෝක්ෂ, නිබ්බාන, භාවනා, සමාධි, යෝග, තපස්, අභින්ෂ්ක්‍රමණ යන පොදු භාරතීය ආගමික වචන ඔහුගේ ධර්‍මයෙහි අඩංගු නොවීය. දිව්‍ය ලෝකයට යන මාර්ගය හැටියට අසෝක සැලකුවේ අභින්ෂ්ක්‍රමණය ( ගිහිගෙය හැරයාම) නොව, ටිකක් වියදම් කිරිමත්ය. විශාල වශයෙන් ධන සැපයීමේත් විශාල වශයෙන් ධන වියදම් කිරීමේත්ආදීනව අසෝක මැනවින් දිටීය.
            ආත්මාර්ථකාමී බව, ආඩම්බරකම, කෑදරකම, අන්‍යයන් විශේෂයෙන් දුප්පතුන් නොතකා හැරීම වැනි දුර්ගුණ රාශියක් ධනපතීන් කෙරෙහි නිරායාසයෙන් ඇති වූ බැවිනි. අශෝක ඉතා භක්තිමත් බෞද්ධයෙකු වුවත්, නිර්වාණය ලබා ගන්නට හෝ බුද්ධාගම වැළඳගන්නට කියා හෝ කිසිවෙකුහටවත් නොකීය. ඔහු නිර්වාණය ත්‍රි ලක්ෂණය, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුත්පාදය,  සප්ත විශුද්ධිය වැනි වචන කිසිවක් භාවිතා කොට ද නැත. බුද්ධ ධර්‍මයෙහි අන්තර්ගත හරයෙන් අශෝක වැළඳ ගත්තේ දාර්ශනික, ආභිධම්මික, සමාජ හෝ මනෝ විද්‍යාත්මක පැතිකඩ නොවේ. සාමාන්‍ය පොදු මහ ජනතාවගේ සදාචාර වර්ධනයට හේතු වන දිවියෙහි දෛනික පැවැත්මට අවශ්‍ය වන උපදෙස් හා උපදේශනයි. අශෝක බුද්ධ ධර්‍මය මිනිස් ජීවිතයට හා පොදු මහ ජනතාවගේ දිවියට කා වද්දනු ලැබූයේ මේ කුමයෙනි. හෙතම බුද්ධාගම එකල භාරතයෙහි ව්‍යාප්තව පැවති අති මහත් ආගම් සමූහය අතර තවත් එක් ආගමක් ලෙස නොව ජීවන මාර්ගයක් සේ සැලකීය.අශෝක ධර්‍මයට දක්වන ලද සැලකිල්ල පහත සඳහන් වන කරුණු මඟින් සනාථ වේ.
1.      ධර්‍මදූතයන් ලෝකයේ නොයෙක් රටවලට යැවීම.
2.      ධර්‍ම පුචාරය සඳහා ධම්ම මහා මාත්‍ර නමින් නිලධාරී පිරිසක් යෙදවීම.
3.      ධර්මයෙහි හැසිරෙන ලෙස මිනිසුන්හට හා නිලධාරීන්හට අවවාද කිරීම.
4.      ධර්‍ම ලිපි ලියැවීම.
5.      ධර්‍ම ලිපි ලියූ ස්ථම්භ පිහිටුවීම.
6.      දික් විජය ධර්‍ම විජයට හැරවීම.
7.      දඩයමේ යෑම නවත්වා වන්දනාවේ යෑම.
8.      ධර්‍ම දානය සෑම දානයකටම වඩා උසස් ලෙස වර්ණනා කිරීම.
9.      භික්ෂූන් විසින් නිතර භාවිතා කළ යුතු බෞද්ධ සූත්‍ර පෙන්වාදීම.
10.  ධර්‍ම සංගායනාවන් පැවැත්වීම.
11.  ධර්‍මය අනුව ජීවත්වීම.
12.  ධර්‍මානූකූලව ජීවත් වන්නවුන් උසස් තනතුරුවලට පත් කිරීම.
අශෝක විහාර යාත්‍රා ( විනෝද ගමන් ) අත් හැර ධර්‍ම යාත්‍රාවෙහි යෙදුනේය. දික් විජය අත්හැර ධර්‍ම විජයෙහි යෙදුනේය.  මේ ධර්‍ම විජය නම් බුද්ධ ධර්‍ම ප්‍රචාරයයි. ඔහු ඉන්දියාව තුළ ද විදේශවල ද අබෞද්ධයන් බෞද්ධ කිරීමේ හා බුද්ධාගම ප්‍රචාරය කිරීමේ ව්‍යපාරය ආරම්භකොට අඛණ්ඩව පවත්වාගෙන ගියේය. යුදකොට රටවල් අත්පත් කරගැනීම සදහටම නතරකොට ධර්‍ම ප්‍රචාරයෙන් මිනිසුන්ගේ සිත් දිනා ගැනීම, සිතුම් පැතුම් ශිෂ්ඨ කිරීම ආරම්භ කළේය. මේ වනාහී අවි බලයෙන් මිනිසුන් නොමරා ලේ නොසොල්වා එහෙත් ඉතා සාමකාමීව ලෝකය දිනා ගැනීම පිළිබඳව අසෝක විසින් යොදන ලද ඉතා බුද්ධිමත් සූක්ෂම උපක්‍රමයකි. කෙතෙරම් බල සම්පන්න රජෙකු විසින් කිසියම් රටක් බලයෙන් අත්පත් කරගනු ලැබූවත්, එරට වැසියන් යටත් කරගනු ලැබූවත්, එරට වැසියන්ගේ සිත් තුළ ආක්‍රමණිකයා කෙරෙහි ඇති විරුද්ධවාදී ආකල්පය හුදෙක් අවි බලයෙන් පමණක්ම මර්ධනය කළ නොහැකිය. එරට වැසියන්ගේ සිත් දිනාගත නොහැකිය. ඒ තමන් පෙළනු ලබන ආක්‍රමණිකයා සෑම විටකම පිටස්තරයෙකි යැයි හඟිනු හැඟීම සමඟ චිත්තාභ්‍යන්තරගතව පහළ වන විරුද්ධවාදී ආකල්පයෙහි බලපෑම නිසාය.
තමන්ගේ ආධිපත්‍යය අන්‍ය විදේශවල ජනතාවට පිළිගැන්විය හැක්කේ බලහත්කාරයෙන් නොව මිත්‍රත්වය ඇසුරෙන් බව බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇසුරෙන් පසුකාලීනව මැනවින් වටහා ගත් අශෝක, එතෙක් තමන් විසින් වයන ලද යුද බෙරය නවත්වා, දහම් බෙරය වාදනය කරවීය. අශෝක ඒ සඳහා මහින්ද හිමියන් හා සංඝමිත්තා මෙහෙණිය නමින් ප්‍රසිද්ධියට පත් වූ ස්වකීය දරුවන් බුදු සසුනට පූජා කිරිමට පවා නොපැකිළව ඉදිරිපත් වීම ආදාළ අරමුණෙහි ලා ඔහුගේ ඇති කැපවීම මොනවට විදහාලයි. තමාගේ වියෝවෙන් පසුව රාජ්‍යත්වයෙහි නියම උරුමකරු කවරෙක්දැයි නිශ්චය කරගැනීම පිණිස ස්වකීය අග බිසොව ඇතුළු බිසොවරු කිහිප දෙනෙකුහට දාව ජන්මලාභය ලත්, රාජකීය පවුලේ සමාජිකයන් අතර මතු ඇරඹිය හැකිව තිබූ භාරතයෙහි සිහසුන හා කිරුළු පතා සිදු කරනු ලබන අරගලයක පෙර නිමිති වලින් සිය දේවී නම් බිසවට දාව උපන් දරු දෙදෙනගේ ජීවිත සුරක්ෂිත කරවීම තකා ඔවුන් ලක්දිව වාසය සඳහා යොමු කරවීම ද මහින්ද හිමි හා සංඝමිත්ත මෙහෙණිය යන දෙපළගේ ආගමනය පිටුපස ඇති අශෝකගේ තවත් අරමුණක් දේශපාලනික නැඹුරුවක් සහිත වූවක් බව හඳුනාගත හැකිය. අශෝකගේ අභිනව ධර්‍ම ප්‍රචාරක ව්‍යාපෘතිය යටතේ විදේශයන් වෙත සන්නිවේදනය කරවීම පිණිස යොදා ගනු ලැබුවේද දුටුවන් පහදවන අතිශයින්ම සිල්වත් ගුණවත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාවය. එකී ධර්‍ම ප්‍රචාරන යාන්ත්‍රණයෙහිලා යොදා ගන්නා ලද ධර්‍ම දූත කණ්ඩායම් මහාවංශය දක්වන්නේ පහත සඳහන් අයුරිනි.
1.       මජ්ඣන්තික මහා ස්ථවිර - කාෂ්මීර හා ගාන්ධාර
2.       මහා රක්ෂිත මහ ස්ථවිර - ග්‍රීක රාජ්‍යය ( සිරියාව, ඊජිප්තුව, සයිරිනී, මැසිඩෝනියා, එපිරස් )
3.       මජ්ඣිම මහා ස්ථවිර - හිමාලය රටවල්
4.       ග්‍රීක ජාතික ධම්මරක්ෂිත මහා ස්ථවිර - මහා රාෂ්ට්‍රය
5.       මහාදේව මහා ස්ථවිර - මහිස මණ්ඩලය ( මයිසූර් )
6.       රක්ෂිත මහා ස්ථවිර - වනවාසි ( උතුරු කැනරා )
7.       සෝණ හා උත්තර මහ ස්ථවිරවරුන් - ස්වර්ණභූමි ( ඈත පෙරදිග හෝ බුරුමය)
8.       මහින්ද මාහිමි ප්‍රමුඛ පිරිස - ලංකාව
             අශෝක ඔහුටම ආවේණික වූ ඔහුගේ චින්තනය භාරතය පුරා ව්‍යාප්ත කර හැරීමට උපයෝගී කරගනු ලැබූයේ ශිලා ලේඛන යයි. භාරතය පුරා විසිරුනු ශිලා ලේඛන මහත් රාශියක් මේ අනුව අශෝක හිමියන් විසින් පිහිටුවනු ලැබීය. ඒවායින් බොහෝමයක් මේ වන විට පුරා විද්‍යාඥයින් විසින් සෙ‍ායාගෙන ඇති අතර මෙහි මාතෘකාවෙන් කියැවෙන කරුණ වඩාත් සනාථ වන හෙයින් එම ශිලා ලේඛන අතරින් කීපයක් නිදසුන් සේ දැක්විය හැකිය. එසේම ඒවායෙහි අන්තර්ගතය අනුව විෂයානුබද්ධව පෙළ ගස්වන ලද එම ශිලා ලිපි තුළින් අශෝක චින්තනය වඩා විධිමත් ලෙස හෙළි පෙහළි කර ගත හැකිය.
1.      ඉධ නං කිංචි ජීවං ආරභිත්පා ප්‍රජු හිතව්‍යං ( මෙහි කිසි සතෙකු මරා යාග නොකළ යුතුයි )
2.      බහුකං හි දොසං සමාජම්භි පසති( සමාජොත්සවන්හි බොහෝ දොස් පෙනේ ) ( ගිරි ලිපි 1)
3.      දෙව විකීඡා කථා, මනුසච්කීඡා ච පසුචිකීඡා ච ( මිනිසුන් හා තිරිසනුන් සඳහා වෛද්‍ය මෙහෙයයෝ දෙකක් ඇත.)
4.      සාධු මාතරි ච පිතරි ච සුශ්‍රැසා(මව ද පියාට ද උපස්ථාන කිරීම යහපති ) ( ගිරි ලිපි 3)
5.      මිත්‍ර සංස්තුක ඤාතීනං බ්‍රාහ්මණ-මමණානං සාධු දානං
( මිත්‍ර,හිතවත්,නෑ,බමුණන්,ශ්‍රමණයන් හට දන්දීම යහපති)
6.      ප්‍රාණානං සාධු අනාරං භො ( සතුන් නොමැරීම යහපති) ( ගිරි ලිපි 3)
7.      අප ව්‍යයතා අප භඬනා සාධු ( අයවැය දෙකෙහි මධ්‍යම ප්‍රතිපදාව යහපති)
8.      සීලම්හි නිෂ්ටන්නො ධංමං අනුසාසිංසති(ධර්‍මානුසාසනා කරන්නා සීල්වතෙකු විය යුතුයි) ( ගිරි ලිපි 4)
9.      ධංම චරණෙපි න භවති අසීලස(සිල් හා හොඳ චරිතයක් නැත්තාහට ධර්‍මයෙහි හැසිරිය නොහැක)
10.  කයාණෙ දුකලෙ ( හොඳ වැඩ කිරීම දුෂ්කරය) ( ගිරි ලිපි 5)
11.  එ ආදි කාලෙ කයා නසා සෙ දුකලා කලෙති( මුල් වරට හොඳ වැඩක්කිරීම දුෂ්කරය) ( ගිරි ලිපි 5)
12.  පාපෙහි නාම සපදාලංසෙ( පව් කිරීම ඉතාම පහසු දෙයකි) ( ගිරි ලිපි 5)
13.  නාස්ති හි මෙ තොසො උස්ටානම්හි අථ සාති රණායවා(අප්‍රමාදී ක්‍රියාශිලී බවෙහි තෘප්තියක් මට නැත) ( ගිරි ලිපි 6)
14.  කතව්‍ය මතෙහි මෙ සර්‍වලොක හිතං(සියළු ලෝකයාගේ යහපත පිණිස වැඩ කිරීම මගේ යුතු කමකි) ( ගිරි ලිපි 6)
15.  ජනොතු උචාවච ඡංන්දො උචාවච රාගො(මිනිස්සු විවිධ විවිධ හැඟීම් හා ආශා සහිතයෝය) ( ගිරි ලිපි 7)
16.  නාස්තිහි කංතෛරං සර්වලොක හිතත් පා(ලෝකයාහට සේවය කිරිමට වඩා ලොකු වැඩක් මට නැත) ( ගිරි ලිපි 6)
17.  විපුලෙතු පි දානෙ යස නාස්ති සයමෙ භාච සුධීතා ච කතංඤුතා ච දෘඪ භකීච නීචා බාඪං( කෙනෙකුහට විශාල වශයෙන් දන් දෙන්නට හැකියාවක් නැතත්, ඔහු කෙරෙහි සංයමයත් පිරිසිදු සිතත්, කෘතගුණ සැලකීමත්, දෘඪ භක්තියත්, තිබිය යුතුයි. ) ( ගිරි ලිපි 7)
අයංතු මහාඵලෙ මංගලෙ ය ඔංම මංගලෙ(යම් ධර්‍ම මංගලයක් වේද එය මහත් ඵල ඇති මංගලයයි)  ( ගිරි ලිපි 9)
18.  නාස්ති  එතාරිසං දානං යරිසං ධමෙ දානං(ධර්‍ම දානයට සමාන දානයක් නැත) ( ගිරි ලිපි 11)
19.   පූජෙය්‍යාතු එව පරපා යංච තෙන තෙන ප්‍රකරණෙන( අන්‍යාගමික පූජකයෝද ඒ යෝග්‍ය ක්‍රමයෙන් පිදිය යුත්තෝමය) ( ගිරි ලිපි 12)
20.  සමවායො එව සාධු(සමඟිය යහපත් වේ) ( ගිරි ලිපි 12)
21.  සවෙ මුනිසෙ පජා මම( සියළු මිනිස්සු මගේ දරුවෝය)( කා.ගිරි ලිපිය)
22.  නීතියං එ කිලංතෙ සියා, සාතෙ උගජෙ”(The tired Administrator will not Advance ) ( පාලනයේ දී වෙහෙසට පැමිනෙන පාලකයා උසස් නොවෙයි ) (කා.ගිරි ලිපි 1)
23.  එ කෙචි භංතෙ භගවතං බුධෙන භාසිතෙ සර්‍වෙ යෙ සුභාසිතෙ වා(ස්වාමීනී, භාග්‍යමත් බුදුන් විසින් යමක් දෙසන ලදද, ඒ සියල්ල සුභාෂිතය ) ( බයිරාට් ලිපිය )
24.  කයානං මෙව දෙවෙනි ඉයං මෙ කයානෙ කමෙති නො මිත පාපං දෙවෙනි ඉයං මෙ පාප කමෙති ( මිනිස්සු හොද වැඩක් කළාම තුමූ හොඳ වැඩක් කළාහු යැයි දකිති; එහෙත් නරක වැඩක් කළාම තුමූ තුමූ නරක වැඩක් කළාහු යැයි නොදකිති )
25.  වියොහාල සමතාච සියා දංච සමතාච(සැම දෙනොටම නීතිය හා දඬුවම සමාන විය යුතුය ) ( ස්ථම්භ ලිපි 4 )
26.  ස ව පාසාංඩාපි චෙ පුජිතා විවිධ‍ාය පුජාය(සියළුම නිකායික පූජකයෝම මවිසින් නොයෙක් ආකාරයෙන් පුදන ලද්දෝය ) ( ස්ථම්භ ලිපි 6 )

මෙසේ සිය අශෝක ධර්‍මය ඉන්දියාව පුරා ව්‍යාප්ත කිරිම සඳහා තැනින් තැන ශිලා ලේඛන ලියා තැබ්බවීමෙන් පමණක් නො නැවතුණු අශෝක ස්වකීය පැවැත්ම මඟින් ද එය තම රටවැසියාට ප්‍රදර්ශනය කරන්නට කටයුතු කළේය. මේ සඳහා රාජ්‍ය පාලන ප්‍රතිපත්ති පවා බුදු දහමේ ඉගැන්වීම්වලට අනුගතවන පරිද්දෙන් ධාර්මිකත්වය ඔප් නැංවෙන පරිදි සකස් කර ගත්තේය. ධර්මිෂ්ඨ රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් සිය රාජ්‍ය පාල‍නයේ දී අනුගමනය කළ අශෝක සිය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරිම තුළින් රටේ මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය නොමඳව දිනා ගත්තේය. අශෝකගේ ධාර්මික ප්‍රතිපත්ති අතරින් පහත සඳහන් දේ විශේෂයෙන් කැපී පෙනෙයි.

1.සතුන් මැරිම තහනම් කිරීම.
2.මිනිසුන් හා සතුන් සඳහා ආරෝග්‍යශාලා පිහිටුවීම.
3.ඔවුන් සදහා ඖෂධ පැලෑටි රෝපණය කිරීම.
4.මඟීන්ගේ ප්‍රයෝජනයට මහා මාර්ගය අසල ලිං කරවීම.
5. මඟීන්ට සෙවණ සඳහා මාර්ග දෙපස ගස් සිටුවීම.
6.ආවරණ සහිත පිංතාළි පිහිටුවීම.
7.විශාම ශාලා පිහිටුවීම.
8.හිරකරුවන් අවුරුදු පතා නිදහස් කිරීම.
9.මරණීය දණ්ඩනයට නියමවූවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන් පැමිණ හැකිනම් නිදහස් කර ගැනීම සදහාත්, ඔවුන්ට දන්දීම් සිල් ගැනීම් ආදියෙන් පින් සිදු කර ගැනිම සඳහාත් තුන් දිනක් කල් දීම.
10.නීතියට අපක්ෂපාති වන ලෙස ඇමතියන්ට අණ කිරීම.
11.මහණ බමුණු ආජිවාකාදීන්ට සංග්‍රහ කිරිම.
12.මව්පිය, වැඩිහිටි, ගුරුවර,දුගීමගී, යාචකාදීන්ට සැලකීමෙහි අනුසස්  කීම.
13.වහලුන්ට පවා යෝග්‍ය පරිදි සැලකීම.
14.තමා පියා හැටියත් රටවැසියා දරුවන් ලෙසත් සැලකීම ( යං ච මුනි සො මම පජා )
14.අන්‍යාගමිකයන් ගැන අනුකම්පාව දැක්වීම.

අශෝක රජතුමා සිය ධර්‍ම ප්‍රචාරක වැඩ පිලිවෙළ ඉන්දියාව පුරා පමණක් නොව ඉන්දියාවෙන් ඉතා දුර බැහැර ඈත රටවල්වලට පවා ව්‍යාප්ත කර හැරියේය. මේ සඳහා අශෝක රජු ඒ ඒ රටවල් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැඟීම පිණිස සිය රාජ්‍ය බලය යොදා කටයුතු කළේය. දුර බැහැර රටවල රජවරුන් සමඟ තැනැපති සම්බන්ධතා පැවැත්වීය. විවිධ රටවල තානාපති කටයුතු පිණිස ඒ ඒ රටවල  රජවරුන් සංචාරය කරවීමට කටයුතු පිළියෙළ කළේය. මේ සියළු දේම අශෝක රජු කළේ සිය ධර්‍ම පුචාරක යාන්ත්‍රණය සඳහා විදේශ අනුග්‍රහය හා අනුමැතිය ලබා ගැනීම පහසු වනු පිණිසය. එසේම තමන්ගේ තානාපති කටයුතු පිළිබඳ අශෝක රජු විසින් ශිලා ලේඛනවල සටහන් තැබ්බවීය.
            අශෝකගේ පර්‍වත ලිපි අංක 13 හි බටහිර රජුන් පස් දෙනෙකුගේ නම් සඳහන් වෙයි. මෙම රජවරුන් පස් දෙනා අශෝක විසින් විදේශ  රටවල  ධර්‍ම පුචාරක කටයුතු වලදී සහය කරගන්නා ලද එමෙන්ම තානාපති කටයුතු සහ තානාපති සබදතා පැවැත්වීම සදහා සංචාරය කරවනු ලැබූ රජවරු වෙති. මොවුහු ග්‍රීක රජවරු වශයෙන් පුරා විද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇත. මෙම රජවරුන්ගෙන් කෙනෙක් නම් දෙවෙනි ඇන්ටියෝකස්ය. විශේෂයෙන් මොහු හා සම්බන්ධය ඇතිවීමට එක් හේතුවක් නම් අසෝකගේ  මිත්තණිය හෝ මෑණියන් සෙලූකස්ගේ දුව වීම යයි පුරා විද්‍යාඥයෝ විශ්වාස කරති. විදේශ  ධර්‍ම දූත සේවාව පිණිස තානාපතිවරු ලෙස ක්‍රියාකිරීමට අශෝක විසින් සංචාරය සඳහා යවන ලද ග්‍රීක රජවරු පස් දෙනා පිලිබඳ සෙල් ලිපිවල සඳහන් තොරතුරු මෙසේ දැක්විය හැකිය.
1.      දෙවෙනි ඇන්ටියෝකස් ( ශිලා ලේඛනවල සඳහන් වන්නේ අභියොගෙ නාම යොනලාජ ලෙසය) සිරියාවේ පළමුවන ඇන්ටියෝකස් සෝටර්ගේ පුත්‍රයාය. සෙලුකස් නිකටර්ගේ මුණුබුරායි. සෙලුකස් චන්ද්‍රගුපුතගේ රාජ සභාවට තානාපතියෙකු ලෙස මැගස්තීනස් එවීය. බින්දුසාර පළමුවෙනි ඇන්ටියෝකස් සමඟ මිත්‍රව විසීය. දෙවෙනි ඇන්ටියෝකස් ද අසෝකගේ රාජ සභාවට තානාපතීන් යවන්නට ඇත.
2.      ඊජිප්තුවේ දෙවෙනි ටොලමී පිලඩෙල්ප්ස් ( ශිලා ලේඛනවල සඳහන් වන්නේ තුලමයෙනාම ලෙසයි)රජුය. ක්‍රි.පු.285-247 අතර විසූවෙකි. මේ රජු ඩයිනීයස් නමැති තැනැපතිවරයෙකු නිර්ණාමික ඉන්දියන් ජරජෙකු වෙත යැවූ බවත්, ඒ රජු බින්දුසාර හෝ අශෝක විය හැකි බවත්ප්ලිනි කියයි.
3.      ඇන්ටිගෝනස් ගෝනටස් ( ශිලා ලේඛනවල සඳහන් වන්නේ අන්තෙකිනෙ නාම ලෙසය) නම් මැසිඩෝනියාවේ රජු (ක්‍රි.පූ.278-230) ය.
4.      සයිරේනියාවේ මගස් ( ශිලා ලේඛනවල සදහන් වන්නේ මකා නාම ලෙසය) නම් මැසිඩෝනියාවේ රජු (ක්‍රි.පූ.300-250) ය. දෙවැනි ටොලමිගේ අර්ධ භාතෘවරයෙකි.
5.      එපිරස්හි ඇලෙක්සැන්ඩර් ( ශිලා ලේඛනවල සඳහන් වන්නේ අලික්‍යුසු දලෙ නාම ලෙසය) රජු (ක්‍රි.පූ.272-255)ය.
ශිලා ලේඛන මඟින් ලැබෙන තොරතුරු අනුව අශෝක ධර්‍ම දූත තානාපති සබඳතා ඉතා විශාල රටවල් ප්‍රමාණයක් සමඟ පැවැත්වීය. මේ හැම විටකදීම විදේශ රටවල් අශෝක ධර්‍ම මහාරාජාධිවරයෙකුගේ තත්වයෙන් සලකා ගෞරවයෙන් යුතුව ක්‍රියා කර තිබේ. එසේම මෙම රටවලට තානාපති සබඳතා පිණිස එවන ලද තානාපතිවරු මහත් ගෞරවයෙන් පිළිගෙන බුද්ධ ධර්‍මය ව්‍යාප්තිය පිණිස අවශ්‍ය  සියළු පහසුකම් ඉහත සඳහන් තානාපතිවරුන්ට ලබා දීමට විවිධ රටවල  රාජ්‍ය පාලකයන් විසින් ක්‍රියා කර තිබේ. අශෝක තමන් ධර්‍ම දූත තානාපතිවරුන් යැවූ රටවල් පිළිබඳව සිය ශිලා ලේඛනවල සදහන් කර තිබේ. ඒ අතුරෙන් කිහිපයක් පහත දැක්වේ.

1.දෙවෙනි ඇන්ටියෝකස් විසූ සිරියාව
2.දෙවෙනි ටොලමි පිලඩොල්පස් විසූ ඊජිප්තුව
3.ඇන්ටිගෝනස් විසූ එපිරස් දේශය
4.සොලී රට
5.පාණ්ඩ්‍ය රට
6.තාමුපර්ණි රට( ලංකාව)
7.යවන රට(ග්‍රීකය)
8.කාම්බෝජය(උතුරු පන්ජාබය)
9.නාභක හා නාභක පංකේනි(දකුණු පන්ජාබය)
10.භෝජ රට(වර්තමාන බෙරාර්)
11.පිතිනික(වයඹ දිග ඩැකානය)
12.ආන්ධ්‍ර දේශය
13.ගන්ධාරය(කන්දහාර්)
14.කාලිංගය(ඔරිස්සාව)
15.කේරළ දේශය(ට්‍රැවන්කෝර්)
16.ඇලෙක්සැන්ඩර් විසූ එපිරස් දේශය
17.මගස් විසූ සයිරේනියාව
18.රාෂ්ට්‍රක(මහාරාෂ්ට්‍රය-මැරෑටි)
19.සතිය පුත්‍ර බටහිර ඩැකානයේ පිහිටි ප්‍රදේශයන්

මිහිඳු මාහිමියන් ලක්දිවට පැමිණියේ තවත් පස් නමක් සමඟය. ඉහත නම් සඳහන් අනික් මහතෙරවරුන් ද තනිවම නොව පිරිවරත් සමඟ ඒ ඒ රටවලට ධර්‍ම ප්‍රචාරක කටයුතු පිණිස යන්නට ඇති බව එයින් පෙනේ. කෙසේ හෝ ආසියා, අප්‍රිකා, යුරෝප යන මහද්වීප තුනට ධර්‍ම දූතයෝ යවනු ලැබූහ. ඉන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබූවේ ලංකාවට එවන ලද ධර්‍ම දූතයෝයි. අසෝක‍ෙග්් ධර්‍ම ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රතිඵල තවමත් නොනැසී පවතියි. එය තවමත් ලෝකයේ ප්‍රචාරය වෙමින් හා ව්‍යාප්ත වෙමින් පවතියි. අශෝකගේ ධර්‍ම ප්‍රචාරක කටයුතු ව්‍යාප්ත වී ගිය රටවල් පහත දැක්වෙන අයුරින් දැක්විය හැකිය. මෙම රටවල් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ අහෝක විසින් පිහිටුවනු ලැබූ ශිලා ලේඛනවල විස්තර මගිනි.

1.ඉන්දියාව
2.ලංකාව
3.බුරුමය
4.සියමය
5.කාම්බෝජය
6.චීනය
7.ටිබැට්
8.නේපාලය
9.බූතානය
10.මධ්‍යම ආසියාව
11. මොන්ගෝලියාව
12. දකුණු රුසියාව
13. සිකීම්
14. කොරියාව
15. ජපන්
16.වියට්නාම්
 17.ජාවා
18.බාලි දූපත්
19.ඇනාම්

අශෝක ධර්‍ම දූතයන් යැවූ හැම රටකටම වඩා ශ්‍රී ලංකාවට විශේෂ සැලකිල්ලක් දැක්වූ බව පෙනේ. ඔහුගේ පුත්‍රයාත්, දුහිතෘවන්, මුණුබුරාත් යන තිදෙනා වෙන රටකට නොයවා ශ්‍රී ලංකාවටම එවීම ලක්දිවට දැක්වූ විශේෂ සැලකිල්ල ගැන හොඳම ශාක්ෂියකි. එකල ලක්දිව විසූ තිස්ස රජුට තමාගේ දෙවානං ප්‍රිය යන උපාධිය පිරිනැමීමත් විශේෂ සිද්ධියකි. මොවුන් දෙදෙනාගේ පූර්‍ව සම්බන්ධකම් ගැන වංශ කථාවල සදහන් වෙයි. මෙයට අමතරව මොග්ගලී පුත්ත තිස්ස හිමියන් විසින් මූලිකත්වය ගෙන සිදු කළ තුවන ධර්‍ම සංගායනාවේ දී ඊට අවශ්‍ය සම්පූර්ණ රජ්‍ය අනුග්‍රහය සහ අවශ්‍ය සිවු පසය ඇතුළු සියළුමකරුණු කාරණා සම්පාදනය කරදීම ද  අශෝක රජු වෙතින් ඉටුවිය. ‍එමෙන්ම තෙවන ධර්‍ම සංගායනාව සිදු කරවන අවස්ථාවේ දී අන්‍ය තීර්ථකයන් වෙතින් සසුන පිරිසිදු කරවීමත්, සසුන තුළට ඇතුළු වී තිබූ මිථ්‍යා මතවාදයන් ඉවත් කිරීම පිණිස මොග්ගලී පුත්ත හිමියන් ලවා කථාවත්ථුපකරණය නම් සත්වන අභිධර්‍ම ග්‍රන්ථය රචනා කරවීමත් අශෝකගේ ධර්‍ම ප්‍රචාරක  යාන්ත්‍රණයේ වැදගත් සිදුවීම් අතර වේ.
                                                      
  රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.