සහෘද ලේඛක චන්ඳ්‍රසිරි දොඩන්ගොඩයන් ඇසිදිසි මානය තීරු ලිපි පෙළින් සමුගෙන යාමේ අවසන් සටහන අප උපුටා දක්වනුයේ එහි ඇති අනගි සර්වකාලීන බව පසක් වන්නටය.සියුම් ලෙසින් සහ සංවේදී ලෙසින් ඒ ගෙතු වදන්පෙළ අප ජීවිත වල ඇති අවනිශ්චිත බව මෙන්ම
ලෝකයේ කවදත් හමුවීම්වලට වඩා සිදුවන්නේ වෙන්වීම්ය. ජීවිත කාලය තුළදී අප මොන තරමක් වෙන්වීම්වලට මුහුණ දී ඇත්ද...? වෙන් වීමක් යනු සැබවින්ම ශෝකජනක දෙයකි. මරණය යනු බරපතළම වෙන්වීමයි. එහෙත් මිය ගිය තැනැත්තා ගැන ශෝක වන්නෝ ශෝක වන්නේ ස්වල්ප කාලයක් පමණි.
ඉදින් ජීවතුන් අතර සිටියදීම ඔබෙන් වෙන්වන මා ඔබට ඉතා සරල කාරණයක් වනු ඇත.
මේ සටහන ලියන්නේ කම්පිත වූ සිතිනි. දීර්ඝ කාලයක් තිස්සේ ඔබ සමඟ හෘද සංවාදයේ යෙදුණු ඇසිදිසි මානයෙන් වෙන්ව යන සූදානමිනි.
"අනත්වා හෝතෝ ඉතෝ ආග
අනනුඤ්ඤතෝ - ඉතෝ ගතා"
ආරාධනාවක් නැතිව එන්නේය.
ඇනවීමක් නැතිව යන්නේය.
මෙය බුදුන් වහන්සේ විසින් මිනිසාගේ උපත හා විපත ගැන දේශනා කරන ලද විශිෂ්ට ධර්ම කාරණාවකි. කිසිවෙකුත් මෙලොවට බිහිවන්නේ, කාගේ හෝ ඇරයුමකට නොවේ. එමෙන්ම ඔහු මෙලොවින් පිටව යන්නේද කිසිවෙකුත් යන්නැයි කී නිසා නොවේ.
උපත හා විපත දෛවයෝගයකි. ඇසි දිසි මානය ලියන්නැයි ඔබ කීවේ නැත. එය නවතා තබා නික්මෙන්නැයිද ඔබ කීවේ නැත.
අනත්වා හෝතෝ ඉතෝ ආග
අනනුඤ්ඤතෝ - ඉතෝ ගතා
මේ නික්ම යැම හද දවන සුලුය. ඉතා දිගු කාලයක් හැදූ වැඩූ පුත්‍රයා පරක් තෙරක් නොපෙනෙනා නොහඳුනන ඈත රටකට යන මොහොතේ දැනෙන හද කම්පාව යම් සේද, ජීවිතයේ ඉතා දිගු කාලයක් අප්‍රමාණ ස්නේහයෙන් පෙම් කළ ළබැඳිනිය අවාසනාවන්ත ලෙස වෙන්ව යන මොහොතේ සිතට දැනෙන උමතු ශෝකය යම් සේද, ඇසිදිසි මානය මෙතෙක් කියෑ වූ ඔබෙන් වෙන්ව යැමද මට බරපතළ දුකකි.
ජීවිතය, සමාජය, ඉතිහාසය, හෘදයාංගම බව හඳුනා ගැනීමට මමත් ඔබත් උත්සාහ කළෙමු. එහි පරාජය මා සතුය. කතා කිරීමට බොහෝ දේ ඉතිරිව තිබියදී මම කලින් සමුගන්නෙමි.
මෙතෙක් මා ලියූ දේවලට ඔබ එවූ ප්රශංසාත්මක ලියුම් මා ළඟ සුරැකිව තිබේ. "දිවයිනෙන්" පිටව යන කල මට ගෙන යැමට තිබෙන්නේ ඒ මහඟු ප්‍රශංසනීය ලියුම් ස්වල්පය පමණි.
වෙන්වීම ගැන සොඳුරුම ප්‍රකාශය කළේ ඛලීල් ජිබ්රාන්ය. ඒ මෙයින් අවු 550 කට පමණ පෙරදීය. ජිබ්රාන් මෙසේ කියයි.
"විප්රයෝගය සඳහා හෝරාව පැමිණෙන තෙක්ම ප්‍රේමය ස්වකීය බන්ධනයේ ගැඹුර නොහඳුනන්නේය."
මම ඒ ගැඹුරු හෝරාවට පැමිණ සිටිමි. ඒ විප්‍රයෝගයේ හෝරාවයි. වෙන්ව යන මේ මොහොතේ, මට සිහි නැඟෙන්නේ වරක් පරවෙන මල යළි නොපිපෙන බවයි.
රැයෙහි පිපී අන්ධකාරය සමඟ සිනාසෙමින් සිය අලුයම් අරුණලු නැඟෙන මොහොතේ මිදුලේ වැලි තලය මත මුනින් අතට නැමී පරවී වැටුණු සේපාලිකා මල් අහුරක් සේ මම ඔබෙන් සමුගනිමි.
ඉතින් ආයුබෝවන්
චන්ද්‍රසිරි දොඩන්ගොඩ