ඇමැතිවරුන්ට කෝටි 118 ක පරිපූරක ඇස්තමේන්තුවක් මගින් වාහන
ගෙන්වන්නට යන ආරංචියම රටේ ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි තිබූ
විශ්වාසය බිඳ දමන්නට සමත් විය. ඉන් අදහස් වන්නේ මෙතෙක්
විශ්වාසය ගොඩ නඟාගෙන සිටි බවක් නොවේ. වරින් වර මෙවැනි
ජනතාවත්, විවිධ සිවිල් සංවිධානත් ඊට විරෝධය පළ කරන විට මාධ්‍ය හමුවකදී ගයන්ත කරුණාතිලකත්, රාජිත සේනාරත්නත් ( සුදුරෙදි හොරා හෙවත් කක්කුස්සි කටා) එය සාධාරණීකරණය කරමින් කතා කර තිබිණි. වාහන ගන්නට කෝටි 118 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නේ ජනතා සේවය සඳහා බව ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා කියන විට රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ දුෂ්කර පළාත්වල යන්න නම් ඊට සුදුසු වාහනයක් තිබිය යුතු බවය. රාජිත සේනාරත්න ඇමැතිවරයා කියන ආකාරයට තමන්ගේ ගම්වල යන්නට හොඳ එන්ජින් ධාරිතාවක් ඇති ෆෝවීල් වර්ගයේ වාහන අවශ්‍ය වේ. දැන් අපට ප්‍රශ්න ගණනාවක් පැන නඟී. පළමුවැන්න ජනතා සේවය මෙච්චර අමාරු කාරණයක් නම් මොන කෙංගෙඩියකට මේ අය පාර්ලිමේන්තු ආවාද යන්නය. දෙවැන්න යන්නට බැරි තරම් අමාරු පාරවල් තවමත් රටේ තිබෙනවා යෑයි අවුරුදු ගණනක්ම පාර්ලිමේන්තුවේ ලැග සිටි ඇමැතිවරු, මන්ත්‍රීවරු කියනවා නම් මෙච්චර කල් ඒ අය කළ ජනතා සේවය මොකක්ද...? ඒ දුෂ්කර පාරවල් හදා ගන්නට බැරිවුණේ ඇයි...?
ඇමැතිවරුන් සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 118 ක් වෙන්කිරීම නවතා දමන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බව ඊයේ "දිවයින" පුවත්පත වාර්තා කර තිබිණි. අගමැතිවරයා පවසන්නේ ගංවතුරෙන් විපතට පත්වූ සහ කොස්ගම යුද හමුදා කඳවුරේ පිපිරීම නිසා විපතට පත්වූ ජනතාවට සහන සැලසූ පසු ඒ සඳහා කටයුතු යොදන ලෙසය. එයින් කියෑවෙන්නේ එතෙක් මේ වැඩපිළිවෙල නතර වන බවත්, ඉන්පසුව සුපුරුදු පරිදි මේ වාහන දන්සල පැවැත්වීමට නියමිත බවත්ය.
අවුරුදු හත අටක් පරණ වාහන පාවිච්චි කරනවා යෑයි කියන මේ උදවිය තමන්ගේ අබලන් වාහනයක් මහමඟදී 'බ්‍රේක්ඩවුන් වී දාඩිය මජං පෙරාගෙන ඒවා අලුත්වැඩියා කළ දවසක් තිබේදැයි රටට පැහැදිලි කළ යුතුය. මේ උදවියම හිටිගමන් මාධ්‍ය සාකච්ඡා පවත්වා කිව් පසුගිය ආණ්ඩුවේ ජනාධිපති මන්දිරය සතුව තිබුණා යෑයි කියන වාහන 1500 ක සංචිතයෙන් අවශ්‍ය වාහන 30 ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණේ මන්දැයි අපට ප්‍රශ්නයක් මතුවේ. එහෙත් මේකටත් ඊට පිළිතුරක් නැති බව සහතිකය. ඒ අය පෙනී සිටින්නේම අලුත් වාහන වෙනුවෙන්ය.
රාජපක්ෂ රෙජීමය ගත් ණය ගෙවා ගන්නට නොහැකිව සිටියදීත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තව තවත් ණය බලාපොරොත්තු වෙද්දීත්, රටේ ආර්ථික අර්බුදයක් තිබෙන බව ආණ්ඩුව පිළිගනිද්දීත් වාහන ගෙන්වීම, විපතට පත් අයට සහන දීමෙන් පසුව නොව අර්බුදයෙන් ගොඩ එන තුරුම කල්දැමීම යහපත් බව අපේ කල්පනාවය.
විශේෂයෙන් මේ කවරෙකු වුව නිශ්චිතවම තේරුම්ගත යුත්තේ අලුත් ආණ්ඩුව කළ කීදේ ගැනත්, වර්තමානයේ සිදුවෙමින් පවත්නා දේ ගැනත් රටේ ජනතාව තුළ කළකිරීම එන්න එන්නම වැඩිවන බවය. මීට පෙර මැති ඇමැතිවරුන්ට සුපිරි දීමනා දෙන්නට සූදානම් වූ ආණ්ඩුව එය හකුලා ගත්තේය. ඒ ජනතා විරෝධය හමුවේය. ඊළඟට තීරු බදු රහිත වාහන ගෙන්වීම සම්බන්ධයෙන්ද ජනතාව විරෝධය පළ කළහ. මෙවර "කෝටි 118 වාහන ගෙන්වීම පසුවට කල්දැමීම" ණය ලැබුණු පසු මැති ඇමැතිවරුන් වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්නට නියමිත බවට කරන ඉඟියක්ද යන්න විමසා බැලිය යුතුය.
දිවයින කතුවැකියෙන්.