ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 14, 2017

විශ්වවිද්‍යාල, පාලි ත්‍රිපිටක බුදු දහම හා නූතන අධ්‍යාපන පරිහාණිය

අපේ රටේ පාසැල් අධ්‍යාපන ක්‍රියාවළිය හා විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රියාවලිය කිසියම් විමර්ශනාත්මක
දැක්මක් හෙළීමට කාලය දැන් පැමිණි තිබේ. දශක තුනක් තිස්සේ රටට ශාපයක්ව තිබූ යුද්ධය නිමාවීමත් සමඟම මෙරට සංවර්ධනය කිරීමට බොහෝ විට දුර්වලතා දැන හඳුනාගෙන තිබීමෙන් වාසියක් සැලසෙන බැවිනි. දේශීය දේ අගය කරන ‍දේශීය වශයෙන් රටෙහි සියඵ කේෂ්ත්‍රවල දියුණුවක් දැකිය හැක්කේ මූලික වශයෙන් එරටෙහි පාසැල් හා උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රටට ගැලපෙන පරිදි කිසියම් අනාගත දැක්මකට අනුව නැවත යාවත්කාලීන කිරීමෙන් බව දැනට බොහෝ කාලකට පෙරම මෙරට අධ්‍යාපනඥයින් ඇතුඵ බොහෝ විද්වතුන් විසින් පෙන්වා දී ඇති කරුණකි. අප රට බොහෝ කාලවකවානුවක් තිස්සේ බටහිර ජාතීන්ගේ යටත් විජිතයක් වී තිබූ හෙයින් මෙරට ජනයා ස්වදේශීය උරුමයන්ට වඩා විදේශීය හා විජාතික හරසුන් දේ මහත් හරසරින් යුක්තව අගයන්නට පුරුදු පුහුණුව සිටී. භාෂාව, සංස්කෘතිය, සමය සංකල්ප, ආකල්ප හා මතවාද පමණක් නොව සමේ වර්ණය පවා මහත් සේ උත්කර්ෂයට නංවා පිළිගනු ලබයි. තමාගේ උරුමය ආචීර්ණ කල්පික දේ ඇගයීමක් ලෙස හෝ අතීත කාමය වින්දනය කිරීමක් සේ සලකා එකහෙළා ඉවතලා ඒ වෙනුවට දොහොත් මුදුන් තබා හරසරින් විජාතික නිෂ්ඵල සම්පප්‍රලාප මහත් වැදගත් දේ ලෙස පරමාදර්ශ තලයට නංවා තබා තිබේ. ඉංග්‍රීසි භාෂාව කඩුවක් සේ දකින්නේත් සිංහල භාෂාවේ රසාලිප්ත ජීව ශක්තිය මරා දැමීමට ප්‍රයත්න දරන්නේත් අපට ප්‍රදානය කළ ව්‍යාජ නිදහසින් පසු මෙරට ඉතිරිකර ගිය ස්වදේශික සමේ වර්ණයෙන් හා පැහැයෙන් යුක්ත නමුත් අභ්‍යන්තර චිත්ත ස්වභාවයෙන් විදේශික වූ අමුතුම ආකාරයෙහි පුද්ගලයන් කොට්ඨාශයක් මෙරටෙහි සමාජ ආර්ථික හා දේශපාලනික ක්‍රියාවළිය හැසිරවීම හා මෙහෙයවීමේ කාර්යභාරය ඉසිලූ හෙයිනි. ඒ යටතේ මෙරට අධ්‍යාපන ක්‍රියාවළිය ඔස්සේ තව දුරටත් විදේශිකයින්ට අවශ්‍ය චිත්ත ස්වභාවයෙන් යුක්ත ඔවුන්ට ගැතිකම් කරන දේශීය මතුපිට හැඩයෙන් යුතු අභ්‍යන්තරගත විදේශීය සිතුම් පැතුම් හා ආකල්ප වලින් සමන්විත පුද්ගලයින් බිහි වෙමින් පවතියි. නිදහස ලබා විශාල කාලයක් ගත වී ඇති තැනින් තැනට සරිලන පැලැස්තර දැමීමට සමාන විසඳුම් ක්‍රියාත්මක කිරීමට විනා මුත් තවමත් අපගේ දේශීය චින්තනය අවශ්‍ය ආකාරයෙහි හා අපගේ රටෙහි සම්පත්වලට ඔබින නිෂ්පාදන ක්‍රියාවළියට සක්‍රියව දායක විය හැකි අනාගත පරපුරක් බිහි කිරීමට යෝග්‍ය අප රටට ඔබින දේශීය අධ්‍යාපන රටාවක් සකසා ගැනීමට නොහැකි වී තිබේ. අධ්‍යාපන දර්ශනය පිලිබඳ වියතුන් ප්‍රාඥයින් එක්ව පිලියෙළ කළ, කිසියම් දූරදර්ශී දැක්මකට අනුගතව වරින් වර බලයට පත්වන පාලක ප්‍රජාව අනුව තට්ටු මාරු නොවන කිසියම් විධිමත් ප්‍රතිපත්තියකට අනුව සකස් කළ අධ්‍යාපන ක්‍රමවේදයක් අප රට තුළ සකස් විය යුතුමය. එවැනි අඛණ්ඩව ක්‍රියාත්මක වන විධිමත් හා ප්‍රායෝගික ලෙස සැලසුම්ගත අධ්‍යාපන දර්ශනයක් හා ප්‍රතිපත්තිවල වෙනසක් නොවන ආකාරයෙහි ක්‍රමවත් සකස්කළ වැඩපිළිවෙළක අවශ්‍යතාවය දැනට ඉතා දිගු කලක පටන් අප රටට මහත් සේ දැනේ. වර්තමානයෙහි පාසැල් අධ්‍යාපනයෙහි දී ගුරුවරයා ස්වකීය ගුරු භූමිකාව සාර්ථකව ඉටු කිරීමට ‍අපොහොසත් වන පරිදි පැවරී ඇති ලිපිකරුවෙකුගේ රාජකාරිවලින් මුදවා දරුවෙකුහට ඉගැන්වීමට සුදුසු මානසික වාතාවරණයක් සකස්කොට දීම අධ්‍යපන ප්‍රතිපත්ති සකස් කරන්නන්ගේ යුතුකමකි. එසේම ලංකාවේ කුමන හෝ පාසැලක තම සේවය ලැබිය යුතු අසරණ දරු පිරිසකට සිය සේවය ලබාදීමට ද ගුරුවරුයා පියවර ගැනීම තම වෘත්තියෙහි ගරුත්වය ආරක්ෂා කර ගැනීමක් බව ගුරුවරයා ද සිතිය යුතුය. තමාට ලැබිය යුතු වරප්‍රසාද සේම තමාගෙන් රටට විය යුතු යුතුකම මැනවින් ඉටු කිරීම ද ගුරුවරයා පිලිබඳ සමාජ ආකල්පය යහපත්වීමට බලපාන බව පැහැදිලි විය යුතුය.
මූලික පාසැල් අධ්‍යාපනය එසේ සකස් වන අතර උසස් අධ්‍යාපනය හෙවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද අප රටට ඔබින ආකාරයට සැලසුම් සහගතව සිදුවිය යුතුය. මෙරට වර්තමානයෙහි ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල විශ්වවිද්‍යාවල ආකෘතික රටාවම වන අතර එය පවා හුදෙක් ක්‍රියාත්මක වන්නේ එහි නමට ඔබින සේ ශිෂ්‍ය ප්‍රජාවහට විශ්ව තලයෙහි අධ්‍යාපනයක් ලබාදෙන අයුරින් නම් නොවේ. එය එක් පිරිසකගේ පමණක් වරදක් නිසා ඇතිවන තත්වයක් නොවන අතර සමස්ත ක්‍රියා කලාපයෙහි පවතින අවිචාර පූර්වක ස්වභාවය සමාජයෙන් මුළුමනින්ම ස්වායක්ත නොවන ආයතන ව්‍යුහයක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ද විද්‍යමාන වීම ස්වභාවිකය. විශ්ව අධ්‍යාපනයක් ලබාදෙන ස්ථානයක පැවතිය යුතු සංවාදශීලී පරිසරය, පර්යේෂණයෙහි ලැදියාව, නිර්මාණශීලී කුසලතාවය හා විරුද්ධ මතවාදවලට දක්වන සහනශීලී ආකල්ප වැනි දේ ක්‍රමයෙන් විශ්වවිද්‍යාල සංස්කෘතියෙන් ඈත් වෙමින් පවතින්නේ නූතන සමාජයෙහි පවතින සමාජ ආර්ථික හා දේශපාලනික ගැටළුවල සම්පර්කය නිසාම යැයි පැවසිය නොහැක. සමාජයට නිවැරදි මඟ  පෙන්වන යහපත් පූර්වාදර්ශයක් සැපයීම විශ්වවිද්‍යාල මඟින් බිහි වන නිදහස් බුද්ධිමතුන්ගෙන් අනිවාර්යයෙන් සිදු විය යුතු යුතුකමකි. එය ඔවුන්හට නිදහස් අධ්‍යාපනය ලබාගැනීම වෙනුවෙන් බදු මුදල් ගෙවන සාමාන්‍ය මහ ජනතාව වෙත පියවිය යුතු ණයක් පියවීමකි.
විශ්වවිද්‍යාල නිදහස් චින්තනය ගවේෂණශීලී මතවාදවලට හා නිර්මාණශීලී අදහස් වලට තොන්තැන්නක් විය යුතු නමුත් විශ්විද්‍යාලයට පා තබන ශිෂ්‍යයා විශ්විද්‍යාලයට ගිය පසුව තමා තුළ නිසර්ගයෙන්ම තිබූ ගවේෂණශීලී විමර්ශනශීලී නිර්මාණශීලී ආකල්ප පවා දුර්වල කර හැරීමට වර්තමාන විශ්වවිද්‍යාල පරිසරය සකස්ව පවතියි. අනෙක් අතට රජය විසින් අති මහත් වියදම් දරා ශිෂ්‍යයින් වෙනුවෙන් ලබාදෙන උසස් අධ්‍යාපනයෙන් ශිෂ්‍ය ප්‍රජාව නිසි ඵල ප්‍රයෝජන ලබා ගන්නවාදැයි යන්න වෙනම කරුණකි. එසේ ප්‍රයෝජන ලබා තමාගේ උසස් අධ්‍යාපන කටයුතු මහත් උත්සහයෙන් ධෛර්යයෙන් කරගෙන යන බහුතර ශිෂ්‍යයින්ට සෘණාත්මක ආකල්ප සහිත සිසුන් අතළොස්සකගේ බලපෑම්වලට යටත් වන්නට සිදු වේ. විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන මුළු ශිෂ්‍ය කාලය පුරාව ශිෂ්‍යයෙකුගෙන් බලාපොරාත්තු වන්නේ ඒ මුළු මහත් කාලය පුරාව අඛණ්ඩවම උසස් අධ්‍යාපනයට අදාළ ශාස්ත්‍රීය කටයුතුවල යෙදී සිටීම මිස පූර්ණකාලීනව රැකියාවල, ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරකම්වල, දේශපාලනය අරමුණු කරගත් සමාජ සුබ සාධන කටයුතු ආදී කුදු මහත් වෙනත් කටයුතුවල යෙදී සිටින අතර අර්ධකාලීනව ඉඩක් කඩක් විවේකයක් ලැබෙන විටක පමණක් අධ්‍යාපන කටයුතුවල නිරත වීම නොවේ. ස්වකීය මුළු කාලයම අධ්‍යාපනය හැර වෙනත් කටයුතුවල නිරතවන ඇතැම් ශිෂ්‍යයින් පරිපාලනය මඟින් ස්වකීය පැමිණීම වාර්තා කිරීම සඳහා ලබා දෙන ලද පැමිණීමේ වාර්තා මසකට හෝ වසරකට එක් දිනක් පමණක් විශ්වවිද්‍යාලයට ගොස් ඒ මාසය හෝ වසර පුරාම ස්වකීය අත්සන යොදා ලකුණු කරන්නේ 80% පැමිණීම විභාග හා ශිෂ්‍යාධාර සඳහා අවශ්‍ය හෙයිනි.
අවංකවම කැපවීමෙන් ස්වකීය උසස් අධ්‍යාපනයෙහි අරමුණු සම්පූර්ණ කරගැනීම පිණිස දිවා රෑ නොතකා දැඩි කැපවීමෙන් වෙහෙසීමෙන් කටයුතු කරන ශිෂ්‍යයින් එසේ නොවන අතළෙ‍ාස්සක් ශිෂ්‍යයින්ගේ ඊර්ෂ්‍යාවට, අපහාස කිරීම්වලට ලක් වෙමින් හා ආචාර්යවරුන්ගේ ආශිර්වාදයට පාත්‍ර වෙමින් තමන්ගේ උසස් අධ්‍යාපනයෙහි පරමාර්ථ ශාක්ෂාත් කරගැනීමට සමත් වෙති. නමුත් මේ සා දුකක් විඳ ඉතාමත්ම ඉහළින් ලකුණු ලබා සමස්ත ලකුණුවල ප්‍රතිශතය 75%-80% ට එහා රඳවාගෙන ප්‍රථම පන්තියෙහි සාමාර්ථ ලබා ස්වකීය ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන දක්ෂයින් විශ්විද්‍යාල ආචාර්ය මණ්ඩල සඳහා බඳවාගෙන ඔවුන්ගේ සේවය විශ්වවිද්‍යාල පද්ධතියට නැවතත් උකහා ගන්නවාදැයි යන්න විමසිල්ලට ලක් කළ යුතු වෙනම කරුණකි. ඒ වෙනුවට විශ්විද්‍යාලවල වර්තමානයෙහි ආචාර්ය මණ්ඩල සඳහා බඳවා ගැනීම් සිදු කරන්නේ යම් යම් අයගේ අතපෙවීම හා බලපෑම් මත එක්තරා කල්ලිවාදයන් අනුවය. මේ සම්මුඛ පරීක්ෂණවල දී බලවත්ම අසාධාරණයට පාත්‍ර වන්නේ පුරුෂ පක්ෂයෙහි අයයි. මන්ද යත් පවතින සමාජ ක්‍රමය තුළ පුරුෂයෙකුහට ඉදිරියට ඒමට ඇති එකම ක්‍රමය ස්වකීය දක්ෂතා මතම පමණක් බැවින් කාන්තා අපේක්ෂිකාවන්ට ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට වඩා සමේ පැහැයට, නාරි දේහයට හා රූපයට ප්‍රමුඛත්වය ලැබෙන බැවිනි. පිරිමින්ට සිදු වී ඇත්තේ බූවල්ලෙකු මෙන් දළු දමා වැඩී මුළු මහත් සමාජ දේහය පුරා අසාධ්‍ය පිළිකාවක් මෙන් ව්‍යාප්තව ඇති ඇති ස්ත්‍රී වාදයට ( Feminism) සාපේක්ෂකව පුරුෂවාදයක් ( Manliness ) හෝ ගොඩනඟා වැළලී යන ස්වකීය විමුක්තිය අනාගතයෙහි එයින්වත් උදාකර ගැනීමටයි. මේ තත්වය ලොව ඉහළම ඝනයෙහි බුද්ධිමතුන් බිහි කරනු ලබතැයි කියනු ලබන විශ්විද්‍යාල ආචාර්ය මණ්ඩල සදහා බඳවා ගැනීම් සිදු කිරීමේ දී පවා අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වේ. විශ්විද්‍යාලවල ආචාර්ය මණ්ඩල සඳහා බඳවා ගැනීමේ දී නියමිත ලෙස පුවත්පත් දැන්වීම් පළ කර සම්මුඛ පරීක්ෂණ කැඳවා විධිමත්ව ඒ කටයුතු සිදු කරන බව මතුපිටින් පෙන්නුවද අභ්‍යන්තරගතව ක්‍රියාත්මක වන්නේ ඊට සම්පූර්ණයෙන්ම පරිබාහිර වෙනම ක්‍රියාදාමයකි. මෙවැනි අර්ධරාජ්‍ය ආයතන ව්‍යුහයක කටයුතු දෙපාර්තමේත්තු අමාත්‍යාංශ මෙන් විනිවිද නොයන හා විගණන පරීක්ෂණ පැවැත්වීම් වැනි දේ අවම වීම නිසා මහජනතාවට වගකිව යුතු බවින් බොහෝ දුරට ස්වායක්තවීමේ අවදානම ද මෙහි දී පෙනෙන්නට තිබේ.
විශ්විද්‍යාල ආචාර්ය මණ්ඩල සදහා බඳවා ගැනීම්වල දී එකී සම්මුඛ පරීක්ෂණ මෙහෙයවනු ලබන හා තීරක බලය හිමි වන අංශාධිපති, පීඨාධිපති, උප කුලපති, කුලපති ආචාර්ය මහාචාර්යවරුන්හට හිමි වන්නේ අද්විතීය බලයකි. එහි දී තම තමන් විසින් සහය පළ කරනු ලබන තමාගේ අපේක්ෂකයා කෙසේ හෝ පත්කර ගැනීමේ අරමුණින් යුක්තව අදාළ සම්මුඛ පරීක්ෂණ මෙහෙයවනු ලබන අතර අදාළ පරීක්ෂණයට මුහුණ දෙනු ලබන අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් අසනු ලබන්නේ ද තමා අයදුම් කළ විෂයයට හෝ පශ්චාත් උපාධි හා පර්යේෂණ කුසලතා ලබාගත් අධ්‍යයනයන්ට අදාළ දේ නොව තමා අනියම් ලෙස උදව් කරන අපේක්ෂකයාට හෝ අපේක්ෂිකාවට වාසි සැලසෙන දේය. සම්මුඛ පරීක්ෂණ නිමාවෙන් පසුව වුව ද තම තමා අනියම් ලෙස උදව් කරනු ලබන පුද්ගලයා අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් කොට බඳවා ගැනීම ගත යුතුම යැයි බලකිරීම නිසා පීඨ මණ්ඩල හා පාලක සභා නියෝජනය කරන මහාචාර්යවරු අතර හටගන්නේ එකම බළල් පොරයකි. එබඳු අවස්ථාවල දී මෙම කලකෝලාහළ කරගැනීම් දුරදිග යන්නේ ධීවර වෙළඳ සැල් සිහි ගන්වමිනි. ගැටළුව විසඳුමකින් තොරව ඒ ඒ පීඨවල ආචාර්ය මහාචාර්යවරු තම තමාගේ පුද්ගලයා පිණිස එකිනෙකා හා කා කොටා ගන්නා තැන දක්වා ගැටුම උග්‍ර වත්ම, අවසානයෙහි සියල්ල අහෝසි කොට විසුරුවා හැරීමට පාලක සභාව පියවර ගැනිමට සිදු වන්නේ වෙන සිදු කළ හැකි අන් යමක් නොමැති නිසාය. මේ නිසා සම්මුඛ පරීක්ෂණය අවසානයෙහි එකී සම්මුඛ පරීක්ෂණ කිසිදු හේතුවක් නොදන්වා අහෝසි කොට නැවතත් සම්මුඛ පරීක්ෂණ කැඳවීමට පාලක සභා අත්තනෝමතිකව ක්‍රියා කිරීම මහත්ම ඛේදවාචකයකි. මෙවැනි ළාමක කටයුතු නිසා එකම කරුණ වෙනුවෙන් බොහෝ වරක් නැවත නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වමින් නිකරුනේ මහජන බදු මුදල් ඒ පිණිස කාබාසිනියා කිරීම එය මීට වඩා ප්‍රයෝජනවත් වෙනත් කාර්යයට යොදා ගැනීමෙන් සාපරාධි ‍ලෙස වැළක්වීමකි. සෑම විශ්වවිද්‍යාලයකම සෑම පාලක මණ්ඩල සභිකයෙක්ම, අංශාධිපති, පීඨාධිපති, ආචාර්ය මහාචාර්ය කුලපති උපකුලපති වරයෙක්ම මේ හා සමාන නොවේ. උසස් මහත්මා ගති ඇති බුද්ධිමත් ජංගම පුස්තකාල හා සමාන දැනුමින් පොහොසත් විශ්වවිද්‍යාල හෙබවිය යුතු උතුම් අය බොහෝ ඇත. එවන් අය මෙබඳු අවස්ථා පැණ නැඟුනු කළ සුදුස්සාට සුදුසු ස්ථානය හිමි කරදීමට වෙහෙස වුවත් යම් යම් අවස්ථාවල සාධාරණ නොවන අයට තීරක බලය හිමිව තිබීම නිසා එවැනි අය ද අසරණ වන අවස්ථා බොහෝ ඇත.
බුදුදහමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම රටෙහි ව්‍යවස්ථාවෙන් පවා විද්‍යමාන වන තත්වයකි. එවන් වාතාවරණයක ඕනෑම රජයක් විසින් බුදු දහම හා බුදු දහම ත්‍රිපිටකාගත කොට ඇති පාලි භාෂාව පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමින් උසස් අධ්‍යාපනයක් ඇති කරවීම සඳහාම වෙනම විශ්වවිද්‍යාල පවා ස්ථාපිත කොට තිබේ. රජය මඟින් ඒවාට දරණ වියදමට සාපේක්ෂකව ඒවා නිසා බුදු දහම හා පාලි භාෂාව ප්‍රවර්ධනය කිරීමත් අනාගතයට ඔබින ධර්මවිනය දත් උගතුන්, ධර්ම සන්නිවේදකයින් හා තුලනාත්මක සමය දර්ශන ශාස්ත්‍රයෙහි හසල නිදහස් බුද්ධිමතුන් බිහි කිරීමත් උදෙසා කිසියම් මෙහෙවරක් හෝ සේවයක් සිදු වනවාද යන්න වෙනම කරුණකි. එසේ සිදු නොවේ නම් එය සිදු වන ආකාරයට සකස් කරගැනීමට අවශ්‍ය කටයුතු නොපමාව ඉටුකිරීම එක් අතකින් මහඟු පින්කමක් ද වන්නේමය. බුදු දහම ස්ත්‍රීන් පිළිකෙව් කරන හෝ ප්‍රතික්ෂේප කරන පුරුෂෝත්තමවාදී දහමක් නොවේ. පුරාණ භාරතයෙහි බමුණු සමාජයෙහි වැළලී ගිය ස්ත්‍රී අයිතිවාසිකම් නැවත ස්ථාපනය කොට මාතෘත්වයට හිමි නියම වටිනාකම ලබා දුන්නේ බුදුරදුන් විසිනි. එතකුදු වුවත් හුදෙක් නාරිලතා මණ්ඩප හා ස්ත්‍රී පුර සිහි කැඳවන ආකාරයේ අධ්‍යයන හා පරිපාලන තනතුරු සියල්ලක්ම පාහේ ලාබාල තරුණ සුකොමළ ළඳුන්ගෙන්ම පමණක් සුසැදි විටක ජව සම්පන්නව සිදු කළ යුතු කාර්යය, ජය ගත යුතු අභියෝග හා අනාගත අභිමථාර්ථ රැසක් කෙසේ කුමනාකාරයෙන් ඉටු කරන්නේද යන ගැටඵවට අනිවාර්යයෙන්ම මුහුණ පෑමට සිදුවන බව පෙන්වා දිය හැකිය.
විශ්විද්‍යාලවල උසස් අධ්‍යාපනය ලබන සිසුන් හට විවිධ ප්‍රශ්න, අමාරුකම් හා අසීරුතා ඇති බව සැබෑය. නේවාසිකාගාර, ආහාර පාන, ශිෂ්‍යාධාර සීමා, ගමනාගමන ආදී නොයෙක් කේෂ්ත්‍රවල ගැටළු අධ්‍යාපන කේෂ්ත්‍රයට අමතරව ශිෂ්‍යයින්හට ඇති වේ. නේවාසිකාගාරවල සිටිය හැකි ප්‍රමාණයටත් වඩා ඒ තුළ අසීරුවෙන් සිර වී දුක සේ අධ්‍යාපනය නිමා කරයි. වරෙක පරිපාලනය පොලිසිය ලැගුම්හල්වල් වටලන්නාක් මෙන් ශිෂ්‍ය නේවාසිකාගාරවලට කඩා පනින්නේ ඒ තුළ බාහිර පුද්ගලයන් සිටිතිදැයි සැකකොටය. පිටකොටුවෙහි මල්වත්ත, මැලිබන් වීදිය හා ප්‍රින්ස් වීදිය මඟ දෙපස අලෙවිය පිණිස ගොඩගසා ඇති විවිධ තරාතිරමේ භාණ්ඩ සිහි ගන්වන සරසවි නේවාසිකාගාර ඇතුළත ද ඇතැම් විටක නැති දෙයක් නොමැති තරම්ය. ශිෂ්‍ය ජීවිතයෙහි ලබන දුක හා පීඩනය පසු කලෙක සිහිපත් කොට ඉන් මිහිරක් ලැබිය හැකි කලාතුරකින් පමණක් කෙනෙකුහට උරුම වන උසස් අධ්‍යාපන වරම් නිසාම හිමිවන භාග්‍යයක් ලෙස ද පෙනී යා හැකිය.
නූතන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සම්බන්ධයෙන් බාහිර සමාජය තුළ ඇතිවී තිබෙන ආකල්ප එතරම් හිතකර නොවේ. එමෙන්ම රාජ්‍ය හා පුද්ගලික ආයතනවල ව්‍යවසායක පක්ෂය උපාධිධාරී තරුණ කොටස් දෙස හෙළන්නේ ද ධනාත්මක ආකල්පයක් නොවේ. සෑම උපාධිධාරියෙක්ම හොඳ දෙයට විරුද්ධ වන සමාජ සංස්කෘතික සම්ප්‍රදායයන්ට එරෙහිව රැඩිකල් මත දරණ විප්ලව වාදියෙකු නොවෙතත් එවන් සැකමුසු ආකල්පයකින් උපාධිධාරියා දෙස බැලීමට සමාජයෙහි බොහෝ දෙනා පෙළඹේ. එවන් තත්වයක් ඇති වීමට විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් ද වගකිව යුතුය. හේතුව තමා ලබන උපාධියට සරිලන බුද්ධියක් දැනුමක් නිර්මාණශීලීත්වයක් නව ආකල්ප හා මානුෂික සංවේදීත්වය උපාධිධාරියා තම විශ්වවිද්‍යාල ජීවිතය තුළ සරිකර ගන්නේද යන කාරණයයි. උසස් පෙළ සියළු විෂයයන් සඳහා උපකාරක පන්ති මඟින් ඉලක්කගත ප්‍රශ්නොත්තර ක්‍රමයට විභාග සමත්වීම සඳහාම දැනුම ලබා තුරඟ තරඟ සඳහා අශ්වයන් සූදානම් කරන්නාක් මෙන් සූදානම් වී කිසිදු මානුෂික සංවේදී බවකින් තොරව හුදු විෂය දැනුම පමණක් කරපින්නාගෙන විශාල තරඟකාරී බවකින් උසස් පෙළ කඩුල්ල පැන විශ්වවිද්‍යාලයට අධ්‍යාපනයට යොමුවන ශිෂ්‍යයාහට එහිදී ද සිදු වන්නේ කථිකාචාර්යවරුන් විසින් ලබාදෙන දේශන සටහන් වනපොත් කරන්නටය. එම සටහන් වසර ගණනක් පැරණිය. මේ ක්‍රමය යටතේ කිසිදු විචාර පූර්වක දැනුමක් ආකල්පයක් කුසලතාවක් හෝ නිර්මාණශීලී ශක්‍යතා පිළිබඳ පුහුණුවක් ශිෂ්‍යයාහට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් ද නොලැබී විශ්වවිද්‍යාලයෙන් පිට වූ පසුව ද උගත්කමට සරිලන රැකියාවක් නොලැබීම නිසා වන අපේක්ෂා භංගත්වයෙන් පෙළීමේ මානසික පසුබිමක් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන අවධියේ සිටම ශිෂ්‍යයාහට ලැබීමයි. නවක වදය, ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරකම්, දේශපාලනය වැනි දේ වලට සරසවි ශිෂ්‍යයා යොමු වන්නේ මෙම අපේක්ෂා භංගත්වයෙන් තාවකාලිකව හෝ අත්මිදීමේ මානසික සංරක්ෂණ ක්‍රමයක් ලෙසයි. අනෙක් අතට විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරුන්ගෙන් තමා නොදන්නා හෝ නොවැටහුනු දෙයක් පිලිබඳව ප්‍රශ්න අසා දැන ගැනීමට යාම ද එක්තරා අතකින් තමාගේ දක්ෂතාවය අනුව හිමිවන අනාගත පන්ති සාමාර්ථය අහිමිවීමට තරම් ආනන්තරීය අකුසලයක් බව දන්නා ශිෂ්‍යයා ද දේශන අවස්ථාවල දී හැකිතාක් නිශ්ශබ්දතාවයම ආරක්ෂා කර ගැනීමට හා සටහන් ලියා ගැනීමට පමණක් උත්සුක වේ.  අනෙක් අතට ශිෂ්‍යයන් තමාගෙන් ප්‍රශ්න ඇසූ විටක තමාගේ නොදන්නා කම එයින් හෙළි වෙතැයි බිය මුසු සැකයකින් කටයුතු කරන ඇතැම් කථිකාචාර්යවරියෝ විභාගවල දී දක්ෂ සිසුන්හට හිතාමතාම ලකුණු අඩු කිරීම මඟින් පන්ති සාමාර්ථ අහිමි කිරීමට කටයුතු කරති. එයට හේතුව විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩල සඳහා බඳවාගෙන ඇත්තේ ඉහළම සුදුසුකම් ලැබූ දක්ෂ අය අය නොව දැනහැඳුනම්කම රූපය වැනි වෙනත් සාධක මත සේවය සඳහා තෝරා ගනු ලැබූ අය වීමයි. දක්ෂ සිසුන්හට ප්‍රමුඛත්වය ලබාදීමෙන් ඔවුන් ආචාර්යවරු ලෙස සේවයට බැඳී ඒ නිසා පසුකාලයක දී තමා කොන්වීවේය යන අනියත බියෙන් පෙලීම මෙයට හේතුවයි. ප්‍රථම පංති සාමාර්ථයට හා පර්යේෂණ පශ්චාත් උපාධි කුසලතාවයට වඩා අංශාධිපති හා පීඨාධිපති වඩාත් ප්‍රිය කරන පුද්ගලයා සම්මුඛ පරීක්ෂණවල දී තෝරා ගැනීමට අවශ්‍ය ඉඩකඩ ඔවුන්හට විශ්විද්‍යාල පාලක සභා මඟින් නිර්මාණය කර දී තිබේ. විශ්විද්‍යාල ආධුනික කථිකාචාර්ය තනතුරු වලට අපේක්ෂකයින් බඳවා ගැනීම සඳහා පවත්වන ඇතැම් සම්මුඛ පරීක්ෂණ රූප සුන්දරී තරඟවලට වඩා චිත්තාකර්ශණිය ප්‍රේමනීය බවක් උසුලයි. නුසුදුස්සාහට නුසුදුසු තැන ලබාදුන් විට සුදුස්සන් කොන්වීම සනාතන දහමකි. මේ හේතුව නිසා විශ්වවිද්‍යාලය තුළ දීම නිශ්ශබ්දතාවයෙහි, නිර්මාණශීලී හැඟීම් හා ආකල්ප වලින් තොරවීමේ වැදගත් පාඩම ඉගෙන ගන්නා සිසුන් රාජ්‍ය හා පුද්ගලික සේවය සඳහා එක්වීමෙන් පසුව වුව ද තමා විශ්වවිද්‍යාලයෙහි දී ඉගෙනගත් ආකාරයට කටයුතු කිරීමට හා සේවය කිරීමට පෙළඹීම ස්වභාවිකය. මෙහි දී කිව යුත්තක් ද ඇති එනම් වර්තමානයෙහි පවා විශ්වවිද්‍යාල වල අති දක්ෂ කථිකාචාර්යවරු සිටින බවය. මෙබඳු කථිකාචාර්යවරු බොහෝ විට ගිහි හෝ පැවිදි පුරුෂ පක්ෂයෙහි අයයි. ඔවුහු තමා දේශනවල දී උගන්වන දෙයට වඩා වෙනස් කරුණු තර්කානූකූලව හේතු සාධක සහිතව විභාගවල දී පිලිතුරු සපයන ලද සිසුන්හට තමාගේ දේශන සටහන් කටපාඩම් කොට ඡායා පිටපත් කරනු ලැබුවා සේ පිලිතුරු සපයා ඇති සිසුන්ට වඩා වැඩිපුර ලකුණු දෙන නිර්මාණශීලී හැකියාවන් වලට ප්‍රමුඛත්වය පිරිනමන තමන්ගෙන් ප්‍රශ්න ඇසීම අගය කරන උතුම් ගතිගුණ ඇති කථාකාචාර්යවරු ද වර්තමාන විශ්විද්‍යාල ආචාර්ය මණ්ඩල තුළ වෙති.
මෙරට විශ්වවිද්‍යාල‍වලින් එක් එක් විෂය කේෂ්ත්‍රයන්ගෙන් ප්‍රථම උපාධි ලබා පිටවන පිරිසට සාපේක්ෂකව පශ්චාත් හා පර්යේෂණ උපාධි හදාරන පිරිස අල්පය. පශ්චාත් උපාධි හදාරන අපේක්ෂකයන්ට ඒ සඳහා පර්යේෂණ උපදේශක වරයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ සේවය ලබාගත හැකිය. මහාචාර්යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ස්වකීය පර්යේෂණය සිදු කරගැනීමට පශ්චාත් උප‍ාධි අපේක්ෂකයාට අවස්ථාව ලැබේ. පර්යේෂණ උපාධි නිබන්ධනය මහාචාර්යවරයෙකුගේ අධික්ෂණය යටතේ සිදු කිරීම නිසා ස්වකීය රචනා කුසලතාවය හා කිසියම් කරුණක් ගැඹුරෙන් ප්‍රකාශ කරගැනීමේ හැකියාව දියුණු කරගැනීමට මෙහි දී පශ්චාත් උපාධි අපේක්ෂක සිසුවාට අවස්තාව ලැබේ. මෙය ප්‍රථම උපාධිය හදාරන සිසුවෙකුහට නොලැබෙන වරප්‍රසාදයකි. බොහෝවිට ප්‍රථම උපාධිය සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ ආධුනික හෝ සාමාන්‍ය කථිකාචාර්යවරු වන හෙයිනි. විශ්විද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයයන්ට නම් ස්වකීය ආධුනික කථිකාචාර්ය තනතුර ස්ථිර කර ගැනීම පිණිස පශ්චාත් හා පර්යේෂණ උපාධි හැදෑරීම අනිවාර්ය අවශ්‍යතාවකි. එබැවින් හුදෙක් ස්වකීය ශාස්ත්‍රීය ගවේෂණ හා පර්යේෂණ ලැදියාව නිසා නොව තම තනතුර ස්ථිර කරගැනීම සඳහා පමණක්වත් කථිකාචාර්වරු පශ්චාත් උපාධි හදාරති. එහි දී ඒවා වුව ද හැකිතාක් ස්වකීය ලියාපදිචිය දීර්ඝ කරමින් සිට කෙසේ හෝ තම පශ්චාත් උපාධිය නිම කරගැනීමට වෑයම් කිරීමක් මිස පර්යේෂණ කුසලතාවය දියුණු කරගැනීමේ උවමනාවෙන් සිදු කරන්නක් නොවේ. පශ්චාත් උපාධි වර්ග රාශියකි. නියමිත විෂය කේෂ්ත්‍රයක් ආශ්‍රිතව සිදු කරන පර්යේෂණය පර්යේෂණ වාර්තාවක් හෝ නිබන්ධනයක් සහිතව එළි දැක්වීම එක් විධියකි. අනෙක එබඳු පර්යේෂණ නිබන්ධනයක් රහිතව සිදු කරන ප්‍රශ්න පත්‍රවලට පමණක් මුහුණ දී සිදු කරන පශ්චාත් උපාධියි. මෙයින් වඩාත් උසස් ලෙස සැලකෙන්නේ පර්යේෂණ පදනම් කරගෙන සිදු කෙරෙන පර්යේෂණ වාර්තා හා නිබන්ධන සහිතව සිදු කරන පර්යේෂණ පශ්චාත් උපාධියි. එවැනි පර්යේෂණ නිබන්ධන පදනම් කරගන්නා ලද පශ්චාත් උපාධිවලට නිදසුන් ලෙස කිසියම් නියමිත විෂයයක් පිලිබඳව දර්ශනපති, දර්ශනසූරි, දර්ශන විශාරද, ආචාර්ය උපාධි පර්යේෂණ හැඳින්විය හැකිය. මෙයට අමතරව එතරම් ගැඹුරු පර්යේෂණ ලෙස අර්ථ දැක්විය නොහැකි පර්යේෂණ වාර්තා හෝ නිබන්ධන පදනම් කරගත් කිසියම් විෂය ප්‍රදේශයක් පිලිබඳ විද්‍යාපති හෝ ශාස්ත්‍රපති පශ්චාත් උපාධි හැදෑරීමට බොහෝ දෙනෙක් උත්සහවත් වන්නේ කැපවීම එකී විෂය පිලිබඳ වෙහෙසීම අඩුවෙන් කර වැඩි ප්‍රතිඵලයක් හා ප්‍රතිලාභයක් බලාපොරොත්තු වන හෙයිනි.
පශ්චාත් උපාධි හැදෑරීම කෙරෙහි ප්‍රථම උපාධි ලැබූ අය උත්සහවත් වීම අඩුවීමට බලපාන තවත් හේතුවක් වන්නේ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා වැයවෙන මුදල, කාලය, ශ්‍රමය පිලිබඳව සිතීමයි. අනෙක පර්යේෂණ නිබන්ධනය කෙසේ හෝ දුෂ්කරතා මධ්‍යයේ රචනා කළාට පසුව ඒ පිළිබඳව තවත් අධ්‍යයන අවශ්‍යතා වන ලිඛිත හා වාචික පරීක්ෂණ පැවැත්වීම සඳහා විශ්වවිද්‍යාල මඟින් ලබා ගන්නා අතිරේක කාලයයි. ලිඛිත පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට වෙනම කාලයක් ද එසේ සැකසූ ප්‍රශ්න පත්‍ර සවත් පරීක්ෂක වරයෙකු ලවා ප්‍රමිතගත කරවා ගැනීමට තවත් කාලයක් ද බලාසිටින්නට සිදුවේ. ඇතැම්විටක පශ්චාත් උපාධිය වසර දෙකකින් නිම කළ හැකි වුවත් පර්යේෂණ නිබන්ධනය වසර දෙකකින් ලියා නිම කොට තවත් අතිරේක වසර කිහිපයක් ලිඛිත හා වාචික පරීක්ෂණ පවත්වන තෙක් ඒ සඳහා බලා සිටින්නට සිදු වේ ප්‍රතිඵල ලැබීමට තවත් කාලයක් යයි. ඒ අනුව එක් පශ්චාත් පර්යේෂණ උපාධියකට අවම වශයෙන් වසර හත අටක් බලා සිටින්නට සිදු වීමෙන් කාලය නිරපරාදයේ වැය වී යයි. තව ආචාර්ය උපාධි පර්යේෂණ සඳහා නියමිත කාලය වසර තුනක් වන නමුත් ඒ සඳහා ද කැප වී අවසානයෙහි අගතෙක් බුද්ධිමතෙක් වී සමාජයට සේවයක් කරන්නට සැරසෙන විට තමාගේ තරුණ ජව සම්පන්න සවි ශක්තිමත් හොඳම කාලය ගත වී මහළු වයසට පත් වී අවසානය. අවසානයෙහි සිදු වන්නේ රටට සමාජයට සේවය කිරීම කෙසේ වෙතත් නම ඉදිරියෙන් අලංකාරය පිණිස පශ්චාත් උපාධි නාමය භාවිතා කරමින් හෝ සැනසීමටය. පශ්චාත් පර්යේෂණ උපාධිධාරියාගේ අරමුණ එය නොවේ එහෙත් ලොව ඇති සියල්ල අනිත්‍ය නම් තමාට ලැබෙන දෙයකින් වත් සැනසීමට සිදු වේ. ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමේ පටන් ආචාර්ය උපාධිය දක්වා පැමිණිය යුතු ගමන ඉතා දිගු මහත් වැර වෑයමෙන් චිත්ත ධෛර්යයෙන් පැමිණිය යුතු කටුක ගමනකි. ලෝකයෙහි කවර රටකින් උපාධි පිට උපාධි ලබාගත්තත් ශ්‍රී ලංකාවේ විශ්විද්‍යාලයෙකින් නම් ලෙහෙසියෙන් උපාධි ලබා ගත නොහැකිය. උපාධි සඳහා ලියාපදිංචි වීම ද අසීරුය. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ මහාධිකාරණයෙහි වත් නොමැති තරම් අනම්‍යශීලී දැඩි නීති රීති පද්ධතියකට යටත්ව කටයුතු කිරීමට උපාධි අපේක්ෂකයාහට සිදු වේ. මෙරට විශ්විද්‍යාල ඔක්ස්ෆර්ඩ් කේම්‍බ්‍රිජ් විශ්වවිදයාල ආභාශය අනුව සකස්ව ඇති බව කියන මුත් එකී විදේශීය විශ්වවිද්‍යාල වලවත් මෙවැනි දරදඬු නීති රීති නොමැත. එක්වර අභ්‍යන්තර උපාධි එකකට වඩා ලියාපදිංචි වීම සපුරා තහනම්ය. මෙහි ඇති හාස්‍ය ජනක කරුණ වන්නේ විශ්විද්‍යාල දෙකක නම් ඒ තහනම එලෙසින්ම බලවත්ව නොපැවැත්වීමයි. හැකියාව ඇතිනම් ඒ පුද්ගලයාහට නීති රීති තහංචි පැණවීමේ හේතුවක් නොපෙනේ. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාට ස්වකීය දර්ශනපති හා ආචාර්ය උපාධි දෙකම එක්වර එකම විදේශීය විශ්වවිද්‍යාලයකින් ලබා ගැනීමේ දී මෙවන් සිදුවීමකට මුහුණ පෑමට සිදු වූ බව කියනු ලැබේ.
සමාජයෙහි සෑම පුද්ගලයකුහටම එක හා සමානව සැලසීම වර්තමාන සමාජයෙහි ඉතා උසස් ගුණයක් ලෙස සැලකේ. සමානාත්මතාවය ගරු නොකිරීම පාප කර්මයක් නොවෙතත් එය මනුෂ්‍යත්වයට නොගැළපෙන දෙයක් බව ශිෂ්ඨ මිනිස් සමාජයෙහි අදහසයි. මේ නිසා ජාති ආගම් බේදයකින් තොරව ශිෂ්ඨත්වය ගරු කරන වර්තමාන මිනිසා තමා සමඟ සමාජයෙහි ජීවත්වන ලොකු කුඩා මිනිසුන් සැමටම සමානාත්මතාවයෙන් සැලකීම උත්සුක වේ. විහේෂයෙන් බෞද්ධ ජනතාව මේ ගුණය අතින් ඉදිරියෙන් සිටී. බෞද්ධයාට සෑම ආගමිකයෙක්ම සෑම ජාතිකයෙක්ම මනුෂ්‍යයෙකු වශයෙන් සිතන්නට හා ඒ අනුව ක්‍රියා කරන්නට බුදු දහම මඟින් අවශ්‍ය ශික්ෂණය ලබා දී තිබේ.
ලක්දිව බුදු දහම ස්ථාපිතව අඛණ්ඩව සුරැකගෙන පැමිණීම සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙතින් ඉටු වූ අනුපමේය කාර්යභාරය මිළ කළ නොහැක. ඒ සම්බන්ධව මුළු මහත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ නමස්කාර පූර්වක ශ්‍රද්ධාව උන් වහන්සේලාහට හිමි විය යුතුමය. බුදුන් වහන්සේ ස්වකීය ආරම්භක භික්ෂූ සමාජය ස්ථාපිත කරනු ලැබුවේ කුමන පරමාර්ථයක් ශාක්ෂාත් කිරීමට ද ඒ සියළු අරමුණු ඉටු කිරීමට යෝග්‍ය සිල්වත් ගුණවත් උගත් බහුසෘත භික්ෂූන් වහන්සේලා සමූහයකින් සුසැදි ලක්දිව බෞද්ධ සංඝ සමාජය එකම පින් බිමකි. ඒ පින් බිමෙහි ඉපිද බුදු දහමේ ආභාෂය සහිතව තම දිවි පිවෙත ඉන් පෝෂණය කරගැනීමට භාග්‍ය ලැබීමට තරම් අප සැබෑ ලෙසම වාසනාවන්ත වී තිබේ. සම්බුදු දහම පවතින කාලයක ඉපිද එහි ආභාෂය ලැබීම පවා අෂ්ට ක්ෂණ සම්පත්තියට අයත් උසස් පුණ්‍ය කර්මයන්ගේ භාග්‍ය නිසා කිසියම් පුද්ගලයෙකුහට කළාතුරකින් පමණක් හිමි‍වන දෙයක් බව දහමේම විස්තර කර දී ඇත. දැනට සුපිරිසිදු ථෙරවාද බුදුසමය ‍ෙඑතිහාසික ස්වරූපයෙන් සුරක්ෂිත වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණි. එවන් තත්වයක් මැද නිරන්තරයෙන් පිරිසිදු ථෙරවාදී බුදු දහම සේවනය කිරීමසට පෙන්ම ඉන් ආශ්වාදයක් ලැබීමට ශ්‍රී ලංකාවාදී බෞද්ධ ජනතාව තරම් වෙනත් කිසිදු රටක වාසය කරන පුද්ගලයන් භාග්‍ය සම්පන්න නොවන බව පෙන්වා දිය හැකිය.
ආරම්භක පැවිදි සමාජය සකස් කිරීමේ දී බුදුරදුන් මූලිකවම ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ පාංශකූල චීවර, පිණ්ඩියාලෝප භෝජනය, පූති මුත්ත භෛසජ්ජය හා රුක්ඛ මූළ සේනාසනය යන සිව් නිශ්‍රයෙන් යැපිය හැකි බඹසර හැසිරීම පාදක කරගත් මූළික භික්ෂු ප්‍රතිපත්ති හා අරමුණු මැනවින් ආරක්ෂා කරමින් ධර්ම ප්‍රචාරක යාන්ත්‍රණයෙහි ජව සම්පන්නව යෙදීය හැකි පිරිසක් බිහි කිරීමටය. එහි දී අභිනවයෙන් ආරම්භ කරන බෞද්ධ සංඝ සමාජය සඳහා පැවිදි දිවියෙහි අත්දැකීම් ඇති අය කෙරෙහි පළමු අවධානය යොමු කර ඇති ආකාරය පැහැදිලි වන්නේ පස්වග මහණුන් අමතා ප්‍රථම ධර්ම දේශනය ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීම හා ඊටත් පෙර ආලාර කාලාම, උද්දක රාම පුත්ත වැනි අටසමවත් ලාභී සෘෂීවරුන් පිළිබඳව අවධානය යොමු කිරීම වැනි කරුණු අනුවය. බෞද්ධ ගිහියාගේ දිවි පැවැත්ම බාහිර අලංකාරයෙන් යුක්ත ආඩම්බරකාරී මොණරාගේ මන්දගාමී ස්වරූප වූ ගමනට ද පැවිද්දාගේ දිවි පැවැත්ම බාහිර අලංකාරයෙන් තොර වූ චාම් හංසයාගේ ජව සම්පන්න නිරහංකාර ගමනට ද බුදු දහමේ උපමා කර දැක්වේ. මූළික වශයෙන් භික්ෂූ ප්‍රතිමානය ඒ ආකාරයෙන් සමාජය තුළ පිළිගැනීමකට ලක් වූ නිසා ද දෙසූ දහම නිරවුල් පවතින සම්ප්‍රදායට වඩා නිර්මාණශීලී අළුත් දැක්මක් හෙළි පෙහෙළි කරවන බුද්ධිය අවධි කරවන සුළු නව දැක්මක් කෙරෙහි සිත යොමු කරවන්නක් වූ බැවින් ද බුදු දහම කෙරෙහි තත් යුගයෙහි සමාජයෙහි විසූ බාල තරුණ මහළු උගත් නූගත් දුප්පත් පොහොසත් සෑම තරාතිරමකම කෙනෙකුගේම අවධානය දිනාගෙන ජනප්‍රියව අති මහත් වේගයකින් සමස්ත භාරත දේශය පුරා ව්‍යාප්තව ගියේය. මේ යටතේ රජවරු, සිටුවරු, ශුද්‍ර, සැ‍ඬොල් වැනි කුළවල ජනයා ද විශේෂයෙන් භාරතීය බ්‍රාහ්මණ ආධිපත්‍යය ව්‍යාප්තව පැවති සමයෙහි පුරුෂ මූළික සමාජ ක්‍රමය නිසා පීඩාවට පත් වූ විවිධ තරාතිරම්වල විවිධ සමාජ මට්ටම්වල ස්ත්‍රීන් ද බුදු දහම කෙරෙහි ආකර්ෂණය විය. බුදු දහමේ ඉදිරිපත් කෙරෙන ඉගැන්වීම් මඟින් සදාචාර සංවර්ධනය කෙරෙහි වත් පොහොසත්, කුලමල හා ස්ත්‍රී පුරුෂ බව යන බාහිර බලපෑම්වලින් තොරව පුද්ගල ස්වච්ඡන්දතාවය මතම පමණක් චිත්ත දියුණුව මතම අදාළ පරමාර්ථ ශාක්ෂාත් කළ හැකිය යන කරුණු නිසා ඇති වූ බුද්ධි ප්‍රබෝධය බුදු දහමේ සීඝ්‍ර ව්‍යාප්තිය කෙරෙහි සෘජුවම බලපෑවේය. වර්තමානයෙහි පවා ‍අනෙකුත් ආගමික ඉගැන්වීම් අතර බුදු දහම ජනප්‍රිය වීමට මෙම හේතු සාධක එකහෙලා උපකාරී වන බව කිව හැකිය. එමෙන්ම සමාජයෙහි පැවැති මනුෂ්‍ය වර්ගයා පීඩාවට පත් කරන සාම්ප්‍රදායික අදහස් වලට එරෙහිව ස්වකීය නිදහස් චින්තනය නිර්භීතව ප්‍රකාශ කළ බුදුරදුන්ගේ අනුපේයමය ‍පුද්ගල පෞරුෂත්වය ද ඊට ප්‍රධන වශයෙන් බලපෑවේය. සාම්ප්‍රදායිකව උසස් රාජකීය පවුලක උපත ලබා මතු චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තියකට උරුමකම් කීව ද ඒ සියල්ල අඵයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා මනුෂ්‍ය වර්ගයා කෙරෙහි උපන් අනුකම්පාවෙන් පැවිදි දිවියක් ගත කළ බුදුරදුන්ගේ ගුණ සමුදාය ජනයාගේ සිත් සතන් වැළඳ ගැනීමට සමත් විය.

මහාචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.