සාලාව කඳවුර අළු ගොඩක්
ගම්මාන 10 ක ජනතාව අවතැන්...
ඉතා දැකුම්කළු ගොඩනැඟිලි සමූහයකින් යුක්තව ඉදික ර තිබුණු සාලාව යුද හමුදා කඳවුරේ ජල ටැංකිය පමණක් ඉතිරිව තිබෙනු (6 දා) එහි ගිය අපට දැක ගන්නට ලැබිණි.
මෙම පිපිරීමෙන් ප්රදේශයේ නිවාස රාශියක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති අතර කඳවුර ආසන්නයේම තිබූ රණවිරු ගම්මානයේ නිවාස හා මුරුතගම, ආනන්දගම නිවාස ඒ අතුරින් දරුණු ලෙස විනාශයට පත්ව ඇත. පිපිරීමෙන් සාලාව නගරයට සහ රෝහලට ද දැඩි අලාභහානි සිදුව තිබේ.අළුත්ම ඡායාරූප ඵකතුවක් සහිතයි....හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපිරීම (6 දා) සවස් වනතුරුත් නතර වී නොතිබූ අතර විටින් විට විශාල හඬකින් යුතුව බෝම්බ පුපුරා යන අයුරු දක්නට ලැබිණි.

කඳවුරේ අවි ගබඩාවේ තිබූ මල්ටි බැරල් උණ්ඩ සහ මෝටාර් උණ්ඩ කිලෝමීටර් පහක පමණ දුරට විසිරී තිබුණු අතර එම උණ්ඩ කොටස් හා පුපුරා නොගිය උණ්ඩ සොයා ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් දෙසීයක පමණ පිරිසක් මෙහෙයුමක් අරඹා තිබෙනු දක්නට ලැබිණි.
එම මෙහෙයුමේ නිරතව සිටි විශේෂ කාර්ය බළකා සෙබළුන් පුපුරා නොගිය බෝම්බ නිෂ්ක්රීය කිරීම සඳහා තැන් තැන්වල එක්රැස් කරන අයුරු දැකගත හැකි විය.
පිපිරීමෙන් හානි සිදුවී ඇත්තේ රණවිරුගම, පුවක්පිටිය, මුරුතගම, ආනන්දගම, වෑතර, සාලාව නගරය, සාලාව නිවාස සංකීර්ණය, දැදිගම, කනම්පැල්ල, බොල්ලතාව, ඇස්වත්ත සහ ඉඟුරල යන ගම්මානයන්හි පිහිටි නිවාසවලටය. එම නිවාසවල සිටි නිවැසියන් (5 දා) කඳවුරේ අවි ගබඩාව පුපුරා යැමත් සමඟම සිය දරුවන් ද රැගෙන ඇඳිවත පිටින් හිස් ලූ ලූ අත දිවගොස් ඇති අතර එහිදී කුඩා දරුවන් හත්දෙනකු පමණ ආගිය අතක් නොමැතිව දෙමාපියන් කඳුළු සලමින් දරුවන් සොයන ආකාරය සාලාව අකරවිට ප්රදේශයේ කළ සංචාරයකදී දැකගත හැකි විය.
අවතැන් වූ ජනතාව සඳහා සහන සැපයීමේ කටයුතු නිසි පරිදි සිදු නොවන බවට දැකගන්නට ලැබුණු අතර ඒ හේතුවෙන් ඇතැම්හු රජයට දොස් නගන්නට වූහ.
මෙම පිපිරීමෙන් පසු නිවැසියන් සිය නිවාස අත්හැර ආරක්ෂිත ස්ථානවලට යැමත් සමඟ ඔවුන්ගේ නිවෙස් තුළ තිබූ වටිනා බඩුබාහිරාදිය සොරා ගැනීමේ සිදුවීම් රැසක් ද සිදුව ඇත.