ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 29, 2016

පැඩි ෆීල්ඩ් වල් විදානේව හමුදාපති කරපු හැටි ගෝඨාභය හෙළි කරයි...!!!

හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මෙරට ජනතාවට අමතක නොවන චරිතයක් බවට පත් වූයේ තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන චරිතයක් වෙමින් රුදුරු ත්‍රස්තවාදයෙන් මව්බිම ගලවා ගැනීමත් සමගයි. හමුදා ජීවිතයේ විසිවසරක අත්දැකීම් ඇති ගෝඨාභය රාජපක්ෂ එම අත්දැකීම්

මොනවට ප්‍රදර්ශනය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් වෙත පැවරූ ඒ භාරදූර අභියෝගය ජය ගත්තේය. ත්‍රස්තවාදය ජයගත් ගෝඨාභය අනතුරුව කොළඹ නගරය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට නායකත්වය දෙමින් යුද්ධයක් ජය ගැනීම පමණක් නොව තවත් ශක්‍යතා රැසක් තමන් සතු බව කදිමට ප්‍රදර්ශනය කළේ ය. හමුදා නිල ඇඳුමට වැසුණු නිර්මාණාත්මක පරිසරවේදියා එළියට ආවේ කොළඹ සුන්දර නගරයක් කිරීමේ ව්‍යාපෘතිය හරහාය. 2015 ජනවාරි 08 ඇති වූ දේශපාලන බලමාරුවෙන් පසු පෙර තිබූ කාර්යබහුල ජීවිතයෙන් ඔහු තරමක් මිදී ඇත. ඔහු සොයා අප ගිය ගමනකදී ගෝඨාභය රාජපක්ෂයන්ගේ යටගිය දවස පිළිබඳ ඒ මතකය  ආවර්ජනය කළ අයුරුයි මේ.
ප්‍ර: කාර්යබහුලත්වයෙන් මිදුණු තත්ත්වයක ඔබ සිටින නිසා මම කැමැතියි මේ කතාබහ ඔබේ පුංචි කාලෙන් පටන් ගන්න.
පි: පුංචි කාලෙම ඉඳලා මම හිටියේ ගෙදරින් පිට. බාලාංශ පංතියේ ඉඳලම මම ගියේ කොළඹ ආනන්දෙට. පහේ පන්තියෙන් පස්සේ මම හිටියේ ආනන්දෙ හොස්ටල් එකේ. බාලාංශ පන්තියේ ඉඳලා හයේ පන්තිය වෙනකම් මම හිටියේ කොළඹ ගුරු මහත්මයකුගේ ගෙදර. ඔය වෙනකොට අපේ තාත්තා මන්ත්‍රීවරයෙක්. තාත්තාට ඕන වුණා අපිට හොඳට උගන්වන්න. ඒ නිසා අපේ පවු‍ලේ ගොඩක් අය නතරවෙලා හිටියේ කොළඹ. මමයි අපේ බාලම මල්ලි ඩඩ්ලියි අපි දෙන්නම බාලාංශ පන්තියේ ඉඳලා ආනන්දෙ. බැසිල් ගියේ ඉසිපතනෙට. එයා හයේ දී ආනන්දෙට ආවා. මමයි, බැසිලුයි දෙන්නා හයේ ඉඳලා ආනන්දෙ බෝඩිමේ නතර වුණා. ඩඩ්ලි හොස්ටල් ආවේ නෑ. එයා නතර වෙලා හිටියේ ප්‍රදීප් හපන්ගමලගේ ගෙදර. මහින්ද අයියා මුලින් නාලන්දේ හොස්ටල් එකේ ඉඳලා ඊට පස්සේ තර්ස්ටන් එකට ගියා. අක්කා බෞද්ධ කාන්තා විද්‍යාලයට ගියා. නතරවෙලා හිටියේ ඒකේ හොස්ටල් එකේ. අපි ලොකු පවුලක්. සහෝදරයෝ හය දෙනයි සහෝදරියයි. මම මේ කතා කරන කා‍ලේ වෙනකොට ‍පොඩි නංගිලා දෙන්නා හිටියේ නෑ. ඒ කා‍ලේ අපි ගොඩක් හිටියේ ගෙදරින් පිට. නිවාඩු කාලෙට විතරයි ගෙදර එන්නේ. ගෙදර ගිය වෙලාවේ ඉඳලා කනවා බොනවා, සෙල්ලම් කරනවා. ඕක තමයි අපේ ජීවිතේ. අනික අපේ ගෙදර නිතරම මිනිස්සු රැඳුණු තැනක්. තුන්වේලටම විස්සක්, තිහක් පිට අය කෑමට ඉන්නවා.
ඒක හැමදාම වගේ සිද්ධ වුණු දෙයක්. වැඩියෙන්ම එන්නේ ගුරුවරු, විදුහල්පතිවරු. අපේ තාත්තා ගොඩක්ම විදුහල්පතිවරුන් ඇසුරු කළා. මැදමුලන කියන්නේ පිටිසර බොහෝම දුෂ්කර පුංචි ගමක්. මට මතකයි ඒ දවස්වල අපි සෙල්ලම් කරනවාට අමතරව පුංචි පෙරහරවල් වගේ දේවලුත් කළා.
ප්‍ර: අයියා, මලෝ හය දෙනාගෙන් වැඩිපුරම තාත්තාගෙන් ගුටි කෑවේ කව්ද?
පි: අපේ තාත්තා හරිම නිවුණු කෙනෙක්. අපි කාටවත් ගහලා තියෙනවා කියලා මට නම් මතකයක් නෑ. අවවාද කරන එක තමයි තාත්තා කළේ. තාත්තා තළන ජාතියේ කෙනෙක් ‍නෙවෙයි. ඒ වැඩේ කළේ මාමලා. අපි දඟ කරනකොට ගහන්නේ මාමලා.
ප්‍ර: එතකොට අම්මා?
පි: අම්මත් සැර කෙනෙක් ‍නෙවෙයි. ඔය ගෙදර වැඩ කුඹුරුවල කටයුතු සියල්ල ම හොයා බැලුවේ අම්මයි, මාමලයි එකතුවෙලා. අම්මා ඒ දේවල් හොඳින් බලා කියා ගත්තා. අනික විශාල පිරිසක් හැමදාම කන්න ඉන්න නිසා අම්මා ඉතා වගකීමෙන් ඒ දේවල් කළා. අපේ ගෙදරින් බත් වේලක් නොකාපු කෙනෙක් අපේ පළාතේ හොයාගන්න අමාරුයි. එච්චරම අපිත් එක්ක ගම සම්බන්ධයි.
ප්‍ර: ඔය පළාත්වලට ඒ දවස්වල විශාල ජල හිඟයක් තිබුණා කියලා අහලා තියෙනවා. ඔබට ඒ ගැන අත්දැකීම් තියෙනවද?
පි: ඔව්. ඒ දවස්වල හම්බන්තොට දිස්ත්‍රික්කය හැඳින්වූයේ ශුෂ්ක කලාපය කියලා. වැස්ස හරි අඩුයි. අනිත් ප්‍රශ්නය තමයි ළිං වතුර කිවුලයි. අපේ ගමට තිබුණේ වතුර බොන්න පුළුවන් එක ළිඳයි. ඒ අපේ ළිඳ. මුළු ගමේම මිනිස්සු බිව්වේ ඒ ළිඳේ වතුර. ඔය ජල යෝජනා ක්‍රම බොහෝමයක් සකස් වුණේ වතුර ප්‍රශ්නය මුල්කරගෙන තමයි. ඇත්තටම ඒ කා‍ලේ වතුර හිඟය කාටත් ප්‍රධාන ප්‍රශ්නයක්.
ප්‍ර: ඔබේ පවුල දේශපාලන පසුබිමක් සහිත එකක්. එහෙම පසුබිමක් තිබියදී ඇයි ඔබ රැකියාව සඳහා යුද හමුදාව තෝරා ගත්තේ.
පි:මට හිතෙන විදිහට තාත්තා කැමැත්තෙන් හිටියේ නෑ අපි කවුරුවත් දේශපාලනයට එනවට. ඒකට හේතුව තාත්තා විඳපු අත්දැකීම් වෙන්න ඇති. අපේ ලොකු තාත්තා ඩී. එම්. රාජපක්ෂ තමයි අපේ පවුල් පරම්පරාවේ දේශපාලනය පටන් ගත්තේ. මං ලොකු තාත්තා දැකලවත් නෑ. එයා දේශපාලනය කළේ සම්පූර්ණයෙන්ම දේපළ විකුණලා. එක් අවස්ථාවක දේශපාලන වැඩවලට මුදල් නැති වුණාම ලොකු තාත්තා මුළු දේපළම උකස් කරලා තියෙනවා මාතර කුලතුංග කියලා කෙනකුට. අපේ තාත්තාට තිබුණු දේපළත් දීලා තාත්තා ඒකට අත්සන් කරලා තියෙනවා. ඔය අතරේ ඩී. එම්. රාජපක්ෂ මරණයට පත්වෙනවා. දේ‍පොළ ගැන කාටවත් මතකයක් තිබුණේ නෑ. අවසානේ අපේ සියලු දේ‍පොළ කුලතුංගලාට අයිති වෙනවා. මම දන්න තරමට පස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තමයි සල්ලි එකතු කරලා අපේ ගෙදරයි, අවට ඉඩම් ටිකයි තාත්තාට බේරලා දීලා තියෙන්නේ. ඔන්න ඔය හේතු හින්දම තාත්තා අපි කිසි කෙනෙක් දේශපාලනයට ගේන්න උනන්දු කළේ නෑ. මහින්ද අයියට තමයි පුංචි කා‍ලේ ඉඳලා දේශපාලන උනන්දුව තිබුණේ. ඒ නිසා එයා ඒකට ඇදිලා ගියා. නමුත් මගේ කැමැත්ත තිබුණේ යුද හමුදාවට. ඒ නිසා මා යුද හමුදාවට බැඳුණා.
ප්‍ර: ඔබට යුද හමුදාවට බැඳෙන්න විශේෂ හේතුවක් තිබුණද?
පි: විශේෂම හේතුවක් නෑ. නමුත් ආනන්දයේ පසුබිම මට ඒ තීරණේ ගන්න බලපෑවා කීවොත් හරි. ආනන්දේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන තැනක් තමයි හමුදාව.
ප්‍ර: හමුදා ජීවිතේ කොපමණ කාලයක්ද?
පි: අවුරුදු විස්සක්. විශ්‍රාම ගන්න පුළුවන් කා‍ලේ වෙනකම්ම මම හිටියා. ඇත්තටම ඒ අවුරුදු විස්සක කාලය තුළ මම සැබෑ හමුදා නිලධාරියකු වශයෙන් සේවය කළා. මා විශ්‍රාම ගන්නකම් තිබුණු සියලුම ක්‍රියාන්විතයන්ට මං සම්බන්ධ වුණා.
ප්‍ර: හමුදා ජීවිතේ වැඩි කාලයක් ගෙව්වේ කොයි පළාතෙද?
පි: මං වැඩි කාලයක් හිටියේ යාපනේ. මං මුලින්ම යාපනේට ගියේ 1974 විතර. ඔය ත්‍රස්තවාදී යුද්ධය ආරම්භ වුණේ කොහොමද? ඒක වර්ධනය වුණේ කොහොමද කියන එක මම හොඳට දැක්ක කෙනෙක්.
ප්‍ර: ඔය කියන කා‍ලේ යාපනේ කොහෙමද?
පි: මං මුලින්ම යාපනේට ගියේ සංඥා නිලධාරියා හැටියට. (ඉඪඨදචත ටටඪජඥප) මුළු උතුරු කරේටම හිටියේ එක සංඥා නිලධාරියයි. ඔය කාලෙත් යාපනේ සෑම තැනකම යුද හමුදා කඳවුරු තිබුණා. ඒ වෙනකොට තිබුණු ප්‍රශ්න තමයි ඉන්දියාවෙන් එන කල්ලතෝනි කියන මිනිස්සුයි, හොර බඩු ජාවාරමයි. ඔය දෙක නතර කරන්න තමයි උතුරේ හමුදා කඳවුරු දාලා තිබුණේ. ටැෆායි කියලා තමයි ඒ හමුදා ඒකකය හැඳින්වුණේ. පසු කලෙක හමුදාපති වූ තිස්ස වීරතුංග තමයි මේ විශේෂ ඒකකය භාරව හිටියේ. මොල්ලිකුලම් ඉඳලා මුළු වටේම ගිහිල්ලා කෝකිලායි වෙනකම්ම පුංචි පුංචි හමුදා අනු ඛණ්ඩ තිබුණා. ඔය හැම තැනකම රේඩියෝ සෙට් එකක් තියෙනවා. ඒක භාරව එක් සංඥා නිලධාරියෙක් ඉන්නවා. ඒ සියලුම නිලධාරින් භාරව හිටියේ මමයි. ඒ දවස්වල හමුදාවේ තිබුණු ක්‍රමය තමයි පඩිය මුදල් වශයෙන් අතට ගෙවීම. මාසේ හැම විසි වෙනිදටම පඩිය ගෙවනවා. ඒක භාර නිලධාරියෙක් හිටියා. බැංකුවෙන් සල්ලි අරන් වෙන වෙනම ලියුම්කවරවල දාලා පඩි සකස් කරනවා. අපේ තිබුණා මහේන්ද්‍රන් වර්ගයේ ජීප් එකක්. මම ඕකේ නැගලා ඔය මුළු රවුමම යනවා. අර පඩි ගෙවන්න.
පලාලි ඇවිල්ලා, එලිෆන්ට්පාස්, එතැනින් යනවා කිලිනොච්චි, ඊළඟට මුලතිව්, එතැනින් කෝකිලායි. ඊට පස්සේ වව්නියාවට ඇවිල්ලා එතැනින් මන්නාරමට ඇවිත් තලෙයි මන්නාරම, සිලාවතුර, මොල්ලිකුලම් ගිහින් පුනරින් හරහා ආපහු එනවා. ඔය ගමනට සුමාන දෙකක් විතර ගන්නවා. ඒ දවස්වල හොඳට කකුළුවෝ කාලා, නාලා, හරි විනෝදෙන් තමයි ඒ ගමන ගිහින් එන්නේ.
ඔය ගමන යන්නේ මමයි, රියැදුරයි විතරයි. මගේ අතේ පිස්තෝලයක්වත් තිබුණද කියලා මට මතකයක් නෑ. සමහර වෙලාවට ජීප් එක නතර වෙනවා. ඒ වෙලාවට ඒ පැතිවල මිනිස්සු හදලා දෙනවා. වාහනේ නැවතුනාම තල්ලු කරනවා. ඔන්න ඔය වගේ ඉතාම සාමකාමී තත්ත්වයක් තමයි ඔය කියන කා‍ලේ උතුරේ තිබුණේ.
ප්‍ර: ඔබ දැක්ක විදිහට එල්ටීටීඊ සංවිධානය මුලින්ම මොනවගේද ක්‍රියාත්මක වුණේ?
පි: උමා මහේෂ්වරන්ගේ වැඩපිළිවෙළනේ මුලින්ම එළියට එන්නේ. දැන් උතුරේ වෙනදට වඩා විශේෂත්වයක් ඇති වෙනකොට අපිත් තොරතුරු එක් රැස් කරගන්න පටන් ගත්තා. ටික ටික හමුදා බුද්ධි අංශ ගොඩනැගුණා. බුද්ධි අංශ තොරතුරුවලට අනුව ගමක් වටලලා පුද්ගලයෝ අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා. ඔය කා‍ලේ මම හිටිය ප්‍රධාන කඳවුරු දෙකෙන් එකක් මාදගල් කඳවුර. අනික වැල්වැටිතුරෙයි කඳවුර. මං ඒ දවස්වල කණ්ඩායම් අණදෙන නිලධාරියා. මම වැල්වැටිතුරෙයි ඉන්නකොට සිදුවෙච්ච ලොකුම සිද්ධිය තමයි වැල්වැටිතුරෙයි ‍පොලිසියේ ඕ.අයි.සී.ට කඩේ තේ බොනකොට වෙඩි තියලා මරපු සිද්ධිය. ඔය වගේ සිද්ධි තමයි මුලින්ම ඇතිවුණේ.
හරියට අර දකුණේ ජවිපෙ එක පටන් ගත්තා වගේ. අපිට බුද්ධි අංශ තොරතුරු ලැබෙනවා. තරුණයන් අනවශ්‍ය ලෙස හැසිරෙන තැන් පිළිබඳව, අපි ඒ ප්‍රදේශවල මෙහෙයුම් කරලා සැකකටයුතු තරුණ කොටස් ප්‍රශ්න කරනවා, අත්අඩංගුවට ගන්නවා. නැවත මුදා හරිනවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි මුලින්ම අපි දැක්කේ.
ප්‍ර: දකුණේ කළු ජූලියට මග පෑදෙන සිද්ධියක් 83 දී උතුරේ සිද්ධ වෙනවා. මේ සිද්ධිය තීරණාත්මක එකක්. ඒ කා‍ලේ මතකය අවදි කළොත්?
පි: මේජර් කෙනෙක්ගේ තත්ත්වයට එනකොට අපිට තියෙනවා පාඨමාලාවක්, මාණ්ඩලික නිලධාරි පාඨමාලාව කියලා. නිලධාරියෙක් තවදුරටත් හමුදාවේ රැඳිය සිටිය යුතු නම් මේ පාඨමාලාව සමත් විය යුතුයි. ඒ පාඨමාලාව ඒ දිනවල ලංකාවේ තිබුණේ නෑ. එක්කෝ අපි ඉන්දියාවට යන්න ඕනෑ. නැත්නම් පාකිස්තානයට යන්න ඕන. සමහර වෙලාවට එංගලන්තයට යන්නත් අවස්ථාව ලැබෙනවා. ඔන්න දැන් අපි මේ පාඨමාලාව බටලන්දෙ පටන් ගත්තා. මේ පාඨමාලාවට තෝරා ගත්තෙත් තරගකාරී විභාගයක් තියලා. 82 මම ඒ විභාගයට මුහුණ දුන්නා. මම ඒකෙන් පළමුවැනියා වුණා. හමුදා ජීවිතයේදී මම ඉතා ඉක්මනින් ඒ පාඨමාලාවට තේරුණා. මම මේකට ගියේ 1982. සරත් ෆොන්සේකා මේ පාඨමාලාවට ගියේ 1987 විතර. සරත් ෆොන්සේකා හමුදා ජීවිතේ මට වඩා අවුරුද්දක් සීනියර්. නමුත් ඔහු මේ පාඨමාලාවට ගියේ මට වඩා වසර පහකට පස්සේ. මං මේ පාඨමාලාවට ඉන්දියාවට ගියා 82 දෙසැම්බර් මාසේ. මේ පාඨමාලාවේ කාලය අවුරුද්දයි. 83 දෙසැම්බර් දක්වා පාඨමාලාව තිබුණා. ඔබ ඔය අහන 83 කා‍ලේ මම හිටියේ ඉන්දියාවේ වෙලින්ටන්වල. තමිල්නාඩුවේ නිල්ගිරීස් කඳුයායේ වෙලින්ටන් කියන ස්ථානයේ තමයි මේ යුද හමුදා පාසල තියෙන්නේ. ඒ අවුරුද්දේ හැම රටකින්ම වාගේ නිලධාරීන් ඇවිත් හිටියා.
මේ නිල්ගිරීස් කඳුයායේ තියෙන්නේ තේ වතු. මේ තේවතුවල වැඩ කළේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් නැවත ඉන්දියාවට ගිය උදවිය. ඔවුන්ට සිංහල කතා කරන්න පුළුවන්.
ප්‍ර: තමිල්නාඩුවේ ඒ වෙනකොට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිරූපයක්ද තිබුණේ?
පි: මුලදී විශේෂත්වයක් තිබුණේ නෑ. නමුත් 83 සිද්ධියෙන් පස්සේ මං හිතන්නේ තත්ත්වය වෙනස් වුණා. මටත් එළියට යද්දී විශේෂ ආරක්ෂාවක් ඔවුන් ලබා දුන්නා. මේ සිද්ධිය මාණ්ඩලික පාස‍ලේ පුහුණුවට ආ නිලධාරීන් කතා වුණා. ඔවුන් අපට විරුද්ධව තමයි කතා කළේ.
ප්‍ර: ලුතිනන් කර්නල් තනතුරෙන් පස්සේ ඔබ හමුදා ජීවිතයට ආයුබෝවන් කියනවා?
පි: හමුදාවේ ඉතාම අමාරු කාලය තමයි ලුතිනන් කර්නල් තත්ත්වය දක්වා එන ගමන. ඊට පස්සේ එළැඹෙන්නේ වරප්‍රසාද ලබන කා‍ලේ. මගෙන් ගොඩක් අය ඇහුවා උඹ මැරෙනකම් වැඩ කරලා මේ වරප්‍රසාද ලැබෙන කා‍ලේ ඇයි යන්නේ කියලා.
ප්‍ර: සමහරු ඔබට චෝදනා කළා යුද්ධය තියෙන කා‍ලේ ඒවට බයෙන් රටින් පැන ගියා කියලා. ඇත්තටම ඇයි ඔබ හමුදා ජීවිතෙන් විශ්‍රාම ගත්තේ?
පි: ඇත්තටම ඒකට බලපෑ හේතුව තමයි රන්ජන් විජේරත්න මැතිතුමාගේ අභාවය. ඇත්තටම ඔහු වැඩක් කරන්න පුළුවන් අදහසක් තිබුණු පුද්ගලයෙක්. යුද්ධය ගැන නොදන්න අය තමයි මම පැනලා ගියා කියන්නේ. උතුරේ පළමුවැනි මහා පරිමාණ ක්‍රියාන්විතය තමයි වඩමාරච්චි මෙහෙයුම. ඊට පෙර අපි කළේ කුඩා කුඩා මෙහෙයුම්.
හමුදාව මහා පරිමාණයෙන් යොදා ගෙන ලංකා ඉතිහාසයේ පළමුවරට කරපු මෙහෙයුම තමයි වඩමාරච්චි ක්‍රියාන්විතය. මේ ක්‍රියාන්විතය කරන්න ඉස්සර වෙලා මම හිටියේ ගජබා රෙජිමේන්තුවේ. අපි වසර තුනක් විතර අඛණ්ඩ මෙහෙයුම් කරලා ඒකට සූදානමින් සිටියේ. මම ගජබා රෙජිමේන්තුවේ දෙවැනියා. මගේ අණදෙන නිලධාරියා වශයෙන් හිටියේ බ්‍රිගේඩියර් විජය විමලරත්න. මේකෙදී විජය විමලරත්න බ්‍රිගේඩ් කමාන්ඩර් වුණා. මම බළඇණිය බාරගත්තා. මෙහෙයුමට තිබුණේ බළඇණි හතරයි. බළඇණි දෙකක් එක බ්‍රිගේඩ් එකක් හැටියට එකට එකතු කළා. එක බ්‍රිගේඩ් එකක් අණ දුන්නේ මේජර් ජෙනරල් විජය විමලරත්න. අනිකට අණ දුන්නේ ජෙනරාල් කොබ්බෑකඩුව. බළඇණි හතරෙන් ගජබා බළඇණියට අණ දුන්නේ මම. මට තිබුණේ තොන්ඩමනාරු, වැල්වැටිතුරෙයි සහ ‍පොයින්ට් පේදුරු ඒරියා එක. වැල්වැටිතුරෙයි තමයි ප්‍රභාකරන් ඉන්නවා කියලා සැක කළේ. අපි සාර්ථකව ඒ මෙහෙයුම කළා. අපේ ඉල්කකය වුණේ වැල්වැටිතුරෙයි අල්ලා ගැනීම. මගේ බ්‍රිගේඩ් එකෙන් තමයි මුලින්ම වැලිවැටිතුරෙයි නිදහස් කරගත්තේ. මේ කා‍ලේ ජෙනරල් විමලරත්න යටතේ අපි ක්‍රියාන්විත රැසක්ම කළා. ඔහු අපේ හමුදා ඉතිහාසයේ විශාල වෙනසක් කරපු කෙනෙක්. ඇත්තටම බැලුවොත් එදා ජෙනරල් විමලරත්න යටතේ සිටිය අය තමයි මේ පාර යුද්ධයේදී විශාල මෙහෙයක් කළේ. මම, ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්, කමල් ගුණරත්න, චාගි ගාල්ලගේ, උදය පෙරේරා මේ අය මාත් එක්ක ගජබා රෙජිමේන්තුවේ සිටි අය.
ප්‍ර: වඩමාරච්චි මෙහෙයුමේ දී ප්‍රභාකරන් කොටුකරගන්න බැරිවුණේ ඇයි?
පි: ඇත්තටම අපි හිතුවේ කොටුකරගත්තා කියලා. තොන්ඩමනාරු පැත්තෙ ඉඳලා තමයි අපි ගියේ. ඔහොම ගිහිල්ලා වැල්වැටිතුරෙයි පැත්තට යනකොට මම මගේ බළඇණිය පස්සට අරගෙන මුහුද පැත්තට ගියා. එල්.ටී.ටී.ඊ. ඒක හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. නමුත් ඉන් එහා පැත්ත ‍පොයින්ට් පේදුරු සතුරු භූමිය විවෘතයි.
ඒ පැත්තට දැම්මා කොමාන්ඩෝ භටයන්ව. නමුත් ඔවුන් අතර ‍පොඩි හිඩැසක් තිබුණා. එන්න ඒ අවස්ථාවේ ප්‍රභාකරන් ඇතුළු පිරිස පැන ගත්තා. ඒ දවස්වල වැල්වැටිතුරෙයිවල තමයි ප්‍රභාකරන් හිටියේ.
ප්‍ර: දේශපාලන බලපෑමක් නිසා ප්‍රභාකරන් අල්ලන්න බැරිවුණා කියලා කතාවක් ගියානේ. ඒ කතාව මොකක්ද?
පි: නෑ… ඒ ඊට පස්සේ. ඒ කියන්නේ අපි ‍පොයින්ට් පේදුරුත් අල්ල ගත්තට පස්සේ. ඒ දවස්වල අපි ගජබා රෙජිමේන්තුව යාපනේ භාර ගන්නකොට මුළු පළාතෙම තිබුණේ කඳවුරු හයක් විතරයි. එළියටවත් බහින්න බෑ. මේ කඳවුරු හයම වට කරලා තිබුණේ. කෑම ගේන්නේ හෙලිකොප්ටර්වලින්. පුදුම සටනක් දීලා තමයි කෑම ටික බා ගත්තේ. ජෙනරල් විමලරත්න තමයි අපි මෙහෙම ඉඳලා හරියන්නේ නෑ, කියලා ‍පොඩ්ඩ ‍පොඩ්ඩ මේ කඳවුරු පළල් කරන්න පටන් ගත්තේ. ඒක යුද්ධයකට යන්න මූලික පෙරහුරුවක් වුණා. එහෙම කරලා තත්ත්වයකට ගෙනාවට පස්සේ තමයි මේක සම්පූර්ණයෙන් ශුද්ධ කරන්න ඕන කියන අදහස ඇතුව වඩමාරච්චි ක්‍රියාන්විතය පටන් ගත්තේ. ඔන්න ඔය වඩමාරච්චි මෙහෙයුම තමයි ඉන්දියානු මැදිහත් වීම නිසා අතරමග නතර කරන්න සිද්ධ වුණේ.
ප්‍ර: ඉන්දියාවෙන් ඇවිත් ගුවනින් පරිප්පු දැම්මේ ඔය අවස්ථාවේ නේද?
පි: ඔව්. ඉන්දියාව ඇවිත් උඩින් පරිප්පු දානකොට මම එහේ.
ප්‍ර: සරත් ෆොන්සේකා මහත්තයා කියලා තිබුණා ඔය වඩමාරච්චි මෙහෙයුම ලොකු මෙහෙයුමක් ‍නෙවෙයි කියලා.
පි: එයා එහෙම කියන්නේ වඩමාරච්චි ඔපරේෂන් එකට එයා සම්බන්ධ වුණේ නෑ. මං හිතන්නේ එයා ඒ වෙනකොට පාඨමාලාවකට ගිහින් හිටියේ. ඒ හින්දා තමයි එයා කියන්නේ මේක වැඩක් නැති එකක් කියලා. මේ මෙහෙයුමෙන් තමයි පැහැදිලිවම ඔප්පු වුණේ ත්‍රස්තවාදී කණ්ඩායමකට දිගටම භූමියක් අල්ලාගෙන සිටීමට බැරි බව. ඒ වගේම සංවිධානාත්මක ප්‍රහාරයකට මුහුණ දීමට ශක්තියක් නොමැති බව. ඇත්තටම වඩමරච්චි මෙහෙයුම අපට දිගටම කරන්න ලැබුණා නම් එල්ටීටීඊ ප්‍රශ්නය අවසන් වෙන්නේ එදා. නමුත් අවාසනාවකට ඒ දේ සිද්ධ වුණේ නෑ.
ප්‍ර: නිවැරදි දේශපාලන නායකත්වයක් නැති වීම නිසා යුද්ධය වසර තිහකට වැඩි කාලයක් ඇදිලා ගියා?
පි: ඔව්. ඉතිං හොඳම උදාහරණය තමයි වඩමාරච්චි ක්‍රියාන්විතය නැවැත්වීම. අපි මේ ක්‍රියාන්විතයට ගියේ හොඳින් පුහුණුවීම් කරලා. ඉතාම සංවිධානාත්මකව. සොල්දාදුවන්ගේ මානසික තත්ත්වය තිබුණේ ඉහළ තැනක.
මේ ක්‍රියාන්විතයේ සාර්ථකත්වය නිසාම තමයි ඉන්දියාව මේකට අත දැම්මේ. මොකද ක්‍රියාන්විතය අවසන් කළා නම් එල්ටීටීඊ සංවිධානයත් අවසන් වන බව ඔවුන් දැක්කා. කොහොම හරි ඉන්දියානු මැදිහත්වීම මත වඩමාරච්චි මෙහෙයුම නතර වුණා.
ප්‍ර: ඔය ආසන්න කා‍ලේදීම නේද ඉන්දියන් හමුදාව ආවේ?
පි: ඔව්. ඉන්දියන් හමුදාව ආවා. ඊට පස්සේ අපි කොළඹ යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කළා. ඔය කා‍ලේ දකුණේ ජවිපෙ එක තදින්ම ක්‍රියාත්මක වෙන කා‍ලේ. කොළඹට ඇවිත් මුලින්ම විද්‍යාලංකාරේ කෑම්ප් එකක් දැම්මා. ඔය අතරේ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරියෙක් විදිහටත් වැඩ කළා. එහෙම ඉන්නකොට මට ඇමෙරිකාවේ පාඨමාලාවකට යන්න අවස්ථාව උදා වුණා. ඇමෙරිකාවේ පුහුණුවෙන් පස්සේ ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා හැටියට සහ මාත‍ලේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙසින් මාත‍ලේට ගියා. ඒ වෙනකොටත් ජවිපෙ කලබල
මාත‍ලේ ටික කාලයක් හිටියා. ඊට පස්සේ ආරම්භ වුණා දෙවැනි ඊළාම් යුද්ධය මම මගේ හමුදා ඛණ්ඩයත් අරගෙන ගියා වැලිඔය. ඔහොම ඉන්නකොට දවසක් මට ජෙනරල් කොබ්බෑකඩුව වව්නියාවට එන්න කියලා පණිවුඩයක් එවලා තිබුණා. මම යන කොට සරත් ෆොන්සේකත් ඇවිත් හිටියා. ඒ වෙලාවේ ජෙනරල් කොබ්බෑකඩුව කිව්වා යාපනේ කොටුවේ අපේ සෙබළු හිරවෙලා ඉන්නවා. මේක ඉතා අමාරු ක්‍රියාන්විතයක්. ගොඩක් මිය යන්න ඉඩ තියෙනවා. නමුත් අපි මේ අයව බේරගන්න ඕන. ඒ සඳහා ඔය දෙන්නගේ බළඇණි දෙක තමයි තෝරගත්තේ කියලා. අපි ඒ මෙහෙයුම පටන් ගත්තේ කරෙයිනගර්වලින් විශාල පරිශ්‍රමයක් දරලා අපි කොටුව බේරා ගත්තා. මේකට බළඇණි දෙකයි ගියේ. එකකට මං අණ දුන්නා. අනිකට අණ දුන්නෙ සරත් ෆොන්සේකා.
ප්‍ර: ඔබ පැවසුවා රංජන් විජේරත්නගේ මරණය තමයි ඔබට හමුදාවෙන් ඉවත් වෙන්න බලපෑවේ කියලා. කොහොමද රන්ජන් විජේරත්නව දැන හඳුනා ගත්තේ.
පි: මම රන්ජන් විජේරත්න මහත්මයව හැඳින ගත්තේ මාත‍ලේදී. මම බළඇණියත් එක්ක මාත‍ලේට ගියාම එහේ හිටපු මන්ත්‍රීවරු රන්ජන් විජේරත්න මහත්තයට කියලා තියෙනවා කොහොමද අපි වැඩ කරන්නේ, මෙහාට එවලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ මල්ලි කෙනෙක්නේ කියලා. මහින්ද රාජපක්ෂ ජවිපෙ එකට ස‍පෝට් කරනවා අපිට විරුද්ධව. ඒ නිසා මේක ගැටලුවක් කියලා. රන්ජන් විජේරත්න මේ ගැන කියලා තියෙනවා හමුදාපති වනසිංහ මහත්තයට. හමුදාපතිතුමා ජෙනරාල් විමලරත්නට කියලා තියෙනවා අපි මෙයාව මාරු කරලා වෙන කෙනෙක් මෙතනට දාමු කියලා. ජෙනරල් විමලරත්න ගජබා රෙජිමේන්තුව භාරව හිටියේ. ජෙනරල් විමලරත්න කියලා තියෙනවා හමුදාපතිට සම්බන්ධීකරණ නිලධාරී තනතුර දෙන්නෙ ආණ්ඩුවෙන් නිසා ඒකෙන් මාව අයින් කළාට කමක් නෑ, නමුත් එයා ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි තනතුරෙන් ඉවත් කරන්න බෑ කියලා. මොකද හමුදා අණදෙන නිලධාරි තනතුර එයාට හිමි දෙයක් කියලා. ඒ වගේම සම්බන්ධීකරණ නිලධාරී තනතුරෙන් එයාව ඉවත් කළාම බළඇණියත් එක්කම එයා කොහේට හරි යවන්න, ඒකට කමක් නෑ කියලා. මේ තත්ත්වය ගැන හමුදාපති කියලා තියෙනවා රන්ජන් විජේරත්න ඇමැතිතුමාට. රන්ජන් ආවා දවසක් මාව හමුවෙන්න. පස්සේ මං ඔහුට පැහැදිලි කළා මොකක්ද මගේ සැලසුම කියලා. සාකච්ඡාව අවසාන වෙලා කෑමත් කාලා අවසානයේ මාව තනියෙන් මුණ ගැහිලා රන්ජන් විජේරත්න මට කිව්වා මේ පළාතේ මන්ත්‍රීවරු මට කිව්වා ඔයා ඉවත් කර දෙන්න, මොකද ඔයා මහින්ද රාජපක්ෂගේ මල්ලි නිසා. ඒ නිසා මං යුද හමුදාපතිට ඕක කිව්වම ඔහු මට කිව්වා ඔබ දක්ෂ අවංක නිලධාරියෙක් කියලා. ඔයා මේ වැඩ ටික කරගෙන යන්න. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් වෙන අයට කියන්න යන්න එපා. මට දන්වන්න. මං ඒක බලාගන්නම් කියලා.
අපි යාපනේ මණ්ඩතිව් අල්ල ගත්තු වෙලාවෙත් රන්ජන් විජේරත්න ඇවිත් මට ස්තුති කළා. ඒ ක්‍රියාන්විතය හොඳට කළා කියලා. මට ඔහු ගැන විශාල විශ්වාසයක් ඇති වුණා. දෙයක් කළ හැකි පුද්ගලයකු වශයෙන්.
ඊට පස්සේ මම බළඇණියක් අරගෙන ආවා පදවියට. මම පදවියේ ඉන්න කා‍ලේ ඉංග්‍රීසි පත්තරේක පළ වී තිබුණා මම විශ්‍රාම ගන්න යනවා කියලා.
ප්‍ර: ඒ කොයි කාලෙ විතරද?
පි: 1990
ප්‍ර: එතකොට ඔබේ තනතුර
පි: ලුතිනන් කර්නල්
ප්‍ර: ඊට පස්සේ
පි: රන්ජන් විජේරත්න මේක දැකලා මුලින්ම කතා කරලා තියෙන්නෙ මහින්ද අයියට. කතා කරලා කිව්වලු ‘ඔයාගේ දේශපාලනේ ඔයා කරගන්න. ගෝඨාභයට හමුදාවේ වැඩ ටික කරගෙන ඉන්න දෙන්න’ කියලා. එතකොට මහින්ද අයියා කියලා තියෙනවා ‘මමත් කියන්නේ එයාට අයින්වෙන්න එපා කියලයි. එයාට ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් එක ලැබෙනවා. සමහර විට ඒක හින්දා වෙන්න ඇති ඔය යන්න හදන්නේ. මමත් කියන්නේ එයා මෙහේ හිටියොත් හොඳයි කියලා.’ කියලා මහින්ද අයියත් කිව්වලු.
ඔය අතරේ ජෙනරල් වනසිංහ මට කෝල් කරලා කිව්වා ඇවිත් මිනිස්ටර් හමුවෙන්න කියලා. එතකොට ඒ ප්‍රදේශය භාරව සිටියේ ජානක පෙරේරා. ජානක පෙරේරා එදා නිවාඩු ගිහින්. මං කිව්වා ‘සර් ජානක පෙරේරා නිවාඩු ගිහින්. මට යන්න වෙන්නේ නෑ. මං ජානක ආවම එන්නම්’ කියලා.
ඊට පස්සේ මට සිග්නල් එකක් ආවා රන්ජන් විජේරත්න මාව මුණගැහෙන්න එනවා කියලා. ඇවිත් ප්‍රදේශයේ තත්ත්වය සාකච්ඡා කරලා දවාලට කෑමත් කාලා එළියේ තිබුණා ලොකු ගහක්. ඒකේ යට ඉන්න ගමන් මගෙන් ඇහුවා ‘මොකක්ද මේ විශ්‍රාම යනවා කියලා තියෙන කතාව, කොහේ යන්නද යන්න එපා’ කියලා. මම කිව්වා ‘තවම මං එහෙම තීරණයක් අරගෙන නෑ. වැරදි නිව්ස් එකක් පත්තරේ ගිහින් තියෙන්නේ’ කියලා. එවෙ‍ලේ රන්ජන් විජේරත්න මට කිව්වා ‘ඔයා දැන් සෑහෙන කාලයක් මේ පළාතේ හිටියා. දැන් කොළඹට යන්න කියලා. නමුත් මම ඒකට කැමැති වුණේ නැහැ. මොකද හමුදා ඛණ්ඩයක් අණ දීමට ලැබිම තමයි හමුදා ජීවිතේ අපි ලබන ලොකුම සතුට. ඒ නිසාම මං නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාගේ යෝජනාව ප්‍රතික්‍ෂේප කළා. නමුත් ඔහු හමුදාපතිට කියලා මාව දැම්මා කොතලාවල ආරක්ෂක ඇකඩමියේ උප අණ දෙන නිලධාරි හැටියට. ඇත්තටම මගේ ඒකට එච්චර කැමැත්තක් තිබුණේ නෑ. මම එතැන වැඩබලන කා‍ලේ තමයි රන්ජන් විජේරත්න මරුමුවට පත් වුණේ.
එතකොට මම හිටියේ කොළඹ සමුළු නිවාසවල තිබුණු මගේ ගෙදර. එදා සෙනසුරාදා දිනයක්. රන්ජන්ට තියපු බෝම්බේ පිපිරුණු කම්පනයට මං හිටිය සමිට්ස් ෆ්ලැට් එකේ ගෙදර සිවිලිම කඩාගෙන වැටුණා. ඒක ඒ තරම් ලොකු බෝම්බයක්.
රන්ජන් ඉතාම නිර්භීතව තීන්දු තීරණ ගත්තු කෙනෙක්. ඔහු ක්‍රියා කළ ආකාරය ගැන මගේ ලොකු පැහැදීමක් තිබුණා. ඔහුගේ මරණින් පස්සේ මට හිතුණා දැන් විශ්‍රාම යන්න ඕන කියලා. ඔය සිද්ධිය තමයි මට විශ්‍රාම යන්න බලපාන්නේ.
ප්‍ර: ඔබ යුද්ධයට බයේ රටින් පැන්නා කියන කතාව එතකොට මුසාවක්.
පි: මම හමුදාවේ හිටියේ ලොකුම ක්‍රියාන්විත ගිය කා‍ලේ. ඒ වගේම අමාරුම කා‍ලේ. ඊට පස්සේ මට ආවේ අමාරු කාලෙ ‍නෙවෙයි. මොකද ඊළඟට මට තිබුණේ ඊළඟ උසස් වීමට යන්න. එතකොට වගකීම් වැඩියි. නමුත් බය වෙන්න කිසිම හේතුවක් නෑ. බය වෙන්න ඕන කා‍ලේ තමයි මං හිටියේ. ඒ කා‍ලේ හිටිය ඕනෑම හමුදා නිලධාරියකුගෙන් ඇහුවොත් කියාවි කව්ද ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කියලා. ඒ දවස්වල කරපු සෑම ක්‍රියාන්විතයකටම මම සම්බන්ධ වුණා. ඒ නිසා තමයි ඔය වීරත්වය වෙනුවෙන් දෙන සම්මාන සියල්ල මට ලැබුණේ ඒක දෙන්න පටන් ගත්තු මුල් සම්මානේ ඉඳලා මට ලැබුණා. ජේ.ආර්, ප්‍රේමදාස ඔය සියලු ජනාධිපතිවරුන්ගෙන් වීරත්වය සඳහා දෙන සෑම සම්මානයක්ම මට ලැබුණා.
ප්‍ර: ඔබ විශ්‍රාම ගියාට පස්සේ මොකද කළේ?
පි: මම ඊට පස්සේ ගියා ඇමෙරිකාවට. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක රැකියාවක් මට ලැබුණා.
ප්‍ර: 2005 මහින්ද රාජපක්ෂ, ඔබේ සහෝදරයා මේ රටේ ජනාධිපති ධුරයට පත් වීමත් සමග ඔබ ආරක්ෂක ‍ලේකම් ධුරයට පත් වෙනවා. කොහොමද මේකට අවශ්‍ය පසුබිම සකස් වුණේ.
පි: මහින්ද අයියා ඡන්දෙට ඉල්ලනවා කිව්වම මම මාස තුනක නිවාඩු දාලා ලංකාවට ආවා. මොකද ඒ වෙලාවේ එයාට උදව් කරන්න ඕන නිසා. ඡන්දේ ප්‍රතිඵල තීරණය වෙන්න තිබුණේ අම්පාරේ ඡන්ද ප්‍රතිඵලවලින්. අම්පාරෙත් අපි දිනලා කියලා දැනගත්තම මහින්ද අයියා මාව හොයාගෙන ආවා. එතකොට මම හිටියේ අරලියගහ මන්දිරේ කොරිඩෝවෙ. මං ළඟට ඇවිත් කිව්වා ගෝඨා ඔයා ආරක්ෂක ‍ලේකම් තනතුර භාරගන්න ඕන කියලා.
ප්‍ර: මොකද ඒ වෙලාවේ හිතුණේ.
පි: ඇත්තටම මම එහෙම දෙයක් ගැන හිතලවත් තිබුණේ නෑ. මම කිව්වා “මං කල්පනා කරලා බලන්නම්” කියලා. මොකද ඒ වෙනකොට මං ඇමෙරිකාවේ හොඳ රැකියාවක් කරනවා. බිරිඳයි දරුවයි ඒ වෙනකොටත් හිටියේ එහේ. ඔතන ලලිත් වීරතුංගත් හිටියා. ලලිතුත් මට කිව්වා ගෝඨා ඔයා තමයි මේකට හොඳම කෙනා. ඔයා මේක භාරගන්න කියලා. ඇත්තටම ඒ ගැන කල්පනා කරනකොට මම යුද්දේ හිටපු කෙනෙක් නිසා, ඒවාගේ අඩුපාඩු හදාගත යුතු දේවල්. අපිට මගහැරුණු තැන් ගැන හොඳ අවබෝධයක් මට තිබුණු නිසා මම හිතුවා මට මේ තනතුර කරන්න පුළුවන් කියලා. මට හිතුණා මේ අභියෝගය භාරගන්න ඕන කියලා.
ප්‍ර: ඇත්තටම එදා ආරක්ෂක ‍ලේකම් ධුරය භාරගන්න මොහොතේ ඔබට හිතුනද එල්ටීටීඊ සංවිධානය ‍පොළොවට සමතලා කරන්න ඔබට පුළුවන් වේවි කියලා.
පි: මෙහෙමයි, මේක ‍ලේසි පහසු කාර්යයක් නොවෙයි, අභියෝගයක්. ඒ වගේම ජීවිතේට තියෙන තර්ජනය ගැන මට ලොකු අවබෝධයක් තිබුණා. මේ අභියෝගය භාර ගත්තු ගමන් මං එල්ටීටීඊ එකේ ඉලක්කයක් වන බව දැනගෙන හිටියා. ඇත්තටම මම ඒ වෙනකොට දැනගෙන හිටියා යුද්ධය ජයග්‍රහණය කරන්න නම් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් මොනවද කියලා. ජනාධිපතිතුමා මගේ සහෝදරයා. ඒ නිසා අවශ්‍ය දේවල් කරගන්න පුළුවන් කියලත් මම දැනගෙන හිටියා.
ප්‍ර: යුද්ධය ජයග්‍රහණය කිරීමට නම් වහාම කළ යුතු දේවල් හැටියට ඔබ තේරුම් ගත්තු දේවල් මොනවද?
පි: එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමට නම් අපිට විශාල හමුදා බලයක් අවශ්‍යයි කියලා මං තේරුම් ගත්තා. ඒක දිගින් දිගටම සිද්ධ වුණේ නෑ. ඒ වගේම මම
දැනගත්තා ජනාධිපතිතුමා ලවා මට ඒවා කරගන්න පුළුවන් කියලා.
අපි සෑම අතින්ම එල්ටීටීඊ සංවිධානයට වඩා ඉදිරියෙන් හිටියේ. පුහුණුව, හමුදා ප්‍රමාණය, යුද ශක්තිය සියල්ලම අතින්. එහෙම තිබියදීත් ඇයි අපි පරාජය වෙන්නේ. අපි පරාජය වුණේ එකම තීරණයක නොසිටීම නිසා කියලා මට අවබෝධ වුණා. එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කරනවාය කියන අදහසේ අපි කොයි වෙලාවකවත් හිටියේ නෑ. අපි වැනුණානේ. එහෙම අස්ථාවර බවකින් මේක කරන්න බෑ, නොසැලෙන තීරණයක ඉන්නවා නම් මේක අපිට අවසන් කරන්නට පුළුවන් බව මම දැනගෙන හිටියා.
ඒ වගේම තමයි දේශපාලන නායකත්වය, නොසැලෙන නායකත්වයක් මේකට ලැබුණොත් අපිට මේක ජය ගන්න පුළුවන්ය කියලා මට ඒ කා‍ලේ ඉඳලම තේරුණා. කාරණා තුනයි මගේ ඔළුවේ තිබුණේ, ස්ථිර අධිෂ්ඨානයක්. ඒකට අවශ්‍ය හමුදා බලයක් හා මෙය ක්‍රියාවට නගන්න ඕන දේශපාලන නායකත්වයක්. මේ තුන සම්පූර්ණ නම් එල්ටීටීඊ සංවිධානය පරාජය කරන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. මට කිසිම වෙලාවක හිතුනේ නෑ මේක කරන්න බෑ කියලා. නමුත් මා මේ ගැන කතා කරපු සෑම කෙනෙක්ම, හිටපු හමුදා නිලධාරින්, ඉන්න හමුදා නිලධාරින්, පිටරටින් ආපු අය මේ හැමෝගෙන්ම මට ලැබුණු ඉඟිය තමයි මේක කරන්න බෑ කියන එක. මොකද ආපු ගමන් සෝඩා බෝත‍ලේ කැඩුවා වගේ ගොඩක් අය මේක කරන්න උත්සාහ කරනවා. නමුත් එරෙනවා. ඕක තමයි හැමෝම දැකලා තිබ්බේ. ඒ මානසිකත්වය ටික ටික වෙනස් කරන්න මට පුළුවන් වුණා.
ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ හමුදාවට බඳවා ගැනීම් සම්බන්ධයෙන්. නමුත් අපි ජනතාවට මතයක් දුන්නා මහින්ද රාජපක්ෂ මොන බාධකය ආවත් නොනවත්වා මේ යුද්ධය ජයග්‍රහණය දක්වා ගෙනියනවා කියලා. එක කාලයක් තිබුණා අපි මාසෙකට අටදාහක් ත්‍රිවිධ හමුදාවට හා ‍පොලිසියට බඳවා ගත්තා. මේ විදිහට අවුරුදු දෙකක් තිස්සේ අපි කොච්චර හමුදාවට බඳවා ගත්තද බලන්න.
ප්‍ර: සරත් ෆොන්සේකා හමුදාපති වශයෙන් පත් කිරීම මේ ක්‍රියාවලියේ තීරණාත්මක සාධකයක්. කොහොමද ඊට පසුබිම සකස් වෙන්නේ?
පි: සරත් ෆොන්සේකා මං කැඩෙට් ඔෆිසර් හැටියට ඉන්න කා‍ලේ ඉඳලා හොඳට දන්න කෙනෙක්. නමුත් මගේ මිත්‍රයෙක් ‍නෙවෙයි. ඔහුට වඩා එතකොට හිටිය යුද හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ මගේ මිත්‍රයෙක්.
දවසක් මෙහෙම සිද්ධියක් වුණා. එතකොට අගමැති මහින්ද අයියා. කැලණිය පන්සලෙන් සුනාමි ගෙවල් වගයක් හදලා ඒක හම්බන්තොට ජනතාවට නිල වශයෙන් භාර දෙන්න හම්බන්තොට යන දවස. මහින්ද අයියා මටත් කතා කළා යමු කියලා. අපි කාර් එකෙන් රත්මලානට ගිහින් එතනින් හෙලිකොප්ටර් එකේ වීරවිලට ගිහින් තමයි හම්බන්තොට ගියේ. ගෙවල් 50 ක් හදලා තිබුණා. අගමැති ගියේ ඒ ගෙවල් බාර ගන්න. ගෙවල් හදපු හරියට යනකොට තොරණ් ගහලා උත්සවාකාරයෙන් අගමැතිතුමා ඇතුළු පිරිස පිළිගත්තා. මමත් පෙරහරේ පස්සෙන් ගියා. ඔහොම යනකොට මං දැක්කා ලොකු පලුගහක් යට සරත් ෆොන්සේකායි එයගෙත්, යාළුවෙක්, මගෙත් යාළුවෙක් වෙන පද්මසිරි හපන්ගමයි ඉන්නවා. දෙන්නම ඉන්නෙ අර පලුගහයට. මම අර කණ්ඩායමෙන් මගඇරලා මේගොල්ලො හිටපු තැනට ගියා. ගිහින් හලෝ කියලා ආ ගිය විස්තර කත කළාට පස්සේ පද්මසිරි මට කිව්වා “ගෝඨා, ලොක්කා ජනාධිපති වුණාම සරත්ව හමුදාපති කරන්න ඕන” කියලා. මාත් කිව්වා හරි කරමු… කරමු කියලා. ඔන්න ඔය වෙලාවේ තමයි මුලින්ම ඔය අදහස ආවේ.
ජනාධිපතිවරණ කැම්පේන් එක යන අතරේ වරින්වර සරත් මගෙන් ඒ ගැන තොරතුරු අහනවා. දිනලා මම ආරක්ෂක ‍ලේකම් වෙනකොට තව සති දෙකයි තිබුණේ සරත්ට විශ්‍රාම ගන්න. ‘ගෝඨා ශාන්තව මාරු කරලා මට වැඩේ ඉක්මනට දෙන්න” කියලා සරත් දැන් නිතරම මට කරදර කරනවා. මම මහින්ද අයියා හමුවෙලා කිව්වා දැන් අපිට යුද්ධය කරන්න තියෙනවා. ඒකට සරත් ෆොන්සේකා තමයි ඉතාම හොඳ. ඔහු හමුදාපති කරමු කියලා. එතකොට මහින්ද අයියා කිව්වේ ශාන්ත කෝට්ටේගොඩට තව අවුරුදු එකහමාරක් තියෙනවා.අපි කොහොමද කිසි හේතුවක් නැතිව එයාව යවන්නේ කියලා. ජනාධිපතිවරයා හැටියට මහින්ද අයියා ලොකු අභියෝගයකට මුහුණ දීලා හිටියේ. මම දිගින් දිගටම බලපෑම් කළා මේ වැඩේ වෙන්නම ඕන කියලා. මහින්ද අයියා බොහෝ දෙනකුගෙන් මේ කාරණය ගැන අහලා තිබුණා. වැඩි දෙනෙක් කියලා තිබුණේ සරත්ට හමුදාපති කම දෙන්න එපා කියලා. ජනාධිපතිතුමා ළඟින් ආශ්‍රය කරපු විශ්‍රාම ගියපු හමුදා නිලධාරියෙක් හිටියා එම්. ඩී. ප්‍රනාන්දු කියලා. මම දන්නවා එයාගෙනුත් මේ ගැන අහනවා කියලා. මම මහින්ද අයියා අහන්න ඉස්සරවෙලා එයාට මේ විස්තරේ කිව්වා. “අපි මෙයාව හමුදාපති කරමු. හැබැයි හුඟක් අය මේකට විරුද්ධයි” කියලා මං කිව්වා. එයා මගෙන් ඇහුවෙ ‘කොල්ලො උඹට මේකා විශ්වාසද?’ කියලා. මම විස්තර කිව්වම කිව්වා හා… හා… මගෙන් ඇහුවම මම විස්තර කියන්නම්කෝ කියලා. එයාගෙන් ජනාධිපතිතුමා මේ ගැන අහපු වෙලාවේ එයා කියලා තිබුණා මේක කරන්න කියලා.
ඔය අතරේ මට ශාන්ත කෝට්ටේගොඩ කතා කළා. කතා කරලා කිව්වා ‘මම මාරු කරන්න යනවා කියලා අදහසක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. හැබැයි මම කළේ එවකට තිබුණු ආණ්ඩුව මට කියපු දේ. ඒ අයට ඕන වෙලා තිබුණේ සාම කතා, ඒ දේවල් තමයි මට කරන්න සිද්ධ වුණේ. හැබැයි අලුත් ජනාධිපතිතුමා යුදමය පිළිවෙතකට යනවා නම් මං ඒකට ලෑස්තියි” කියලා. ඒ වගේම එයා කිව්වා කොහොම වුණත් මට ජනාධිපතිතුමාව හමුවෙන්න ඕන කියලා ජනාධිපතිතුමා මේ කතාවෙන් පස්සේ ඉතා අසීරු තත්ත්වයට පත් වුණා. ජනාධිපතිතුමා අන්තිමට කිව්වා. ශාන්ත ඔයා හමුදාපති වුණානේ. හැබැයි ඔයාගේ යාළුවා සරත් ෆොන්සේකා හෙට අනිද්දා විශ්‍රාම යනවා. එයාට යන්න වෙන්නේ හමුදාපතිකමක් නැතුව. අපි මේ වෙලාවේ සරත්ට හමුදාපතිකම දෙමු, එතකොට එයත් හමුදාපති කෙනෙක් වෙලා විශ්‍රාම යනවනේ කියලා ශාන්ත මගෙන් ඕනෑම දෙයක් ඉල්ලන්න, ඒ ඉල්ලන ඕනෑම දෙයක් මම දෙන්නම් කියලා. ශාන්ත ඒකට කැමැති වුණේම නෑ. ඔන්න ඔය වගේ වාතාවරණයක් යටතේ තමයි අපි සරත් ෆොන්සේකාව හමුදාපති කළේ.
ඔය අතරෙත් විවිධ බලපෑම් ආවා. සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරෙන් ඉවත් කරන්න කියලා. විශේෂයෙන් හමුදාවේ ඇතුළේ නිලධාරින්ගෙන් මෙයා විශාල වශයෙන් පළිගන්නවා කියන එක මෙයාට තිබුණු ප්‍රධාන චෝදනාවක්.
වසන්ත කරන්නාගොඩයි, සරත් ෆොන්සේකයි අතර ගැටුමක් ඇති වුණානේ. ඒකත් මෙයා අයින් කරන්න කියලා ඉල්ලීම් එන්න හේතුවක් වෙන්න ඇති. තවත් එකක් සරත් ෆොන්සේකා දිගටම තියා ගන්න ඕන නම් අවුරුද්දකට වරක් එයාගේ සේවය දීර්ඝ කරන්න වෙනවා. ඔන්න ඔය තත්ත්වය දීර්ඝ කරන්න යන කාලෙට තමයි මෙයාට විරුද්ධව බලපෑම් එන්නේ. සරත් නන්ද සිල්වා හිටපු අගවිනිසුරුතුමා දැඩි මතයක හිටියා මෙයා මාරු කළ යුතුයි කියලා. ඒක නොකිරීම එතුමා යම් මට්ටමකින් කලකිරීමටත් හේතුවක් වුණා.
ප්‍ර: සරත් ෆොන්සේකා හමුදාපති කිරීම යුද්ධය ජයග්‍රහණය කිරීම පැත්තෙන් ඔබ ගත් සාර්ථක තීරණයක්ද? නැත්නම් අසාර්ථක තීරණයක්ද?
පි: හමුදාපතිවරයෙක් වශයෙන් එයාගෙන් මම බලා‍පොරොත්තු වූ දේ ඉෂ්ට වුණා. එයාගෙන් විතරක් ‍නෙවෙයි වසන්ත කරන්නාගොඩගෙන් සහ රොෂාන් ගුණතිලකගෙන් මට අවශ්‍ය ඒ හමුදාමය සහයෝගය ලැබුණා. ඒ නිසා තමයි අපිට මෙවැනි ජයග්‍රහණයක් කරන්න පුළුවන්කම ලැබුණේ.
සාකච්ඡා කළේ : චන්දන කාරියවසම්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.