ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 26, 2016

මිලිනා සුමතිපාල කළුරිය කරයි...!!!


නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ මව වූ සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල  (81) අද (26) අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ආරංචි පවසයි.
ප්‍රකට සමාජ සේවිකාවක්, චිත්‍රපට නිෂ්පාදිකාවක් ආදී විවිධ ක්ෂේත්‍රවල ජනප්‍රිය නාමයක් දිනා සිටි ඇය 2001 වසරේ සිට 2005 දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයද දැරුවාය.
පසුගිය වසරේ ඇගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අපදාන ග්‍රන්ථ දෙකක් ද නිකුත් කැරුණු අතර කොළඹ 10 පුංචි බොරැල්ල කැම්බල් පෙදෙස මිලිනා සුමතිපාල මාවත ලෙසද නම් කැරිණි. මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ යූ.ඩබ්ලිව්.සුමතිපාල ඇගේ ආදරණීය සැමියා වූ අතර ඇය දරුවන් සත් දෙනකුගේ මවක ද වූවාය. අනෝජා, ශානිකා, ජගත්, සන්ධ්‍යා, රමණි, තිලංග සහ අනුෂා එද දූ දරුවෝය.
ශ්‍රී ලංකා සිනමා වංශ කථාවේ විශිෂ්ට නිර්මාණයක් ලෙසින් සැලකෙන ‘ගඟ අද්දර‘ චිත්‍රපටය නිෂ්පාදනය කළේද මිලිනා සුමතිපාල මහත්මියයි. එම චිත්‍රපටයෙන් ලද ආදායම ඒ වන විට දිවියෙන් සමුගෙන සිටි ඇගේ සැමියා වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග අංශයේ වාට්ටුවක් සෑදීමට යෙදවූවාය. ඊට අමතරව ඇය දුවට මවක මිස, උප්පලවණ්ණා, පත්තිනි ආදී චිත්‍රපට නිෂ්පාදනය කරමින් මෙරට සිනමා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දුන්නාය.ඇයට උපහාර පිණිස විශේෂ ලිපියක්...

ඇගේ වත මත පිපෙන සිනාරැල්ලක් අපට බොහෝ දේ පවසන්නීය. ජීවිතය ජයගත් ගැහැනියකගේ ආත්ම අභිමානය, පෞරුෂත්වය, ඉවසූ දුක් සංතාප, ධෛර්යය, වීර්යය, ආදරය, කරුණාව අභියෝග හමුවේ නොනැසුණු දැඩි බව මේ සිනහව අතරින් මට විනිවිද දැකිය හැකිය. 80 විය සපිරුණු ඈ සිය දූදරු මුනුපුරන්ගේ රජදහනේ වැජඹෙන රැජනකි. මේ අපූරු රාජධානියේ නිර්මාතෘවරිය ඇයයි. රජකුමරුවන්, රජකුමරියන් ලෙසින් සිය දූ දරුවන් අභිසෙස් කළ මවු රැජන ඇයයි. තම කුසින් උපන් දූ දරුවන්ට සේම, සමස්ත ලංකාවාසී දූ දරුවන් කෙරෙහි ද මෙත් සිත පතුරවමින්, තමන්ට හැකි අයුරින් ඔවුන්ට පිහිට වූ මාතාව ද ඇයයි. අද මෙරට සමාජ, සංස්කෘතික කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාන්තා භූමිකාවක් නිරූපණය කළ මිලිනා සුමතිපාලය.
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ යූ. ඩබ්ලිව්. සුමතිපාලයන්ට පෙම්බර බිරියක වෙමින් දූ දරුවන් සත් දෙනෙකුට දයාබර මවක වෙමින් මාතෘත්වයේ සැබෑ ආශ්චර්යය ලොවට පසක්කළ කාන්තාවකි.
අවුරුදු 80 ක් කියන්නේ ලේසි පහසු ‍කාලයක් ද? දශක අටක්. එහෙත් ඒ අතීතය අදටත් ඇයට හොඳට මතකයි.
“තාමත් මට මතකයි සුමතිපාලයි මමයි එක්වුණු හැටි. එයා මගේ නැන්දගේ පුතා. ඇවැස්ස මස්සිනා. නිතර ගෙදර යනවා එනවා. මට අවුරුදු 18 ක් විතර වෙනකොට අපේ ගෙදරින් මට මංගල යෝජනා හොයන්න පටන්ගත්තා. කපුවෙකුත් ගෙදරට ගෙන්නුවා. ඔය අතරේ සුමතිපාලගේ නංගි මගෙන් ඇහුවා එයාගේ අයියට කැමැති ද කියලා. සුමතිපාල මට වැඩිය වයසින් ටිකක් බාල නිසා මම කැමැති වුණේ නැහැ. පස්සේ ඔහුම මගෙන් ඇහුවා. මම කිව්වා ගෙදරින් අහන්න කියලා. ඒ අතරෙම සුමතිපාල මට මංගල යෝජනා ගෙනෙන කපු මහතාට සල්ලි දීලා යවල තිබුණා ආයෙත් එන්න එපා කියලා. පස්සේ මගේ තාත්තා මට කිව්වා සුමතිපාල ඉතාම හොඳ කෙනෙක්. ඒ නිසා ඒකට කැමැති වෙන්න කියලා. ඒ අනුව තමයි මම ඔහුත් එක්ක විවාහ වුණේ.”
අතීතය මනරම්ය. වර්තමානයේ සිට එය මෙනෙහි කරනා විට එහි අගය තව තවත් වැඩි වෙයි. ඥාතිත්වයෙන් උපන් ළෙන්ගතුකම විවාහ බැම්මෙන් දැඩිකොටගෙන ඔවුන් එක වහළක් යටට එනවා.
“අපි දෙන්නා හරිම ආදරෙන් සතුටින් ජීවත්වුණා. සුමතිපාල කොහේ ගියත් මාවත් එක්කගෙන යනවා. ඔය ව්‍යාපාර ගැන වුණත් මට හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණේ එයත් එක්ක හැම ගමනක්ම ගිය නිසයි. අපි අපේ ව්‍යාපාරත් කරගෙන දරුමල්ලොත් හදාගෙන ජීවත්වුණා. පොඩ්ඩක් නෙවෙයි දරුවෝ හත්දෙනෙක්ම හදනවා.
අද ඈ අතීතය මතක් කරන්නේ සැහැල්ලු හිතකින්. ඒත් ඒ දරුවෝ උස්මහත් කරන්නට ඈ වින්ද වෙහෙස මේ සැහැල්ලු හිතට යටින් බරට පෙනෙනවා.
“අපි ජීවිතේ පටන්ගත්තේ බොහොම පුංචි තැනකින්. අපිට සැප සම්පත් තිබුණේ නෑ. දරුවෝ හත්දෙනෙක් හදල බලා කියාගන්න එකම කොයිතරම් අසීරු දෙයක් ද? දරුවෝ බලාගන්න අපිට මෙහෙකාරයෝ හිටියේ නෑ. මගේ අම්මයි නංගිලා දෙන්නෙකුයි හිටියා මට උදව්වට. ඒ තුන්දෙනා මගේ දරුවෝ බලාගන්න මට හරියට උදව් කළා.
මෙරට සිනමා කර්මාන්තය තුළ යූ. ඩබ්ලිව්. සුමතිපාල නාමය සේම මිලිනා සුමතිපාල නාමය ද අමරණීයය. සිය සැමියාගේ ව්‍යාපාරයන්ට අමතරව චිත්‍රපට කර්මාන්තය වෙත ද උනන්දුවක් දක්වන ඔහුට මිලිනා සැම විටම ධෛර්යයක් වුණා. ‘අහසින් පොළවට’ හා ‘උන්නත් දාහයි මලත් දාහයි’ චිත්‍රපට මේ නිසාම ඔවුන් අතින් නිෂ්පාදනය වුණා. ඒ අතරින් ලෙස්ටර් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘අහසින් පොළොවට’ චිත්‍රපටය මෙරට ජාත්‍යන්තර වශයෙන් කීර්තිය ද රැගෙන දීමට සමත් වුණා. මිලිනා සුමතිපාල නාමය මෙරට චිත්‍රපට කර්මාන්තයට එක්වන්නේ ‘ගඟ අද්දර’ චිත්‍රපටය තිරයට පැමිණීමත් සමඟය.
“ලෙටීෂියා බොතේජුගේ ‘ගඟ අද්දර’ නවකතාව ඒ කාලයේ මම බොහොම ආසාවෙන් කියවපු කතාවක්. එතකොටත් මට හිතුණා මේක චිත්‍රපටයක් කළොත් කියලා. චිත්‍රපටය කරන්න සාකච්ඡා පැවැත්තුවේ සුමතිපාල ඉන්න කාලෙදිමයි. ඔහු තමයි ඒක මගේ නමින් නිෂ්පාදනය කරන්න උනන්දු කළේ. ලෙටීෂියා බොතේජුයි, සුමිත්‍රා පීරිසුයි මමයි එකතුවෙලා, කාන්තා ත්‍රිත්වයකින් ‘ගඟ අද්දර’ චිත්‍රපටය එළියට ගෙනවා. ‘ගඟ අද්දර'ට මට ලොකු ශක්තියක් වුණු, මාව නිෂ්පාදිකාවක් කළ සුමතිපාල මේ චිත්‍රපටය තිරගත වෙනකොට ජිවතුන් අතර හිටියේ නෑ. චිත්‍රපටය අතිශයින් සාර්ථක වුණා. සම්මාන ඉතිහාසයේ ඒ කාලයේ වැඩිම සම්මාන දිනාගත්ත චිත්‍රපටය බවට පත්වුණා. මේ චිත්‍රපටයෙන් ලබපු ලාභය මම ස්නායු වාට්ටුවක් හදන්න යෙදවූවා.
ගැහැනියකගේ ජීවිතේ සවිශක්තිමත් අත්වැල වූ ස්වාමියාගේ වියෝව එක්තරා ආකාරයක කම්පනයක්. විශේෂයෙන් දරුවන් හත්දෙනෙක් සමඟ ව්‍යාපාර ලෝකයක අතරමං වන තනි ගැහැනියකගේ හෘද ස්පන්දනය කොහොම වේවි ද? ඒ අභියෝගයන්ම සවියක් කොට ගත් ඈ දරු සත්දෙනාගේ වගකීම් ද, ව්‍යාපාරයන්හි වගකීම් ද තනි කරට ගෙන සිය දරුවන්ට සොඳුරු අනාගතයක් හිමිකර දීමේ ඒකායන අධිෂ්ඨානයෙන් ක්‍රියා කළාය.
‘සුමතිපාලගේ වියෝවෙන් පස්සේ සියලු වගකීම් මගේ කරපිට වැටුණා. ඒ හැම දෙයකටම මම උත්සාහයෙන්, ධෛර්යයෙන් මුහුණ දුන්නා. ලොකුම දේ වුණේ මට මගේ දරුවෝ ටික. මට ඕන වුණේ ඔවුන් හොඳ පුරවැසියන් විදියට මේ රටට දායාද කරන්න. මගේ දරුවෝ හත්දෙනා හොඳට හැදුණා. දැන් මට මුනුපුරු මිනිබිරියනුත් එක්ක 35 ක් ඉන්නවා. මගේ දරුවන්ට මම කවදාවත් පාරක් ගහල නෑ. හොඳ නරක බොහොම හොඳට පැහැදිලි කරලා දුන්නා. අදටත් මගේ දරු මුනුපුරෝ ඔක්කොම හැම ඉරිදම මගේ ගෙදරට එනවා. මම ව්‍යාපාර කරන ගමන් දරුවෝ හැදුවා, ඉගැන්නුවා, යුතුකම් ඉටුකළා. වතුපිටි ගත්තේ නෑ ළමයින්ට තමයි පළමු තැන දුන්නේ. දරුවෝ හත්දෙනාට ගෙවල් 7 ක් හදලා දුන්නා. ‘ගඟ අද්දර’ කරලා ලබපු ලාභෙන් මට ඕන වුණා වාට්ටුවක් හදන්න. ඒ කාලේ හිටපු සෞඛ්‍ය ඇමැති හම්බවෙලා මම ඒ ගැන ඇහුවම ඔහු කිව්වා ඔබතුමිය ඔය කිව්වට ඕක කොහොම කරන්න ද කියලා. මම කිව්වා නෑ මම කොහොමහරි කරනවා කියලා. ඒ කාලේ මට රුපියල් ලක්ෂ 20 යි ගියේ. දැන් අවුරුදු 27 කට ඉස්සර. කොටුව පන්සලට චෛත්‍යය හදලා දුන්නා මගේ මහත්තයා සිහිවෙන්න. මට දෙයක් හිතුණොත් ඒක මම කොහොමහරි කරලා තිබෙනවා.
සිය සැමියා පිළිබඳ මතකය ඇය අදටත් සිහිපත් කරනුයේ බැතිබරවය. ඔහු ගොඩනඟා දුන් මඟ යමින්, ඔහු ආදරයෙන් ඇයට තිළිණ කළ දරුවන් පෝෂණය කරමින් ලොකු මහත් කළා සේම අදටත් ඇය සිය සැමියගේ නාමයෙන් නොගියත් පින් දහම්වල යෙදෙන්නීය. බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිනිය ලෙසින් පත්වූ කාල වකවානුවේ ඈ අතින් ඉටුවූ මෙහෙවර අපමණය.
“බෞද්ධ මහා සම්මේලනය බාර අරන් කරන්න කීවම මම ටිකක් බය වුණා. ඒ වුණාට කාලයක් යත්දී මම ඒක හැදුවා. කිසියම් වෙනසක් කළා. ලයිට් බිල්, වතුර බිල් ගෙවලා පඩිනඩි ගෙවාගන්න අමාරුවෙන් හිටිය කාලයක් තිබුණා. ඒ කාලේ තිලංග වැඩ කළේ ටෙලිකොම් එකේ. තිලංග කිව්වා අම්මා පටන්ගත්ත වැඩේ කරගෙන යන්න. මම මගේ පඩිය අම්මට දෙන්නම් කියලා. තිලංග මට මාසෙට ලක්ෂයක් දුන්නා.
‘ගඟ අද්දරින්’ පටන් ගත් සිනමා දිවියට ‘දුවට මවක මිස’, ‘උප්පලවණ්ණා’ සේම තවමත් නිෂ්පාදන තත්ත්වයේ තිබෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘පත්තිනි’ චිත්‍රපටය ද මතු දිනක එක්වනු ඇත. ප්‍රේක්ෂක ජනතාව පිනවන නිර්මාණයකට දායකවීමේ භාග්‍යය ඈ හැමදාමත් උදාකරගෙන ඇත. ඇය සිය දූ දරුවන්ට ආදරණිය මාතාවක් වූවා සේම මෙරටට අමිල මෙහෙවරක් කළ දැයේ මාතාවක් ද වන්නීය. ඇගේ 80 වැනි ජන්ම දිනය සමරන එළඹෙන 25 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඈ වෙනුවෙන් පවත්වන උපහාර උත්සවය සැබෑ මාතෘ වන්දනාවකි. ඈ ප්‍රියකරන ගීත ගායනා කරමින්, නර්තන ඉදිරිපත් කරනුයේ ඇගේම ආදරණීය මුනුපුරු මිනිබිරියන්මය. සංගීත නිර්මාණයෙන් රෝහණ වීරසිංහ හා නර්තන අධ්‍යක්ෂණයෙන් චන්න විජේවර්ධන එක්වෙති. එඩ්වින් ආරියදාස සූරින් හා ඉන්දු පෙරේරා විසින් විරචිත ඈ පිළිබඳ ලියවුණු ග්‍රන්ථ ද්විත්වයක් ද මෙදින දොරට වඩී.
මේ සියල්ල විඳින්නට 80 හැවිරිදි මිලිනා මිත්තණිය පින්වන්තය. ඈ පැවසුවේ වයස අවුරුදු 70 වන විට තමන් සතු සියලු වස්තුව සිය දූ දරු මුනුපුරු මිනිබිරියන්ට බෙදා දුන් බවය. ඈ දැන් නිදහස්ය, නිවහල්ය. මහමෙරක් තරම් යුතුකම් ඉටුකොට, ජිවිත අද්දරට පැමිණ සුපසන් සිනා නඟන්නීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.