ආරක්ෂාව තහවුරු කරන
තෙක්
යාපනය සරසවියට දරුවන් යවන්නේ නෑ
යාපනය විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ හා ඉන් පිටතත් පූර්ණ ආරක්ෂාව තහවුරු කෙරෙන තෙක් සිය දරුවන් එම විශ්වවිද්‍යාලයට නොයෑවීමට එහි විද්‍යාපීඨ සිසුන්ගේ දෙමවුපියෝ තීරණය කර සිටිති.සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පිළිගත හැකි මැදිහත් වීමක් මෙතෙක් සිදු වී නොමැති බවද එම දෙමාපියන් ප්‍රකාශ කළේ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ (21 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.
පසුගිය 16 වැනිදා විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ යාපනය විශ්වවිද්‍යාලයේ අගතියට පත් සිසුන්ගේ දෙමාපිය සංසදයෙනි.
විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ මේ ගැටුම සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය අනුව සිය දරුවන් හුදකලා කර සිටින්නේය යන සැකයක් හා භීතියක් පවතින බවද එදින සිද්ධියෙන් පසුව ගැහැනු ළමයින්ද ඇතුළුව සියලුම දරුවන් වවුනියාවට ගෙනැවිත් අතහැර දමා ඇති බවද ඔවුහු කීහ. ගැටුම්කාරී වාතාවරණයකින් පසුව පොලිස් ආරක්ෂාව මත දරුවන් අතරමඟට ගෙනැවිත් දමා යැම නිවැරැදි දැයි ප්‍රශ්න කළ දෙමවුපියෝ අඩු තරමින් ඒ රාත්රියේදීවත් මේ දරුවන්ට ආරක්ෂාව ලබා නොදීම බරපතළ තත්ත්වයක් යෑයිද කියා සිටියහ.
මෙම ගැටුමින් පසු දැඩි කම්පනයකට පත්ව සිටින දෙමවුපියන් වශයෙන් මෙතෙක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ සාකච්ඡාවකට පැමිණෙන ලෙස දැනුම් දීමක් නොකළ බව ඔවුන් ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
දරුවන්ගේ ආරක්ෂාව පළමු තැනට ගෙනැවිත් නොමැති බවට චෝදනා කළ දෙමවුපියෝ ආරක්ෂක අංශ විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ ගැටුම උද්ගතව විනාඩි හතළියකට පමණ පසුව යෑයිද පැවසූහ.
මීට පෙරත් සිංහල මාධ්‍ය සිසුවකුගේ කණට ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාලනාධිකාරිය කිසිදු පියවරක් නොගත් බවද මෙවර පහරදීමට සම්බන්ධ වන්නේත් එම සිසුන් පිරිස බවද ඔවුහු තවදුරටත් කියා සිටියහ.