වසර 27කට පසු කොළඹ දිස්ත්‍රික්කයට බලපෑ විශාලතම ගංවතුර මෙය වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ
ඊයේ පස්වරුව වන විට කැලණි ගගේ ජල මට්ටම නාගලගම් වීදියේ පිහිටි ජල මාපකයේ අඩි 7.7ක් ලෙස සටහන් වී තිබුණු බවත් එය මහා ගංවතුර මට්ටමක පවතින බවත් හෙතෙම සඳහන් කළේය. මීට පෙර 1989 වර්ෂයේදී කොළඹට වැඩිම ගංවතුර ප්‍රමාණය වාර්තා වූ අතර එය එවකට ජල මාපකයේ අඩි 8.4 ලෙස සටහන් වී තිබූ බවත් වීරසිංහ පැවසීය.
කැලණි ගඟේ ජල මට්ටම ඊයේ උදෑසන සිට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර පෙරේදා පස්වරුව වන විට එහි ජල මට්ටම සටහන් වී ඇත්තේ අඩි 6.6ක් ලෙසිනි. කඳුකර ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාපතනය මෙලෙස ජල මට්ටම ඉහළ යන්නට හේතු වූ බව වාරි ඉංජිනේරුවෝ පවසති. එහෙත් අද දිනයේද අධික ලෙස වර්ෂාපතනය පතිත වුවහොත් මෙම ජල මට්ටම තව තවත් ඉහළ යා හැකි බව ද ඉංජිනේරුවෝ පවසති.
මේ වන විට කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, හංවැල්ල, කඩුවෙල, හෝමාගම, පාදුක්ක, කොළොන්නාව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, අංගොඩ, අතුරුගිරිය, මාලබේ, යන ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, බියගම, වැලිවේරිය, ජාඇල ආදී ප්‍රදේශයන්ට බලපෑම් එල්ල වී තිබේ.
මේ නිසා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි නිවාස රැසකට දැඩි හානි එල්ල වී ඇති අතර එම දිස්ත්‍රික්ක දෙකෙහි පන් ලක්ෂයකට අධික ජනතාවක් අවතැන් වී ඇති බවට ද වාර්තා වේ.
කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ඊයේ අලුයම් කාලයේ වර්ෂාවක් පතිත වූ අතර පස්වරු 3 දක්වා පමණ එම ප්‍රදේශවල පැහැදිලි කාලගුණයක් පැවතුණි. එහෙත් පස්වරු 3න් පසුව නැවත කොළඹ සහ ගම්පහ ප්‍රදේශයන්ට වර්ෂාපතනයක් ඇති විය.
කැලණි ගඟ පිටාර ගැලීමෙන් අවතැන් වූ ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී නිලධාරීන් විශේෂ මෙහෙයුම් දියත් කළ අතර, එම අංශ එක්වී අවතැන් වූවන්ට ආහාර ලබාදීම ද සිදුකෙරුණි. ගංවතුරින් පීඩාවට පත් ජනතාවට කෑම පාර්සල්, වියළි සලාක ආදිය බෙදීම සඳහා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායම් අදාළ ග්රමසේවක කොට්ඨාසයන් නියෝජනය වන ලෙස පිහිටුවා තිබුණි. එහෙත් ගංවතුරින් අවතැන් වූ විශාල ජනතාවක් මේ වන විටත් කිසිදු පිළිසරණක් නොමැතිව සිටින බවට ද වාර්තා වන අතර එම හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යාමට අවශ්‍ය කරන බෝට්ටු සේවා සහ සහන කණ්ඩායම් ප්‍රමාණවත් නොවන බවට ද විපතට පත් ජනතාව චෝදනා කරති. අවතැන් වූවන් මුදා ගැනීම සඳහා දැනුම් දීමට රජය විසින් ලබාදුන් හදිසි ඇමතුම් අංක කාර්යබහුල වීම සහ අසරණ වූ ජනතාවගේ ජංගම දුරකථන විසන්ධි වී තිබීම ආදී කරුණු මත විපතට පත්වූ ජනතාවට එම පණිවුඩ දැනුම් දීමට අවස්ථාවක් උදාවී නොමැති බව ද වාර්තා වේ.
කෙසේවෙතත් ඊයේ රාත්‍රී වන විටත් කැලණි ගං මිටියාවතේ වෙසෙන ජනතාව දැඩි බියෙන් සහ අසරණව සිටිනු දක්නට ලැබුණි.