ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 19, 2016

1986 සිට 90 ජවිපෙ කැරළි...!!!

ලාංකීය සාම්ප්‍රදායික වාම ව්‍යාපාරය කලක නියෝජනය කළේ උගත් මධ්‍යම පන්තිකයන්වූ කාන්තාවන් පිරිසකි. ඔවුන් අතින් සමාජ ප්‍රගමනයට ඉවහල් වන කාරණා රැසක් සිදුවුවද පසුකාලීනව එහි ස්වරූපය මෝස්තරරූපි ලක්ෂණ වලින් ගහණ විය. එන්.ජී.ඕ කාන්තා ව්‍යාපාරය මගින් එය තවත් උඩු යටිකුරු කරන ලදී. විප්ලවවාදී දේශපාලනය තුළ කාන්තාවන්ගේ දායකත්වය ප්‍රථමයෙන් පෙන්නුම් කළේ 1971 අප්‍රේල් කැරැල්ල තුළය. එම කාන්තාවන් ඇතමෙක් තුළ පැවතියේ සමාජවාදී සමාජයක් ඇතිකර ගැනීම පිළිබඳව හැගීමක්ද එසේත් නොමැතිනම් පීඩනයට ලක්වූ සමාජ ස්ථරයන් නියෝජනය කිරීම නිසා එයට යොමුවීමක්දැයි විවාදිතය. ජවිපෙ කාන්තා අංශය හැදින්වූයේ සමාජවාදී කාන්තා සංගමය නමිනි. එහි මංගල මහා සමුළුව 1982 ජනවාරි 6 සහ 7 පැවැත්වූයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදීය. ජවිපෙ පොදු කටයුතු සඳහාත් සංස්කෘතික කටයුතු සඳහාත් කාන්තා සාමාජිකාවන්ගේ දායකත්වය කැපි පෙනිණි. ජවිපෙ 1983 ජුලි පක්ෂ තහනමින් පසු සමාජවාදී කාන්තා සංගමය ක්‍රියාත්මක වන්නේ අදාළ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් යටතේ ක්‍රියාත්මක වු කාන්තා අංශය වශයෙනි. එයට අදාළ තීරණ ගැනීම් සමාජවාදී කාන්තා සංගමය මගින් සිදුකරන ලදී. සෙබළිය නමින් භූගත පුවත්පත්ද එකල එළි දැක්විණි. මර්ධනකාරි වාතාවරණය තුළ උපක්‍රමශීලි ලෙස ක්‍රියාත්මකවීම ඔවුන් සතු ලක්ෂණයක් විය.
ජවිපෙ 2 වැනි කැරළි සමය වූ 1986 සිට 90 දක්වා කැරැල්ලට එක්ව සිටි පූර්ණකාලීන සහ අර්ධකාලීනව කාන්තාවන් සංඛ්‍යාව 800ක් පමණ වූ අතර හිතවත් මට්ටමින් සහාය දුන් කාන්තාවන් පිරිස 5,000ක් පමණ විය. මේ අතරින් 2,000කට ආසන්න කාන්තාවන් පිරිසක් ඝාතනයට හෝ අතුරුදහන් වූ බවට ප්‍රකාශ විය. බොහෝ කැරළිකාරිනියන් ඝාතනයට සහ අත්අඩංගුවට පත්වූයේ කැරළිකරුවන්ගේ ඇදුම්, තොප්පි, සපත්තු, ඖෂධ බෑග් සකස්කිරීම, ජවිපෙ පන්තිවලට සහභාගිවීම, නවාතැන් දීම, ප්‍රහාරයන්ට සහාය දීම, විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීම වැනි කටයුතු වලදීය. ඝාතනයට ලක්වූ තරුණියන් බහුතරයක්ම වාගේ තිරස්චින අතවරයන්ට ලක්වී තිබිණි. දොඩම්ගස්ලන්දේ ස්වර්ණලතාගේ ඝාතනය ඉන් වඩාත්ම ප්‍රචලිත වූ සිද්ධිය වේ.


ඇය නමින් අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතාය. ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) ඇයට දුන් නම දීපිකා මුතුහෙට්ටි(26)ය. පසු කලෙක මනෝරි ලෙසද ඇය හැදින්විණි. ජවිපෙ 2වැනි කැරළි සමයේ ජවිපෙ සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා ඇය වූවාය. ගාල්ල කරාපිටිය රෝහළ අසළ ස්ථානයකට යමින් සිටියදී 1988 දෙසැම්බර් 8වැනිදා ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ ආරක්ෂක අංශ මගිනි. ඇය සමඟම සිටි හිනිදුම තලන්ගල්ලේ එම්. ජී. කරුණාවතීගේ වැඩිමහල් දියණියවූ ජවිපෙ ගාලු දිස්ත්‍රික් කොට්ඨාශ නායිකාවක්වූ චාමිනී ගීතාංජලී මුතුහෙට්ටි ගමගේ(24) නොහොත් වරුණිද ඒ සමඟම අත්අඩංගුවට පත්වූවාය. පසුව දෙදෙනාම ඉමදුව කොටිගල හමුදා කඳවුරට ගෙනයෑමෙන් පසු වධබන්ධන සහ තිරස්චින අතවර වලට මුහුණදීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූහ.

වසර 1971 අප්‍රේල් 16වැනිදා අත්අඩංගුවට පත්වීමෙන් පසු 1971 අප්‍රේල් 17වැනිදා තිරස්චින අතවරවලට ලක්වීමෙන් පසු වෙඩිතබා ඝාතනය කල කතරගම අවුරුදු කුමාරියවූ ප්‍රේමවති මනම්පේරි 

ආරක්ෂක හමුදා මගින් 1988 දෙසැම්බර් 8 ගාල්ලේදි පැහැරගත් බව කියන පසුව කොටිගල කඳවුුරේදී තිරස්චින අතවරවලට ලක්ව ඝාතනයට ලක්වූ ජවිපෙ සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා දොඩම්ගස්ලන්දේ අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා නොහොත් දීපිකා මුතුහෙට්ටි නොහොත් මනෝරි සහ ගාල්ල දිස්ත්‍රික් ජවිපෙ කාන්තා නායිකාවක්වන හිනිදුම තලන්ගල්ලේ චාමිනි මුතුහෙට්ටි නොහොත් වරුණි යන දෙදෙනා ඉහළ වමේ සිට දැක්වේ. පහළ දැක්වෙන්නේ ඔවුන් දෙදෙනාගේ සිතුවම් ජවිපෙ සමාජවාදී කාන්තා සංගමය මගින් 2001 මාර්තු මස ප්‍රකාශයට පත්කර තිබූ අන්දමය. 


සිද්ධියටත් වඩා අනුවේදනීය ජනක සිද්ධියක් වූයේ රූමත් තරුණියකද වූ දොඩම්ගස්ලන්දේ ස්වර්ණලතාගේ එම ඝාතනය වේ. කතරගම 
මනම්පේරි ජවිපෙ 71 අප්‍රේල් 5 කැරැල්ල වෙනුවෙන් කතරගම ගාමිණී බාස්ගේ නායකත්වයෙන් එක්ව සිටි කැරළිකාරිනියකි. හමුදාව වටකරන විට දෙටගමුව කැලයට කැරළිකරුවන් පසුබසින අවස්ථාවේදී ප්‍රේමවතී එයට එක්වීමට ඉල්ලීමක් කලද එය ඉටු නොවීය. ජවිපෙ පන්ති පැවැත්වීම සහ නිල ඇදුම් මැසීම ප්‍රේමවතී විසින් සිදුකර තිබිණි. තරුණියන් 500කට ආසන්න පිරිසක් 71 අප්‍රේල් කැරැල්ලේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් ඇතමෙක් තිරස්චින අතවර වලටද මුහුණ දුන්නාය.
ආරක්ෂක අංශ මගින් 1989 ඝාතනයකර ටයර් සෑයේ පිලිස්සූ බවට පවසන ජවිපෙ කැරළිකරුවන්ගේ මිනිස් ඇටකටු නිරික්ෂණයට ලක්කරන මහමඟ ගමන්ගත් බස්රථයක මගීන් පිරිසක් මෙහි දැක්වේ.
අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා උපන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්දේ රිදිගම, පල්ලෙහොරෙම්බුවදි 1963දීය. ඇයගේ පියා ලියෝනිස් සිල්ලර කඩයක් කරගෙන ගිය සුළු ව්‍යාපාරිකයෙකි. මව ඇසිලින්ය. එම දෙපලට දරුවන් 8කි. ස්වර්ණලතා 5වැන්නාය. ඇයට වැඩිමහල් සොහොයුරියන් වුයේ වර්තමානයේ දොඩම්ගස්ලන්දේ යසෝනා, මාතලේ උඩස්ගිරියේ නන්දාවතී, මාතලේ කයිකාවල කරුණාවතීය. කණිටු සොහොයුරින් වූයේ කුරුණෑගල කුඹුක්ගැටේ තිලකාවතී, මාතර වලාලේ මංගලිකා සහ කුරුණෑගල තල්ගස්පිටියේ චන්ද්‍රලතාය. පවුලේ එකම පිරිම දරුවා වූ සුමනදාස ඇයගේ වැඩිමහල් සොහොයුරාය.

ස්වර්ණලතා අධ්‍යාපනය හැදෑරුවේ දොඩම්ගස්ලන්ද රූද්දගොඩ මහා විද්‍යාලයෙනි. පාසැලේ ඇය ශිෂ්‍ය නායිකාවකි. අපොස උසස් පෙළ ඉහළින්ම සමත් වූවාය. ඇය ජවිපෙ දේශපාලනයට එක්වූයේ සිය පියාගේ සොහොයුරියකගේ දියණියක් වන හව්වා දේවලාගේ චන්ද්‍රලතා මගින් 1980දීය. චන්ද්‍රලතා ඒ වනවිට පල්යාය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවකි. චන්ද්‍රලතාට ජවිපෙ කොක්ක ගැසුවේ සුමනදාස නොහොත් ස්වර්ණලතාගේ අයියාය. දොඩම්ගස්ලන්ද පල්යාය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විට සුමනදාස ජවිපෙට 1970දී එක්වූයේ රණසිංහ ඉස්කෝලේ මහත්තයා මගිනි. ජවිපෙ 1971 කැරැල්ලට සහභාගිවීම නිසා ගංගොඩවිල විද්‍යයෝදය කඳවුරේ වසර කිහිපයක් සිටින්නට සුමනදාසට සිදුවිය. සුමනදාස සහ ස්වර්ණලතා පමණක් නොව එම පවුලේ බොහෝ දෙනා ජවිපෙ අනුගාමිකයින්ය. අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව 1982 සිසු විරෝධතාවලට ජවිපෙ සාමාජිකයෙකු වශයෙන් ක්‍රියාකාරිව මැදිහත්වූ ස්වර්ණලතා අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීනයෙකු විය. 
  ඝාතනයට ලක්වූ දොඩම්ගස්ලන්දේ ස්වර්ණලතාට සහ හිනිදුම චාමිනීට බලපිටිය මහකරාවේදී නවාතැන් දුන් බවට චෝදනා කරමින් ආරක්ෂ අංශ මගින් 1989දී ගිනිතබා විනාශකල බව කියන නිවසේ හිමිකරුවූ ඩිල්මන් පුල්වංශ, ඔහුගේ බිරිඳවන සරුගේ ජයසීලි, ජවිපෙ ක්‍රියාකාරින්වූ පුත්‍රයින්වන විපුල් පුල්වංශ සහ උරුගස්මංහන්දියේදී 1991 ජුනි 2වැනිදා ඝාතනයට ලක්වූ නලීන් කුමාර පුල්වංශ(ඉහළ වමේ සිට)
ඇය දඹදෙණිය ආසනයේ කාන්තා ක්‍රියාකාරිනියක වශයෙන් 
 ක්‍රියාකල අතර ජවිපෙ 1983 ජුලි තහනමින් පසු වඩ වඩාත් පක්ෂයේ වගකීම් කරට ගත්තාය. ජවිපෙ පන්ති පවත්වමින් සිටියදී නාරම්මල පොලිසිය මගින් 1984දී මාර්තු මස ඇය අත්අඩංගුවට ගන්නා ලදී. පසුව නුවර බෝගම්බර බන්ධනාගාරයේ මාස 2ක් රඳවා තබාගැනීමෙන් පසු අලව්ව උසාවියෙන් ඇප ලබාදුණි. පසුව ඇය සමාජවාදී කාන්තා සංගමයේ කලාප නායිකාවක් විය. රුහුණු සරසවියේ 1985දී ශ්‍රාස්ත්‍ර පීඨයට ඇතුල්වූවද සති කිහිපයකින්ම යළි ජවිපෙ දේශපාලනයට ගිය ඇය සරසවියට ආයුබෝවන් කීවාය.

ප්‍රථම වරට ඇය ජවිපෙ පුහුණු කඳවුරකදී තෙදින අවි පුහුණුව 1985දී ලබාගත්තේ හෙන්පිතිගල පල්ලකැලේය. පසුව ජාතික අධ්‍යාපන පුහුණු කඳවුරකට ස්වර්ණලතා සහභාගි වූයේ 1985 නොවැම්බර් 3 වැනිදාය. එය දින 15ක් පුරා පැවතියේ කළුතර ප්‍රදේශයේ කිලෝමීටර් 8ක් පමණ පයින් යෑමෙන් පසු සිංහරාජ කැලේ තිබූ කඳවුරකය. එයට 31 දෙනෙකු සහාභාගිවූ අතර ඉන් එකම කාන්තාව වූයේද ඇයයි. එහිදී භාවිතා කල නම සමන්මලීය. පසුව ජවිපෙ කාන්තා අංශයේ දිස්ත්‍රික් කාන්තා නායිකාවක් වශයෙන් වැඩකල ස්වර්ණලතා දකුණු පළාත් කාන්තා නායිකාව ලෙස ගාල්ලේ ස්ථානගත වූයේ එම්.ජී කරුණාවතීගේ හිනිදුම තලන්ගල්ලේ නිවසේය. කරුණාවතීගේ දියණිය වූ චාමිනී ගීතාංජලී මුතුහෙට්ටි ගමගේද ජවිපෙ ගාල්ල දිස්ත්‍රික්කයේ කාන්තා කොට්ඨාශ නායිකාවක් විය. ස්වර්ණලතා චාමිනීගේම සොහොයුරියක් ලෙස පෙනිසිටීමට එම නිවසේම ලිපිනය යොදා ගනිමින් දීපිකා මුතුහෙට්ටි නමින් නව හැදුනුම්පතක්ද සාදා ගත්තේය. 
71 අප්‍රේල් කැරැල්ලේදී චිරස්චින අතවරවලට ලක්ව ඝාතනයවූ කතරගම ප්‍රේමවතී මනම්පේරි, ජවිපෙ 2වැනි කැරලි සමයේදී වධබන්ධන වලට ලක්ව ඝාතනයවු තරුණියන් සිය ගණනක් අතරවූ අරණායක උස්සාපිටියේ වාඩුවාවල චන්ද්‍රාමාලනී ගුණසේකර, මීපිටියේ සාමාලි කුමාරි සරෝජා, හක්මන පල්ලෙවෙල මාලනී රත්නායක, කදානේ පී. පද්මා, ජයවර්ධනපුර සරසවි සිසු කෑගල්ල ගලිගමුවේ ඉරේෂා පොල්ගම්පොල(ඉහළ වමේ සිට)
ස්වර්ණලතා අත්අඩංගුවට පත්ව ඝාතනයවන විට ඇය විවාහ වී දෙමසකි. හෝකන්දර සිරිනිමල් අමරතුංග ඇයගේ සැමියා විය. ඔවුන් විවාහ වූයේ ගාල්ලේදීය. හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුලත් දකුණු පළාත් ජවිපෙ නායකයා වශයෙන්ද කටයුතු කල ප්‍රධාන ලේකම්  උපතිස්ස ගමනායක කලාප රැස්වීමකදී සඳහන් කළේ ස්වර්ණලතා සහ සිරිනිමල් ඇමරිකන් ආක්‍රමණයට එරෙහිව සටන් වැදුණු වියට්නාම් යුවලකට සමකරමිනි.  ජවිපෙට 1984දී ක්‍රියාකාරිව එක්වූ සිරිනිමල් කලක් කෑගල්ල, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි කලාප නායකයෙකු විය. සිරිනිමල්ද පසුව 1989 මුල්භාගයේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක්විය. ස්වර්ණලතාගේ සැමියාවූ ඝාතනයට පත්වූ සිරිනිමල් අමරතුංග අනුස්මරණය කරමින් ඔහුගේ දෙමාපියන් පදිංචිව සිටි නිවස පසුකළෙක සිරිනිමල්ගේ පවුලේ අය විසින් වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන යෑමට පරිත්‍යාග කර තිබිණි.

ජවිපෙ කැරළිකරුවන් විසින් 1989 ඝාතනය කල පොලිස් නිලධාරියෙකුගේ දේහයට අවසන් ගෞරවය දක්වන පවුලේ ඥාතීන්.
සුමනදාස වන ස්වර්ණලතාගේ එකම සොහොයුරා 1987 දෙසැම්බර් 6වැනිදා උඩබද්දාවේ නිවසකදී පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මීගමුව බන්ධනාගාරයෙන් කුලියාපිටිය උසාවි බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වන කන්නංගර නිදහස්කර ගැනීමට කරන ලද මෙහෙයුමකිනි. පසුව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ඔහු 1988 දෙසැම්බර් 13වැනිදා ජවිපෙ විසින් සෙසු ජවිපෙ සැකකරුවන් 221 සමඟ බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නිදහස් කරගනු ලබයි. අනතුරුව ඕමාරගොල්ලේ ජවිපෙ සංවිධාන කටයුතු වල නිරත වූ ඔහු යළිත් 1990 අගෝස්තු 17වැනිදා දඹුල්ලේදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්වේ. පසුව වසර 4ක් බන්ධනාගාර ගතව සිටින සුමනදාස ආනමඩුව පුනුරුත්ථාපන කඳවුරේ මාස 6ක රඳවා ගැනීමෙන් පසු කුරුණෑගල උසාවිය මගින් නිදොස් කොට නිදහස් කරනු ලබයි. පසුව වයඹ පළාත් සභාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජවිපෙ මන්ත්‍රීවරයෙකු වශයෙන් 2003 සිට වසර 5ක් කටයුතු කල සුමනදාස වර්තමානයේ දොඩම්ගස්ලන්ද ආසනයේ ජවිපෙ සංවිධායකවරයෙකුවූ හෙතෙම සිව්දරු පියෙකි. ඔහුගේ බිරිඳ චන්ද්‍රානි ජයලත්ය.

ගාල්ල කරාපිටිය රෝහළ අසළ 4වැනි පටුමගේ පිහිටි ජවිපෙ රහසිගත සම්බන්ධීකරණ ස්ථානයකට යමින් සිටියදී 1988 දෙසැම්බර් 8වැනිදා පැහැරගනු ලැබූ ස්වර්ණලතා සහ චාමිනී රැගත් රථය අහංගම දෙසට ධාවනය විය. පසුව දෙදෙනාම ගාල්ල ඉමදූව කොටිගල කඳවුරට ගෙනගිය අතර එහිදී වධ බන්ධනවලට ලක්විය. එහෙත් කිසිදු තොරතුරක් ඔවුහු විසින් අනාවරණය කළේ නැත. අවසානයේ තිරස්චින අතවර වලට දින 10ක් පුරා මුහුණ දුන් අතර පසුව වෙඩිතබා ඝාතනය කර පුළුස්සා දමන ලදී. ස්වර්ණලතා සහ චාමිනී ගාල්ලේදී අත්අඩංගුවට පත්වන්නේ ගාල්ල දඩල්ලේ බස් කොන්දොස්තරවරයෙකුවූ ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවන ගුණපාල නොහොත් තිලකරත්නගේ පුත්‍රයා වන අනුර නොහොත් වසන්තගේ ඔත්තුවක් අනුව බවට චෝදනාවකි. කොස්ගොඩදී අත්අඩංගුවට ගත් එම පිය පුතු දෙපල පසු කළෙක නිදහස් විය.  
ස්වර්ණලතා සහ චාමිනීගේ අතුරුදහන්වීමට එරෙහිව ඔවුන්ගේ දෙමාපියන් විසින් අධිකරණයට 1988 දෙසැම්බර් මස අධිකරණයට හබයාස් කෝප්‍රස් පෙත්සම් ඉදිරිපත් කරන ලද්දේ නීතිඥ චරිත ලංකාපුර ඇතුළු නීතිඥ කණ්ඩායමක් මගිනි.  ස්වර්ණලතා සහ චාමිනීගේ අතුරුදහන්වීම ඇතුළුව අධිකරණයට හබයාස් කෝප්‍රස් පෙත්සම් සිය ගණනක් ඉදිරිපත් කිරීම නිසා අර්ධ මිල්ටරි කණ්ඩායමක් විසින් 1989 ජුලි 7 කොම්පඤ්ඤවීදියේ ඇල්පිටියේ පදිංචි 35 හැවිරිදි නීතිඥ චරිත ලංකාපුරද ඝාතනය කරන ලදී. 

බලපිටිය ජවිපෙ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වූ කොස්ගොඩ හෑගල්ලේ පූර්ණ හෝටලය අසළදී වසන්ති සහ තවත් තරුණියක් අත්අඩංගුවට පත්විය. හෝටලයේ හිමිකරුගේ පුතාවූ කොස්ගොඩ හෑගල්ල මහා විද්‍යාලයේ සිසු ජගත්ද මාතරින් ජවිපෙට එක්ව සිටි අතර බලපිටිය පාතමුල්ලේ විදුහල්පතිවරයෙකුවූ සුමතිපාලගේ පුතුන් වන සමන්ත සහ චූටි යන ජවිපෙ ක්‍රියාකාරිකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ගත් ප්‍රයත්නයේදී වසන්ති කොටුවිය. ස්වර්ණලතා සහ චාමිනී කොටිගල කඳවුරට ගෙන‍යන විටද ඝාතනය වන දිනයේදීද වසන්තිද එහි විය. පසුව මැදිහත්වීමක් මත වසන්ති ගාල්ල මූලස්ථාන ‍පොලිස් පරික්ෂක වෙත භාරදුන් අතර 1988 දෙසැම්බර් 9 සිට 30 දක්වා කාලය තුළ ගාල්ල සහ යක්කලමුල්ල පොලිස් ස්ථානවල රඳවාගත් වසන්ති ගාල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් විය. සදාකාලිකව රහසක් වන්නට තිබූ ස්වර්ණලතා සහ චාමිනීට  තිරස්චින අතවර කර වෙඩිතබා ඝාතනය කර පුළුස්සා දැමීමේ සිදුවීම විවර වූයේ මෙසේ අත්අඩංගුවට ගෙනසිටි ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ වසන්ති මගිනි.
වසර 1987 මැද භාගයේ සිට ගාල්ලේ කැරළිකරුවන්ගේ ක්‍රියාකාරිත්වය ඉහළ තලයකට පැමිණෙමින් තිබිණි. තල්ගස්වල හමුදා කඳවුරට 1987 සැප්තැම්බර් 27වැනිදා ජවිපෙ ප්‍රහාරයක්ද එල්ලවූ අතර අවි ආයුධද පැහැරගනු ලැබීය. දකුණු පළාත් ආඥාපති වශයෙන් කර්නල් ලක්ෂ්මන් අල්ගම පත්විමෙන් පසු ගාල්ල  දිස්ත්‍රික්කයේ කැරළිකරුවනට එරෙහිව අනුකම්පා විරහිත මෙහෙයුමක් දියත්කර තිබිණි. කොස්ගොඩ ගනේගොඩැල්ල පන්සලේ අස්සජි හිමි, කස්සප හිමි ඇතුළු හිමිවරුන් ගණනාවක්ද ඝාතනය වන අතර විල්ලහේන පරගොඩ ජවිපෙ පුහුණු කඳවුරකටද පහරදීමෙන් කැරළිකරුවන් 10ක් ඝාතනයට ලක්විය.
ආරක්ෂක අංශවල මෙන්ම කැරළිකරුවන්ගේද වැඩි අවධානයක් බලපිටියට යොමුවිය. බලපිටිය ආසනයේ අම්බලන්ගොඩ පොලිසියේ සිට රන්දොඹෙන් ඇරඹි බෙන්තර ඇල්පිටිය මහා ඉදුරුව දක්වා සාතිශය බහුතරය සලාගම කුලයට අයත් විය. කන්දේගොඩ කුරුදුවත්ත, බලපිටිය බේරතුඩුව, වතුගෙදර සීනිගොඩ, ආදදොල යන ගම් කරාව සහ වෙනත් කුලවල ජනයා නියෝජනය කළේය. කොස්ගොඩ එජාපයට බරවූ අතර අහුංගල්ල, බලපිටිය සාම්ප්‍රදායික වමට බරය. බේරුතුඩුව, මහකරාව, හීනැටිය සහ සීනිගොඩ වැනි ගම් ජවිපෙ මූල කඳවුරු බවට පත්වෙමින් තිබිණි. ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවිගම හැරුණු විට වාණිජ සහ දේශපාලන බලය මුහුදුබඩ ප්‍රදේශවල මුළුමනින්ම වාගේ පැවතියේ කරාව සහ සලාගම කුලවලට අයත් පිරිස අතරය.
ස්වර්ණලතා සහ චාමිනී අවසන් වරට නවාතැන් ගෙනසිටි බලපිටිය මහකරාවේ සිය දූ පුතුන් ජවිපෙ පූර්ණකාලිනයින්වූ ඩිල්මන් පුල්වංශට අයත් නිවස ඇතුළු ජවිපෙ කැරළිකරුවන්ට සහාය දුන් බවට සැක කරන නිවෙස් සිය ගණනක් ගාලු දිස්ත්‍රික්කය තුළ විනාශ කරන ලදී. ඒ පිළිබඳව චෝදනාව එල්ල වූයේ ප්‍රදේශයේ පොලිසි ඇතුළු ආරක්ෂක අංශවලට සහ ප්‍රාදේශීය එජාප දේශපාලඥයින්ටය. සමසමාජයේ කලක් ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ ඩිල්මන්ගේ මව වන කළුදුර පොඩිහාමි 1953 අගෝස්තු 12 හර්තාල විරෝධයේදී මහපාර අවහිර කරමින් රන්දොඹේදී කෑම පිසින ලද කාන්තා නායිකාවන් අතර පුමුඛයෙකි. ඩිල්මන්ගේ වැඩිමහල් පුතුවූ විපුල් පුල්වංශ 1980 ජවිපෙට එක්වූයේ බලපිටිය උපන් මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසු නායකයෙකුවූ චිරත්ත වීරවර්ධන හරහාය. චිරන්තගේ මව එවකට බලපිටිය මහකරාව විමලසාර විද්‍යාලයේ විදුහල්පතිනිය වූවාය.
මේ අතර 1988 දෙසැම්බර් 19වැනිදා පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණය වෙනුවෙන් එජාපයේ අපේක්ෂකයා වූයේ කොස්ගොඩ හෑගල්ලේ උපන් අගමැති රණසිංහ ප්‍රේමදාසය. එජාප ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රේමදාසගේ රැස්වීමක් 1988 නොවැම්බර් 19වැනිදා බලපිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එයට පෙරදින වතුගෙදර සිට බලපිටියේ පාතමුල්ල දක්වා 7 දෙනෙකු ජවිපෙ කැරළිකරුවන් විසින් ඝාතනය කරන ලදී. එසේ ඝාතනය කර දැමුවේ බලපිටිය පාතමුල්ලේ වගා නිලධාරි එන්. කුලසේනද සිල්වා, ආදාදොල වගා නිලධාරි ජෝතිපාල ද සිල්වා, කුරුදුවත්තේ ෂර්ලි අනුර කුමාර ද සිල්වා, හිටපු නාගරික මන්ත්‍රී කළුගලගේ ප්‍රේමදාස ද සිල්වා, නිහාල් ද සිල්වා, බන්දුල ද සිල්වා සහ කළුගලගේ ප්‍රේම ජයන්ත ද සිල්වාය. මෙම ඝාතන සම්බන්ධයෙන් ජවිපෙ තීරණයක් ගැනීමට අදහස් විමසු අවස්ථාවේදී බලපිටියේ ජවිපෙ ක්‍රියාකාරිකයින් වූ විපුල් පුල්වංශ ඇතුළු බහුතරයම එයට එරෙහි වුවද ජවිපෙ බෙන්තර-ඇල්පිටිය කලාපයේ සන්නද්ධ නායකයාගේ උපදෙස් පරිදි බලපිටිය කොට්ඨාශ සන්නද්ධ නායකයා විසින් විපුල් පුල්වංශ ඇතුළු එයට එරෙහිවූ ජවිපෙ ක්‍රියාකාරිකයින් නිවාස අඩස්සියට ගෙන පිටස්තර ජවිපෙ ක්‍රියාකාරිකයින් වූ හික්කඩුව-අම්බලන්ගොඩ කලාපයේ පිරිසක් ගෙන්වාගෙන ප්‍රහාරයන් දියත්කර තිබුණු බව ආරක්ෂක අංශ මගින් කරන ලද පරික්ෂණ වලදි හෙළිවී තිබිණි.
පසුව මේ පිළිබඳව ජවිපෙ මගින්ද ප්‍රතිචාරයක් වශයෙන් දකුණු කලාප නායක සහ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායකගේ ප්‍රධානත්වයෙන් කැඳවු සාකච්ඡාවකදී  ගාල්ල දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ නායකයා සහ කලාප නායකයින් 4 දෙනාගෙන් දෙදෙනෙකු 1989 පෙබරවාරි සිට වෙනත් දිස්ත්‍රික්කයන්ට මාරුකර මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එම පත්වීම් පුරවන ලදි.  බලපිටියේ එදා ජවිපෙ ඇදිරිනීතිය යටතේ පැවති  එජාප ජනාධිපති අපේක්ෂක ප්‍රේමදාසගේ රැස්වීමට සහභාගි වූයේ පළාත් සභා මන්ත්‍රී ලීලසේන ද සොයිසා ඇතුළු කොළඹින් බස් දෙකකින් පැමිණි පිරිසකි. මහකරාවේ ජවිපෙට සම්බන්ධව සිටි වසන්ත පුල්වංශ, සුනිල් ප්‍රියන්ත, නිශාන්ත තිලකරත්න, නලීන් පුල්වංශ ඇතුළු කිහිප දෙනෙක්ද පසු කලෙක ඝාතනය වූ අතර එයට චෝදනාව එල්ල වූයේ එජාප ප්‍රාදේශීය දේශපාලඥයින්ටය.
දොඩම්ගස්ලන්දේ ස්වර්ණලතාගේ දෙමාපියන් වූ පියා ලියෝනිස් සිය නිවසේ කොටසක් අලුත්වැඩියා කිරීමේදී පැරණි බිත්තියකට යටවී 1989 ජීවිතයෙන් සමුගත්තේය. මව වන ඇසිලින් ඉකුත් 2015 සැප්තැම්බර් අභාවප්‍රාප්ත විය. ස්වර්ණලතා අද ජීවත්ව සිටියේ නම් ඇයට සිටින සොහොයුරු සොහොයුරියන් 7 දෙනාගේ දරුවන්වූ ඥාති දූ පුතුන්ගේ සංඛ්‍යාව 21කි.

වයඹ ඉපිද එහි හැදී වැඩී 1980 ජවිපෙට සම්බන්ධව 1983 තහනමින් පසු එය යළි ගොඩනැගීම සඳහා දකුණු පළාතට ගොස් ගාල්ල කේන්ද්‍ර කරගෙන පූර්ණකාලීනව ඇප කැපවී කටයුතු කල ස්වර්ණලතා අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටියාගල ආරක්ෂක හමුදා කඳවුරේදී දසවධදී තිරස්චින ලෙස අතවර කරද්දී අධ්‍යාත්මික වැහැරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේදී ඝාතනයට පත්විය. ස්වර්ණලතාගේ ඝාතනය කන වැටුණු පිරිස් සෙල් පිළිම සේ සංතාපයත් ගෞරවයත් පිරුණු දෑසින් සවන්දී සිටියාට සැක නැත.

විදුලි කියත් තලයෙන් අත්පා කැපිමෙන් පසු සිය හිස කදෙන් වෙන්කර ඉරා දැමෙද්දීත් බද්දේගම ගිණිනිමැල්ලගහ කේ. එම්. කමලබන්දු පෑ ජීව ගුණය ඇයට මතකයට නැගෙන්නට ඇත. දියේ ගිල්ලවා මරාදමද්දීත් උනන්පිටියේ පදුම හිමියන් පෑ උපේක්ෂාව සිහියට නැගෙන්නට ඇත. දූෂණය කොට මරා දමද්දීත් කතරගම ප්‍රේමවතී මනම්පේරි සුරක්ෂිත කළ විප්ලවීය සදාචාරය ආවර්ජනය වන්නට ඇත. මෙයට වසර 28කට පෙර කොටියාකුඹුර ආරක්ෂක හමුදා කඳවුරේදී පොලෝ තලය වසාගිය අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා පමණක් නොව ජවිපෙ 2වැනි කැරළි සමයේදී එසේ තිරස්චින අතවර සහ වධ බන්ධනවලට ලක්ව ඝාතනය වූ තරුණියන් ගෙන් ගලාගිය උණුසුම් ලේ දහරා පිළිබඳව මතකය විනාශකල නොහැකි වුද, පරාජයකල නොහැකි වුද අපේක්ෂාවකි. 
ධර්මන් වික්‍රමරත්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.