ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 12, 2016

ගෝත්‍රවාදී පක්‍ෂ දේශපාලනය...!!!

වර්තමානය වන විට මෙරට පක්‌ෂ දේශපාලනයට වසර අසූවක්‌ ගතව තිබේ. බහුතර සිංහල ජනතාවක්‌ සිටින රටක්‌ වුවද රටේ වැදගත් තීරණ ගනු ලබන්නේ ගෝත්‍රවාදී පක්‌ෂවල උපදෙස්‌ පරිදිය. විශේෂයෙන්ම මූලධර්මවාදී පක්‌ෂවල ස්‌ථාවරය වන්නේ විශේෂ ආගමික නීති මගින් සිංහල රට සිරකිරීමයි. මේ ක්‍රමය සහමුලින්ම වැරදිසහගත වුවද පක්‌ෂ දේශපාලනය සිය බලය උදෙසා පමණක්‌ යොදා ගන්නා වත්මන් දේශපාලනඥයන්ට එම තත්ත්වය නිවැරදි කරගන්නට ශක්‌තියක්‌ නැත. සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් පමණක්‌ බලයට පැමිණිය නොහැකි බව යළි යළිත් පුන පුනා ප්‍රකාශ කරන තැනට ඔවුන් පත්ව තිබේ. සැබවින්ම මේ ගෝත්‍රකවාදී දේශපාලනයේ ගමනක අවසානය සනිටුහන් වී ඇතැයි සිතන්නට හැකිය.

 ලංකා ජාතික සංගමයෙන් ඉවත් වූ ඩී. එස්‌. සේනානායක  එක්‌සත් ජාතික පක්‌ෂය පිහිටුවනු ලද්දේ 1946 වසරේදීය. ජාතික සංගමයට වාමාංශිකයන් ඇතුළත් කර ගැනීමට තීරණය කිරීම නිසා ඩී. එස්‌. මහත් සේ උරණව සිටියේය. කෙසේ වෙතත් එක්‌සත් ජාතික පක්‌ෂය ලංකාවේ දෙවැනි පක්‌ෂය හැටියට ජනතාව ඉදිරියට පැමිණියේ 1947 මැතිවරණයත් සමගිනි. දෙමළ, මුස්‌ලිම්, සිංහල ඇතුළු ලංකාවාසී සියලු ජනතාව ඒකරාශී කිරීමේ අරමුණින් තැනූ ව්‍යවස්‌ථාවක්‌ සහිත එක්‌සත් ජාතික පක්‌ෂය ඉතා ටික කලකින් වඩාත් ශක්‌තිමත් සමගි සන්ධානයක්‌ බවට පත් විය. ඒ අවස්‌ථාවේ දී ද්‍රවිඩ කොංග්‍රසය අන්ත ජාතිවාදී ස්‌ථාවරයක සිටියහ. නමුත් අකමැත්තෙන් හෝ එක්‌සත් ජාතික පක්‌ෂයට බැඳී තරග කිරීමට ඔවුන්ට සිදු විය. නමුත් ඩී. එස්‌. ට විරුද්ධව සිටි එකම බලවේගය බවට පත් වූයේ මාක්‌ස්‌වාදී බලවේගයයි. මේ විරෝධතාව මැඬලීමට ඩී. එස්‌. වහා අනුවණ තීරණ කීපයක්‌ ගැනීමට උත්සුක විය. එකක්‌ නම් දෙමළ හා මුස්‌ලිම් සුළු ජන සංයුතියක්‌ තිබෙන ඡන්ද කොට්‌ඨාසවල මායිම් වෙනස්‌ කිරීමයි. මේ මගින් සුළු ජනවර්ගයන්ගේ පාර්ලිමේන්තු නියෝජනය එක්‌සත් ජාතික පක්‌ෂයට හිතැති ලෙසට ලැබුණි. අනෙක්‌ කරුණ නම් 1948 ලංකා පුරවැසි පනත හා 1949 ඉන්දියානු හා පකිස්‌තානු පදිංචිකරුවන්ගේ පුරවැසි පනත මගින් ඉන්දියානු ඡන්දදායක සංඛ්‍යාව සීමා කරන ලද්දේය. මේ මගින් මාකස්‌වාදී පක්‌ෂ වෙත ඇදී ගිය ඡන්ද වළක්‌වාලීම ඔහුගේ බලාපොරොත්තුව විය. මේ පියවරයන් නිසා උතුරු සහ නැඟෙනහිර පළාත්වලින් පලවා හරින ලද සිංහලයන්ට වඩා වැඩි නියෝජනයක්‌ සුළු ජනකොටස්‌වලට ලැබුණි. එක්‌සත් ජාතික පක්‌ෂයේ ගෝත්‍රවාදී ස්‌ථාවරත්වය වර්ධනය වන්නේ බලය රඳවා තබා ගැනීමට සිදු කරන ලද පියවරක්‌ ලෙසටයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය 1951 සැප්තැම්බර් මස 02 දින පිහිටුවාලීමට කටයුතු කළ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායකගේ දර්ශනය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයයි. එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉවත් වී විපක්‌ෂයට පැමිණි ඔහු දේශපාලනයේ බෙදීම අනුමත කළේ මෙලෙසිනි.' බෙදීම හෙවත් භේදවීම ජීවිතතයට අවශ්‍ය දෙයකි. දියුණුව ප්‍රගතිය උදාවන්නේ එවැනි තත්ත්වයකින්ම පමණි. එහෙත් එය එයම පරයා නැඟ සිටින සාමග්‍රිය පෙලන සුළු භේදයක්‌ නොවිය යුතුය. මගේ මේ දර්ශනය ක්‍රියාත්මක කළ හැකි බව මම නිතර ඇදහීමි. එය නිවරදි බව මේ රටේ ජනතාව ප්‍රත්‍යක්‌ෂ කොට හමාරයි.'

සැබවින්ම බණ්‌ඩාරනායකට මෙම අදහස පැමිණියේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදය උගෙන ගත් මහ ගෙදරින් ද යන්න විමසිය යුතුය. නමුත් එවකට දේශපාලනයේ යටින් දිවගිය අප්‍රකාශිත කතාවක්‌ මේ සම්බන්ධව පවතී. එය මෙසේය. 1935 ලංකා සමසමාජ පක්‌ෂය පිහිටුවාලීමෙන් මෙරට පක්‌ෂ දේශපාලනය ආරම්භ විය. එහෙත් ආගන්තුක වූ මාක්‌ස්‌වාදී ප්‍රතිපත්තීන් කෙරෙහි ජනතා ආකර්ෂණය ඇති කිරීම ලෙහෙසි පහසු නොවීය. ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්‌කය වූයේ වැඩ කරන ජනතාවයි. එසේම වතු කම්කරුවන්ද ඔවුන්ගේ දේශපාලන ඉලක්‌කයක්‌ විය. ඒ අතරවාරයේ එක්‌සත් ජාතික පක්‌ෂය බිහිවීමත් සමග ප්‍රධාන දේශපාලන ප්‍රවාහය ලෙසින් එය ස්‌ථානගත විය. එයට හේතුව එම පක්‌ෂයේ නායකයා වූ ඩී.එස්‌. සේනානායක  ජෝන් කොතලාවල වැනි අය විසින් පුරාණ රජරට සභ්‍යත්වය නැවත ඇති කරලීමට කරන ලද වැඩ කොටසයි.

ඩී.එස්‌ ගේ අභාවය සිදු වූයේ 1952 මාර්තු මාසයේදීය. ඒ වන විට බණ්‌ඩාරනායක  පක්‌ෂය හැර ගොසිණි. 1948 දී රටට නිදහස ලබාදුන්නද මේ වන විටත් රාජ්‍ය පාලනයේ අදිසි හස්‌තය වූයේ සෝල්බරි සාමි වැනි බ්‍රිතාන්‍ය නියෝජිතයන්ය. සමසමාජ පක්‌ෂයේ බැබළීම මත ඉදිරියේ දී රටේ ප්‍රධාන දේශපාලන දහරාව බවට එය පත් වීමෙන් බ්‍රිතාන්‍ය අධිරජ්‍යවාදයට ඇති වන තර්ජනය මේ නියෝතයෝ වහා වටහා ගත්හ. එහිදී එවකට සිටි පාලක පක්‌ෂයේ නායකයන් කීපදෙනකු කැඳවා කළ රහස්‌ සාකච්ඡාවක්‌ විය. මෙයට මහ සේනානායක  ජෝන් කොතලාවල  සහ බණ්‌ඩාරනායක ද අයත් විය. නැඟ එන සමසමාජ බලවේගය ඔවුන්ගේ ප්‍රධානතම මාතෘකාව විය. බ්‍රිතාන්‍ය නියෝජිතයන්ගේ යෝජනාව වූයේ නව විරුද්ධ පක්‌ෂයක්‌ සෑදීමෙන් සමසමාජ බලවේගය දුර්වල කළ හැකි බවයි. මේ යෝජනාවට කිපුණු ජෝන් කොතලාවල  මෙම නියෝජිතයන්ට බැණ වැදී තිබේ. නමුත් බණ්‌ඩාරනායක  මෙම යෝජනාවට එකඟතාව පළ කොට ඇත. ඔහුගේ කොන්දේසිය වූයේ එවකට රටේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබූ ප්‍රධාන මාතෘකාවක්‌ ඉදිරියට ගනිමින් දේශපාලනය සකස්‌ කරගත යුතු බවයි. එය නම් සිංහල භාෂාව රටේ ප්‍රධාන භාෂාව බවට පත් කිරීමයි. මෙයට එකඟතාව හිමිවුණි. එක්‌සත් ජාතික පක්‌ෂය එක්‌ පිලකටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තවත් පිලකටත් බෙදී මෙරට පක්‌ෂ දේශපාලන කරළිය උණුසුම් කරන්නේ එතැන් සිටය. මෙම අප්‍රකට කතාව අප සමග පවසා සිටියේ එවකට පොලිස්‌ සේවයේ නිරතව සිටි දයාරත්න නම් විශ්‍රාමික පොලිස්‌ සාජන්වරයෙකි. බ්‍රිතාන්‍ය නියෝජිතයන් සමඟ කරන ලද රහස්‌ සාකච්ඡාවේ තොරතුරු යතුරුලියනය කරන ලද්දේ ඔහු විසිනි.

1952 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තනිවම තරග කොට ආසන නවයක්‌ දිනාගත්තේය. එමගින් රටේ සමස්‌ත සිංහල ජනගහනය එක්‌සත් ජාතික පක්‌ෂයටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයටත් වශයෙන් ප්‍රධාන කොටම දෙකට බෙදුණහ. මීට ප්‍රථම 1935 වර්ෂයේ පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්‌ෂය බිහිව තිබූ නමුත් බරපතළ සමාජ බෙදීමකට මුලපුරන ලද්දේ 1952 වර්ෂය තුළදීය. 1943 වර්ෂයේදී ඡේ. ආර්. ජයවර්ධන සිංහල හා දෙමළ බස රාජ්‍ය භාෂා කරන මතයේ සිටියේය. එයම එක්‌සත් ජාතික පක්‌ෂයේ මතය විය. එම තත්ත්වය තුළ ඔවුහු සිංහලය රජ බස කිරීම සඳහා වූ ජනතා ඉල්ලීමට කන්නුදුන්හ. නමුත් බණ්‌ඩාරනායක  එම මතයට ගරු කරමින් පොදු ජනතාව පැත්ත ගනිමින් මේ ප්‍රතිපත්තියට එකඟතාව පළ කර සිටියේය. 1956 දී එතුමාගේ ජයග්‍රහණයට මූලික හේතුව වූයේ මෙයයි.

1951 ජුනි මස දී රැස්‌වූ සිංහල මහා සභා සම්මේලන අවස්‌ථාවේ දී සිංහල භාෂාව වහාම රජයේ භාෂාව කළ යුතු යයි යෝජනාවක්‌ සම්මත විය. ස්‌වභාෂාව රාජ්‍ය කටයුතුවලදී ප්‍රමුඛතාවට පත්කළ යුතු බවට මේ වන විට ඩී. එස්‌. සේනානායක රජයේ ආතර් විඡේවර්ධන කොමිසම ද නිර්දේශ කර තිබුණි. ඉන් පසුව සිංහල භාෂාව පිළිබඳ අවශ්‍යතාව රටේ දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක්‌ බවට පත්වූ අතර ස්‌වභාෂාවන්ගෙන් උසස්‌ විභාග පැවැත්වීම සුදුසු යයි ජෝන් කොතලාවල රජයේ උසස්‌ අධ්‍යාපන කොමිසම ද නිර්දේශ කොට තිබුණි. එසේම අධ්‍යාපන මාධ්‍ය ස්‌වභාෂාවට පත් කිරීම සඳහා පත් කරන ලද ටී. ඩී. ජයසූරිය කාරක සභාව ද යෝජනාවලියක්‌ ඉදිරිපත් කර තිබුණි.

දෙමළ භාෂාවට ද ස්‌වභාෂාවක්‌ වශයෙන් නිසි තැන හිමි විය යුතු යයි ද එය ස්‌වයං තීරණ අයිතිය මත පදනම්ව වෙනම දෙමළ රාජ්‍ය ප්‍රධාන භාෂාව විය යුතු යයි ද 1949 දී බිහිවූ චෙල්වනායගම් ගේ දෙමළ රාජ්‍ය පක්‌ෂයේ මතවාදය විය. ජාතික නිදහස දිනා ගැනීම උදෙසා රටේ බහුතර ජන බලයකින් සමන්විත වූ ලංකා ජාතික සංගමය කටයුතු කළ අතර පසුව එක්‌සත් ජාතික පක්‌ෂය ඉන් බිහි විය. සිංහල මහ සභාවේ ජාතික මතය සමග සිටි බණ්‌ඩාරනායක  1951 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බිහි කළේය. මේ පක්‌ෂ දෙක හුදෙක්‌ දේශපාලන බලය උදෙසා සිංහල ජාතික මතය අත්හළ බව පෙනේ. 1951 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පළමුවැනි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 10 වැනි පිටුවේ ජාතික භාෂා යනුවෙන් සඳහන් වන කොටසේ ඇතුළත්ව ඇත්තේ සිංහල හා දෙමළ භාෂාව අප්‍රමාදව රජයේ භාෂා බවට පත් වීම අත්‍යවශ්‍ය බවයි. කෙසේ වෙතත් සිංහල ජාතික මතය දරන බොහෝ පිරිසක්‌ පසුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට එකතු විය. පක්‌ෂ මතය කෙසේ වුවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායකයා වූ බණ්‌ඩාරනායකට නැඟී එන ජාතික මතය අවසානයේ පිළිගැනීමට සිදු විය. මේ තත්ත්වය මෙසේ පවතින අතර සිංහල හා දෙමළ දෙබසටම සම තැන් දෙන බව අගමැති ජෝන් කොතලාවල  උතුරට ගොස්‌ කළ ප්‍රකාශයක්‌ නිසා සිංහල ජනතාව අතර මහත් ආන්දෝලනයක්‌ ඇතිවිය. ඒ සමගම සිය පක්‌ෂයේ මතය පැහැදිලි කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා කිරීමට යෝජනාවක්‌ ඉදිරිපත් කරන ලදී. ජාතික අභිමානයෙන් කිතිකැවී සිටි සිංහලයන් විසින් මේ කිසිවක්‌ පිළිනොගන්නා ලදී. බලයට පත්ව පැය විසිහතරක්‌ තුළ සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව කරන බව සිංහල ජාතික බලවේග සමග සිටි බණ්‌ඩාරනායක  තීරණාත්මක ලෙසට ප්‍රකාශයට පත් කළේය. බෞද්ධ තොරතුරු පරීක්‌ෂණ වාර්තාව ලංකා ජාතික ගුරු සංගමයේ සිය බස්‌ සටන මෙයට වඩාත්ම බලපෑවේය. එක්‌සත් ජාතික පක්‌ෂය ද මේ ගැන කලබලයට පත්ව 1956 දී කැලණියේ පැවැත්වූ සම්මේලනයකදී සිංහලය පමණක්‌ රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාවක්‌ සම්මත කර ගත්තේය.

අඩ සියවසකට එහා කාලයක සිට ජාතික නිදහස්‌ සටන්වල යෙදී සිටි සිංහල ජනතාව 1956 දී මහජන එක්‌සත් පෙරමුණු රජයට ඓතිහාසික ජයග්‍රහණයක්‌ අත්පත් කර දුන්නේ බණ්‌ඩාරනායක සිංහල ජාතික බලවේගයන්හි මතයට අවංකව ම ගරු කළ බැවින් යෑයි ජනතාව අතර මතයක්‌ තිබූ බැවිනි. එහෙත් 1956 ජුලි 06 වැනිදා උත්තර මන්ත්‍රී මණ්‌ඩලයෙන් සම්මතව ක්‍රියාත්මක භාවයට පත් රාජ්‍ය භාෂා පනතට දෙමළ රාජ්‍ය පක්‌ෂය විසින් එල්ල කරන ලද බලවත් විරෝධතාවන් ඔස්‌සේ බණ්‌ඩාරනායක  සිය මුල් ස්‌ථාවරය දෙසට දෝලනය විය. දෙමළ බසට ද සාධාරණ තැනක්‌ තිබිය යුතු බව ඔහුගේ මුල් මතය විය. ඒ අනුව චෙල්වනායගම් සමග ඇතිකර ගත් ගිවිසුම 1957 ජුලි 26 වැනිදා ප්‍රකාශයට පත් විය.

බණ්‌ඩාරනායක මහතා අගමැතිව සිටි කෙටි කාලයේදී සිය ප්‍රතිපත්ති අනුව යමින් ත්‍රිකුණාමලය හා කටුනායක බ්‍රිතාන්‍ය ගුවන් තොටුපළවල් පවරා ගැනීම, බස්‌ සේවය ජනසතු කිරීම, වරාය නැව් බඩු සංයුක්‌ත මණ්‌ඩලය පිහිටුවීම, සමාජවාදී රටවල් සමඟ තානාපති සබඳකම් ඇති කර ගැනීම, විෙද්‍යාදය හා විද්‍යාලංකාර බෞද්ධ අධ්‍යාපන පීඨ පූර්ණ බලතල සහිත විශ්වවිද්‍යාල බවට පත් කිරීම, කුඹුරු පනත ගෙන ඒම, කම්කරු විනිශ්චය සභා පිහිටුවීම සහ වගා රක්‌ෂණ ක්‍රමයක්‌ ඇති කිරීම වැනි වැදගත් දේශපාලන තීරණ රැසක්‌ ගන්නා ලදී. ලංකා ජාතික සංගමයෙන් බිහිවූ එක්‌සත් ජාතික පක්‌ෂය සිය මුල් ස්‌ථාවරයේ සිටිමින් සිංහල දෙමළ මුස්‌ලිම් ඇතුළු සියලු ජනතාව එක්‌රොක්‌ කොට නව ජාතියක්‌ බිහිකරලීමේ යෙදී සිටියද ජනතාව බලාපොරොත්තු වන මාර්ගය එය නොවීය. දශක ගණනාවක්‌ යටත් විජිත පීඩනයෙන් සිය ස්‌වදේශිකත්වය ඔසවා ගැනීමට නොහැකිව සිටි ඔවුහු පූර්ණ සිංහල රාජ්‍යයකට නැවත ගමන් කිරීමට උත්සාහ ගනිමින් සිටියහ. (මෙයින් අදහස්‌ කරන ලද්දේ දෙමළ, මුස්‌ලිම් ජනවර්ග ප්‍රතික්‌ෂේප කිරීම නොවේ) මේ මතය භාවිතා කරමින් දේශපාලනය තුළ ගෝත්‍රවාදී පක්‌ෂයක්‌ ලෙසට ඉස්‌මතු වූයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයයි. ඔවුහු ආණ්‌ඩු පිහිටුවීමේදී වෙනත් පක්‌ෂ සමග සන්ධාන ගත්වීමට උත්සාහ දරනු පෙනුණි. ඒ මගින් නිරන්තරයෙන්ම සැබෑ සිංහල ජන මතය යටපත් විය. විප්ලවකාරී සමසමාජ පක්‌ෂයත් මහජන එක්‌සත් පෙරමුණත් සමග සන්ධාන ගත වීමෙන් පමණක්‌ ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැකි වනු ඇතැයි යන මිත්‍යා මතය නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ආරම්භක ජයග්‍රහණයේ පටන් වෙනත් බලවේග මත යෑපෙන්ට පටන් ගත්හ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරීමයි.

බණ්‌ඩාරනායක ඝාතනයෙන් පසු සිරිමා බණ්‌ඩාරනායක මුල් අවදිය සැබවින්ම මෙරට ජාතික බලවේගයන්හි අදහස්‌ මුදුන්පමුණවා ගැනීමට ලැබුණු ස්‌වර්ණමය අවස්‌ථාවකි. එහෙත් නැවතත් තනි පක්‌ෂයක්‌ බලවේගයක්‌ වශයෙන් ඉදිරියට නොපැමිණීමට ගත් තීරණ නිසා අනෙක්‌ පක්‌ෂ සමග යෑපෙන්නට යැමෙන් ශ්‍රීලනිපය ගෝත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ විය. 1970 න් පසු ශ්‍රීලනිපය මාක්‌ස්‌වාදී පක්‌ෂවල අත්අඩංගුවට පත් විය. රජයට විරුද්ධව පැමිණි ජ.වි.පෙ.

කැරැල්ල සැබවින්ම විදේශ බලවේගයන්හි උසිගැන්වීමකි. සිංහල ජාතික පසුබිමක්‌ තිබූ සිරිමා රජය බෙලහීන කොට නැවතත් අධිරාජ්‍ය ගැති රාජ්‍ය ස්‌ථාවරයක්‌ බිහිකිරීම මෙහි පරමාර්ථය විය. 1977 වර්ෂයේදී එක්‌සත් ජාතික පක්‌ෂය නැවතත් බලයට පත් වන්නේ තුනෙන් දෙකේ බලයක්‌ සහිතව නමුත් මේ රජය පවත්වා ගැනීමට අවශ්‍ය සිංහල ජාතික බලවේගයන්හි සහාය නොලැබුණි. ඊට හේතුව එම රජය විශ්වාස කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මත සිංහල සංස්‌කෘතිය මහා අර්බුදයකට පත් වීමයි. නමුත් ඡේ. ආර්. රටට පිරිමහින වැදගත් තීරණයකට එළැඹ සිටියේය. ඒ නම් විධායක ජනාධිපති ක්‍රමය බිහිකිරීමයි. එහෙත් එය තවදුරටත් සංවර්ධන කොට ගෝත්‍රවාදී දේශපාලනයෙන් ඉවත් වීමට එක්‌සත් ජාතික පක්‌ෂයට නොහැකි වුණි. අසූනවයේ නැවත මතුවූ ජ.වි.පෙ. කැරැල්ල තුළ සිංහල ජාතික මතයෙන් ඉවත් කළ තරුණ පරපුරක ෙ€දවාචකය හොඳින් ප්‍රදර්ශනය විය. ඡේ. ආර්. ගෙන් පසු ශක්‌තිමත් ලංකාවක්‌ වෙනුවට විදෙස්‌ බලවේගයන් විසින් නැටවෙන රටක්‌ ක්‍රමයෙන් බිහිකිරීමට අවශ්‍ය පසුබිම සැකසුණි. ශ්‍රීලනිපය නැවත අළු ගසා නැඟී සිටින්නේ සිය ගෝත්‍රවාදී ප්‍රතිපත්තීන්ට නව මානයන් එක්‌ කරමිනි. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක යුගය මෙයට ඇති ඉහළම උදාහරණයයි. සමසමාජ කොමියුනිස්‌ට්‌ වැනි පක්‌ෂ අභිබවා නැඟී සිටි දෙමළ සහ මුස්‌ලිම් ගෝත්‍රවාදී පක්‌ෂවල මතයට හිස නැමීම සිදු වන්නේ පනහේ දශකයේ ස්‌ථාපිත කරනු ලැබූ පක්‌ෂ දේශපාලනයේ බෙදීම මතයි.

වර්තමානය වන විට මෙරට පක්‌ෂ දේශපාලනයට වසර අසූවක්‌ ගතව තිබේ. බහුතර සිංහල ජනතාවක්‌ සිටින රටක්‌ වුවද රටේ වැදගත් තීරණ ගනු ලබන්නේ ගෝත්‍රවාදී පක්‌ෂවල උපදෙස්‌ පරිදිය. විශේෂයෙන්ම මූලධර්මවාදී පක්‌ෂවල ස්‌ථාවරය වන්නේ විශේෂ ආගමික නීති මගින් සිංහල රට සිරකිරීමයි. මේ ක්‍රමය සහමුලින්ම වැරදිසහගත වුවද පක්‌ෂ දේශපාලනය සිය බලය උදෙසා පමණක්‌ යොදා ගන්නා වත්මන් දේශපාලනඥයන්ට එම තත්ත්වය නිවැරදි කරගන්නට ශක්‌තියක්‌ නැත. සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් පමණක්‌ බලයට පැමිණිය නොහැකි බව යළි යළිත් පුන පුනා ප්‍රකාශ කරන තැනට ඔවුන් පත්ව තිබේ. සැබවින්ම මේ ගෝත්‍රකවාදී දේශපාලනයේ ගමනක අවසානය සනිටුහන් වී ඇතැයි සිතන්නට හැකිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.