ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 18, 2016

යහපාලකයන් ජාතියේ අවමඟුල ලියන හැටි අකුරෙන් අකුර පහදයි…

‘2015 ජනවාරි 08 වැනිදා ඇරඹුණේ සමත් රාජ්‍යයක් ලෙස පැවැති මේ රාජ්‍යය ත්‍රිවිධාකාරයකින් බෙලහීන කිරිමේ මෙහෙයුමයි’
විමල් වීරවංශ

2015 ජනවාරි 08 වැනිදා අරඹුනේ සමත් රාජ්‍යයක් ලෙස පැවති ශ්‍රී ලංකාව ආර්ථික බෙලහීන කිරීම, දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම හා ජාතික ආරක්‍ෂාව බිඳ වැට්ටවීම යන ත්‍රිවිධාකාරයෙන් බෙලහීන කිරිමේ මෙහෙයුමක් බවත් එමගින් ශ්‍රී ලංකාව යළි අසත් රාජ්‍යයක් බවට පත් කිරිමේ බටහිර බලවතුන්ගේ ඉන්දියාවේ උවමනාව ඉටු වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී
විමල් වීරවංශ  පෙන්වා දෙයි.
පසුගිය 14 වැනිදා කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැති ‘ව්‍යවස්ථා මරඋගුල සහ ජාතියේ අවමංගුල’ යන තම දේශන මාලාවේ පළමුවැන්න සිදු කරමින්  මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ  මෙසේද සඳහන් කළේය.
“මේ මොහොතේ ඉතිහාසය විසින් අපට අප ඉදිරියේ කැනෙමින් තිබෙන වලේ ගැඹුර හා පරිමාව වහාම හඳුනාගන්න කියා බල කරනවා නම් ඒ වෙනුවෙන් හඬ නඟනවා හැරෙන්නට කිරීමට වෙන කිසිවක් අප ඉදිරියේ ඉතිරි වී නැහැ. හතුරු බලවෙගවල න්‍යාය පත්‍රයට ඇද වැටිලා ඒ උගුලේ හිරවෙලා ගොඩ ඒමට බැරි ප්‍රපාතයකට අද මේ රට වේගයෙන් ඇදගෙන යමින් තිබෙනවා. මෙවැනි අවස්ථාවලදි අප ඉතිහාසය පුරාම ඊට එරෙහිව නැගී සිටියා. අද නැවතත් එවැනි නැගී සිටීමක්, ලක්මාතාවගේ දූ පුතුන්ගෙන් ඉතිහාසය ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි ඒ අනතුර තේරුම් ගෙන ඊට එරෙහිව නැගී සිටිය යුතු වෙනවා.

2001 දෙසැම්බර් මහා මැතිවරණයෙන් බලයට ආපු වික්‍රමසිංහ පාලනය කටයුතු කළ අන්දම අපට මතකයි. මේ රටේ සමාජ ආර්ථික දේහය සම්පූර්ණයෙන්ම බටහිර අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට ගිල ගන්න ඉඩ හදන මෙහෙයුම එම පාලනය එදා ‘රිගේනින් ශ්‍රී ලංකා ’ නමින් ඇරඹුවා. මේ රට කෘෂිකාර්මික ආර්ථික පදනමින් ගැලවීම යටතේ එදා කුඹුරු ටිකත් ගොඩ කරලා දමමින් රනිල් වික්‍රමසිංහ උත්සාහ කළේ ඒ වැඬේටයි. ඒ වගේම රාජ්‍ය ආයතන පෞද්ලීගකරණයත් ඒ යටතේ කඩිනමින් සිදු වුණා. මේ රටේ ආර්ථිකය ගිල ගැනීමේ මෙහෙයුම එක් පසකින් එහෙම ඉදිරියට යද්දි අනක් පසින් සිදු වුණේ කුමක්ද? අනෙක් පසින් මේ රට දෙපලු කිරිමේ මෙහෙයුමත් දියත් කෙරුණා. රනිල් – ප්‍රභා සටන් විරාම ගිවිසුම අත්සන් තැබුණේ ඒ අනුවයි. 2001 අග සිට ඉදිරියට ආපු ඒ රටට හතුරු මෙහෙයුම 2004දී නතර කිරීමට අප ජාතියක් ලෙස සමත් වුණා. එවකට ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සහ අගමැති වික්‍රමසිංහ අතර පැවැති ගැටුම පාවිච්ච් කරලා වික්‍රමසිංහ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිධුර 04ක් පවරාගෙන ඒ ආණ්ඩුව විසුරුවා හරින්න චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය පෙළඹවා ගැනීමට අපි සමත් වුණා. ඒ වගේම 2004 අප්‍රේල් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ඒ ආණ්ඩුව ගෙදර යැවීමට අපට හැකි වුණා.
‘පාඩම් උගත් සතුරෙක්’
ඒ 2004 පරාජයෙන් පාඩම් ඉගෙනගත් සතුරෙක් තමයි අද ඉන්නේ. බටහිරින් හදලා දුන්නු න්‍යාය පත්‍රයක් කරට අරන් මේ රට අඳුරු ආගාධයකට ඇදගෙන යන්න හදපු සතුරාව තමයි 2004දී මේ රටේ ජනතාව පරදවනු ලැබුවේ. නමුත් අවාසනාවකට ඒ ‘පාඩම් උගත් සතුරාට’ 2015දි යළි ‘රාජ්‍යයේ සුක්කානම’ හැසිරවීමේ බලය මේ රටේ ජනතාව හදලා දෙනවා. අද රාජ්‍යයේ සුක්කානම හසුරවනු ලබන්නේ කවුරුන් විසින්ද? ඒක තමයි පසුගියදා අපි එදා ‘ජනාධිපති-ජනාධිපති’, ‘අගමැති-අගමැති’, අද ’අගමැති-ජනාධිපති’, ‘ජනාධිපති- අගමැති’ යනුවෙන් පැහැදිලිකර දුන්නේ. මේක අහලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ‘ඩෝං’ ගිහිල්ලා තිබුණා. විනාඩි 10ක් විතර ‘වහෙන් ඔරෝ’ භාෂාවෙන් අපට දෙහි කපලා තිබුණා. ඒකට අපට දෙහි කපලා වැඩක් නැහැ. ඒක තමයි මුළු රටටම පෙනෙන දෙය.
‘අද විධායක බලයේ මකුළු දැල් බැඳිලා’
වැට් බද්ද පැනවීමට, විදේශීය විනිසුරන් සහිත යුද අපරාධ අධිකරණ පිහිටුවීමට විරුද්ධ බව ජනාධිපති කියනවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඊට විරුද්ධව කටයුතු කරනවා. පසුගියදා වික්‍රමසිංහ ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා පවසා තිබුණා, ‘ජනාධිපතිවරයාටත් පෞද්ගලික මතයක් තිබිය හැකියිනේ’ කියලා. නමුත් රාජ්‍යයේ මතය වන්නේ රාජ්‍ය නායකයාගේ මතයයි. අපේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපතිවරයායි. පෞද්ගලික මතය කියමින් ඉන්න ජනාධිපතිවරයකු රටට වැඩක් නැහැ. එදා චන්ද්‍රිකාගේ විධායක බලය, වික්‍රමසිංහගේ ආණ්ඩුව, අද මෛත්‍රීපාලගේ විධායක බලය වික්‍රමසිංහගේ ආණ්ඩුව, අද විධායක බලය පාවිච්චි කරන්නේ නැහැ. එකේ මකුළු දැල් බැඳිලා. අද වික්‍රමසිංහ තමයි ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ, විදේශ සබඳතා පිළිබඳව තීරණය කරන්නේ, ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම ගහනවාද, නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ අනුව අද පාලනත්‍රන්ත්‍රය යූ.එන්.පී. නමුත් ජනාධිපති සිරිසේන මොන පීද කියලා අපි දන්නේ නැහැ.
එදා වික්‍රමසිංහ, චන්ද්‍රිකා සමඟ ගැටෙමින් මේ රට මත පතුරුවා හරින ලද මෙහෙයුම අද ඊට වඩා බලවත්ව, සූක්‍ෂ්මව නැවත කරළියට ගෙන එනු ලැබ තිබෙනවා. මෙන්න මේ අනතුරු හරියට දැකලා, එය පැරදවීමේ අධිෂ්ඨානය කුළුගන්වන්නේ නැතිව, ඊට එරෙහිව නැගි සිටින දෑහිතකාමී සජිවී බලවේගයක් නිර්මාණය කරන්නේ නැතිව අපට මේ අනතුර පරාජයට පත් කිරීමට හැකි වන්නේ නැහැ. එහි පළමුවැනි කොන්දේසිය තමයි අපි මේ අනතුර හරියට දැකීම. අපි හැමවිටම මෙවැනි අනතුරුදායක තත්වයක් රට හමුවේ පැනනැඟුණාම ඒ බව කල්තියා දුටුවා. එවැනි අනතුරුදායක තත්වයකට පාර කපනකොට වරද්දාගත්තොත් රටට අත්වන ඉරණම පිළිබඳව ද අපි රටට, ජනතාවට පෙන්වා දුන්නා. 2001 මහ මැතිවරණයෙදි වගේම, 2015 ජනාධිපතිවරණයේදීත් අපි ඒ බව රටට ජනතාවට වටහා දුන්නා.
සමාජවාදී ‘අමු’ – හෙළ බොදු ‘අමු’
2015 ජනාධිපතිවරණයේදි නම් අපේ සමාජයට ‘අමු කැවුණා’ වගේ දෙයක් සිදුවුණා. අනුර දිසානායක අපේ සමාජයට, සමාජවාදී ‘අමු’ කැව්වා, පා.ච. රණවක හෙළ බොදු ‘අමු කැව්වා, අපවත් වී වදාල සෝහිත ස්වාමීන් වහන්සේත් ඊට එක්තරා අන්දමකින් දායක වුණා. (ඒක කීම වරදක් නම් සමාවෙන්න ඕනෙ) බටහිර තානාපති කාර්යාලවලින් මිලදී ගත් ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන්ද එදා අනතුරුදායක වෙනසකට ජන මනස පෙළඹවූවා. ‘මේ ආණ්ඩුව අපේ රට ඇදගෙන යමින් තිබෙන්නේ කවර ගැඹුරු අනතුරුදායක ඉරණමකටද?’ යන්න දැන්වත් මේ සමාජය තේරුම් ගත යුතුයි.
පසුගිය කලයේ සමාජ සංවාදයේ පැවැති මාතෘකා මොනවාද? ගංවතුර, සාලාව අවි ගබඩාවේ සිදු වූ පිපුරුම, මහ බැංකු බැඳුම්කර සුදාලගේ වංචාව, ජනාධිපති යන හෙලිකොප්ටර් 02, ඇමති මණ්ඩලයේ 92ට කෙල කෝටියක් වාහන ගෙන ඒමේ අතුරු අය-වැය වාර්තාව, වැට් බර යන මාතෘකා ඒ අතර තිබුණා. ඒ කෑලි කෑලි විදියට සිදු වන සංවාදය ඇතුළේ අද අපි මේ කියන පොදු අනතුර නියම අන්දමින් නිරූපණය වන්නේ නැහැ. ඒ මතුපිට සංවාදයෙන් පිටතට ඇවිල්ලා සිදු වෙමින් පවතින අනතුරේ මුළු පින්තූරය නිවැරදිව හඳුනාගත්තොත් පමණයි, ‘සතුරා කොපමණ බලවත්ද, පරාජයට පත් කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද? කියලා අපට තෝරා බේරා ගන්න පුළුවන් වෙන්නේ.
‘ත්‍රිවිධාකාර මෙහෙයුමක්’
මේ මෙහෙයුම අද ත්‍රිවිධාකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ආකාර තුනකින් ක්‍රියාත්මක වුණාට අවසාන ඉලක්කය එකයි. රාජ්‍යයක් බාහිර බලවේගයක උවමනාව අනුව වට්ටවන්න ඕනෙනම් ඒ රාජ්‍යය සෑම අතකින්ම බෙලහීන වන්න ඕනෑ. ප්‍රබල රටක් තවත් ප්‍රබල රටකට නටවන්න බැහැ. තවත් ප්‍රබල රටකට ඕනෑ විදියට යම් රටක් නැටවීමට නම් ඒ රට දුබල කළ යුතුයි.
2005ට කලින් සටන් විරාම ගිවිසුම් ගහලා, කොටින්ගේ අවි බලය ඉදිරියේ යටත් වෙලා, දෙමළ කොටි සංවිධානයේ වෙනම පාලනයක් නොනිල වශයෙන් පිළි අරගෙන මේ රට ආර්ථික වශයෙනුත් හතරගාතෙන් ඇද වට්ටලා ‘අසමත් රාජ්‍යයක්’ කියන හංවඩුවත් ශ්‍රී ලංකාව ‘පිටේ’ ගහලා තිබුණේ. අන්න එහෙම අසමත් රාජ්‍යයක් කියන හංවඩුව පිටේ වදින කොට තමයි සමත් රාජ්‍යයන්ට අවස්ථාව ලැබෙන්නේ අසමත් රාජ්‍යය තමන්ගේ ග්‍රහණයට ගන්න. ‘අසමත් රාජ්‍යයකි’ කියන හංවඩුව ගහපු රාජ්‍යය තමයි, 2005 පස්සේ මහින්ද රාජපක්‍ෂ පාලනයත් සමඟ ත්‍රස්තවාදය පැරදවීමේ සටන අවුරුදු දෙක හමාරෙන් අවසන් කරලා, 3%ක ආර්ථික වර්ධන වේගයක සිට 7%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගනු ලැබුවේ. මේ රට රාජපක්‍ෂ පාලනය විසින් දකුණු ආසියාවේ මානව සංවර්ධන දර්ශකයන්හි ඉහළම තැනට ගෙනවා. ‘අසමත් රාජ්‍යයකි’ කියන බෝඞ් ලෑල්ල වෙනුවට ‘සමත් රාජ්‍යයකි’ කියන බෝඞ් ලෑල්ල ශ්‍රී ලංකාවේ ‘පිටේ’ ගැහුවා.
‘අසමත් පාලක ජෝඩුව’
එහෙම සමත් රාජ්‍යයක් දෙස නිහඬව බලා සිටීමට බලවත් රාජ්‍යයන් සූදානම් නැහැ. එහෙමනම් කළ යුත්තේ කුමක්ද? මේ රට සමත් රාජ්‍යයක් බවට පත් කළ නායකයාට සතර වටින් වට කොට පහරදී පලවා හැර අසමත් රූකඩ පාලනයක් අතට රාජ්‍යය භාර දිය යුතුයි. 2015 ජනවාරි 08 වැනිදා කළේ එයයි. 2015 ජනවාරි 08 වැනිදායින් පසු ඔවුන් මේ රට භාර දුන්නේ අසමත් රූකඩ පාලක ජෝඩුවකටයි. මේ රූකඩ පාලක ජෝඩුව දිනෙන් දිනම පෙන්නුවේ අසමත්කම් විතරයි. 2015 වසර සඳහා අය-වැයෙන් අනුමත ණය ප්‍රමාණයට වඩා ණය ලබා ගත්තා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් කොරව වැට් බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉහළ දැම්මා. ගංවතුරට නිසි පිළියම් යෙදීමට බැරිවුණා. ජාතික ආරක්‍ෂාව පවත්වාගෙන යාමට අසමත් වුණා. අසමත්කමේ සංකේත දෙක තමයි ‘සිරිසේන – වික්‍රමසිංහ’ යුවල.
අද බටහිර බලවතුන්ට හා ඉන්දියාවට අවශ්‍ය මේ අසමත් නායකයන් දෙදෙනා ලවා මේ රට හැම අතින්ම දුර්වල කිරීමටයි. මුලින්ම රාජ්‍යය ආර්ථික වශයෙන් බෙලහීන කරන්න ඕනෙ. ඊළගට රාජ්‍යය දේශපාලන වශයෙන් අස්ථාවර කරන්න ඕනෙ. තුන්වැන්න ජාතික ආරක්‍ෂාවට අදාළ කොන්දේසි ලිහිල් කරන්න ඕනෙ. මේ තමයි රාජ්‍යය දුබල කිරිමේ ත්‍රිවිධාකාරය.
අපි මුලින්ම බලමු මේ අය මේ රට ආර්ථික වශයෙන් බෙලහීන කරමින් සිට්න්නේ කොහොමද, කියලා. බලයට ආවාට පස්සේ මේ අය අය-වැයවල් ගණනාවක් ගෙනාවා. දින සියයට එකක්, දින සියයට පස්සේ තවත් එකක් අතුරු සම්මත අයවැයක් ආදී වශයෙන් අය-වැයවල් ගණනාවක් රට ඉස්සරහ තැබුවා. හිටපු ගමන් අගමැති වික්‍රමසිංහ අය-වැය නොවන අය-වැය කතාවල් සිදු කරනවා. වැට් බදු සංශෝධනයට අදාළ කතාව පාර්ලිමේන්තුවේ සිදු කළෙත් මුදල් අමාත්‍යවරයා නොවෙයි, අගමැති වික්‍රමසිංහ. 2015 ජනවාරි 08 වැනිදා ‘වෙනසකට’ ඡන්දය දුන් තරුණ ඡන්දදායකයන් කට ඇරගෙන බලා සිටියා සුඛිත මුදිත තත්වය ඇති වෙනතුරු. නොමිලේ වයි-ෆයි අරගෙන, රැකියා දශලක්‍ෂයේ එකකුත් ලබාගෙන, මොටර් බයිසිකලය වෙනුවට ඒ මිලටම වාහනයකුත් අරගෙන, ඒවා පෙන්වලා පෙම්වතියකුත් සොයාගෙන විවාහ රෙජිස්ට්‍රාර් ගාස්තුත් නැතිව කසාදයකුත් කරගෙන සතුටින් ඉන්නයි මේ තරුණ පිරිස බලාපොරොත්තු වුණේ. නමුත් මේ අය බලයට ආපු දවසේ ඉදලා මේ සිහින සියල්ල බිඳ වැට්ටුවා.
‘රුපියල අවප්‍රමාණය වීම’
අද රුපියල අවප්‍රමාණය වන ආකාරයෙන් පෙනෙනවා රට ඇද වැටිලා තිබෙන තැන. මේ ආකාරයෙන් රුපියල බංකොලොත් වූ යුගයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ තිබුණේ නැහැ. 2015දී රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් අපේ ණය බර රුපියල් බිලියන 285කින් ඉහළ ගියා. මේ නායක නාම්බෝ දෙන්නා ‘ණය බරයි-ණය බරයි’ කියලා බලයට ආපු දවසේ ඉදලා ලතෝනි දෙනවා. ඒත් මේ අය 2015දී රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් මේ රටේ ණය බර රුපියල් බිලියන 285කින් ඉහළ දැමුවා. 2010-2014 දක්වා වූ අවුරුදු 05ටම රුපියල අවප්‍රමාණය වූයේ 14%කින්, වසරකට 2.8%කින්. 2015දී රුපියල අවප්‍රමාණය වූ ප්‍රතිශතය 9%ක්. මේ ‘රනිල් – සිරිසේන’ ‘හනිමුන්’ යන කාලය. ඒ කාලයේත් මෙහෙම නම් ‘දරු මල්ලෝ’ හදන කාලයේ කෙහොම වේවිද? 2006-2009 දක්වා වූ යුද්ධය කරන අවස්ථාවේදීත් රුපියල අවප්‍රමාණය වුණේ වසරකට 3.2%කින්. මේ ආණ්ඩුව වසර 3-4ක් පැවතුණොත් රුපියල අවප්‍රමාණය වීම නිසා ඩොලරය රුපියලට සාපෙක්ෂව 200-250ක් වෙන්නේ නැද්ද?
‘විදේශ වත්කම් සංචිතය බැඳ වැටීම’
අපේ ආණ්ඩුව කලයේ ඩොලර් බිලියන 08ක පමණ විදේශ වත්කම් සංචිතයක් මේ රට සතුව තිබුණා. ඒත් මේ වන විට එය ඩොලර් බිලියන 05කට පමණ අඩු වී තිබෙනවා. නමුත් මේ සියල්ල සිදු වෙන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක් ඩොලර් 40ක් වන අවස්ථාවක. අපේ ආණ්ඩුව කාලයේ බොරතෙල් බැරලය ඩොලර් 100ටත් වැඩියි. ඒ නිසා දැන් ඉන්ධන සඳහා රටින් එළියට යන මුදල් ප්‍රමාණය අඩුයි. මේ ජෝඩුව බලයට ආවා විතරයි, විදේශ ආයෝජකයෝ කොටස් වෙළඳපොළන් ඩොලර් බිලියන 05කට වඩා මුදල් අරන් ගියා. මේ අතර විදේශ ආයෝජකයෝ ලංකාවේ මහ බැංකුවේ බැඳුමකරවල කර තිබූ ආයෝජන ද අඩු වෙනවා. ‘මේක එළ හරකයි- මී හරකයි’ වගේ ආණ්ඩුවක්. අවුරුදු 10ක් පෙන්වපු ‘සීරියස් චිත්‍රපටය’ ඉවරයි. දැන් අලුතෙන් ‘කොමඩි චිත්‍රපටයක්’ පෙන්වන්න යනවා’ කියලා විදේශ ආයෝජකයන් බොහෝ දෙනෙක් තමන්ගෙ මුදලුත් අරගෙන යන්න ගියා. ආයෝජකයන්ට ඕනෙ කොමඩිලන්තයක් නොවෙයි.
‘බැඳුම්කර මගඩිය’
ආර්ථිකය බැඳ වැටීමට මේ අය සිදු කරපු මහ බැංකු බැඳුම්කර වංචාවත් හේතු වුණා. මේ පිළිබඳව විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුවට වාර්තාවක් භාර දී තිබෙනවා. එහි තිබෙනවා ‘මෙමගින් සිදු වූ පාඩුව රුපියල් බිලියන 1.67ක් පමණ වෙනවා’ කියලා. ඒ වාර්තාවෙන් නිර්දේශ කරනවා ‘මේ පිළිබඳව රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් නිසි පියවරක් ගත යුතුයි’ කියලා. ඒවා මේ අයට ඇහෙන්නේ නැහැ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූවාට පසුව කෝප් කමිටුව වෙත පැමිණි මහ බැංකු නිලධාරීන් කිවා ‘මේ බැඳුම්කර ගනුදෙනු සිදු කළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ උවමනාවට එතුමා අපට කීවා මේ බැඳුම්කර ගනුදෙනු සිදු කරන්න කියලා ඔහුට අගමැතිතුමා උපදෙස් දුන්නා’ කියලා. ‘මහ බැංකු සුද්දය’ අර්ජුන මහෙන්ද්‍රන්ගේ කුළුපග මිතුරා රනිල් වික්‍රමසිංහ මහතා නොදැන සිදුකළ එකක්ද? ඒ බැඳාුම්කර ගනුදෙනුවලින් රුපියල් බිලියන ගණනක් උපයාගෙන අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගම දැන් ගුවන් සමාගමක් පටන් අරගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරවලට කෝටි ගණන් සල්ලි ගියේ බැඳුම්කර සුද්දයෙන් තමයි. ඒ නිසා ජනතාවට ලැබුණේ මොනවාද? ලංකාවේ ණයබර වැඩි වුණා. බැංකු පොලී අනුපාතය 14%ට වඩා ඉහළ ගියා. බැඳුම්කරවලින් අයුතු ලාභ ගන්න බෑණාගේ සමාගමට පොලී අනුපාතික වැඩිකර දුන් නිසයි. එහෙම වුණේ. මහ බැංකුව පිළිබඳ විශ්වාසය බිඳ වැටුණාට පසු ආර්ථික බිඳ වැටීම වේගවත් වෙනවා. අද කෝටි ගණන් මුදල් අච්චු ගහනවා. ඒ සමගම උද්ධමනය ඉහළ යාමත් සිදු වෙමින් පවතිනවා.
මේ විදියට විදේශ වත්කම් සංචිතය හිඳෙන කොට තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටට’ එන්නේ. ෂඵත්‍ එක දැන් ආණ්ඩුවේ බෙල්ලෙන් අල්ලලා හොල්ලන ගමන් කියනවා. ‘විදෙශ විනිමය සංචිතය තරකර ගන්න මහජනයාගෙන් බදු අය කරලා මෙච්චර මුදලක් හොය ගන්න. එතකොට අපි ඉතිරි මුදල් දෙන්නම්‘ කියලා. ඒ ඉල්ලීමට අනුව තමයි අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයා ජනතාවගේ ‘රීරිමාංශය’ හූරාගන්න ඒ මහා බදුබර පටවනු ලැබුවේ.
‘පළමු ජනතා ජයග්‍රහණය’
වැට් බදු පනත සහ ජාතිය ගොඩනැගීමේ පනතට අදාළ පනත සංශෝධනය නොකර බදු අය කරන ප්‍රතිශත, පරාසයන් හා ක්‍ෂේත්‍රයන් වැඩි කරන්න බැහැ. නමුත් මේ ආණ්ඩුව එහෙම නොකර නීතිවිරෝධීව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය ලවා එම බදු ඉහළ දැම්මා. ඒ නිසයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ. අපි ඉතාමත් නිහතමානිව කියනවා ‘මේ ආණ්ඩුව පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලනය කිරිමේ බලය නොතකා හරිමින්, ජනතාව පීඩාවට පත් කරමින් ගිය ගමන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නතර කරවීමට අපට හැකි වුණා. ඒක තමයි, මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ගමනට එරෙහිව ජනතාවට ලැබුණු පළමු ජයග්‍රහණය’ කියලා. (අත්පොළොසන්) මල, මුත්‍රා පරීක්‍ෂණවලටත් වැට් බද්ද ගැහුවා. ජනතාවගේ මල මුත්‍රාවලිනුත් හම්බ කරගෙන කන ආණ්ඩුවක් තිබෙන්නේ මේ රටේ විතරයි. පෞද්ගලික සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන්ට, දුරකථන ගාස්තුවට ගහපු වැට් බද්ද අද නතර වී තිබෙනවා.
දැන් වැට්වලට විරුද්ධ බව පවසමින් ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කරන්න වැඩක් තිබෙනවා. ‘තමන්ගේ ශ්‍රීලනිප ගෝලයෝ ලවා, ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වැට් බදු පනත් කෙටුමම්පතට අදාළ සංශෝධන ගෙන එන්න. ජනතාවට පටවා ඇති අධික බදු බර ඉවත් කිරීමට එමගින් පියවර ගන්න’ කියලා අපි එතුමාට කියනවා. ඒ ක්‍රියාමාර්ගයට ඒකාබද්ධ විපක්‍ෂය විදියට අපෙත් සහයෝගය ලැබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන්ට එහෙම වැඩක් කරන්න පුළුවන් විදියට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළේ අපිනේ. අපි උසාවි නොගියනම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එන්නෙත් නැහැනේ.
අපි තේරුම් ගන්න ඕනේ, මේ ආණ්ඩුව මේ අධික බදු බර පැටවූවේ IMF එකේ උවමනාවට කියලා. ඒ වගේම IMF උපදෙස් අනුව ඉදිරියේදී ප්‍රාග්ධන ඉපයීම් බද්ද සහ කොටස් වෙළඳපොළට ආයෝජන කළාම ගහන බද්දක් ගෙන ඒමට මේ අය සූදානම් වෙනවා. ඉස්සර එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් බලයට ආපුවාම ව්‍යාපාරික ප්‍රජාව සතුටු වෙනවා. නමුත් අද ඒ ව්‍යාපාරික ප්‍රජාව තමන්ගේ කඩ සාප්පු වහලා, පාරට බැහැලා මේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරන තත්වයක් ඇති වී තිබෙනවා. ඔන්න මේ වික්‍රමසිංහ ආණ්ඩුවේ සමත්කම.
දැන් වික්‍රමසිංහ මහත්තයා කියනවා, ‘ණය බර වැඩියි. ඒ නිසයි බදු වැඩි කළේ’ කියලා. නමුත් අපි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බදු වැඩිවීම නතර කරවූවාට පසුව කියනවා‘රජයේ ආදායමට මෙමගින් එතරම් බලපෑමක් සිදුවන්නේ නැත’ කියලා. එහෙමනම් මේ බදු ගැහීම නොකරම ඉන්න තිබුණානේ, දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රටේ බදු ගැහීමට අත තියන්න පුළුවන් වුණා. ඊළගට ඔවුන් දෙන වට්ටෝරුව අනුව අණ පනත් ටික රැගෙන ආ යුතුයි.
‘සමාජ – ආර්ථික වශයෙන් රාජ්‍යය බෙලහීන කරන පනත් තොගයක්’
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට උපදෙස් දීමට පැමිණි බි්‍රතාන්‍ය ජාතිකයකු කියා තිබුණා ‘මොන දේ වුවත් ජාතික ආණ්ඩුව නැතිකර ගන්න එපාෟ’ කියලා. ඇත්තටම තියෙන්නේ ජාතික ආණ්ඩුවක් නොවෙයි, හවුල් ආණ්ඩුවක්. මේ බි්‍රතාන්‍ය ජාතිකයා කියන්නේ කුමක්ද? ඔවුන්ගේ උවමනාව අනුව මේ රටේ සමාජ ආර්ථික හැඩගැස්ම වනසා දමන අණ පනත් ගණනාවක් සහ ව්‍යවස්ථාව මරඋගුලක් පාර්ලිමේන්තුව තුළ සම්මතකර ගැනීමට මේ ජාතික ආණ්ඩුව හෙවත් දෙමුහුන් ආණ්ඩුව පැවතීම පැවසීම අත්‍යවශ්‍යයි.
අපි මුලින්ම සමාජ-ආර්ථික වශයෙන් රාජ්‍යය බෙලහීන කරන, උඩුයටිකුරු කරන පනත් කෙටුම්පත් 15 පිළිබඳව අවධානය යොමු කරමු. ඉන් පසුව ව්‍යවස්ථා මරඋගුල පිළිබඳව කථා කරමු. අප දන්නා ආකාරයට පනත් කෙටුම්පත් 15ක් සම්පාදනය වෙනවා, එකපිට එක ගෙනවිත් සම්මත කර ගැනීමේ උවමනාව ඇතිව. මේ පනත් කෙටුම්පත් ටික තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මතකර ගැනීමේ අරමුණින් තමයි අමතර වාහන ඇතුළු සියලු වරප්‍රසාද ලබාදීලා පාර්ලිමේන්තුව තුළ කණ්ඩායමක් තරකර ගෙන ඉන්නේ.
‘ආර්ථික සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත’
මේ පනත් කෙටුම්පත් 15 අතර තිබෙනවා, ‘ආර්ථික සංවර්ධන(විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත’ කියලා පනත් කෙටුම්පතක්. ඒ පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව සුපිරි අමාත්‍යවරයකු බිහි වෙනවා. ඒ ඇමතිවරයාට ඒ පනතින් බලය ලැබෙනවා, ශ්‍රී ලංකාවේ ඕනෑම ඉඩමක් එක ගැසට් නිවේදනයක් මගින් අත්පත්කර ගන්න, ඒ වගේම එක ගැසට් නිවේදනයක් මගින් තමන් අදහස් කරන සමාගමකට ඉඩම් ඕනෑ තරම් ප්‍රමාණයක් පවරන්න, පිරිනමන්න, විකුණන්න. එමගින් අපේ රටේ ඉඩම්වල සම්පූර්ණ අයිතිය විදේශ බහුජාතික සමාගම්වල උවමනාව අනුව කළමනාකරණය කරන්නත් මේ සුපිරි ඇමතිවරයාට බලය ලැබෙනවා. දැනටමත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තිබෙනවා විදේශ ආයෝජකයන්ට විශේෂ වරප්‍රසාද ලබා දීමට. අපේ ආණ්ඩුව කාලයේත් ආවා ‘උපායමාර්ගික ආයෝජන කළමනාකරණ පනත’ නමින් පනතක්. එමගිනුත් විදේශ ආයෝජකයන් දිරිගන්වනසුලු වැඩිපිළිවෙළක් දියත් වුණා. මේ කියන ආර්ථික සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත, එන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත සහ උපායමාර්ගික ආයෝජන කළමනාකරණ පනත යන දෙකම අතික්‍රමණය කරලා අපේ රටේ ඕනෑම වාණිජ දේපළක් අත්පත්කරගෙන විදේශ සමාගමකට විකිණීමේ බලය සහිතව.
විදේශ විනිමය පාලන(සංශෝධන) පනත
විදේශ විනිමය පාලන පනත සංශෝධනය කිරීම සඳහා වූ සංශෝධන පනත් කොටුම්පතක් ද මේ පනත් කොටුම්පත් 15 අතර තිබෙනවා. මේ පනත සංශෝධනය කරන්නේ ඕනෑම කෙනෙකුට මේ රටට ඩොලර් රැගෙන ඒමට සහ ඕනෑම වෙලාවක ආපසු රැගෙන යාමට ඉඩ ප්‍රස්ථාව නිර්මාණයකර දෙමින්. මේ පනත සංශෝධනය කළාම මහ බැංකුවේ අධීක්‍ෂණයෙන් තොරව ඕනෑම කෙනෙකුට රට තුළට ඩොලර් රැගෙන ඒමටත් ආපසු රැගෙන යාමටත් ඉඩකඩ ලැබෙනවා. ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල ආර්ථිකය එක රැයින් බිඳ වැට්ටවීමට සෝරෝස් වැනි ජාත්‍යන්තර මූල්‍ය චෞරයන්ට හැකි වුණේ එම රටවල ද මෙවැනි ඉඩකඩක් නිර්මාණයකර දී තිබුණු නිසයි. ඒ විතරක් නොවෙයි, ජාත්‍යන්තර මූල්‍ය චෞරයන්ට කැමති ආකාරයට ඩොලර් මිලියන ගණන් ගෙනවිත් ආණ්ඩුවට කියන්න පුළුවන් ‘මේ වැඬේ කරලා නුදුන්නොත් මම මගේ ඩොලර් මිලියන ගණන ආපසු රැගෙන යනවා’ කියලා. එමගින් මේ රටේ පාලනතන්ත්‍රය හසුරුවන්නත් ජාත්‍යන්තර මූල්‍ය චෞරයන්ට ඉඩ ලැබෙනවා. ඒ නිසා මේ රටේ ස්වෛරීභාවයට සහ ස්වාධීනත්වයට මෙම පනත් සංශෝධනය මගින් දැඩි බලපෑමක් ඇති වෙනවා.
බැංකු පනත සංශෝධනය කිරීම
දැනට පවතින බැංකු පනත අනුව රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට බැහැ. බැංකු පනත මගින්ම ඒ සුරක්‍ෂිත බව සලසා දී තිබෙනවා. දැන් සියලු රාජ්‍ය බැංකු විකුණා දැමීමේ නීතිමය ඉඩකඩ සලසා ගැනීම සඳහා බැංකු පනත සංශෝධනය කිරීමට මේ ආණ්ඩුව කඩිමුඩියේ සූදානම් වෙනවා.
‘රේගු ආඥා පනත සංශෝධනය කිරීම’
ඒ වගේම රේගු ආඥා පනතත් කඩිමුඩියේ සංශෝධනය කිරීමට මේ ආණ්ඩුව සැරසෙනවා. රේගු ආඥා පනතින් රේගු නිලධාරීන්ට ලැබී ඇති බලතල අඩු කරලා ජාවාරම්කාරයන්ට රිංගා යාමට හැකි වන ලෙස රේගු ආඥා පනත සංශෝධනය කිරීමට නියමිතයි. දැනටමත් යම් තැනැත්තියක් හරහා රේගු නිලධාරින්ට බලපෑම් කරලා රතු දොරටුවෙන් යන්න ඕනේ දේවල් කොළ දොරටුවෙන් යවනවා. ඒ විදියට නීතිවිරෝධීව ජාවාරම්කරුවන්ට ඉඩ හදා දෙන එක නීත්‍යනුකුලව කරවන්නයි මේ රේගු ආඥා පනත සංශෝධනය කරන්නේ.
‘විගණන පනත ගෙන එනවා’
විගණන පනතක් ගෙන එන බවට මේ ආණ්ඩුව ඡන්ද පොරොන්දුවකුත් දුන්නා. ‘යම් පුද්ගලයකු රජයේ ව්‍යාපෘතියක් ඉටුකර දීමේදී රජයට යම් අලාභයක් සිදු කළා නම් එය අයකර ගැනීමේ බලය විගණාකාධිපති දෙපාර්තමේන්තුවට හෝ ස්ථාපිත කිරීමට නියමිත කොමිසමට ලබාදිය යුතුයි’ කියලයි එදා කීවේ. ඒ කරුණ තමයි විගණන පනතෙහි ඇතුළත් විය යුතුව තිබූ වැදගත්ම කාරණය. නමුත් මේ ආණ්ඩුව අද විගණන පනත ගෙන එන්නේ ඒ වැදගත්ම ශක්තිය විගණන නිලධාරීන්ගෙන් අයින් කරලා විගණන ක්‍රියාවලිය ඉතාමත් දියාරු කරලමිනුයි. ඒ අතරේ ‘විගණන කොමිසම’ නමින් ‘සුදු අලියකුත්’ නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ පනතට ඇතුළත් වෙනවා.
එක පැත්තකින් විදේශ විනිමය වංචාකරුවන්ට දොර අරිනවා. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් ටික විකුණා දමනවා. රාජ්‍ය බැංකු ටික පෞද්ගලීකරණය කරනවා. ඒ අතරේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සතු බලතල කප්පාදු කරන්න විගණන පනතක් ගෙන එනවා.
බීජ පනතත් ගෙන එනවා
පසුගිය ආණ්ඩුව සමයේත් මෙම බීජ පනත ගෙන ඒමේ සූදානමක් තිබුණා. අපි ඒ පිළිබඳව හිටපු ජනාධිපතිතුමන්ට කරුණු පහදා දීලා කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව විරෝධය දක්වලා බීජ පනතක් ගෙන ඒමට තිබූ සූදානම නතර කළා. මේ රටේ ගොවි ජනතාවට බීජ පිළිබඳව තිබෙන අයිතිය සම්පූර්ණයෙන්ම උදුරා ගැනීමට බීජ පනතෙහි ප්‍රතිපාදන තිබෙන නිසයි අපි එදා එයට විරුද්ධව වුණේ. බීජ පනත ගෙනාපු ගමන් ගොවියාට තමන් සන්තකයෙහි බීජ තබා ගැනීමේ අයිතිය අහිමි වෙනවා. එහෙම බීජ ළඟ තබා ගන්නා ගොවියාව හිරේ දැමීමට පොලීසියට මේ පනතින් බලය ලැබෙනවා. බීජ කියන දෙය ගොවියාට අයිති නැති, බහුජාතික සමාගම්වලට පමණක් අයිති දෙයක් බවට මෙම බීජ පනත මගින් පත් කරනවා.
සෞඛ්‍ය සේවා අධිකාරී පනත
සෞඛ්‍ය සේවා අධිකාරී පනතක් ගෙන එන්නේ දැනට මේ රටේ ජනතාව කවර අඩුපාඩුකම් මධ්‍යයේ වුවත් භූක්ති විඳින නිදහස් සෞඛ්‍ය සේවයක් තිබෙනවා නම් එයත් නතර කරලා දැමීමටයි. මේ සෞඛ්‍ය සේවා අධිකාරී පනත මගින් රජයේ රෝහල්වලට සහ පෞද්ගලික රෝහල්වලට සමාන ලෙස සලකනවා යැයි පෙන්වමින් රෝගියාව පොළඹවනවා පෞද්ගලික රෝහල් වෙත යාමට. අපි සිතමු දැනට රජය රජයේ රෝහල් සඳහා රුපියල් 100ක මුදලක් යොදවනවා කියලා. ඒ රුපියල් 100, 50ට අඩු කරලා ඒක රෝගියාට දෙනවා ‘කැමති රෝහලකින් ප්‍රතිකාර ගන්න’ කියලා. මෙහිදී රජයේ රෝහලත් රෝගියාගෙන් ප්‍රතිකාර සඳහා යම් මුදලක් අය කිරීමට නියමිතයි. පෞද්ගලික රෝහල් ප්‍රතිකාර සඳහා සම්පූර්ණයෙන්ම මුදල් අය කරනවා. මේ විදියට ආණ්ඩුව සෞඛ්‍ය සේවය නඟා සිටුවීමට ආයෝජනය කරනවා වෙනුවට රෝගියාගේ ප්‍රතිකාර කාර්යයේ සුළු කොටසකට පමණක් දායකවීමේ ඉඩකඩ මේ සෞඛ්‍ය සේවා අධිකාරී පනත මගින් හදනවා. මෙතෙක් භූක්ති විඳි ‘නිදහස් සෞඛ්‍ය සේවය’ නැත්තටම නැති කිරීම මෙමගින් සිදු වෙනවා.
පාසල් සංවර්ධන සමිති පනත
රනිල් වික්‍රමසිංහ මහත්තයා අධ්‍යාපන ඇමතිවරයා ලෙස සිටියදී ගත්තු උත්සාහය තවමත් අතහැර නැහැ. පාසල් සංවර්ධන සමිති පනතක් ගෙන එන්නේ පාසල ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට. පාසලට තමන් කැමති ආකාරයට මුදල් උපයන්න ඉඩ දෙනවා. රජය පාසලකට යම් නිශ්චිත මුදලක් දෙනවා. ඉතිරි මුදල් පාසල විසින් උපයාගත යුතුව තිබෙනවා. ප්‍රධාන නගරයක පාර අයිනේ පාසලක් නම් පාසල් තාප්පය ගාව කඩ පේලියක් දාලා කඩ කුලියෙන් පාසල නඩත්තුකර ගන්න පුළුවන්. පාසල් ඉඩම ලොකුවට තිබෙනවා නම් වාණිජ කටයුත්තක් වෙනුවෙන් බද්දට දීලා මුදල් උපයන්න පුළුවන්. රජය පාසල් වෙනුවෙන් සුළු මුදලක් වෙන් කරලා ඉතිරි මුදල් පාසල විසින්ම උපයා ගැනීමට බල කෙරෙන පනත තමයි පාසල් සංවර්ධන සමිති පනත. එයත් මේ වසර තුළ ගෙන ඒවි.
මහජන ආරක්‍ෂක ආඥා පනත සංශෝධනය
මේ වන විට මහජන ආරක්‍ෂක ආඥා පනත සංශෝධනය කිරිමේ කටයුතු සිදුවෙමින් පවතිනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ද සහාය ඇතිව රැගෙන ආපු, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ක්‍රියාත්මක කිරීමට එකඟ වූ යෝජනාවේ තිබුණා ‘මහජන ආරක්‍ෂක ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා’ කියලා.
මහජන ආරක්‍ෂක ආඥා පනතින් ජනාධිපතිවරයාට බලය ලැබී තිබෙනවා, හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට පළාත් සභාවක් සතු බලතල තමන්ට පවරා ගැනීමට. එදා උතුරේ මහ ඇමති වර්ධරාජා පෙරුමාල් ‘දෙමළ ඊළාම් කොඩිය ඔසවලා, දෙමළ ජාතික හමුදාවක් හදලා, දී තිබෙන බලය ඉක්මවලා’ නටන්න ගත්තා. එවිට ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මහජන ආරක්‍ෂක ආඥා පනත යටතේ තමයි උතුරු පළාත් සභාවේ බලය සියතට ගත්තේ. මේ රටේ ප්‍රාන්ත පාලනයන් හැදෙන්න තිබෙන ඉඩකඩ නතර කිරිමේ එකම බලය මහජන ආරක්‍ෂක ආඥා පනතේ වගන්ති තුළයි තිබුණේ. අද එම වගන්ති සංශෝධනය කිරීමට කඩිමුඩියේ සූදානම් වෙනවා.
ජාතික ආරක්‍ෂක පනත
ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා ජාතික ආරක්‍ෂක පනත නම් වූ පනතක් පාර්ලිමේන්තුවේදී සම්මතකර ගැනීමට ද මේ අය සූදානම් වෙනවා. ඒකත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පැමිණි එකඟතා අනුව සිදුවන්නක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරපු ගමන් ඒ පනත යටතේ දඬුවම් විඳින ත්‍රස්තවාදීන් සියලු දෙනා නිදහස් වෙනවා.
අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත
දැනටමත් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතක්. අතුරුදහන්වූවන් පිළිබඳ සොයන්න කාර්යාලයක් පිහිටුවීමටත් ජිනීවාවලදී මේ අය එකඟ වුණා. මේ කාර්යාලය පිහිටුවලා යම් නිලධාරීතන්ත්‍රයකට බලය දෙනවා, ‘අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමට.’ මේක අනිවාර්යෙන්ම යුද්ධය ජයග්‍රාහීව නිමා කරපු රණවිරුවන්ට එරෙහි චෝදනා ගොඩනගන ෆැක්ටරියක් බවට පත් වෙනවා. මේ පනත සම්මත වුණාම ඒ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවනු ලබයි. ඒකට විවිධ චෝදනා, පැමිණිලි ගලා ඒවි. කාර්යාලයෙන් ඒවා පිළිබඳව සොයා බලලා ‘ඒවා ඇත්ත’ කියා පිළි ගනීවි. සෑම චෝදනාවක් සම්බන්ධයෙන්ම ඒ අය නඩු දමන එකක් නැහැ. ‘මේ පැමිණිලි ඇත්ත’ කියා ඒවා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට යවාවි. යවලා කියාවි ‘මේ නිලධාරීන්ට විරුද්ධව විනය පියවර ගන්න’ කියලා. ඉතිරි ටික යවාවි නීතිපතිට ‘මේ අයට නඩු පවරන්න’ කියා.
මේ පනත් කෙටුම්පත් 15 මේ වසර තුළ සහ ලබන වසර මුලදී සම්මතකර ගැනීමට මේ ආණ්ඩුව සූදානම් වෙනවා. මේ පනත් 15 සම්මත වුණාම, නොරටුන්ට මේ පොළොව ගිල ගැනීමේ උවමනාවට අපේ රටේ සමාජ -ආර්ථික දේහය මුළුමනින්ම හැඩගැසෙනවා. ජාතියේ දූ පුතුන්ගේ අභිලාෂයන් ඉටු කරන නීති පද්ධතියක් වෙනුවට මුළුමහත් ජාතිය ගිල ගැනීමට පැමිණෙන නොරටුන්ගේ ප්‍රාග්ධන උවමනාවන් ඉටු කරන නීති පද්ධතියක් මේ මගින් ඇති වෙනවා.
‘කොත්තු රොටී ව්‍යවස්ථාව’
දැන් මේ සමඟම ‘කොත්තු රොටී දමනවා’ වගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා තුළ හැදෙන බව පෙන්වනවා. ඒකට අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවකුත් දාලා තිබෙනවා. අපට අනුව නම් මේ නව ව්‍යවස්ථාව හදලා ඉවරයි. නමුත් දැන් නව ව්‍යවස්ථාවක් හදනවා කියලා මේ අය බොරුවට රඟපානවා. මේ දවස්වල ජිනීවාවල මානව හිමිකම් කොමසාරිස් සෙයඞ් අල් හුසේනුත් කියනවා ‘නව අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම්වීම සුබවාදී එළඹුවකි’ කියලා.
කෙනෙක් කියන්න පුළුවන් ‘කෝ තවම ව්‍යවස්ථා කෙටුම්පතක් නැහැනේ ඇයි කලබල වෙන්නේ?’ කියලා. අර හෙළ උරුමයේ හාදයකුත් කියනවා මම අහගෙනයි ‘ජනමතවිචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට බැහැනේ. 20 වැනි සංශෝධනය ගෙනවිත් මැතිවරණ ක්‍රමයට අදාළ සංශෝධන ගෙන ඒමයි කුළ යුත්තේ’ කියලා. එතකොට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නැතිනම් මහජන අදහස් විමසීමේ කමිටුවක් මගින් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවක්’ 2016 මැයි මාසයේදී නිකුත් කළේ ඇයි? මෙම කමිටු වාර්තාවේ අපූරු නිර්දේශ ගණනාවක් තිබෙනවා. දැන් ඇතැමුන් කියනවා, ‘මේ නිර්දේශ ක්‍රියාවට නඟන්නේ නැහැ’ කියලා. එහෙම නම් ඒවා නිර්දේශ ලෙස මේ වාර්තාවට ඇතුළත් කරන්න උවමනාවක් නැහැනේ.
‘අපුරු නිර්දේශ’
මෙහි ඇතුළත් එක් නිර්දේශයක් තමයි ‘ඒකීයභාවය ඉවත් කිරිම.’ අලුත් ජාතික ගීයක් හැදීම තවත් නිර්දේශයක්. ජාතික කොඩිය වෙනස් කිරීමත් එහි ඇතුළත්. 1815 දී සුද්දා පවා පිළිගත් ‘බුද්ධාගම ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකීම’ කියන එක වෙනස් කරන්න මෙම වාර්තාවෙන් නිර්දේශකර තිබෙනවා. ‘ශ්‍රී ලංකාව අනාගාමික රාජ්‍යයක් බවට පත් කිරීම’ තමයි මේ අය නිර්දේශකර තිබෙන්නේ. ඒ අස්සේ මේ වාර්තාවේ තිබෙනවා. ‘සමලිංගික සේවනය නීතිගත කළ යුතුයි’ කියලා නිර්දේශයකුත්. ඒක කාගේ දැවෙන අවශ්‍යතාවක්ද?(සභාවේ සිනා) මේ වගේ තකතීරු නිර්දේශ ඇතුළත්කර ඇත්තේ ‘මුට්ටිය දාලා බැලීමට’ ඒවාට මහජන විරෝධයක් පැනනොනැඟුණහොත් ඒවා ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මතකර ගන්න බලාවි. ජනමතවිචාරණයකට යන්න ඕනේ වුණොත් ‘කළගෙඩි – ලාම්පු සෙල්ලමකටත්’ යාවි.
ජනමතවිචාරණය දිනා ගන්න ලේසියෙන් බැරි නිසා ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය දිය යුතුයි’ කියලා කියාවි. එහෙම කියලා ඩයස්පෝරාවේ ඡන්ද ටිකත් මේ අයට පක්‍ෂව ගන්න බලාවි. ‘ඉන්දියාවේ අවතැන් වී සිටින අයටත් ඡන්ද බලය දෙන්න ඕනේ’ කියලා ඒ අය ගෙන්වලා එකට දෙකක් හොර ඡන්ද දමා ගනිවි.
‘මරාගැනිල්ල දිව්‍යමය මතවාදය බවට පත්වීම’
මීට එරෙහිව නැඟෙන මහජන විරෝධය බලවත් නම් මේ අය ඊළගට කුමක් කරාවිද? දැනට තිබෙන ව්‍යවස්ථාවේ නමට ඒකීයභාවය තිබෙනවා. නමුත් 13වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ෆෙඩරල් ලක්‍ෂණ අතුළත්කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරු එකී ෆෙඩරල් ලක්‍ෂණ පාවිච්චි කිරීමට ඉඩ නොදුන් නිසා මෙතෙක්කල් මේ රටේ ඒකීයභාවය රැකුණා. ඉඩම්, පොලිස්, මුදල් බලතල පාවිච්චි කිරීමට ඉඩ දුන්නේ නැහැ. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බැරි තරමට ජනතා විරෝධය බලවත් වුණොත් මේ අය නිදාගෙන සිටින ‘ෆෙඩරල් සතාව’ ඇහැරවන්න බලාවි. අවසානයේ රට දෙපලු වන දිසාවට මේ අය බලවත් පියවරක් තබාවි. මේ තත්වය ඇතුළේ උතුර එක් අන්තවාදයකටත්, නැගෙනඟිර තවත් අන්තවාදයකටත් නතු වේවි. එහි අවසාන තර්කානුකූල ප්‍රතිඵලය ලෙස මතවාදී විවිධත්වයකට ඉඩ තිබෙන දකුණත් අන්තවාදී පොල්පොට් කෙනෙකුගේ ග්‍රහණයට නතු වේවි. එයයි අධිරාජ්‍යවාදයටත් උවමනා වී තිබෙන්නේ. ඔවුන්ට, අන්තවාදයන් තුනක් අතට සිංහල, දෙමළ හා මුස්ලිම් සමාජ භාර කරන්න ඕනෙ. එහෙම වුණාම මේ අන්තවාදයන් තුන මරා ගන්නවා. අවසානයේදී අශිෂ්ඨ අවිචාර දඩබිමක් බවට මේ පොළොව පත් වෙනවා. එහිදී මරාගැනිල්ල දිව්‍යමය මතවාදය බවට පත් වෙනවා.
‘ආරක්‍ෂක හමුදා දුබල කිරීම’
අන්න ඒ දෙය සිදුවන විට රටේ ජාතික ආරක්‍ෂාව බිඳ වැටී තිබෙන්නට ඕනෙ. ඒ ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනව්ත අන්තවාදයට පණදෙන විට සිංහල ජන සමාජය ඊට සරිලන අන්තවාදයකට නතු වී තිබෙන විට ආරක්‍ෂක හමුදා දුබල වෙලා තිබිය යුතුයි. දැන් ඒකත් මේ අය කරගෙන යනවා.
‘ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික නිදහස සඳහා වූ කොංග්‍රසය’ නම් වූ රාජ්‍ය නොවන සංවිධානය පසුගිය ජූනි 14 වැනිදා වොෂින්ටනයේදී සමුළුවක් පවත්වා තිබෙනවා. ඊට එහි ශ්‍රී ලංකාවේ තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ද සහභාගී වී තිබුණා. ‘පසුගිය (2015) සැප්තැම්බර් මාසයේදී ජිනිවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය, ඇමෙරිකන් රජය හා දෙමළ ජාතික සන්ධානය අතර තුන්පාර්ශ්වීය ගිවිසුමක් අත්සන් තැබුණු බව මතක තබා ගන්න ඕනෙ. ඒ ගිවිසුමෙන් අපි බැඳුණා දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට. දැන් ඒක වෙනස් කරන්න බැහැ ‘කියලා එහිදී සුමන්තිරන් මන්ත්‍රිවරයා අවධාරණය කොට තිබුණා. ඒ තුන්පාර්ශ්වීය ගිවිසුම අනුවයි අපේ රටේ ජාතික ආරක්‍ෂාව දවසින් දවස බිඳ වට්ටම්න් තිබෙන්නේ.
‘අවි බලය අඩු කිරීම’
සාලාව අවි ගබඩාව පිපිරුවා, පිපිරුවේ නැහැ’ පිපිරෙව්වා. සාලාව අවි ගබඩාව පුපුරලා දවසක් යන විට කුමක්ද කීවේ? පොලිසිය භාර ඇමති සාගල රත්නායක කිව්වා ‘අපි වැඩිපුර තිබෙන අවි පුපුරවනවා’ කියලා. සාලාව අවි ගබඩාවේ පිපිරීමේන් දවස් දෙකකට පස්සේ ඒක හේතුවක් කරගෙන වේයන්ගොඩ අවි ලබඩාවේ තිබුණු බර අවිවලට අයිති උණ්ඩ ටික ඔක්කොම පැටෙව්වා වාහනවලට. ගෙන ගියා ත්‍රිකුණාමල වරායට. වරායෙන් දැම්මා නැවකට. නැවෙන් ගෙන ගියා ත්‍රිකුණාමලය වරායේ සිට කි.මි 09ක් දුරින් පිහිටි ගැඹුරු මුහුදට. උණ්ඩ ටික දැම්මා ඒ ගැඹුරු මුහුදට. සාලාව අවි ගබඩාව පිපිරීමේ පරීක්‍ෂණ වාර්තාව කෝ? ඇත්ත එළි වුණොත් ආණ්ඩුවේ ‘රෙද්ද ගැලවෙන’ නිසයි ඒක එළියට එන්නේ නැත්තේ. දැන් මේ රටේ අවි බලය ශීඝ්‍රයෙන් අඩු කරනවා. කොටසක් ප්‍රති අපනයනය කරනවා. කොටසක් මුහුදට දමනවා. අපේ හමුදාව හෙට අනිද්දා යුද්ධයක් ඇති වුණොත් මුහුණ දීමට බැරි හමුදාවක් බවට පත්කර තිබෙනවා.
‘සේවයෙන් ඉල්ලා අස්වීමට ඇමක්’
ඒ විතරක් නොවෙයි, යුද හමුදාවේ පිරිස් බලය ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව අඩු කිරීම සඳහා මේ වන විට චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා. (චක්‍රලේඛය පෙන්වමින්) එය නිකුත් කර තිබෙන්නේ යුදහමුදා ලේකම් මේජර් ජනරාල් එන්.ජේ. වල්ගම මහතා විසිනුයි. මේ මගින් කියන්නේ ‘ඔබ තවම අවුරුදු 22ක සේවා කාලයක් සම්පූර්ණකර නැතිනම් ඔබව දැනට සිටින නිලයේ සිට ඊට ඉහළ නිලය දක්වා උසස් කරනු ලබනවා. උසස් වීම ලබාදෙන දිනයට පෙර දින ඔබ ඉල්ලා අස්විය යුතුයි’ කියලා. මේ අනුව පෙනෙන්නේ ඉල්ලා අස්වීමට දෙන කප්පමක් ලෙස ඉහත උසස්වීම ලබාදෙන බවයි. මේ පළපුරුදු හමුදා නිලධාරීන් විශ්‍රාම යාමට අවුරුදු 22ක සේවා කලයක් සම්පූර්ණ කරන්න ඕනෙ නැහැ. දැන් ඒක ඕනේ නැහැත මේ විදියට පළපුරුදු ලුතිනන්, කර්නල් වැනි නිලධාරීන් කලින්ම විශ්‍රාම යවන්නයි හදන්නේ.
‘මංගලගේ සැලසුම ක්‍රියාත්මකයි’
මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිහින් කීවේ‘දැන් අපි හමුදාවෙන් 37%ක පිරිස් බලයක් අඩු කරලයි තියෙන්නේ’ කියලයි. අද උතුරේ උපායමාර්ගිකව වැදගත් හැම භූමියකින්ම ආරක්‍ෂක හමුදා ඉවත් කරනු ලබනවා. අනෙක් පැත්තෙන් බුද්ධි අංශ නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කරනවා. ඔවුන් මානසික වශයෙන් බිඳ වට්ටවනවා. ඒ විතරක් නොවෙයි, එදා යුද හමුදාව උiාන අලංකරණය සඳහා යොදා ගන්නවා කියලා කිඹුල් කඳුළු හෙළපු මේ පාලකයන්, අද උතුරේ රණවිරුවන් උදේ 6 සිට රාත්‍රී 8 පමණ වනතුරු දෙමළ ජනතාවගේ නිවාස ඉදිකරදීමේ කටයුතුවල යොදවා තිබෙනවා. ගිනි කාෂ්ඨක අව්වේ, ඇතැම්විට මහ වැස්සේ මේ අය අද මේ දුෂ්කර කාර්යයේ යොදවා තිබෙනවා. අද රණවිරුවා කියන වචනයත් මාධ්‍යවල භාවිතයෙන් ඉවතට දමන ලෙස බලපෑම් එල්ල වෙනවා.
අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හදලා එමගින් රණවිරුවන්ට එරෙහි චෝදනා නිර්මාණය කරන ෆැක්ටරියක් හදන්නත් දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් හදන්නත් අපි ඉහත පෙන්වාදුන් ආකාරයට නීති සැකසෙමින් තිබෙනවා. අතීතයට බලපාන ආකාරයට නීති හදලා දඬුවම් දීමට යුද අපරාධ අධිකරණ පිහිටුවන්නේ ඇයි? යම් වරදක් වී ඇත්නම් අපේ නීති පද්ධතියේ ඇති අපරාධ නීතිය ඊට දඬුවම් දීමට ප්‍රමාණවත් නැද්ද? අපි කියන්නේ, තියෙන පොලීසියෙන් ඕනෑම පරික්‍ෂණයක් කරන්න. තියෙන අධිකරණයෙන් ඕනෑම නඩුවක් අහන්න. අලුත් උසාවි, අලුත් නීති හදලා හමුදාව බිලි දෙන්න බැහැ’ කියලයි.
ඉහති කී අන්දමින් එක් පැත්තකින් අන්තවාදයන් පෝෂණය කරලා එකිනෙකා මරාගන්නා තත්වයට මේ රට පත් වුණාම අනෙක් පැත්තෙන් එය මැඩ පැවැත්වීමට බැරි දුර්වල ආරක්‍ෂක හමුදාවක් හදන්නයි මේ අය උත්සාහ ගන්නේ. එහෙම වුණාම මේ රටේ මරාගැනිල්ල නතර කිරීමට බලවත් රටවල සාම සාධක හමුදාවලට දොරටු විවර වෙනවා. ඒ අතරේ ආර්ථිකය බෙලහීන කරලා, රටේ ආර්ථිකය නොරටුන්ට දෙනවා.
‘එට්කා ගිවිසුමත් එනවා’
‘අපි මදිවාට හරක්’ කීවා වගේ ඔය අතරේ අපේ සේවා ආර්ථිකය සහ රැකියා වොළඳපොළ ඉන්දියාවට සම්පූර්ණයෙන්ම විවෘත කරන එට්කා ගිවිසුමක් එනවා. එට්කා ගිවිසුම 2016 අගෝස්තු වන විට අත්සන් කරන බව අගමැති ඇතුළු මේ ආණ්ඩුවේ ප්‍රබලයන් කියනවා. ඉන්දියාවේ විරැකියාව මිලියන 22ක් අපේ රටේ ජනගහනයෙන් මිලියන 20ක්. මෙවැනි ගිවිසුමක් ගහපුවාම මොකද වෙන්නේ? ඔය විරැකියාවෙන් පෙළෙන මිලියන 22න් මිලියන 2ක් ආවත් ඇති අපේ රැකියා වෙළඳපොළ අල්ලගන්න. මේ සියල්ල සිදු වුණාම මේ පොළොවේ සුජාත දූ පුතුන්ට මේ පොළොවේ අයිතිය අහිමි වෙනවා.
‘අද අපේ නාවික හමුදාව පාලනය කරන්නේ කොතැනින්ද? කියලා බලන්න. නාවික හමුදාවෙන් ඉල්ලා අස් වූ නිලධාරියකු නැවත සේවයේ පිහිටුවලා ඔහුට මේ වන විට නැගෙනහිර නාවික ආඥාපති බවට පත්කර තිබෙනවා. මේ නිලධාරියා පෞද්ගලික හේතුන් මත නාවික හමුදාවෙන් ඉවත්ව වසර 04ක් මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස සේවය කර තිබෙනවා. ඔහු සේවය කර ඇත්තේ පෙන්ටගනය යටතේයි. ඇමෙරිකා එක්සත් ජනපදයට එසේ සේවය කළ අයකු දේශපාලන පළිගැනීමට ලක් වූවා යැයි පවසමින් යළි සේවයේ පිහිටුවීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මේ සැබෑ වෙමින් පවතින්නේ ත්‍රිකුණාමලය තවත් දියාගෝ ගාර්ෂියාවක් බවට පත්කර ගැනීමේ ඇමෙරිකා එක්සත් ජනපද සිහිනය නොවේද? ඒ සිහිනය සැබෑ වීමට ඔවුන්ටඅවශ්‍ය අපේ ආර්ථිකය බෙලහීන වීම, ව්‍යවස්ථාවෙන්ම හදලා දෙන අන්තවාදයන් අතර ඇති වන මරාගැනිල්ල මැඩලීමට අපේ ආරක්‍ෂක හමුදා අසමත්වීම ආදිය අද සිදුවෙමින් තිබෙනවා. අවසානයේදී සාම සාධක හමුදාවක් ලෙස පැමිණෙන ඇමෙරිකා එක්සත් ජනපද හමුදා ත්‍රිකුණාමලය ඔවුන්ගේ මිලිටරි තිප්පොල බවට පත්කර ගනීවි. පෙර සිටි ශක්තිමත් පාලකයා එලවලා දමලා ජනවාරි 08 වැනිදා බල පෙරළියෙන් රූකඩ පාලකයන් ජෝඩුවක් බලයට ගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය මුල් වූයේ ඒ නිසයි. ඔවුන්ගේ අපේ රටට සතුරු මෙහෙයුම ත්‍රිවිධාකාරයෙන් ඉදිරියට යන බව දැන් ඔබට හොඳින් පැහැදිලි වී ඇති. මේ ගමනට විරුද්ධව අද කවර හෝ දේශපාලන බලවේගයක් ඉදිරියට පැමිණ තිබෙනවාද?
‘නූතන ජවිපෙ ගැන විමල් කියයි’
මීට ඉහතදී මෙවැනි අනතුරකින් මේ පොළොව ගිලගන්න විට කාටත් කලින් ඇහැරිලා ජනතාව දැනුම්වත් කළේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. උන්නැහේලා තමයි අද ජාතියට (බලධාරියා විසින් කපා හරින ලදී) අද මේ අය නාමල් රාජපක්‍ෂට විරුද්ධව පැමිණිලි කරනවා, දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට. මරුනේ විප්ලවවාදී ව්‍යාපාරය නව ලිබරල්වාදී අන්ත දක්‍ෂිණාංෂික වික්‍රමසිංහගේ ආණ්ඩුවේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කොට ශ්‍රී ලංකාවේ දුෂණ තුරන් කිරිමේ විප්ලවවාදී කාර්යභාරයේ නියැලී සිටී. අහෝ ඛේදයකි, ඉරකි, තිතකි. ලංකාවේ ඉතිහාසය තුළ මම නම් මෙහෙම විප්ලවවාදී බොල්ෂෙවික් පක්‍ෂයක් ගැන අහුවාමයි. වික්‍රමසිංහගේ සිරිකොතේ හට්ටි, මුට්ට්, වලං හේදුවා නම් මීට වඩා නම්බුයි. මේ නූතන ජනතා විමුක්ති පෙරමුණේ නායක රැල විජේවීර සහෝදරයාගේ රුධිරයෙන් වර්ණවත් වූ රතු කමිසය වික්‍රමසිංහගේ වලං අල්ලන රෙදි කැබැල්ල බවට පත් කරලා ඉවරයි. අද ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් දඩයමට අවශ්‍ය පැමිණිල්ල කරන්නේ, FCID දඩයම් ඒකකයට තල්ලුව දෙන්නේ ඔවුන්. නමුත් එදා ජේ.ආර්. ජයවර්ධන විජය කුමාරතුංග නැක්සලයිට් චෝදනා යටතේ සිරිගත කළා, බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කළාම ඒවාට සුදුහුණු ගාන්න විජේවීර සහෝදරයා ගියේ නැහැ. රෝහණ විජේවීර සහෝදරයා ජේ.ආර්ගේ නිරුවත වහන රෙදි කඩමාල්ල බවට කිසිදා පත් වුණේ නැහැ. ඒත් මෙන්න බොලේ නල්ලමලේ ජනතා විමුක්ති පෙරමුණ ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, අපේ නිරෝෂන් කියනවා වගේ ගහමුලත් නැහැ, දෙල්කඳ පොළෙත් නැහැ.
අද ජනතා විමුක්ති පෙරමුණ ජාතිකවාදී නායකයන් මර්දනයට රනිල් වික්‍රමසිංහ පාලනයට සහයෝගය දෙනවා විනා ජාතිකවාදී මතවාදය වෙනුවෙන් එක වචනයක් කථා කරන්නේ නැහැ. ඉඳලා හිටලා තමන් හොදටෝම චාටර් කියලා හිතුණාම වික්‍රමසිංහට දෙනවා ‘කෙවිටෙන්’ එකක්. වීරයා වෙන්න ඕනේ වුණාම සිරිසේනට දෙනවා ‘පොල්ලෙන්’ එකක්. වික්‍රමසිංහ සතුටු කරන්න හිතුනාම මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමට දෙනවා ‘මෝල් ගහෙන්’ එකක්. එහෙමයි අද අනුර දිසානායකගේ බෙදිල්ල. ඔවුන් අද ජාතිකවාදී දේශපාලන න්‍යාය පත්‍රයේ නැහැ, ඒක අද අතහැරලා ඉවරයි. අද දඩයම තියෙන්නේ ජාතිකවාදී මතයට. ජාතිකවාදී බලවේගයට. කඳවුරේ වත්මන් මහා සංඝරත්නය මට්ටු කරන්න හිරේ දැම්මා. මහින්ද රාජපක්‍ෂ කියන්නේ ජාතිකවාදී දේශපාලන නායකයා. දැන් රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ පවුලට ගහනවා.
‘නල්ලමලේ යහපාලනය සහ නීතිය’
නාමල් රාජපක්‍ෂට විරුද්ධව පැමිණිල්ල දැමුවේ ජනතා විමුක්ති පෙරමුණේ දූෂණ විරෝධී පෙරමුණේ ‘අග්‍රගණ්‍ය නායක’ වසන්ත සමරසිංහ. දැන් අනුර මල්ලි තමන්ගේ ගෝලයෝ ලව්වා පැමිණිලි දම්මනවා. රනිල් අයියා අල්ලනවා. ඔන්න ඕකයි අද සිදු වන නාඩගම. රවී අයියත් දවසකට කලින් කියනවා ‘හෙට දින නාමල් රාජපක්‍ෂ හිරේ’ කියලා. නඩු තීන්දුව දෙන්නත් කලින් මැගසින් බන්ධනාගාරයේ කාමරයකුත් ශූද්ධ කරනවා. කොහොමද ‘සෙටප්’ එක. නල්ලමලේ නීතිය සහ යහපාලනය.
දැන් මේ ගහන්නේ මේ රටට සතුරු මෙහෙයුමට එරෙහි ජාතිකවාදී බලවේගයට. අද ජවිපෙ කරන්නේ ‘මෛත්‍රීපාලගේ හෙලිකොප්ටර් 02’ වගේ මාතෘකා සංවාදයට ගෙන ඒම, ඇත්ත සංවාදය කරළියට එන්න ඉඩ නොදෙන එකයි අද ඔවුන්ගේ රාජකාරිය බවට පත් වී තිබෙන්නේ. මේ දඩයම පරදවන්නත් ඕනේ. ඒ වගේම මේ මරඋගුලෙන් ජාතිය බේරාගන්නත් ඕනේ. මේ සතුරු මෙහෙයුම, සාදා නිම කළ අයුරින් අවසන් වුවොත් ඔබේත්, මගේත් දරු පැටවුන්ට ජිවත් වීමට සුදුසු බිමක් බවට මේ බිම පත් වන්නේ නැහැ.
ඒ ඉරණමට මේ භූමිය පත්වීමට ඉඩ දෙන්න බැහැ. අතීතියේදීත් අපේ මුතුන් මිත්තො ජාතිය මෙවැනි ඉරණමකට මුහුණ පෑ සෑම වේලාවකදීම ඊට එරෙහිව සටන ඇරඹුවා. එදා පෘතුගීසීන්ගේ කාලතුවක්කු බලයට අපේ මුතුන්මිත්තෝ යටත් වුණේ නැහැ. පුංචි ටිකිරි බණ්ඩාර කුමාරයාට පුළුවන් වුණා නම් මුල්ලේරියාව වැව අසලදී බලවත් පෘතුගීසි හමුදාව පරදවන්න, නූතන ටිකිරි බණ්ඩාරලාට ඕනෑවටත් වඩා පුළුවන් මේ පරගැති හවුල නූතන මුල්ලේරියාව වැව ළගට කැඳවලා පරාජයට පත් කරන්න.
‘පරගැති ගමන පැරදවීමට පෙරමුණ ගනිමු!’
අතීතයේදී අපේ රණකාමී මුතුන් මිත්තෝ ඒ බලය උපද්දවලා තිබෙනවා. අපි කවර අන්දමේ හෝ දඩයමකට මුහුණ දීමට සූදානම්. අද මේ දඩයම පරදවන්න ජනතාව පෙරට ආ යුතුයි. මේ දඩයම පැරදවිය යුත්තේ වෙන කුමක් නිසාවත් නොවෙයි, මේ රට මේ පරගැති හවුලේ උගුලෙන් බේරා ගැනීමට හැක්කේ දඩයමට ගොදුරුව ඇති ජාතිකවාදී නායකයන්ට නිසයි. මේ පරගැති ගමන පැරදවීමට ලක් මැණියන්ගේ සූජාත දූ පුතුන් ලෙස පෙරමුණ ගනිමු. රණකාමීව ඉදිරියට එමු. රණවිරුවන් වෙනුවෙන්, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සටන් අවුලුවමුෟ සටන පෙරට ගෙන යන්න ඔබ සැමට ශක්තිය, ධෛර්ය, යෝධබල යෝධ විර්ය ලැබේවා!.
මාතෘභූමියට ජයවේවා!
කෲර, පරගැති ආණ්ඩුව භංග වේවා!”
– අනුරුද්ධ බණ්ඩාර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.