එක් වේලක් සඳහා ආහාර පැකට් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, තිඹිරිගස්යාය, කෝට්ටේ ආදී ප්‍රදේශවල ජනතාව අවතැන් කඳවුරු වෙත පැමිණීමට මැලිකමක් දක්වන අතර, ඔවුන් වෙත ආධාර ලබාදීමට සහන සේවා කණ්ඩායම් පැමිණීමද ප්‍රතික්ෂේප කිරීම ගැටලුවක් වී ඇතැයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ඔවුන් බොහෝ විට සිය නිවාසවලට වී ඉතාම අසීරුවෙන්, කුසගින්නේ දරුවන් සමග සිටියද සහනාධාර ප්‍රතික්ෂේප කරන බව එම මධ්‍යස්ථානයේ නිලධාරීහු සඳහන් කළහ.
ඇතැම් ප්‍රදේශවල ජනතාවට ආහාර, සහනාධාර ලබාදීම සඳහා ළඟාවීමේ අපහසුතා තවමත් පවතින බව ද ඔවුහු පැවැසූහ.
දිවයින පුරා බලපා ඇති ආපදා තත්ත්වයෙන් අවතැන් වී සිටින පුද්ගලයන් වෙනුවෙන් දින ගණනාවක සිට සීමා පැනවීමකින් තොරව රජය මුදල් නිකුත් කරමින් සිටියි.
ඊයේ වනවිට අවතැන්වූවන් සඳහා රජය දරන වියදම එක් දිනකට රුපියල් කෝටි 7කට ආසන්න ය.
ඔවුන් සඳහා බත් පැකට්, වතුර බෝතල් ආදිය සිවිල් සංවිධාන, පුද්ගල ආධාර ලෙස ලැබෙන අතර පීඩාවට පත්වූවන් සඳහා ද රජයේ සහනාධාර ඔවුන් අසලට ගොස් ලබාදෙන බැවින් රුපියල් කෝටි 9ක පමණ මුදලක් දිනකට වැය කරන බව ආපදා සහන සේනා මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
ආපදාවෙන් අවතැන්වූවන් සඳහා ආහාර, සනීපාරක්ෂක පහසුකම්, ඇඳුම් පැළඳුම් ආදිය ලබාදීමට කැමැති පුද්ගලයන්, සංවිධාන හෝ කණ්ඩායම් සිටීනම් දුරකථන අංක 011-2665258 අමතා ආධාර ලබාදිය හැකිය.