පීඩිතයන් 225 කට සහන සැලසීම පුණ්‍යකර්මයකි
ජීවන බරින් පීඩාවට පත්වූවෝ බහුතර ලක්වැසියෝ වෙති.
2015 ජනවාරි 08 වැනිදා සටන් පාඨත් අද ආණ්ඩුවේ ක්‍රියා
පටිපාටියත් අහසට පොළොව මෙනි.
මේ කොදෙව්වේ වාසය කරන්නන්ට මෙවර අයවැයෙන් සහන හිමිවූවාද යන්න ප්රශ්නයකි. ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත රුපියල් විසිපන්දාහේ දඩය මතක් වන විට රියෑදුරෙකුට තම වාහනයේ සුක්කානමට අත තබන්නට සිතෙන්නේ නැත. දඩ වැඩිවීමේ බරද පැටවෙන්නේ සාමාන්‍ය මහජනයා වෙත බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය අඟහරුවාදා තීරණය කරනු ලැබුවේ මන්ත්‍රී පීඩිතයන්ගේ යහපත උදෙසාය. මහජන යහපත වෙනුවෙන්ම කැපවන නිතර මහජන දුකසැප සොයා බලන මේ සාධුජන පිරිස් බලවත් අගහිඟකම්වලින් පෙළෙන බව ආණ්ඩුවේම මතය වී තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ මන්ත්‍රීන්ට ලැබෙන වැටුප අල්ප බවයි. එම නිසාම මේ පීඩිත පිරිස උදෙසා දීමනා වැඩිකිරීමට ගත් පියවර ගැන ලක්වැසියන් සතුටුවිය යුතුද? ඔල්වරසන් දිය යුතුද? වැඩිහිටියන්ට ලබාදෙන දීමනාව රුපියල් සියයකින් කපා හැරි මේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ කාර්යාල පවත්වාගෙන යැම සඳහා මසකට රුපියල් ලක්ෂය බැගින් ලබාදීමට නොමසුරුවී ඇත. හැන්ද ඇත්තේ තමන් අත නිසා කිසිදු පැකිලීමකින් තොරව අවශ්‍ය තරම් බෙදාගත හැකිය. මේ පිරිස තමන් සතු හැන්දෙන් මහජනයා වෙත බෙදා දෙන්නේ කවරක්ද, සීනි කිලෝව රුපියල් දෙකකින් අඩු කිරීමද?
මන්ත්‍රීවරයකුගේ පාර්ලිමේන්තු පැමිණීමේ දීමනාවද රුපියල් පන්සියයේ සිට දෙදහස් පන්සියය දක්වා ඉහළ දමා ඇත. දක්ෂිණ අධිවේගය නිසා අහිමි වන ඉඩම් කට්ටියකට රුපියල් එකයි පනහේ වන්දිය හිමිවෙද්දී මන්ත්‍රී දීමනාව සියයට හාරසියයකින් ඉහළ ගොස් ඇත. දියවන්නාවට පැමිණෙන මහජන නියෝජිතයන් පාපැදිවලින් හෝ ත්‍රිරෝද රථවලින් සිය ගමන් පහසුව සලසා ගන්නේද? සියලුදෙනා පැමිණෙන්නේ අධිසුඛෝපභෝගී වාහනවලිනි. තීරුබදු රහිත වාහන බලපත්‍රය නිසා වාසි ඡන්ද දායකයාට නොව මහජන නියෝජිතයන්ටය. ඒ කවරක් වුවත් යහපාලන ආණ්ඩුව ජීවන බරින් පීඩිතව සිටින මන්ත්‍රීවරුන්ට සහන සැලසීමට නොපැකිලිවීම ගැන අප සතුටු විය යුතුය. මෙරට කෝටි දෙකක ජනතාවක් වාසය කළද වඩා වැදගත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනාය. මහජන සහන අඩුකර හෝ මේ පිරිසට සහන සැලසීම ගැන අප කම්පා විය යුතු තැත.
2015 ජනවාරි 08 වැනිදා සටන් පාඨත් අද ආණ්ඩුවේ ක්‍රියා පටිපාටියත් අහසට පොළොව මෙනි. 30 දෙනාගේ කැබිනට් මණ්ඩලය එක් සිහිනයක් පමණකි. එය චිත්‍රයට ඇඳිය හැකිද යන්නත් ප්රශ්නයකි. මන්ත්‍රී දීමනාව වැඩි කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව කියයි. නමුත් පඩි වැඩිවූ විට ආණ්ඩුපක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේම පඩිපත වැඩිවන බව පැහැදිලිය. ඇමැතින් 27 දෙනෙකුට හා විපක්ෂ නායකවරයාට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 79 ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත වුණේ පසුගිය සෙනසුරාදාය. අයවැය සහන කෙසේ වෙතත් මැති ඇමැති සහන නම් දෝරේ ගලා යන බව පෙනේ.
දිවයින කතුවැකියෙනි