ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 10, 2016

මහින්ද රාජපක්ෂගේ දෙබිඩි දේශපාලනය…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි තම දේශපාලන කාර්යාලයේදී මුණ ගැසී තිබිණි. දෙමළ භාෂාවෙන් මාධ්‍යකරණයෙහි නිරත එම මාධ්‍යවේදීන් සමඟ කළ කතාබහේදී හිටපු ජනාධිපතිවරයා දැක්වූ අදහස් පිළිබඳව උණුසුම් කතිකාවක් රට තුළ නිර්මාණය වී තිබේ. ඒ මූලිකවම ඔහු එහිදී දැක්වූ විවාදාත්මක අදහස් හේතුවෙනි.‍ සිංහල ජාතිවාදියකු ලෙස චිර ප්‍රසිද්ධව සිටින මහින්ද රාජපක්ෂ එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා තිබුණේ ඊට මුළුමනින්ම පටහැනි ආකාරයටය. වත්මන් රජය දේශපාලන සිරකරුවන් නිදහස් කරද්දී කොටින් නිදහස් කරන බව කියමින් උස් හඬින් ඝෝෂා කළ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ස්වරය දෙමළ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වත්දී ඊට වඩා සෑහෙන මෘදු බවට හැරී තිබිණි. අපරාධ චෝදනා නොමැති දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කර තිබූ රාජපක්ෂ මහතාගේ ස්ථාවරය ඒ පිළිබඳ වන යහපාලන රජයේ ස්ථාවරය සමඟ මුළුමනින්ම පෑහුණි. මෙම මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයා හොඳම “චරිත සහතිකය” ලබා දී තිබුණේ සී. වී. විග්නේශ්වරන් උතුරු පළාත් මහ ඇමැතිවරයාටය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ගෝලයින් පමණක් නොව උතුරේ දෙමළ දේශපාලනඥයන් පවා විග්නේශ්වරන්ගේ ජාතිවාදී ප්‍රකාශ දැඩිව ප්‍රතික්ෂේප කරන පසුබිමක හිටපු ජනාධිපතිවරයා මහ ඇමැතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය විස්මයජනක එකක් විය. තමන්ගේ සමයෙහි මාධ්‍ය නිදහසක් පැවැති බවට සුපුරුදු පුරසාරම මෙම හමුවේත් දිගහැර තිබු හිටපු ජනාධිපතිවරයා තවත් බොරු බේගල් රැසක් එහිදී ඇද බා තිබිණි.

බොරුව, රැවටිල්ල අපගේ දේශපාලනය තුළ පොදු අත්දැකීමක් වුවත් එම රැවටිලිකාරි හැකියාව අතින් මහින්ද රාජපක්ෂ තරම් කෙළ පැමිණියෙකු මෑත කාලයේ හමු නොවන තරම්ය. නිසැකවම දෙබිඩිකම් පිළිබඳව වන හිටපු ජනාධිපතිවරයාගේ කෙරුවාව මහාවංශය තරම් දිගු එකකි. මහින්දට පමණක් නොව රාජපක්ෂ දේශපාලනයේ ආදි කර්තෘවරුන්ට ද මෙම රැවටිලිකාරි ගුණය අඩු නැතිව පිහිටා තිබිණි. කුරහන් සාටකය පිළිබඳ කතාන්දරයම ඊට නිදර්ශනයකි. රාජපක්ෂවරුන් කුරහන් සාටකය පැලඳීම ඇරැඹුවේ ගිරුවාපත්තුවේ හා මාගම්පත්තුවේ අහිංසක ගෝවීන් නියෝජනය කිරීමට යැයි කීව ද ඒ පිළිබඳ වන ඇත්ත කතාන්දරය වෙනස් එකකි. වර්ණ ක්‍රමයක් මත මැතිවරණ පැවැත්වූ පැවැත්වූ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ ඩී. එම්. රාජපක්ෂ මහතා මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ තමන්ට ලැබෙන පාට කුමක්දැයි ඔහු එවකට එහි සිටි හඩ්සන් නමැති ඒජන්තවරයාගෙන් විමසා තිබිණි.
 “උඹේ පාට ද? මේ තියෙන්නෙ” යනුවෙන් අවඥාවෙන් පවසමින් එවිට ඔහු තම කකුල මේසය මතට රැගෙන සපත්තුවේ පැහැය පෙන්වා තිබේ. දුඹුරු පැහැයට හුරු එම සපත්තුවේ පැහැය වර්ණය ලෙස හිමි වූ පසු ශූර දේශපාලන කපටියෙකු වූ ඩී. එම්. රාජපක්ෂ අහම්බෙන් ලැබුණු පාට තම වාසියට හරවා ගත්තේ තමන් රුහුණු මාගම් ගිරුවා පත්තුවේ ගොවීන්ව නියෝජනය කරන බව පවසමිනි. එම කාරණය පිළිබඳව දීර්ඝ විස්තරයක් ලෙනාඩ් වුල්ෆ් ලියා ඇති අතර ප්‍රකට ලේඛක විජේසිංහ බෙලිගල්ල විසින් එය සිංහලයට පරිවර්තනය කරන ලදී. එතැන් සිට කුරහන් සාටකය දේශපාලනයේදී රාජපක්ෂවරුන්ගේ පේටන්ට් අයිතියට නතු වූ අතර තමන්ගේ පක්ෂයේ කෙනෙකුට පවා එය භාවිත කළ නොහැකි විය. වරක් මහින්ද රාජපක්ෂ සමීපතම හිතවතකු වූ එම්. කේ. රංජිත් හෙවත් චණ්ඩි මල්ලි සාටකය සහිත තම ඡායාරූපයක් ප්‍රචාරාත්මක පුවරුවක පළ කළ බව දැනගැනීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා වහා එය ගැලවීමට අණ කළ බව ප්‍රසිද්ධ කාරණයකි. හම්බන්තොට කුරහන් ගොවීන්ගේ දුක, වේදනාව හා ඔවුන්ගේ අස්වැන්නේ පැහැය තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් අනුකම්පා විරහිතව භාවිත කළ ද දස වසරක් රට පාලනය කළ සමයෙහි හෝ ඔවුනට රාජපක්ෂවරුනගෙන් අත්වූ සෙතක් නොමැති තරම්ය. හම්බන්තොට කුරහන් ගොවීන් තම නිෂ්පාදන අලෙවි කරගැනීමට නොහැකිව ලතවෙද්දී ඉන්දියාවෙන් කුරහන් ආනයනය කිරීමට තරම් පැය විසිහතර පුරාම දේශීයත්වය පිළිබඳ
නන්දොඩවන ජනාධිපතිවරයකුගේ හිත එසමයෙහි ගල් වී තිබිණි.

මහින්ද නිරතුරුවම පෙනී සිටීම් කරනුයේ ඔහු තරම් දේශප්‍රේමියකු රට තුළ නොමැති ගානටය. නමුත් ඔහුගේ මේ දේශප්‍රේමය යනු හුදු අලංකාරිකයකට වඩා වැඩි දෙයක් නොවේ. මහින්ද ජනාධිපති වූ පළමු අවස්ථාවේදීම එය පෙනී ගියේය. ගල උඩ සටනක් වූ 2005 වසරේ පැවැති එම ජනාධිපතිවරණයේදී මහින්දගේ කඳවුර තම ආසන්නතම ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දමා ගැසු ප්‍රධාන “බෝම්බය” වූයේ අලි කොටි ගිවිසුමය. එසේ කියමින් දිගට හරහට එජාප අපේක්ෂකයාට කොටි ලේබල් ඇලවූ මුත් සැබැවින්ම එම තීරණාත්මක මැතිවරණයේදී එල් ටී ටී ඊ ය සමඟ ගිවිසුම් ගතව සිටියේ රාජපක්ෂය. ඡන්ද වර්ජනයක් සඳහා රාජපක්ෂ එල් ටී ටී ඊ ය සමඟ මුදල් ගනුදෙනුවක නිරත වූ බව පසුව මංගල සමරවීර, ශ්‍රීපති සූරියආරච්චි, ටිරාන් අලස් ප්‍රසිද්ධියේ හෙළි කරන ලදී. ඔවුන් තිදෙනා එම රහසිගත මෙහෙයුම තුළ තීරණාත්මක භූමිකා නිරූපණය කර තිබිණි. ටිරාන් අලස් 2007 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබා දුන් ප්‍රකාශයේ මෙම ගනුදෙනුවේ සියලු තොරතුරු හෙළි කර තිබුණේ රුපියල් මිලියන 180ක් බැසිල් රාජපක්ෂ මහතා විසින් තම කාර්යාලයේදී එල් ටී ටී ඊ යේ මුදල් පාලකයකු වූ එමිල් කාන්තන් හට ලබා දුන් බව පවසමිනි. මුදල් ගෙවා සිදු කර ගත් එම ඡන්ද වර්ජනය අවසාන ප්‍රතිඵලය කෙරෙහි දැඩිව බලපෑවේය. ඒ එසේ නොවන්නට රාජපක්ෂ පරදවමින් පැහැදිලි දිනුමක් ලබා ගැනීමේ හැකියාව එජාප අපේක්ෂකයාට තිබූ බැවිනි. අතිශය රහසිගත ආකාරයට සිදු කළ එම ඡන්ද වර්ජනය හමුවේ මහින්ද රට රැවට්ටුවාට අමතරව එම දුෂ්කර මොහොතේ ඔහුව දේශපාලනිකව ශක්තිමත් කළ ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය රැවට්ටුවේය. ඒ ඔවුන්ගෙන් ද මෙම ගිවිසුම වසන් කරමිනි.
තම පාලනයට අභියෝග කළ ඒ වෙනුවෙන් පෙළ ගැසුණු දූෂණ වංචා ගැන කතා කළ පුද්ගලයන්ට කොටි ලේබල් ගැසු රාජපක්ෂලා අරන්තලාවේ මහා සංඝයා ඝාතනය කළ නැගෙනහිර කොටි නායකයින්ට මැති ඇමැතිකම් සමඟ ශ්‍රීලනිපයේ උපසභාපතිකම දුන්නේය. එය මාතෘ භූමියේ ආරක්ෂාවට නොවේ. හුදෙක් තම පැවැත්ම වෙනුවෙනි. ජාත්‍යන්තර කොටි නායක කුමරන් පද්මනාදන්ට හෙවත් කේ.පී.ට රාජපක්ෂ යුගයේ රජ සැප දුන් බව මුළු රටම දනී. එසේ කරමින් කොටින් කඩකළ මානව හිමිකම් නොසොයන්නේ යැයි ජාත්‍යන්තරයට දොස් කීවේය.
බලය ලබා ගත් පසු ජාත්‍යන්තරය පිළිබඳ හීනමානයක් මහින්ද රාජපක්ෂ තුළ විය. ඔහු හැම විටම ජාත්‍යන්තරය දෙස බැලුවේ සතුරු දෘෂ්ටි කෝණයෙනි. සැකයෙනි. ජාත්‍යන්තරයට අවශ්‍ය පරිද්දෙන් තමන් නොනටන බව හා ජාත්‍යන්තර අතපෙවීම්වලට විරුද්ධ බවට වන අදහස් භාවෝත්මාදී ආකාරයෙන් නිතර සමාජගත කළ ද ඇමැතිවරයකු වීමට පෙර යුගයේදී නම් රාජපක්ෂට ජාත්‍යන්තරය තරම් වැදගත් තවත් දෙයක් නොවුණ තරම්ය. 88- 89 භීෂණයෙන් පසු ක්‍රියාත්මක වූ මවු පෙරමුණේ සම කැඳවුම්කරුවකු වූ මහින්ද සාමාන්‍යයෙන් එවකට මාර්තුවේ හා ඔක්තෝබරයේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සමුළු අවස්ථා කිහිපයකටම සහභාගි වෙමින් එක්සත් ජාතීන්ගෙන් නොනවත්වා ඉල්ලුවේ ශ්‍රී ලංකාවේ කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන ලෙසය. 1990 ඔක්තෝබර් 25 දින ඔහු පාර්ලිමේන්තුවේ සිදු කළ කතාව හැන්සාඩ් වාර්තාවේ 366 වැනි පිටුවේ සඳහන්ව ඇත්තේ මේ ආකාරයටය. “මම මේ රටේ මවුවරුන්ගේ දුක් අ‍ඳෝනා රැගෙන ගියා. ඔවුන් ගැන කතා කිරීමට මට නිදහසක් නැද්ද? රටවල් 12ක්ම මේ මවුවරුන්ගේ අ‍‍ඳෝනාවලට ඇහුම්කන් දුන්නා.” මහින්ද එදා එසේ පවසා තිබිණි. 1989 වසරේ දෙසැම්බර් 04 වැනි දින මහින්ද කළ කතාව හැන්සාඩ්හි පිටු අංක 941 හි සඳහන්ව ඇත.
එහිදී ඔහු එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරි කණ්ඩායමට හා ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය. ඉන් නොනැවතී මානව හිමිකම් කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කොන්දේසි පැනවිය යුතු බවට රාජපක්ෂ මහතා අවධාරණය කළේ 1990 ඔක්තෝබර් විසිපස් වැනිදාය. “ආධාර ලබා දෙද්දි කොන්දේසි පනවන්නේ නැත්තේ ඇයි කියලා අපි ආධාර දෙන රටවල්වලින් ඇහුවා. එහෙම කරන්න කියලා අපි ඉල්ලීමක් කළා” යනුවෙන් මහින්ද එදා කියා තිබිණි. මානව හිමිකම්වලට රජය ගරු නොකරන්නේ නම් ජිනීවාවලට නොව ලෝකයේ ඕනෑම තැනකට යාමට සූදානම් බවත් අවශ්‍යනම් අපායට වුවත් යාමට සූදානම් බවත් මහින්ද එදා වැඩිදුරටත් පවසා තිබිණි.
නමුත් බලය ලබා ගත් පසු සියල්ල වෙනස් විණි. තම අභ්‍යන්තරික දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජාත්‍යන්තරය සතුරෙකු ලෙස ඔහු නිර්මාණය කර ගත්තේය. බලයේ සිටියදී ජාත්‍යන්තරයට තඩි බෑම ඔහුගේ “විනෝදාංශය” විය. එහිදී විදුලි පුටුව මැතිවරණවලදී නොනවත්වා මැතිරු මන්තරය විය. කෙසේ වෙතත් ජාත්‍යන්තරයට ප්‍රහාර එල්ල කරන අතරතුර ඒ සමඟ අවබෝධාත්මක ගනුදෙනුවකද රාජපක්ෂලා නිරත විය. ඒ රටට හොරාය. යුද්ධය නිමා වූ පසු බැන් කී මූන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙරටට පැමිණි පසු ඔහු සමඟ ඒකාබද්ධ ලියවිල්ලක් අත්සන් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් මතු කරන කාරණා සම්බන්ධයෙන් සංවේදී වන බවට ඔහු එකඟතාවකට පැමිණියේය. 2010 වසරේ මැයි 15 දින උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ස්ථාපිත කිරීම එහි එක් පියවරක් විය. එක් පසකින් එසේ ජාත්‍යන්තරය සැනසුව ද මහින්ද රටේ ජනතාව හමුවේ අලෙවි කළේ දේශප්‍රේමයය. අප ඒ සියල්ල විස්තර කළේ මහින්දගේ දෙබිඩි බව විස්තර කිරීමටය.
ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එරෙහි යුද අපරාධ චෝදනාවලට පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව දිගින් දිගටම පැවසු මුත් අතුරුදන් වූවන් සොයා බැලීම සඳහා කොමිසමක් පත්කරමින් එහි කාර්යභාරය හා විෂය පථය ඊට උපදෙස් ලබාදීමට පසුව එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණයන්හි කටයුතු කළ අධි චෝදකයින් තිදෙනෙකුව උපදේශකයන් ලෙස නම් කර එම කමිටුව පිහිටුවනු ලදී. රාජපක්ෂ එසේ කළේ 2/3ක බලයක් තිබු තම පාර්ලිමේන්තුව හෝ දැනුවත් නොකරය.
උතුරු නැගෙනහිර ගැටලුවලට විසඳුමක් ලෙස දේශපාලන විසඳුමක් පිළිබඳ සංවාද මතු වූ සෑම මොහොතකම මහින්දගේ ස්ථාවරය වැනෙනසුලු එකක් විය.
ඉන්දියාවට ගොස් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යෑමට එහි නායකයන්ට පොරොන්දු වූ මුත් රට අභයන්තරයේදී එවැන්නකට කිසිදු උනන්දුවක් නොදක්වන ලදී.
සදාචාර පෙරමුණ තුළදී පවා මහින්දගේ ස්ථාවර පැහැදිලි ප්‍රශ්නකාරී විය. බුදුදහම හිස මත තබාගත් මහින්ද රාජපක්ෂගේ හොඳම මිතුරෙකු වූයේ කැසිනෝ රජෙකු වූ ජේම්ස් පැකර්ය. ඉල්ලා සිටි සියලු බදු සහන ලබා දෙමින් පැකර්ගේ ආයෝජන මෙරටට රැගෙන ඒමට රාජපක්ෂලා උපරීමයට උත්සාහ කළ බව රටට නොරහසකි. බදු වර්ග දහයක විරාමයක් ලබා දුන් එම ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් දශකයක් තුළ ඩොලර් බිලියනයකට වඩා වැඩි බදු ආදායමක් අහිමි වීමට ඉඩ තිබිණි. ලංකා රජය හා පැකර් අතර වූ එකඟතාව ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට “ද ඒජ්” පුවත්පත හඳුන්වා තිබුණේ ‘අරුම පුදුම’ “පෙම් ගිවිසුමක්” ලෙසය. අනෙක් අතට, මතට තිත යන්න මහින්ද චින්තනයේ ප්‍රධාන තේමාවක් වුවද එය ද කිසි දිනෙක මහපොළොවේ ඇත්තක් වූයේ නැත. ලොව මත්පැන් පරිභෝජනය වැඩිම රටක් බවට ලංකාව පත්වූයේ ඔහුගේ යුගයේදීය. මත්පැන් නිෂ්පාදනාගාර තැබෑරුම් දුසිම් ගණනින් තිබු ඇමැතිවරු ඒ යුගයේ සිටි අතර එතනෝල් හොරෙන් ගෙන්වීම පිළිබඳ විවිධ කතා වරින්වර පැතිරුණ ද මහින්ද චින්තනයේ දේශප්‍රේමයේ බලයෙන් ඒ සියල්ල යටපත් විණි.
අතීත කතා ද දිග හරිමින් අපි මේ සටහන තැබුවේ දේශපාලනඥයකු ලෙස රාජපක්ෂ මහතාගේ දෙබිඩි වාර්තාව හෙළි කිරීමටය. ඉන් ගැලවීමට ඇති සූදානම බලය ගිලිහුණු පසුද ඔහු පෙන්වා නොමැති වීම සැබවින්ම අවාසනාවකි. සුපැහැදිලිවම රටකට අවශ්‍ය ඍජු ප්‍රතිපත්තියක් සහිත නායකයන් මිසක දේශපාලන බලය සමඟ දෙබිඩි හැසිරීම්හි නිරත වන රාජපක්ෂ පන්නයේ නායකයන් නොවේ.
චාමර ලක්ෂාන් කුමාර




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.