ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 7, 2016

නොමියෙන ප්‍රබුද්ධයා මහගම සේකර ....!!! සේකරයන්ගේ ජන්ම දිනය වෙනුවෙනී.


කොළඹ ජනාධිපති නිල නිවස පිහිටි කොළඹ 07, පැජට් පාර ‘මහගමසේකර‘ මාවත නමින් මෛත්‍රිපාල අද (7) විවෘත කිරීමට නියමිතය.දේශපාලන ජනප්‍රියත්වය වෙනුවෙන් හෝ මෙවැනි දෙයක් කිරීම ගැන අපගේ සතුට මේ සමග

බහුවිධ කලාවෙන් දස්කම් විස්කම් දැක්වූ හෙළයේ මහා ගත් කතුවරයකු, කිවියකු, ගීත රචකයකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ මහගම සේකරයන්ගේ 87 වැනි ජන්ම දිනය  අද දිනට (7) යෙදී ඇත.
මහගමසේකරගේ නිර්මාණාත්මක ප්‍රතිභාව බහුවිධාකාරය. ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක වරක් සේකර නිරත වූ කලා මාධ්‍ය සංඛ්‍යාව ගණනය කර දැක් වූයේ ය. ඔහුට අනුව ප්‍රමාණය දහතුනකි. ඒ මෙපරිදි ය.
සේකර (1) චිත්‍ර ශිල්පියෙකි. (2) කවියෙකි. (3) ගීත නිබන්ධකයෙකි. (4) නවකතාකරුවෙකි. (5) කෙටිකතාකරුවෙකි. (6) වේදිකා නාට්‍ය රචකයෙකි. (7) චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. (8) තිර රචකයෙකි. (9) කලා අධ්‍යක්ෂවරයෙකි. (10) පරිවර්තකයෙකි. (11) දේශකයෙකි. (12) ආචාර්යවරයෙකි. (13) පර්යේෂකයෙකි.
ඊට පරිබාහිරව ගත් විට සේකර පොත් පිටකවර නිර්මාණ ශිල්පියකු ලෙසත් බතික් නිර්මාණ ශිල්පියකු ලෙසත් පෝස්ටර් නිර්මාණ ශිල්පියකු ලෙසත් පුවත්පත් කාටුන් ශිල්පියකු ලෙසත් එම්බ්‍රොයිඩර් නිර්මාණ ශිල්පියකු ලෙසත් මූර්ති ශිල්පියකු ලෙසත් ගුවන්විදුලි පිටපත් රචකයකු ලෙසත් අනේකවිධ කුසලතා විදහා පා ඇත.
සේකරගේ සුවිශේෂත්වය වන්නේ ඔහු තමා නිරත සෑම කලා මාධ්‍යයකින්ම ඉහළම නිර්මාණ මහිමයක් ප්‍රකට කිරීමය. එය කලාකරුවකු වෙතින් දුර්ලභ වශයෙන් පහළ වන්නා වූ ගුණාංගයකි.

සේකර වඩාත් විශිෂ්ට වන්නේ කවියකු වශයෙන් යැයි කීම විවාදයෙන් තොර කියමනකි. ඔහු ස්වකීය ජීවිත කාලයේදී කවි පොත් අටක් ප්‍රකාශයට පමුණුවා ඇත. ඒ මෙආකාරයෙනි. (1) 'ව්‍යාංගා' (කේ. ජයතිලක සමඟ) (2) 'සක්වා ලිහිණි' (3) 'හෙට ඉරක් පායයි' (4) 'මක්නිසාද යත්' (5) 'රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත' (6) 'බෝඩිම' (7) 'නොමියෙමි' සහ (8) 'ප්‍රබුද්ධ'. මේවා නූතන සිංහල කවියේ සරුසාර අස්වැන්න ලෙස අපට සැලකිය හැකිය.
සේකර එක් පැත්තකින් කොළඹ කවියත් තවත් පැත්තකින් පේරාදෙණි කවියත් අතික්‍රමණය කළ අයකු ලෙස මම දකිමි. එය කෙතරම් ද කිවහොත් මුල් කාලයේදී ඔහු නිසඳැස් කවි උපහාසයට පවා ලක්කර ඇත.
සමස්තයක් විදියට ගත් විට සේකරගේ කවිවලින් කියැවෙන්නේ අයුක්තියෙන් අධර්මයෙන් පිරි මේ ධනවාදි සමාජය විවේචක යථාර්ථවාදී දෘෂ්ටියකින් විවරණය කොට, එය පිටුදැක ධර්මය වටහාගත හැකි, සත්‍යය, සුන්දර බව දැකගත හැකි උත්තර සමාජයක් ගොඩනැංවීම පිළිබඳ යැයි සිතමි.
සේකර මුල් කාලයේදී ඉපනැල්ලේ කරල් අහුලන එතනලා ගැනත් කවි ලියා තිබෙනවා නොවේදැයි ඇතැම් විශ්වවිද්‍යාල ඇදුරන් ප්‍රශ්න කළේ ඔහු වැළලීමේ කැත, නින්දිත කුමන්ත්‍රණයකට සහභාගි වෙමිනි. ඇත්ත වශයෙන් ම සේකරගේ අවසාන කාව්‍ය සංග්‍රහය වූ ද, ඔහුගේ උත්කෘෂ්ටතම කාව්‍ය කෘතිය වූ ද 'ප්‍රබුද්ධ' පළවී මාස ගණනාවක් යනතුරුම ඒ ගැන කිසිදු කතිකාවක් සිදු නොවූ බව වරක් ප්‍රවීණ ලේඛක එච්. ඒ. සෙනෙවිරත්න වරක් හෙළිදරව් කර සිටියේය. මේ කාව්‍ය කෘතියේ විශිෂ්ටත්වය සමාජගත වූයේ පසුකලෙකදී ය.
සේකර ඔහුගෙන් පසුව බිහි වූ රත්න ශ්‍රී විජේසිංහ ප්‍රමුඛ නව තරුණ කවි පරපුරකට ප්‍රදීපාලෝකයක් වූ ආකාරය දැක්ක හැකිය. සේකර නිසඳැස් කවිය වඩාත් සුඛනම්‍ය කළ බවත් එසේ නොවන්ට එය විශ්වවිද්‍යාලයටම සීමා වන්ට ඉඩ තිබුණු බවත් මහාචාර්ය සෝමරත්න බාලසූරිය වරක් මා සමඟ කියා සිටියේය.
ගීත රචකයකු වශයෙන් ද සේකරගේ යුග කාර්යභාරය ප්‍රශංසනීය ය. ඔහු ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟ එක්ව 'මධුවන්ති' වැනි ගුවන්විදුලි වැඩසටහන් ඔස්සේ ද, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ද සරල ශාස්ත්‍රීය ගී සම්ප්‍රදායක් බිහි කළේ ය. අද සුභාවිත ගීතය ලෙස අප ආදර්ශ කර ගන්නේ එයයි. මෙහිදි ද ඇතැම් කුහක එදිරිවාදිකාරයන් සේකරගේ ප්‍රතිභාව ගර්හාවට ලක්කළ ආකාරය පෙනේ. 'මළහිරු බැස යන හැන්දෑ යාමේ', 'මා මළ පසු සොහොන් කොතේ' වැනි නිබන්ධ, කොළඹ කවීන්ගේ සමනල් අදහස්ම අලුත් ආකෘතියකින් එළිදැක්වීමක් ලෙස ය ගුණදාස අමරසේකර ප්‍රකාශ කර ඇත්තේ.
සේකර නමැති චිත්‍ර ශිල්පියා ද අතිශය නිර්මාණශීලිය. කේ. ජයතිලකගේ මතය වන්නේ සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත්‍ර කලාවට බව ය. කවියේදී මෙන් ම චිත්‍ර කලාවේදී ද මුල් යුගයේ ඔහු අමුර්ත චිත්‍ර ගර්හාවට ලක් කර ඇත. එහෙත් පසුව ඔහු නිර්මාණ බිහි කළේ එම චිත්‍ර ශෛලිය ප්‍රගුණ කරමිනි. මා නිවැරැදි නම් සේකර අවස්ථා තුනකට වඩා චිත්‍ර ප්‍රදර්ශන පවත්වා නැත. ඔහුගේ චිත්‍ර නිර්මාණ විග්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකිය. (1) ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ චිත්‍ර (2) 'තුංමංහන්දිය' චිත්‍රපටය සඳහා නිර්මිත චිත්‍ර (3) පුවත්පත් කාටුන් (4) පොත් කංචුක නිර්මාණ (5) ඉලස්ට්‍රේෂන් (සන්නිදර්ශන) (6) බතික් නිර්මාණ (7) එම්බ්‍රොයිඩර් නිර්මාණ සහ (8) පෝස්ටර්
සේකරගේ චිත්‍ර ගැන මෙතෙක් නිසි විචාරක අවධානයක් යොමු වී නැත. එහි විපාක වශයෙන්දෝ සේකර නමැති චිත්‍ර ශිල්පියා යටපත්ව සේකර නමැති කවියා හා ගීත රචකයා බිහි වූ ආකාරයක් පෙනේ. මෙහි ප්‍රතිවිරුද්ධ දේ සිදු වූයේ ජෝර්ජ් කීට්ය. එහිදී ජෝර්ජ් කීට් නමැති කවියා යටපත්ව ජෝර්ජ් කීට් නමැති චිත්‍ර ශිල්පියා බිහි වූයේ ය.
සේකර නවකතා දෙකක් ද කෙටිකතා සංග්‍රහ දෙකක් ද ලියා පළ කර ඇත. ඔහුගේ නවකතාවක් වූ 'තුංමංහන්දිය' ඔහු විසින්ම චිත්‍රපටගත කරනු ලැබිණි. එය 70 දශකයේ හොඳම චිත්‍රපටය ලෙස ජාතික කතෝලික සිනමා පර්ෂදයෙන් බුහුමන් ලද්දේ ය. 1997 දී සිංහල සිනමාවට 50 වසරක් පිරුණු අවස්ථාවේ තේරූ හොඳ ම චිත්‍රපට දහයෙන් එකක් ලෙස ද 'තුංමංහන්දිය' තේරුණේ ය. එසේම එය 1972 දී ටෂ්කන්ට් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී ඩිප්ලෝමා සහතිකයක් ද දිනාගත්තේ ය.
'මූදු පුත්තු' (ගුණසේන ගලප්පත්ති සමඟ) සේකර ලියූ වේදිකා නාට්‍ය පිටපතකි. ඔහු ලියූ වෙනත් නාට්‍ය 'සද්දන්ත සහ තවත් නාටක', 'හංස ගීතය හා වෙනත් නිර්මාණ' යන කෘතිවල අඩංගු වෙයි.
සේකර සර් ආතර් කොනන් ඩොයිල්ගේ 'ද වයිට් කම්පැනි' නම්වූ කෘතියේ අනුවාදයක් 'ධවල සේනාංකය' නමින් පළ කර ඇත. ඒ හැරුණුකොට තවමත් අප්‍රකාශිත ඔහුගේ පොත් දෙකක් ගැන ද කියැවෙයි. එකක් 'ඊඩිපස්' නාට්‍යයේ පරිවර්තනයකි; අනික ඊට ඉහත ජී. බී. සේනානායක ද මඩවල එස්. රත්නායක ද පරිවර්තිත 'රුබයියාට්' කෘතියේ පරිවර්තනයකි.
සේකර අතිශයින් නිර්ව්‍යාජ කලාකරුවෙකි. ඔහු කොළඹ රැකියාව කොට දුම්රියෙන් ගෙදර ආ කල්හි අමුඩයක් ඇඳ ළි‍ඳෙන් හෝ පීල්ලකින් නා ගනී. එවිට ඔහු මහා කවියා නොවේ. මහා කලාකරුවා නොවේ. ගමේ ජෝන් අයියාගේ පුතාය. සේකර 'තුංමංහන්දිය' නවකතාවේ (එසේම පසුව චිත්‍රපටයේ) අබිලිංගේ චරිතය ඔස්සේ මැවූයේ තමන්ගේ ම ප්‍රතිරූපය ම යැයි වරෙක සිතේ. ඔහු සම්මානවලින් හිස උදුමවා ගත්තේ නැත. 'තුංමංහන්දිය' චිත්‍රපටයට ටෂ්කන්ට් සම්මානය ලැබුණු බව දැනගත් විට ඔහු උපේක්ෂා සහගතව කියා ඇත්තේ 'හොඳා - හොඳා' කියා ය.
සේකර කිසිදා ධනෝපායනය උදෙසා කලාව පරිහරණය කළ අයෙක් නොවීය. ඔහු එය පිළිකුල් කළා සේය. සැබෑ කලාකරුවා සන්තුෂ්ටියට පත්වන්නේ ස්වකීය නිර්මාණයෙන්මය; රසිකයා එය වැලඳ ගත් කල්හිය.
සේකර තමා නිරත සියලු කලා මාධ්‍ය ඔස්සේ රසිකයාගේ කලා රුචිකත්වය වර්ධනය කළේ ය. සමාජය විනිවිද යන්ට දැක්මක් පාදා මතුකර දුන්නේ ය. එහෙත් සමාජයෙන් ඔහුට පෙරළා ලැබුණේ කුමක් ද?
ඔහු උපන් ගමේ ඇතැමුන් කියා ඇත්තේ සේකර මොන තරම් ප්‍රසිද්ධ පුද්ගලයකු වුවත් ගමට එක බෝක්කුවක් බැඳ දීම තරම්වත් සේවයක් කර දී නැති බවය. (අරීසෙන් අහුබුදු කලාකරුවා මියයද්දිත් ඔහුට ඔහු උපන් ගමෙන් ලැබුණේ මෙවන් ප්‍රතිචාරයකි) සේකරගේ පිළිරුව නොයෙක් වර කඩා බිඳ දැමීම්වලට ලක්වූයේ ය. කුල සාධකයක් ද ඊට ඈඳා ගත් ආකාරය දිස්වෙයි.
ගමෙන් පමණක් නොව රටින් පවා සේකරට එතරම් යහපත් සත්කාරයක් නොලැබුණු බව පෙනේ. 'බෝඩිම' කාව්‍ය සංග්‍රහයෙන් පිටපත් කීපයක් විකුණා ගන්ට සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවක සේකර ආපසු හරවා එවා තිබුණේ පොත් මිලට ගන්ට මුදල් නොමැති බව කියමිනි.
සේකර වෙනුවෙන් අද අපට කළ හැකි යමක් ඉතිරි ව ඇත. එනම්; ඔහුගේ සමස්ත නිර්මාණ දෙස අලුත් විචාර එළැඹුමකින් යුක්තව බැලීම ය. නූතන භාෂාවෙන් කිවහොත් නව කියැවීමක යෙදීමය. මෑතදී කේ. කේ. සමන් කුමාර එබඳු උත්සාහයක් ගත්තේ ය. ('සේකරගේ නොදුටු පැත්ත' නම්වූ ලිපි මාලාව) එහෙත් එය පරිසමාප්ත වූවක් නොවීය.
මහගමසේකර නම් වූ 'නොමියෙන ප්‍රබුද්ධයා' හැදෑරීම සමකාලීන කලාවේ පැතිකඩ ගණනාවක් අධ්‍යයනය කිරීමක් වන්නේය. මේ හැදෑරීමේදී මුලින් වේට්ටියක් හා දිග බැනියමක් ඇඳගෙන සඳැස් කවි ලියමින් නිසඳැස උපහාසයට ලක්කළ, අමුර්ත චිත්‍ර ගර්හාවට ලක්කළ සේකර පසුකලෙක විශාල පිම්මක් පැන නූතනවාදී කලාවට ආ හැටි විමසා බැලීම ද කළ යුතු යැයි අවධාරණය කරමි.



සුනිල් මිහිඳුකුල 
http://www.lankanews.org/2016/01/40.html


අතීතයෙන් ගග ගලා බසී.... මහගම සේකර නම් සොදුරු මිනිසාගේ අතීතාවලෝකනය.. Mahagama Sekara.


සිටියෝ විසිත්ත කාමරයෙහි
කළු කබා මහත ටයි
තරබාරු ප්‍රභූවරු
ගරුතර මැති ඇමතිවරු
පිටිකර රැළි වැටුණු
කද බඩ හොදින් ආරපු
සංස්ථා ලොක්කෝ සහ පෙරකදෝරු‍වෝ
පීරා ඈතින් කෙස් ගෙනැත්
තට්ටය යාන්තමින් වසාගත්
රජයේ වර ලැබූ
ව්‍යාපාර හිමිකරුවෝ
ජාතික බැනියම් අදින
ඡන්දයට සල්ලිත් දෙන

සිටියෝ මෝරපු ගෑනු
බැන්ද උස් කොන්ඩා හා
ඝන දෙතොල් උල් නිය ඇති
අඩවන් තඩිස්සි ඇස්
ඉග දෙපසින් එල්ලෙන මස්
විජිනිපතින් ගෙන පවන් සලමින්
බලමින් නෙත් කොනින් ගර්වයෙන්
මැකෙන රූ සිරියට මුක්කු ගසමින්

සිටියෝ ගැටවර ගැටවරියෝ
අවුල් දික් කෙස් වලු ඇති
පුම ඉතිරි ළගු වෙනස නැති
තඩි ඔරලෝසු අතෙහිද
බැද තඩි පටි ඉනෙහිද
ඇද නෙක සාක්කු ඇති හිර කලිසම්
මිනි ගවුම් හා බෙල් බොටම්
යන එන මගක් නොම දැන
අතරමං වූවාක් මෙන්

උන් ප්‍රබුද්ධගෙන් මෙසේ ඉල්ලා සිටී

ආරංචියි artist කෙනෙක් කියල. කියමුකෝ සිංදුවක්..

එවිට ප්‍රබුද්ධ,
ජගන් මෝහිනී - මධුර භාෂිණී
චාරු දේහිනී - කමලවාසිනී...

නමුත් උන්ට එය රිසි නොවෙයි.

“පොප් ගීයක් , පොප් ගීයක්”
සියල්ලෝම හඩ නැගූහ
“ඒව එපා”

මිනි ගවුම, බෙල් බොටම නැති වුනත් මහගම සේකරයන් මේ කියා පාන්නේ අද ගැනම යැයි මට සිතෙන වාර අනන්තයි. කණගාටුවට කරුණ අද එවන් ගැහැනුන් එවන් මිනි ගවුමකින්වත් තම විලි වසා නොගැනීමයි. එදා ලාංකේය දරු දැරියන්, සන්නිවේදනය අද මෙන් දියුණුව නැතත්, ගුවන් විදුලිය තුළින් මිහිරි කවි ගී රසවින්දෝය. ඒ තුළින් ඔවුන්ගේ රසවින්දනය දියුණු විය. නමුත් අද අපට සිදුව ඇත්තේ මෙවන් දියුණු සන්නිවේදනයක් සහිත කාලයක වුවත් බහුතරයක් පුස් රේඩියෝ සහ රූපවාහිනී චැනල ඔස්සේ, සේකරයන් සදහන්කල එවන්ම පුස් පොප් ගී අසා සිටින්නටයි. අපට සිදුව ඇත්තේ එවන්,ගී යැයි කියාගන්නා ඒවා විදින්නට නොව අසා විදවන්නටයි. අද සුළුතරයක් වන සුගායනයන් හිමි ගායනවේදීන් ඇතුළු කලා කරුවන්ට ද හිමිව ඇත්තේ එදා සේකරයන්ගේ මනසෙහි මැවුණු ප්‍රබුද්ධට සිදුවූ දෙයට නොදෙවෙනි දෙයකි. අද ශ්‍රී ලංකාව නියෝජනය වන්නාවූ ජාත්‍යන්තර ස්ථානයන්හී දී පවා එවන් ගායකයන් යැයි කියා ගන්නා වුන් පර බසකින් නන්දොඩවමින් කරන උසුළු විසුළු වලට සිනා සීමටවත් නොහැකිය.

“....මගේ කේන්දරය හැදුවේ ජුවානිස් ආතායග වර්ෂ 1929ක් වූ අප්‍රේල් මස හත්වන ඉරුදින දහවල් හිටි පියවරට ජන්ම ලාභය ලත් කුමරුවා, වගෝත්තමයි. ජලයෙන් විපත්ති පැමිණෙන්නට පුළුවන්. දහඅටේදී විතර හුගක් අපලයි. හැබැයි ඒක පන්න ගත්තොත්, නඩුකාරයෙක් තරමට ප්‍රසිද්ධ වෙයි..”
ඔන්න ඔහොම තමයි “තුංමංහන්දියෙ” කතා නායකයගෙ,රණතුංග ආරච්චිලාගේ සිරිසේනගෙ ජන්ම පත්‍රය ලියවිල තියෙන්නෙ. නමුත් කරුණු හොයල බලනවිට වැටහෙන්නෙ ඒ හැම කරුණක්ම අපේ කතා නායකය වෙච්ච “මහගම සේකර” සුප්‍රසිද්ධ කවියගේ ජීවිතයමයි කියල. තුංමංහන්දිය නව කතාවෙන් සේකරයන් කියාපාන්නට උත්සහ කරල තියෙන්නෙ බොහෝදුරට තමන්ගෙම ජීවිත කතාවට සමාන එකක්. සේකරයන් ඉපදිල තියෙන්නෙත් 1929 අප්‍රේල් හත්වනදාකමයි. ජුවානිස් ආතගෙ අනාවැකියත් ඇත්ත වුණා කියල මම වගේම ඔබත් දන්නව. ඒත් සේකරයන් නඩුකාරයෙක් නොවුන්ත් ඊට නොදෙවෙනි තරමටම මේ රටේ බැබළුනා.

සේකරගෙ උපන් බිම වුනේ, එදා කොළඹ දිස්ත්‍රික්කයට අයත්ව අද ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වෙන සියනෑ කෝරලයෙ, රද‍ාවාන,මහවත්ත ප්‍රදේශය. සිරිසේනගෙ උපන් බිමත් ඒකමනෙ. රද‍ාව‍ානෙ තුංමංහන්දියෙ ඉදල කිරිදිවැල පාරෙ සැතපුමක් විතර දුර යන විට පාරෙන් වම් පැත්තට වන්නට මහවත්ත හමුවෙනව.මේ පින් බිම සේකරයන්ට පතිරූපදේශයක්ම වනව.ඔහුගෙ කවිසිත සරසන්නට සමත් වුණු ගහකොළ, සතා සීපාවන්, ඇළ දොළ මේ බිමේ සුන්දර දසුන් මවන්ට සමත් වුණා.සේකරයන්ට තමන්ගෙ දෙමවුපියන්ගෙන් ලැබුණූ නම වුණේ “මහගමගේ සමරසේකර”. නමුත් ඒ නම “මහගම සේකර” වෙන්නෙ උප්පැන්න සහතික නිකුත්කිරීමේ නිළධාරීන්ගෙ ප්‍රමාද දොශයක් නිසාවෙන්. රදාවානෙ රජයේ පාසලෙන් සහ කිරිදිවැල රජයෙ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන සේකර 1945 වසරෙදි රජයේ ලලිත කලායතනයට බැදෙනව. ඉන් පසුව නිට්ටඹුවෙ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලබන එතුමා තමන්ගෙ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නෙ චිත්‍ර කර්ම ගුරුවරයෙක් හැටියට. ඉන් පසුව සේකරයන් භාෂා පරිවර්තකයෙකු, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකවරයෙකු,ලලිත කලායතනයෙහි විදුහල්පති වරයෙකු වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ සෙන්දර්ය ඒකකයෙහි ප්‍රධානියෙකු හැටියටත් කටයුතු කර තිබෙනව.

රදාවානෙ මහවත්තෙ, මහගමගේ ජෝන් අප්පුහාමි, එනම් සේකරගෙ ආදරණීය පියාණන් සේකරගෙ නිර්මාණ ගැන සදහන් කරන්නෙ මේ විදිහට.
“..පුතාගෙ තුංමංහන්දිය පොතෙත්, මනෝමන්දිර පොතෙත් කියවෙන්නෙ මායි පුතයි ගැන. ලොකු මාම කියන්නෙ මං. සිරිසේන කියන්නෙ පුතා. මගෙයි එයාගෙයි කියුම් කෙරුම් තමයි ඒ ඔක්කොම..”

මෙයින් අපට කියාපාන්නෙ පිය පුතු සබදතාවය කොතෙක්ද කියල. සේකරගෙ නිර්මාණ ජීවිතයට තමන්ගෙ පියාගෙන් ලැබිල තියෙන ආභාශය කොතෙක්ද කියලත් අපට හිතාගන්නටත් අපහසුයි. ඒ හැමදෙයක්ම දකින මට සේකර ගැන ලෝබ හිතෙන්නනෙ, මටත් එහෙවු තාත්තෙක් හිටියනම් කියල හිතෙන වෙලාවට. සේකර තමන්ගෙ අවසාන කෘතිය වුණු “ප්‍රබුද්ධ” මහා කාව්‍ය තමන්ගෙ දෙමවුපියන් වෙනුවෙන් පුදන්නෙ මෙන්න මේ විදියට..

“විසල් සුදු ඩිමයි කඩදාසි මත
තබා මහ කව කටුව දිග රූල
ඇද නේක මෝස්තර මල් හා කොළ
කපා කැටයම් ඉදු බොකුටු නියනින්
විශ්වයෙහි රටාවම කලාවට නගන හැටි
කුඩා කල සිට ම මට කියා දුන් තාත්තාට”

“ඇවිද ලදුදෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නේක රටා විසිතුරු පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට
කියාදුන් අම්මා ඔබය”

සේකර කාව්‍යකරණයට මෙන්ම චිත්‍රකර්මයටත් අති දක්ෂයෙක්. සේකරයන්ගෙ ඒ දස්කමත් විකසිත වන්නට තමන්ගෙ දෙමවුපින්ගෙ ශක්තිය ලැබුණ. සේකර කුඩා කාලයෙ විවිධ ස්වභාවික මාධ්‍යයන් තමන්ම සාදාගෙන, ගෙදර බිත්ති පුරාවට විවිධ සිතුවම් අදිද්දි සේකරගෙ අම්ම ඉවසුවෙ නැත්නං ඒ චිත්‍ර ශිල්පියාගෙ ගමන එද‍ා එතැනින්ම නතරවෙන්න තිබුණ.

සේකරයන් කාව්‍යකරණයට පිවිසෙන්නෙ එතුමාගේ හොදම යහළුවෙක් වුණු කේ. ජයතිලකයන් සමග එක්ව කල “ව්‍යංගා” කාව්‍ය කෘතියත් සමග. ඉන් පසුව “සක්ා ලිහිණි” “හෙට ඉරක් පායයි” “මක් නිසාද යත්” රාජතිලක‍-ලයනලි සහ ප්‍රියන්ත” “බෝඩිම” “නොමියෙමි” යන ඉතා විශිෂ්ඨ කාව්‍ය කෘති රචනයෙහි යෙදෙන්නට සේකරයන්ට පසුබිම සැකසෙනව. සාමාන්‍යයෙන් කෙනෙක් රෝගාතුර වෙලා රෝහල් ගත කරපු අවස්ථාවක ඒ කෙනාට සිද්දවෙන්නෙ ඇදකටවෙලා විවේකීව ඉන්න. නමුත් සේකරයන් “නොමියෙමි” කාව්‍ය කෘතිය රචනයෙහි යෙදෙන්නෙ අසනීප තත්වයක් නිසා රෝහල්ගත වෙලා හිටි අවස්ථාවක. සේකරයන්ගෙ කාව්‍යකරනයෙහි මුදුන්මල්කඩ ලෙසට හදුනගන්නෙ, ඔහුගෙ කාව්‍ය දිවියෙහි අවසාන නිමැවුම වුණු “ප්‍රබුද්ධ” කාව්‍ය. මා මේ ලිපිය ඔබ වෙනුවෙන් ලියන්නට පූර්විකාවක් කොටගත්තෙත් ඒ විශිෂ්ඨ කාව්‍ය නිර්මාණයෙහි එන සුවිශේෂී කොටසක්.

“මහගම සේකරයන්ගේ පරිනත කවිත්වයෙහි අග්‍රඵලය “ප්‍රබුද්ධ” කාව්‍යයයි. පර්යේෂණකාමී නිර්මාණාත්මක බුද්ධියේත් සියුම් වින්දන ශක්තියේත් සහජයෙන් ලද භාෂධිපත්‍යයේත් සුසංයෝගය මෙම කෘතියෙන් පිළිබිඹු වේ” (මහාචාර්ය විමල් දිසානායක - ප්‍රබුද්ධ, පසුවදන)

නූතන සිංහළ කාව්‍ය සහ සිංහළ සුභාවිත ගීතය යහමින් ඔපමට්ටම් කල සේකරයන් ජන කවිය සහ නිදහස් කවියට නව අරුතක් ලබා දීමට කටයුතු කලහ. සේකර-අමරදේම සුසංයෝගය ලාංකේය සිංහළ ගීය තුළ නව මගක යමින් නොමැකෙන සටහන් තබන්නට සමත්වීය. “සිනිදු සුදු මුතු තලාවේ” “අතීතයෙන් ගග ගලා බසී” “ඔබේ නමින් සෑය බදිමි” “මළ හිරු බසිනා සැන්දෑ යාමේ” ආදීවූ ගීත එහෙවු ගී පද සිය ගණනක් වෙනුවෙන්වූ නියෝජනයක් කොටගනිමි.

1929 අප්‍රේල් මස මෙන්ම 1976 ජනවාරි මස සේකර රසික ඔබට මට නිතර සිහි ගැන්වෙයි.

“ලියන්නට පටන්ගත් පිටුවෙහි රිද්මය පිළිබද සටහනක් ද තිබූ අතර, පෑන පසෙක වැටී තිබුණා”
ඔහු නික්ම ගොස් තිබිණි...
හිමිගිරි කුළු ඉහළ නැගි වලා සිඹින
අහස පොළව දෙක මුසුවන
නිල් මිටියාවත මැද්දෙන්
සුදු මීදුම් පීරාගෙන
සුදු පියාපත් සලමින්
නැග බැස පාවී යන
සිහින මුවා අසු පිට නැග
සතර කතර ගිම් සනහන
“මරණී” නම් කෙම්බිම වෙත”

“මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාදුනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනවි”

මේ මහගම සේකර නම් මහා සාගරයෙන් ගත් එක් දිය බිදක් පමණි...
 සන්දික
 http://mathakathotupala.blogspot.fr/2011/03/mahagama-sekara.html

 මහගමසේකර සූරීන් උපත ලද්දේ 1929 අපෙ‍්‍රල් මස 7 වැනිදා කොළඹ දිස්ති‍්‍රක්කයේ සිය නෑ කෝරළයේ රදාවාණේදීය. මහ ගමගේ ජෝන් අප්පුහාමි මහගම සේකරගේ පියාය. රණවක ආරච්චිගේ රොසලින් නෝනා ඔහුගේ සෙනෙහෙ බර මෑණියෝය.එතුමා කවියකු ලේඛකයකු චිත‍්‍ර ශිල්පියකු නාට්‍ය රචකයකු මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂ වරයකුද වෙයි. 1960 දී සේකරයන් ලංකා ගුවන් විදුලි ආයතනයේ වැඩ සටහන් සම්පාදකයකු ලෙසින් සේවයට ගියේය. ඔහු ලියූ බොහෝ ගීත ගායනා කරණු ලැබුවේ සුප‍්‍රකට සංගීතඥයකු වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී.අමරදේවයන් ය. සිංහල ගීත සාහිත්‍යයේ මහා පෙරැළියක් ඇති කළ මහගමසේකර ගේ සෑම ගීතයකින්ම වහනය වන්නේ ජාතියේ දේශයේ ජීවන සුවඳයි. සිංහල දරුවන් තුළ ජාතිය දේශය පිළිබඳ උදාර කල්පනාවන් පුබුදාලන්නට සේකර නිබඳවම සැදී පැහැදී සිටියේය. අවුකන  පිළිමය පිළිබඳ සේකරයන් අපූරු ගීතයක් නිර්මාණය කළෙය. පණ්ඩිත් අමරදේවයන් හඩින් මේ ගීය අදත් අපට අසන්නට ලැබේ.සේකර ලිවූ අපූරු ගීත රචනා අතර “මහවැලි ගීතයට” ප‍්‍රමුඛත්වයක් ලැබේ.
මහවැලි , මහවැලි, මහාවැලීසිරිපද ලස සමනොළ සිරසේසිඹ සිඹ සිහිලස විඳ සොඳගේලෙලී දිලී ගලා බසීමහවැලි ගීතයෙන් අපේ රටේ ඉතිහාසය පිළිබඳ පැහැදිලි කරයි. සුදෝ සුදු පෙණ කැටි නංවමින් ගලා බසින මහවැලි ගඟ එහි ප‍්‍රධාන මාතෘකාවයි.1966 දී හොඳම ගීත රචනයට පිරිනැමෙන සම්මානය දිනාගත්තේ ‘සාරවිට’ චිත‍්‍රපටය සඳහා නිර්මාණය කරන ලද පහත ගීතය ටයි.
මේ සිංහල අපගෙ   රටයිඅප ඉපදෙන මැරෙන   රටයිඅප හද පණ ගැහෙන   රටයිමුළු ලොව ඒ රටට   යටයි.දේශානුරාගී හැගීම් අප තුළ පුබුදු කරන මේ ගීය ඇසෙන විට අපේ සිත් දේශය පිළිබඳව වූ භක්තියකින් ආදරයකින් පිරී යයි. අප උපතින් ලද මේ උරුමය රැක ගැනීම පුංචි අපේ වගකීම බව සේකර කියයි.මහගම සේකරගේ ගීත නිර්මාණ පිළිබඳ කතා කරනවිට ඔහු සිංහල බසට හැරවූ අපූරු ගීත බොහොමයකි. ඔහු විසින් ඕමාර් ඛයියාම්, ඛලීල් ජිබ්රාන්, සරෝජනී නායිදු, රබීන්ද්‍රනාථ ඨකුර වැන්නන්ගේ නිර්මාණ පරිවර්තනය කරන ලදී. සරෝජිනී නායිදුගේ නිර්මාණයක් පරිවර්තනය කරමින් ඉදිරිපත් කළ ගීතයකි මේ.සන්නාලියනේ සන්නාලියනේකාටද ඇඳුම වියන්නේඊයේ ඉපදුණු කුළුඳුල් දූටයිමේ පොඩි ඇඳුම වියන්නේ
මහගම සේකර ලිවූ කෘති කීපයක්
ව්‍යංගා 1960සක්වාලිහිණි 1962හෙට ඉරක් පායයි 1963මක්නිසාද යත් 1964රාජතිලක ලයනල් හා පි‍්‍රයන්ත 1967බෝඩිම 1970මහගම සේකර ගීත 1972සරුපොළොවක් අපට ඇතේ ළමා ගීත 1973තුම්මංහංදිය 1962

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.