සමන් රත්නප්‍රිය යනු පුරවැසි පෙරමුණ නමැති සංවිධානයේ කැඳවුම්කරුය. එම පෙරමුණේ සෙසු ප්‍රධානීන් වන මහාචාර්ය සරත් විඡේසූරිය වැනි උගතුන් ඇසුරු කිරීමට ගොස් ඔහු බෙහෙවින් නරක් විය. උගතුන් ඇසුරු කිරීමට යැමෙන් උගතකු බවට පත්වීමට නූගතකුට හැකිද? කෙසේවත් බැරිය. එහෙත් උගතුන් සතු හොඳ දෙයින් කිසියම් හොඳ දෙයක් ලබාගැනීමට නූගතාට හැකිය.
පුරවැසි පෙරමුණේ සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරවල පුරෝගාමී චරිත දෙකක් වන මහාචාර්ය විඡේසූරිය ලංකාවට ආවේණික වාත දෙකක් වීගෙන එන නමුදු ප්‍රාමාණික උගත්තුය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කිරීමට මේ දෙදෙනා කළ කැපවීම වෙනුවෙන් කිසිවක් ලැබුණේත් නැත, අප දන්නා පමණින් ඔවුන් කිසිවක් ලබාගත්තේ ද නැත. කිසිවක් ගත්තොත් කලිසම් ඇඳගෙන ප්‍රසිද්ධියේ පෙනී ඉන්නට අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නෙත් නැත. එහෙත් සමන් රත්නප්‍රිය නමැත්තාද එවැනි කෙනෙක් බව රිෂාඩ් බදියුදීන් හැර වෙන කවුරුවත් කියන එකකුත් නැත. (එය රහසකි. රහස් එළි කරන ලෙස වධ දෙන්න නම් එපා) ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂයේදී ගුප්ත රජ සමයේදී ඉන්දියාවේ ජීවත් වූ විෂ්ණු ශර්මන් නමැති පඬිවරයා විසින් ලියන ලද පංච තන්ත්රය නමැති කතන්දර පොතේ එන කතාවක් මෙසේය; දිනක් රාත්‍රියේ කුකුල් සොරකමේ යමින් සිටි නරියෙක් ලොන්ඩරිකාරයකුගේ කුකුල් කූඩුවක් අසලට ගොස් විපරම් කරන අතර නිල් පිරවූ හැලියකට ඇදවැටුණේය. එවිට උගේ සකල ශරීරය සපුරා නිල් පැහැ විය. බියපත් නරියා හැලියත් පෙරළාගෙන නැගී සිට ආපසු වනයටම දිව ගියේය. පසුදා උදයේ නිල්පාට නරියා දුටු කැලෑ සත්තු දෙව්ලොවින් එවන ලද අපූරු නායකයකු ලෙස සිතා නරියාට වනාන්තරයේ රජකම ලබාදුන්නේය. සිංහයා පවා ඌට නමස්කාර කළ අතර නරියා විවිධ සම්මන්ත්‍රණවලට යමින් මාධ්‍ය හමු පවත්වමින් ඇමැතිවරුන්ගේ උපකාර ලබමින් ජීවත් විය. එහෙත් කවර අවස්ථාවකවත් හූ නොකීමට නරියා පරෙස්සම් විය. මේ අතර දිනක් නරියා වන සතුන් මැද සිංහාසනාරූඪව සිටින අතර ඉතා හොඳින් හඳුනන නරියකු දුටුවේය. එවිට ඌට ඉබේටම හූ කියෑවිණ. නිල්පාටින් දිලිසෙන්නේ නරියෙක්ම නොවේදැයි තේරුම් ගත් වන සත්තු සිංහයාගේ මූලිකත්වයෙන් නරියා පිටට පැන ඌ තීරුවලට ඉරා දැමූහ.
පංච තන්ත්රයේ නරියා මෙන් රත්නප්රියත් හූ කියන්නට පටන්ගෙන තිබේ. කාලෝ ෆොන්සේකා වැනි උගතකු තනතුරින් ඉවත් කළ යුතු බව කීමට සමන් රත්නප්‍රියට හැකිද? හැකිය. හැකි නිසා නේ එසේ කියා තිබෙන්නේ. එහෙත් එම කතාවට බරක් හෝ පිළිගැනීමක් තිබේද? කිසිදු ආකාරයකින්වත් නැත. අඩු ගානේ මර්වින් සිල්වා මේ කතාව කීවේ නම් කිසියම්ම හෝ පිළිගැනීමක් එයට ඇති වේ. සරත් විඡේසූරිය හෝ ගාමිණී වියන්ගොඩ එය කීවා නම් බරපතළ ලෙස සිතා බැලිය යුතු කාරණයක් බවට එය පත්වෙයි. එහෙත් ඒ මිනිසුන් එවැනි ගොන් කතා කියන්නේ නැත. පොයින්ට් එකට මිසක් (මධ්‍යගත කාරණය) වෙනත් අසූචි ගොඩවල් ගැන ඒ මිනිස්සු කතා නොකරති. කාලෝ ෆොන්සේකා අස් කරන්නැයි හෙද සේවකයකු සෞඛ්‍ය ඇමැතිට කියන විට එතුමාට හොඳටම හිනා යන්නට ඇති.
මෝඩයා නිතරම නිශ්ශබ්දව සිටිය යුතුය. ඒ, කට ඇරපු සැණින් ඔහු හෙළිදරව් වන නිසා ය. එහෙත් සමන් රත්නප්‍රියට කට වසාගෙන සිටීමට බැරිය. වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිරතවීමට පැමිණි ඔහු බුද්ධිමතුන් අතර නන්නත්තාර වන්නට උත්සාහ කරන බව පෙනෙයි. හෙද සේවය යනු මහඟු වෘත්තියකි. ලොකුම පිනකි. සමන් රත්නප්රියගෙන් අප ඉල්ලන්නේ ආපසු රෝහල කරා යන ලෙසයි. පින් කරගන්නා ලෙසයි.