කැසිනෝ සමාජ ශාලාවේ ක්‍රීඩාවන් කිහිපයක් ඇත. කාඩ් කුට්ටම භාවිතයෙන් ක්‍රීඩා කිරීම සහ අප කවුරුත් කැසිනෝ යෑයි පැවසූ විට දන්නා කැරකෙන රවුමක ඇති ඉලක්කම් මත වැටෙන බෝලයක් ඇසුරින් ඔට්ටු දැමීමේ ක්‍රීඩාවට ඇත්තේ ඉහළ ප්රතිචාරයකි.
කැසිනෝ සමාජ ශාලාවන් වෙත එන පිරිස වැඩිකර ගැනීම සඳහා නොයෙක් විනෝද අංග එක් කිරීමට එම සමාජ ශාලා හිමියෝ කටයුතු කරති.
අප කැසිනෝ ශාලාවට ගිය දවසේ රාත්‍රි 9.00 සිට 11 දක්වා ඉන්දියානු සුරූපී නිළි preethi සින්ටාගේ විලාසිතා දැක්මක් පැවත තිබුණි.
කැසිනෝ කියන්නේ සූදුවක්. ඊට ඇබ්බැහි වුණොත් මුළු සේසතම විනාශ වී යන බව අප සමාජය තුළ මතයක් ඇත. එනමුත් මේ තරම් පිරිසක් කැසිනෝ සමාජ ශාලා වෙත පැමිණෙන්නේ ඇයිදැයි කියා මට ගැටලුවක් මතුවිය.
කැසිනෝ සමාජ ශාලා වෙත පැමිණෙන බොහෝ දෙනා විදේශිකයන්ය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ව්‍යාපාරිකයන්ය. එනිසා ඔවුනට එක් රාත්‍රියකට රුපියල් ලක්ෂයක් දෙකක් වැයකිරීම එතරම් ගැටලුවක් නැත.
එසේ පැමිණි ශ්‍රී ලාංකික තරුණයන් හතර දෙනකු ක්‍රීඩා කළ කැසිනෝ මේසයක් අසල බලා සිටියදී මට ඔවුන් කළ කතා බහින් එය වැටහිණි.
එදින ඔවුන් ලක්ෂ 35 කට ආසන්න මුදලක් ජයග්‍රහණය කර ඇත.
අයියේ... මට රුපියල් ලක්ෂයක් දෙන්න... ඊයේ උකස් තියපු වළල්ලක් බේරගන්න... එක් තරුණයකු පැවසීය.
ඒ වන විටත් ඔවුන් ළඟ රුපියල් පන් දහසේ මිටි රැසක් තිබුණි.
සෙසු මුදල් සඳහා ඔවුන් ළඟ තිබුණේ කැසිනෝ සමාජ ශාලාවෙන් මුදලේ වටිනාකමට ලබාදෙන සංකේත කැබලිය. (ටෝකන්)

වර්තමානයේ ශ්‍රී ලංකාවේ කැසිනෝ සමාජ ශාලා සඳහා වැඩිපුරම පැමිණෙන්නේ චීන ජාතිකයන් බව මා සමග සුළු මොහොතක් දොඩමළු වූ කැසිනෝ සමාජ ශාලාවේ සේවකයෙක් පැවසීය.
ඔවුන් කැසිනෝ ක්‍රීඩාවට දක්ෂයන් බව එම සේවකයා කීවේය. ඇතැම් චීන ජාතිකයන් කැසිනෝ කප්පිත්තන් බවත් ඔවුන් චීනයේ සිට ගුවන් මගින් පැමිණ ශ්‍රී ලංකාවට ගොඩබැස කෙළින්ම පැමිණෙන්නේ කැසිනෝ සමාජ ශාලා වෙත බව එම සේවකයා පැහැදිළි කළේය.
කැසිනෝ සමාජ ශාලාවේ කෑම බීම, දුම්වැටි, මත්පැන් නොමිලයේ සපයනු ලබයි. නමුත් එම ලබාදෙන මත්පැන් ආහාර සහ දුම්වැටි ප්‍රමාණය තීරණය වන්නේ ඔවුන් ඔට්ටු දමන මුදල් ප්‍රමාණය සහ සාමාජිකත්වය මත පදනම්වය.
මා සිටි මොහොතේ එක් චීන ජාතිකයකු රුපියල් ලක්ෂ 40 ක් පරාජයට පත්විය. ඔහු පැය ගණනක් එහි ක්‍රීඩා කර තිබේ. පරාද වූ මේසයෙන් නැගී සිටි ඔහු වෙනත් මේසයක් වෙත ගොස් යළි ක්‍රීඩාව ඇරඹීය.
කැසිනෝ සමාජ ශාලාව සුරපුරයක් බඳුය. මධුවිත, තාරුකාවන් බඳු කුඩා විදුලි පහන්, සංගීත රාවය, අති විශාල රූපවාහිනී තිර මත ක්‍රිකට් තරග, සංගීත වැඩසටහන් ප්‍රදර්ශනය වීම තුළ කාලය ගතවනු දැනෙන්නේ නැත.
ඒ අතර සුරූපී චීන ගනිකාවෝ කැසිනෝ තරගවලින් ජයගන්නා පුද්ගලයන්ට පහස ලබාදීමට පසුපස දිවයති. ඔබට සම්බාහනයක් අවශ්‍යද? ඔබට රති ක්‍රීඩාවේ නිරත වීමට අවශ්‍යද? යෑයි ඉංග්‍රීසි භාෂාවෙන් විමසමින් කැසිනෝ ජයග්‍රාහකයන් පසුපස දිවයති. ඒ සඳහා එක් පැයකට ඇමෙරිකානු ඩොලර් දහසක් ඉල්ලති.
මා කැසිනෝ සමාජ ශාලාවේ ගත කළ පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක නායකයකුද පැමිණියේය. එම කැසිනෝ සමාජ ශාලාවේ සාමාජිකයෙක් බව දැනගන්නට ලැබුණි.
කැසිනෝ සමාජ ශාලාවේ ක්‍රීඩාවන් මෙහෙයවන තරුණ තරුණියන් පැය කිහිපයකට වරක් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්ව කෙටි විවේකයක් ලබාගන්නා අයුරු මම දුටුවෙමි. මෙම තරුණ තරුණියන් බොහෝ දෙනා සිය රාජකාරි කටයුතුවල නිරතව සිටින්නේ හිටගෙනය. ඔවුනට තම සේවාදායකයන් සමග කතා බහ කළ නොහැකිය.
තම සේවාදායකයන් ක්‍රීඩාවේ යෙදෙන අයුරු සහ තම සේවකයන් ඔවුන් සමඟ ගනුදෙනු කරන අයුරු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් නිරතුරුව පැමිණ පරීක්ෂා කරති.
මෙලෙස කැසිනෝ සමාජ ශාලාවේ රැඳී සිටි මා ඉන් පිටව ආවේ මගේ විදේශ මිතුරන් දෙදෙනා එදින ක්‍රීඩාකර අවසන් වූ විටදීය. එවිට වෙලාව උදැසන 8.30 ට පමණ ඇත. ඒ මොහොතේත් කැසිනෝ සමාජ ශාලාවේ විශාල පිරිසක් රැඳී සිටියහ. තවත් පිරිසක් ශාලාව තුළට එන අයුරු දැකගත හැකිවිය.