
ලෝකයේ රටවල් ණයට මුදල් ලබා ගන්නේ එම ණය මුදල් ආයෝජනය කර ලාභ ලැබීමටය. ණය හිමියන් ද (බැංකු) ණය දෙන්නේ ණයකරුගෙන් පොලිය සමඟ ණය මුදල් අයකර ගැනීමට හැකි නම් පමණි. නමුත් හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනය මෙපමණ විශාල මුදලක් ණයට දුන්නේ ණය සහ පොලිය ආපසු ගැනීමට නොව වරායේ අයිතිය ඔවුන් සතුකර ගැනීමටය. මෙම වරායට නැව් එන්නේ නැති බවට අපට වඩා හොඳට චීනය දනී. චීනය අපට කළ දේ පකිස්ථානයට ද කළේය. චීනය පකිස්ථානයේ ඉදිකරන ලද ග්වාඩර් වරායට ද නැව් ආවේ නැත. අද එම වරාය පාලනය කරන්නේ 'චයිනා ඕවර්සීස් පෝට් හෝල්ඩින්' සමාගම විසිනි.
චීනය වරායවල් සඳහා මෙසේ මුදල් යොදවන්නේ ශ්‍රී ලංකාවට සහ පකිස්ථානයේ ආර්ථිකය නැංවීමට නොව ඔවුන්ගේ නව සේද මාවත ගොඩනැඟීමටය. 'එක් තීරුවක්, එක් මාවතක්' යන නව චීන සේද මාවතේ ප්‍රධාන ඉලක්කය ලෝක ජනගහනයෙන් 70% ක් ජීවත්වන යුරේසියානු කලාපයේ වෙළෙඳ ආධිපත්‍යය, ඇමරිකාවෙන් ඩැහැගැනීමටය. ඒ සඳහා ඔවුන් ඩොලර් බිලියන නොව ටි්රලියන ගණනක ණය මුදල් සූදානම් කර ඇත. ශ්‍රී ලංකාව පැටලුණේ මේ ණය උගුලේ ය.

සාමාන්‍යයෙන් ලෝකයේ වරායවල් බිහිවූයේත්, බිහිවන්නේත් වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමිනි. මෙහිදී මුලින් බිහිවන්නේ වෙළෙඳපොළ ය. වරාය ඉදිවන්නේ වෙළෙඳ පොළේ දියුණුවේ දිග පළල අනුවය. නමුත් හම්බන්තොට සිදුවූයේ මෙහි අනෙක් පැත්තය. එය හරියට ගෙයක් හදන්නට පෙර ණයට වාහනයක් ගැනීම වැනි වැඩකි. දැන් අපට ගේ හදන්නට මුදල් නැත. වාහනයේ ණය වාරිකය ද පඩියට ඔරොත්තු නොදේ. දැන් කළ යුත්තේ කාගේ හරි ඇඟේ මේ කොඩිවිනය පැටවීමය.
රටක ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාව වැනි දේශප්‍රේමී ගුණාංග සියල්ල ආරක්ෂා වන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් වුවහොත් පමණි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ වෙළෙඳපොළ මතය. එම නිසා රජය මුල් තැන දියයුත්තේ වෙළෙඳපොළ කළමනාකරණය කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටය.
1960 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය වැඩි වී ඇත්තේ 28 ගුණයකින් පමණි. එහෙත් එම කාල සීමාව තුළ මලයාසියාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය 42 ගුණයකින් ද. චීනයේ 99 ගුණයකින් ද, සිංගප්පූරුවේ 124 ගුණයකින් ද. දකුණු කොරියාවේ 175 ගුණයකින්ද වැඩි වී තිබේ. ඒ වගේම බංග්ලාදේශය, පිලිපීනය, වියට්නාමය වැනි රටවල සිදු කළ රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් එම රටවල ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. නමුත් ශ්‍රී ලංකාව සම්ප්‍රදායික ආර්ථික ප්‍රතිසංස්කරණයේ ගිලී රටේ ආර්ථික 'ගියරය' 'රිවස්' එකට දමාගෙන තිබේ.
ලෝකයේ පරමාදර්ශී සමාජවාදී රාජ්‍යය වන කියුබාව වසර 50 ක් පාලනය කළ, ඇමරිකානු සී. අයි. ඒ. ඝාතන කුමන්ත්‍රණ 638 කින් දිවි ගලවාගත් ෆිදෙල් කැස්ත්‍රොa ද අවසානයේ ගෝලීය වෙළෙඳපොළ ඉදිරියේ දණ නැමීය. ෆිදෙල්ගේ සොයුරු රාහුල් කැස්ත්‍රොa පවසන්නේ 'අපි සම්ප්රදාය රකිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන බවයි.' සම්ප්රදාය රකිමින් ගෝලීය වෙළෙඳ ජය ගැනීමට ශ්‍රී ලංකාවට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. නමුත් ඒ සියලු අවස්ථා කෙළවර වූයේ දේශපාලන සිල්ලර කඩවලිනි.
රටේ ආර්ථිකය නැංවීමට අපට ඇති එකම සම්පත භූමියේ පිහිටීම පමණි. එය නිවැරැදිව කළමනාකරණය කර ගැනීම අපට ඇති එකම ගැලවීමේ මඟය. අපි පළමුව රටේ ආර්ථිකය හදමු. ඉන් පසු ආර්ථිකය විසින් රටේ ඉතිරි ප්‍රශ්න ටික විසඳනු ඇත.