ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 8, 2016

පරිසරය ගහකොළ හා බැඳුණු සිංහල අලුත් අවුරුද්ද....!!!

ජෛවී පරිසරය, භෞතික පරිසරය සහ සමාජයීය පරිසරය වශයෙන් පරිසර විෂය පාසල් දරුවන් සඳහා කොටස් තුනකට බෙදා උගන්වනු ලැබේ. ජෛවී පරිසරය ශාක සහ සත්ව ප්‍රජාව වෙනුවෙන් කරන

අධ්‍යයනයයි. ඇසට පෙනෙන, කනට ඇසෙන ඉන්ද්‍රීය ගෝචර වූ වස්තූන් සහ සංසිද්ධීන් පිළිබඳ භෞතික පරිසරයට අයත්ය. මිනිස් වර්ගයා විසින් කරනු ලබන ඉදිකිරීම් සහ පරිසරයේ සියලු වස්තූන් පරිහරණය කිරීමත්, නිර්මිත පරිසරයත්, සමාජ සම්බන්ධතා ද සමාජ පරිසරයට ගැනේ. අලුත් අවුරුද්ද ගහ කොළ සමග බද්ධ වී ඇති ආකාරය මේ ලිපියෙන් සාකච්ඡා කැරේ.
අපේ අලුත් අවුරුදු උත්සවයට මේ සැම පරිසරයක් ම සම්බන්ධ ය. මා මෙහි දී අවධාරණය කරන්නේ ගහ කොළ හා අපේ සිංහල අවුරුද්ද හා බැඳුණු අයුරු ය. වෙනත් විදියකට දක්වනවා නම් සිංහල අලුත් අවුරුද්ද සහ තුරු ලිය අතර ඇති ‘සහ සම්බන්ධතාව‘ යි. මානව වර්ගයාට එදා සිට ම ගහ කොළ නැතිව ජීවත් වීමට නොහැකිය. මෙලොවට බිහි වූ දා පටන් හුස්ම ගැනීමේ සිට මිය යන තුරු ම මිනිසා හා බැඳුණු ගහ කොළ කාටත් අමතක කළ නොහැක.

අලුත් අවුරුද්දට ලොකු ම සම්බන්ධයක් දක්වන්නේ පොල් ගස ය. පොල් ගස නවම් මහට වියළි පොල් අතු නවයක් බිම දමන බව ජන වහරේ එයි. ඒ කියන්නේ වහල සෙවෙනි කිරීමට අවශ්‍ය පොල් අතු ලබා දීමකි. අපේ ගෘහණිය මේ පොල් අතු වතුරෙන් පොඟවා වියන්නේ අලුත් අවුරුද්දට වහල සෙවෙනි කිරීමට ය. මට මතක හැටියට දැනට අවුරුදු තිහ හතලිහකට පෙර පොල් අතු ලොරි ගණන් සියඹලාන්ඩුව හරහා පොතුවිල්, ඒරාවුර් වලට ගෙන ගිය දර්ශනය මොනරාගල දී මම දුටුවෙමි. ඒ කියන්නේ ද පොල් අත්ත මාතරින් වැටුණත් නැඟෙනහිර වහලට ගිය බවය. ඒ එදා අපේ ප්‍රජා සබඳතාවයි. ඔවුනට දැන් පොල් අතු නොදුන්නත් හිතේ බය සැක නැතුව ඒ පැති වලට යන්නට හැකි ය.
නවම් මහට පොල් කඩන විට ද වැඩියෙන් ගස් වලින් කොළපු, හනසු බිම දැමේ. ඒ කොළපු එකතු කරන්නේ ‘කැවුම්’ උයන්නට ය. කැවුම් ලිපට කොළපු නොමැති නම් ගිනි පාලනය කරන්නට විදියක් නැත. බොහෝ නිවාසවල කැවුම් උයන්නේ ‘ගෑස්’ ලිපෙනි. බොහොම පහසුවෙන් ගිනි පාලනය කළත්, මට නම් දර ලිපේ බදින කැවුම් තරම් රසයක් නොදැනේ. එදා පොල් කැඩූ විට කොළපු මිටියක් දර මඩුවේ වහලේ එල්ලා තබන්නේ් කැවුම් නැන්දා එන තුරු ය.
පොල් තෙල් නැත්නම් අවුරුදු කෑමක් නැත. කිරි බතට, කට දැවිල්ලට හදන බිලි වෑංජනය, වම්බටු බැදුම, කරවල බැදුම, සීනි බැදුම, සීනි සම්බෝලය බැද ගන්නේ්පොල් තෙලෙනි. එහෙම කට දන විට වතුර බී කටේ දැවිල්ල යන්නට පැණි රස කෑමක් ලෙස, කැවුම්, අතිරස, මුංගුලි, ආස්මි, කොකිස් කෑමට පුරුදුව සිටියෙමු.
ඒ කාලයේ පොල් තෙල් කඩෙන් ගන්නා සිරිතක් නො වීය. එහෙම ගෙනාවත් ඒ තෙල් කෑම සෑදීමට නො ගනී.
නවම් මහට පොල් කැඩූ විට හොඳට පැසුණු, ලොකු පොල් වලින් පොල් ගෙඩි තිහක් පමණ වෙන් කැරේ. අම්මා හොඳට, කිරි තියෙන පොල් පලදරණ ගස් හඳුනන නිසා ඒ පොල් අලෙවි නොකොට වෙන් කර තබයි. අපේ ගම් වල බවලත් උදවියගේ හිතවත් කම, සහයෝගය, අලුත් අවුරුදු කාලයට පෙන්වන එක් දෙයක් වන්නේ තෙල් හිඳීමට පොල් ගෑම යි. තම ගෙදර හිරමනය ද රැගෙන ඇවිත් සාමූහිකව ඉඳගෙන විහිලු තහලු කරමින් අක්කල, නංගිලා, නෑනල, නැන්දල තරගයකට මෙන් පොල්ගෑම ඒ අවදියේ සුලබ දසුනකි. ගානලද පොල් එකතු කැර ගැනීම සඳහා කෙසෙල් කොළ, හබරල කොළ භාවිතා විය.
ගා ගත් පොල් තම්බා සෙක්කු ගෙදරට යවයි. පොල් දමන ලද සෙක්කුව ඇදගෙන හරකුන් යන වෘත්තාකාර ගමනට පොල් මිරිකී තෙල් සකස් වෙයි. අපි කුඩා කාලයේ සෙක්කු පැද්දේ කරකැවිල්ල හැදෙන තුරු ය.
අද දකුණේ මේ සෙක්කු ගල් දකින්නට ලැබෙන්නේ මහ හෝටල් ඉදිරියේ උද්‍යාන අලංකාරයට තබා ඇති ස්ථාන වලය.
සෙක්කු ගෙදරට නොයවන්නේ නම් ගෙදර දීම පොල් තෙල් හිඳ ගැනීමේ, සරල ගැමි තාක්ෂණය ඕනෑම ගෘහණියක් දනී. එහෙම පොල් තෙල් හිඳ ගත් විට අතුරු නිෂ්පාදනයක් වශයෙන් ‘කිරිජ්ජ’ නම් පානයත්, ඉතිරි පොල් කුඩු වලින් පොළොව ඔප දැමීමත් සිදු විය.
පොල් ගස වගේ ම කිතුල් ගස ද වැදගත් ය. සෑම ගෙදරකම වත්තේ කෙළවරක ඇති විශාල කිතුල් ගසේ අවුරුදු කාලයට මලක් පීදේ. මේ කිතුල් මලින් පැණි සෑදීම හැමෝට ම බැරිය. එය ගුප්ත ශාස්ත්‍රයකි. කිතුල් මල් මදින ගැමියා සතු ඒ රහස් බේත් වට්ටෝරුව දන්නේ ඔවුන් ම පමණි. මා ගලබැද්දේ විදුහලේ සේවය කරද්දී ගැමියකු පාසල අසල කිතුල් ගස් දෙකක් මැද්දේ ය. ඔහු කිතුල් මැද මට නිවාඩුවට යන විට කිතුල් පැණි ද කිතුල් හකුරු ද දුන් සැටි තවම මතකය. මම ඔහුගෙන් එ කිතුල් මලට බඳින බේත ඇසුවෙමි. ඔහු කිසිදා පිළිතුරක් දුන්නේ නැත.
කිතුල් පැණි ප්‍රවාහනය කරන්නේ ‘පැණිමුල්’ වශයෙනි. මේ සඳහා පුවක් අත්තක් පිරිසිදු කොට, දෙකට නවා, දෙපත්තේ ඉරටු තබා සාදන පැණි මුල විශ්මිත නිර්මාණයක් ලෙස මම දුටුවෙමි. මාතර පැත්තෙන්, මතුගම පැත්තෙන් ගෙනෙන මේ කිතුල් පැණි මුල් පතුලේ ‘වැලි හකුරු’ සෑදී ඇත. එනම් සාන්ද්‍ර, සංතෘප්ත පැණි ද්‍රාවණයේ ‘ස්ඵටිකීකරණය’ නම් විද්‍යාත්මක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයකි.
සිංහල අවුරුද්ද ගැන පාසල් ශිෂ්‍යයන් ලවා රචනාවක් ලියවනවා මය. මේ හැම රචනාවකම එරබදු ගසේ මල් ගැන ලියා ඇත. එහෙත් අද වත්ත වටා අනෙක් පැත්තේ කිසිවකු නොපෙනෙන පරිදි බැඳ ඇති තාප්ප නිසා එරබදු ගස් ගැන කතාවක් නැත. තාප්ප නොබැඳ වත්ත වටේට එරබදු, එරඬු, ක්‍රෝටන් වර්ග, වද ආදි වැටවල් තනා පුවක් පටි බැඳ තිබු ක්‍රමයක් අද නැත. ඒ නිසා සිංහල අවුරුදු කාලයට රතු පැහැයෙන් වර්ණවත් වූ එරබදු ගස් අද දකින්නට නැත.
අවුරුදු කාලයට පලතුරු ගස්වල පලතුරු පිරී ඇත. කජු වාරෙට කජු පුහුලන් කන මා වවුලෝ එලි වන තුරු හබ කරති. උදෙන් ම නැගිට කජු අවුලන අප කජු පුලුස්සන්නේ මද ඉවත් කර ගැනීමටය. මේ කාලයේ කජු පුහුලන් කහට නොතැවරුණු ඇඳුමක් දකින්නට නොමැති තරම්ය.
’අර ආතර වී දියෙස්, මැතිඳුගෙ වෑයම උසස්, සපල වෙන්ට අපට කන්න, වවමු වවමු කොස්’ යනුවෙන් කොස් මාමාගේ උපදෙස් පරිදි කොස් පැළ රට පුරා සිටවූයේ හතලිහ පනහ දශකයේ ය. අප කුඩා කාලයේ අවුරුදු කාලයට කොස් ගස් වල වැල වරකා ඉදි බර වනු බලන්න ලස්සනය. ඒ කාලයේ පාසල් වල මුල්ගුරුවරු කොස් පැල බෙදන ගමන් ම පාසල් වත්තේ ද කොස් ගස් සිටුවති. හැත්තෑ ගණන් වල දී මේ දැවැන්ත කොස් ගස් කපා දමමින් ගොඩනැගිලි හැදුවා මිස කොස් පැල සිටුවීමට බලධාරීහු කටයුතු නො කළ බව මා දුටු සත්‍යයකි. සිංහල අවුරුදු කාලේ කොස් ගස් වල ගෙඩි කොතරම් ද කීවොත් ‘කොස් වාරෙට පන්සලේ හාමුදුරුවන්ගේ සිවුරෙත් කොහොල්ලෑ’ යයි ජන ප්‍රවාදයක් තිබුණි.
බුලත සහ සිංහල අවුරුද්ද අතර ඇත්තේ නොබිඳිය හැකි, පරපුරෙන් පරපුරට එන සම්බන්ධයකි. බුලත් හුරුල්ලක් යනු බුලත් අත් දෙකකි. එක් අතකට කොළ විස්සකි. මේ කොළ විස්ස දක්වන්නේ දෑත් දෙපා වල ඇඟිලි විස්සයි. දෑතින් පිරිනමන නිසා අත් දෙකක් ඇත. ඒ නිසා බුලත් හුරුල්ලට කොළ හතලිහකි.
පසු කාලයක බුලත් හුරුල්ලට දුම් කොලයක් එක් විය. බුලත් හුරුල්ලක් වැඩිහිටියනට දෙන විට නටු පැත්ත ලබන්නා දෙසටත් කෙළවර තමා පැත්තටත් සකස් කර ගත යුතු ය. ගුරුවරුන් ට, මවුපියන්ට පූජ්‍ය පක්ෂයට හා වෘද්ධ ඥාතීන්ට බුලත් අත පිරිනමා පසඟ පිහිටුවා වැඳිය යුතු ය. පසඟ යනු, නලල දණහිස් සහ දෑත් බිම ස්පර්ශ වන අයුරු පිහිටුවමින් වඳින ඉරියව්වකි. අපේ ඇතැම් අය අද දෑතින් දෙ කකුල් හෝ අත ගා දුවමින් වඳින ශෛලියක් ටෙලි නාට්‍ය නැරඹීමෙන් පුරුදු වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතු ය. එහෙත් පාසල් වල, දහම් පාසල් වල තවමත් නිවැරැදි වන්දනය ගැන උපදෙස් දෙන බව මා දැක ඇත.
බුලත් අතක් පිරිනැමූ විට වැඩිහිටියන් ‘තුණුරුවන් සරණයි’, ‘දෙවියන් ගෙ පිහිටයි’, ‘දීර්ඝායු වේවා’ යයි පතන්නේ ඒ දරුවාගේ හදවතට දැනෙන පරිදි ය. මේ බුලත් අත ඕනෑම ගෙදරක තරහ වී සිටි අයකු අවුරුද්දට පිරි නැමූ විට තරහ මරහ එතැනින් හමාර වෙයි.
ජන්මාන්තර වෛරක්කාරයකු වුවද අවුරුද්දට දෙන බුලත් හුරුල්ලෙන් සාමය, සමගිය, සමාව සහ කෝන්තර අහෝසි කිරීමේ පුදුම ආකර්ශනීය බලයක් ඇත. ඒ නිසා බුලත් හුරුල්ල අවුරුදු කාලයට නැතුව ම බැරි දෙයකි.
අපේ ගම් වල ගෙවත්තට කෙසෙල් පඳුරක් දෙකක් අයත් වේ. මෙහි දී අලුත් අවුරුද්ද වෙනුවෙන් කෙසෙල් කැනක් දෙකක් වෙන් කැරේ. සමහර විට මෙම කෙසෙල් කැන් අවුරුද්දට ඉදෙන්නේ නැත. එහෙම වෙලාවට වලක් කපා කෙසෙල් කැන් එහි දමා කුරුඳු කොළ, බිලිං කොළ, කැප්පෙටියා කොළ වලින් වසා දුම් පිඹීම කරයි. අපි‍්‍රයෙල් දොළොස් වෙනි දා වනවිට යස අගේට කහ පාට කෙසෙල් කැන ඉදී ඇත.
සිංහල අවුරුදු කාලට මාස දෙකකට පමණ පෙර ගෙඩි වලින් බර වන්නේ බිලිං ගස් ය. අම්මා බිලිං කඩා තීරු වලටටකපා වේලා ගනී. මේවා වේලීමට යොදා ගන්නේ පරණ පැදුරු හෝ පොල් අතු ය. අද ඇත්තටම වී ඇත්තේ අපේ මේ ගහ කොළ අතරින් ලබා ගත් නොමිලේ දෙන සේවාව ‘පොලිතීන්’ ‘ප්ලාස්ටික්’ හමුවේ නිහඬව පසු බා ගිය බවකි. පොලිතීන් උවදුර දුරු කරන්නට ඕනෑ තරම් පරිසරයේ ඇති ශාක පිහිට වනු ඇත.
අවුරුදු කාලයට පාසල් නිවාඩුවේ අප සෙල්ලම් කළේ ද ගහ කොළ ඇසුරිනි. ‘වල කජු ගැසීම’ ජනපි‍්‍රය ක්‍රීඩාවකි. අඹ ඇට පැනීම නම් ගෙදර මිදුලේ කෙරෙන සෙල්ලමකි. පන්දු ගැසීමට යොදා ගන්නේ පුහු පොල් ගෙඩි දෙකකි. ඒ මත තබන ‘මට්ටය’ කෝටු කැබැල්ලකි. අද කාලයේ පාසල්වල පන්ති කාමරවල බැලුවොත් ක්‍රිකට් පිති කිහිපයක් ඇත. බෝල ඇත.
එහෙත් එදා අප සෙල්ලම් කළේ කදුරු බෝල වලිනි. ‘බැට්’ එකට යොදා ගත්තේ පොල් පිත්තෙන් කපා ගත් පිත්තකි. ඒ වගේම අවුරුද්දට සෙත් පතා කරන ‘අං ඇදීම’, ‘සොකරි නාඩගම’, ‘පොල් පොල් ගැසීම’ වැනි ජන ක්‍රීඩා සඳහා ද යොදා ගත්තේ ගස් වල කොටස් ය. මුලු ගම පුරා දෙවනත් කරමින් ලස්සනට තුන් සරණේ කවි කියමින් මාර්ග ඔස්සේ ගමන් කරන ‘ලී කෙළිය’ ට යොදා ගත්තේ ද කිතුල් පොසු කැබලිය. කාන්තාවෝ ද ආලින්දයේ ඔලිඳ කෙළිය, පංච දැමීම ආදී ගෘහස්ථ ක්‍රීඩා වලටද ගහ කොළ ආධාර කර ගත්හ.
පුණ්‍ය කාලය අවුරුදු දා අපට හොඳට හුරුය. අම්මා මේස ලාච්චුවකට තේ කොළ රසකැවිලි, හාල්, තුනපහ, සීනි යනාදිය සමග පෙරහන් කඩයක් ද මසා තබා සුදු රෙද්දකින් වසා පන්සලට හිමි කොටස අනිවාර්යයෙන් යවයි. අපේ ලොකු හාමුදුරුවන් අලුත් අවුරුද්දට ‘අභිවාදන සීලිස්ස’ යනාදි වශයෙන් ආශීර්වාද කොට කුඩා අපට දහම් පොතක්, පිරිත් තුන් සූත්‍රය පොතක්, දෙනවා ම ය. ඒ එදා ආගමික වතාවත් විය. මේ සඳහා ද ගෙන යන්නේ ශාක ද්‍රව්‍ය වේ.
පුණ්‍ය කාලයෙන් පසු ගිණි මෙළවීමට යොදා ගන්නේ ‘පොල් කොළ’ ‘කොළපු’ වැනි ඉක්මණින් ගිනි ඇවිලෙන ශාක කොටස් ය. නැවුම් නෑඹිළියකට, දෝතින් අලුත් හාල් ගෙන, නැවුම් කලයෙන් දිය ගෙන නැවුම් මුට්ටියකට අලුත් සහල් දමන්නේ කිරිබත සෑදීමට ය. කිරිබත රසවත් කරන්නේ ද පොල් කිරි වලිනි. කිරිබත ඉවූ පසු ‘වීඕසී’ දීසි වලට හෝ පලඟානකට උණු උණුවේ ම කිරිබත් බෙදන අම්මා එය මට්ටම් කර හැඩ වැඩ කර ඕවල හැඩයට හෝ වෘත්තාකර හැඩයට හදන්නේ ද කෙසෙල් කොළ කැබැල්ලකිනි. ඉතා කඩිසර ලෙස ඉක්මනින් කිරි බත් හදන අම්මාගේ අතේ වළලු නැඟූ හඬ අදත් අපට සිහි වේ.
අවුරුදු කෑම මේසය අලංකාර වන්නේ සුවඳ හමන කෑම වලිනි. කිරිබත් කන්නට බිලිං වෑංජනය, කට්ට සම්බෝලය, බල මාලු, වම්බටු මෝජුව ඕනෑම ගෙදරක සකස් කැරේ. එහෙම කට දන ලෙස කෑම පත් විට එහි සැර නිවන්නට දෙන කැවුම්, අතිරස, මුංගුලි, අලුවා යනාදිය සහල් පිටි වලින් නිපදවන ලද දේශීය ආහාර වෙයි. අම්මලා අති දක්ෂ ලෙස හදන රස කැවිල්ලක් නම් ආස්සද ය. ආස්සද හොඳින් බේරෙන්නට දමන්නේ ‘දවුල් කුරුඳු’ හෝ වෙනත් ශාක ද්‍රව්‍යයකි. යහමින් තිබෙන විට හීනියට කපා වේලා ගත් දෙල්කූරු, මයියොක්කා, තෙලෙන් බැඳ සීනි දමා හදන රස කෑම ද ශාක ද්‍රව්‍යයන්ගේ අපතේ යාම වැලකීමට යොදා ගත් අර පරෙස්සම් සහිත වැඩ පිළිවෙළකි.
මට මතක් වන්නේ මා මොනරාගල උගන්වද් දී වට්ටක්කා ගෙඩියක් තුළට මීපැනි බහාලමින් අවුරුදු ගණනකට පසු ආහාරයට ගත් වට්ටක්කා කැබලි ය.
අවුරුද්ද අවසන් වන්නේ හිස තෙල් ගා ස්නානය කිරීමෙනි. මේ සඳහා ‘නානු’ සාදයි. බොහෝ විට පන්සලෙන් නානු සාදා බෙදා හැරේ. මේ සඳහා ද ගන්නේ ශාකමය බෙහෙත් වර්ගයි. ආයුර්වේදයට අනුව, නානු සාදන්නේ කළාඳුරු අල, කූංකූමප්පු, සුදු හඳුන්, විෂ්ණුක්‍රාන්තිය, ගෝරෝචන, සැවැන්දරා මුල්, නෙලුම් දඬු, ගොඩ මානෙල් අල, බෙලිමුල්, වෙනිවැල් ගැට, ඊ තණ යන වර්ග 14 ම තලා පත අට එකට සිඳුවා ගැනීමෙනි. ඉන් පසු කොහොඹ කොළ යුෂ, දෙහි ඇඹුල් යොදා පිරිසිදු රෙදි කඩකින් පෙරා සකස් කර ගැනේ.
නැකතට තෙල් ගල්වන්නේ ද කොළ අතු ආධාරයෙනි. හිසට දිවුල් කොළ ද පයට කොහොඹ කොළ ද යනා දී වශයෙන් ශාක පත්‍ර උඩට උඩු වියන් බැඳ බිමට පාවාඩ දමා සග මහලු පිළිවෙළට ගෙදර වැඩිහිටීම තැනැත්තා විසින් හිස තෙල් ගල්වනු ඇත. මෙයින් අදහස් කරන්නේ දීර්ඝායු පැතීමකි.
අවුරුදු කාලය නිම වී ගෙහිමියන් රක්ෂා සඳහා පිටත් ව යාමට සූදානම් ය. දුර බැහැර රැකියාවකට නම් බත් මුලක් බැඳ දෙනු ඇත. අපේ ගම් වල එදා බත් බැන්දේ ‘ලන්ච් ෂීට්’ වල නොවේ. හොඳින් නවා ගත් කෙසෙල් කොළයකය. කැකුලු හාල් බතක්, පොළොස් මාලුවක්, අල බැදුමක්, කරවල හෝ ජාඩි මාලු සමග බත් මුල සකස් කැරිණි. මේ බත් මුල ගෘහණිය විසින් හා පුරා අවුරුද්දට පිටත් වන විට උයා දෙන්නේ උතුරා ගිය සතුටින් යුතුවය.
එ පමණක් නොව පිටත් වන විට වතුර කලයක් හෝ වතුර වීදුරුවකට මල් දමා හෝ ඉස්සරහට එන්නේ තම ස්වාමියාට තුණුරුවන් පිහිට පතමිනි.
අවුරුද්දට ගම රට ගොස් එන දකුණේ නේවාසිකයන් තෑගි ලෙස මාලු මුට්ටියක්, කිරි වට්ටියක් ගෙන යනවා මය. මේ සඳහා එය ඔසොවා ගෙන යාමට පොල් අතු හෝ ගොක් අතු කැබැල්ලකින් අපූරු මෙවලමක් සාදයි. පොල් අතු නාරටිය වෘත්තාකර ලෙස නමා, විහිදී ගිය පොල් කොළ මුට්ටිය මැදි කොට කෙළවරින් එකතු කොට ගහන ගැටය නම් පුදුම ශක්තියක් ඇත. පෙරලීම, බිඳීම, හැප්පීම් සහ සෙළවීම් සඳහා ඔරොත්තු දෙන මේ ආරක්ෂිත ‘මෙවලම’ එදා සකස් කළේ ගමේ පොල් අත්තකිනි.
වර්තමානයේ මේවා කරන්නට තරමක් අපහසු වුවද කිරීම නො හැකි දේ නොවේ. විද්‍යාව, තාක්ෂණය හමුවේ ලෝකය සමග අපි ආපස්සට නොයන්නෙමු. එහෙත් අපේ පරිසරයේ අපත් සමග එකට ඇදුණු ගහ කොළ සතා සිවු පාවාට ආදරය කරන්නටත්, ආරක්ෂා කරන්නටත් සංරක්ෂණය මගින් අපේ සාරධර්ම හා මානව ධර්මතා ප්‍රවර්ධනයටත් උපයෝගී කර ගන්නට අලුත් අවුරුද්දේ අදිටන් කර ගනිමු.
උදා වූ සිංහල අවුරුද්ද ගැටුම් වලින් තොර සාමකාමී එකක් වේවා!
විශ්‍රාම ලත් විදුහල්පති
ඩී.සී.ද. සිල්වා

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.