සාමාන්‍යයෙන් රටක අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන්නේ අදාළ ඇමැතිවරුන්ගෙන් බලාපොරොත්තු වූ කාර්යභාරය ඉටු නොවුණහොත් පමණි. ඇතැම් විට එම කාර්යභාරය අකුරටම සිදු කළ ඇමැතිවරුන් සිටී නම් එම ඇමැතිවරුන්ට තවත් වගකීම් ලබාදීමේ අරමුණින් ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් සිදුÊකළ හැක. නමුත් සිදුවූයේ මේ එකකටවත් අදාළ නැති, මෙලෝ රහක් නැති සංශෝධනයකි. මේ ඇමැති සංශෝධනය අකුරට සිදුකළා නම් මුලින්ම සංශෝධනය විය යුත්තේ ආපදා කළමනාකරණ ඇමැති ධුරය ය. එම ඇමැති ධුරයේ කිසිදු ආපදාවක් සිදු නොවී මුදල් ඇමැතිවරයා විදේශ ඇමැතිවරයා කිරීමෙනුත්, විදේශ ඇමැතිවරයා මුදල් ඇමැතිවරයා කිරීමෙනුත්, ධීවර ඇමැතිවරයාට තවත් රාජ්‍ය ඇමැති ධුරයක් ප්රදානය කිරීමෙනුත්, සිදු වූ එකම වෙනස ජනතාව මත තවත් බරක් පැටවීම පමණි.
ධීවර ඇමැති මහින්ද අමරවීරට එම ඇමැති ධුරයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරය ද ප්රදානය කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේ දකුණේ ශක්තිමත් දේශපාලන නායකයකු බිහිකිරීමේ අරමුණින් එය සිදුÊකළ බවය. එය මුළුමනින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ශක්තිමත් කිරීමේ අරමුණින් සිදු කළ ප්‍රකාශයකි. පක්ෂයේ වර්තමාන සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට එවැනි කතාවක් කිරීමේ අයිතියක් ඇත. නමුත් අර්බුදය වන්නේ සමස්ත පොදු ජනතාවගේ බදුÊමුදලින් නඩත්තු වන කැබිනෙට්ටුව, පක්ෂයක දේශපාලන බලය ශක්තිමත් කිරීමට යොදා ගැනීමය. නිදහසින් පසු බලයට පත් ලංකාවේ සෑම ජනාධිපතිවරයෙකුම මේ ක්‍රියාව අඩු වැඩි වශයෙන් සිදු කළ අතර ඉන් නරකම ආදර්ශය දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමැති ධුරය දැරූ බැසිල් රාජපක්ෂට අයත්ව තිබූ අමාත්‍යාංශ ගණන 7කි. එවැනි බලවත් ආර්ථික ඇමැතිවරයකු යටතේවත් රට අවශ්‍ය තැනට ගෙනයැමට නොහැකි විය. එම උගත් පාඩම් මතින් බලයට පත් යහපාලන ආණ්ඩුව පරණ ආණ්ඩුව ගිය අඩි පාරේම ගමන් කරමින් සිටීම ආණ්ඩුවට කෙසේ වෙතත් රටට නම් ඉතා හානිදායකය.
ලංකාවේ ආර්ථික දත්තවලට අනුව 2015 වසරේදී රටේ අපනයන ආදායම 5.6% කින් පහළ ගොස් ඇත. 2016 වසරේදී එය තවත් 2.2% කින් පහළ ගියේය. 2015 ඩොලර්Êබිලියන 18.9 ක් වූ ආනයන වියදම 2016 වන විට ඩොලර් බිලියන 19.4 දක්වා වර්ධන වී තිබේ. ඒ අනුව 2015 දී ඩොලර් බිලියන 8.4 ක් වූ වෙළෙඳ හිඟය 2016 වන විට ඩොලර් බිලියන 9.1 දක්වා වර්ධනය වී ඇත. එය නුදුරේදීම ඩොලර්Êබිලියන 10 ඉක්මවා යා හැක. ආණ්ඩුව ඇමැති මණ්ඩලය උඩ දමමින් සෙල්ලම් දමන්නේ රටේ මෙවැනි උග්‍ර ආර්ථික අර්බුදයක් පවතිද්දීය.
ශ්‍රී ලංකාව යනු වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයක භූමි වපසරිය ඇති දූපතකි. මේ දූපත් රාජ්‍යයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ගණන 225 කි. මෙය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට කොහෙත්ම ඔරොත්තු නොදෙන බව කුඩා දරුවකුට වුව වැටහෙන කාරණාවකි. නමුත් මෙය අප විස¹ ගත යුත්තේ මැතිවරණ ක්රමයේ සංශෝධනයකිනි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් භාගයකට පමණ ඇමැති ධුර හිමිවිය යුතුය කියා රටේ ව්‍යවස්ථාවේ කිසිම තැනක සඳහන් වී නැත. එම නිසා තවදුරටත් මන්ත්‍රීවරුන් සතුටු කිරීමට, පක්ෂ දේශපාලන බලය ශක්තිමත් කිරීමට, සමස්ත පොදු ජනතාවගේ පරමාධිපත්‍ය බලය අපහරණය කිරීමට ඉඩ දිය යුතු නැත. යහපාලන සංකල්ප (Good Governence) හඳුන්වා දුන් ආණ්ඩුවක මෙවැනි ක්‍රියා සිදුවීම කිසිසේත්ම අනුමත කළ නොහැක.