උනුත් ඵකයි මුනුත් ඵකයි...!!! අද දේශපාළුවෝ සේරම ඵකයි...!!!
නමුදු රාජපක්ෂවරුන්ගේ පාලන සමය මෙරට දූෂිතම යුගය බවට වන වාර්තාගත ඉතිහාසය කෙලසන්නට තවම යහපාලන ආණ්ඩුව සමත් ව නැත.
Helping සහ සරත් නන්ද
2005
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හිමි වීමෙන් පසුව එල්ල වුණු හෙල්පින් හම්බන්තොට
මූල්‍ය අක්රමිකතාව එවකට අගවිනිසුරුවරයාව සිටි සරත් නන්ද සිල්වා විසින්
නීතියේ ජිමික් එකක් පෙන්වා මහින්ද රාජපක්ෂව නිදහස් කරනු ලැබූ නමුත් එම දූෂණ
චෝදනාව නොවන්නට මේ මුල් වසර පහ තුළ දී රාජපක්ෂවරුන් හොඳ බබාලා මෙන් විය.
ඊට හේතුව රට, ජාතිය, ආගම, දේශප්‍රේමය, අධිරාජ්‍ය
විරෝධය ආදී වූ මල් වෙඩි සංදර්ශනවලින් ඇස් නිලංකාර කර ගත් සමාජයට එවකට සිදු
කෙරුණු සුළු පරිමාණ තබා මහා පරිමාණ වංචා දූෂණ කිසිවක් සමාජයට පෙනෙන්නට
ඉඩක් ලැබුණේ නැති බැවිනි. රාජපක්ෂවරුන්ට එරෙහි චෝදනා සහ ක්‍රියාකාරකම් අර්ථ
දැක්වුණේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හෝ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් ලෙසය.
ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් හෝ වේවා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හෝ
වේවා කෙරුණු උද්ඝෝෂණයක් පවා එල්.ටී.ටී.ඊ. හෝ එල්.ටී.ටී.ඊ. හිතවාදී
ඩයස්පෝරාවේ මුදලින් කෙරෙන ආණ්ඩු විරෝධී කටයුතු ලෙස හංවඩු ගැසුණි. මේ නිසා
ආණ්ඩු විරෝධීන් සියලු දෙනා ත්රස්තවාදීන් ලෙස පහසුවෙන් වර්ග කිරීමටත් ඒ
අනුව ඊට එරෙහිව ඕනෑම මර්දනීය පියවරක් ගැනීමටත් රාජපක්ෂවරුන්ට හැකි විය. ඊටම
ගැළපෙන සේ අධිකරණය, පොලීසිය, ත්‍රිවිධ
හමුදාව සහ වෙනත් නිල නොලත් රහසිගත මැර හමුදා ක්‍රියාත්මක කරවීය.
රාජපක්ෂවරුන්ට එරෙහිව කිසිදු මතයක් සමාජගත නොවන තැනට වැඩ සිදු කළේ මාධ්‍ය
ආයතන ගිනි තැබීමෙන්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීමෙන්, අතුරුදන් කිරීමෙන්, පහර දීමෙන් සහ තර්ජනය කිරීමෙනි.
පවුලට නොගහ ඕන දෙයක්
සුදු
වෑන් කල්ලි රට පුරා යොදවමින් රාජපක්ෂවරුන්ට එරෙහි කවර තරාතිරමක හෝ
පුද්ගලයන් පැහැරගෙන ගොස් මරාදැමීම රාජපක්ෂ යුගයේ පාලකයන්ගේ ආශිර්වාදය ඇතිව
සිදු විය. මෙකල්හී රාජපක්ෂවරුන්ගේ නම කියවීමට පවා සමාජය බිය විය.
විශේෂයෙන්ම මාධ්‍ය තුළ පවා රාජපක්ෂ පවුලේ හිතවතකු හෝ සම්බන්ධ අකටයුතුකම්
ගැන කතා නොකිරීමට වගබලා ගත්හ. “පවුලට නොගහා අනිත් ඕන දෙයක්” පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මාධ්‍ය විසින් තමන්ට දා ගත් ස්වයංවාරණය විය. (එදා මෙම ඒකාධිපති රාජපක්ෂ වියරුව අනුමත කළ, ඒ මතවාදීව පෝෂණය කළ සහ ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට බිය වී සිටි පිරිස් වර්තමානයේ දී ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන, මානව හිමිකම් ගැන කතා කරන, දූෂණ විරෝධය ගැන කතා කරන වීරයන් වී සිටීම බරපතළ පන්නයේ විහිළුවක් බව ද මෙහි දී අමතක නොකළ යුතුය.)
කෙසේ
නමුත් මේ කවර තත්ත්ව හමුවේ වුව පැහැදිලි සත්‍යය වූයේ රටේ සිදු වන සියලු
අකටයුතුකම්වල කෙළවරෙහි රාජපක්ෂ පවුලේ කවර හෝ සාමාජිකයකු සිටින බවය. නමුත්
එය හෙළි කිරීම මරණ සහතිකය ලියා ගැනීමක් විය. 2008
වසරේ ජනවාරි මාසයේ දී සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව
මරාදැමීමට ආසන්නතම හේතුව වූයේ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය
රාජපක්ෂගේ මැදිහත් වීමෙන් සිදු වූ දූෂිත ‘මිග් යානා’ ගනුදෙනුව
නිසා බවට නැඟෙන චෝදනාව ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය. ලසන්ත වික්රමතුංගගේ
මරණය සමස්ත සමාජය දැඩිව කම්පනයට භීතියට ලක් කරමින් මහා නිහඬත්වයකට තල්ලු
කරනු ලැබීය. “ලසන්තව මැරුවා නම් අපි මොක්කුද?” යන
පැනය පවතින මජර පාලන ක්‍රමයට අවංක ලෙසම එරෙහි වූවන් අඩපණ කරන්නට ද හේතු
විය. එහෙත් ඉතිහාසය උගන්වා තිබෙන පාඩම් අනුවමත් ගින්දරින් යකඩින් මෙල්ල කළ
නොහැකි මිනිසුන් සත්‍යය වෙනුවෙන් කවර මොහොතක හෝ පෙරමුණ ගෙන නැඟී සිටියි.
අනාථ වූ නාතගල මාලිගාව

දිනය 2009 සැප්තැම්බර් 02 වන දා.
එවකට ලංකා ඉරිදා සංග්‍රහයේ සේවය කළ ශාලික විමලසේන, රවීන්ද්‍ර
පුෂ්පකුමාර සහ දයා නෙත්තසිංහ යන මාධ්‍යවේදීන් තිදෙනා දෙණියාය නාතගලවත්තේ
රාජපක්ෂවරුන්ගේ පවුලේ කෙනෙකුට අයත් යැයි සැක කෙරුණු වත්තක රජයේ දේපළ
යොදාගෙන ඉදිකිරීමක් කරමින් පවතින බවට ලැබුණු සුළු තොරතුරක් හඹා ගියේ එහි
ප්රවෘත්තිමය සහ දේශපාලනික වටිනාකම නිසාය. ඒ මෙම ගමනේ අවදානම ගැන නොදැන
නොවේ. මාධ්‍යවේදීන් ලෙස ඔවුන් ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරමින් අදාළ
නිවසේ සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ වූ මඟ නැඟුම නම් රජයේ සමාගමට අයත්
වාහන යොදාගෙන ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අයුරු ඡායාරූප හා වීඩියෝ පට ලබා
ගැනීමත් එහි සේවයෙහි නියුතු පුද්ගලයන් කිහිප දෙනකු සමඟ කතා බහ කිරීමෙන්
අනතුරුව එම නිවස මහින්ද රාජපක්ෂගේ බාල නැගණිය වන විචිත්‍රා ශිලානදී හෙවත්
ගාන්ධිනී රාජපක්ෂ ගේ සැමියා වන තුසිත රණවක නම් පුද්ගලයාට අයත් බව ද තහවුරු
කරගෙන තිබිණි. එමෙන්ම ඒ වන විට ඉදිකිරීම අඩකට වඩා අවසන් කර තිබූ නිවසට
ජනාධිපති මහින්ද රාජපක්ෂත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් පැමිණෙන බවට ද
තොරතුරු දැනගෙන තිබිණි.
අනතුරක ඇරඹුම

ඝාතන සැලැස්ම
කොහොම
නමුත් දෙණියාය පොලීසිය වෙත ගෙනයාම නොකර මෙම තිදෙනාගේ ජීවිතයට හානියක්
කිරීම සඳහා යම් සූදානමක් තිබුණු බව පසු කලක දී හෙළි විය. ඒ එක්තරා
ඇමැතිවරයකු සමඟ සිටි ආරක්ෂකයන් යැයි කියා ගන්නා මැර කණ්ඩායමක් සමඟිනි.
මෙම
තොරතුරෙහි සත්‍යතාව තීව්ර වන්නේ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන කෙළින්ම
දෙණියාය පොලීසියට රැගෙන යාම සිදු නොකර කොස්මෝදර පොලිස් මුරපොළෙහි පැය දෙකකට
අධික කාලයක් ඔවුන්ව රඳවාගෙන තබා ගැනීම නිසාය.

කෙසේ
නමුත් තමන්ව ලුහුබඳින බවත් තමන්ව අත්අඩංගුවට පත් වූ බවත් ක්ෂණයෙන්
පුවත්පතේ කර්තෘවරයාව සිටි චන්දන සිරිමල්වත්තට කෙටි දැනුම් දීමක් සිදු
කිරීමට සමත් නොවෙන්න මේ මාධ්‍යවේදීන් තිදෙනා ද අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට
එකතු වීම නියතයකි. (මෙම ලියුම්කරු ද එවකට ලංකා පුවත්පතෙහි මාධ්‍යවේදියකු
ලෙස සේවය කළ බැවින් එම මොහොතේ පැවැති අවිනිශ්චිත අනතුරුදායක තත්ත්වය පිළිබඳ
වැටහීමක් තිබේ.) නමුත් අභියෝගය භාරගෙන පුවත්පත් කාර්යාලයේ මාධ්‍යවේදීන් ඒ
මොහොතේ ගත් ක්‍රියාමාර්ග මත මෙම සිදුවීම රටට හෙළි වීම එම ක්ෂණයෙන්ම සිදු
විය. ඒ අනුව සහෝදර පුවත්පත්වල මාධ්‍යවේදීන්, ජනතා
විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලකයන් කිහිප දෙනකුගේ සහ සිවිල් සමාජ
ක්රියාකාරිකයන්ගේ මැදිහත් වීම සමඟ දැඩි බලපෑමක් ආණ්ඩුවට එල්ල වූ නමුත්
ඔවුන්ව අත්අඩංගුවෙන් මුදවාලීම සිදු වූයේ නැත.
ත්‍රස්ත ලේබලය
අවසානයේ
හිටපු නියෝජ්‍ය පොලිස්පති (මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන) අනුර
සේනානායකගේ මැදිහත් වීම යටතේ කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ කණ්ඩායමක් සමඟ වහා
දෙණියායට පැමිණ මාධ්‍යවේදීන් පිරිස ත්රස්තවාදීන් ලෙස නම් කර අත්අඩංගුවට
ගන්නා ලදී. තෙදිනකට පසුව කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත රැගෙන ආ අතර තවත්
දින 5 ක් එහි සිරමැදිරියෙහි ගත කරන්නට මාධ්‍යවේදීන්ට සිදු විය.
එහෙත්
තමන්ගේ ඇත්ත හෙළිදරව් වීමෙන් වූ රාජපක්ෂ වියරුව මත පැහැර ගැනීමක් ලෙස සිදු
වූ මෙම අත්අඩංගුවට ගැනීම සාධාරණීයකරණය සඳහා නියමිත පැමිණිල්ලක් හෝ
චෝදනාවක් තිබුණේ නැත. දෙණියාය පොලීසියට නිර්නාමිකව ලැබුණු දුරකථන ඇමතුමක්
අනුව ඉතා ඉක්මනින් පොලිස් නිලධාරියකු ක්‍රියාත්මක වූ බවත් පසුව තුසිත රණවකට
අයත් එම තේ වතු යායේ ක්ෂේත්‍ර නිලධාරියකු ලෙස එවකට කටයුතු කළ නිලධාරියකු
පැමිණිල්ලක් කළ බවත් කියැවිණි.
එදිනම සවස ගොනු කළ එම පැමිණිල්ලෙහි “...එම
නිවසට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ද
අතිගරු ජනාධිපතිතුමා ද දෙණියායට පැමිණි යාම එහි නවාතැන් ගන්නවා. ඊට අමතරව
වෙනත් කිසිවකු නවාතැන් ගන්නේ නැහැ. මෙම නිවස දැඩි ලෙස ආරක්ෂා කිරීමට අපට
දැනුම් දී උපදෙස් දී තිබෙනවා...”
“... ජනාධිපති තුමාට හා ආරක්ෂක ලේකම්තුමාට අනතුරක් සිදු කිරීමේ අදහසින් මෙම වීඩියෝගත කිරීම සිදු කරන්නට ඇත කියා මට සැකයක් ඇති වෙනවා...” ආදී
වශයෙන් සඳහන් කර මාධ්‍යවේදීන් තිදෙනා ජනාධිපති හෝ ආරක්ෂක ලේකම් ඝාතනය
කිරීම සඳහා කුමන්ත්‍රණය කළැයි චෝදනාවක් නිර්මාණය කිරීම සිදු විය. ඒ අනුව
මාධ්‍යවේදීන් පිරිස කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයෙහි අත්අඩංගුවෙහි රඳවා තබා
ගන්නා ලදහ. නමුත් එම චෝදනාව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් සොයා ගැනිමට
නොහැකි වීම මත සහ එල්ල වූ පීඩනය හමුවේ අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමට
සිදු විය. පසුව නඩු පැවරීමේ දී අයුතු ඇතුළු වීම අපහාස කිරීම ආදී වෙනත්
චෝදනා ගොනු වන අතර එය ද විටින් විට සංශෝධනයට ලක් විය.
රෙජිම් කුමන්ත්‍රණය කණපිට පෙරළේ
නමුත්
මීට අදාළ නඩු විභාගයේ දී මෙම වත්තට ආරක්ෂකයකු නැති බවත් තමා පමණක් වත්ත
බලා කියා ගන්නා බවත් ඉහත කී පැමිණිලිකරුවාම ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම මෙම
නිවසේ ඒ මොහොතේ අලුත්වැඩියාව සඳහා සිටි පිරිස කවුරුන්ද යන වග හෝ ඔහු දැන
සිටියේ නැත. එමෙන්ම පිටස්තර කිසිවකුට මෙම වත්තට ඇතුළුවීම වැළැක්වීම සඳහා
කිසිදු පියවරක් නොතිබුණු බව ද අධිකරණය හමුවේ ඔප්පු විය. එමෙන්ම ඔහු තමාගේ
අනන්‍යතාව හෙළි කරමින් පොලීසියට දුරකථන ඇමතුමක් ලබා දුන් බව කීවේය. එහෙත්
පොලීසිය කීවේ තමන්ට ලැබුණේ නිර්නාමික ඇමතුමක් බවය.
මේ
ආදී වශයෙන් පොලිස් නිලධාරීන් ද තුසිත රණවකගේ සිට බැළමෙහෙවරට සිටි සේවකයා
දක්වා නඩු විභාගය තුළ දී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් එකිනෙකට පරස්පර සාක්ෂි
ලබා දීම සිදුව තිබිණි. කෘත්‍රිමව නිර්මාණය කළ සිදුවීමක් හේතුවෙන් ඒ සිදුව
තිබෙන බව පැහැදිලි විය.
ජනමාධ්‍යවේදියාගේ
කාර්යභාරය හමුවේ ඊට එරෙහිව චෝදනාවක් හෝ ගොනු කරගැනීමට නොහැකි වීම හමුවේ
විටෙක වෙනත් බලපෑම් සිදු කර මෙම අධිකරණ ක්‍රියාවලිය තුළින් ජය ගැනීමට ගත්
උත්සාහවල ද කෙළවරක් වූයේ නැත. වසර අටකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙම නඩුව
ඇදගෙන යාමට සිදු වූයේ මේ නඩුවෙහි ඇති සංකීර්ණභාවය නිසා නොව තමන්ට වන විළි
ලැජ්ජාව වසා ගැනීමට කළ සටකපට උපක්‍රමය නිසාය. යම් ලෙසකින් 2015
ජනවාරියෙහි රාජපක්ෂ පවුල් ආණ්ඩුව පරාජය නොවෙන්නට මෙම නඩුවේ තීන්දුව වුව
වෙනස් වන්නට ඉඩ තිබිණි. මන්ද රාජපක්ෂවරු නඩු කීවේ තීන්දුව කලින් සකස්
කිරීමෙන් අනතුරුව බැවිනි. අධිකරණ පද්ධතියම තමන්ගේ රූකඩ ජවනිකාවක් කරගෙන
සිටි රාජපක්ෂලාට නීතිය, යුක්තිය, සාධාරණය යන්න රාජපක්ෂලගේ කැමැත්ත වුව මිසක වෙනෙකක් වූයේ නැත.
සත්‍යයේ ජයග්‍රහණය
කෙසේ
නමුත් අවසානයේ දී මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන්
මාධ්‍යවේදීන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ අනවරත අරගලය ජය ගත්තේය.
දෙණියාය මාලිගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ මෙම හෙළිදරව් කිරීම
ලංකාවේ මාධ්‍ය ඉතිහාසය තුළ වැදගත් ඉමක් සටහන් කරන සිදුවීමකි. ඒ ගවේෂණාත්මක
මාධ්‍යකරණයේ සන්ධිස්ථානයකි. මෙය වඩාත්ම වැදගත් වනුයේ රාජපක්ෂලාගේ බිහිසුණු
මජර පාලනය ක්‍රියාත්මක වෙමින් පැවැතිය දී ඊට අභියෝග කරමින් සිදු කෙරුණු
මෙහෙයුමක් නිසාය. මාධ්‍යවේදියකුට ජීවිතය පරදුවට තබා කටයුතු කිරීමට තරම්
ශක්තියක් ලැබෙන්නේ තමන්ගේ කාර්යභාරය ගැන මනා වැටහීමක් අවංකකමක් පවතින්නේ
නම් පමණි. රවීන්ද්‍ර, ශාලික, දයා යනු ඒ ආදර්ශයෙන්ම පෙන්වනු ලැබූ ජනමාධ්‍යවේදීන් තිදෙනෙකි. මීට වසර 8 කට පෙර ඔවුන් කටයුතු කළේ කෙසේද අදත් ඔවුන් කටයුතු කරමින් සිටින්නේ කෙසේද යන්න ඊට වැඩිමනත් අගයක් එකතු කර ඇත.
සොරුන්ගේ ඉතිහාසය
එසේම මෙම සිදුවීමේ දී අනාවරණය වූ අනෙක් කරුණ නම් රාජපක්ෂලාගේ මජරකමය. ඇතැමුන්ගේ විග්රහයට අනුව රාජපක්ෂලා සවුත්තු වූයේ 2010න් පසුවය. වංචා දූෂණ ආදිය ඔවුන් සිදු කරන්නට ගත්තේ 2010න්
පසුව බවය. එහෙත් ඔවුන්ගේ ඉතිහාසය ඊට වෙනස් බව දෙණියාය සිදු වීමෙන් අනාවරණය
වන්නේය. මෙම දෙණියාය වතුයාය රාජපක්ෂලා සන්තක කරගැනීම සහ එහි අතිසුඛෝපභෝගී
නිවසක් ඉදිකිරීමට තරම් වත්කමක් ඔවුන්ට ලැබුණේ කෙසේද යන්න විමසීම සිදු කළ
යුතුව තිබේ. තමන්ට අයත් සිනමා ශාලාවේ විනෝද බද්ද ගෙවා ගැනීමටවත් නොහැකිව
සිටි බංකොලොත් ව්‍යාපාරිකයකු අක්කර 40ක
පමණ තේ වත්තක හිමිකාරයකු වන්නත් කෝටි ගණනක පිරිවැයක් දරමින් නිවසක්
ඉදිකිරීමත් සිදු වූයේ රාජපක්ෂලාගේ මුල් යුගයේ දී ය. යුද්ධයේ බිහිසුණු වෙඩි
හඬ මධ්‍යයේත් රාජපක්ෂලා හොරකම් කළ බවට මෙම දෙණියාය මාලිගය හොඳම උදාහරණයකි.
රාජ්‍ය දේපළ අවභාවිතය
එමෙන්ම
මඟ නැඟුම නම් වූ රාජ්‍ය සමාගම් තමන්ගේ පෞද්ගලික දේපළ සංවර්ධනයට යොදා ගැනීම
මෙහි දී අනාවරණය විය. අතිරේක කරුණක් වශයෙන් සටහන් කරන්නේ නම් මෙම මඟ නැඟුම
ආයතන ත්‍රිත්වය මඟින් සිදු කළේ රාජපක්ෂලාගේ එදිනෙදා වියදම් පියවා ගැනීම
සඳහා වන ‘පොකට් මනී’ සොයා ගැනීමට බව එකල්හී ම අනාවරණය විය. ඊට අදාළ තොරතුරු රැසක් එවකට ද හෙළි විය.
රාජපක්ෂවරු
පරාජයෙන් පසුව නැවත කරළියට ගෙන ඒම සඳහා අද යහපාලනයේ ඇතැම් නියෝජිතයන්
විසින්ම ගන්නා උත්සාහය තුළ මේ මජර අතීතය අමතක කර තිබේ. දෙණියාය සම්බන්ධ නඩු
තීන්දුව එය යළි මතක් කිරීමටත් හේතුවක් වී තිබීමත් මේ මොහොතේ වැදගත්ය. මේ
හොර මගඩි අපරාධවලින් ජීවත් වූවන් තවදුරටත් මේ දේශපාලනයේ සිටිය යුතු නැත. ඒ
කාලකණ්ණි යුගය යළි මේ රටට අවශ්‍ය වන්නේ ද නැත. වර්තමාන යහපාලන ආණ්ඩුව ඒ
තේරුම්ගත යුතුය. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන් ලෙස සැබෑවටම කටයුතු කරන, තමන්ගේ
වගකීම කුමක්ද යන්න තේරුම් ගෙන මේ රැකියාවේ නියුතු වූවන්ට ද මේ ක්ෂේත්රයට
පිවිසීමට අපේක්ෂා කරනවුන්ට ද මෙම දෙණියාය මාලිගය සම්බන්ධයෙන් වූ සිදුවීම
අගනා පාඩමක්ද නැද්ද යන්න ගැන විවාද කළ යුතු නැත. එය නියත ලෙසම මෙරට
ජනමාධ්‍ය ඉතිහාසයේ තද සලකුණකි. එසේ නොවන්නට මේ මාධ්‍යවේදීන් ඉටු කළ, ජනතාව
කෙරේ වගවුණු යුතුකම අපතේ යා හැකිය. ඊට ඉඩ දිය යුතු නොවේ. මොරවක
මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සියලු කරුණු කාරණා විමසා බලා යුක්තිසහගත
තීන්දුවක් ලබා දෙමින් සියලු චෝදනාවලින් මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස්
කිරීම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්රය ලත් ජයග්‍රහණයක් ලෙස ද ඉතිහාසගත විය යුතුව
තිබේ.
- සුභාෂ් ජයවර්ධන
