ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 16, 2016

ඒ වාද්‍ය භාණ්ඩත් මට දීලා ගුරුවරයාත් මටම දීලා එයා සංගීතය අතඇරියා...!!!

සංවාදයට සමුදෙන්නට පෙර මා වෙනුවෙන් බටනලාව වයන්නැයි මම ඔහුගෙන් ඉල්ලීමක් කළෙමි. එය ඔහු නිහතමානීව පිළිගත්තේය.අගනේය.දෙතොල් මත තැබෙන බටනලාවෙන් නික්මෙන ඔහුගේ සුසුම බටනලාවේ වා සිදුරු හයක් මත නැටවෙන ඇඟිලි තුඩු අනුව ඒ ඒ සිදුරෙන් නික්මෙන ස්වරයේ පරිමාව පාලනය කරන හැටි. ඒවායෙන් වැයෙන අනුපිළිවෙළත් මනාව මනසින් හඳුනාගෙන සිටින ඔහු ගීතයට කලාත්මක මනෝභාවයන් ඉදිරිපත් කරනුයේ අපූරුවටය. මේ අපූරු මිනිසා වී. හේමපාල පෙරේරාය.
හේමපාල මහත්තයා දෙනෙත් නොපෙනෙන ඔබ කොහොමද ස්වර ප‍්‍රස්තාරයක් නොදැක ගීතයකට බටනලාව වයන්නෙ....?

කොළයක් දිග ඇරගෙන කොළය බලාගෙන වාදනය කරන වාද්‍ය කණ්ඩායම් තුළ මමත් වාඩිවෙලා ඉන්නවා. එතැනදී මම වැඩිපුර භාවිතයට ගන්නේ මගේ හිත. මතක ශක්තිය දියුණු කරගෙන ඒකෙන් තමයි මම උපරිම ප‍්‍රයෝජන ගන්නේ. පොතපතේ ලිව්වත් වචනවලට ශබ්ද නැහැනේ. සංගීතයට ප‍්‍රධාන වන්නේ ශබ්දයනේ. ඒ නිසා එතැනදී මගේ ක‍්‍රමය වෙනස්. මම කරන්නේ අදාළ මියුසික් පාට් එක තව කෙනකුට කියලා එක පාරක් අහන්න සලස්ව ගන්න එක. ඒක ඉක්මනින්ම මගේ හිතට වැටෙනවා. කිසිම ප‍්‍රශ්නයක් නැහැ. අනෙක් අය වාදනය කරන කොට මමත් මගේ කොටස කරනවා. අනෙක් අය කොළයේ සටහන් කරගන්න එක මම මොළයේ සටහන් කරගන්නවා. පොත වෙනුවට හිත භාවිත කරනවා. හැබැයි එතැනින් එළියට එනකොට ඒ මතකය මම අමතක කරලා දානවා. ආයෙමත් ඕනෑවුණ දවසට එක පාරක් ඇහුවාම ඇති. අමතක කළාට හිතේ ඇඳිලා තියෙන්නේ.
ඔබ උත්පත්තියෙන්ම අන්ධද?
නැහැ. අවුරුදු පහේදී හයේදී විතර අන්ධ වුණේ. මම ජාති අන්ධයෙක් නෙමෙයි.
මමත් පරිසරය දැක්කා ඒත් ජීවිතයෙන් දශමයක් විතර.
ඒ දැක්ක මතකය මතකද?
ගහකොළ, දියඇලි, සත්තු, මුහුද මම දැක්කා. වැඩිපුරම දැක්කේ රෝහල, ලෙඞ්ඩු, ඇඳන්, මළමිනී, තුවාලකාරයෝ. ඒ මතකය මහ ලොකුවට නෑ. අන්ධ වුණාට පස්සේ ඒ පෙනුණ ටික හරි ලොකු වුණා. ඒ දැක්ක චුට්ටත් ලොකුවට මතකයේ තියෙන්නෙ ඒ හින්දයි.
ඉතින් ඔබ අන්ධ වුණේ කොහොමද?
හරි දිග කතාවක්. කෙටියෙන් කියන්නම්. පාසලට ගියාම ප‍්‍රතිශක්තිකරණ එන්නතක් දුන්නා. ඒක විද්දාට පස්සේ ලෙඩවුණා. මුළු ඇෙඟ්ම ගෙඩි දාන්න පටන් ගත්තා. මව්පියෝ මාව ඉස්පිරිතාලයේ නතර කළා. මට මතක විදිහට මට ඉන්ජෙක්ෂන් විසි හතරක් ගැහැව්වා. දොළහක් විතර ගහනකොට ඇෙඟ් මස්දලූ ආවා. කොහොමහරි මගේ තුවාල ටික සනීප වුණා. සනීප වෙලා එළියට ආවා. ආවේ එක ඇහැක් අරගෙන. අර බෙහෙත් සැරට එක ඇහැක් පේන්නේ නැතිවුණා. ඒ ඇහැ සුව කරන්න බැරි තරමටම අන්ධ වුණා.
එක ඇහැක් පෙනිලා සම්පූර්ණ අන්ධ වුණේ කොහොමද?
මම කිව්වෙ ඒකයි මේක හරි දිග කතාවක්. එකක් පේනකොට කොහොම හරි අනිත් එකටත් පෙනුම ගන්නනේ බලන්නේ. ඔන්න මව්පියෝ මාව සනීප කරන්න පුළුවන් කියලා හිතලා ගම්පොළ පැත්තේ වෙද මහත්තයෙක් ළඟට මාව අරගෙන ගියා. එයා හරි ප‍්‍රසිද්ධයි. ලෙඞ්ඩු පිරිලා. ඉලවතුරේ නොතාරිස් රාළහාමි කියලා එයාට කියන්නේ. මට අදටත් මතකයි වෙද මහත්තයා ළඟට යනකොට එයා වයලීන් එකක් වාදනය කරමින් හිටියේ. එයා වෙදකම් කරන්න පටන් ගන්න ඉස්සරවෙලා හැමදාම උදේට වයලින් වාදනය කරනවා. කොහොම හරි එයා මාස එකහමාරක් වෙදකම් කළා. අපිට ඉන්න තැනක් තිබුණේ නැහැ. වෙද මහත්තයාගේ ගෙවල් ළඟ මුස්ලිම් පවුලක් අපිව නතර කරගත්තේ. සල්ලි ගත්තේත් නැහැ. හොඳ මිනිස්සු. මොනවා කරන්නද මාස එකහමාරක් බෙහෙත් කරලා ආවා. මාසයක් යනකොට මගේ පේන ඇහැත් පේන්නේ නැතිව ගියා. ඒක හරි යයි කියලා තව මාස භාගයක් බෙහෙත් කළා. හරි ගියේ නැහැ. තනියෙන් වෙද මහත්තයා ළඟට ගිය මට අම්මාගේ අත අල්ලගෙන එන්න වුණා. එක ඇහින් ලෝකය පෙනුණ මම දෙකම පාදා ගන්න ගිහින් සම්පූර්ණ අන්ධ වුණා.
අමතක කරන්න බැරි මතකයක්.
අපෝ ඔව්! පෙනිලා නොපෙනෙනවා කියන්නෙ කරුමයක්. එකකින් බල බලා ඉඳලා ඒකත් නැතිවුණා. ලොකු තනිකමක් දැනුණා. අම්මා තාත්තා ජීවත්ව සිිටින තාක් මට හයියක් තිබුණා. ඒත් මව්පියෝ නැති වුණාම ජීවිතය කොච්චර අමාරුද කියලා හිතුණා. ජීවිතය කොහොමත් අමාරුයි. අන්ධ වුණත් නැතත් ඒක එහෙම තමයි. අන්ධයෙකුට ඒක ඊට වැඩියි.
ජීවිතයේ ලොකු කට්ටක් කන්න ඇති.
කියලා වැඩක් නැහැ. සෑහෙන කට්ටක් කාලා මෙතැනට ආවේ. අපේ පවුලේ අටදෙනෙක්. මව්පියෝ නැතිවුණාම ආර්ථික අපහසුතා වැඩිවුණා. සහෝදරියන්ට බරක් වෙන්නත් මට බැරිවුණා. අන්ධයෙකුට කරන්න පුළුවන් රැකියාව හිඟාකන එක නේද කියලා මට හිතුණා. මම මාව ජයගත්තේ නැත්නම් හිඟාකෑම හැර මටත් දෙයක් නැහැ කියලා මම තේරුම් ගත්තා.
මියුසික්වලට යොමුවුණේ කොහොමද?
දවසක් මම ලොකු අම්මලාගේ ගෙදර ගිහින් ඉන්න කොට ලොකු අම්මාගේ පුතා මවුත් ඕගන් එකක් වාදනය කරනවා. මම පොඩි එකා. මටත් ආස හිතිලා මම ඉල්ලූවා. දුන්නේ නැහැ. මගේ කෙළ ගෑවෙයි කියලා. පස්සේ අම්මා මට මවුත් ඕගන් එකක් අරගෙන දුන්නා. මේ කාලෙදි දුලාරි චිත‍්‍රපටයේ ‘සොහානි රාත්’ ගීතය බොහොම ජනප‍්‍රියයි. රෙඩිෆියුෂන් එකෙන් ඔය ගීතය ඇහෙනකොට සංගීතයට තියෙන ඇල්ම තවත් වැඩිවුණා.
සංගීතය ඉගෙන ගත්තේ ඊට පස්සෙද?
සංගීතය ඉගෙන ගන්න අදහසක් තිබුණෙ නැහැ. ඒක තිබුණේ මගේ අයියාට. එයා තමයි වාද්‍ය භාණ්ඩ අරගෙන සංගීත ගුරුවරයෙක් ගෙදරට ගෙනල්ලා සංගීතය ඉගෙන ගත්තේ. ඒ අස්සේ මමත් එක තැනකට වෙලා ඉන්න එකනේ. මමත් ඉගෙන ගත්තා. අයියා දැනගත්තා සංගීතය තියෙන්නේ එයා තුළ නෙමෙයි මගේ තුළ කියලා. ඒ වාද්‍ය භාණ්ඩත් මට දීලා ගුරුවරයාත් මටම දීලා එයා සංගීතය අතඇරියා.
ගුරුවරයා ඔබට උගන්වන්න එකඟ වුණාද?
මම මුල ඉඳලා දක්ෂතා පෙන්වපු හින්දා ඔහුත් කැමති වුණා මට උගන්වන්න. මට පොත් බලන්න බැරි නිසා කටපාඩම් කරවන එක තමයි කළේ. අදත් ඒ අධ්‍යාපනය තමයි මාව මේ තැනට ගෙනාවේ. සමහර දවස්වලට උදේ ඉඳලා රෑ වෙනකම් සංගීතය ඉගෙන ගන්නවා.
බටනලාවද මුලින්ම වයන්න ඉගෙන ගත්තේ?
මුලින්ම ඉගෙන ගත්තේ ජපන් මැන්ඩලින් එක. අයියාට සංගීතය උගන්වන්න ආ ගුරුවරයාගෙන් ඉගෙන ගත්තා. ඔහු ජේ.එම්. අමරනාත් ගුරුතුමා. ඊළඟට තබ්ලාව ඉගෙන ගත්තා. ඊටත් පස්සෙ තමයි බටනලාව ඉගෙන ගත්තේ.
මම අහලා තියෙනවා ඔබගේ ගම බදුල්ල කියලා. එවැනි දුෂ්කර පැත්තක ඉඳලා එදා ගුවන්විදුලියට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ කොහොමද?
ඒකත් හරි අපූරු කතාවක්. ගුවන්විදුලියට සෝලෝ එකක් කරන්න මට සංගීතය ඇඟට දැනුණු කාලේ ඉඳලා ආශාවක් තිබුණා. ඒ ආශාව ඉෂ්ට වුණේ මගෙ යාළුවෙක් හරහා. ඔහු මාව නුවර තිබ්බ එම්.ජී.ඞී. කලායතනයට එක්ක ගියා. ඒක කළේ සිරිල් පෙරේරා මහත්තයා. ඔහු ආනන්ද පෙරේරාගේ තාත්තා. එතනට ගියාම එතුමා මගේ සෝලෝ එකක් අහලා කිව්වා, මෙයා ගුවන්විදුලියට එක්ක යනවා නම් ඒක කරන්න පුළුවන් එකම එක්කෙනායි ඉන්නෙ, එයාට කියලා බලමු, ඒකට සතියක් විතර නුවර ඉන්න වෙනවා කියලා. එතුමාගේ කලායතනයේ ඉගෙන ගන්න ඇවිත් හිටපු ජෝඩුවක් මට නවාතැන් දෙන්න පොරොන්දු වුණා. මම එහෙ නැවතුණා. සිරිල් පෙරේරා මහත්තයාගේ හොඳ යාළුවෙක් ඩොක්ටර් එදිරිවීර සරච්චන්ද්‍ර. එතුමාට කියලා තමයි මාව ගුවන්විදුලියට දාන්න යන්නේ. එතකොට සරච්චන්ද්‍ර මහත්තයා කොළඹ හිටියේ. සිරිල් පෙරේරා මහත්තයා මාවත් එක්කගෙන කොළඹ ආවා. ඇවිත් සරච්චන්ද්‍ර මහත්තයාගේ ගෙදරට අරගෙන ගියා. ඒ යනකොට එහේ කැරොල් පුරුදු වෙනවා. සිරිල් මහත්තයා මාවත් ඒ ඔකෙස්ට‍්‍රා එකේ ඉන්දවලා කිව්වා. ‘ඔයාට හිතුණොත් ඔයා ප්ලේ කරන්න නැත්නම් අහගෙන ඉන්න’ කියලා. ඒ ගීත මම කවදාවත් අහලා නෑ. ඒත් වාදනය කරන කොට මටත් හිතුණා වයන්න. මම ඒක කළ ගමන් සරච්චන්ද්‍ර මහත්තයා ඒ කවුද කියලා අහගෙන මගේ ළඟට ඇවිත් මගේ උරහිසට අත තියලා ‘හරිම අපූරුයි’ කියලා, සිරිල් මේ කවුද කියලා ඇහැව්වා. සිරිල් මහත්තයා විස්තරය කිව්වාම එවකට ගුවන්විදුලියෙ අධ්‍යක්ෂ නෙවිල් පෙරේරාට සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා. කොහොමහරි එහෙම තමයි මට ගුවන්විදුලියට යන්න පුළුවන් වුණේ. ඒ ගිහින් මම ‘ඒ’ ශ්‍රේණියේ වාදකයෙක් වුණා. මගේ යාළුවා, සිසිර මහත්තයා, සරච්චන්ද්‍ර මහත්තයා, මේ තුන්දෙනා තමයි මේ ගමනේ මාව එතෙර කළ පාලම.
ගුවන් විදුලියේ දොර ඇරුණත් බදුල්ලේ ඉඳලා යන එන එක ලේසි නෑ.
අපොයි ඔව්! ඒකනේ කිව්වේ පුදුම කට්ටක් කෑවා මෙතැනට එන්න. මට ගුවන්විදුලියට ආවාට පස්සේ කොළඹ තව වැඩ හම්බ වුණා. ඒත් ඉන්න තැනක් නෑ. වැඬේ කරලා බදුල්ලෙ යනවා. සතියකට දවස් හතරපහ කොළඹ එනවා. රෑ කෝච්චියේ යන්නේ. එළිවෙලා බහින්නේ. සමහර දවස්වල ගෙදරට යනකොට ටෙලිග‍්‍රෑම් එකක් ඇවිත් අහවල් වැඬේට එන්න කියලා. ඉතින් ආපහු එනවා. යාළුවෝ සෑහෙන උදව් කළා. ඒ ගමනෙදි මාත් එක්ක යන්න එන්න.
ඔබ කොළඹ පදිංචි වෙනවා නේද පස්සේ?
ඒකත් වුණේ නොහිතපු විදිහට. මම කොළඹ ඇවිත් යනකොට ගොඩක් අය හඳුනා ගත්තා. ඔය අතර මාධ්‍යවේදී ඇන්ටන් අල්විස් මහත්තයා එක්කෙනෙක්. එයා දවසක් මට කිව්වා පේ‍්‍රමදාස මහත්තයාගේ වැඩක් තියෙනවා යමු කියලා. මේ 1974දී. ඒ කාලේ පේ‍්‍රමදාස මහත්තයා සුචරිතයේ මාසයකට සැරයක් ලොකු සාජ්ජයක් පවත්වනවා. ඉතින් මමත් ගිහින් සෝලෝ එකක් වාදනය කළා. එතකොට පේ‍්‍රමදාස මහත්තයා නාගරික මන්ත‍්‍රී. ඔහු එදා හැමෝම ඉස්සරහා කිව්වා අපේ ආණ්ඩුවක් ආපු කාලයකදී මේ කැලෑ මල කොළඹට ගෙනල්ලා ඉදිරියට ගන්නවා කියලා. ඔහු හරි රසවතා. හොඳ රසවින්දනයක් තිබුණ කෙනෙක්. හැබැයි එදා අරම කිව්වා වගේම බලය ලැබුණාට පස්සේ මට එන්න කියලා කොළඹ මාලිගාවත්ත ෆ්ලැට් එකෙන් නිවසක් දුන්නා. මගේ බිරිඳට රස්සාවකුත් දුන්නා. ඒ දුන්න ශක්තියෙන් තමයි මම මෙච්චර දුරක් ආවේ.
සංගීත ක්ෂේත‍්‍රයේ හැමදේම ඔබට අලූත් අත්දැකීමක්. ඒ අතර ඔබ වඩා සතුටු වූ අත්දැකීම් මතකද?
1969දී ලංකාවේ හිටිය දක්ෂතම බටලා වාදකයන් සහභාගි වූ දක්ෂතමයා තෝරාගැනීමේ තරගයක් තිබුණා. ඒකෙන් විශිෂ්ටතමයා වුණේ මම. ආයේ එහෙම වුණත් එදා ලබපු සතුට වැඩියි. ඒ වගේම ඉන්දියාවේ ස්ටේජ් එකක කි‍්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් පවත්වපු උත්සවයක මම සෝලෝ එකක් වාදනය කළා. එතැනදී කට්ටිය ඇවිත් මට පණ්ඩිත් ජී. කියලා කකුල් දෙක අල්ලලා වැන්දා. ඔවුන් මාව හඳුන්වා දුන්නේ ලංකාවේ වාදන ශිල්පියෙක් කියලා. ඇත්ත මම තනිකරම ලංකාවේ වාදන ශිල්පියෙක්. ඒ වෙනකොට හැමෝම ඉන්දියාවේ ගිහින් ඉගෙන ගත්ත අය. මටත් ආශාව තිබුණාට යන්න බැරිවුණා. ඒ බැරිවීමත් හොඳයි කියලා ඒ වෙලාවේ හිතුණා. අනෙක මාව ඉන්දියාවේ එක්කගෙන ගියේ මගෙන් ඉගෙන ගත්ත ගෝලයෙක්.
වේදනාකාරී මතක ගොඩක් අතරේ මේ ක්ෂේත‍්‍රයේ මතක ඇති නේද?
මට ලොකු ආශාවක් තිබුණා රවි ශංකර් ඉස්සරහා මගේ දක්ෂතා පෙන්නන්න. පෙන්නලා එයාගෙන් වචනයක් අහන්න. රවි ශංකර් ලංකාවට ආවාම මට ඒ අවස්ථාව ලැබුණා. එතැනදී රවි ශංකර් මාව අගය කළා. මාව මැදි කරලා උස්තාද් අල්ලා රක්ඛා එක්ක පින්තූර ගත්තා. ඩන්ස්ටන් සිල්වා තමයි ඒ ඡායාරූප ගත්තෙ. රවි ශංකර් එතැනදී කිව්වා මාව ඉන්දියාවේ එවන්න, එයා උදව් කරන්නම් කියලා. ඒත් මේ අය මට ඒ අවස්ථාව දුන්නේ නෑ.
ඊළඟට අන්ධ අයට උදව් කරන සංගමයකින් මට ඉන්දියාවේ යන්න උදව් කළා. මම හැමදේම සපුරාගත්තාට පස්සේ ඒ අවස්ථාව මගෙන් වෙන කෙනෙකුට දීලා තිබුණා. එහෙම කටුක අත්දැකීම් මට තියෙනවා. මම ඒ සියල්ල කවදාහරි ජීවිත කතාවකට ලියනවා.
ආදරය වගේ හැඟීම් හේමපාල මහත්තයා යටපත් කරගෙන හිටියාද?
ඇත්ත. යටපත් කරගෙන හිටියේ මොකද, අන්ධ මට කවුරුත් ආදරය කරයි කියලා හිතන්න බැහැනේ. හැඟීම් ඇතිවෙනවා. ඒත් ඒවා යටපත් කරනවා ඇරෙන්න අන්ධ මම මොනවා කරන්නද කියලා හිතුවා. ඒත් දවසක් මගේ ලිපි බලලා කෙනෙක් කිව්වා මට එකතු වෙලා මගෙත් එක්ක ජීවිතය ඉදිරියට ගෙනියන්න කැමතියි කියලා. එයා තමයි මගේ බිරිඳ කුසුම්. මට ඇස් දෙකක් නැති වුණාට එයා මට ඇස් දෙකක් වුණා. එයා කළ පරිත්‍යාගය හරිම උතුම්. මගේ සාර්ථකත්වයේ ලොකුම රහස මගේ බිරිඳ.
සංගීතයට අමතරව දැනුම ලබාගත්තේ කොහොමද?
රේඩියෝව අහලා. දැනුම පිරුණු අය එක්ක ආශ‍්‍රය කරලා. සමහරු මට පොත් කියවනවා.
ඒත් ඔබ සංගීතය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක්.
ඔව්! විධිමත් අධ්‍යාපනයක් නැතිවුණාට මට මගේ විෂය තුළ ලොකු දැනුමක් තිබුණා. මට සහතික නෑ. නිපුන්, විශාරද ගරු තනතුරු නෑ. ඒත් අදටත් මගෙන් විශාරදලා නිපුන්ලා ඉගෙන ගන්නවා. 2012 වෙනකම් මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කළා. ඒ තැනට එන සියලූ දැනුම මට මගේම මහන්සියෙන් උකහා ගත්තෙ.
බටනලාව සහ ඔබ සමීප සම්බන්ධයක් කියලා මම කිව්වොත් එකඟද?
අනේ ඔව්! ඇස් පේන්නෙ නැති අය පාවිච්චි කරන්නෙත් සුදු සැරයටියනේ. ඒත් මම ලෝකේ වටේ ගියෙත් මගේ කල්‍යාණ යාළුවා බටනලාව එක්ක. මේක මගේ ජීවිතය මුදාහරින පණිවුඩය සමාජයට ගෙනියන කල්‍යාණ මිත‍්‍රයා. මට ලියන්න බෑ. මගේ සියලූ දේ ම පිටකරන්නෙ බටනලාව හරහා. මේක මගේ ආත්මීය ප‍්‍රකාශය. කොටින්ම මේක මගේ ජීවිතේ කොටසක්.
ඔබ ආගමට නැඹුරුද?
ඔව්! බෞද්ධ දර්ශනයට මම ගරු කරනවා. ඒ විශ්වාසය මගේ ගමනට ලොකු විශ්වාසයක් වෙලා තියෙනවා. මම අද හොඳට කාටත් අත නොපා ජීවත් වෙන්නෙ මම කට්ට කාලා අනන්ත දුක් විඳලා ආ මේ ගමන නිසා. ඒ එද්දි වැටුණු හැම වාරයකම මම වගේ අන්ධයකුට ලොකු විශ්වාසයක් වුණේ ධර්මයේ යථාර්ථය. ඒක අන්ධ විශ්වාසයක් නෙමෙයි.

ටිරන් කුමාර බංගගමආරච්චි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.