ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 31, 2017

සිංහල සම්ප්‍රදායේ මංගල ගමන...!!!

සිංහල විවාහයේ පළමු ගමන...
අපේ පැරණි සිරිත් විරිත් ක්‍රමයෙන් වියැකී යයි. ඒ නිසාම අද මංගල උත්සවය ටික දිනකින් අවමංගල්‍යයක් වේ. නියමිත චාරිත්‍ර වාරිත්‍ර වලින් පිරිහුන විට තුන්රුවනේ ආශිර්වාදයක් කෙලෙස ලබන්නද? දෙවියන් කෙසේනම් ආශිර්වාද කරන්නද? අපේ පැරණි චාරිත්‍ර වාරත්‍ර පිලිබද අවබෝධයක් ලබාදීම වෙනුවෙන් මේ ලිපිය පල කෙරේ.
හෙළදිව විවාහ චාරිත්‍ර බොහෝ විට ගම්බද හඳුන්වනු ලබනුයේ "කසාදය" වශයෙනි. "
ගෘහ ප්‍රවේශය ආරම්භ කිරීමට පෙර මනාලියගේ පියා විසින් මනාලියට අවවාද හා උපදෙස්‌ ලබාදීමේ පුරාතන චාරිත්‍රය අද සිංහල විවාහයේද "මංගල සභාව" දක්‌වා විකාශනය වී ඇති බව පෙනේ. ධනංජය සිටුවරයා විශාඛාවට හා අනේපිඬු සිටුවරයා චුල්ල සුභද්‍රවටද මෙණ්‌ඩක සිටුවරයා දියණියටද අවවාද ලබාදුන් අවස්‌ථාවේ හින්දු සමාජයේ මෙන්ම මෙරට ජනයා අතරද චිර ප්‍රකට මෙකී උපදේශයෝ මෙසේය.

01. ඇතුළත ගින්න පිටත නොදිය යුතුය.
02. පිටත ගින්න ඇතුළට නොගත යුතුය.
03. දෙන්නන්ටම දිය යුතුය.
04. නොදෙන්නාට නොදිය යුතුය.
05. දෙන්නාටද නොදෙන්නාටද දිය යුතුය.
06. සුවසේ හිඳිය යුතුය.
07. සුවසේ අනුභව කළ යුතුය.
08. සුවසේ නිදාගත යුතුය.
09. ගින්න පිදිය යුතුය.
10. ගෘහ දේවතාවුන් වැන්ද යුතුය.
මෙම අවවාද දහය සේම බුදුන් වහන්සේ විසින් ගෘහ ප්‍රවේශ වන්නන් අරභයා දුන් අවවාද පහක්‌ පිළිබඳවද සඳහන් වේ. ඒවාද එදා හින්දු සමාජය තුළ සේම පසුව ආගමත් සමග ලෝකය පුරා ප්‍රචලිත වූ බව පෙනේ.
01. උදෑසන හැමට පළමුව පිබිදිය යුතුය.
02. රාත්‍රියේ හැමට පසුව නින්දට යා යුතුය.
03. ස්‌වාමියා අනුදැන සියල්ල කළ යුතුය.
 04. සැමියා සිත් ගන්නා දේ පමණක්‌ කළ යුතුය.
05. ප්‍රිය වචන කතා කළ යුතුය.
හෙළදිව පුරාණ සිරිත වූයේ විවාහය නියම කරගත් පසු මනාලයාගේ මංගල රැවුළ කැපීමයි. එය විවාහයට පෙරාතුව නැකැත් බලලා සිදුකරනු ලැබූවකි. රැවුළ කැපීමේදී එය මාමා කෙනකු විසින් සිදු කළ යුතු බවත් බොහෝවිට මාමා කෙනකු විසින් දැලි පිහියකින් පළමු රැවුල්ගස්‌ කිහිපය කපා යහපත් ගුණධර්මයන්ගෙන් හෙබි කරණවෑමියෙකු ලවා කප්පවා ගැනීම සිරිතක්‌ විය. ඒ සඳහා ඔහුට ගාස්‌තුව වශයෙන් පට ලේන්සුවක්‌, කෝප්පයක්‌ හා මුදලක්‌ දෙනු ලැබීය. අතීත ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස්‌ විය. බොහෝවිට දුර බැහැරින් සම කුලගෝත්‍ර අනුව සිදුවූ විවාහයකදී පල්ලැක්‌කියකින්. දෝලාවකින් හෝ කරත්තයකින් ගියේ වීනම් පළමු ගමන යනුයේ එදින රාත්‍රිය මනාලියගේ නිවසේ නතරවීම සඳහා වේ. සිංහලයන්ගේ සිරිත වූයේ පළමු දිනයේ උදය නැකතින් මනාලයා ඇතුළු පිරිස මනාලයාගේ නිවසේදී කිරිබත්, කැවුම්, කෙසෙල්, කොකිස්‌, අතිරස, ආස්‌මී ආදී කැවිලි පෙවිලි සංග්‍රහ බුක්‌තිවිඳ මනාලියගේ නිවසට යැම සඳහා පිටත්වීමයි. මෙම ගමනට මනාලයාගේ මව සහභාගී නොවීම විශේෂයකි. මෙම ගමන සඳහා හේවායකු, හේවා ස්‌ත්‍රියක්‌, රජකයකු, මනාලියට අන්දවන ඇඳුම්, සුවඳ විලවුන් ආදී මල්ල ගෙන යැමට ළමයකු සහ කපු උන්නැහේද, ප්‍රධාන පිරිස සහභාගීවනු ඇත. ඒ හැර ගෙනයන අඩුම කුඩුම බොහෝය. ඒ අතරට මාමාට සරමක්‌, පට ලේන්සුවක්‌, නැන්දම්මාට කම්බායක්‌, බුලත් 500 හෝ 1000 ක්‌ පමණද ගෙනයනු ලබයි.
මීට අමතරව සමහර පළාතක "මහ බුලත් ඔඩොක්‌කුව, රඹුක්‌කාලම සෙම්බුව, හැරමිටිය, අත් පන්දම, මනාලියගේ හිසට අල්ලනු ලබන "හස්‌තිය" තල් අත්ත, මාන්න පස, රෙදියාර දහයක්‌ (ආච්චිට) ආදියද උඩරට පළාතේ නම් තුවක්‌කුවක්‌ද ගෙනයනු ලබයි. තුවක්‌කුව ගෙනයනු ලබන්නේ මනාලියගේ නිවස ආසන්නයට ගොස්‌ පිරිස පැමිණි බව දැන්වීම සඳහා වෙඩිල්ලක්‌ පත්තුකිරීම සඳහා වේ. මේ සිරිත අද ගමට දැන්වීම උදෙසා රතිඤ්ඤා කැරැල්ලක්‌ දල්වනු ලබයි. මෙම ගමනට මනාලයාගේ පෙළපතේ නෑයන්ට අමතරව දුර හා පවුලේ වත් පොහොසත්කම් අනුව යුවලට ගමන් කිරීම සඳහා දෝලා, පල්ලැක්‌කි, තිරික්‌කල, කරත්ත දෝලා යොදා ගනී. නැට්‌ටුවන් ආවතේව කරුවන්, රජකයා, විරිඳු රබන් කරුවන්, සින්දුකාරයින් හා දක්‍ෂ කවි ගායකයෙකුද සිටීම අවශ්‍ය වේ. ගමන අතරමඟ හමුවන හැම දෙනකුටම බුලත් දීමේ සිරිතක්‌ද පවතී.
 පළමු ගමනේදී ගෙනයන ද්‍රව්‍ය අඩුම කුඩුම හඳුන්වා ඇත්තේ "යෙලදා කද" වශයෙනි. එහිදී යමක්‌ කමක්‌ ඇති අය බරට "කත් පෙට්‌ටි" කීපයක්‌ ගෙන යනු ලැබේ. ඒ සඳහා වහුම්පුර මිනිසුන් එදා සමාජයේ වූහ. ඉඟුරු, මිරිස්‌, ගම්මිරිස්‌, අබ, කලුදුරු, සූදුරු, කොත්තමල්ලි ආදියද බුලත්, පුවක්‌ සීයක්‌, කැවුම් හැලියක්‌, හාල් සේරු හැටක්‌, ලෙලිගැසූ පොල් ගෙඩි හැටක්‌, කරවල යනාදියද මෙ කදට අඩංගු වේ. මින් අදහස්‌වන්නේ පිරිස එදින රාත්‍රිය මනාලියගේ නිවසේ නතරවන බැවින් ඊට අවශ්‍ය කෑම වියදම සැපයීමයි. මනාලිය ඇවැස්‌ස නෑකමකින් යුතු නම් මෙම කද ගෙන යනු නොලැබේ. ගමනේදී පිරිසේ ප්‍රධානියා හෝ කපු උන්නැහේ පෙරමුණ ගමන් කරයි. මනාලියගේ ගෙදර සීමාවට පැමිණ තුවක්‌කු සංඥව කර ඉන්පසු ආ පිරිසේ ප්‍රමාණයට බුලත් ගණන් කර දී, මාමා කෙනකු හෝ මස්‌සිනා කෙනෙකු පිටත්කර හරී, ඒ සමග කෑම වියදම සඳහා මුදලක්‌ද යෑවීම සමහර පළාතක දක්‌නට ඇත.
තවත් චාරිත්‍රයක්‌ වන්නේ "කඩුළු බුලත්" දීමයි. එය සිදු වන්නේ මනාලිය මනාලයාගේ ඇවැස්‌ස නෑනා කෙනකු නොවේනම් පමණි. එවිට මනාලියගේ පාර්ශ්වයෙන් මනාලියගේ මස්‌සිනා කෙනෙකු නිවසේ කඩුල්ල ළඟට පැමිණ මනාල පාර්ශ්වයෙන් දෙන "කඩුළු බුලත්" පිළිගත යුතුය. එසේ පිළිගන්නා තුරු කඩුල්ල පැන යැමට අවසර නොලැබේ. බුලත් අත සඳහා කොළ 40 ක්‌ අවශ්‍ය වේ. කොළ 40 ක්‌ ගනු ලබන්නේ වචනය නිදොස්‌, නිබොරු බව සපථ කිරීම සඳහා වන අතර එය බුද්ධ භාෂිතයක්‌ සේ සලකනු ලබන බැවිනි. එනම් බුදුන්ගේ ශ්‍රී මුඛයෙහි දන්තධාතූන් 40 නමක්‌ ඇතැයිද එම ප්‍රමාණයට බුලත් ගැනීමෙන් පොරොන්දුවේ ස්‌ථිරභාවය ඇඟවීමටත්, ගෞරවය උදෙසාත් බුලත් අත යොදාගනු ලබයි. මෙසේ බුලත් පිළිගතහොත් කඩුල්ල පැනීමට අවසරය ලැබේ. මේ සිරිත යෙදී ඇත්තේ නෑනා අයිති මස්‌සිනාටය යන තහවුරු අදහසක්‌ එදා සමාජයේ පැවැති බවිනි. මස්‌සිනාට බලෙන් වුවද නෑනා රැගෙනයැමේ අයිතියක්‌ විය.
පළමු ගමනේ විචිත්‍රමය අවස්‌ථාව වන්නේ තහන්චි කයි කීමයි. කඩුල්ලේ සිට පෝරුවෙන් බහින තුරු කඩුල්ල, පාවාඩය, මඩුව, කෙණ්‌ඩිය, බුලත්, පෝරුව ආදී සියල්ල තහන්චි කරමින් මනාලියගේ පාර්ශ්වයෙන් කවියකු විසින් තහන්චි කවි කියනු ලබයි. මනාලයා ඇතුළු පිරිසට තම පක්‍ෂයේ කවියකු කවියකින් තහන්චි කැපීමෙන් පසු තහන්චිය ඉවත්වෙයි. මෙවැනි තහන්චි කවි අදත් සමහර පළාත්වල කියනු ලබයි. තහන්චි හැරීමෙන් පසු උඩුවියන් යටින් පාවාඩ පිටින් පිරිස මණ්‌ඩපයට පිවිසේ. ගෙට පිවිසෙන තැනදී මනාලයාගේ පා සේදීම කරනුයේ මනාලියගේ බාල සහෝදරයෙකි. එහිදී මනාලයා විසින් දිය බඳුනට මුද්දක්‌ දමන අතර එය පා සෝදවන්නාටද පාවාඩය මතට මනාලයාගේ පාර්ශ්වයෙන් මුදලක්‌ දැමිය යුතු අතර එය රජකයාටද හිමිවේ. මුදල් දමනතුරු ඔහු පාවාඩය නො අකුලා සිටිනු ඇත. මෙය "පාවාඩමස්‌ස" නම් වේ. ගෙට පිවිසීමෙන් පසු ගෙනයන "කත් පෙට්‌ටි" තෑගිකොට සුදුසු හා නියමිත අසුන්වල හිඳගනු ලබයි. අතීතයේදී නම් විවාහ නැකැත් ඇත්තේ පසුදා උදය වරුවේ බැවින් ඉතිරිකාලය විවිධ කතාබස්‌ මතින් ගෙවා දමනු ලැබේ.
වත්මනදී පෙරදා ගමනක්‌ නොමැති අතර ප්‍රථම ගමනේදී විවාහ චාරිත්‍ර සිදුකරනු ලැබේ. එබැවින් එදිනට අදාළව නැකැත් පිළිවෙළට පෝරුවේ චාරිත්‍ර සිදුකරනු ලබයි. පෝරුව සඳහා අද සමහර පළාත්වල තහංචි කවි කියනු ලබන අතර එදා බිරියන් පැහැරගෙන ගොස්‌ සඟවා දින කිහිපයක්‌ තබාගෙන සිටීමේ සිරිතක්‌ පැවැති බවත්, ඊට සහාය වූ පුද්ගලයා අද දෙවන මනාලයා බවත්, සඟවා සිටි කාලය ගෙයින් පිට මධුසමය ගතකරන කාලය ලෙස සැලකෙන බවත් කියනු ලැබේ.
තවත් තැනකදී එය සදහන් වන්නේ. අභියෝගයක් ආ විට එම ගෝත්‍රික තරුණයා කරනුයේ දකුණතින් හෙල්ල ගෙන වමතින් තම බිරිඳ ආරක්ෂා කරමින් සටන් කිරීමයි. ඒ අයුරින්ම අදත් මනාලයා දකුණුපස ද මනාලිය වම්පස ද සිටියි. ගෝත්‍රික විවාහ වලදී මනාලිය ගැන සිත් ඇති වෙනත් තරුණයෙකු මෙහිදී මනාලයා සමගින් සටන් කර මනාලිය පැහැර ගන්නා අවස්ථා ඇතිවිය.මෙයට උපක්‍රමයක් ලෙස ගෝත්‍රික යුවළ සමඟ මනාලයා හා සම වයසේ වූත් එම සවිශක්තියෙන් යුත් තරුණයෙකු රැගෙන ගියහ.
මනාලිය පැහැර ගැනීමට කිසිවකු අවොත් සටන් කරන්නේ මනාලයා නොව ඒ අමතර තරුණයායි. අද දවසේ දෙවෙනි මනමාලයා ලෙස හඳුන්වා ඇත්තේ එදා සිටි ඒ ගෝත්‍රික තරුණයායි. සුන්දර තරුණියන්ට භූත බැල්ම ඇති වන බවට එදා විශ්වාසයක් විය. එබැවින් මනාලියගේ වයසේ සම හැඩරුව ඇති තවත් තරුණියක් මනාලියක් ලෙස සුන්දර සැරසිලි කර මංගල උත්සවයට ඉදිරිපත් කරයි. එවිට භූතයින්ට මනාලිය හඳුනා ගැනීමට නොහැකිව දෙදෙනා දෙසම බලපෑම් නොකර බැලීම පමණක් කරයි. භූතයන් රැවටීමේ එදා උපක්‍රමය අද දවසේ දෙවෙනි මනාලියන් සැරසීම දක්වා විකාශනය වී ඇත
මේ චාරිත්‍රවලින් පසු අද දවසේ මංගල සභාව පවත්වා උපදෙස්‌ දෙනු ලැබේ. පළමු දිනයේ කටයුතු අවසන් වනුයේ දෙමාපිය වැඩිහිටි අනුශාසනාවලින් පසු ඔවුන් වැඳ අවසරගෙන මනාලයා ඇතුළු නව ඥතීන් සමග නව දිවියට පා තබමින් නිවසින් පිටව යැමයි. දෙවන ගමන සිදුවන්නේ ඊට පසුවදාය.
අතීතයේ විවාහ මංගල්‍යයක්‌ සිදුවූ ආකාරය පිළිබඳ සලකා බලන විට වර්තමාන මංගල උත්සව (වෙඩින්) වල පැහැදිලි වෙනසක්‌ තිබෙන බව දක්‌නට හැකිය. විවාහ උත්සවයක අවස්‌ථා 6 ක්‌ තිබුණි. එනම්,
1. පළමු ගමන,
2. නම් ප්‍රසිද්ධිය,
3. මඟුල් දිනය (පෝරුවට නැංවීම මංගල උත්සවය විවාහය ලියාපදිංචි කිරීම),
4. මනමාලිය කැන්දාගෙන යැම,
5. හිස දියට යැම,
6. නෑදෑ මිත්‍රයන් බලන්නට යැම (ලංකා ජනතාව - නන්දදේව විඡේසේකර)
 කුමර කුමරි බඹසර හොඳින් රැකගෙන පැමිණි යුවළකගේ මංගල අවස්‌ථාවෙහි මෙම පෝරුවේ චාරිත්‍ර පැවැත්වීම පුරාතන සම්ප්‍රදායයි.
පෝරුව සෑදීමේදී මනාලයාගේ දකුණු පැත්තෙන් සහ මනාලියගේ වම් අත පැත්තෙන් පිහිටුවන බව කලින් කියවුනි. වටප්‍රමාණය රියන් හතරක්‌ද, උස ප්‍රමාණයෙන් රියන් එකක්‌ද වන සේ තැනිය යුතුය. හංස, ගිරා වැනි සත්ත්ව අනුරූ අනුව නිර්මාණය කරන පෝරුව, මල්කම්, ලියකම්, පුන් කළස්‌, පොල්තෙල් පහන් ආදියෙන් සරසනු ලැබේ. එක්‌ යුවළක්‌ සඳහා නිර්මාණය කළ පෝරුව වෙනත් යුවළක්‌ සඳහා ප්‍රයෝජනයට ගැනීම නොසුදුසුය. එහෙත් මෙකල මංගල පෝරු කුලියට දීම ව්‍යාපාරයක්‌ වශයෙන් කරන බව පෙනෙයි. එවැනි දෙය ප්‍රයෝජනයට ගැනීම මගින් බලාපොරොත්තු වන ආශිර්වාදය නොලැබී යන බව පැවසිය හැක.
පෝරුවේ චාරිත්‍ර ද හැම දෙනාටම කළ නොහැක. එයට දැනුම් තේරුම් ඇති අයකු සිටිය යුතුය. ඔහු දින හතක්‌ ඒ වෙනුවෙන් පේවී සිටීමද වැදගත් වෙයි. එසේම යුවතිපති දෙදෙනාම පිරිසිදු සීලයෙහි පිහිටා සිටීම අනිවාර්ය වෙයි. මත්පැනින් වැළකිය යුතුය. කිළි කුණුවලට හසු නොවිය යුතුය. මස්‌ මාංශවලින් වැළකිය යුතුය. පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියාද සිලවත්, ගුණවත් බහුශෘත සම්භාවනීය අයකු විය යුතුය. එහෙත් වර්තමානයේ බොහෝ විට එවැනි කටයුතුවලට ඉදිරිපත් වන්නේ මත්පැන්වලින් හොඳ හැටි පදම් වූ වාචාල පුද්ගලයන් බව අසන්නට ලැබෙයි. විශේෂයෙන් ඔහු තව කෙනෙකුට ආශිර්වාද කළ හැකි තරම් ගුණගරුක වාග් ශක්‌තිය ප්‍රගුණ කළ අයකු වීම අතිශය වැදගත්ය. එසේ වාග් ශක්‌තියක්‌ නොමැති නම් ගාථා, කවි, ස්‌තෝත්‍ර ගැයීමේදී වැරැදි ලෙස උච්චාරණය කිරීමෙන් සුබ පල වෙනුවට අසුබ පල උදාවිය හැකිය.
මෙම චාරිත්‍ර ඉටු කරන පුද්ගලයා දිනහතක්‌ ඒ වෙනුවෙන් පේවිය යුතු බව සඳහන් වේ. මංගල දින උදෑසන හිස්‌ සෝදා නා පිරිසිදු වී තෙරුවන් නැමද දෙවියන්ට පිං අනුමෝදන් කිරීම නිසා තම මානසික ශක්‌තියද තහවුරු කරගත හැකිය. එවිට තමන්ට ද ආරක්‌ෂාව සැලසෙයි. ශ්වේත වර්ණ වස්‌ත්‍රයෙන් සැරසී පාවහන් ඉවත් කර සුරාවෙන් දුම්වැටියෙන් මිදී මෙම චාරිත්‍ර ඉටුකළ යුතුය.
පෝරුවේ චාරිත්‍රවලදී අනුගමනය කරන කටයුතු අතර විශේෂ අවස්‌ථා කිහිපයක්‌ දැක්‌විය හැකිය. එනම්
1. පහන් දැල්වීම,
2. මඟුල් බෙර වැයීම,
3. රත්නත්‍ර නමස්‌කාරය සහ දේවතාරාධනය,
4. පිරිත් සඡ්ජායනා මැදදේ යුවල පෝරුවට නැංවීම,
5. පෝරුවේ කියමන් (ගායනා),
6. බුලත් හුරුලු පිළිගැන්වීම,
7. තැළි පිළිඇන්ද,
8. දෑඟිලි බැඳ අත පැන් වත් කිරීම,
 9. ජයමංගල ගාථා ගායනය,
10. දේව ස්‌ත්‍රොaත්‍ර සහ අෂ්ඨක ගායනා කිරීම,
11. කිරිකඩ හේලය දීම,
12. ඥතීන්ට බුලත් හුරුලු දීම,
13. සෙත් පිරිත් කියා පෝරුවෙන් බැස්‌සවීම (පෝරුවේ චාරිත්‍ර ජගත්සීල කුලතිලක)
යන මේවා ප්‍රධාන වෙයි.
හඟල හුරුලු දීම මීළඟ චාරිත්‍රයයි. මෙහිදී බුලත් මත පඬුරු (කාසි) තබා මනාලයා විසින් මනාලියට දෙන අතර ඈ විසින් එය පෝරුව මතට හෙළනු ලැබේ. නැවත මනාලිය විසින් මනාලයාට පඬුරු සහිත බුලත් හුරුල්ලක්‌ දෙයි.
මේ ආකාරයට පඬුරු හතක්‌ මාරු කිරීම සිදු කෙරේ. මෙය බෞද්ධ ආර්ථික ප්‍රතිපදාව විදහා දක්‌වන චාරිත්‍රයකි. සැමියා උපයන දේ නොසඟවා බිරිඳට බාරදෙයි. බිරිඳ ඒවා ආරක්‌ෂා කර සැමියාට දිය යුතුය. කුමකටද? යුතුකම් ඉටු කිරීමටය. සිඟාලෝවාද සූත්‍රයේ එන පරිදි ගිහියකු විසින් පාර්ශ්වයන් හයක්‌ සඳහා යුතුකම් කළ යුතු වේ. මව්පියන් (පෙරදිග), ගුරුවරුන් (දකුණ), දරු පරපුර (පිටුපස), ශ්‍රමණ හෙවත් ආගම (උඩ), යහළුවන් (උතුර) හා සේවකයන් (යට) වශයෙනි. මනාලිය පඬුරු ආපසු දෙන්නේ මේ කොටස්‌ හයට හෙවත් සදිසාවට නමස්‌කාර කිරීම් වශයෙනි. උවමනා විටෙක දන්දීම පතා 7 වැනි බුලත් හුරුල්ල ආපසු දෙන්නේ නැත.
පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියා ඉහත සඳහන් සියලු චාරිත්‍ර ඉටු කිරීම පිළිබඳ මනා අවබෝධයක්‌ තිබෙන අයකු විය යුතුයි. දොහොත් මුදුනෙහි තබා පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියා එම කටයුතු අරම්භ කරන විට මංගල නිවසෙහි සියලු දෙනාම නිශ්ශබ්ද විය යුතුය. මත්පැන් පානය කළ අය සහ කිළි ගෙවල සිට පැමිණි අය පෝරුව අසළට නොපැමිණීමට වගබලා ගත යුතුය.
පෝරුව හා එහි චාරිත්‍ර ඉටු කිරීමේ මූලික අරමුණු
* පුරාණ චාරිත්‍ර අනුව පෝරුමස්ථාරූඩ කරන්නේ කන්‍යාවියන් පමනි.ඒ අනුව නාලියගේ පාරිශුද්දතාව හිත ශාතීන් ප්‍රමුඛ ලොවට පෙන්වීම පෝරුවේ මූලික අරමුණකි.
* නව යුවලට ත්‍රිවිධ රත්නයේ හා දේවාශිර්වාදය ආරක්‍ෂාව පැතීම
* තමා හැදූ වැඩූ හා තමාගේ සහකාරිය සහකරු හැදූ වුඩූ දෙමාපියන්ට කෘතගුණ සැලකීම
* පාරම්පරික සංස්කෘතික අංග ඉදිරි පරම්පරාව වෙත ගෙන යාම.
අතීතයේ සිට අද දක්වා භාවිතා වන පෝරු වර්ග 3ක් ගැන සදහන්ය.
*මහා සමමත ආදී රජුන් සදහා වූ මගුල් පෝරුව
 *සිද්ධාර්ථ කුමරු යසෝදරා දේවිය සදහා යොදා ගත් මගුල් පෝරු ආකෘතිය
* සාමාන්‍ය ජනයා සදහා වූ මඟුල් පෝරුව පෝරුව සෑදීම
වර්තමානයේ හෝටල්වල මංගල උත්සව ගැනීම් වලදී මංගල පෝරුව සදහා හෝටලය විසින් නොමිලේ හෝ සහනදායි මිලට සපයන පෝරු භාවිතා කිරීම් වැඩි වශයෙන් සිදු වුවත් නියම ශාස්ත්‍රාණුකූලව බලන විට එය නුසුදුසුය.වෙනත් යුවලක් නැංවූ පෝරුවක තවත් මනාල යුවලක් නැංවීම සුදුසු නැත.හෝටල්වල හා වෙනත් වෙළඳසැල් වල කුලියට දීමට හා විකිණීමට ඇති පෝරු වැඩි දෙනෙකු පරිහරණය කල ඒවාය.නියමාකාරයට නම් මනාල යුවලක් වෙනුවෙන් අළුත් මංගල පෝරුවක් සැකසිය යුතුය. අතීතයේ මංගල පෝරුව සෑදීම ඉතා බැතියෙන් හා චාරිත්‍රාණුකූලව සිදුකල කටයුත්තකි.මඟුල් පෝරුව සාදන්නා පන්සිල් රකින සිල්වත් ගුණවත් අයකු විය යුතුය.ඉතා හොදින් පිරිසිදුව දින කිහිපයක් මස් මාංශ වලින් වැලකී පේවී ඒ සඳහා සූදානම්වේ.පෝරුව සෑදීම ආරම්භ කරන්නේ සුභ නැකතක් අනුව සුදුසු ස්ථානයක් තෝරා ගෙන එම ස්ථානය හොදින් ශුද්ධ පවිත්‍ර කර ගෙනය.පෝරුව සෑදීම සදහා රත්හදුන්,සුදු හදුන් හෝ කිරි ගසක පළුදු නොවූ අළුත් ලෑලි යොදා ගනී.
පැරණි සම්මතය අනුව පෝරුවේ දිග වඩු රියන් 16 කුත් පළල වඩු රියන් 15 කුත් විය යුතු අතර(වඩු රියනක් යනු දළ වශයෙන් අඟල් 31කි.) දොරටු 4ක් හා මුලු 8ක් සෑදෙන පරිදි සැකසිය යුතුය.(දොරටු 3 මංගල පෝරු වර්තමානයේ බහුලව භාවිතා කරයි.)
පෝරුව තැන්පත් කල යුත්තේ එය තුලට වාත්‍රාශය හොදින් ලැබෙන පරිදිය. වර්තමානයේ හෝටල් ආශ්‍රිතව පෝරුවේ චාරිත්‍ර සිදු කරන විට දෙපාර්ශ්වයේ ඥාතීන් පෝරුව අසල එක්රැස් වීමත් පොටෝ වීඩියෝ කරුවන් ඒ අසල එක්රැස් වීමත් පොල්තෙල් පහන් නිවී යාම වැලක්වීමට විදුලි පංකා ක්‍රියා විරහිත කිරීමත් නිසා පෝරුව අසල කාබන්ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිවේ.මෙවැනි අවස්ථාවලදී පෝරුව මත සිටින මනාළ යුවළ මහත් අපහසුතාවට පත්වන අතර ක්ලාන්ත වීම් වැනි වෙනත් අපහසුතාද ඇතිවේ.(පෝරුව මතදී මනාලිය හෝ මනාලයා ක්ලාන්ත වීම ඔවුන් කුමර කුමරි බඹසර බිදගත්තවුන් බවට ඉඟි කරන බව පැරැන්නන් අතර මතයක් ඇත.)
පෝරුවේ ඉදිරිපස පිහිටිය යුතු දිශාව තීරණය කල යුත්තේ නැකැත් දිනයේ දක්වා ඇති සුභ දිශාව අනුවය.මනාළ යුවල පෝරුවට නැංවීමට පෙර සහල්,ලදපස්මල් ඉස ඒවා සුදු පිරුවටකින් වසා තබයි.පුන්කලස් මත පොල් තෙල් පහන් දැල්වීමට සූදානම් කර තබයි.
පෝරුව සාද එහි චාරිත්‍ර ඉටු කරන තුරු එය තනි නොකළ යුතු අතර මනාළ යුවලගේ ඥාතීන්(යටින් සතුරු) ,සතුරන් වැන්නවුන් සිදු කල හැකි වින බන්ධන වලින් පෝරුව ආරක්‍ෂා කිරීමට කෙනෙකු ඒ අසල සිටිය යුතුය.ඇතැම් පළාත්වල රතු ජටා බැදගත් දූතයන් සතර දෙනෙකු කඩු 4ක් ගෙන පෝරුව සතර කොන පෝරුවේ චාරිත්‍ර අවසන් වන තුරු නොසෙල්වී සිටින්නේ මෙම ආරක්‍ෂාව සංකේතවත් කිරීමටය.සතර කොන සහල් පඩුරු ආදිය පුරවා පිපුණු පොල් මල් දමා පහන් දැල්වීමට සූදානම් කල පුන්කළස් හතරක්ද තබයි.
 පෝරුවේ පොදු චාරිත්‍ර
නව යුවළ පෝරුවට නැංවීමට ප්‍රථම ඔවුන් ලවා තෙරුවන්ට හා සතරවරම් දෙවියන්ට පහන් දැල්වීම.තෙරුවන් වෙනුවෙන් දැල්වූ පහන පෝරු චාරිත්‍ර ඉටු කරන්නා විසින් ප්‍රථමයෙන් උඩකින් තබා ඉන්පසු සතර වරම් දෙවි පහන් පෝරුව වටා තබා ඇති පුන් කළස් හතර උඩ තබයි.මෙය සිදුකරන ගමන්ම අෂ්ඨක කියන්නා(පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නා) සභාවෙන් අවසර ගැනීම ත්‍රිවිධ රත්නයට නමස්කාර කිරීම හා සතරවරම් දේවාරාධනාව සිදු කරයි.
අනතුරුව මනාලයා පෝරුවේ දකුණු පසින් හා මනාලිය වම්පසින් දෙදෙනාගේ මාමා වරුන් මනාළ යුවළගේ දකුණු අතින් අල්වා දකුණු පය පෙරට තබා සුභ නැකත් වේලාවට පෝරුවට නැංවීම සිදු කරයි.ඇතැම් පළාත් වල දෙදෙනා පෝරුවට නැංවීම මනාලියගේ මාමාවරු දෙදෙනෙකු විසින් සිදු කරයි.දෙදෙනා පෝරුවට නගින විට යශෝධරා අෂ්ඨකය වැනි පෝරුවට නැංවීමේ කවි අෂ්ඨක කියයි.
මනාලයාගේ දකුණතේ හා මනාලියගේ වමතේ සුළැගිලි දෙක එක්කොට රන් කෙන්දකින් බැද (සමහර පළාත් වල සමන්පිච්ච මල් දැවටූ නූලෙන් බැද) කෙළවර පුච්චා රන් කෙන්ඩියකින් හෝ හක් ගෙඩියකින් පැන් වැඩීම සිදු කරයි.මෙම අවස්ථාවේදී "අටවිසි පිරිත"කියා ආශිර්වාද කිරීම සිදු කරයි.රන් කෙන්ඩියෙන් (හෝ හක් ගෙඩියෙන්) වඩන පැන් පෝරුව මතට නොවැටෙන සේ යටින් දිය බදුන අල්ලා පිරිත අවසන් වන තුරු පැන් වඩා අවසන නූල දෙදෙනාට ගලවා ගැනීමට නියම කරයි.
ආගමික වතාවත් සහ දේව ස්‌ත්‍රොත්‍ර ගායනයෙන් අනතුරුව ඉටුකරන වැදගත් චාරිත්‍රයක්‌ නම් කිරිකඩහේලය පූජා කිරීමයි. එය මනාලියගේ මෑණියන්ට කරන උපහාර පූජාවයි. දස මසක්‌ කුස දරමින් දියණිය තම ජීවිතය මෙන් රැකගෙන නිරුපද්‍රිතව හදා වඩා ගෘහ පාලන කටයුතු පුහුණු කර උතුම් කුල දුවක ලෙස හැදූ වැඩූ මෑණියන්ට කරන උපහාරයක්‌ වශයෙන් සුදු වස්‌ත්‍ර කවිච්චියක්‌ හෝ වෙනත් ඇඳුම් පැළඳුම් පිදීම බෑණනුවන් විසින් සිදුකරන චාරිත්‍රයකි. හැදූ මෑණියන් ජීවතුන් අතර නැති නම් මනාලිය හදා වඩාගත් වෙනත් කාන්තාවකට මෙම පූජාව කරනු ලබයි. මින් පසු සිදු වන්නේ දෙපාර්ශ්වයේ වැඩිහිටි ඥතීන්ට බුලත් හුරුලු පිළිගන්වා ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමයි. මේ සියල්ල නිමවූ පසු කාල වේලාව අනුව මංගලම් කවි ගායනා කර විවිධ ස්‌ත්‍රොaත්‍ර සහ ගාථා මගින් යුවළට සෙත් පතනු ලබයි. මෙම කටයුතු කාල වේලාව අනුවත් ඒවා ඉටුකරන පුද්ගලයාගේ දක්‌ෂතාව අනුවත් දීර්ඝ හෝ කෙටි විය හැකිය.
මංගලම් කවි වශයෙන් මෙවැනි කවි ගායනා කරයි.
“කිඹුල්වත් පුර නුවර ඉපදුන එබෝසත් ජය මංගලම්
අගුල්ලා තිබූ නුවර වාසල් ඇර ගියේ දෙවියන් බෙලෙන්
මඟුල් කඩුවෙන් කේස ධාතුව කපා අහසට හැරී බෙලෙන්
මඟුල් වේවා යුවති පති හට බොහෝ කල් ජය මංගලම්“
“පෙම්මා වඩවන මුණිඳුගෙ තෙද කල
 නම්මා බැහැදැක ඇතු සිටිනා කල
වෙම්මා ලොවටම දස පෙරුමන් බල
සම්මා යන පදයෙන් ජය මංගල“
මෙලෙස ගායනා කරන කවි රාශියක්‌ ජන සමාජයේ ප්‍රචලිතව තිබුණි. මෙම සියලුම කවි ප්‍රබන්ධ වී තිබුණේ බුද්ධ චරිතය ඇසුරින්ය. මංගල අෂ්ඨක ගායනයෙන් පසුව සියලු බුදුවරයන් වහන්සේලාගේත්, සියලු දෙවි දේවාතාවුන් වහන්සේලාගේත්, නවග්‍රහයන්ගේත් ආනුභාවයෙන් අපල උපද්‍රව දුරුවේවා" යි ප්‍රාර්ථනා කරමින් පෝරුවෙන් බස්‌සවනු ලබයි.
පොල් ගෙඩියක්‌ බිඳීමත් සමගම දකුණු පාදය පෙරට තබා අභිනව යුවළ පෝරුවෙන් බසියි. මෙම සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ පුරාතන මංගල උත්සවයක්‌ යනු හුදු උත්සවයක්‌ පමණක්‌ම නොව, ආගම දහම සත්චාරිත්‍ර අනුව පැවැත්වූ පුණ්‍ය මහෝත්සවයක්‌ද වශයෙන්ද පැවති බවයි.
1. ප්‍රථමයෙන්ම මංගල පෝරුවට නැගීමට වරම් ගන්න. බුද්ධාගම අනුව නම් ප්‍රථමයෙන්ම “නමෝතස්ස” පාඨය තෙවරක් කියවන්න. ත්‍රිවිධ රත්නය වඳින කුමන හෝ ගාථා තුනක් කියවන්න. “සංසාර සාරෝඝ විනීතත නීසං.” වැනි ශබ්ද රසයද ඇති ගාථාවන් නම් ඉතා මැනවි. ඉන් පසු භූමිදේවි නමස්කාරය වූ “ චන්ද කුසුම මාලං” යන්න කියවන්න. ඉන් පසු පෝරවට නැගීම සඳහා අවසර ගන්නා කවියක් හෝ කවි කීපයක් කියවන්න. දැනට එවැනි කවි 6 ක් පමණ භාවිතා කරයි. කාලවේලාව අනුව කවි සංඛ්‍යාව ඔබම තීරණය කරන්න.උදාහරණයක් ලෙස එක කවියක් කියමි.
එදා සිදුහත් කුමරු හට බිම්බා කුමාරිය සරණ පාවා
උදාරව දෙනු ලැබු සුබ කරකාර මගුලෙදි මන පබෝවා
මුදාහල ලෙස යුවලගේ පා මඟුල් පෝරුව මතයි බෝවා
මෙදා පින්බර මෙනව යුවලක් මඟුල් පෝරුව මත නගීවා
2. දැන් සුබ නැකත උදාවී ඇත. මගුල්බෙර නාද මධ්‍යයේ යුවල පෝරුවට භාරකරුවන් යටතේ නඟී. එසේ නැගුනු විට කෙටි ආශිර්වාද සිලෝවක් කියන්න.
3. ඉන්පසු ඇත්තේ සඟල බුලත් හුවමාරුවයි.මෙහිදී බුලත් අතවල් 07 ක් දෙදෙනා අතර හුවමාරු වේ.බුලත් අතකට ඇති උපරිම බුලත් සංඛ්‍යාව 40 කි. අවම සංඛ්‍යාව 02 කි. සඟල බුලත් හුවමාරුවේදී බුලත් අතකට ගන්නේ අවම බුලත් සංඛ්‍යාවයි. බුලත් අතකට කාසියක් ද එකතුවේ. බුලත් අතවල් 07 න් කියවෙන්නේ මේ විශේෂ අවස්ථාවේදී අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, මී ,මුත්තා යන හත්මුතු පරම්පරාව සමරන බවයි. උතුම් ජාතීන් මෙවැනි වැදගත් අවස්ථා වලදී තම අතීත පරපුර සමරති. බුලත් වලින් සංස්කෘතිය ද කාසි වලින් ආර්ථිකයද කියවේ. සඟල බුලත් හුවමාරුවෙන් සංකේත වන්නේ අද සිට දෙදෙනා අතර සංස්කෘතික ලෙස මෙන්ම ආර්ථික ලෙස ද සහජීවනයක් ඇතිවන බවයි. 4. ඉන්පසු ඇත්තේ තැලිපිලි පැළඳීමයි. වෛදික දහම අනුව සැමියාට බිරිඳගේ හිමිකම ලැබෙන්නේ මල් මාලයක් දැමීමෙනි. එදා ඒ මල් මාලය අද වන විට තැල්ලක් සහිත චේන් පොටක් දක්වා විකාශනය වී ඇත. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් 4 වෙනි යුතුකම බිරිඳට ඉසුරු සම්පත් පැවරීමයි. 5 වෙනි යුතුකම ඇයට ඇඳුම් හා ආහාරපාන සැපයීමයි.
සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සක්ක සංයුක්තයේ සක්දෙවි මිනිසුන් නමදින අවස්ථාවක් දැක්වේ. මේ සම්බන්ධයෙන් මාතලී දිව්‍ය පුත්‍රයා කරන විමසීමකදී සක්දෙවි පවසන්නේ තම යුතුකම් දන්නා සැමියන් වන්දනා කරන බවයි. මෙයින් පෙනෙන්නේ බිරිඳට යුතුකම් ඉටු කරන සැමියන්ට දෙවියන් පවා ගරු කරන බවයි.
5. ඉන් පසු මුදු මාරු කිරීම සිදුවේ.මුද්ද යනු සදාකාලික භාවයේ සංකේතයි.පෙරදිග වෙද නීතිය අනුව අතේ වෙදගිල්ලේ මුල් පුරුක හදවතට සම්බන්ධතාවයි. විශ්ව නීතිය අනුව ගැහැණියට වමතත් පිරිමියාට දකුණතත් විශේෂ වේ. සිංහල වෙද මහතා ප්‍රතිකාර වලදී පිරිමියාගේ දකුණතේ නාඩි බලයි. ගැහැණියගේ වමතේ නාඩි බලයි. හස්ත රේඛා ශාස්ත්‍රඥයා පිරිමියාගේ දකුණතේ රේඛා බලයි. ගැහැණියගේ වමතේ රේඛා බලයි.ඒ අනුව සදාකාලික බවේ සංකේතය හදවතට සම්බන්ධ වූ වෙදඟිල්ලේ මුල් පුරුකට පැළඳවීම මනාලියගේ වමතේ ද මනාලයාගේ දකුණතේ ද සිදු කරයි.
6. ඊළඟට ඇත්තේ අත පැන් වැඩීමයි. බිම්බිසාර රජු වේළුවනාරාමය පවරා දුන්නේ ද දෙවන පෑතිස් රජු මවමෙව්නාව පූජා කළේ ද වෙස්සන්තර රජු දේපොළ පවරා දුන්නේ ද අතපැන් වැඩීමෙනි. ඔබ කරන පින් ඔබේ මළගිය ඥාතියාට පවරන්නේ කෙසේද? පැන් වැඩීමෙනි.මෙය පැරණිම පවරා දීමේ චාරිත්‍රයයි.තම දියණිය සැමියාට පවරා දීම අත්පැන් වැඩීමෙන් සිදු කරනුයේ වෛදික දහම් නීතිය අනුවයි.
7. ඊළඟට ඇත්තේ මංගල පෝරුව මත දී පැන් වීදුරුව හා රස කැවිලි පිරිනැමීමේ චාරිත්‍රයයි. මෙය උම්මග්ග ජාතකයෙහි අමරාදේවි හා මෙහෞෂධ පඬිවරයා මුනගැසීම සිහිකරන්නකි. ආහාරයට පෙර පැන් පිරිනැමේ.
ඉන් පසු දෙදෙනා සහජීවනයෙන් ආහාර ගැනේ. ඉන් පසු නැවත පැන් පානය කරයි.මේ ජීවත් වීමේ කලාවයි.
8. බුදුරදුන් විවිධ අභියෝග ජයගත් බැවින් ඒ තේජසින් ජය මගුල් ඔබටත් ලැබේවා! යන පැතුම ජය මංගල ගාථා කියවීමෙන් ලැබේ.
9. ඔක්කාක රජ සමයේ සුබ්‍රහ්මා , සෝමසීලි යන බමුණු යුවළට ජාතක වූ බ්‍රහ්මජාලි කුමරිය දීගෙට යන විට මවගේ කිරි වල ණය ගෙවීමේ කථා වස්තුවක උපයෝගි කරගෙන කිරිකඩ සේලය පිරිනැමීමේ චාරිත්‍රය සාදා තිබේ. දියණියක මවකගෙන් පානය කරන ලද කිරි වල ණය කිසිදා පිරවිය නොහැකි බව මේ චාරිත්‍රයෙන් කියන පණිවිඩයයි. 10. ඊළඟට ඇත්තේ වැඩිහිටියන්ට බුලත් දීමේ චාරිත්‍රයයි.මහා මංගල සූත්‍රයේ 3,11,12 යන මංගල කරුණුද සප්ත අපරිහානි ධර්මයේ 4 වෙනි අපරිහානි ධර්මය ද දස පුන්‍ය ක්‍රියා වල 4 වෙනි පුන්‍ය ක්‍රියාව ද සිඟාලෝවද සුත්‍රයේ සදිසා නමස්කාරයෙන් නැගෙනහිර නමස්කාරය ද කිතුණු දස පනතේ 4 වෙනි පනත ද මෙම චාරිත්‍රයෙන් ඔපවත් කරයි.
11. ඊළඟට ඇත්තේ පෝරුවෙන් බැසීමේ චාරිත්‍රයයි.අවිවාහකයන් ලෙස භාරකරුවන් යටතේ පෝරුව දෙපසින් නැඟි යුවල විවාහකයන් ලෙස එකිනෙකාට භාරකරුවන් වෙමින් සුභ දිසාවට මුහුණ ලා පෝරුවෙන් බසී. පෝරුවෙන් බැසීමට පෙර වරම් ගැනීම සඳහා ආශිර්වාද කවි 08 ක් පමණ දැනට ලංකාවේ භාවිතා කෙරේ. කාලවේලාව කළමණාකරණය කරමින් මින් කීපයක් ගායනා කිරීමට පුළුවන.
12. පෝරුවේ චාරිත්‍ර වල අවසාන අංගය පෝරුවෙන් බැස පහන දැල්වීමයි. පහනක් දැල්වෙන විට අඳුර පලා යයි. අඳුර පලා යන විට මඟ හොඳින් පෙනේ.මේ ආලෝකවත් වන්නේ නව යුවලගේ ජීවිතයයි.ජීවන මාර්ගයයි. පහන දල්වන විට මඟුල් බෙර වාදනය කෙරේ.
මේ චාරිත්‍රය කරන විට අවස්ථානුකූලව දළඳා අෂ්ඨකය, ශ්‍රීවිෂ්ණු අෂ්ඨකය, අට විසි විවරණ අෂ්ඨකය, කන්ද කුමාර අෂ්ඨකය, මහා මංගල අෂ්ඨකය, නවග්‍රහ මංගල අෂ්ඨකය, ගණේෂ අෂ්ඨකය, දැඩිමුණ්ඩ අෂ්ඨකය, නාරායන අෂ්ඨකය, බෞද්ධ අෂ්ඨකය,අෂ්ඨදේව, මංගල අෂ්ඨකය පත්මාවතී අෂ්ඨකය, වැනි අෂ්ඨකයන් අතුරින් කීපයක් ගායනා කර චාරිත්‍රය ඔපවත් කිරීමට චාරිත්‍රවේදියා සමත් වෙයි.
සිංහල පාරම්පරික සිරිත් රැකගනුවස්  එරන්ද ලක්මාල් විසින් .

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.