ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 24, 2016

ඉංග්‍රීසි නොදැන හොලිවුඩයට පැමිණි බිලි වයිල්ඩර්...!!!

ශෛලිය කිහිපයකට විහිදුණු සුවිශේෂී කුසලතාවයෙන් පරිපූර්ණ වූ රචක, අධ්‍යක්ෂවරයෙකු වූ බිලි වයිල්ඩර්, හොලිවුඩ්හි බිහි වූ සැමදා මතකයේ රැඳෙන, ස්ථිර එක හා සමාන ගුණයකින් තම නිර්මාණ සියල්ලම පාහේ බිහි

කළ සිනමාකරුවෙකු වූවා පමණක් නොව, නිරන්තරයෙන්ම හොලිවුඩ් අභියෝගයට ලක් වන නිර්භය හා ධෛර්යසම්පන්න නිර්මාණ ශිල්පියෙකු ද වූවා. විවිධත්වයෙන් යුතු නොයෙකුත් ශෛලිවලින් බිහිවුණු නිර්මාණයෙන් නිර්මාණයට ඔහු එකල සමාජයේ කතාබහට ලක් නොවූ (තහනම්) එදිනෙදා විෂයයන් ගවේෂණය කළේ ඔහුටම ආවේණික වූ ගැඹුරු ඥානයෙන්, හාස්‍යයෙන් සහ පෞරුෂය මුවහත් වූ උපහාසයෙන්.
පරදාර සේවනය, අධික බීමත්කම, ගණිකා වෘත්තීය මේ මාතෘකා කිසිවක් වයිල්ඩර් ගේ චිත්‍රපටවලට (වැඩියෙන්) මතභේදාත්මක හෝ (වැඩියෙන්) නුසුදුසු වූයේ නැහැ.
හොලිවුඩ් ඉතිහාසය පුරාවටම ජය කැලඹ වූ අනෙකුත් හඬවල් බොහෝමයකට වඩා වයිල්ඩර් වෙනස් වූයේ, ඔහු ලැබූ විශාල වාණිජමය සාර්ථකත්වයත්, විචාරක සම්මානයත් නිසයි. ඉතා ශිෂ්ට සම්පන්න මෙන්ම තියුණු වූ ඔහු, නොපැහැදිලි කතා විස්තර, බැබළෙන දෙබස් සහ චිත්‍ර ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද වැනි දර්ශන සංයෝජනය කරමින් නූතන අමෙරිකානු සමාජයේ වඩාත් අඳුරු උද්වේගයන් ආලෝකමත් කරමින් ඒවා ඉදිරිපත් කළ දක්ෂතාවය ඉතා දුර්ලභයි.
ඔහු සැමුවෙල් වයිල්ඩර් ලෙස උපත ලැබුවේ 1906 ජූනි 22 දා එවකට ඔස්ට්‍රෝ - හංගේරියානු අධිරාජ්‍යයෙන් සවා යන නගරයේදීය. ඔහුගේ පියා මැක්ස් වයිල්ඩර්ට දුම්රියපළ භෝජන ශාලා කිහිපයක් හිමිව තිබුණු අතර 1926 දී මිය ගියා. වයිල්ඩර්ගේ මව වූ ඉයුගීනියා ඇයගේ යොවුන් වියේදී ඇමෙරිකා ඒක්සත් ජනපදයේ වසර කිහිපයක් ජීවත්ව තිබුණා. ඇමෙරිකා පුරාවෘත්ත වීරයෙක් වූ බෆලෝ බිල්ට ඇය තුළ වූ සිත් ඇද ගැනීම නිසාම ඇය තම කුඩා පුත්ට බිලී යන හුරතල් නාමය තැබුවා. ටික කාලයක් වියේනා හී නීතිය හැදෑරූ වයිල්ඩර් ප්‍රවෘත්ති පත්තර රස්සාවක් සොයා ගත්තා. එහිදී ඔහු කළේ සම්මුඛ සකච්ඡා, අපරාධ, ක්‍රීඩා විස්තර සහ ඉතා ජනප්‍රිය චරිතවල පුද්ගලික තොරතුරු ආදිය ලිවිමයි. 1926 දී වයිල්ඩර්ට ඇමරිකානු ජෑස් සංගීත කණ්ඩායමේ නායකයෙකු වූ පෝල් වයිට්මන් යටතේ ප්‍රචාරක රැකියාවක් කිරීමට ලැබුණේ බර්ලින්හිදීය. වයිල්ඩර් බර්ලින් හී පළ වූ වැඩිම අලෙවියක් ඇති ටැබ්ලොයිඩ් පත්තරයට ලිපි ලියමින් දිගටම එහි නැවතුණා.
සිනමා ලොවට පිවිසෙන්නට වයිල්ඩර්ට මුල්වරට වරම් ලැබුණේ 1929 දී ජර්මානු චිත්‍රපටයක් වූ (මෙන්ෂන් ඇමි සොන්ටැග් - පීපල් ඔන් සන්ඩේ) හි වැඩ කිරීමට ලැබීමෙන්. ඔහු චිත්‍රපට රචනා කරමින් සහ අධ්‍යක්ෂණය කරමින් දිගටම ජර්මනියේ රැඳී සිටි නමුත් නාසීන්ගේ නැඟීමත් සමඟම ඔහුට ජර්මනිය හැර දමා ප්‍රංශයටත් අවසානයේදී එතැනින් ඇමෙරිකා එක්සත් ජනපදයටත් සංක්‍රමණය වීමට සිදු වුණා.
ඔහුගේ මුල් නැවතුම වූ ප්‍රංශයේදී ඔහු මුල් වරට කැමරාව පිටුපසට ගොස් ඇලෙක්සැන්ඩර් එස්වේ සමඟ මොවිසි ග්‍රේන් සම අධ්‍යක්ෂණය කළා. ඒ 1934 දී. එම අවුරුද්ෙද්ම වයිල්ඩර් හොලිවුඩ්වලට පැමිණියේ අතේ සතයක් හෝ ඉංග්‍රීසි භාෂා දැනුමක් නොමැතිවයි. හොලිවුඩ්වලට පැමිණි පසුත් වයිල්ඩර් තිර රචකයෙකු ලෙස තම නිර්මාණ දිවිය දිගටම ගෙන ගියා. 1934 දීම ඔහු ඇමරිකානු පුරවැසිභාවය ලැබුවා. වයිල්ඩර්ට සැලකිය යුතු සාර්ථකත්වයක් මුල් වරට ගෙන ආවේ 1939 දී තිරගත වූ නිනොචිකා චිත්‍රපටයයි. එය ඔහු මෙන්ම තවත් ජර්මානු සංක්‍රමණිකයෙකු වූ අර්නස්ට් ලුබිචිගේ සුසංයෝගයනේ බිහි වුණා. ග්‍රේටා ගාර්බෝ (මෙතෙක් මෙලෝඩ්‍රාමා චිත්‍රපටවල දුක්ඛදායක වීරවරියගේ චරිතය පමණක් රඟපෑ) රඟපෑ මේ විකාර විකට (SCREWBALL) චිත්‍රපටය ජනප්‍රිය වුණා පමණක් නොව විචාරක ප්‍රසාදයට ද ලක් වුණා.
ගාර්බෝ සිනාසෙයි (GARBO LAUGHS) යන උප ශීර්ෂයත් සමඟම තිරගත වුණු මෙම චිත්‍රපටයත් සමඟම ග්‍රේටා ගාර්බෝ ගේ සිනමා දිවිය නව දිසාවකට යොමු වුණා. වයිල්ඩර්ගේ ජීවිතයේ ප්‍රථම ඔස්කාර් නිර්දේශය මේ චිත්‍රපටයේ රචනය සඳහා ඔහුට හිමි වුණා. එම නිර්දේශය ඔහු හා සහාය රචක චාර්ල්ස් බ්‍රැකට් ට සමව ලැබුණා. (මීට පෙර වයිල්ඩර් සහ බ්‍රැකට් ලියූ බ්ලූබියර්ඩිගේ එයිටිත් වයිෆ් ඇන්ඩ් මිඩ්නයිට් ඉමහත් ප්‍රසාදයට ලක් වී තිබුණා). 1938 සිට 1950 දක්වා අවුරුදු 12 ක්ම වයිල්ඩර් ඔහුගේ චිත්‍රපට බොහෝමයක් බ්‍රැකට් සමඟ එකතු වී රචනා කළා. නිනෝචිකාට පසුව 1942 වයිල්ඩර් බොක්ස් ඔෆිස් හිට් රැල්ලක්ම නිර්මාණය කළා. හෝල්ඩ් බැක් ද ජෝන් සහ බෝල් ඔෆ් ෆයර් ඒ අතර ප්‍රධාන වුණා. ඒ අතරින්ම ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය වූ ද මේජර් ඇන්ඩ් ද මයිනර් ද තිරගත වුණා.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස තම නම ස්ථාපිත කර ගැනීමට වයිල්ඩර් සමත් වූයේ 1944 ඩබල් ඉන්ඩෙමිනිට් නිර්මාණය කිරීමෙන් පසුවයි. රහස් පරික්ෂක නවකතාකරුවෙකු වූ රේමන්ඩ් චැන්ඩිලර් (වයිල්ඩර්ට එතරම් රිස්සුවේ නැති) සමඟ වයිල්ඩර් තිර රචනය කළ ඩබල් ඉන්ඩෙමිනිට් කළු චිත්‍රපටයක් වුණා. ඩබල් ඉන්ඩෙමිනිට් කළු සිනමා ශෛලිය සම්ප්‍රදායක් ගොඩනැඟුවා පමණක් නොව හොලිවුුඩ් වාරණයට එරෙහිව සටනෙහි නොනැසෙන සලකුණක් තැබුවා. සමහරක් සලකන්නේ ඩබල් ඉන්ඩෙමිනිට් ප්‍රථම නියම කළු චිත්‍රපටය බවයි. එහි සිටිසන් කේන් හී තිබූ ශෛලිය මූල ධාතූන් මැල්ටීස් ෆැල්කන් හී කතා කීමේ මූල ධාතුන් සමඟ සංයෝජනය කර තිබුණු බව ඔවුන්ගේ අදහස වුණා.
ෆ්‍රෙඩී මැක්මරේ, බාබරා ස්්ටැන්වික් සහ එඩ්වඩ් ජී. රොබින්සන් මෙහි ප්‍රධාන චරිත රඟපෑවා. ඩබල් ඉන්ඩෙමිනිට් ජේම්ස් එම්. කේන් ගේ එම නමින්ම යුත් කෙටි නවකතාවේ අනුවර්තනයක් වුණා. කතාවට මුල් වුණේ 1927 දී සිදු වූ සත්‍ය සිදුවීමක්. නිව්යෝක් නගරයේ ක්වීන්ස් හී වෙසෙන විවාහක කාන්තාවක් සහ ඇයගේ අනියම් පෙම්වතා වන ජඩි ග්‍රේ ලවා ඇයගේ සැමියා වන ඇල්ෆ්‍රඩ්ව මරා දමන්නට උත්සාහ කරන්නේ තම සැමියාගේ නමට විශාල වටිනාකමක් ඇති රක්ෂණ සහතිකයක් මිලදී ගැනීමෙන් පසුවයි. මෙම මිනීමරු යුවළ ඉතා ඉක්මනින් හඳුනාගෙන අත් අඩංගුවට ගන්නවා. මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන 7 ක් සඳහා නිර්දේශ වුවා.
ඊට අවුරුදු 2 කට පසු වයිල්ඩර්ට හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනයට හිමි ඔස්කාර් සම්මාන 2 ලැබුණේ චාර්ල්ස් ආර්. ජැක්සන් ගේ කතාවක අනුවර්තනයක් වූ ද ලොස්ට් වීක්එන්ඩ් සඳහායි. එය මත්පැන්වලට ඇබ්බැහි වීම පිළිබඳව සැලකිලිමත් ලෙස සෝදිසි කළ ප්‍රථම (ප්‍රධාන දහරාවේ) ඇමෙරිකානු චිත්‍රපටය වුණා. එවැනි තේමාවක් චිත්‍රපටයක් තුළින් සාකච්ඡා කිරීම එකල පැවති නිෂ්පාදන නීතිවලට පටහැනි වූ බැවින් එය සිනමාවට නැඟීම දුෂ්කර මෙන්ම නිර්භය කර්තව්‍යයක් වූවා. චිත්‍රපටයේ කතාව වුණේ කලකිරීම හේතුවෙන් අධික ලෙස බීමට ඇබ්බැහි වූ රචකයෙක් ගැනයි. එයට හේතු වුණේ ඔහු විශ්වවිද්‍යාල සමයේදී තම වාසිටි සගයෙකු සමඟ සම්බන්ධයක් පැවැත් වූවා යැයි චෝදනා එල්ලවීමයි. ප්‍රධාන චරිතය එසේ මද්‍යසාරවලින් පිරුණු ලෝකයක ගිලී යාමට වගකිව යුත්තේ පුද්ගලික කලකිරීමත්, ඔහුගේ අනන්‍යතාවය ගැන තිබුණු සැකය බවත් චිත්‍රපටය තුළින් පෙන්වා දුන්නා.
1950 දී වයිල්ඩර්, අඳුුරු නරුම ඒත් ඉමහත් විචාරක ප්‍රසාදයට පාත්‍ර වූ සන්සෙට් බුලවාඩි අධ්‍යක්ෂණය කළේ එහි තිර රචනයට ද සහාය වෙමින්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ විලියම් හෝල්ඩන් සහ ග්ලෝරියා ස්වොන්සන්ය. ඔහු අසාර්ථක තිර රචකයෙකු වූ අතර ඇය බැස ගිය සිනමා තරුවක් වූවා. ඇය සිහින මවන්නේ නැවතත් සිනමාවට අවතීර්ණ වී තරුවක් ලෙස නැවත පායා ඒමටයි. ඉතින් ඇයගේ එම සිහින ලෝකයට ඔහුවත් ඇද ගන්නවා. බොහෝ විචාරකයින්ගේ ප්‍රසාදයට ලක් වූ සන්සෙට් බුලවාඩි ඔස්කාර් සම්මාන නිර්දේශ 11 ක් දිනා ගනිමින් අවසානයේ සම්මාන තුනකට හිමිකම් කීවා. වයිල්ඩර්ට හොඳම තිර රචනය සඳහා ලැබූ සම්මානය ද ඊට ඇතුළත් වුණා. ක්ලැසික් චිත්‍රපටයක් ලෙස පොදු පිළිගැනීමට ලක් වූ සන්සෙට් බුලවාඩි ඇමරිකානු සිනමාවේ සුවිශේෂයෙන් සැලකිය යුතු සිනමා නිර්මාණයක් බවට අදටත් පිළිගැනෙනවා.
සන්සෙට් බුලවාඩිවලට පසුව 1951 දී වයිල්ඩර් එස් ඉන් ද හෝල් (නැතහොත් බිග් කානිවල්) අධ්‍යක්ෂණය කළා. ගුහාවක සිදු වූ අනතුරක් මාධ්‍ය තමාගේ ප්‍රයෝජනය පමණක් තකා අයුතු ලෙසින් භාවිතා කිරීම පිළිබඳව ගෙතුණු කතාවක් ඊට මූලික වුණා. එය තිරගත වුණු කාලයේ විචාරක සහ වාණිජ වශයෙන් අසාර්ථක වූ නමුත් එස් ඉන් ද හෝල් හී කීර්තිය අද වෙන විට සැලකිය යුතු තරමින් වැඩි වී තිබෙනවා. 1950 දශකයේ වයිල්ඩර් බ්‍රෝඩ්වේ නාටක දෙකක අනුවර්තන සිනමාවට නැඟුවා. යුද සිරකරුවන්ගේ කතාවක් පසුබිම් කරගත් ස්ටැලැග් 17 (1953) විලියම් හෝල්ඩන්ට හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලබාදීමට සමත් වූවා. අගතා ක්‍රිස්ටි ගේ රහස් පරික්ෂක කතාවක් වූ විට්නස් ෆෝ ද ප්‍රොයිකියුෂන් (1957) අනෙක් චිත්‍රපටය වුණා. 50 දශකයේ මැද කාලයේ වයිල්ඩර් වඩාත් උනන්දුවක් දැක් වූයේ හොලිවුඩ් ස්වර්ණමය යුගයේ චිත්‍රපට මෙන් ක්ලැසික් විකාර කොමඩි රඟපෑම් කොටසක් යෙදුණු චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි.
1950 දශකයේ මැද භාගයේ සිට වයිල්ඩර් අතින් වැඩි වශයෙන් නිම වුණේ විකට චිත්‍රපට. මේ කාලයේ වයිල්ඩර් නිර්මාණය කළ විකට ක්ලැසික් අතර ද සෙවන් ඉයර් ඉචි (1955) සහ සම් ලයික් ඉට් හොට් (1959) යන ප්‍රහසන ද, ඔස්කාර් සම්මාන 3 ක් ඔහුට රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සඳහා ලබා දුන් ද අපාර්ට්මන්ට් (1960) යන උපහාසාත්මක ප්‍රබන්ධය ද සබ්‍රිනා (1954) යන විකට ආදර කතාව ද ප්‍රධාන වුණා. වයිල්ඩර්ගේ හාස්‍යමය යම් විටෙක කර්කශ වුණා. ඉන් ලව් ඉන් ද ආෆ්ටර්නූන් (1957) හී ළාබාල අහිංසක ඔඩ්‍රි හෙබ්බර්න් සෙල්ලක්කාරයකු වූ ගැරී කූපර්ට තම ඇත්ත ස්වභාවය පෙන්වන්නේ නැහැ. ඇය පෙනී සිටින්නේ අනියම් සතුට සොයන විවාහක කාන්තාවක් හැටියටයි.
1959 දී වයිල්ඩර් පිරිමි ගැහැනුන්ට ඇඳීම (විරුද්ධ ලිංගිකයන් මෙන් ඇඳීම) ඇමෙරිකානු චිත්‍රපට ප්‍රේක්ෂකයින්ට මුල්වරට හඳුන්වා දුන්නේ සම් ලයික් ඉට් හොට් චිත්‍රපටයත් සමඟයි. විකට චිත්‍රපටයක් වූ මෙහි ජැක් ලෙමන් සහ ටෝනි කර්ට්ස් පලා යන සංගීතකරුවෝ දෙදෙනෙකුගේ චරිත රඟපැවා. චිකාගෝවල මැර කල්ලියකින් බේරීමට එසේ පලා යන ඔවුන් දෙදෙනා මැරයින්ට අසු නොවීමට ගැහැනු වෙස් ගන්නවා. පසුව මොවුන් දෙදෙනා මැරලින් මොන්රෝ සහ ජෝ ඊ. බ්‍රවුන් සමඟ ආදරයෙන් බැඳෙනවා. මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන 7 ක් සඳහා නිර්දේශ වුණා.
1960 දී වයිල්ඩර් අපාර්ට්මන්ට් අධ්‍යක්ෂණය කළා. ජැක් ලෙමන්, ෂර්ලි මැක්ලේන් සහ ෆ්‍රෙඩී මැක්මරේ ප්‍රධාන චරිත රඟපෑ මෙය විකට චිත්‍රපටයක් වූවා. කතාව ගෙතුණේ නිව්යෝක් නුවර විශාල රක්ෂණ සමාගමක සේවය කරන අගහිඟකම්වලින් පෙළුණු ලිපිකරුවෙකු ගැනයි. ඉතින් රැකියාවෙන් ඉහළ යාමට කෙටි මඟක් ඔහු සොයා ගන්නවා. ඔහු තමා ජීවත් වන මහල් නිවාසය කොම්පැනියේ විධායන නිලධාරින්ට ඔවුන්ගේ අනියම් පෙම්වතියන් රැගෙන යාම සඳහා භාවිත කිරීමට කුලියට දෙනවා. ඉතින් ඔහුට මේ අය ආපහු ගිය පසු නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණපාන්න සිදුවෙන අතර එක රැයක ඔහුට බලාපොරොත්තු නොවූ පරිදි අති විශාල ප්‍රශ්නයකට මුහුණදීමට සිදු වෙනවා. එය වයිල්ඩර්ගේ අතිශයින් ජනප්‍රිය වූ සම් ලයික් ඉට් හොට් චිත්‍රපටයට පසුව නිර්මාණය කෙරුණු ප්‍රථම චිත්‍රපටය වුවත් එය කලින් චිත්‍රපටය මෙන්ම විශාල සාර්ථකත්වයක් ලබා ගත්තේ විචාරක මෙන්ම වාණිජ වශයෙන් අති මහත් ජනප්‍රියත්වයක් හිමි කර ගිනිමිනි. එය ඔස්කාර් සම්මාන 10 කට නිර්දේශ වී පහක් දිනා ගත්තා.
1960 දී ද අපාර්ට්මන්ට් සඳහා ඔස්කාර් සම්මාන 3 ක් (හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂණය, තිර නාටකය) දිනාගත් පසු වයිල්ඩර්ගේ නිර්මාණ ජීවිතයේ ගමන් වේගය ටිකක් අඩු වුණා. සීතල යුද්ධය හාස්‍යයට ලක් කරමින් ඔහු සෑදූ වන්, ටු, ත්‍රී (1961) හි ජේම්ස් කැග්නි අති ප්‍රබල විකට රංගනයන් ඉදිරිපත් කළා. නමුත් එයින් පසු තිරගත වුණු ඉර්මා ලා ඩූස් සහ කිස් මී, ස්ටුපිඩ් එතරම් සාර්ථක චිත්‍රපට වූයේ නැහැ. වයිල්ඩර්ට ඔහුගේ දිවියේ අවසාන ඔස්කාර් නිර්දේශය හිමි වුණේ 1966 ද ෆොර්චූන් කුකී හී තිර රචනය සඳහායි. 1970 දී ඔහු සෑදූ ප්‍රයිවෙට් ලයිෆ් ඔෆ් ෂර්ලොක් හොල්ම්ස් රෝඩ්ෂෝ චිත්‍රාගාරය විසින් එළිදැක්වීමට නියමිතව තිබූ ප්‍රධාන චිත්‍රපටයක් වුවත්, එය චිත්‍රාගාරය විසින් සැහැසි ලෙස සංස්කරණයට ලක් කොට තිබුණා. එම චිත්‍රපටය නැවත කවදාවත් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණයකට ලක් වුණේ නැහැ. පසුකාලීන චිත්‍රපට වූ ෆෙඩෝරා සහ බඩී බඩී විචාරකයින් මෙන්ම ප්‍රේක්ෂකයින්ට ද බලපෑමක් ඇති කිරීමට සමත් වුණේ නැහැ.
වයිල්ඩර් තිර රචනය සඳහා ලැබූ ඔස්කාර් නිර්දේශ 12 වාර්තාව 1997 දී බිඳ වැටුණේ වුඩ් ඇලන් ඩීකන්ස්ට්‍රක්ටින් හැරි සඳහා තම ජීවිතයෙන් ලැබූ 13 වෙනි ඔස්කාර් නිර්දේශය ලැබීමත් සමඟයි.
පිළිකා රෝගයෙන් මෙන්ම තවත් රෝග හේතුවෙන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළුණු වයිල්ඩර් 2002 දී නිව්මෝනියාව වැළඳීමෙන් ලොස් ඇන්ජලීස් නුවර දී මාර්තු 27දා මිය ගියා. මිය යන විට අනූ පස් වන වියේ පසු වුණා. ඊට පසුවදා ප්‍රංශයේ ප්‍රධාන පුවත්පත වූ ල මොන්ඩි හී මුල් පිටුවේ වූයේ බිලි වයිල්ඩර් මිය යයි. කවුරුවත් අංග සම්පූර්ණ නැහැ. ('Billy Wilder is dead. Nobody is perfect') මෙය ඔහුගේ ප්‍රකට චිත්‍රපටයක් වූ සම් ලයික් ඉට් හොට් වලින් උපුටා ගත්තක් වූවා. එම චිත්‍රපටයේ සුප්‍රසිද්ධ අවසාන වාක්‍යය වූයේ කවුරුවත් අංග සම්පූර්ණ නැහැ යන්නයි. එහි රඟපෑ ජැක් ලෙමන් තමා ගැහැනියක් නොවන බව පෙන් වූ පසු ජෝ. ඊ. බ්‍රවුන් එය පවසනවා.
චිත්‍රපට අධ්‍යක්ෂණයේදී වයිල්ඩර්ගේ තෝරා ගැනීම් තුළින් පිළිබිඹු වූයේ ඔහු රචනයට ප්‍රමුඛතාව දීම විශ්වාස කළ බවයි. ඔහු ඇල්ෆ්‍රඩ් හිච්කොක් හෝ ඕසන් වේල්ස්ගේ අතිශය උදේ‍යීගි චිත්‍රපට කලාවෙන් මිදුණේ අවධානය අනවශ්‍ය ලෙස ඉල්ලන දර්ශන ප්‍රේක්ෂකයින්ගේ කතාව රස විඳීමට බාධාවක් වෙතැයි ඔහුගේ මතය වූ බැවිනි. (හොලිවුඩ් හී මයිකල් බේ ගේ සහ බොලිවුඩ් හි සන්ජේ ලීලා බන්සාලිගේ චිත්‍රපට නරඹන විට වයිල්ඩර්ගේ මේ මතය කෙතරම් නිරවද්‍යදැයි ඔබට වැටහේවි). වයිල්ඩර්ගේ චිත්‍රපට ඉතා තදින් බැඳුණු කතාවලින් සහ අමතක නොවන දෙබස්වලින් සමන්විත වුණා. ඔහුගේ අදියුරු ශෛලය සංස්ථිතික වුවත් සිනමාවට නැඟූ විෂයන් නම් බොහෝ විට ජනප්‍රිය ප්‍රවාහයේ වින්දනාත්මක සීමා මායිම් ඉක්මවා යෑමට නැතහොත් සීමා මායිම් පුළුල් කිරීමට සමත් වූවා.
වයිල්ඩර්ගේ චිත්‍රපට බොහෝ විට පැහැදිලි දේශපාලනික ස්වරූපයකින් හෝ අනුවේදනාවලින් තොර වුණා. එය අහම්බෙන් සිදු වුවක් නොව ඔහු සිතාමතාම කළ දෙයක්. ඔහු කාලීන දේශපාලන ෆැෂන් ගැන උනන්දුවක් දැක් වූයේ නැහැ. ඊට වඩා ඔහු මනුෂ්‍ය ස්වභාවය සහ සාමාන්‍ය මිනිසුන්ට මුහුණ පාන්නට සිදුවන ප්‍රශ්න පිළිබඳව උනන්දුවක් දැක්වුවා. බොහෝ අයට වයිල්ඩර්ව විලියම් වයිලර් (බෙන්හර් අධ්‍යක්ෂක) සමඟ පැටලෙනවා. එය තේරුම් ගත හැකියි. මක්නිසාද යත් දෙදෙනාම එක සමාන පසුබිම්වලින් පැමිණි එක සමාන නම් දෙකක් ඇති ජර්මන් භාෂාව කතා කරන යුදෙව්වන් දෙදෙනකු වීම හේතුවෙනි. එය එසේ වුවත් අධ්‍යක්ෂවරුන් ලෙස දෙදෙනා විසින් එළිදැක්වුණු නිර්මාණ නම් එකිනෙකට බොහෝ වෙනස් වුණා. වයිලර් එෆික් නැතහොත් මහා වීර කාව්‍ය සහ බරපතල නාට්‍යමය චිත්‍රපට අධ්‍යක්ෂණයට වඩාත් කැමැති වූ අතර වයිල්ඩර් ප්‍රසිද්ධ වුණේ ඔහුගේ විකට සහ ෆිල්ම් නොආ ආකෘතියේ නාට්‍යමය චිත්‍රපටවලටයි.
චිත්‍රාගාර ක්‍රමය සහ ස්වාධීන නිෂ්පාදක - අධ්‍යක්ෂවරුන්ගේ නැග්ම අතර සංක්‍රාන්තියට පාලමක් සාදමින් නව හොලිවුඩ් යුගයේ ක්‍රියාකාරි වූ වයිල්ඩර් 2 වන ලෝක යුධ සමයෙන් පසු ඇමරිකානු සිනමාවේ ඉතා වැදගත් මූලික චරිතයක් වුණා. වර්තමානයේදී වයිල්ඩර්ගේ චිත්‍රපට ඇමරිකානු සංස්කෘතියේ වැදගත් අංගයක් බවට පත් වී තිබෙන අතරම ඔහු හොලිවුඩ් හී අති විශාල සාර්ථකත්වයක් ලැබූවෙක් බවට සැලකෙනවා.
'මං හැදුවේ මං ප්‍රේක්ෂකයෙක් වුණා නම් බලන්න කැමති චිත්‍රපටයි'
චිත්‍රපට නාමාවලිය
බඩී බඩී 1981
ෆොඩීරා 1978
ද ෆ්‍රන්ට් පේජ් 1974
අවන්ටී 1972
ද ප්‍රයිවෙට් ලයිෆ් ඔෆ් ෂර්ලොක් හෝම්ස් 1970
ද ෆොර්චූන් කුකී 1966
කිස් මී ස්ටුපිඩ් 1964
ඉර්මා ලා ඩූස් 1963
වන්, ටූ, ත්‍රී 1961
ද අපාර්මන්ට් 1960
සම් ලයික් ඉට් හොට් 1959
විට්නස් ෆෝ ද ප්‍රොයිකියුෂන් 1957
ලව් ඉන් ද ආෆ්ටනූන් 1957
ද ස්පිරිට් ඔෆ් සෙන්ට් ලුවිස් 1957
ද සෙවන් ඉයර් ඉචි 1955
සබ්‍රිනා 1954
ස්ටැලැග් 17 - 1953
එස් ඉන් ද හෝල් 1951
සන්සෙට් බුලවාඩි 1950
අ ෆොරින් අෆෙයාර් 1948
ද එම්පරර් වෝල්ට්ස් 1948
ද ලොස්ට් වීක්එන්ඩ් 1945
ඩෙත් මිල්ස් - 1945
ඩබල් ඉන්ඩෙමිනිට් 1944
ෆයිව් ග්‍රේවිස් ටු කයිරෝ 1943
ද මේජර් ඇන්ඩ් ද මයිනර් 1942
මොවිසි ග්‍රේන් 1934

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.