ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 23, 2016

යමක් දිහා බලලා ලොකු කතාන්දරයක් හිතින් මවා ගන්න එදත් මං හපනෙක්. !!!

මම කුරුමිට්ටන් වැඩට ගන්නෙ නෑ; මට ඕනෙ යෝධයො...

සිතිවිලි අතින් යෝධයො

ගාමිණි සපරමාදු
සභාපති - කෙන්ට් හෝල්ඩින්ග්ස්

ගිනිදැල් මත සියල්ල දැවෙන විට ඇතිවන වේදනාවත් අළු මතින් යළි නැඟිටින විට දැනෙන පන්නරයත්
ඔහුගේ ජීවිතයට ප්‍රහර්ෂය ගෙනාවේය. වටිනාකමක් එක් කළේය. ගාමිණි සපරමාදු නම් ඔහුගේ වෘත්තීය ජීවිතයට පදනම වැටුණේත් ව්‍යාපාරික ලොව ස්ථාවර වූයේත් දිනෙක තරුවක් බවට පත් වූයේත් ඒ සියල්ල හේතුවෙනි.

හැකියාවන් ශරීර ගතව, එහෙත් එළියට එන්නට මඟක් නොමැතිව දුක් විඳින මිනිසුන්ට ඔහු පූර්වාදර්ශයක් ම වන්නේ ය.

• ඔබ, ඡායාරූප කලාවේ අලුත් මානයක් සොයා යන කෙනෙක් ද.... ව්‍යාපාරිකයෙක් ද...
මං බොහොම සරල මනුෂ්‍යයෙක්. එක තැන රැ‍ඳෙන්න කැමැති නැති කෙනෙක්. මං හොයන්නෙ මාවම විතරයි. මට අභියෝග තියෙන්නෙ මා එක්ක විතරයි. මං රණ්ඩු කරන්නෙත් මා එක්කමයි. එතකොට මං තුළ ඉන්න ඒ අලුත් දේවල් සොයන මිනිසා ඉස්මතු කරගන්න ලේසියි. ව්‍යාපාරිකයකුට වඩා මගේ ජීවිතය වෙනස්.
• හොඳ ව්‍යාපාරිකයෙක් කියන හැඳින්වීමට ද හොඳ ව්‍යවසායකයෙක් කියන හැඳින්වීමට ද ඔබ වඩා කැමැති...?
සාර්ථක ව්‍යවසායකයෙක් කියන හැඳින්වීමට. ඔහු, තමන්ට පමණක් නෙවෙයි සමාජයට මුදල් උපයන්නෙක්. රටක පවුල් ආර්ථිකය ගොඩනඟන්නෙක්. ව්‍යාපාරයකට වඩා ඔබ්බට ගිය අරමුණු එහි තිබෙනවා.
• ඔබ සමාගමට අයත් ව්‍යාපර කොයිතරම් තිබෙනවද...
එකොළහක්. ඒවා බොහොමයක් ‘Value added’ සංකල්පයේ ව්‍යාපාර. බොහෝවිට ගනුදෙනු කරන්නේ ජාත්‍යන්තරයත් එක්ක. Picture framing තමයි ලංකාවේ මිනිසුන් අතරට ගිය ව්‍යාපාරය. ඊට අමතරව දේවස්ථාන සරසන stainglass, පිටරට යවන විසිතුරු ඇසුරුම් පෙට්ටි... සම්මාන කුසලාන හා ඵලක නිර්මාණය... ඉන් කිහිපයක්.
Kent හදන්නේ ඉහළ පැළැන්තියට ද...
එහෙම එකක් නැහැ. කොලිටිය උසස් නම් පරම්පරා තුන හතරක් පවතිනවා නම් ඒ නිෂ්පාදනයට ඉහළ පිරිවැයක් යනවා. ඔබ ගාණ වැඩියි කියලා හිතනවා නම් ඔබ ඒ ගෙවන්නේ දිගු කල් පැවැත්මට සහ කොලිටියට. ඒකට පැළැන්තියක් නැහැ.
• මොකක්ද Kent අර්ථය...
එංගලන්තයේ ප්‍රාන්තයක්. Kent ප්‍රාන්තයට සහ Kent යුනිවර්සිටියට මං අතිශය කැමැතියි. ටික කාලයක් මං එහි ඉගෙන ගත්තා. මගේ, ‘Photo grafix‘ ආයතනය තිබූ කාලෙ Kent කියලා ආයතනයක් ඒ ඇතුළෙ තිබුණා. 1990 න් පසුයි Kent නම ප්‍රචලිත වුණේ.
• ඔබ සභාපති, කවුද Kent නිර්මාතෘ....
මම සහ මම පමණයි, මගේ බිරිය Kent සමූහයේ එක සමාගමක අධ්‍යක්ෂවරියක්.
• ඔබ හොඳ නායකයෙක් කියලා හිතනවද...
ඇත්තට ම මාත් මේ ටීම් එකේ සාමාජිකයෙක්. ඒ අය එක්ක මමත් වැඩ කරනවා. සේවකයන් තුළ බලය බෙදා හැර තියෙනවා. ඔවුන් සමහරවිට වැරැදි තීරණ ගනීවි. හැබැයි ඒවා වහාම නිවැරැදි කරන්නත් ඔවුන් වගබලා ගත යුතුයි. ඒකයි මගේ ක්‍රමය.
• මගේ ව්‍යාපාර දැක්ම තුළ තිබෙන සුවිශේෂ ම ලක්ෂණය කුමක් ද...
මං වැඩ කරන්නේ මනුෂ්‍යයො එක්ක. ඔවුන්ගේ ඉදිරි ජීවිතය මේ ආයතනය හා බැඳී තිබෙනවා. මං කුරුමිට්ටන්ව වැඩට ගන්නෙ නෑ. යෝධයෝ විතරයි මෙහෙ වැඩ කරන්නේ. මොකද සිතුවිලි සහ හැඟීම් අතින් යෝධයෝ නොවුණොත් ඔවුන්ට අනාගතයක් නැහැ.
• මොකක්ද ඔබේ Management style එක...
මං සියලුම නිලධාරින්ට කියන්නේ වැඩ කරන සීමාව තුළ සියලු ම දෙනාට ඔවුන්ගේ පරාසයේ වීරයන් වෙන්න ඉඩ දෙන්න කියන එක. ඔවුන්ගේ උපරිම ඥානය හා අලුත් සිතුවිලි, හැකියාවන් එළියට එන්නේ එතකොට. හැම දේටම ඇඟිලි ගහන, ගිහින් පිට උඩින් එබිලා බලන සිරිත මගෙත් නැහැ. Management එකෙත් නැහැ. මේ ව්‍යාපාරය තුළ දස පණත වගේ ඇදහිය යුතු, මා විසින් හැදූ, ‘හය පණතක්’ තිබෙනවා.
• මොනවද ඒ Six Commandments….
අතීතයේ කොතැනද හිටියේ... වර්තමානයේ කොතැනද ඉන්නේ.... අනාගතයේ මම ඉන්න ඕනෙ කොතැනද... ඒ වෙනුවෙන් ද මගේ අවධානය යොමු වී තිබෙන්නේ. කවදා ද මා ඒ ඉලක්කයට යන්නේ සහ එතැනට යන්නේ කෙලෙස ද... මේ හය පණත අපේ සමාගමේ සෑම සියලු දෙනාට ම පොදුයි. මං විතරක් දියුණු වෙලා මං විතරක් පෝසත් වෙලා වැඩක් නැහැ. සියලු ම සේවකයන් දවසක එතැනට යා යුතුයි.
• මේ තැනට ඔබ ඔසවා තැබුවේ කැපවීම ද... වාසනාව ද....
අංක එක කැපවීම, දෙක කැපවීම, තුනත් කැපවීමමයි. වාසනාව කියන්නෙ මොකක් ද? සූදානම් මනුෂ්‍යයකුට ලැබෙන අවස්ථාවක් පමණයි. ඒ හැරෙන්න මම වාසනාව ගැන දන්නෑ.
Kent පවුලේ ව්‍යාපාරයක්. තාත්තගෙන් දූට යන ව්‍යාපාරයක් ද...
ඇය එය උපයාගත යුතුයි. මගේ බිරිය විධායක අධ්‍යක්ෂවරිය වුණත් ඇයටත් තිබෙනවා Targets. ඇයත් තම අංශයේ ප්‍රගතිය පෙන්විය යුතුයි. බිරිය නිසා හෝ දුව නිසා විශේෂ වරප්‍රසාද හිමි වෙනවා කියලා එකක් මේ ව්‍යාපාරයේ නැහැ. performence කියන දේයි වැදගත්.
• ඒත් ඔබට ඉන්නේ එකම දුවක්...
අනුරාධා. ඇය තමයි මගේ පණ. ඉතා හොඳින් උසස් අධ්‍යාපනය නිම කළා. ඇයට Marketing හා Management Degree දෙකක් තිබෙනවා. CIM (UK) සුදුසුකම තිබෙනවා. දැන් සමාගමේ කළමනාකාර තැනෙකින් වෘත්තීය ජීවිතේ පටන් අරන්. වැඩ කරමින් ඉගෙන ගනිමින් අත්දැකීම් එක්ක ඉස්සරහට එන්නයි ඇයටත් උවමනා. මගේ දූ ගැන මට ආඩම්බරයි.
• එතකොට Kent සමාගමේ ඇරැඹුම...
මං කරමින් හිටි රස්සාව අත්හැරියා. මගේ ඉහළ නිලධාරීන් මට දොස් කිව්වා. මං කරන්න හදන්නෙ පීනන්න දන්නැතුව මුහුදට පනිනවා වගේ වැඩක් කියලා අවට හිටි හිතවතුන් මට හිනා වුණා. කූඹියෙක් වගේ එකතු කරපු සල්ලි ටිකත් අරගෙන මහා ලොකු දැනුමකුත් නැතිව ‘Mamiya - Hasselblad කැමරාවක් සහ උපකරණ ටිකකුත් අරගෙන, මං 1984 අවුරුද්දෙ Commercial photography ආයතනයක් ඇරැඹුවා. නම, ‘Photografix’.
• කවුරුවත් ඔබට උදව් කළේ ම නැද්ද...
හිටියෙ, මම සහ මම විතරමයි. මං පොත් කියෙව්වෙ එතැන් පටන්. මං තනියම කරපු පිංතූර අරන් ඇඩ්වර්ටයිසින් ආයතනවලට ගියා. ඔවුන් මට වැඩ දුන්නා. ඒවා කතා බහට ලක්වූ පිංතූර වුණා. 1984 කිසිම හව්හරණක් නැතිව පටන් ගත්තු මං, 1990 වෙනකොට අංක එකේ කලර් ලැබ් එකක්, ස්ටුඩියෝ එකක් හා ලොකේෂන් සහිත තට්ටු තුනේ සුවිසල් Studio එකක් නිදහස් චතුරස්‍ර මාවතේ හැදුවා. හොඳ ඡායාරූප ශිල්පියෙක් විය යුතුයි... හොඳම Studio එකක් හැදිය යුතුයි කියන, මා තුළ ම වූ ප්‍රාර්ථනාව මං කොහොම හරි ගැටගහගෙන ආවා.
• විශ්වාසය සහ අධිෂ්ඨානය ඔබේ ජීවිතය ඉලක්කය කරා රැගෙන ආවා කියල ද මේ කියන්නේ...
මට අවනත නැති මට පාලනය කළ නොහැකි මොකක්දෝ කුරිරු ඉරණමකුත් මං පස්සෙ එන වග දැනෙන්න මට ගත වුණේ ඔය ඉලක්කයට ඇවිදින් දෙමාසයකින්.
• මොකක්ද ඒ කතාව...
ඒ තමයි මගේ ජීවිතයේ ලොකුම කඩා වැටීම. ඒ වගේ ම Turning point එක. මාස දෙකකට පස්සෙ දවසක මගේ ඇස් ඉස්සරහම මගේ ආයතනය ගිනි දැල්වලින් වැහෙන හැටි මට දකින්න වුණා. බුර බුරා අහසට නැ‍ඟෙන ගින්දරින් තට්ටු තුනම අළු වුණා. වෙනදට පය තබපුවම අඟල් බාගයක් යට ගිය විල්ලුද කාපට් වෙනුවට එදා මං අඩිය තිබ්බේ අඟල් හතරක වතුර තට්ටුවකට. සුපිරි කැමරා ස්ටෑන්ඩ් උඩම පිච්චිලා. ලෝකෙ අති නවීන උපකරණවලින් පිරිලා තිබුණු මගේ studio එක කළු පාට සුන්බුන් ගොඩක්.
• ඇයි එහෙම විනාශයක් වුණේ...
උදේම වැඩට එන පියන් කොලුවා නිසා. ඒ කොලුවා හැමදාම එයාගෙ උවමනාවට දුම් අල්ලනවා. එදා දුම් කබල අවුලවන්න පෙට්‍රල් පාවිච්චි කරලා. පෙට්‍රල් දාගෙන ඉස්සරහට ම යද්දි දුම්කබලෙ සිදුරකින් කාපට් පුරා නූලක් වගේ පෙට්‍රල් වැටිලා. ගිනිකූර ගහපු ගමන් අර නූල දිගේ ගිනි අරගෙන ඇවිත් නැවතුණේ පෙට්‍රල් ජෙනරේටර් ළඟ. බෝම්බ පිපුරුවා වගේ මහා ගින්නක්. සුළු අත් වැරැද්දකින් සිදුවූ මහා විනාශයක්.
• ඒ කඩා වැටීම ඉස්සරහා ඔබ මොනවද හිතුවේ...
මට කරන්න තිබුණෙ දෙකයි. එකක් ඒ ගින්නට ම පැනලා මැරෙන එක. මොකද, නහයෙන් උඩට ගිය මහා ණය කන්දරාවක මං හිටියේ. අනෙක තමයි රටින් පැනලා යන එක. නමුත් මේ දෙකෙන් එකක්වත් නොකර මං අළු මතින් නැගිටින හැටි කල්පනා කළා.
• ඔබ සේවකයන්ට සමාව දෙන Boss කෙනෙක්ද...
කූඹියෙක් වගේ එකතු කරපු හැම දේම අළු කරලා, අපි තිස් දෙනකුට විතර රස්සා නැති කරලා හොඳටම පිච්චුණු ඒ කොලුව බලන්න මං ගියා. සනීප වෙනකල් උදව් කළා. කිසිම නීතිමය පියවරක් ගත්තෙ නැහැ. අවස්ථාවක් දුන්නා ආපහු රස්සාවට එන්න.
• ඔබ ඒ තරම් ඉක්මනට ආපහු නැගිට්ට ද...
මං වැඩ ඉල්ලගෙන හිතවතුන් ළඟට ගියා. මට තවම මතකයි ඒ එක කළමනාකරුවෙක් මාව ප්‍රතික්ෂේප කළ හැටි. ගාමිණි, ‘ඔයාගේ බඩු පිච්චිලා නේද... වැඩ කරන්න බැහැ නේද...’ කියලා ඔහු මාව මඟ හැරියා. මං මාව අත්හැරියෙ නැහැ. අට මාසයක් තුළ, තිබුණට වඩා ඉස්තරම් Studio එකක් මං ආපහු හැදුවා. වැටුණු හැම වෙලාවෙම මං ආපහු නැගිට්ටෙ මහා බලයක් ජවයක් ඇති මිනිහෙක් විදියට.
• ඔබ තරහා යන චරිතයක් ද...
වරද සමඟ මිස පුද්ගලයන් සමඟ තරහ පිරිමසින කෙනෙක් නෙවෙයි මම. හැබැයි මට හොඳට ම තරහා ගිය එක දවසක් තිබුණා. අර ගින්නට වගකිව යුතු කොලුවා සනීපවෙලා වැඩට ආවා. ඇවිත් ඇතුළු වෙද්දිම කියපු දේ දන්නවද... ‘ආ මේ තිබුණටත් වඩා හොඳට හදලා තියෙන්නේ... තව මොනවා හරි පුච්චන්න තියෙනවා නම් කියන්න’ වැඳලා සමාව ගත යුතු මනුෂ්‍යයෙක්ගෙ කටින් පිටවුණු ඒ වචන මට මතක් ‍‍කළේ අර බුර බුරා නැගුණු ගිනිදැල්. එදා නම් මගෙන් සමාවක් ලැබුණෙ නැහැ උන්දැට.
• ව්‍යාපාරයේදි ඔබ මූලිකව හිතන්නෙ කුමක්ද...
අනෙක් කෙනාට වඩා ව්‍යාපාරය ලොකු වෙන්න ඕනේ... එයාට වඩා මට තියෙන්න ඕනේ... මං විතරයි මේ බිස්නස් එකේ රජ‍ා වෙන්න ඕනේ... ඔහොම ප්‍රශ්න මට නැහැ. මට විවේචනය තියෙන්නෙ මං සම්බන්ධව විතරයි. මගේ ජීවිත කාලය පුරාම මං දිව්වෙ මට එරෙහිව පමණමයි.
• එතකොට Boss කෙනෙක් හැටියට තද තීන්දු තීරණ ගන්න සිදුවන අවස්ථාවලදී ...
එහෙම නොකර සමාගමක් ගොඩනඟන්නවත් පාලනය කරන්නවත් බැහැ. නමුත් වරදට දඬුවමක් මිස පුද්ගලයන්ට දඬුවම් දෙන කෙනෙක් නෙවෙයි මම. වරද නිවැරැදි කරගැනීමයි, මට වැදගත්. පළිගැනීම මං තුළත් නැහැ. සේවකන් අරභයා අනෙක් පරිපාලන නිලධාරින් තුළ තිබෙන්නත් බැහැ. ඒකයි මගේ නීතිය.
• මොකක්ද ඔබේ පළමු රස්සාව...
ඉස්කෝලෙ ජීවිතෙන් පස්සෙ මං ශාන්ත ජෝශප් විදුහලේ සහ ඩි මැසනඩ් විදුහල්වල උසස් පෙළ පන්ති වලට Agriculture විෂය ඉගැන්වුවා. හැබැයි මගේ පළමු රස්සාව CIC කොම්පැණියේ. ඊට පස්සෙ තවත් රස්සා කිහිපයක් කළා.
• ජීවිතය ගැන වෙනස් විදියට හිතන ඔබ ඇයි ඔය තරම් කාලයක් හිරවුණු ජීවිතයක...
මං අම්මා තාත්තාව සතුටු කළා. ඒ අයට ඕනෙ විදියට විභාග සමත් වුණා. ඒත් දවසක් ආවා හැමදේම වෙනස් කරපු.
• ඔබට අනුව, හොඳ නායකයෙක්ගෙ ලක්ෂණ මොනවද...
ඔහු ඇහුම්කන්දෙන්නකු විය යුතුයි. තම මතයේ ම එල්බ සිටින්නකු නොවිය යුතුයි. අවශ්‍යතාව අනුව නම්‍යශීලී විය යුතුයි. කෙනෙක් වැටෙනවට වඩා වැදගත් වන්නේ යළි නැගිටීමේ ජවයයි. ඒ ජවය සේවකයන්ගේ හිතට දෙන කෙනකු විය යුතුයි.
• ඔබේ වෘත්තීය ජීවිතයේ ගරු කරන නායකයන් කවුද...
ඡායාරූපකරණයේ ප්‍රචලිත ඇන්සල් ඇඩම්ස්. ඔහු ගුරුවරයෙක්. ව්‍යාපාරිකයෙක්. අවුරුදු හැටේදියි ඡායාරූපකරණය ඇරැඹුවේ. අවසානයේ ඔහු ලෝක ප්‍රකට Land Scape photographer කෙනෙක් වුණා. මගේ ජීවිතෙත් ඒ සමානකම් තිබෙනවා. මා තුළ හිරවුණු ඡායාරූප ශිල්පියාට එළියට එන්න අවුරුදු 30 ක් ගත වුණා.
• ළමා කාලයේ ඔබට තිබුණු සිහින... අරමුණු මොනවද...
තේරෙන නොතේරෙන කාලෙ ඉඳලා මං ආසා කළේ photography වලට. යමක් දිහා බලලා ලොකු කතාන්දරයක් හිතින් මවා ගන්න එදත් මං හපනෙක්. ගඟක් දැක්කොත් මං හිතුවේ, තව අවුරුදු දහයකින් මේ ග‍ඟේ පෙනුම... පරිසර වෙනස්වීම කොහොම තියෙයිද කියලා. ඒ හිතන දේ ඡායාරූපයට හසුකරගන්න හැටියි මං හැම‍ වෙලාවම කල්පනා කළේ.
• එත‍කොට අරමුණු....
Photography වලට ආසා කළාට මට හැම වෙලාවෙම ඕනෙ කළේ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් Commercial photographer කෙනෙක් වෙන්න. ඒ සඳහා සිහින මැව්වට, අරමුණට යන්න ඕනෙකම තිබුණට ඒ කාලය තුළ මං විවිධාකාර දේ අත්හදා බැලුවා.
• වෙනස් විදියකට හිතන්න... ගොඩනැ‍ඟෙන්න ඔබට බලපෑ ලොකුම හේතුව කුමක් ද....
කිසිම පසුබිමක් නොතිබුණු එකම තමයි මට තිබුණු ලොකු ම පසුබිම. මගේ තාත්තා ඉංජිනේරුවෙක්. ඒ වුණාට එයා කළේ ඉඩම් අරන් වවපු එක. තාත්තා ඒ දෙයින් ජීවිතය විඳපු හැටි මම දැක්කා. අම්මා උප විදුහල්පතිනියක්. එයත් ගුරු වෘත්තිය ජීවිතය ම කරගත් කෙනෙක්. කැලණිය වරාගොඩ මිනිස්සු අම්මට සැලකුවේ ගුරුවරියක් හැටියට නෙවෙයි, ගුරු මාතාවක් විදියට. මේ දෙන්නගෙ ජීවිතය තුළ මට හැදෙන්න වැඩෙන්න බලපෑ බොහෝ අමුතු සිතුවිලි තිබුණා.
• ළමයෙක් හැටියට කරන්න හිතපු ඒ අමුතු දේවල් මතකද...
එක කාලයකදි මට හිතුණා, දැන් ගෙදර හිටියා ඇති මං ලොරියක් ගන්න ඕනේ... කියලා, ඒ ලොරියෙ තමයි මං ජීවත් වෙන්නේ. අද ඕනෙ නම් ගහක් යට. හෙට තව කොහේ හරි. ගෝල්ෆේස් පිට්ටනියෙ රෑට ‍ලොරිය නවත්වනවා. හැබැයි ලොරිය ඇතුළ තමයි ‍මගේ ගේ. එත‍කොට මට ඇති අවුරුදු දොළහක් තරම. ඊට අවුරුද්දකට විතර පස්සෙ මං මැගසින් එකක දැක්කා ‘caravan’ එකක පිංතූරයක්. මං කරන්න හිතපු එක වෙන රටක කවුදෝ කරලා. මට හරි ප්‍රශ්නයක්. ‘එකම විදියට හිතන මිනිස්සු ලෝකෙ තවත් කොහේ හරි ඉන්නවා පුතේ...’ තාත්තා මට කිව්වා.
• පුංචි කාලෙ ඔබ දඟ ළමයෙක් ද...
හැම දවසකම අම්මගෙන් ගුටි කාපු කොලුවෙක් හිටියා නම් ඒ මං විතර වෙන්න ඇති. ‘අම්මේ මේ අයියා...’ වෙලාවකට නංගි කෑගහනවා. ‘අම්මේ මේ මල්ලී...’ තව වෙලාවකට අක්කා කෑගහනවා. මං ඒ දෙන්නව හරියට ඇවිස්සුවා. හැබැයි මොන දඟ කළත් ආසාවටවත් කොල්ලො කරන ‘ස්කූල් කට්’ කිරිල්ල මට කවදාවත් කරන්න හම්බවුණේ නැහැ. මොකද අම්මා හිටියෙ පොලිස්කාරයා වගේ.
• කොහේද ඔබ ඉගෙන ගත්තෙ...
කොටහේන ශාන්ත බෙනඩික්ට්, කඳාන ඩි මැසනඩ් සහ මරදාන ශාන්ත ජෝශප් විදුහලේ. උසස් පෙළට chemistry කළේ සර්ට තියෙන කැමැත්ත නිසා. උගන්වන විදියට සර්ගෙ Smart බවටත් ඒ කාලෙ අපි ඇලුම් කළා. පස්සෙ කාලෙක මං මාස්ටර්ස් ඩිග්‍රියක් කළා.
• ඔබේ අරමුණට යන්න දෙමවුපියන් උදව් කළා ද...
ඡායාරූප ශිල්පියා කියන වචනෙටත් අම්මා විරුද්ධයි. ඒ නිසා මං ඇතුළෙ හිරවෙලා ඉන්න ඡායාරූප ශිල්පියාට මතු වෙන්න කවදාවත් ඉඩක් ලැබුණෙ නැහැ. ඒ කාලෙ මඟුල් ගෙදරක ගියත් ඉස්සරවෙලා ම වෙරි වෙලා පැත්තක වැටිලා ඉන්නේ ඡායාරූප ශිල්පියා. අපේ අම්මා මට බනින්නෙ ම ඕවා කිය කියා.
• පවුලේ එකම පුතා. අම්මගේ ආදරෙත් අඩු නැතිව ලැබෙන්න ඇති...
අපිව හදලා වඩලා ඇති තරම් ආදරේ කරල අවුරුදු 49 දි අම්මා යන්න ම ගියා. මං රස්සාවට ගියා විතරයි. මටත් වඩා අක්කටත් නංගිටත් අම්මා නැති අඩුව දැනුණා. තාත්තා අපිට අම්මා වුණා. ඒ මාසෙ තමයි මගේ පළමු පඩිය ලැබුණේ. මං අම්මට සස්ටජන් ටින් එකක් ගෙනාවා. ඒත් මට ඒක පොවාගන්න බැරි වුණා. මගේ ජීවිතේ අත්හැරුණු, අදටත් දරාගන්න අමාරු ම දේ, අම්මා.
• දැන් ඔබේ වයස කීයද...
62 ක්. ඒත් අම්මගේ ආදරේ උණුහුම තවම දැනෙනවා. මගේ ජීවිතේ පුරාම තවම අම්මා තාත්තා ඉන්නවා. ඒ දෙන්නගේ පිංතූරේ මගේ පර්ස් එකෙන් කවදාවත් අයින් වෙන්නෑ.
‍• ඒත් ඔබට photography අත්හැරුණෙ අම්මා නිසා. තරහක් නැද්ද ඒ ගැන...
කවදාවත් නැහැ. ඇයට ඕනේ වුණේ මාව ඊට වඩා හොඳ තැනකට ගේන්න. ඒත් මං තාත්තා අරන් දීපු බොක්ස් කැමරාවත් අරගෙන අවුුදු 16 විතර කාලේ ගෙදරින් එළියට යනකොට අම්මා මට මාරි බිස්කට් දහයක් විතර ඔතලා දෙනවා. ‘බඩගිනි වුණොත් කන්න...’ කියලා. කොල්ලුපිටියෙන් පටන් අරන් වැල්ලවත්ත වෙනකල් මං මුහුදු වෙරළ දිගේ ෆොටෝ ගන්න දේ හොය හොයා පයින් යනවා. අව්වයි. මහන්සියි. මං ගලක් උඩ වාඩිවෙලා බිස්කට් ටික දිග හරිනවා. රැල්ලට තෙමිලා බිස්කට් ලුණු වතුරින් පෙඟිලා. ඒත් අහක දාන්න බැහැ, බඩගිනියි. මං අතින් පිහ දම දමා බිස්කට් ටික කනවා. ෆොටෝ ගන්න තියෙන උවමනාව නිසා මං මෙහෙම දුක් විඳින බව අම්මා දැනගෙන උන්නා.
• ඔබේ photography ජීවිතය තුළ හැමදාම තිබුණෙ දුක අස්සෙන් ඔබම විඳපු ඔය සතුට විතරද...
මං ඒ දෙකට ම කැමැතියි. දවසක් මං වෙරළෙ ඇවිදගෙන යන‍කොට ළමයි වැලි වලින් මාලිගාවක් හදනවා. ‘අනේ! මේක ෆොටෝ එකක් ගන්න!’ ඒ ළමයි කෑ ගැහුවා. සතුට හිනාව පිරිච්ච මුහුණු එක්ක මං වැලි මාලිගාවේ ෆොටෝ එකක් ගැහුවා. ඊළඟ මොහොත් රැල්ලක් ඇවිත් ඔක්කොම ගහගෙන ගියා. මගේ ඊළඟ පිංතූරෙ තිබුණෙ ඒ දුක්බර මුහුණු. මං ඒ පිංතූර ඥානාර්ථ පත්තරේට දුන්නා. කතෘ පියතුමා මා හරියට අගේ කළා.
• ඒ සිදුවීම, දරා ගැනීම පිළිබඳ ජීවිත පාඩමක් වෙන්න ඇති...
මට මහා කම්පනයක් ඇතිවුණා. ඒ කම්පනයෙ තරම කියන්නේ මං වැල්ලවත්තෙ ඉඳන් කල්පනා කර කර කැලණියට ම පයින් ගියා. මගේ ආයතනය ගිනි ගන්න වෙලාවෙත් මට එකපාරට ම මතක් වුණේ ඇතිවෙලා නැතිවෙලා ගිය සතුටයි දුකයි මුසුවූ මේ අතීත සිදුවීම. එහි වූ අනිත්‍යය.
• ලාභ පාඩු මනුෂ්‍යයකුගේ ජීවිතයට කරන බලපෑම ඔබ ඇසුරින් පහදන්න...
බාගෙට වැහුණු දොරක් කියලා කවුරු හරි කිව්වොත් මම කියන්නෙ ‘නෑ ඒක බාගෙට ඇරුණු දොරක්...’ කියලා. කවුරුත් නොකරන දේ තුළයි වෙනස් බව තියෙන්නේ. ලාභ පාඩුවලට වඩා මගේ ජීවිතේට බලපා තිබෙන්නේ ඒ සිතුවිලි.
• මොනවද ඔබේ ජීවිතයේ අත්හරින්න බැරි පුරුදු...
මට තනියම ඉන්න අමාරුයි. මගේ වයිෆ්ටත් දුවටත් දෙන්නටම පුරුදුයි පාඩුවේ වැඩක් කරගෙන තනියම ඉන්න එක. මට ඒ දෙන්නා නැතිව හරි අමාරුයි. අනික තමයි තරහා යන එක. ඒකත් හැබැයි සෝඩා බෝතලේ වගේ.
• හිතේ ඇ‍ඳෙන පිංතූරය හැබෑවට ම ඡායාරූපයකට හසුකර ගැනීමත් කලාවක්. ඔබ එය කවදාක හෝ හදාරා තිබෙනවාද...
යුද්දෙ කාලේ හෙලිකොප්ටරේ ස්ටෑන්ඩ් එකේ වාඩිවෙලා ගිහින් මුළු යාපනේම මං scan කළා. ඒ වෙලාවේ යාපනේ අර්ධද්වීපයේ හරි ම සිතියමක් හඳුනාගන්න හමුදාවට ඕනෙ වුණා. ඒ 1989. යුද්දෙ උපරිම අවස්ථාව. මේ තමයි නිධාන කතාව. මං ඔය ෆොටෝග්‍රැ‍ෆි ට්‍රේනින් එක කළේ ජපානයේ ඔසාකාවල සෙන්තාරෝ යමමුරා කියන ප්‍රකට ඡායාරූප ශිල්පියා යටතේ. ඔහු පෝලියෝ රෝගියෙක්. ඒත් හිතින් යෝධ මිනිසෙක්. එයා මට ඉගැන්නුවා commercial photography වල සියුම් තැන්. අහස් යාත්‍රාවේ ගිහින් ඡායාරූපගත කරන හැටි. ඔහු තමයි මට තාක්ෂණය උගන්වපු හා මේ ජීවිතයට උත්තේජනයක් සපයපු මගේ ගුරුතුමා.
• ඔබ fashion වලට හුඟක් වියදම් කරනවද...
මගේ මේ ලොකු ඇඟට හරියන ඇඳුම් ‍මේ රටේ නැහැ. ලෝකෙ කොහෙන් හරි රෙදි අරගෙන ඇවිත් මෙහෙ මහනවා.
• එතකොට ඔය ඇඳුමේ තිබෙන GS අකුරු දෙක මොකක්ද...
ඒක මම ම හදාගත්තු Brand එකක්. සෙන්තාරෝ යමමුරා අඳින හැම ඇඳුමකමත් Zen කියන අකුරු තුන එම්බ්‍රොයිඩර් කරලා තිබුණා. මං ඔහුගෙන් ඇහුවා ඔබව මතක් වෙන්න මාත් මගේ නමේ මුල් අකුරු මෙහෙම එම්බ්‍රොයිඩර් කරගන්නද කියලා. ඔහු කැමැති වුණා. දැන් අවුරුදු 25 කට වැඩියි. මගේ හැම ඇඳුමක ම මං මේ අකුරු දෙක තබනවා.
• ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් ලොකු ම පූර්වාදර්ශය කුමක් ද...
Do what you like… and like what you do….’ ඒ වගේම ඔබේ හැකියාවන් ශක්තීන් හඳුනාගන්න. ඒවාට මතුවෙන්න ඉඩ හදන්න. ඉලක්කයක් හදාගෙන එය හඹා යන්න. තමන් පිළිබඳ විශ්වාස තුළ ඉතා නිහතමානීව ඒ ගමන යන්න. කවදාවත් කාටවත් වට්ටන්න බැරි තැනෙකට ඔබම, ඔබව රැගෙන යාවි. එය ඒකාන්තයක්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.