ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 16, 2016

මානවසිංහයන් ගීතයට රස ගෙනා හැටි

ගීතය නම් සාහිත්‍යාංගය නූතන ජන කවිය යැයි හඳුන්වමින් එක් සොඳුරු කතා බහකදී දවසක් දිලීප අබේසේකර ගීතයට අපූරු අර්ථකතනයක් ඉදිරිපත් කළේය. රසවත් ගීතයකින් දනවන දැඟලිල්ල නැළවිල්ල හැගෙන හැම විටකම මට ඒ කියමන සිහිපත් වෙයි. ජන කතාව, ජන කවිය, හදන ඒවා නොව හැදෙන ඒවාය, ලියන ඒවා නොව ලියවෙන ඒවාය, රසයක් ඇති ගීතයක හැටිත් එහෙමය, හොඳින් සිතා බැලූවොතින් ඒවා හැදූ හෝ ලියූ ඒවා නොව හැදුන හා ලියවුණු ඒවාය. කවදටත් පැරණි නොවන, වයස තරාතිරම ද නැතිව එක ලෙස නැළවෙන්නට සැනසෙන්නට හැකි එහෙම ගීත කාලීන ගීත වෙයි. එහෙම රසයක් දනවන කාලීන ගීත දැන් ටික කාලයන සිට අළුතින් නිර්මාණය වීම ඇණ හිට ඇතත් අන්න ඒ ගැන විමසීම මේ සාහිත්‍යාංගය මතුවටත් දළු ලෑමට පොහොර යෙදීමක් වනු ඇත.

‘මොනවද අම්මේ අකුරු ජාතියක් මල්පෙති වල කවුදෝ ලියලා’ ‘සමන් වැලේ මල් ජයට පිපීලා’ ‘කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේ’ හා ‘මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි’ වැනි ගීත අද නොහැදෙන්නේ හෝ නොලියවෙන්නේ ඇයි? ‘ආදරයේ රුචිරාණනියේ’ ‘පුන් සඳ එළියයි එන මඳ සුළඟයි’ ‘නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා’ හා ‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා’ වැනි ගීත නොලිය වෙන්නේ හෝ නොහැදෙන්නේ ඇයි..? රසවින්දනය පහත වැටීම ලූ. පාසල් අධ්‍යාපනයෙන් සාහිත්‍ය රස වින්දනයට ඉඩ නැති වීමලු. විවෘත ආර්ථිකයට මේ රට ඇරිය නිසා මෙහෙම වුණාලු. ඔය විදියට හේතු තර්ක ඇති තරම් ඉදිරි පත් වෙයි. එහෙත් ඉහතින් සඳහන් කළ ගීත ලියවුණ හෝ හැදුන යුගයේ තිබුණ කළ එළියනම් අදත් ඇත්තේ ඒ ගීත වලම පමණි. එය දැනෙන දෙයකි. හදවතට ම දැනෙන දෙයකි. එහෙත් අද සිදුවන්නේ කනට ඇහෙන දෙයක් ගැන මොන මොනවා හරි දෙයක් කතා කිරීම හැර හදවතට දැනෙන ඒ දේ මතු කිරීමවත් අගය කිරීමවත් නොවේ.
ඉහතින් සඳහන් කළේ ගීත රචකයින් හතර දෙනකු විසින් ලියන ලද ළමා ගීත හතරක් හා ඊට ඉහළ තලයක ගැයෙන ඔවුන් අතින්ම ලියැවුණු පේ‍්‍රමය තේමාව කර ගත් ගීත හතරකි. ඒ ගීත රචකයන් හතර දෙනානම් පිලිවෙලින් ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ, අරීසෙන් අහුබුදු, කරුණාරත්න අබේසේකර හා මහගම සේකර ය. මේ ගීත රචකයන් හතර දෙනා මෙලෙස උපුටා දක්වන්නට විශේෂ හේතුවක් තියේ. කවදටත් පැරණි නොවන, නැළවෙන්නට සැනසෙන්නට හැකි, අද ලියවෙන හෝ හැදෙන කාලීන ගීතයක් තියේනම් ඒ මේ රචකයන් හතර දෙනා විසින් සකසන ලද සොඳුරු බිමේ වැටුණු සංකල්ප බිජුවක් පැලවීමෙන් හට ගත්තකි. තවත් විදියකින් කියනවානම් ලියවෙන ගීතය හෙවත් නූතන ජන කවිය තහවුරු කර දෙන්නේ මේ රචකයන් හතර දෙනා විසිනි. ගායනයේ ද සංගීතයේ ද ඒ තරමට ම වටිනාකමක් තිබුණත් ඇතැම් විටෙක ගායනයටත් සංගීතයටත් ඒ නැළවිල්ල සැනසිල්ල සොයා යන්නට පොළඹවන්නේ මේ රචනාවල ඇති අපූර්වත්වයයි. ඇත්තට ම ඔවුන් අතින් මේ ගීත ලියවුණේ දෙවියන්ගේ ලෝකයට සමවැදී සිටියදී ලද වරමක් ඇතිව ද? එහෙම කල්පනා කරන්නට අකමැති නම් සොබාදහමට සම වැදී සිටියදී යැයි සිතා ගත්තත් වරදක් නැත.
1957 දී සිය කෝමල රේඛා පොතට හැඳින්වීමක් ලියන ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ඒ ගැන සඳහන් කරන්නේ මේ විදියටයි.
‘ළා කහ රෝස පැහැති කම්මුල් වලින් හෙබි සිටිනාමළුවේ දැරියක් මා සමඟ පාසැල් ගමනේදී මිතුරු වූවාය. පාසැලේ සිට එන ඉර මුදුන් වෙලාවේදී මා සමඟ කතා බහට වැටීම ඇගේ සිරිත විය. හුස්ම අල්ලා ළය පුම්බා හොස්ස හකුළුවා ඇස් මහත් කොට කියන කතා ඇසීමට වඩා කියන සැටි බැලීමට මගේ සිත පෙළඹී ගියේ ය. පන්සලේදී පුස්කොල තැනීමේදී ඉවත් කරනු ලැබූ දිග තල ඉරටු ගෙනවිත් ගෙදරට නුදුරු හේනේ ලොකු පේර ගසක් උඩ අලංකාර කූඩුවක් මෙන් මවිසින් තනා තිබුනු පැලට ඈ පැමිණි විට ළා තියඹරා ගෙඩියක් පලා පළුවක් ඇයට දිනිමි. ඒ දෙස බැලූ ඇය මේ ඇට පේලිය ඔයාගෙ දත් වගේයැ’යි කීවාය. සුදුට හුරු ළා කහ පැහැයෙන් යුත් තියඹරා පළුවේ පිට පැත්ත පෙන්නා ‘ඔයාගෙ කම්මුල්වල පාටත් මේ වගේයැ’ යි මම කීවෙමි.’
මානවසිංහයන් ලියූ එහි තවත් තැනක මෙසේ සඳහන් වේ.
‘ගැමි කෙල්ලන් අපූරු පිළිවෙලකට නිකට පදවා හිස හරවා උරය ගස්සා හොස්ස හකුළුවා නුවනග බැලූම් හෙළා උකුළු මුකුළු පා ඔමරි කරන විට එහි ලතාව පැහැර ගෙන ඔමරි විරිතක්’ තනා ගත හැකිය. කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වන මහල් තලයේ කවුළුව ළඟට වී වසන්ත සුළං රැළි වලින් වෙලී ගිය බෝ ගසක නැටෙන කොළ දෙස බලා සිටි මගේ සිත එහි ලතාව සමඟ වෙළී ගියේය. ...........මේ කීයේ මහ බෝ වන්නම ගෙතුනු ආකාරයයි.’
ඉහතින් සඳහන් කළ මොනවද අම්මේ අකුරු ජාතියක්’ ගීය හෙවත් “බුදු මිහිර” ලියවුණු අයුරු ඔහු සඳහන් කරන්නේ මෙසේය.
‘අසන දකින සෑම දෙයක් ගැන ම කෙළවරක් නැති ප‍්‍රශ්න විසඳීමට වුවමනා කරන ළමා වියේ ‘චූටි පණ්ඩිතයන්’ අතරට බුදුන් වහන්සේ වැඩමවීමට ගත් පරිශ‍්‍රමයක ප‍්‍රතිඵලයක් වශයෙන් ‘බුදු මිහිර’ ගීතය ලීවෙමි. කට දොඩවන පොඩිත්තකුගේ බොළඳ කල්පනා හා එයට මවගෙන් ලැබුණු සහාය එක් වීමෙන් මෙහි වේදයිතය නැඟී එයි. කුරුල්ලන්, වන මල් පෙති, වන දෙවඟනන්, පාට වලාකුළු, සිනා ගලන්නාක් මෙන් දරුවකුට පෙනෙන පිළිමයේ මුහුණ හුරතලාගේ බොලඳ හැඟුම් වලට එක් කළ ආකාරයෙන් අසන්නා තුළ පහන් හැඟුම් පහල වෙයි.’
නූතන ජන කවිය තවත් වසර ගනනනාවක් ඉදිරියට තහවුරු කර තබා දැයෙන් සමුගත් අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල ගැන මෙහිදී මගේ මතකයට නැගේ. ඔහු ගයන ගීත වැඩි හරියක් ලියූ කරුණාරත්න අබේසේකර වෙතින් ඔහු ගීත රචනාවක් ඉල්ලන්නේ නැතිලූ. ඔහු ඉල්ලා ඇත්තේ ‘කරු අයියෙ මට හැඟීමක් ලියා දෙන්න’ කියාය. ජන කවියේ මෙන්ම මේ නූතන ජන කවියේ ද පණ අන් දෙයක් නොව අව්‍යාජත්වය ම බවයි එයිනුත් කියාපාන්නේ. තර්කයෙන් දැනුමෙන් වචන සොයසොයා ලියන අප‍්‍රාණික ගී ‘ගේයපද’ ලෙස සිර කර එයට විදග්ධ සළු පිළි පොරවා මේ තමයි ගී ලොවේ ටාජ් මහල කීවාට ඒ දිහා බලා සිටින්නේ කවුරුන්ද? එහි සම්මාදම දැනුම ඇති විදග්ධ පිරිසකගේ වූවාට රසයක් නැති ගීතයක් පණ ගහන්නේ නැත. සිර කළ වැවකට වඩා ගලන ගඟුල නෙත සිත සනසයි. නූතන ජන කවිය හෙවත් හැඟීම් ගලන ගී ගඟුලත් එසේමයි. එහි අසබඩ වන අරණේ, සඳ එළියේ, වලා කුළේ, අනන්තයේ පාවී යන සිතල වෙන මොන දෙයින්ද සැනසෙන්නේ, නිවෙන්නේ? වටහා ගත යුතු තැන ඇත්තේ මෙතැනයි. හැඟීම් ගලන ගී ගඟුලට අළුතින් ගී උල්පත් එකතු නොවෙන හේතුව මේ හිර වීමයි. සාහිත්‍ය අංශයේ එක් පැත්තක් අල්ලා ගත් විදග්ධ තීන්දුකාරකයන්ගේ අණ විනත් ඊට බලවත් සේ බලපායි.
රසවින්දනයට මං අහුරන්නේ මේ හිර වීමට කැමති තැනකින් එන අණකට අනුව ය. දැනීමට ඉඩ නොදෙන දැනුමට වහල් වුණ අණකට අනුවය. සොබාදහම හා යා නොවී සොබා දහමත් තමන් කියන විදියට සිටිය යුතුයැයි සිතන විදග්ධ කොටුවකින් ලැබෙන අණකට අනුවය. අද පාසල් යන දරුවාගේද රසවින්දනය මොට කරමින් විභාග තරගයක දුවවන්නේ එහෙම සීමාන්තික අණකට අනුවය. එහෙම නැතිව රසවින්දනයේ පිරිහීම සිදුවන්නේ විවෘත ආර්ථිකය මෙහි ගෙන ඒම නිසා හෝ ඊට සමානව දක්වන අනෙක් හේතුවක් නිසා නොවේ. රසවින්දනය මොට වී යන්නේ විවෘත නොවීමේ වරදට ය. සොබා දහම සමඟ විවෘතවන සිතුම් පැතුම් හැගීම් මේ පිළිසඳරට එක් නොකරන බැවිනි. විවෘත ආර්ථිකය ආවේ 1977 දී ය. මානවසිංහයන් මෙය ලියන්නේ 1959 දී ය.
‘විභාගයෙන් සමත් වීමට පමණක් වුවමනා කරන දෙය දැන ගැන්මට මුළු කාලය සීමා කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුරුදු කර තිබේ.’
දැනුම පසුපසම හඹා යන විභාග තරගයට දරුවන් යොමු වන්නේ විවෘත ආර්ථිකයේ බලපෑම නිසා යැයි කීම වැරදි ය. වරද ඇත්තේ දැනෙන හැඟීමට ඉඩ නොදී දැනුමට පමණක් ඉඩ දී සොබා දහමටත් වඩා උඩින් ඉන්න කල්පනා කිරීම තුළ ය. මේ රටේ අධ්‍යාපනය එහෙම වැරදි පාරකට වැටුණේ විවෘත ආර්ථිකය ආවාට පසුව නොවේ. හරිනම් විවෘත වූවාට පසුව ලෝකයේ තවත් හොඳ දේ ලබා ගන්නට දරා ගන්නට ශක්තිය වැඩි විය යුතුය. එහෙත් කාලයක් තිස්සේ රස වින්දනයෙන් ඈත්ව සිටි නිසා ද විභාගයට ම ජීවිතය කැප කරමින් කොහේදෝ දෙයක් හඹා යාම නිසා ද දෙවියන්ගේ ලෝකය හා කළ ගනුදෙනු එහෙමත් නැතිනම් සොබා දහම සමඟ පැවත් වූ යාළුකම් බිඳී ගියේ ය.
මානවසිංහයන් තවත් තැනෙක මෙසේ සඳහන් කරයි.
‘වැවෙන් වෙලෙන් රුප්පා වලින් වන පඳුරු අස්සෙන් බඩ වැටි ඔස්සෙන් හේන් වලින් වනමල් වලින් කුරුල්ලන්ගෙන් මා එකතු කර ගත් ළමා සිතිවිලි වල නාඹුල් ගතිය කවදාවත් නොමැකෙයි.’
එසේම ලියවෙන හැදෙන ගීතයක රසයත් කවදාවත් පැරණි නොවෙයි. රසවිඳීම අණ දීමෙන් හදන්නට නොහැක. රසය හිතට දැනෙන විදියකි. මානවසිංහ, අහුබුදු, අබේසේකර හා සේකර මෙය දැන සිය ලිවීම කළ අය වූහ. මානව චින්තනය නැමති මිටියාවතට අති රමණීය සුපිරිසිදු දිය දහරක් දෙන්නට සොබා දහමට වුවමනා කළේය. ඈත කැළේ තැනෙක ගලන දිය කඳුර වෙතින් ඒ දියවර හැරවීමට පිරිසිදු නල මාර්ගයක්ද වුවමනාවිය. නල මාර්ගය මළ කෑ එකක්නම් ඒ හරහා ගලන දිය දහර කොතරම් පිරිසිදු වුවද බලාපොරොත්තු ඉටු නොවෙයි. ඒ නිසා දියවර තරමටම පිරිසිදු නල මාර්ගයකුත් වැඩේට වුවමනා විය. මේ රචකයන් හතර දෙනා එහෙම පිරිසිදු නල මාර්ග හතරකි. ඔවුන් සොබා දහම පැත්තේ සිටිය නිසා ඔවුන් අතින් ලියවුණු ගීත රචනා තව කොතරම් කලක් ගියත් පැරණි නොවන ලෙසින් මානව චින්තනය හා බැඳී ගියේ ය. මමායනය හෝ විදග්ධ දැනුම වෙතින් ඒ නල මාර්ග මළ කන්නට ඉඩ දී නොතිබුණි. සොබා දහම බෙදූ ලෙසම ඒ නල මාර්ග හරහා හරහා එන හැඟීම් ගඟුල මානව චින්තනය නැමති මිටියාවත තෙමා ගෙන ගලා යයි.
මානවසිංහයන් සිය ගීතයට රස ගෙනාවේ එලෙසයි. පැරණි නොවෙන හැම කාලීන ගීතයකම රහස නම් ඒ රසයමයි.
ලක්‍ෂමන් පියසේන

ජගන් මෝහිනී මධුර භාෂිණී
අපේ වැලිවිටියේ සෝරත නායකහාමුදුරුවෝ ස්වකීය ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහිලා 'සරසවි' සහ 'සරස්වතී' යන දෙවදනට අරුත් කියති. නායකහාමුදුරුවන් 'සරසවි' යන වදනට දෙන මුල්ම තේරුම සරස්වතීය. දෙවැනියට දෙන්නේ 'වචනය' යන අරුතයි. යළිදු 'සරස්වතී' යන වදන පහදමින් මුලින්ම දෙන්නේ 'වචනය' යන තේරුමයි. එතැන්හිදී උන්වහන්සේ දෙවැනියට දෙන අරුත ඉතා අසිරිමත්ය. සරස්වතී යනු “බ්‍රහ්මයාගේ භාර්යාව වශයෙන් සැලකෙන වචනාධිපති දෙවඟනය.”
එතැන්හිදී, 'සරසවි' - 'සරස්වතී' යන වදන් දෙක්හිම අරුත මොනවට උත්කර්ෂයට නැ‍ඟෙයි. අවධාරණය කළ යුතු වැදගත්ම කාරණය නම්, සරස්වතී යනු වචනාධිපති දෙවඟන බවය.

නානාවිධ කාව්‍ය ගීත ප්‍රබන්ධයෙන්ද, ගායන වාදනාදී සංගීතයෙන්ද, නර්තනයෙන්ද, සරස්වතිය අභිනන්දනය කෙරෙන්නේ, ඕ තොමෝ වචනයට අධිපති වන නිසාය. දෙවැනි පැරකුම්බාවන් කී පරිදිම, ඇයගේ බැලුම් අසක් මුත් ලද පමණින්, කවීන් බිහි වන්නේ එහෙයිනි. කවීන් ලබන වදනිසුරු බවට අධිපති වන්නීද, සරස්වතියමැයි.
එවන් සරස්වතිය අභිවාදනය කරන්නට ලියවුණු විශිෂ්ට ගීතයක් අපගේ ගේයපද මාලා සාහිත්‍යයෙහි දැක්වෙයි. ඒ වනාහී, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විසින් ප්‍රබන්ධිතව, පණ්ඩිත් අමරදේව ගායනය කරන 'ජගන් මෝහිනී' යන හිසින් අරඹිණ ගීතයයි.
'ජගන් මෝහිනී - මධුර භාෂිණී
චාරු දේහිනී - කමල වාසිනී
සරස්වතී දේවී - වන්දේ - සරස්වතී දේවී”

මුළු මහත් සහෘදය ගණයාම මෝහනයට පත් කරන මේ ජගන් මෝහිනිය, සරස්වතිය වන්නීය. ඕ තොමෝ මියුරු බසැත්තීය, රුසිරුමත් දේහ විලාස ඇත්තීය. පියුමක් ස්වකීය වාසභවනය කර ගත්තීය. දෙවඟනක සේ සැරසී ගත්තීය. මඳ සිනා නඟන්නීය. වෙසෙසින්ම ජය රංජනය කරන්නීය. ඒ හැමටම වඩා, සතර දරන අරුතින්, ශාස්ත්‍රධාරිණී වන්නීය....
එපරිදි, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නමැති සුවිශිෂ්ට ගේයපද නිර්මාතෘහු ස්වකීය නිබන්ධය නිමවමින් සරස්වතියට මෙවන් ආයාචනයක් ද කරති.
 “දේහි දේහි වරදායක හස්තේ ශුභ මංගල මුද්‍රා”
ශුභ මංගල මුද්‍රාවෙන් යුතු හස්තයෙන් අපට වර දුන මැනවි.
මෙම ගීතයෙහි සුවිශේෂත්වය වනුයේ, එය අප බසින් නොව, සකු බසින් ප්‍රබන්ධය වී තිබීමයි!

ගීතය මෙන්ම, ගීතයේ පසුබිම් කතාවද අපූර්වතරය.
ඒ, 1963 වසරය. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි වාර ප්‍රකාශයනයක් වන සරසවිය පුවත්පත් මගින් මෙහෙයවන ලද සරසවි සිනමා සම්මාන ‍උලෙළේ සමාරම්භක අවස්ථාව උදෙසා, සරස්වතී අභිනන්දන ගීතයක් අවශ්‍යව තිබුණි. ඒ අරබයා ගීතයක් නිම වන්නැයි, එවකට සරසවි පතෙහි කතුවරයාව සිටි විමලසිරි පෙරේරා කවියා විසින් ආරාධනය කරන ලද්දේ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන්ටය. ඔහු විසින් නිම වන ලද ගී පිටපත අමරදේව අතට පත් කෙරිණි.
එතැන් සිට ගීතය පිළිබඳ පසුබිම් කතාව කියන්නට, අපි පණ්ඩිත් අමරදේවට ආරාධනය කරමු:
“විමලසිරිගේ අවශ්‍යතාවය වුණේ, මුල්ම සරසවි සම්මාන උලෙළේ තේමා ගීතය සකස් කර ගැනීමයි. ඒ කටයුත්ත මා වෙත පැවරීම, මට එක විදියකට, සරසවි වරමක් ලැබුණා හා සමානයි.
“මුල් ගීතයේ ලියවිලා තිබුණේ, “සරස්වතී දේවී නමස්තේ” කියලයි. මම ඒ පදය 'සරස්වතී වන්දේ' කියලා වෙනස් කළා. ඒ වෙනසට මානවසිංහ කැමති වුණා.
“මානවසිංහගේ මෙම රචනය, ඉඳුරාම සංස්කෘත ශ්ලෝකයකැයි සැක සිතෙන තරමට සංස්කෘත තත්සම වචන උපයෝගී කරගැනීමෙන් ප්‍රබන්ධය කරන ලද ගීතයක්. මෙම ගීතයෙහි සිංහලට නුහුරු නුපුරුදු පදසාධන පවා යෙදී තියෙනවා. නිදසුනක් හැටියට, “පූර්ණ කුම්භමිව පීන පයෝධර” යන තන්හි, “කුම්භමිව” යන යෙදුම සංස්කෘත භාෂාවේ සහ පාලි භාෂාවේ සන්ධියක ස්වරූපයක් ප්‍රකාශ කරනවා. එහි තේරුම කලයක් හෙවත් ඝටයක් වැනි යනුයි. එතැන “ඉව” යන නිපාතයෙහි තේරුම වැනිය යනුයි. සිංහලට නුහුරු එවැනි භාෂා ප්‍රයෝග පවා රචනයෙහි තිබෙනවා. එසේද වුවත්, මෙම ගීතයෙහි දැක්වෙන ගාඪ, ප්‍රෞඪ සන්ධි සමාස පද බහුල රීතිය හේතුකොටගෙන, ප්‍රබල නිර්මාණයක් කිරීමට මා තුළ ඇති වූයේ, බලවත් ආවේශයක්.
“මගේ ජන්ම වාසනාවට ලැබුණු දෙයක් තමයි, මොහොමඩ් ගවුස් මාස්ටර්ගෙ ඇසුර. ඒ දවස්වල ගවුස් මාස්ටර්, ගුවන්විදුලිය වැඩසටහන් සඳහා, බිහාග් රාගයෙන් නිර්මාණයක් කර තිබුණා ඒ බිහාග් රාගයේ ස්වර සංගතිය ඇසුරු කරගෙනයි, “ජගන් මෝහිනී” ගීතයේ නාදරටාව සකස් වුණේ. ගවුස් මාස්ටර්ගෙ නිර්මාණ ආභාසය මා නොමඳව ලබාගත්තා. ආභාසයක් ලැබෙන්නේ, ව්‍යුත්පත්තිය හේතුකොටගෙනයි. ඒ කියන්නේ, කලින් ලබන ලද ඇසූ පිරූ ‍දේවල් ආශ්‍රයයි. එය නිර්මාණයකට ‍ලොකු ශක්තියක්.
“බිහාග් රාගය, භක්ති රසය ජනනය කරන රාගයක්. එය ශුද්ධ ස්වර භජනය කරන රාගයක් හැටියට හඳුන්වන්න පුළුවනි. එතුළ ආගන්තුක ස්වරයක්ද දක්නට ලැබෙනවා. මෙම රාගයේ තියෙන තීව්‍ර මධ්‍යමය, ආගන්තුක ස්වරයක්. ඒ නිසා නිර්මාණය වඩාත් බබළන්ට පටන්ගන්නවා. “ජගන් මෝහිනී” ගීතය, මේ තරමට සහෘදය ජන ම‍නෝනන්දනය කරන්නේ ඒ නිසයි.
“නිර්මාණයකට ලැබෙන ආභාසය, හරිම අසිරිමත් දෙයක්. ඇතැම් වෙලාවකට, මේ ගීත නිර්මාණයට, බො‍හෝ ඈත සිට මට ලැබුණු විශේෂ ආභාසයක් ගැනත්, සඳහන් කරන්ඩ හිතෙනවා. මා ඔබට සඳහන් කරන්ඩ යන නිර්මාණය, ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත පීඨාධිපතිව සිටි, පණ්ඩිත් ශ්‍රී ක්‍රිෂ්ණ නාරායන රතන් ජන්කර් පඬිතුමා විසින්, 1956 තරම් ඈත කාලයක ප්‍රබන්ධ කළ අපූරු ගීතයක්...
“රාගධාරි සංගීතයේ සමූහ ගායන සහ සමූහ වාදන අංග අත්හදාබැලීම සඳහායි, රතන් ජන්කර් පඬිතුමා මෙම ගීතය නිර්මාණය කෙළේ, මාත් ඇතුළුව පාළොස්දෙනෙක් පමණ එකතු වෙලා, ගීතය ගායනා කළා.
“ගීතයේ අනෙක් විශේෂත්වය තමයි, එය රාග හතක් පදනම් කරගෙන නිර්මාණය වීම. සින්දුරා කාෆි, කීර්වාණි, සින්ධු භෛරවී, ගෞඩ මල්හාර, කාලිංගඩා, ඛමාජ්, පිලු යන රාග හතෙන්ම, ඒ දැක්වූ පිළිවෙළම, මේ ගීතය නිර්මාණය වෙනවා.
“මෙය, අතිවිශිෂ්ට සරස්වතී අභිනන්දන ගීතයක්. අතිශයින්ම ශාස්ත්‍රීය නිර්මාණයක්. මගේ අවබෝධයේ හැටියට, එහි බස සංස්කෘත මිශ්‍ර හින්දුස්ථාන බස කියා, මට හිතෙනවා. රතන් ජන්කර් පඬිතුමන් විසින් විරචිත ඒ අපූරු ගේය කාව්‍යයේ මුල් වදන් කිහිපය මෙහෙමයි.
“හංසා රූඪා
සිත වසන යුතා
ශාරදා බ්‍රහ්මපුත්‍රී
විද්‍යා ඛ්‍යාතා
සුරනර මුනී වාගීශ්වරී....


“මෙම අසමාන නිර්මාණය, සරස්වතී අභිනන්දන ගීතයක් හැටියට ඉතා විශිෂ්ට ස්ථානයක පවතිනවා. තවත් බොහෝ සංගීතඥයින් සමඟ, එවන් නිර්මාණයක් ගායනා කරන්නට, එදවස මට ලැබුණු අවස්ථාව, මා සලකන්නෙ, පූර්ව වාසනාවකට මේ භවයේදී මට ලැබුණු දුර්ලභ ප්‍රතිලාභයක් හැටියටයි. ඒ සම්බන්ධයෙන්, මගේ ගුරුදේවයන්ට මා සදා ණයගැතියි.
“ඇතැම් විට මගේ “ජගන් මෝහිනී” ගීතයට, බොහෝ දුර ඈතක සිට මේ ගීතයේ නිර්මාණ ස්පර්ශයත් ලැබෙන්නට ඇති.” (ගී සර මුවරද - අමරදේව - පිටු 59 - 60) සංස්කණය - ඩබ්ලියු. ඒ. අබේසිංහ.
මෙම සුවිශිෂ්ට සරස්වතී ගීතයේ උත්පත්ති කතාව පිළිබඳව පණ්ඩිත් අමරදේව කරන එකී විවරණයට එකතු කළ යුතු කිසිවක් ඇතැයි සිතෙන්නේ නැත. එතෙකුදු වුවත්, ගීත නිර්මාණයට අදාළවම කිව යුතු විශේෂ කාරණයක්ද වෙයි. එනම්, ගීතයක පරිසමාප්ත වූ අවසානය ගැනය.
පණ්ඩිත් අමරදේව නිතර නිතර උද්ධෘත කොට දක්වන, ඩේවිඩ් රැන්ඩොල්ෆ් නමැති සුප්‍රකට සංගීත ශාස්ත්‍රවේදියාගේ ප්‍රකාශයක් ඇත.
“වචනයකට යා හැකි දුර ගෙවා නවතින්නේ කොතැනද, එතැන සංගීතයේ උපතයි.”
මෙකී ආප්තය අත්‍යන්තයෙන්ම ගැළපෙන්නේ, මෙම සරස්වතී ගීතයටයි. මන්ද යත්, එහිලා රසිකයා වඩාත් බැ‍ඳෙන්නේ ගේයපද නිර්මාතෘගේ නිර්මාණය ඉක්මවා සිටින උච්ච තලයේ පවතින සංගීතයකට බැවිනි. එවන් සංගීතයක් හඳුනාගත හැක්කේද, ප්‍රතිනිර්මාණය කළ හැක්කේද, පණ්ඩිත් අමරදේව වැනි පූර්ව වාසනා ගුණයෙන් සමලංකෘත උත්තම ගණයේ සංගීත ප්‍රාඥයකුට පමණී.
ආචාර්ය ඩබ්ලියු ඒ. අබේසිංහ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.