ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflas[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 6, 2017

බුදු දහම විකුණන මහාචාර්යවරුන්ගෙන් පරිස්සම් වෙන්න !

බුදු දහම සසර දුක් නිවීම කේන්ද්‍ර කර ගත් ඉගැන්වීම් පද්ධතියකි. යමෙක් බුදු දහම අධ්‍යයනය කරන්නේ හුදෙක් එමඟින් විවිධ මට්ටමේ විභාග සහතික පත් ගොඩ ගසා ගැනීමේ අරමුණින් නොවේ. අවංක නිස්සරණාධ්‍යාසයෙනි. නමුත් සමාජය ක්‍රමිකව සංකීර්ණ වෙත්ම මිනිසුන් මුදල් පසුපස යාමේ ස්වභාවය අධික වන්නට විය. බල්ලන් මරා හෝ දෙමව්පියන් උගස්කර හෝ බිරිද ගණිකා වෘත්තියෙහි යොදවා හෝ එවැනි මිනිසුන් බලන්නේ මුදල් ඉපයීමටය. උගත් වුනත් නූගත් වුවත් මිනිසාගේ නෛසර්ගික ගති ස්වභාවය වෙනස් නොවේ. උණ පුරුකේ දැම්මට බලු වලිගයෙහි ඇද ඇරිය නොහැකිවාක් මෙනි. වැරදි ක්‍රම මාර්ගයෙන් මුදල් හදල් සහ වෙනත් ලාභ සත්කාර ආදිය ලබා ගැනීම පුරුදු පුහුණු වූ පුද්ගලයා කොවේ දමා වත් වෙනස් කළ නොහැකිය. පරමාදර්ශ චරිත ඇත්තේ ප්‍රතිපත්ති ගරුක මිනිසුන් අතරය. කුමන දුසිරිතක හෝ යෙදී මුදල් උපයා ගැනීමට පුරුදු පුහුණු වූ අයට පරමාර්ථ යනු හුදු මනස්ගාත පමණකි. සෑම අගයක්ම සාරධර්මයක් නොවේ. නමුත් සෑම සාරධර්මයක් ම අගයකි. අගයන් නොවන සාරධර්ම නොමැති වුව ද සාරධර්ම නොවන අගයන් අනන්තවත් ඇත. මුදල යනු අගයකි. නමුත් මුදල සාරධර්මයක් නොවේ. මනුස්සකම අගයකි. එසේම එය සාරධර්මයකි. මනුස්සකම අගයක් වුවද එය මුදල මෙන් භෞතික මිණුම් දඬු භාවිතා කර මැන දැක්විය නොහැකිය. මනුස්සකම භෞතික මිණුම් දඬු භාවිතා කළ මැන දැක්විය නොහැක්කේ එහි ආධ්‍යාත්මක අගයක් ඇති බැවිනි.
ආධ්‍යාත්මික අගයන් මැණ බැලීම සඳහා භෞතික මිණුම් දඬු භාවිතා කරනු නොලැබේ. එසේ නම් මනුස්සකමට ඇති අගය රුපියල් හෝ යූරෝ වලින් මැණ දැක්විය හැකි විය යුතුය. මනුස්සකම යන මානව ගුණය භෞතික මිණුම් දඬුවකින් මැණ දැක්විය නොහැකි වුවද යම්කිසි භෞතික ද්‍රව්‍යයකට මනුස්සකම නැමැති වචනය ලේබල් කර ප්‍රදර්ශනාත්මකව දැක්වීමේ නොහැකියාවක් නැත.
එවිට මනුස්සකමට භෞතික අගයක් නැති වුවද මනුස්සකම ලේබල් කරන ලද භෞතික ද්‍රව්‍යයට භෞතික අගයක් තිබෙන බැවින් එබඳු ලේබල්වල ඇත්තේ භෞතිකව මැණිය හැකි වටිනාකම්ය. අද සෑම දෙයක්ම වෙළඳ පලේ අලෙවිවන භාණ්ඩ බවට පත්ව ඇත. මුල්කාලයේදී ආධ්‍යාත්මික අගයන් ලෙසට අර්ථකථනය කරන ලද ඇතැම් දේවල් නූතන සංකීර්ණ වාණිඩ අර්ථ ක්‍රමය තුළ හුදෙක් භාණ්ඉ හා සේවා බවට පත් කර වාණිජ අගයක් පිරිනමා තිබේ. කෙනෙකුට සුබ පැතීම සුහඳත්වය පෙරටුකොට ඇති මානුෂික ක්‍රියාවකි. එයින් සුබ පැතුම ලබන තැනැත්තා මානසිකව අභිප්‍රේරණයක් ලබයි. එලෙස යම් කෙනෙකුව මානුෂික අවශ්‍යතාව මත අභිප්‍රේණයට ලක් කිරීම මානව ආධ්‍යාත්මක වටිනාකමක් ඇති සත් ක්‍රියාවකි. නමුත් නූතන වාණිජ අර්ථක්‍රමය විසින් මේ මානව ආධ්‍යාත්මික කටයුත්තට වෙළඳ පොළ වටිනාකමක් ලබා දී තිබේ. එනම් සුබ පැතුම් පතක් නිර්මාණය කර වෙළඳපළ විකිණීමට තබා ඇත.
පෙර කාළයේ නොමිලේ ලබාදුන් අභිප්‍රේරණය සඳහා වර්තමානයේ මේ අනුව කිසියම් මිලක් ගෙවීමට සිදුව තිබේ. එසේ නම් නූතනයෙහි යමෙකුව සුබ පතා අභිප්‍රේරණය කිරීමට නම් ඊට සරිලන මුදලක් වැය කළ යුතුව තිබේ. සුබ පැතුම සඳහා වැය කළ හැකි මුදලේ ප්‍රමාණය අනුව වඩාත් ඉහළ මට්ටමෙහි සුබ පැතුම් පතක් මිළඳී ගැනීමට හෝ ත්‍යාගයක් මිලඳී ගැනීමට හැකියාව ඇති කර ඇත. මේ අනුව මේ ක්‍රමවේදය තුළ වඩාත් ඉහළ මුදලක් ඇති පුද්ගලයා යමෙකුට සුබ පැතීමේ දී පවා මුදල් අත නොමැති දිළින්දෙකුට වඩා ඉදිරියට පැමිණීමට නූතන වෙළඳ පළ ආර්ථික රටාව තුළ මාවතක් සකස් කර දී ඇත. ඇතැම් විට ඉහළ මුදලක් වැය කර සුබ පැතුමක් පතන්නාගේ හදවතේ සත්‍යයෙන් එය නොමැති වන්නට හැකිය. ඊට වඩා හෘදයාංගම බවක් මිළ මුදල් අත නොමැති පුද්ගලයාගේ හදවතෙහි ගැබ් විය හැකියි. නමුත් මුදල් මත පදනම් වන නූතන සමාජයේදී අවංක පුද්ගලයා අභිබවා මුදල් අත ඇත්තාගේ භෞතික අගය ඉස්මතුකර දැක්වීමට වාණිජ අර්ථක්‍රමය මඟින්ම මාවතක් සකස් කර දී තිබේ. මේ ක්‍රමය යටතේ අවංකත්වයට වඩා මුදල අත ඇති තැනැත්තාට වැඩි අරෝපිත වටිනාකමක් ලැබේ. නමුත් මේ ආරෝපිත වටිනාකම සැබෑ සදාචාර අගයක් නොවේ. මුදල් මත අද ගුණධර්ම පවා පදනම්ව ඇතැයි යන කතාවෙහි පදනම මෙයයි. ගුණවත්කම බවා අලෙවි කළ හැකි භාණ්ඩ හා සේවාවක් තරමට අද වාණිජ අර්ථක්‍රමය සිය භාණ්ඩ හා සේවා අලෙවිකරණයේදී කුට හා සූක්ෂම වී තිබේ.

බුදුදහම මතුපිටින් ආමිෂ පුජා පැවැත්වීමට පමණක් සීමා කර ලඝු කර සැලකීමෙන් එයින් ලබා ගත හැකිව තිබූ කිසිවක් ඉන් ලබාගත නොහැකිය. බුදු දහමේ ආමිෂ පූජා පවා සකස්ව ඇත්තේ වෙනත් ආගම්වල ආමිෂ පූජා සකස්ව ඇති ආකාරයට අනුව නොවේ. දේව නිර්මාණවාදී පදනම මත පිහිටා සකස් වී ඇති ආගම්වල ආමිෂ පූජාදිය හුවා දක්වා ඇත්තේ එම ආගමේ පරම ශාක්ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකය ලෙසය. දෙවියා හෝ බ්‍රහ්මයා කරා ළඟා වීමේ ඒකායන මාර්ගය ලෙසට නිර්මාණවාදී ආගම්වල ආමිෂ පූජාව දැක් වේ. භෞතිකවාදී පදනම මත සකස්ව ඇති ආගම්වල තර්කය සත්‍ය අවබෝධය ලැබීමේ ඒකායන මාර්ගය ලෙස හුවා දක්වා තිබේ. මේ අනුව තර්කානුසාරී හා තර්ක වාදී බව සත්‍ය අවබෝධයට මඟක් ලෙස ඔවුන් විසින් සලකනු ලැබේ. භෞතිකවාදීන් වූ බැවින් ඉන්ද්‍රිය ප්‍රීණනය කෙරෙහි ආශක්ත වූ බැවින් සාරධර්ම හෝ සදාචාරාත්මක ප්‍රස්තුතය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වති. එබැවින් භෞතිකවාදීහු දේවා නිර්මාණවාදීන්ට වඩා සමාජයට අහිතකර දේ සිදුවිය හැකි වීමේ සම්භාවිතාවක් ඇත. මන්ද කිසිදු සාරධර්මයක් හෝ සමාජ සදාචාරයක් ඔවුන් වෙතින් අපේක්ෂා කළ නොහැකි පසුබිමක් පෙනෙන නිසාය.
 දේව නිර්මාණවාදී ආගම්වල සමාජ සදාචාරය හා සාරධර්ම පිළිබඳ ඇගයුමක් දක්නට නැත. ඔවුන් ඒකායන සත්‍ය අවබෝධයට මඟ නිර්මාණවාදය මඟින් පමණක්ම අපේක්ෂා කිරීම නිසා සදාචාරාත්මක කරුණු වලදී ස්වයං උත්සාහය, වීර්යය, ධෛර්යය, පරාක්‍රමය, අධිෂ්ඨානය වැනි කරුණු පිළිබඳව තැකීමක් නැත. හුදෙක් විශ්ව නිර්මාපකයෙකුගේ මෙහෙයවීම මත සියල්ල සිදුවන බව විශ්වාස කිරීම මොවුන්ගේ සම්ප්‍රදායයි. එසේම කුසල් අකුසල්, පූණ්‍ය පාප ක්‍රියා තවත් අයෙකුගේ මෙහෙයවීම මත සිදුවන බව තීරණය කෙරෙන බැවින් කමන්ගෙන් ස්වායක්ත බාහිර බලවේගයක් මත යැපීමේ මානසිකත්වය මෙහිදී ප්‍රබල ලෙස විද්‍යමාන වේ. එසේම එසේ වන බාහිර බලවේගය ඔස්සේ තමන්ගේ අභ්‍යන්තර පාරිශුද්ධිය සිදු වෙතැයි මේ ක්‍රමවේදය තුළ වැරදි වැටහීම ඇති කර ගැනීමට එම ආකල්ප ඉවහල් වේ. අභන්තර පාරිශුද්ධිය ඇති කර ගැනීම තකා බාහිර බලවේග මත පිහිට යැද සිටීම මෙවැනි මානසිකත්වයකට හුරු වූවෙකු අතින් සිදු විය හැකි සාමාන්‍ය දෙයකි. බාහිර බලවේග වලට ක්‍රියාවල අධිකාරීත්වය පැවරීම නිසා අකර්මණ්‍ය පුද්ගලයෙකු බවට පත් වේ. සියලු කටයුතු සිදුවීමේදී බාහිර බලපෑම්වලට නතුව ක්‍රියා කිරීම නිසා පහසුවෙන් අවනත කරගත හැකි පෞරුෂයක් ඇත්තෙකු බවට පත් වේ. පුදගලයකු වශයෙන් ස්වකීය හැකියාව, ධෛර්යය, ශක්තිය, වීර්යය, අධිෂ්ඨානය මත පිහිටා කටයුතු කිරීම පෞරුෂ සංවර්ධනයට අදාළය. ස්වාධිකාරි බලය වෙනුවට අකර්මන්‍ය, හීන දීන මානසික බෙලහීන පුද්ගලයෙකු මෙවැනි ආකල්ප මඟින් බිහි කර දෙයි.
බුදු දහම වනාහී හේතුඵල වාදී ඉගැන්වීමකි. කුසල්, අකුසල්, පුණ්‍ය, පාප ක්‍රියා තමාගේ ස්වාධිකාරය මත ක්‍රියාත්මක විය යුතු වූ බැවින් තමාගේ කය, වචනය හා සිත තමාගේම පාලනයට නතු කරවා ගැනීමේ වැදගත්කම බුදු දහමේ පෙන්වා දී තිබේ. මේ මඟින් තමාම වෙහෙස ගෙන කටයුතු කිරීමට පුහුණුවක් හා අභ්‍යාසයක් පුද්ගලයන්ට බුදු දහම මඟින් ලබා දෙයි. මේ නිසා බුදු දහමේ සඳහන් ප්‍රතිපත්තිය මඟින් පුද්ගලයන්ගේ ස්වාධීකාරී ශක්තිය අවදිකර ක්‍රියාකිරීමට අභ්‍යක්තර ගත පුහුණුවක් ලැබේ. එම නිසා බුදු දහමේ ප්‍රතිපත්ති පුහුණුවීමේ අභ්‍යාසය සිදු කිරීමේ දී පුද්ගල පෞරුෂත්වය ශක්තියත් වේ. බුදු දහම සන්නිවේදනය කිරීමේ දී පවා කෙනෙකු තව කෙනෙකුගේ පෞරුෂය ශක්තිමත් කිරීම පිණිස කටයුතු කිරීම වැදගත් බව තහවුරු කොට පෙන්වා දී තිබේ. බුද දහම සම්බන්ධයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වන ආයතනගත කටයුතු නම් මේ අරමුණු ඉටු කර ගැනීමේ චේතනාවෙන් යුතුව ක්‍රියාත්මකවේදැයි සැක සහිතය. මන්ද බුදු දහම සම්බන්ධව පිහිටුවා ඇති බොහෝ ආයතනවල මෙම අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රමවේදයකට වඩා හුදු වාණිජ හා මූල්‍ය ලාභය පිණිස පමණක් කටයුතු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවිනි. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (U.G.C.) මඟින් පාලනය කෙරේ.

ඊට අමතරව පුද්ගලික විශ්වවිද්‍යාල තිබේ. මේ පුද්ගලික විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන පදනම්, සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ වෙනත් පාඨමාලාවල පිළිගැනීම පිළිබදව හා සම්මුතිය පිළිබඳව විශාල ගැටළු හා අර්බුද රැසක් තිබේ. කෙසේ හෝ රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාල හැරුණු විට වර්තමාන කාලයේ හතු පිපෙන්නාක් මෙන් රාජ්‍ය නොවන සංවිධාන (NGO) හරහා මෙරටට ගලා එන විදේශ ප්‍රතිපාදන, මුදල්වල අනුග්‍රහයෙන් මෙරට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසක කටයුතු මේ කාලය වන විට ලහි ලහියේ ආරම්භව තිබේ. මේ ආයතනවල අධ්‍යයන කටයුතු  පවා ආරම්භ කර තිබෙන අතර විවිධ මට්ටමේ අධ්‍යාපන වැඩසටහන් ඒවායෙහි ක්‍රියාත්මක වේ. මේවා අතර විශ්වවිද්‍යාල නාමයෙන් හඳුන්වනු ලබන රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාල වර්ගීකරණයට අයත් නොවන එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට නොගැනෙන ආයතන කීපයක් මේ වන විට ඉතා කඩිමුඩියේ ආරම්භ කර තිබේ. රජය මඟින් ඒවා පිළිබඳව නිවැරදි සොයා බැලීමක්ද සිදු කර නැත. සමහර විට මීට අදාළ පුද්ගලයින්ට කුට්ටිය හා ගතමනාව යැවෙන නිසා මේවා පිලිබද කිසිදු සොයා බැලීමක් සිදු නොකර නිදහසේ මෙරට තුළ ඔවුන්ට රිසි දෙයක් කර ගැනීමට ඉඩදී නිහඬව බලා සිටීමේ ක්‍රමවේදයක් කරා තල්ලු වී ඇතිදැයි විටක සැකයක් පවා මතු වේ. මොවුන් නිදහසේ පුවත්පත් දැන්වීම් පළ කර, අන්තර්ජාලයේ ඔවුන්ගේ වෙබ් අඩවි මාර්ගයෙන් අලෙවි ප්‍රචාරණ ක්‍රම දියත් කර ඊට සමගාමී ලෙසට නගර මධ්‍යයේ විශාල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් සිදු කරගෙන මහා පරිමාණ අධ්‍යාපන ජාවාරම පිළිබඳව නිසි බලධාරීන් නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක්ද පැහැදිලිව දැකිය හැකිය.
 මෙම විශ්වවිද්‍යාල බුදු දහම ඉගැන්වීමේ ජාත්‍යන්තර හා උසස් අධ්‍යාපන ආයතන වශයෙන් බිහිව තිබේ. බුදු දහම පිළිබඳව ශාස්ත්‍රීය පර්යේෂණ සිදු කරන ජාත්‍යන්තර පර්යේෂණ ආයතන ලෙසට ද මේවා හඳුන්වනු ලබයි. මේවායෙහි ආචාර්ය මණ්ඩලය වශයෙන් ඇතැම්විට සේවය සඳහා බඳවා ගෙන ඇත්තේ ද රාජ්‍ය විශ්වවිද්‍යාලවල දැනට ද සේවය කරනු ලබන ආචාර්ය මහාචාර්යවරුන්ය. මේ අතර විවිධ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සේවය කර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුර ලබා විශ්‍රාම ගොස් දැනට විශ්‍රාමික සුවයෙන් පසුවන ආචාර්ය මහාචාරුයවරුන්ද සිටින බව දැකගත හැකිය. මෙම ආචාර්යවරුන් අතර පාලි භාෂාව හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයට අදාළව ආචාර්ය උපාධිය ලැබූ අය මෙන්ම එසේ නොලැබූ අය ද සිටිති. මෙබඳු ඇතැම් මහාචාර්යවරුන් ආචාර්ය උපාධිය ලබා ඇත්තේ ගණිතය, විද්‍යාව වැනි ශුද්ධ විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයත් විෂය අරබයාය. කෙසේ හෝ මෙබඳු මහාචාර්යවරුන් කුමන විෂයය ක්ෂේත්‍රයකින් ආචාර්ය උපාධිය ලබා ගත්තත් ඔවුන්ගේ අරමුණු හා අභිමථාර්ථ අවංකව බුදු දහම ජාත්‍යන්තර වශයෙන් ඉහළ මට්ටමකට නැංවීමේ අපේක්ෂාවට වඩා වෙනස් බව නම් ඉතා හොඳින් පැහැදිලිය. ඒ අපේක්ෂාව නම් ලෞකික හා ලාභ අපේක්ෂා පෙරදැරි කර ගත්තක් බව ආයතන තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් මඟින් පෙනී යයි. එවැනි මහාචාර්යවරුන් විසින් ආයතන මෙහෙයවීමේ සංවිධානාත්මක ක්‍රමවේදය පිළිබඳව විචාර පූර්වක වීමේ දී තදබල වංචනික කටයුත්තක් මේවා සියල්ල පිටුපස සිදු වන බව ඉතා පැහැදිලිව අවබෝධ කරගත හැකිය. මෙවැනි ආචාර්යවරුන්ට අවශ්‍ය ලෙස එම ආයතනවල පාඨමාලා පවා සකස් කර තිබේ.

ඒ අනුව ගණිතය වැනි ශුද්ධ විද්‍යා ක්ෂේත්‍රයන්හි මහාචාර්යවරු විසින් බුදු දහම පිළිබඳ පදනම්, සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ වෙනත් පාඨමාලා විෂය නිර්දේශ සකස් කිරීමේ දී සමස්ත නිර්දේශයෙන් ¾ ක් පරිගණක, ඉංග්‍රීසි භාෂාව, වෙනත් ජාත්‍යන්තර භාෂා හා මෘදු කුසලතා රැස්කර ගැනීම වෙන් කර ඇති අතර අවංකව බුදු දහම ඉගැන්වීම හා ඉගෙනීම වෙනුවෙන් වෙන් කර ඇත්තේ මුළු පාඨමාලාවේ විෂයය නිර්දේශයෙන් ¼ කටත් අඩු ඉතා අවම හා සීමිත ඉඩකඩ ප්‍රමාණයකි. මෙය මෙම ආයතනවල බුදු දහම නමින් ක්‍රියාත්මක වන වාණිජ පරමාර්ථ පෙරදැරි කර ගත් පාඨමාලාවල නියම තත්වය පෙන්වා දීමට කදිම සාධකයකි. නූතන සමාජයට පරිගණක හැකියාව, ඉංග්‍රීසි හා සෙසු ජාත්‍යන්තර භාෂා හැකියාව හා මෘදු කුසලතා තිබිය යුතු නොවේද එසේ නම් මෙසේ ඒවා ඉගැන්වීමේ ඇති වරද කුමක්දැයි කුතර්කයක් පවා ගොඩනැඟීය හැකිය.
සැබවින්ම ඔවුන් විසින් මේවා පවත්වා ගෙන යන්නේද මේ බොරු කුතර්ක අවියක් කර ඉදිරියට දමාගෙනය. පරිගණක, ඉංග්‍රීසි හා සෙසු භාෂා ඉගැන්වීමට මෙන්ම මෘදු කුසලතා වර්ධනයට ඒවාටම වෙන්වූ රාජ්‍ය හා පුද්ගලික ආයතන අවශ්‍ය ප්‍රමාණයටද වඩා අද මෙරට තුළ තිබේ. අද මෙරට තුළ රාජ්‍ය හා පුද්ගලික ආයතන නැත්තේ බුදු දහම ඉගැන්වීමට, ඉගෙනීමට හා බුදු දහම පිළිබඳව හඬක් නැගීමට පමණකි. එදින් එවැනි පරිසරයක් තුළ දී බුදු දහම නාමයෙන් ජාත්‍යන්තර ප්‍රජාව වෙත බුදු දහම අලෙවිකොට ලබා ගන්නා ප්‍රතිපාදන මෙලෙස බුදු දහම නාමයෙන් හා බුදු දහම ඉගැන්වීමේ ව්‍යාජ මුහුණුවරින් පරිගණක, ඉංග්‍රීසි හා සෙසු භාෂාවන් ඉගැන්වීමේ ටියුෂන් කඩ දැමීමට භාවිතා කිරීම පිළිබඳව විශාල ගැටළුවක් ඇත. මෙවැනි ජාත්‍යන්තර විශ්වවිද්‍යාල නමින් ඇති ආයතන බුදු දහමේ නාමයෙන් මතුපිටින් ක්‍රියාත්මක වන බව පෙන්වූවද සත්‍ය වශයෙන්ම පිරිසිදු බුදු දහම විනාශ කිරීමේ අරමුණුන් විදේශ මූල්‍ය අනුග්‍රහය මත ක්‍රියාත්මක වන්නේද යන කාරණය වහාම රජයේ මෙහෙයවීම හා අධීක්ෂණය මත පරීක්ෂණයක් සිදුවිය යුතුවූ කාරණයක් වශයෙන් මෙහිදී ගෙනහැර දැක්විය හැකිය. සත්‍ය වශයෙන් මේවායේදී සිදු වනුයේ බුදු දහම නාමයෙන් බුදු දහම විනාශ කිරීමට විවිධ යටිකූට්ටු වැඩ පිලිවෙලවල් ගෙන යාම බව වගකීමක් සහිතව පැහැදිලිව පැවසිය හැකිය.
බුදු දහම ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීමේ අරමුණ මතුපිටින් පෙන්වා රාජ්‍ය නොවන සංවිධාන වලින් මූල්‍ය හා වෙනත් ප්‍රතිලාභ ගෙන්වා ගැනීම මෙබඳු ආයතනවල එකම අභිප්‍රාය බව ඒවා වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය අනුව පැහැදිලි වේ. බුදු දහම ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන රාජ්‍ය විශ්වවිද්‍යාල නාමයෙන් ක්‍රියාත්මක වන නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචියක් නොමැති මෙම ආයතනවල සැබෑ පරමාර්ථය ආගම පෙරට දමා කුස පුරවා ගැනීම බව පැහැදිලිය. සැබවින්ම මේවා වල සේවය කරනු ලබන ඉහත සඳහන් කළ ආචාර්ය මහාචාර්යවරුන් විසින් සිදු කරන්නේ ද බරපතල වංචාවක් බව මේ අනුව පෙනී යයි. මේ පිරිසට වුවමනා වී ඇත්තේ ද රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉන් උපයා ගන්නා ලද වැටුප් මුදල් හා සේවක අර්ථසාධක මුදල්වලට අමතරව මෙවැනි ආයතන නමට බැරවන ජාත්‍යන්තර අරමුදල් හා මූල්‍ය ප්‍රතිපාදන වලින් යම් ප්‍රමාණයක් වන්දිභට්ටකම් කිරීමට අදාළ ස්වකීය වැටුප් හා වේතන වශයෙන් ලබා ගැනීම බව පැහැදිලිය. කෙදිනකවත් මේ බෞද්ධ ආයතනවලින් දේශීය හා විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලයේ උගන්වන්නේ නැත. මෙබඳු ආයතනවල ලියාපදිංචිවීම, අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් සිසුන්ගෙන් ගාස්තු අය කරනු ලබන අතර මේ ගාස්තු දේශිය හා විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොදුය.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.