ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්රතිලාභ පිළිබදව උතුරේ දේශපාලන අධිකාරිය දැනුම්වත් කිරීමට 26 දා ජපානයේ ජයිකා ආයතනයේ ඉහළ නිලධාරීන් පිරිසක් යාපනයේ වාරිමාර්ග ශ්‍රවණාගාරයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද උතුරු පළාත් සභාවේ මැති ඇමති වරු පිරිසක්ද සහභාගි වූහ.
උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් කියා සිටියේ එම යෝජනාව ඉදිරිපත් කළ ප්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම රජය උතුරු පළාත් සභාව සමග ගිවිසුමකටද අත්සන් කළ යුතු බවටද ඉල්ලීමක් කළ බවයි.
‘ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම් කිරීමට හේතුව වූයේ මධ්‍යම රජයට පමණක් මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය තිබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචි කරමින් නව ජනපද ව්‍යාපාර ඇති කිරීමට රජය කටයුතු කිරීම නිසා යැයි ද ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසීය.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය උතුරු පළාත් සභාවට විශාල ප්‍රශ්නයක් ඇති කෙරෙන බව ප්‍රධාන අමත්‍යවරයා ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ට පෙන්වා දී තිබේ.
මහවැලි ජලය උතුරට ලබාදීම සම්බන්ධයෙන් තමන් ඉතාම සතුටට පත්වන බවත් ඒ පිළිබදව තමන්ගේ හෝ උතුරු පළාත් සභාවේ කිසිදු විරෝධයක් නොමැති බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.
මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජයිකා නියෝජිතයින් ප්‍රධාන අමාත්‍ය වරයාට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු වලට තමන්ට මැදිහත් විය නොහැකි නිසා ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කොට යම් තීරණයකට එළඹෙන ලෙසටයි.